
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ
මං ඔන්න ආවා උම්මා උම්මා ඕනේ ………
ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවි
නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවි ………
ඩාලින් සුදූ ඔයා කලින් එන්න ශොපින් යන්න
කිව්ව ඔයා ආපු ගමන් විද්දා මගේ පර්ස් එකට ……….
චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලෝකාන්තේ ………
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුණා ………
ලොරි බොඩි වගේ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගේ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගෙ හිටියට කටු බොඩි ඇති කෙල්ලෝ ………
රසවත් හරවත් ගීත වෙනුවට හරසුන් පදසුන් ගීත පොකුරු පිටින් බිහිවෙනකොට මුදල්
මතම පමණක් හඹා යන මාධ්‍ය මගින් හදවතට ගැයෙන ගීත සඟවා කකුල් දෙකට
ගැයෙන ගීත විතරක් ප්‍රචාරය වෙනකොට, සුන්දර නිර්මාණකරුවන්ට තිබෙන ඉල්ලීම අඩු
වෙලා ගිහිං. අහන කලාව වෙනුවට බලෙන් අස්සවන සංගීත කලාව නිසා,
ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් විතරක් නෙමෙයි අන්තර්ජාලය හරහා පවා ගායකයටත්
ශ්‍රාවකයාටත් කාටවත්ම තේරුමක් නැති වචන ටිකක් වැළපෙමින්, වැළලෙමින් විළාපයක
ස්වරූපයකින් ගීත ඇසීම තුලින් රිදුන හිතට සහනය ලැබීම කෙසේ වෙතත් හොඳට
ඉන්න මිනිස්සුන්ටත් සියදිවි නසාගැනීමට සිතීම අරුමයක් නොවේ. රසවත් ගීතයක් යනු
මානසික ඔසුවක්, මනුස්සකමේ නහරවලට පණ දෙන අමුර්තයක්, කියාගන්න බැරි
තරමේ අමුතුම රහක්. රැල්ලට නොයා උඩුගම් බලායාම හිතන තරම් ලේසි නැති නමුත්
ඒක සමාජ සේවයක් වගේම මේ මොහොතේ සමාජ විකාශනය වෙනුවෙන් අත්‍යවශ්‍යම
ඖශධයක් (ජයකොඩි, 2020) . ඉහත දක්වා ඇති පද පේළි ගැන ඔබට සිතෙන්නේ
කුමක්ද? ඒවා ගීත ද වාක්‍ය ඛණ්ඩ ද එහෙමත් නැති නම් සංගීතයත් දෙබස් කතන්දරත්
මැද අතරමං වූ කවරාකාරයේ නිර්මාණයන් ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. බැලු බැලු
සැම තැනම ගී පද රචකයින්ගෙන් නම් අඩුවක් නැත. සිතට නැගෙන සිතුවිලි වලින් ඉතා
අලංකාර කලා කෘතියක් රසිකයාට දායාද කිරීම ඕනෑම කෙනෙකුට කල හැකි පහසු කාර්යක් නොවේ. එය සුවිශේෂී වූ දක්ෂතාවයකි. කුසලතා සහ තම හැකියාවන් ප්‍රගුණ
කිරීම තුළින් මෙන්ම අත්දැකීම් හරහා ලැබෙන පන්නරයන්ගෙන් බිහිවන නිර්මාණ
කිසිවෙකුට සමකළ නොහැකි අග්‍රගණ්‍ය ඒවා වේ. සිංහලයා අතර අතීතයේ සිටම
පැවතියේ කවි ගායනාය. ඉන් ඔබ්බට ගිය යමක් වූයේ නම් ඒ නැටුම් ශිල්පීන්ගේ
ගායනාය. වර්තමාන සිංහල ගීත සාහිත්‍ය දෙස බලන කලද පෙනී යන්නේ ගේය පදවලට
වඩා කාව්‍යමය නිර්මාණ බහුල බවය. සිංහල ගීතයේ සන්දර්භය සකස් වන්නේ ජන ගීය
හා ජන කාව්‍යයට වඩා උත්තර භාරතීය සංගීතයට අනුවය. එම තනුවලට ගීත රචනා
ලිවීමේදී රචකයෝ සිංහල ජන කවියේ ආභාෂය ද ලැබූහ (Rathnayaka & කාලිංග, 2021) .

ගීතය වනාහී නානාප්‍රකාර වූ සාහිත්‍යාංග අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා සාහිත්‍යාංගයකි.
මිනිසාගේ පරිකල්පනය අවදි කර උසස් මනෝභාවයන් කරා මිනිසාගේ මනස
මෙහෙයවීමට තරම් අපූර්ව බලයක් ගීතය සතුය. එමෙන්ම අවිවේකී මිනිස් සිතට
සැහැල්ලු වින්දනයක් ලබාදීමට ගීතයට ඇත්තේ පුදුම ශක්‍යතාවයකි. එදිනෙදා තම
වැඩකටයුතු කරන අතරවාරයේ තමන්ටත් නොදැනුවත්වම ගීතයක් තම මුවින් පිටවන
අයෙකු සොයාගැනීම අපහසු නොවේ. ඒ තරමටම මිනිසා ගීතය හා බැඳී පවතී. මෙකී
කාරණයේදී ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් තාරුණ්‍යයයි. තාරුණ්‍යය යන පදය සමඟම
සමපාත වන ප්‍රේමය යන අත්දැකීම පාදක කරගනිමින් අද බොහෝ ගීත රචනා
ලියැවෙන්නේ හිසේ කෙස් ගාණටත් ඉහළිනී. නමුත් එකී පදවැල් අරුත්බරද යන්න අද
සමාජයේ විද්වතුන් නගන පැනයකි (Manohari, 2018) . කිසියම් සිදුවීමක්, අවස්ථාවක් හෝ
අත්දැකීමක් පාදක කරගනිමින් අරුත්බර පද වැල් ගොතනවා වෙනුවට කිසිත් තේරුමක්
නැති ඔහේ ගලාගෙන එන වචන යොදමින් කිසිත් හරයක් රසයක් නොමැතිව රැල්ලට
මෙන් කරන ගීත නිර්මාණ නිසා අද සංගීත කර්මාන්තයම විහිළුවක් බවට පත්වී තිබේ.

ප්‍රේමය නම් වූ අත්දැකීම කෙනෙකුට සුන්දරත්වයක් එක් කරන අතරම තවත් කෙනෙකුට
දුකක් ගෙනදෙන්නකි. ආදරය කිරීම, විරහව මෙලොව සැමට පොදුවූ අත්දැකීම් වුවත්
නිර්මාණකරුවන් මෙකී අත්දැකීම් ඉදිරිපත් කිරීමට යොදාගන්නා වර්තමාන ගී පදවැල්
අතීත ගීත නිර්මාණයන් සමඟ සසදා බලන කල ඉතා පැහැදිලි වෙනසක් දැකගත හැකිය.
අතීත නිර්මාණ සමඟ බලන විට වර්තමානයේ ගීතවල ගැබ්වී තිබෙන්නේ තාවකාලික
රසයක් පමණයි. ඒවායින් සදාකාලික රසයක් ලබාගැනීමට හෝ ඕනෑම යුගයකට වලංගු
වන පරිදි පැවැත්මක් ලබා ගැනීමට එවැනි නිර්මාණ වලට පවතින ඉඩකඩ ඉතා විරලය.
අමුවෙන්ම ගීතයේ සෘජු අදහස රසිකයාට ලබා දීම තුළින් වර්තමානයේ ගීත නිර්මාණ
වල වටිනාකම අඩුවී තිබේ. කෙසේ වෙතත් නව පරපුරේ නිර්මාණය කෙරෙන ඇතැම්
ගීත වලට උවමනාවෙන්ම සවන් යොමු කරහොත් ඇත්තටම එය ගීතයක්ද නැතිනම්
කිසියම් තාලයකට කියවූ ඡේදයක්ද යන උභතෝකෝටික ප්‍රශ්ණය කෙනෙකුට පැන
නඟිනු නම් නොඅනුමානයි. වර්තමාන සිංහල ගීතය පිළිබඳව නොයෙක් දෙනා නොයෙක්
විවේචන එල්ල කරති. දශක හතරකට අධික ඉතිහාසයක් ඇති සිංහල ගීත කතාන්දරය
අද වන විට නතර ව ඇත්තේ අමුතුම පරිච්ඡේදයකය. කාලය විසින් හා සමාජයේ ඇති
වූ විවිධ වෙනස්කම් සහ යුග විසින් වරින් වර සිංහල ගීතය තුළට වෙනස්කම් රැසක් සිදු
කළ බව සැබෑය. එහෙත් වර්තමානය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.
අතීතයේ ගේය පද රචකයා ගීතයකට මුසු කළේ සාහිත්‍යමය රසය ය. ඒ බලකායෙහි පෙරමුණ ගත්තෝ
මානවසිංහයන් සේකරයන් ආදීන්ය. අද පවා ඒ ගීත රචනා වල ඇති රසය අප මවිතයට
පත් කරන්නේ ඒ තරමටම ඒ නිර්මාණයන් උසස් අගනාකම් වලින් සමන්විත වූ
හෙයින්ය. ගීත රචකයන් සංගීතවේදීන් මෙන්ම ගායකයන්ද තම තමන්ගේ ගීත කෙරෙහි
දැක්වූයේ අපරිමිත භක්තියකි. ඔවුනට අවැසි වූයේ මොනයම් හෝ සින්දුවක් කියා
මිනිසුන් අතරට යාමට නොව හදේ රැඳෙන හරවත් නිර්මාණයන් බිහි කිරීමය (වසුන්දරා,
2017) . වර්තමානයේ සිංහල ගීතයේ පරිහානියේ ඇරඹුම වන්නේ ප්‍රසිද්ධ වීමේ සහ
ජනප්‍රිය වීමේ අරමුණෙහි ඇති වූ විකෘති විපර්යාසය සමඟය. අද වේදිකාවක නැඟ
ගීතයක් ගායනා කර ජනප්‍රිය වීමට ඕනෑ තරම් අවස්ථා තිබේ. ගුවන්විදුලි මෙන්ම
රූපවාහිනී නාලිකාවන්ද තම නාලිකා වල ශ්‍රාවක ප්‍රේක්ෂක ජනගහනය වැඩි කරගැනීම
සඳහා විවිධාකරයේ රියැලිටි තරඟ පවත්වමින් කාලෙන් කාලෙට විවිධාකාරයේ රියැලිටි
තරු සමාජයට මුදා හරිති. අතීත සුවහසක් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ
ගාන්ධර්වයන්ගේ ගීත ගායනා කරමින් තම හඬට සංගීත ක්ෂේත්‍රයේ ඉඩක් හදා ගනිමින්
කලා ලොවට පිවිසෙන ඇතැමුන් අවසානයේ තමන්ගේම නිර්මාණ එලි දැක්වීම ආරම්භ
කරනවා. මෙහි අවසාන ප්‍රතිපලය නම් වචන ටිකකට සංගීතය යොදා මුදල් වියදම් කොට
අඩ නිරුවත් රූප රචනාවක් කර නිරුවත අලෙවි කිරීමයි. භාව මූලික මාධ්‍යයක් වන
ගීතය, ජනප්‍රියත්වය හඹා යෑමේ අවශ්‍යතාවය උදෙසා භාවිත කිරීම නිසා පුද්ගල චර්යා
හික්මවා තැබිය යුතු රාගය, ක්‍රෝධය වැනි භාවයන් අවුලා තැබීම මත සමාජ
අනාරක්ෂිත බව වැනි අහිතකර ප්‍රතිඵල ඇති වේ. බොහෝ දෙනා රාගය, කාමය ඉස්මතු
කරමින් අසංයමයෙන් රචනා කරන ප්‍රේමය වැනි මාතෘකා, ශෘංගාර රසය වෙනුවෙන්
සුලබව අවභාවිත කරති. නමුත්, ඒ අතර කලාත්මක රසයෙන් පෝෂණය වූ නිර්මාණ ද
වෙති (වීරසිංහ, 2024) . වර්තමානයේ බිහි වන බොහෝ නිර්මාණ වල රූප රචනය පවුලේ
සැමට එකට නැරඹිය නොහැකි මට්ටමට ඒවා වීම අතිශයින්ම කණගාටුදායක කරුණකි.
නිරුවත වුවද කලාවකි. නමුත් එය හරියාකාරව යොදා ගනිමින් නිර්මාණ බිහි කිරීමට
නොහැකි නම් එය යොදා නොගැනීම වඩා වටින්නේය. එසේ නොමැතිව අවශ්‍ය අනවශ්‍ය
සෑම දෙයකටම නිරුවත භාවිතා කිරීම කලා ක්ෂේත්‍රයට පමණක් නොව ඕනෑම
ක්ෂේත්‍රයකට කරන නිගාවකි.

අතීතයේ ගීත පදවැල් අතර ශ්‍රී මහා බෝධියේ සිට සමනොළ මුදුන දක්වාද, මාතෘ පීතෘ
දාරක ස්නේහයේ සිට පෙම්වතුන්, පෙම්වතියන්, සැමියා බිරිඳ අතර සෙනෙහස මෙන්ම
සහෝදර බැඳීම් දක්වාද තේමාවන් විය. අමරදේව ශුරීන්, එච් ආර් ජෝතිපාල, ලතා
වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, නන්දා මාලනී,
සනත් නන්දසිරි යනාදී ප්‍රවීණ ගායක ගායිකාවන් එකී අත්දැකීම් ඉතා හෘදයාංගම ලෙස
රසිකයා අතරට ගෙනයාමට සමත්කම් දැක්වූහ. ඔවුන්ගේ සුමිහිරි ගායනාවන් රසික සිත්
අමන්දානන්දයට පත් කළ බව නොරහසකි. එම ගී පදවැල් වර්තමාන තාරුණයය තුළින්ද
නිරායාසයෙන්ම ගැයෙන්නේ ඒ තරමටම එකී ගී පදවැල් හා ගායනා මිනිස් හද ඇඳබැඳ
ගත් නිසාය (වසුන්දරා, 2017) . එහෙත් අද ඇසෙන සියයට අනූවක පමණ ගීත වල
තේමාව ප්‍රේමය ම පමණි. “ඔයා ගියා, මං තනිවුණා, අපි අපේ වෙමු රත්තරන්, මැරුණත්එක වලේ ඉමු” වැනි බොළඳ වචන වලින් පිරුණු පදවැල් වල එකතුවක් ගීතයක් ලෙස
පිළිගැනීමට වර්තමාන තරුණ ප්‍රජාව පවා සුදානම් වී සිටීම නිසා එහෙන් මෙහෙන් ඇමිණු
වචන වලින් හිතුමතේට ගීත නිර්මාණ බිහි වීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ.
සාවධානව එවැනි ගීතයක් අසාගෙන සිටියහොත් එවන් පදවැලක් දෙබසකට හෝ
ලිපියකට පමණක් යොදා ගැනීමට සුදුසු ඒවා බව වටහා ගත හැකිය. ඒවායේ තේමාවන්
වෙනස් කරනුයේ පද රචනාව හෝ සංගීතය විසින් නොව රූප රචනාව විසින්මය. ඒ
අතරම ඇතැම් ගීත සහ ඒවායේ රූප රචනය අතර කිසිදු සහ සම්බන්ධයක් පවා නැත.

ගීතයට මේ යැයි කිව හැකි නිශ්චිත භාෂාවක් නැත. නමුදු යොදාගන්නා පද සංඝටනය
තුළින් ගීතයට මනරම් භාෂාවක් ගොඩනැගේ. නමුත් පැරණි ගීතයේ වදන් වැල් සහෘද
අභ්‍යන්තරය කැලඹවීමට උත්සාහ කරයි. ගීතයේ නාදවැල් සහෘදයා අපූර්ව වූ
ලෝකයකට ගෙනයාමට සමත්කම් දක්වයි. කලාවට හෝ ගීතයකට සිදුකළ හැකි
ආශ්චර්යය එයයි. මෑත කාලීනව බිහිවන ගීත රචනා බොහෝමයක දැකගත හැකිවන්නේ
ඒකාකාරී වදන් මාලාවකි. එම පද තුළ නිසියාකාර භාව ප්‍රබෝධයක් නැත. බොහෝ
ගායකයින් ගීතය ගායනා කරන්නේ විලාපයක් මෙනි. එකී විලාපය රසිකයාගේ දුක තුනී
කරනු වෙනුවට රසිකයාගේ සිත තවත් චංචල කරයි. විලාපකාරී ගායනාවන් රසික සිත්
අමන්දානන්දයට පත් කරනු වෙනුවට තරුණ සිත් තුළ නොසන්සුන්තාවයක් ඇති කරයි.
කෙසේ වෙතත් ගීතයේ භාවාතීශමය හැඟුමන් පුබුදුවනු විනා තාවකාලික වින්දනයක්
සඳහා තරුණ්‍යය එම ගීත වැළඳගෙන හමාර බව අමුතුවෙන් කිව යුතු නැත (Manohari,
2018) . වර්තමාන ගී සාහිත්‍යය දෙස අවධානය යොමු කිරීමේදී එවන් ආශ්චර්යයක්
දැකගත හැකිවන්නේදැයි සැක සිතෙන තරමටම ගීතය නම් වූ ගී කලාව පිරිහී තිබෙන
බව මාගේ හැඟීමයි. නමුත් උසස් යැයි රසවින්දනයක් ගෙනඑන ගීතද මේ අතර
නැත්තේද නොවේ. වාණිජ අරමුණු ඉටුකර ගැනීම හා ජනප්‍රියත්වය නම් පටු අරමුණු
හමුවේ ගීතයේ අරුත්බර රසාලිප්තභාවය පහළ මට්ටමකට පත්වී ඇත. නූතන ගීත වල
නාදමාලාවන් ඉතා ආකර්ශනීය ස්වභාවයක් ගනී. නමුත් ගීත වල අරුත්බරභාවයක් නම්
දැකගැනීම දුෂ්කරය. යුගයේ අවාසනාවටදෝ අද වන විට එවන් සුන්දර ගී සාහිත්‍යයක්
අප සමාජය තුළින් දැකගත නොහැක. රසවින්දනය මුදලට විකිණෙන තත්ත්වයකට
පත්වීම නම් සැබවින්ම යුගයේ අවාසනාවකි. තරුණ පරපුර නූතන ගීතය හමුවේ
ආනන්දයෙන් ප්‍රඥාවට යනු විනා මෝහයට පත්වෙමින් මංමුළා වී කටයුතු කිරීම සමස්ත
ජාතියේ ඉරණම පෙන්නුම් කරන කලු එළියකි.

අද සංගීත කලාව හැකියාවටත් වඩා තාක්ෂණය මත යැපෙන එකකි. ගීතයක් ගයන්නට
නොහැකි වුවත් කෑලි පුරුද්දා ගායකයෙක් වන්නට මුදල් අතේ ඇති කෙනෙකුට ඉතාම
පහසු කාරණයකි. විශ්වයම තනි යායක් තරමට දැනෙන සේ තාක්ෂණික පෙරළියක් සිදුව
ඇති යුගයක, මේ තාක්ෂණ ක්‍රමවේද වලින් බැහැරව ඉන්නට අපේ කුඩා රටට
හැකියාවක් නැත. එහෙත් තාක්ෂණය යොදාගත යුත්තේ නොහැකියාවේ හෙළුව වසා
ගැනීමට නොව හැකියාවේ මායිම් වර්ධනය උදෙසාය. අවාසනාවකට ලංකාවේදී
තාක්ෂණය වැඩිපුරම යොදාගන්නේ නොහැකියාව වෙනුවෙනි. සෘතියකට ගයනු තබා සෘතිය යනු කුමක්දැයි නොදන්නා අය පවා අද ගායකයන් වී සිටිති (කොලුවා, 2014) . 20
වන දශකයේ කලා ක්ෂේත්‍රයේ තත්ත්වය මෙලෙස නම් මින් මතුවට පිබිදෙන පරම්පරා
වලට කෙබඳු ඉරණමකට මුහුණ දීමට සිදුවේදැයි ප්‍රශ්නාර්ථයකි. කවරාකාරයේ නිර්මාණ
බිහි වුවත් අතීත කලා කෘති යටපත් කිරීමට හෝ ඒවා සමාජයෙන් දුරස් කිරීමට
කිසිවෙකුට මේ වන තෙක් හැකිවී නැත. වත්මන් ගී පරපුර තුළ බිහිවන ඇතැම් නීරස
ගීත නිර්මාණ නිසා ඉතා අග්‍රගණ්‍ය ගීත නිර්මාණ බිහි කරන අතලොස්සට පවා එය
මහත් අපහාසයකි. ඇත්තෙන්ම වත්මන් ගී පරපුර තුළ ඉතා අලංකාර ශ්‍රාවක සිත් සතන්
වසඟයට අමන්දානන්දයට පත් කල හැකි මට්ටමේ නිර්මාණ බිහි කරන කාලාකරුවන්
කිහිප දෙනෙක්ම සිටිති. ඔවුන්ගේ නිර්මාණ වල අතීතයේ නමක් දිනා සිටි
කලාකරුවන්ගේ නිර්මාණ වල මෙන්ම භාවමය රසයක් ගැබ් වී තිබේ. එවැන්නන්
අතලොස්සක් හෝ සිටීම අප සතු භාග්‍යකි. හුදෙක් බිහිවන ගීත මෙන් විලාපයක් හෝ
මළගමක් නොව ඔවුන්ගේ නිර්මාණ වල ඓතිහාසික සිදුවීම්, චරිත කතා, ප්‍රේමණීය
සිදුවීම් මෙන්ම ලෞකික ලෝකෝත්තර අවස්ථා ඉතා සුක්ෂම අයුරින් ගී පදවැල් වල
අමුණා තිබේ. අමුතුම භාවමය රසයක් ඒවායේ ගැබ්කර තිබෙන අතර ගීතයට සවන්
දෙමින් එහි කැටි කර තිබෙන කතාන්දරය සිදුවීම් මාලාව චිත්‍රපටයක් සේ මනසේ
චිත්‍රණය කරගනමින් එය උපරිමයෙන් රසවිදීමට හැකිවන පරිදි ඔවුන් ගීත නිර්මාණය
කර තිබේ. ඇත්තෙන්ම වත්මන් කලා ලොව තුළ එවැනි නිර්මාණ බිහි වීම ඉතාමත්
වාසනාවකි. එමගින් පිරිහෙමින් පවතින සමාජ සන්දර්භය තුළ එවැනි නිර්මාණ හරහා
තාරුණ්‍යට සමාජ පණිවිඩයක් දීමට හෝ හැකියාව ලැබේ. තාවකාලික තෘප්තියක්
ලැබෙන දමලා ගහන්නා සේ වචන කියලා දාන ගීතයකට වඩා උපමා උපමේය අලංකරණ
වලින් සමන්විත ගීත නිර්මාණ වල පැවැත්ම සදාකාලික වේ. ඕනෑම යුගයකට
පරම්පරාවකට වලංගු වන අන්දමේ ශ්‍රාවක හදවතේ රැඳෙන නිර්මාණ බිහි කිරීම සුවිටි
කෙල්ලන් දැලේ දා ගන්නවට, චාටු බස් කොදුරනවට, මැණික රත්තරන් චොකලට් කෑල්ල
කියනවට වඩා විශාල වෘත්තීමය ක්‍රියාදාමයක් වන බව මගේ විශ්වාසයයි.
Sources:
Manohari, K. (2018). වර්තමාන ගීතය හා තරුණ පරපුර. කල්පනා අසපුව.
http://kasunimanohari.blogspot.com/2018/06/blog-post.html
Rathnayaka, M., & කාලිංගකපිල කුමාර. (2021). සංගීතය නොහඳුනන ගීත රසිකයෝ. Life Traveler.
https://www.lifetraveler.lk/2021/05/10/music/
කොලුවාසිරා. (2014). ලංකාවේ වර්තමාන ගීතය නපුංසකද ? Sirage Kamare.
http://siragekamare.blogspot.com/2014/08/blog-post_26.html
ජයකොඩිඅනීෂා. (2020). වර්තමාන ගීත කලාව වෙනස් විය යුත්තේ ඇයි? Dinamina.Lk.
https://archives1.dinamina.lk/2020/12/26/විශේෂාංග/111971/ වර්තමාන-ගීත-කලාව-වෙනස්-
විය-යුත්තේ-ඇයි
වසුන්දරාඅමාලි. (2017). වර්තමාන සිංහල ගීතය. ගීයක අරුත විඳිමු… http://geeyaka-
arutha.blogspot.com/p/blog-page_27.html
වීරසිංහනදීෂා. (2024). නූතන ගීත පද රචනා සහ ජනප්‍රියත්වය. වචන.Lk.
https://wachana.lk/others/others/180/