
ඉන්දු භාරතීය දෘෂ්ටිවාද අනුව විවිධ ඉගැන්වීම් දෙසැටකින් යුතු වූ බව බ්‍රහ්මජාල ආදී සූත්‍ර නයින් පහදා ගත හැකිය .පුද්ගලයා සතුව වෙනස් වන හා නොවන යමක් ඇති බව ඉගැන් වූ අතර එය ආත්ම නමින් ප්‍රචලිත විය.බ්‍රාහ්මණ සභ්‍යත්වයට අනුව ඊශ්වරයා විසින් මවන ලද ආත්ම වාදයක් පුද්ගලයා සතුව ඇත .එය ඉස්සර නිම්මාණවාදය ලෙස හඳුන්වා ඇත.මරණයෙන් පසුව සර්ව බලධාරී මැවුම්වාදී දෙවියන්ගේ කැමැත්ත අනුව ස්වර්ගයෙහි හෝ නිරයෙහි උපත ලබයි.මේ තුළින් ගම්‍ය වනුයේ පුද්ගලයා තුළ කිසි අයුරකින් වෙනස් නොවන අවිපරිණාමිය ආත්මයක් ඇති බවයි.එමෙන්ම ඇතම් ශ්‍රමණයෝ ආත්මය හා ශරීරය (තං ජීවං තං සරීරං) යනුවෙන් උච්ඡේවාදය පැනවූහ.එමෙන්ම ශරීරය හා ආත්මය දෙකක්(අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං) යනුවෙන් ශාස්වතවාදය ද පැනවූහ.සැබවින්ම මේ දෘෂ්ටි මතවාදයන්ට නතු වීමට හේතුව වනුයේ සත්ත්වයා පිළිබඳ ඉන්ද්‍රිය හා අතීන්ද්‍රිය අනුභූතියෙන් ඉදිරිපත් කරන ලද ආත්මවාදි ප්‍රවණතාවයයි.බුද දහමේ මූලික අරමුණ වනුයේ,ආත්ම හෙවත් සදාකාලිකව පරිණාමය,වන හේා නොවන යමක් සත්වයා තුළ පවතීය යන සාවද්‍යය දෘෂ්ටිය බැහැර කිරීමය.ඒ සඳහා උපයෝගි කරගනුයේ පරාමාර්ථ විශ්ලේණයයි.
බුදු දහමේ පරමාර්ථ ධර්ම විග්‍රහය
බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව මූලාශ්‍රය නයින් අධ්‍යයනය කරන විට දෙපරිද්දෙකින් විග්‍රහ කෙරේ.එනම් නීයත්ථ හා නීතත්ථ යනුවෙනි.වෙනත් අයුරකින් පැවැසුවහොත් සම්මුති හා පරමාර්ථ සත්‍යය යනුවෙනි. සංයුත්ත නිකායට්ඨ කථාව වන සාරත්ථප්පකාසිනියේ බුද්ධ දේශනාව දෙපරිද්දකින් සිදුවන බව දක්වා, එම කොටස් දෙක මෙසේ විස්තර කර ඇත.
“දුවෙ සච්චානි අක්ඛාසි
සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච
තතියං නූපලබ්භති”
දහම් දෙසන්න වුන් අතරින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සත්‍ය දෙකක්ම වදාරති. තෙවැනි සත්‍යයක් මෙහි කිසි ලෙසකින් වත් නොලැබෙයි.එහි දෙවැනි අටුවා පාඨය තුළින් එම සම්මුති හා පරමාර්ථයන්ගේ ස්වභාවය මෙසේ දක්වා ඇත.
“සංකෙත වචනං සච්චං
ලෝක සම්මුති කාරණා
පරමත්ථ වචනං සච්චං
ධම්මානං භූත ලක්‍ඛණා”
ලෝක සම්මුතිය නිසා සංකේතාත්මකව පැවසෙන සම්මුතිය සත්‍යය වේ. ධර්මයන්ගේ ඇති තතු පවසන හෙයින් පරමාර්ථ වචනයද සත්‍යය වේ.මේ අනුව බුද්ධ දේශනාව කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය.
1. සම්මුති සත්‍ය දේශනාව
එහි සත්ත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති සත්‍ය දේශනාවයි…
2. පරමාර්ථ සත්‍ය දේශනාව
ස්කන්ධ ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ සත්‍ය දේශනාවයි. පරමාර්ථ දේශනාව සිදුකිරීමේ දී සම්මුතිය අත්නොහැර ම එම දේශනාව පැවැත්වීම බුදුවරුන්ගේ සිරිතයි. උන්වහන්සේ සම්මුති සත්‍ය දේශනාව සිදු කළත්, පරමාර්ථ සත්‍ය දේශනාව සිදු කළත් එකම සත්‍යයක් ම දේශනා කරති.සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේ එන බුද්ධ දේශනාත් විනය පිටකයේ එන විනය ප්‍රඥප්ති දේශනාත් සම්මුති සත්‍යයෙන් පැවැත් වූ බුද්ධ දේශනා ලෙස සලකනු ලැබේ. අභිධර්ම පිටකය පරමාර්ථ දේශනාවක් ලෙසින් සලකනු ලැබේ. එය නිෂ්පුද්ගල දේශනාවකි. මෙසේ සලකනු ලැබූවත් සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් සමහර තැනකදී පරමාර්ථ දේශනා අපට හමුවේ.
1-ස්ඛන්ධ විභාගය
2-ධාතු විභාගය
3-ආයතන විභාග
ආදී ලෙසිනි . තවද නිකාය ග්‍රන්ථයන්හි මෙම දේශනා දෙකම ඇතුළත් සූත්‍ර ධර්ම ඇති බව පෙනී යන කරුණකි.එය පොදුවේ නාම රුප විභාගය යැයි කියමු.සූත්‍ර පිටකයේ එන මෙම පරමාර්ථ විශ්ලේෂණය තුළින් පැහැදිළි වන්නේ ආත්මවාදි අදහස්වලින් ශ්‍රාවක ජනතාව මුදවා ගැනීමට උපායමාත්‍ර වශයෙන් භාවිත කරන්නට ඇති බවයි.පසු යුගය වන විට වන විට මේ පරමාර්ථ ධර්ම නිෂ්පුද්ගල දේශනාවක් ලෙස අභිධර්මය තුළ පරමාර්ථ විශ්ලේෂණයක් බවට පරිවර්තනය වී ඇති බව වියත් මතයයි.එමෙන්ම අටුවා යුගයේදී මෙම ධම්ම නාමයෙන් ව්‍යවහාර වී ඇත.(එත්ථ සබ්බෙ ධම්මා නාම,පඤ්චක්ඛන්ධා ,ද්වාදස ආයතනානි,අට්ඨාරසධාතුයෝ …)මෙහි සියලු ධම්ම නම් පඤ්චක්ඛන්ධ,ද්වාදස ආයතන ,අට්ඨාරස ධාතු ආදි ලෙසිනි.
සම්මුති වශයෙන් ලෝකයේ විවිධ සත්තු සිටිති. ගහ කොළ විවිධ නගර, ගම් නියම් ගම් පවතියි. සංඥා නාම පවතියි. එය සමාජය පිළිගත් සම්මුතීන් ය. නමුත් පරමාර්ථ සත්‍ය වශයෙන් ගත් විට, ලොව පවතිනුයේ ස්කන්ධ සමූහයකි. අභිධර්මයෙහි සත්වයෙක් පුද්ගලයෙක් පිළිබඳ නොපැවසෙයි. “සම්මුති” යන පාලි වචනයේ අර්ථ කිහිපයක් ම ඇති බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ පෙන්වා දෙති.පිළිගැන්ම, නියමය, සම්මතය, ප්‍රකාශය, ව්‍යවහාරය, යන එම අර්ථ ය. ලෝක පිළිගැනීම හා සම්මතය අනුව සත්වයෝ පුද්ගලයෝ සිටිති. නමුත් පරමාර්ථ වශයෙන් එබන්දෝ නොසිටිති පරමාර්ථ සත්‍යය යටතේ විග්‍රහ කරනුයේ ලෝකයේ යථා ස්වභාවයයි .සත්‍ය වශයෙන් ම ඇති තත්ත්වයයි. මෙලොව පවතිනුයේ ස්කන්ධ පංචකයක් බව පරමාර්ථ දේශනාවෙහි පැවසෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ පැවැත්ම, සම්මුතිය යටතේ ‘සත්වයා’ පුද්ගලයා ලෙස වහරනු ලැබේ.සම්මුති පරමාර්ථයෝ පටිච්ච සමුප්පාදය,චතුරාර්‍යය සත්‍යය අනුව මෙන්ම ත්‍රිලක්ෂණානුකූලව ,ශූන්‍යත්වය,නිස්සත්ත නිජ්ජිව ආදී ස්වභාවයන්ගෙන් විශ්ලේෂණය අනුව විග්‍රහ කොට ඇත.
1.1 – පඤ්චස්ඛන්ධ විභාගය
නාම රූපය අර්ථ දක්වන ප්‍රධානතම ක්‍රමයක් වනුයේ ස්ඛන්ධ භේදයයි. එහිදී රූපය ලෙස සතර මහාධාතු හා උපාදාය රූපයත් නාමය ලෙස වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ විග්‍රහ කිරීමත් සිදුවේ. කලහ විවාද සූත්‍රයේ දක්නට ලැබෙන
සත්ත්වයා යනු නාම රුප ධර්මතාවයන්ගේ එකතුවකි.වෙනත් අයුරකින් පැවසුවහොත් පඤ්චස්ඛන්ධයම යනු සත්ත්වයායි.සම්මුතිය තුළදි මිනිසා ,ස්ත්‍රිය,පුරුෂයා, කමලා ,දෙවියා,බල්ලා ආදි නයින් ලෝක සඤ්ජානනය සිදු වූවද පරමාර්ථ වශයෙන් නාම රුප සංයෝජනයෙන් යුතු වූවකි.එහි එක් විශ්ලේෂි න්‍යායක් වනුයේ පඤ්චස්ඛන්ධ විභාගයයි.සත්ත්වයා යන ලෝක ව්‍යවහාරය බෙදාගත් කළ රාශි පහකින් යුතු වේ.එය ස්ඛන්ධ න්‍යායයි.එනම්,
1-රුපස්ඛන්ධය
2-වෙදනාස්ඛන්ධය
3-සඤ්ඤාස්ඛන්ධය
4-සංඛාරස්ඛන්ධය
5-විඤ්ඤාණස්කන්ධය
යනුවෙනි.තවද මෙම පඤ්චස්ඛන්ධ න්‍යාය මූලාශ්‍ර අනුව විමසීමේදි වැදගත් කරුණු රාශියක් සපයා ගත හැකිය.ඛන්ධ යනු ගොඩ ,රාශි යන අරුත් ලබා දේ.බුදු දහමෙහි ත්‍රිලක්ෂණානුභුතව හා අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් වෙනස් වන සුලු ඛන්ධ නමින් හැඳින්වෙන රාශි හෙවත් ගොඩවල් උක්ත සඳහන් කළ පරිදි බෙදා දැක්වෙයි.එම පඤ්චස්ඛන්ධය එක් එක් වශයෙන් බෙදා වෙන්කොට විමසීම ස්ඛන්ධයන් පිළබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට අවැසි වනු ඇත.
රූපස්ඛන්ධය
රුපස්ඛන්ධය තුළින් භෞතික අංශය නියෝජනය කෙරේ.සතර මහාභූතයන් හා ඒවා ඇසුරුකොට පවත්නා අභිධර්මයේ උපාදාය රූප සූවිස්සත් අන්තර්ගතව රූපස්ඛන්ධය ලෙස විග්‍රහ කෙරේ.රූපස්ඛන්ධය පිළිබඳ දක්වා ඇති සූත්‍ර අතරින් වැදගත් සූත්‍රයක් ලෙස සංයුත්ත නිකායේ ඛන්ධ සූතුර දැක්විය හැකිය.එහිදි,
“යං කිඤ්චි භික්ඛවේ රුපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තංවා බහිද්දං වාඕලාරිකං වා සුඛුමංවා,හීනං වා පණීතංවා යංදූරේ වා සන්තිකෙවා අයං වුච්චති රුපක්ඛන්ධො”
(සං.නි.ඛන්ධ සූත්‍රය ,84 පිට ,බු.ජ.මු)
මෙම සූත්‍රයට අනුව රූපස්ඛන්ධය අතීතානාගත හා පච්චුප්පන්න වශයෙන් බෙදා දක්වයි.එමෙන්ම සාපේක්ෂතායෙන් යුතුව කරුණු අටක් යුගල පද වශයෙන් විස්තර කොට ඇත.මෙහි අභ්‍යන්තර (අජ්ඣත්තික)රූප ලෙස හඳුන්වනුයේ තම භෞතික කය හා සම්බන්ධ රූපයයි.භෞතික කයට ප්‍රතිබද්ධ නොවූ සර්ව රූපයෝ බාහිර(බහිද්ධ) රූප වශයෙන් හැඳින්වේ.එමෙන්ම පඤ්ච ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප ඕලාරික (ඕලාරික) රූප වශයෙන්ද,පසිඳුරන්ට ගොචර නොවන සියුම් රූප සුඛුම(සුඛුම) රූප වශයෙන්,උප්පත්ති ලෝකවල වල උසස් පහත් වශයෙන් හා පඤ්ච ඉන්ද්‍රියන්ට ගෝචර වන උසස් පහත් රූප හීන ප්‍රණීත(හීනං වා පණීතංවා) රූපයෝ නමි.ආවසානික ලෙස දුර ඇති(යං දූරේ සන්තිකේ) රූප වශයෙන් බෙදා දැක්වේ.මෙම රූපයන්ගේ පරමාර්ථ ස්වභාවය නම් සතර මහා භූතයන්ගෙ හා අභිධර්මයේ උපාදාය රූප තුළින් සම්න්විත වේ.සතරමහා භූතයන්ගේ ස්වභාවය විමසන කළ පඨවි ආපෝ තෙජෝ යන සතර ධාතුන්ගේ ස්වභාවය විමසීම අතිශයින් වැදගත් ඇතයි මඤ්ඤනා කරමි.
පඨවි ධාතුව – මෘදු බව,තද බව,රළු බව ලක්ෂණ කොට පවත්නා ධර්මතාවයකි.භෞතික කයෙහි මේ ස්භාවය කොට ඇති කරුණු මේ තුළ විස්තර කෙරේ.පඨවි ධාතුවෙහි ස්වභාවය විසීමේදි ම.නි මහා හත්ථිපදෝපම සූතුරෙහි වැදගත් උදෘතයක් උපුටාගත හැකිය.එනම්,
“කතමා චාවුසො පඨවීධාතු: පඨවීධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ‍්ඣත‍්තිකා පඨවීධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං: සෙය්‍යථිදං – කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරු අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජං වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං, අයං වුච‍්චතාවුසො, අජ‍්ඣත‍්තිකා පඨවීධාතු.යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා පඨවීධාතු, යා ච බාහිරා පඨවීධාතු, පඨවීධාතුරෙවෙසා.”
(ම.නි(02).මහාහත්ථිපදොපම සූත්‍රය,448-449 පිටු,බු.ජ.මු)
ඇවැත්නි, පෘථිවිධාතුව කවරේ ද? පෘථිවිධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික පෘථිවිධාතුව කවරේ ද? තමා පිළිබඳ තමා නිසා පවත්නා තද වූ පරුෂ වූ සතර මහාභූතයන්ගෙන් හටගත් යම් ද්‍රව්‍යයක් වේද, එනම් – කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත්, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, මල යන මේ ද, තමා තුළ වූ කර්‍කශ වූ තද වූ මහාභූතයන් නිසා හටගත් අන්‍ය වූ යම් කිසිවකුත් වේ ද, ඇවැත්නි, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුව යයි කියනු ලැබේ.යම් මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් වේ ද, යම් බාහිර පෘථිවිධාතුවක් වේ ද, ඒ සියල්ල පෘථිවිධාතු ම ය.
ආපෝ ධාතුව-වැගිරෙන ස්වභාවය ආපො ධාතුවෙහි ලක්ෂණයයි.එහෙයින් වැගිරෙන ගතියෙන් යුතු ද්‍රව හෝ ද්‍රව බවට පත් වූ යමක් ඇතිනම්ආපෝ ධාතුව බහලුත්වය හේතුවෙන් ආපෝ වශයෙන් හැඳින්වේ.අපෝ ධාතුව පිළිබඳ මහාහත්ථිපදොපම සුතුරෙහි දක්වා ඇත්තේ,
“කතමා චාවුසො ආපොධාතු? ආපොධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ‍්ඣත‍්තිකා ආපොධාතු? යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොනතං උපාදින‍්නං: සෙය්‍යථිදං – පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තං, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං උපාදින‍්නං – අයං වුච‍්චතාවුසො අජ‍්ඣත‍්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු ආපොධාතුරෙවෙසා”
(ම.නි(02).මහාහත්ථිපදොපම සූත්‍රය,452-453 පිටු,බු.ජ.මු)
ආපොධාතුව කවරේද? ආපොධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික ආපොධාතුව කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ භූතයන් නිසා හටගත් යම් (ආබන්ධන ලක්‍ෂණ) ආපයෙක් ආපොගතයෙක්වේ ද – ඒ මෙසේ ය: පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිඳුල, මුත්‍ර, යන මොහු ය. තමා තුළ පිහිටි ආබන්ධන ලක්‍ෂණ වූ ආපො බවට ගිය මහාභූතයන් නිසා හටගත් යම් අන්කිසිවකුත් වේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික ආපොධාතුවය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ අජ්ඣත්තික ආපොධාතුවක් වේ ද, යම් මේ බාහිර ආපොධාතුවකුත් වේ ද, මේ සියල්ල ආපොධාතු ම ය.
තේජෝ ධාතුව-උණුසුම් ස්වභාවය,දැවෙනගතිය,සිහිල් බව හා පැසවන (පරිපාචන) දෙය තේජෝ ධාතුවයි.එයද ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් දෙයාකාර වේ.
කතමා චාවුසො, තෙජොධාතු? තෙජොධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ‍්ඣත‍්තිකා තෙජොධාතු? යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං – සෙය්‍යථිදං: යෙන ච සන‍්තප‍්පති, යෙන ච ජරීයති, යෙන ච පරිඩය‍්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති, යං වා
පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං – අයං වුච‍්චතාවුසො අජ‍්ඣත‍්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තෙජොධාතුරෙවෙසා.
(ම.නි(02).මහාහත්ථිපදොපම සූත්‍රය,454-455 පිටු,බු.ජ.මු)
ඇවැත්නි, තේජොධාතුව කවර? තේජොධාතුව අජ්ඣත්තික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, අජ්ඣත්තික තේජොධාතුව කවර? තමා පිළිබඳ තේජස වූ තේජස් බවට ගියා වූ (මම ය මාගේ යයි) තරව ගන්නා ලද යමක් වේ ද – එනම්, යමෙකින් තැවේ ද, යමෙකින් දිරා ද, යමෙකින් දැවේ ද, අනුභව කරන ලද, පානය කරන ලද කඩා කන ලද රස විඳින ලද දේ යමෙකින් මැනවින් පැසීවීමට යේ ද, එයින් අන්‍ය වූ ද තමා නිසා පවත්නා වූ තේජස වූ තේජස බවට ගියා වූ තරව ගන්නා ලද්දා වූ යම් සිවකුත් වේ ද – ඇවැත්නි, මෙය ආධ්‍යාත්මික තේජෝධතුව යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ ආධ්‍යාත්මික තේජොධාතුව ක් වේ ද, යම් බාහිර තේජොධාතුවක් වේ ද, එය තේජෝධාතු ම ය.
වායෝ ධාතුව-අභ්‍යන්තර භෞතික ශරීරයෙහි හෝ බාහිරයෙහි හෝ සැලෙන ගතිය,පිපිපෙන(විත්ථම්භන) ගතිය වායො ධාතුව නමි.මූලාශ්‍රය විමසන කළ වායෝ ධාතුවෙහි ස්වභාවය මෙසේ දක්වා ඇත.
“”කතමා චාවුසො වායොධාතු? වායොධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ‍්ඣත‍්තිකා වායොධාතු? යං අජ‍්ඣත‍්තං, පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං – සෙය්‍යථිදං: උද‍්ධඞ‍්ගමා වාතා, අධොගමා වාතා, කුච‍්ඡිසයා වාතා, කොට‍්ඨසයා වාතා, අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා, අස‍්සාසො පස‍්සාසො ඉති වා, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං – අයං වුච‍්චතාවුසො අජ‍්ඣත‍්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු වායොධාතුරෙවෙසා”
(ම.නි(02).මහාහත්ථිපදොපම සූත්‍රය,456-457 පිටු,බු.ජ.මු)
ඇවැත්නි, වායෝධාතු කවර? ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර ද වායෝ ධාතුවත් ඇත. ඇවැත්නි, අජ්ඣත්තික වායෝධාතුව කවර? තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභායට ගියා වූ මහා භූතයන් නිසා හටගත්තා වූ යමක් වේ ද – එනම්: තැලිනැගීම් හික්කා ආදිය පවත්වන, උඩට නගින වාතයෝ ද, මල මූ ආදිය පවත්වන යට බස්නා වාතයෝ ද, අතුනු පිටත පවත්නා වාතයෝ ද, අතුනු තුළ පවත්නා වාතයෝ ද, අඟ පසඟ හැසිරෙන වාතයෝ ද ආශ්වාසය, ප්‍රශ්වාසය යන වාතයෝ ද මෙයින් අන්‍ය වූ තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභාවයට ගියා වූ භූතයන් නිසා හටගත්තා වූ යම්කිසිවකුත් වේ ද – ඇවැත්නි, මෙය අජ්ඣත්තික වායෝධාතු ය යි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝ ධාතුවක් වේ ද, මේ වායොධාතු ම ය.මේ අයුරින් රූපස්ඛන්ධයෙහි ස්වභාවය පැහැළි කර ගත හැකිය.
රූපස්ඛන්ධය තුළ සමස්ථ භෞතිකයම නියෝජනය කෙරේ.එය උක්ත ඛන්ධ සූත්‍රය තුළ දැක්වූවා සේ ත්‍රිත්ව කාල වශයෙන්ද,ආධ්‍යාත්මික බාහිර වශයෙන්ද ත්‍රිලක්ෂණානුභුත වේ.
වේදනා ස්ඛන්ධය
ද්විතීය ස්ඛන්ධය වනුයේ වේදනාස්ඛන්ධයයි.වින්දනය ස්වභාවය කොට ඇති සර්ව අවස්ථා වේදනාස්ඛන්ධයට ඇතුළත් වේ.මෙයින් ගම්‍යය කරණුයේ අරමුණුවල රස විඳීමයි .
“වෙදයතීති ඛො භික්ඛවෙ භික්ඛවෙ වෙදනාති වුච්චති.”
(සං.නි .ඛජ්ජනිය සුත්ත(03),150 පිට,බු.ජ.මු)
වින්දනය කිරීමේ හැකියාව මත වේදනාව යැයි කියනු ලැබේ.ඒ සඳහා මුල් වනුයේ ෂඩායතන මුල් කොට ඇති පටිච්ච සමුප්පන්න වූ ස්පර්ශයයි.වේදනාව විවිධ විභජනයන් ඔස්සේ දක්වා තිබුනද ,එහි මූලික බෙදීම් තුනකි.
“තිස්සො ඉමා භික්ඛු වෙදනා වුත්තා මයා සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා”
(සං.නි.04.රහොගත සූත්‍රය ,412 පිට,බු:ජ:මු;)
මහණෙනි වේදනාව තෙවැදෑරුම් යැයි මවිසින් ලද්දේය.
සුඛාවෙදනා
දුක්ඛා වෙදනා
අදුක්ඛමසුඛ
යනුවෙනි.මෙම වේදනාව ද අතීත අනාගත හා පච්චුප්පන්න යනුවෙන් තෙවදෑරුම් වන අතර සළායතන ප්‍රත්‍යය කොට පවතී(ඵස්ස සමුදයා වෙදනා සමුදයො).ඇසෙහි සංස්පර්ශයෙන් හටගන්නා වේදනාව,කනෙහි සංස්පර්ශයෙන් හටගන්නා වේදනාව,නාසයෙහි සංස්පර්ශයෙන් හටගන්නා වේදනාව,දිවෙහි සංස්පර්ශයෙන් හටගන්නා වේදනාව,කයෙහි සංස්පර්ශයෙන් හටගන්නා වේදනාව,මනසට ගෝචර වන ධර්මයන්ගේ සංස්පර්ශයෙන් හටගන්නා වේදනාව යනුවෙනි.එම වේදනාවද අනිත්‍යය (වේදනා අනිච්චා).දුක්ඛය(වෙදනා දුක්ඛා) .අනාත්මය(වෙදනා අනත්තා) යනුවෙන් ත්‍රිලක්ෂණානුභුත වේ.
සඤ්ඤා ස්ඛන්ධය
සඤ්ඤා යන පදයෙන් හැඳිනීම,සංජානනය යන අර්ථය දෙයි.මධුපිණ්ඩික සූත්‍රයෙහි හා මහා වේදල්ල සූත්‍රයෙහි විස්තර වන ආකාරයට ඉහත අර්ථය ගෙන දෙන බව ප්‍රකට වේ.
සඤජානාති සඤ්ජානාති ඛො ආවුසො තස්මා සඤඤාති වුච්චති.
(ම.නි.මහාවේදල්ල සූත්‍රය ,688 පිට,බු.ජ. මු)
හඳුනා ගිනියි හඳුනා ගනියි යන අරුතෙන් සඤ්ඤා නම් වන බවත් එසේ හඳුනාගන්නේ මොනවාද යන්නත් විස්තර කෙරේ,නිල් පැහැය ද,කසා පැහැය ද,රතු පැහැයද,සුදු පැහැය ද(නීලකම්පි සඤ්ජානාති) හඳුනන්නේය යනුවෙනි.ආධ්‍යාත්මික හා බාහිර ආයතනයන්ගේ ස්පර්ශය මුල් කොටගෙන සඤ්ඤාව හටගනී(ඵස්ස සමුදයො සඤ්ඤා සමුදයො)ඒ අතීත අනාගත හා පච්චුප්පන්න වශයෙන් මෙන්ම සළායතන ප්‍රත්‍යය කොට පවතින්නකි.සංයුත්ත නිකායේ උපාදාන පරිවත්ත සූත්‍රයෙහි සයකාර වූ සඤ්ඤා විස්තරකොට ඇත.
ඇසට අදාළ රූප සඤ්ඤාය,කනට අදාළ ශබ්ධ සඤ්ඤාය ,නහයට ප්‍රත්‍යය ගන්ධ සඤ්ඤාය,දිවට ප්‍රත්‍යය රස සඤ්ඤාය,ශරීරයට ප්‍රත්‍යය ස්පර්ශ සඤ්ඤාය,මනසට ප්‍රත්‍යය ධම්ම සඤ්ඤාය.ලෝකය හඳුනාගනුයේ මෙම සඤ්ඤා ස්ඛන්ධය මතය.
සංඛාර ස්කන්ධය
සංඛාර යනු සංචේතනනයි .චිත්ත චෛතසික මෙම සංස්ඛාරස්ඛන්ධය තුළ විග්‍රහ කෙරේ.රාග මූලික සිත,දොස මූලික සිත,මෝහ මූලික සිත,පුද්ගල කායික වාචසික හා මානසික ක්‍රියාවන් සඳහා හේතුවන අභිජ්ඣා විසම ලොභ,ව්‍යාපාද,ථම්භය,මදය,ඉස්සා ,මච්ඡරිය,… ආදි චිත්තේාපක්ලේශ මේ සංස්ඛාරක්ඛන්ධය තුළ විග්‍රහ කොට ඇත. සංස්කාර යන වදන පෙළදහමෙහි පඤ්චස්ඛන්ධයට අයත් සියල්ල ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම වන බැවින් “අනිච්ඡාවත සංඛාර යන තැන්හි එන සංඛාර ශබ්ධයෙන් පඤ්චස්ඛන්ධයම කියැවේ.ප්‍රතීත්‍යයසමුප්පාදයෙහි සංඛාර යන තැන්හි සංඛාර ශබ්ධයෙන් කුසලාකුසල ප්‍රකාශ වෙයි.කෙටියෙන් කියතොත් සිත තුළ ඇතිවන චෛතසික ධර්මයන්ගේ අභිසංස්කරණය හෙවත් විවිධ පෙළගැස්වීම් මෙහි සංඛාර යනුවෙන් අදහස් කෙරේ.එහි එක් විභජනයක් මෙසේ දක්වාලිය හැකිය.
තයො මෙ භික්ඛවෙ සංඛාරා,කාය සංඛාරො,වචී සංඛාරො,චිත්ත සංඛාරො..
(සං.නි .2,විභංග සූත්‍රය ,පි.280,බු.ජ.මු)
මහණෙනි සංඛාරයෝ කොටස් තුනකින් සමන්විත වේ.එනම්,කාය සංඛාර වචී සංඛාර හා මනෝ සංඛාර යනුවෙනි.එමෙන්ම මෙම සංඛාර ෂඩායත ප්‍රත්‍යය කොටගෙන හටගන්නා අකාරය සූත්‍රානුසාරයෙන් සොයගත හැකිය.රූප සඤ්චේතනා,සද්ද සඤ්චෙතනා,ගන්ධ සඤ්චේතනා,රස සඤ්චේතනා,ඵොට්ඨබ්බ සඤ්චේතනා,ධම්ම සඤ්චේතනා යනුවෙනි.එය වින්දනය ප්‍රත්‍යය කොටගෙන හට ගනී.අනෙකුත් ස්ඛන්ධ ප්‍රත්‍යකොටද පවති.
(සං.නි.3,උපාදානපරිවත්ත සූත්‍රය,104-106 පිටු,බු.ජ.මු)
විඤ්ඤාණස්ඛන්ධය
විජානනය හෙවත් දැනීම ඇති කරවන බැවින් විඤ්ඤාණස්ඛන්ධය නම් වේ.එය මහා වේදල්හ සූත්‍රයෙහි ,
විජානාතීති ඛො ආවුසො විඤ්ඤාණන්ති වුච්චති.
අවැත්නි දැනගනියි යන අරුතෙන් විඤ්ඤාණය නම් වේ යැයි කියනු ලැබේ.ඇස ආදී ෂඩේන්ද්‍රියන්ට ගෝචරය වන අරමුණු හඳුනාගැනීමට (ආරම්මණං විජානාති විඤ්ඤාණං)විඤ්ඤාණය උපකාරවත් වේ.විඤ්ඤාණයෙහි ස්වභාවය හඳුනාගැනීම පිළිබඳ මහා හත්ථි පදෝපම සූතුරෙහි කදිම විස්තරයක් ගෙන හැර දක්වත්.විඤ්ඤාණය පහළ වීම සඳහා එහි ප්‍රධාන සාධක තුනක් ගෙනහැර දක්වත්.
1-ආධ්‍යාත්මික ඇස ,කන,නාසය,දිව,ශරීරය හා මනස ආදි ෂඩායතනයන්ගේ නොබිඳුණු(අපරිභින්න) බව නැතහොත් නිරෝගිව පැවතීම.(අජ්ඣත්තිකංචෙව චක්ඛුං,සොතං…,ඝාණං…,ජිව්හං…,කායං..,මනො අපරිභින්නො හොති)
2-ෂඩායතනයන්ට ගෝචර වන රූප සද්ද,ගන්ධ,රස,පොට්ඨබ්බ,ධම්ම ආදි බාහිර ආයතනයන් හෙවත් ආරම්මණයන් ආපාථගත වීම.(බහිරාච රුපා..සද්ධා…ගන්ධා…රසා…ඵොට්ඨබ්බා….ධම්මා ආපාථං හොති)
3- ආධ්‍යාත්මික ආයතනයන්ගේ නිරෝගි බව,බාහිර රූපාරම්මණයන් පැවතීම මෙන්ම සුදුසු අවධාණයක් යොමු වීම නොහොත් තජ්ජො සමන්නාහරය විඤ්ඤාණයාගේ පහළ වීමට හේතු වේ(තජ්ජො සමන්නාහරො එවං විඤ්ඤාණස්ස පාතුභාවො හොති).
(ම.නි.1,මහාහත්ථිපදොපම සූත්‍රය ,424 පිටු,බු.ජ.මු)
මේ අයුරින්,චක්ඛු විඤ්ඤාණ ,සොත විඤ්ඤාණ ,ඝාණ විඤ්ඤාණ ,ජිව්හා විඤ්ඤාණ ,කාය විඤ්ඤාණ හා මනෝ විඤ්ඤාණයන්ගේ පහළ වීම සිදු වේ.
මෙසේ පඤ්චස්ඛන්ධයාගේම එකතු වීම නැතහොත් නාමරූපයන්ගේ එකතු වීම සම්මුතිය නැතහොත් පඤ්ඤත්තිය තුළදි සත්ත්වයා නැතහොත් තිස්ස ගුත්ත ආදි නාමික පැනවීම් කරගනී.ඒ බව සං.නි.වජිරා සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත.වජිරා මෙහෙණිය විසින් මාරයා හට සත්ත්වයා යනු කවරෙක්ද යන පැණයට මාරය කුමක් නිසා සත්ත්වයා යැයි හඟින්නේද?එය හුදෙක් දෘෂ්ටියක් පමණි.සිතිවිලි මාත්‍රයක් පමණි යනුවෙන් දක්වා,සත්ත්වයෙක් පුඟුලෙක් නොලබන බව පහදමින් සම්මුති පරමාර්ථයන්ගේ ස්වභාවය මෙසේ දක්වා ඇත.
යථාහි අංග සම්භාරො
හොති සද්දො රථො ඉති
එවං ඛන්ධෙසු සත්තෙසු
හොති සත්තොති සම්මුති.
(සං.නි.1,වජිරා සූත්‍රය ,246 -247 පිටු,බු.ජ.මු)
යම් සේ කොටස් එකතු වීමෙන් රථය යනුවෙන් ව්‍යවහාර ශබ්ධය වෙයි.මෙසේ ස්ඛන්ධ ධර්ම සත්ත්වයා කෙරෙහි එකතු වීමෙන්,සම්මුතියෙන් සත්ත්වයා නම් වෙයි.එම පඤ්චස්ඛන්ධයම තෘෂ්ණා සහගතව උපාදානය කරගැනීම පඤ්චොපාදන්ස්ඛන්ධය සඳහා හේතුවේ.ඒ තුළ අස්මිමානය,සක්කාය දිට්ඨිය,ආත්මවාදි දෘෂ්ටි බිහි වේ.චිත්තක්ෂණක් පාසා සිඳී යන පඤ්චෝපාදනස්ඛන්ධ සංඛ්‍යාත ජීවිතේන්ද්‍රියාගේ අනිත්‍යය,දුක්ඛ හා අනාත්ම වශයෙන් දැකීම බුදු වදනයි.