
Philosophy හා Religion යන ප්‍රස්තුත දෙක බොහෝ දෙනා සාකච්ඡා කොට ඇති බැවින් ඒවා විස්තර කිරීම මෙහි අරමුණ නො වේ. බුදුදහම නිරපේක්ෂව ආගමකි. සාපේක්ෂ ව ආගමක් යැ යි කිව නො හැකි ය. මන්ද යත් ආගම් ලෙස යමෙකු දක්වන අන් කිසිම ආගමක ලක්ෂණ බුදුදහමෙහි නැති බැවිනි.ඉදින් යම් යම් සමානකම් ටිකක් දක්වා බුදුදහම ද ආගමකැයි කිව හැකි වුව ද, එය,සස විෂාණ තර්ක න්‍යායට ගැනෙන සදොස් ප්‍රකාශයකි. එනම් හාවා සහ මුවාගේ සමානකම් ඇති බැව් කියා, මුවාට අං ඇති බැවින් හාවාට ද අං ඇතැයි තර්ක කිරීමේ න්‍යාය යි. ලොව සියලු ආගම් දේවවාදී හා අදේවවාදී ලෙස ඛණ්ඩනය කෙරේ. එහෙත් බුදුදහම අදේවවාදී ස්ථාවරයක සිටින්නේ දෙවියන්ගේ පැවැත්ම බැහැර කිරීමෙන් නො වේ. මෙහිදී බුදුදහම දෙවියන්ගේ අධිකාරීත්වය බැහැර කළ ද පැවැත්ම බැහැර නො කරයි. දෙවියන් ද අප වැනි ම වූ නමුත් කායික හා මානසික සංඥා නානත්ත්වයක් සහිත සත්ත්ව කොටසක් බව බුදුදහම පිලිගනී.
එනයින් බලන කල, යම් ආගමක් ( හින්දු, යුදෙව්, කතෝලික, ඉස්ලාම්) දේවවාදී වන්නට බලපෑ විවරණත්, යම් ආගමක් ( ක්‍රිෂ්ණමූර්ති ආගම, මහේෂියෝගී ආගම, ප්‍රිත්යොප් කප්රාගේ ප්‍රෙයොතේ ආගම, කන්පියුසියස් ආගම/ දර්ශනය) අදේවවාදී වන්නට බලපෑ විවරණත් බුදුදසමයට අන්‍යෝන්‍ය නො වේ.
බොහෝ විද්වත්හු බුදුදහම දර්ශනයක් සේ දක්වන්නට ලැදිකමක් දක්වන්නා සේ ම උසස් අධ්‍යාපනයේ පාඨමාලා Philosophy යන කාණ්ඩය යටතේ සලකා උගන්වනු පෙනේ. Philosophy යනු කුමක්දැයි දැන ගනු රිසි අය ඒ යටතේ Encyclopaedia වල ඇති විග්‍රහ විමසීම වටී. මන්ද එය විග්‍රහ කිරීම මෙහි අරමුණ නො වන බැවිනි. ලුහුඬින් පවසනවා නම් Philosophy යනු ඥානයට ඇති ලැදියාව යි. එහෙත් බටහිර දර්ශනයේ ඥානය හා පෙරදිග දර්ශනයේ ඥානය යන්නෙන් අදහස් කළේ එකක් නො ව දෙකකි. බටහිර දර්ශනය ඥානය ලෙස හුදු ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හෝ කර්කය සැලකූ අතර, පෙරදිග (විශේෂයෙන්) භාතීය දර්ශනවල එකී බටහිර ඥානමීමංසා ක්‍රමයට සහ තවත් ඊට එක් වූ අතීන්ද්‍රියානු අනුභූතියක් ද එක් ව තිබුණි. මෙය දැනගනු රිසි අය බ්‍රහ්මජාල සූත්‍රය ( දී.නි. 1.1 ) කියවිය යුතු ය. එහි තාර්කික වාද 9ක් ද අතීන්ද්‍රිය අනුභූතිවාද 49ක් ද අඥෙයවාද 4ක් ද දකිනු ඇත. දර්ශනය යන විෂයෙහිලා අතීන්ද්‍රියානුභූතිය භාවිත කළ වෙනත් සභ්‍යත්වයක් භාරතයෙන් පිටත සොයා ගත නො හැකි ය.
බුදුදහම හැඳින්වීමේදී බහුතරය එය ළං කරන්නේ දර්ශනයට යි. සැබැවින් ම දර්ශනය යනු කුමක් ද? එය බටහිර හා පෙරදිග ලෙස ද්විධ කරන්නේ නම්, දර්ශනය හා Philosophia (Philosophy) යන්නෙන් දෙකක් හඳුන්වන බව ඉහත කීමු. කෙසේ හෝ වේවා පෙර’පර දෙදිග දර්ශනයෙහි කාර්යභාරය වටහා ගැනීම ම බුදුදහම දර්ශනයක් ද නැද්ද යන්නට පිළිතුරු සපයයි.
බටහිර දාර්ශනික,තේල්ස්,ඇනෙක්සිමැන්ඩර්,සොක්‍රටීස්,ප්ලේටෝ ආදී කිසිවකු තම දර්ශනය තුළ අනුගාමිකයන් බිහි කොට නැත. යමෙකු දාර්ශනිකයෙකුගේ හුදු අනුගාමිකයෙකු නම් ඔහු දාර්ශනිකයෙක් නො වේ. ඇතැමුන් යම් යම් දර්ශන අනුගමනය කරනවා යැයි කියුව ද සැබැවින් ම එකී දර්ශන බිහි කළ කිසිඳු දාර්ශනිකයකු, තම දර්ශනය අනුගමනය කිරීමෙන් තදනුගත ඥානයකට පත් වන බවවත් කියා නැත. දර්ශනයක් උගත් තැනැත්තා ද දර්ශනවේදියෙකු මිස දාර්ශනිකයෙකු නො වේ. එබැවින් සරසවිවලින් දර්ශනවේදීන් මිස දාර්ශනිකයන් බිහි කළ නො හැකි ය. දාර්ශනිකයා අදීන ය, අනන්‍ය ය, ස්වාධීන ය. එමෙන් ම කිසිඳු දාර්ශනිකයෙකු සිය දර්ශනය අවබෝධ කිරීමට සිරිත් විරිත් ආදී කොට ඇති හර පද්ධතියක් බිහි කර නැත.
මෙය තවත් පැහැදිලිව කියන්නේ නම් බුදුදහමේ:
දුක්ඛ
සමුදය
නිරෝධ
මාර්ග
යන චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය යන කොටස දර්ශනයකි.
“‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි…
“‘ඉදං දුක්ඛසමුදයං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
(සං.නි.ධම්මචක්කපවත්තන සූත්‍රය )
දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන ආර්ය සත්‍යය හර සත්‍ය වශයෙන්; දැක්මෙන්, නුවණින්, ප්‍රඥාවෙන්, විමසුම් ඥානයෙන් ගැන්ම එහි සත්‍ය ඥානය යි.මෙසේ චතුරාර්ය සත්‍යය ම සත්‍ය ඥානයෙන් දැකීම දර්ශනය යන කොටසට අයත් වේ. එහෙත් එහි කෘත්‍ය හා කෘත යනුවෙන් ද අංග දෙකක් ඇත. එය ලොව අන් කිසිඳු දර්ශනයන් යැයි කියන ඉගැන්වීමක නැති අංග දෙකකි. ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ නම් 33.33% ක ප්‍රතිශතයක් දර්ශනයකට සමානකම් බුදුදහමෙහි ඇත. ඒ මෙසේ ය. සමස්ත බුදුදහම ම සත්‍ය-කෘත්‍ය-කෘත ලෙස අංශ තුනකින් යුක්ත ය. ඉන් 33.33%ක් සත්‍ය ඥානයෙන් කතා වන කොටස යැයි සිතමු. එය දර්ශනයක ලක්ෂණ දරන කොටස ය.33.33%ක් කෘත්‍ය ඥානයෙන් කළ යුතු කොටස යැ යි සිතමු.33.33%ක් කෘත ඥානයෙන් පැමිණ වාසය කිරීමේ කොටස යැ යි සිතමු. ඒ අනුව 66.66% ක් බුදුදහම දර්ශනයකට අසමාන වේ. වෙනත් අයුරකින් පවසනවා නම් බුදුදහම දර්ශනයක් ඉක්මවා ප්‍රතිපදාවක හා සත්‍යෙක්ෂණ සිද්ධාන්තය පරම කොට ඇති විද්‍යාත්මක ක්‍රමයට ද සමවදින ක්‍රමවේදයක් සහිත ප්‍රතිපදාවකි.( බලන්න ම.නි. 2.5.5 චඞ්කී සූත්‍රය) ඒ අනුව:
සච්චානු රක්ඛණ,
සච්චානුබෝධ
සච්චානුපත්ති
ලෙස ත්‍රිවිධ පියවර ක්‍රමයක් බුදුදහමෙහි දක්නට ලැබේ. දුක්ඛාර්ය සත්‍යය ආදී කොටැති සිව්සස් දහම සත්‍යයක් ලෙස කරන විග්‍රහය දර්ශනයකි. එනම් සමස්ත බුදුදහමෙන් 1/3 කි. එම හතර නම් පරිඤ්ඤෙය්‍ය
පහාතබ්බ
සච්චිකාතබ්බ
භාවේතබ්බ
ලෙස සිදු කරන ප්‍රතිපදාව කෘත්‍ය කොටස ය. එය ද 1/3කි. එම චතුරාර්ය සත්‍ය ය ම ..
පරිඤ්ඤාත
පහීන
සච්චිකත
භාවිතලෙස සච්චානුපත්තියට පැමිණ භුක්තිවිඳීම නූතන විද්‍යාත්මක ක්‍රමයේ සත්‍යෙක්ෂණයට නෑකම් කියන(සර්ව සම නැති) ක්‍රමෝපායකි. එය ද 1/3 කි. ඒ අනුව 33.33%ක් දර්ශනයක් සහිත බුදුදහම 100%ක් ම දාර්ශනික යැයි කීම අනුචිත වේ.එය වනාහි 66.66%ක් දර්ශනයක ස්වභාවයෙන් ද 100%ක් ආගමක ස්වභාවයෙන් ද විනිර්මුක්ත බව කිව යුතු ය.එබැවින් Buddhism යනු ආගමක් හෝ දර්ශනයක් ලෙස දැක්වීම තාර්කික දෝෂ උපදවන්නකි.සුදුසු ම වචනය බුදුදහම යන්න යි.



