

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මයට අනුව බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි. නිවන කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික වශයෙනුත්, නිවන ලෝකෝත්තර ලෙසත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙළ පෙන්වා දී ඇත. මේ අනුව සලකා බැලීමේදී බුදු දහම ඉතා හරවත් වූ ජීවන මාර්ගයකි.
බුදු දහම ආගම පිළිබඳ මෙන්ම දර්ශනය පිළිබඳව ද ඉතිහාසයට අයත් වූවකි. බුද්ධාගම යනුවෙන්ද බෞද්ධ දර්ශනය යනුවෙන්ද බුදුදහම අර්ථවත් වී ඇත්තේ මේ නිසා ය. එසේනම් බුදුදහම දර්ශනයක් ද? ආගමක් ද? යනුවෙන් ප්‍රශ්න මතුවී තිබෙන්නේ කුමක් නිසා ද?
බෞද්ධ දර්ශනය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයයි. ඇතැමුන් විසින් එය ආගමක් යැයි හුවා දක්වති. එසේ කළ ද ආගමක මූලික ලක්ෂණවලින් එහා ගිය ආකාරයක් බෞද්ධ දර්ශනයෙහි ගැබ් ව තිබේ. ආගම (Religion) යන අදහසට බාහිර ව දර්ශනය (Philosophy) යන තේරුමින් එය හැඳින්වීම වඩා නිවැරැදි ය. එයට හේතුව නම් එම දර්ශනය කිසියම් සමාජයක් හෝ ජන සමූහයක් හෝ යහ මඟ යැවීමට තරම් ගැඹුරු වීමයි. කිසිදු භේදයක් හෝ පෞද්ගලිකත්වයක් නොමැති ව ලෝකය, මනුෂ්‍යයා, සත්ත්වයන් මෙන් ම විශ්වය දෙස දාර්ශනික ව බලා කරන ලද විශ්ලේෂණයක් ලෙස ද බුදු දහම හැඳින්විය හැකි ය. බෞද්ධ දර්ශනය යන්නෙහි වැදගත්කම වන්නේ කෙලෙස් ප්‍රහීන කර නිර්වාණය ලබා ගැනීමට මෙන් ම එදිනෙදා ජීවිතයේ උද්ගතවන ගැටලු නිරාකරණය කර ගැනීමට ඉතාම සුදුසු මාර්ගෝපදේශයක් එයින් සැපයීමයි.
බෞද්ධ දර්ශනය නිවැරැදිව ක්‍රියාවට නැංවීමෙන් පුද්ගලයාගේ යහපත උදාවේ. බෞද්ධ දර්ශනයට අනුගතවීම නිසා “සම්මා දිට්ඨිය” ඇති කර ගත හැකිවේ. එමඟින් හොඳ නරක තෝරා බේරා ගැනීමේ හැකියාව උදාවේ. මෙම “අවදි බව” බුදු දහමේ මූලික ලක්ෂණයක් වන අතර නූතන ලෝකය හා පෑහීම සඳහා එය මහත් රුකුලක් වේ. තවද, පුද්ගල සංවර්ධනයේ දී ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව මහත් කර්තව්‍යයක් ඉටු කරයි. මේ ක්‍රමවේදය විශිෂ්ටතම ශික්ෂණ ක්‍රියා පිළිවෙළක් වන අතර එහි අන්තර්ගත නිවැරැදි දැකීම, නිවැරැදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි ක්‍රියා, නිවැරැදි දිවි පැවැත්ම, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන කරුණු අට නිවන සාක්ෂාත් කර දෙන්නා සේම ඊට පළමුව ලෞකික ජීවිතයක අභිවෘද්ධිය සලසාලන ප්‍රමුඛතම ඉගැන්වීම්ද වේ.
දර්ශන විෂයයෙහි දී අනුගමනය කළ යුතු නායකයෙකු නොමැත. ගුරුත්වයෙහි හෝ දේවත්වයෙහි ලා සැලකිය යුතු කිසිවක් නැත. ආරාධනයෙන් හෝ තර්ජනයෙන් තොරව අභීතව නොපැකිලිව විචාර කෘත්‍යයේ යෙදීම දරිශනයේ කැපී පෙනෙන ස්වරූපය යි. දර්ශනය විචාර පූර්ව ආකල්ප මුල්කොට ගෙන පවත්නා නිසා දාර්ශනිකයන් අතර පොදු සම්මුතියක් දක්නට නොලැබේ. මේ නිසා ඇතිවන විවිධත්වය දාර්ශනික දැනුම වඩාත් පුළුල් කර ගැනීමට හේතු වේ. දාර්ශනිකයන් අතර අන්‍යෝන්‍ය හෙළා දැකීමක් නොමැත. මක්නිසාද යත්, විවෘත සිත් ඇත්තෝ අනුන් හෙළා නොදකිති. දාර්ශනිකයන් අතර පවත්නා සහනශීලී ස්වභාවය වෙනත් අංශයන් අතර දක්නට නොමැති තරම් ය. දර්ශනයේ මූලික අරමුණ වන්නේ සිත් වල පවතින වැරදි අදහස් මති මතාන්තර නැති කිරීමය.
පුද්ගලයාගේ සිත, කය, වචනය යන තුන් දොරින් සිදුවන ක්‍රියා ගැන අවධානය යොමු කරන ආගම ජීවය ලබන්නේ පුද්ගලයා තුළ හටගන්නා ශ්‍රද්ධාව හා භක්තිය නිසා ය. ජීවිතය හා මරණය පිළිබඳව පුද්ගලයාගේ සිතෙහි හටගන්නා සිතිවිලිවලටත් එයට හේතුවන අවිද්‍යාව හෙවත් මුලාව ආශ්‍රය කොට ක්‍රියාත්මක වන ආගම එම සිතිවිල්ලට නව අපේක්ෂාවක් එක් කරයි. පුද්ගලයෙකු මරණයට බිය වන්නේ අතීත අත්දැකීම් නිසා නොව මම ය, මගේ ය යන සියලු බැඳීම් මරණින් මතු තමාට අහිමි වන නිසා ය. මෙසේ සිතන පුද්ගලයාට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් සුවයක් අවශ්‍ය වෙයි. එම අවශ්‍යතාවන් මුදුන්පත් කරලීමට ආගම ඉදිරිපත් වේ. මරණින් මතු සුර ලොවක් ලබාගැනීමට පුද්ගලයා මෙහෙය වන්නේ ආගම මගිනි. පුද්ගල ක්‍රියාවන් පින්පව් හෝ ආනිශංස, ආදීනව වශයෙන් පෙන්වාදෙන ආගම පුද්ගල ක්‍රියා කලාපයට විශාල බලපෑමක් එල්ල කරයි.
බුද්ධ දේශනාවේ අනුමැතිය කිසි දිනෙක ආක්‍රමණය සඳහා නොලැබෙන්නේ ය. එනම් බුදුන් දවස බෞද්ධ ධර්ම දූතයෝ මිනිසුන් තම දහමට හරවා ගැනීමට ගම් නියම් ගම්වල දී තරඟ නොවැදුනාහ. තම දහම විශ්වාස නො කරන්නවුනට වෛර කිරීමක් බෞද්ධ ධර්මදූතයන් කිසි දිනෙක නො සිතන්නක් සේම දේශනා ද නොකරන්නකි.
මිනිසුනට ආගමික ජීවිතයක් ගෙන යන සැටි කියා දීමේ පරමාර්ථයෙන් ධර්මදූත මෙහෙයේ යෙදෙන විට ආගම්වලට හරවා ගැනීමේ තරඟයක් හෝ අසුබදායක වාතාවරණයක් ඇතිවීමට හේතුවක් නො මැත. අන්‍යයනට බුදු දහම ඉදිරිපත් කිරීමේ දී බෞද්ධ ධර්ම දූතයෝ කිසි විටෙක දිව්‍ය සම්පත් අතිශයෝක්තියෙන් ඉදිරිපත් නො කළහ. මක්නිසාදයත් එසේ කිරීමෙන් මානව ආශාවන් ආකර්ශණය කරවා තණ්හාව පුබුදු කරවන හෙයිනි. ඒ වෙනුවට බුදුරදුන් වදාළ පරිදි මනුෂ්‍ය ජීවිතය සහ දිව්‍ය ලෝක ජීවිතය පිළිබඳ යථා තත්ත්වය පැහැදිලි කරදීමට ප්‍රයත්න දරා ඇත.
කෙසේ නමුත්, ක්‍රි. පූ. 6 වන සියවසෙහි පටන් පැවත එන බුදු දහම, විසි වැනි සියවසෙහි, සංකීර්ණ ලෝකයක පවතින ආර්ථික, දේශපාලන හා සමාජ කටයුතුවලදී, එහි අදාළත්වය කෙබඳු වේදැයි, සමහර නූතන විචාරකයන් හට ගැටලුවක් වීම පුදුමයට පත්විය යුතු කරුණක් නොවේ. ඇත්තවශයෙන්ම දශක ගණනාවක් පැරණි බුදු දහම වත්මන් සංකීර්ණ ලෝකයේ තතු හා අදාළත්වයක් පවතීද? වර්තමානයේ අප ජීවත් වන්නේ විද්‍යාව හා තාක්ෂණය අතින් ඉතාමත්ම දියුණු ලෝකයකය. විද්‍යාත්මක හේතු සාධක නොමැතිව කිසිවක් පිළිගැනීම අද සමාජයේ බොහෝ දෙනා සිදු නොකරන දෙයකි. මේ ස්වභාවට මුහුණ දීම සඳහා බුදු දහමින් එසේත් නැතහොත් බෞද්ධ දර්ශනයෙන් අනාවරණය කරන කරුණු යොදා ගත හැකිද? බෞද්ධාගම විද්‍යාත්මකද?
විද්‍යා හා තාක්ෂණික ලෝකයේ කරුණු විද්‍යාත්මක සත්‍යයන් අනුව අවබෝධ කරගන්නා සේම බුදු දහමේ ඉගැන්වීම් හේතුඵල ධර්මයට අනුව විමසා බැලීමෙන් එහි ඇති සත්‍ය අවබෝධ කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධ දර්ශනයේ දේශනා කර ඇත. බෞද්ධ දර්ශනය කිසියම් දුරකට විද්‍යාත්මක යැයි කිවහැක්කේ නොදැනෙන මිත්‍යාව වෙනුවට දැනෙන ඇත්ත මත ජීවිතය ගොඩනගා ගැනීම තෝරාගෙන ඇති නිසාය.
මෙවැනි උතුම් වූ දර්ශනයක් වසර දෙදහස් පන්සියයකට වැඩි කලක් ථෙරවාදී භික්ෂූන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන පැමිණ ඇත්තේ ඉතිහාසයේ විවිධ යුගවල ඇති වූ විවිධ බලපෑම් හා ගැටලු, බෞද්ධ දර්ශනයට ම අනුකූලව අවබෝධ කර ගනිමින් හා ඒවා විසඳමින් ය. එහි යම් බැරෑරුම් අවස්ථා උද්ගත වීම ආරම්භ වී ඇත්තේ ත්‍රිපිටකයේ ගැටලු සහගත තැන් ඇතැයි ඇතැම් උගතුන් ප්‍රකාශ කිරීමත් සමඟිනි. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසින් පසු ව නිර්මාණය වුණු අටුවා, ප්‍රකරණ, ටීකා සහ ඒ ආශ්‍රිත ව පාලි භාෂාව ඇසුරින් පෝෂණය වූ සාහිත්‍යයක් ද විය. කෙසේ නමුත් වසර ගණනක් මෙලෙස ආරක්ෂා කර ගනිමින් පැවතීගෙන ආ දර්ශනය හා සංස්කෘතියට, එමෙන් ම ලොව ම පිළිගන්නා පුරාවිද්‍යාත්මක සාධක, සාහිත්‍යය හා ඉතිහාසාත්මක සාධක මෙන් ම ත්‍රිපිටකය වැනි ලිඛිත සාධකවලට අද අභියෝග එල්ල වෙමින් පවතී.
බෞද්ධ ඇදහිල්ල තුළ බෞද්ධ දර්ශනයට පටහැනි දේද නැතුවා නොවේ. මෙතෙක් පැවැති බෞද්ධ සංස්කෘතියේ ඇතැම් සිරිත් විරිත්, දානමාන පින්කම්, පිරිත් පින්කම්, ධර්ම දේශනා, සත් දවසේ දානය, අට පිරිකර පූජාව ආදිය පිළිබඳ ඒ පැවැති සංස්කෘතික රාමුවෙන් බොහෝ ඔබ්බට ගොස්, වර්තමානයේ එයට වාණිජ අරමුණු සපයමින් ජනප්‍රිය කරවමින් පවතී.
බෞද්ධ දර්ශනය, ලෝකය හෝ මානවයා සර්ව බලධාරී දෙවියෙකු විසින් මැවූ බව විශ්වාස නොකරයි. එහෙත්, එදිනෙදා ජීවිතයේ ඇති ප්‍රශ්න වලට සිත ශක්තිමත් කර ගැනීම සඳහා අපටද පින්දිය හැකි, පින් ගත හැකි සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරු ඇති බව අදහති. එහි වරදක් ඇති බවක් නොපෙනේ. එකම ප්‍රශ්නය බෞද්ධයින් සිය දර්ශනයට පටහැනි අයුරින් දෙවිවරුන් ලෙස වංචනිකයන් ඇදහීමට බොහෝ දුරට යොමුවීමය.
එසේම, කණගාටුවට කරුණ නම් වර්තමානයේ ද එදා මෙන් නිසරු අර්ථකථන නිසා දර්ශනය විකෘති වීමේ තත්ත්වයකට පත්ව ඇත. එයින් සිදුවන තවත් විශාල හානියක් වන්නේ බුදු දහමෙන් පෝෂණය වන අපේ සාහිත්‍යය ආදී අංග ද විකෘති අයුරින් ගොඩනැඟීමට ඇති ඉඩකඩ වැඩිවීම ය.