30 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

සාර්ථක ආර්ථික සංස්ථාවක් ගොඩනැගීමෙහිලා බෞද්ධ ආර්ථික මුලධර්මයන්ගේ උපයෝගිතාවය

Related Articles

ආර්ථිකය යන්න විමසා බැලීමේදී ආර්ථිකය යනු මිනිසා ත ජීවනෝපාය සකසා  ගන්නා අකාරය බව පෙන්වාදිය හැකිය. ඒ අනුව  මිනිසාගේ ජිවනොපයට අදාළ අහාර, ඇඳුම් පැළදුම්, නිවාස, වස්ත්‍ර සහ වෙනත් අවශ්‍යතා සපුරා ගන්න ආකාරයයි. අර්තිකයේදී සාකච්චා කෙරෙන්නේ නිෂ්පාදනය, පරිභෝජනය , ආයෝජනය, සංරක්ෂණය හා බෙදා හැරීමයි. සාර්ථක ආර්ථිකයක් ගොඩනගා ගැනීමට නම් මේ කාරනා සියල්ලොඅ සමබරව තිබිය යුතුය. වත්මන් සමාජය දෙස අවධානය යොමු කිරීමේදී බොහෝ දෙනා තුල නිවැරදි ආර්ථික දර්ශනයක් තිබෙනවාද යන්න ගැටලුවකි. ඇතැමුන්ට මුදල් නැත. ඇතැමුන් මුදල් තිබුනද ඒවා නිසි ලෙස පරිහරනය කරන්නේ නැත. ඇතැමුන් මුදල් උපයන ක්‍රම නිවැරදි ද යන්න ගැටලුවකි.  මෙම ලිපියේ අරමුණ වන්නේ සාර්ථක ආර්ථික සංස්ථාවක් ගොඩ නගා ගැනීම විෂයෙහි බුදු දහමේ දැක්වෙන ආර්ථික දර්ශනයෙහි උපයෝගිතාවය විමසා බැලීමයි.

බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මිනිසාට ඇති මහත් වූ දුකක් වන්නේ දුප්පත්කම බවයි.

“දාළිද්දීයං පී දුක්ඛං ලෝකස්මිං කාම භෝගිනෝ ‘ ( අං. නි . IV ඉණ සුත්‍රය, 2005, පි 118 )

මෙලොව ජිවත්වන පුද්ගලයාට යුතුකම් ද ඉටුකිරීමට ඇතිබව බුදු දහම පෙන්වා දෙනු ලබයි.   ඒ සඳහා මුදල් තිබිය යුතුය. ධන සම්පත් නොමැති විට  දුකට පත් වීමට සිදුවේ. බුදු දහම පෙන්වා දෙනු ලබන අර්තක දර්ශනය සදාචාරය හා බද්ධ වුවකි. ධනය ඉපයීමේ පටන් පරිහරණය දක්වාම එය සදාචාරය හා බද්ධ කර ඇත. ආර්ථික විද්‍යාවට අනුව නිෂ්පාදන කාර්යයේදී ශ්‍රමය අත්‍යවශ්‍ය වේ. ලාභය ගැන පමණක් සිතා ශ්‍රමය සුරාකෑමක්  බුදු දහමේ දක්නට නොමැත. එසේම බුදු දහම පෙන්වා දෙනු ලබන්නේ තරුණ වයසේදී ම ඉපයීම සිදු කල යුතු බවයි. ප්‍රමාද වී ධනය ඉපයීම සාර්ථක ජීවිතයකට හේතු නොවේ. බුදුන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.

“අචරිත්වා බ්‍රහ්ම චරියං-අලද්ධා යොබ්බනෙ ධනං

 ජිණ්ණ කොඤ්චා ච ඣායන්තී-ඛීණ මචඡෙව පල්ලරෙ

 අචරිත්වා බ්‍රහ ්ම චරියං-අලද්ධා යොබ්බනෙ ධනං

 සෙන්ති චායපාතිඛීණාච-පුරාණාති අනුත්‍ථුනං”

(ධම්මපදය,155-156 ගාථා,රාජ වග්ගය)

මෙම ගාථා දෙකෙන් කියැවෙන්නේ තරුණ කාලයේ දී ම බ්‍රහ්මචර්යාවෙන් ධනය රැස්කර ගත යුතු බවයි එසේ නොමැති වූ විට මසුන් නැති දිය සිඳුනු විලක් අසල සුසුම් ලන කොස්වා ලිහිණියන් මෙන් සිටීමට සිදු වන බව පෙන්වා දී ඇත- අද සමාජයේත් මෙවැනි උදවිය දැකගත හැකි වේ- තමාගේ තරුණ කාලය අකාලයේ ගෙවමින් සිට මහලු වියේ දී ඉතා දුක්ඛිත ජීවිත ගත කරන්නන් අපට හමු වෙයි-
නමුත් කළ යුත්තේ  තරුණ වියේ දී ම යහපත්ව මුදල් ඉපැයීම වේ-ධනය ඉපැයීමේ දී එම ධනය ඉපැයීම ස ිදු කල යුත්තේ කෙසේද ද යන්නත් බුදු දහම පෙන්වා දී ඇත- වර්තමානයේ ඇතැම් අය ධනය රැස් කරන්නේ  අන් අය පීඩාවට පත් කරය- එසේ නොමැති නම්
නීති විරෝධී  රැකියා වලින් ය- එසේත් නොමැති නම් අල්ලස් වංචා සහගත ක්‍රියා වලිනි-නමුත් බුදු දහම එය පිටු දකී-එවැනි ධනය පුද්ගලයාට නුසුදුසු ය- එයින් ලබන සාර්ථකත්වයෙන් පලක් නැත- ධනය ඉපැයීමේ දී එය සිදු කළ යුතු ආකාරය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙයි-


 “භොගා හොන්ති උට්ඨාන විරියගතා බාහාබල පරිචිතා

 සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්දා”

(අං-නි-ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, 2005, පි 236)

උත්සහයෙන් බාහු බලයෙන් දහදිය වගුරුවා ධාර්මිකව මුදල් රැස් කළ යුතු බව පෙන්වා දී ඇත-බෞද්ධ ආර්ථික දර්ශනය අනුව පුද්ගලයා ධනය රැස් කළ යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ ද සඳහන් වේ- ඒ අනුව

 භොගෙ සංහරමානස්ස -බමරස්සෙව ඉරියතො

 භොගා සන්නිචයං යන්ති -වම්මිකො චූපචීයතී

 එවං බොගෙ සමාහත්වා-අලමත්ථො කුලෙ ගිහි (දි නි-»»» සිඟාලොවාද සූත්‍රය, 2005,පි

302)

මෙයින් අර්ථවත් වන්නේ බඹරකු මල නොතලා රොන් ගන්නා සේ ධනය ඉපැයීම සිදු කළ යුතු බවයි එසේ රැස් කරන ධනය දිනෙන් දින දියුණු වන්නේ වේයන් විසින් බඳින ලද තුඹසක් මෙනි. මිනිසා ද මුදල් රැස් කළ යුතු වන්නේ අන් අයට කරදරයක් නොවන කාරයෙනි-ධාර්මිකව ධනය ඉපයීමට හැකි රැකිකියා රාශියක් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත-

●කෘෂි කර්මාන්තය (කසියා)

●වාණිජ කටයුතු (වණිජ්ජා)

●පශු පාලනය (ගොරක්ඛෙන)

●හමුදා සේවය (ඉස්සත්‍ථෙන)

●රාජ්‍ය ස්වය (රාජ පොරිසෙන)

●ශිල්ප කර්මාන්ත (සිප්පඤ්ඤතරෙන) (අං- නි, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, 2005, පි 236)

මෙම රැකියාවන් ධාර්මික රැකියා වේ- වත්මන් සමාජයේ ද මෙම රැකියා ඇත- එනමුත් ඇතමුන් යොමු වන්නේ ඉතා ඉක්මනින් මුදල් ඉපයීමට හැකි අධාර්මික අංශයට වේ-වෙළඳාම යනු යහපත් රැකියාවකි නමුත් එය යහපත් ආකාරයෙන් සිදු කළ යුතුය- එසේ නොමැති වූ විට වැරදි මාර්ගයට යොමු වීමට ඉඩ ඇත- බුදුන් වහන්සේ නො කළ යුතු වෙළඳාම් පහක් පෙන්වා දී ඇත-

1 සතුන් හා මිනිසුන් වෙළඳාම

2 අවි ආයුධ වෙළඳාම

3 විස වෙළඳාම

4 මස් වෙළඳාම

5 මත් ද්‍රව්‍ය වෙළඳාම ( අං- නි »»», වණිජ්ජා සූත්‍රය, 2005, පි 338)

මෙම රැකියාවන්ගෙන් සිදුවන්නේ අනර්ථයකි-වර්තමානයේ ද මෙම වෙළඳාම් දැකිය හැකිය- මස් වෙළඳාම නිසාවෙන් බොහොමයක් සතුන් ඝාතනය වේ- වහල් වෙළඳාම නිසාවෙන් මිනිසුන් පීඩා විඳිති ඇතැම් කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා සේවයෙහි යොදවයි අවි ආයුධ නිෂ්පාදනය හේතුවෙන් මනුෂ්‍යයින් වැනසී යති යුද්ධ වලදී මිය යන පිරිස ඉහල යති- වස විස නිසාවෙන් මිනිසා මෙන් ම
පරිසරය ද විනාශ වනු ඇත- එබැවින් මෙම අධාර්මික වෙළඳාම් ඉවත් කොට ධාර්මික අංශයෙන් මුදල් ඉපැයීම සිදු කළ යුතු වේ- එසේම බුදු දහමට අනුව කිරුම් මිනුම් ආදියෙන් පුද්ගලයා රවටා වෙළදාම් කිරීම ප්‍රතික්ෂේප කර ඇත-ඒ අනුව නො කළ යුතු දේවල් දේශනා කර ඇත-එනම්

1 තුලා කූට-හොර තරාදියෙන් කිරීම

2 කංස කූට-බාල දේ වටිනා දේ යැයි කියා විකිණීම

3 මාන කූට-හොර මිනුම් ක්‍රමවලින් මැනීම

4 උක්කොටන-අල්ලස්ගෙන බොරු අයිතිකරුවන් වීම

5 වඤ්චන-නා නා උපායෙන් අනුන් රැවටීම

6 නිකති-අගනා දෙයට සමාන දෙයක් පෙන්වා දීම

සමාජය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන කරුණක් නම් ආයතන ආදිය බොහෝ දුරට ආර්ථික අර්බුද වලට ලක් වීමයි මෙයට හේතුවක් වන්නේ සේව්‍ය සේවක ගැටුමයි- ඇතමුන් අඩු වැටුපක් දී ශ්‍රමය සූරා කනු ලබති- ඇතමුන් සේවක ප්‍රශ්න ගැටලු ගැන නො සිතති- සමහර සේවකයන් ද නිසි ලෙස තම වගකීම ඉටු නො කරන අවස්ථා දැකිය හැකිය- මෙවැනි අර්බුද හට නො ගැනීමට මනා
වූ යුතුකම් පද්ධතියක් සිඟාලෝවාද සූත්‍රයේ දැක් වේ- ඒ අනුව ස්වාමියා සේවකයාට ඉටු කළ යුතු යුතුකම් පහකි-

1 ඔවුන්ගේ ශක්තියට අනුව වැඩ පැවරීම

2 නිසි කළට බත් වැටුප් ලබා දීම

3 ගිලන් වූ විට උපස්ථාන කිරීම

4 තමා ගන්නා රසවත් ආහාර පාන සේවකයන්ටත් දීම

5 සුදුසු කළ විවේක නිවාඩු ලබා දීම

සේවකයාගෙන්ද ඉටු විය යුතු යුතුකම් පහකි

1 ස්වාමියාට පෙර නැගී සිටියි

2 ස්වාමියාට පසුව නින්දට යයි

3 ස්වාමියා දුන් දෙයින්ම සතුටු වෙයි

4 තමාට අයිති කටයුතු මනා කොට කරයි

5 ස්වාමියාගේ ගුණ ගායනා කරයි

මෙසේ යුතුකම් නිසි ලෙස ඉටු වීමෙන් ආයතනයක් රටක් දියුණු කළ හැකි ය-සාර්ථක ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට නම් ධනය ඉපයීම පමණක් නොව ධන පරිහරණය මෙන් ම සංරක්ෂණය ඉතා වැදගත් කරුණකි-බුදු දහම මගින් ඒ සඳහා සාර්ථක මගපෙන්වීමක් සිදු කර ඇත- බුදු දහම පෙන්වා දෙන්නේ ආර්ථිකය මෙන්ම ආධ්‍යාත්මය ද සංවර්ධනය විය යුතු බවයි-සිඟාලෝවාද සූත්‍රයට අනුව පුද්ගලයා උපයන ධනය තම අවශ්‍යතා සඳහා පමණක් නොව අන් අයගේ සුබ සෙත සඳහා ද යෙදවිය යුතුය-පුද්ගලයා මසුරකු නොවිය යුතුය- මුදල් පරිහරණයේ දී තම අවශ්‍යතා පමණක් නොව තම දූ පුතුන්ගේ ද මව් පියන්ගේ ද එමෙන් ම අන් අයගේ යහපතට ද යෙදවිය යුතු බව පත්තකම්ම සූත්‍රයේ සඳහන් වේ-

 “අත්තානං සුඛෙති පීනෙති සම්මා සුඛං පරිහරති,

 මාතා පිතරෝ සුඛෙති පීනෙති ,පුත්තදාරස්සකම්ම කාරපොරිසෙ

 මිත්තාමච්චේ සුකෙති පීනෙති සම්මා සුඛං පරිහරති”

(අං- නි-»» පත්තකම්ම සූත්‍රය, පි- 128)

මේ අනුව ධන පරිභෝජනයේ දී පරාර්ථකාමී විය යුතුය- එසේ ම පංච බලි සංකල්පයෙන් ද තමා

උපයන ධනයෙන් සංග්‍රහ කළ යුතු පිරිස් පෙන්වා දී ඇත-

1 ඤාති බලි -ඤාතීන් වෙනුවෙන් කළ යුතු දේ

2 අතිථි බලි-ආගන්තුකයන් වෙනුවෙන් කළ යුතු දේ

3 පුබ්බපේතබලි-මළගිය නෑයන් වෙනුවෙන් කළ යුතු දේ

4රාජ බලි-රජුට ගෙවිය යුතු බදු මුදල්

5 දේවතා බලි-ආගමික පූජය පක්ෂය වෙනුවෙන් කළ යුතු දේ

(අං- නි-»» පත්තකම්ම සූත්‍රය,2005, පි- 128)

රාසිය සූත්‍රයේ ද ධන පරිහරණය පිළිබව දැක්වෙයි

1 තමා ප්‍රයෝජනයට  ගනියි

2බෙදා දෙයි

3 පින් කරයි

4 භෝගයන්හි නො බැදෙයි

අප සමාජයේ ද ඇතැම් විට ධනය බොහෝ ඇති නමුත් මසුරු පුද්ගලයන් සිටී- නමුත් ඔවුන්ගේ දියුණුව සාර්ථක දියුණුවක් නොවන බව බෞද්ධ මතය වේ- එබැවින් ආධ්‍යාත්මයද දියුණු විය යුතුය-ව්‍යග්ඝපජ්ජ සූද්‍රයේ දී පුද්ගලයාගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් දක්වා ඇත-ඒ අනුව

1 උට්ඨාන සම්පදා

2 ආරක්ඛ සම්පදා

3 කල්‍යාණ මිත්තතා

4 සමජීවිකතා

මෙහි ආරක්ඛ සම්පදාව හා සමජීවිකතාව ආර්ථික සුරක්ෂාවට ඉතා වැදගත් වේ තම ධනය ආරක්ෂා කර ගැනීම මෙලොව දියුණුවට හේතුවේ- එනම් අරපරිස්සමින් අවශ්‍ය දේ සඳහා මුදල් යෙදවීමයි- සමජීවිකතාවද ඉතා වැදගත්ය අද සමාජයේ ඇතැම් පුද්ගලයන් තම ධන ප්‍රමාණය ඉක්මවා වියදම් කරති- අනවශ්‍ය දේ සඳහා වියදම් කරති- තරගකාරිව අනෙකා ඉක්මවා යෑමට උත්සහ කරයි -මෙහි
දි ඇතැම් විට ණය වෙයි- එවිට ආර්ථික සමබරතාවය ගිලිහෙනු ඇත- එම නිසා වැදගත් වන්නේ ආදායමට සරිලන වියදම වේ-එමෙන් ම බෝග විනාශ මුඛ හයක් සිගාලෝවාද සූත්‍රයෙහි දැක් වේ-එනම්

1 මත්ද්‍රවය භාවිතය

2 අවේලාවේ වීථි සංචාරය

3 සමජ්ජාභිචරණය

4 සූදුව

5 පාප මිත්‍ර සේවනය

6 අලසකම

( දී- නි »»», ස ිඟාලෝවාද සූත්‍රය,2005,පි-293)

මෙම ක්‍රියාවන්ට ඇබ්බැහි වීම තුලින් තම ධනය විනාශ වනු ඇත- මත් ද්‍රව්‍ය භාවිතය නිසාවෙන් සුරාවට සූදුවට ලොල් වීමෙන් තම ධනය විනාශ කර දුක්ඛිත ජීවිත ගත කරන්න වුන් අප සමාජයේ ද දක්නට ඇත- ඇතැමුන් තම දවසේ වැටුප වැය කරන්නේ මත් වතුරටය, සූදුවටය එම නිසාවෙන් තම පවුලේ ආර්ථිකය ද පිරිහී විශාල ලෙස ගැටලුවලට මුහුණ දෙනු ලබයි. පාප මිතුරන් හා එක් වීමද තම
ධනය විනාශයට ද හේතුවකි. බොහෝ දෙනා සුරා සූදුවට යන්නේ මිතුරන් සමගිනි. එමෙන් ම අලසකමද තම ධනය විනාශයට හේතුවකි එබැවින් සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් මෙම උපදේශයන් ආර්ථික සුරක්ෂාවෙහි ලා ඉතා වැදගත් වේ-ධනය පරිහරණය ඉතා බුද්ධිමත්ව සිදු කල යුතු දෙයකි- එසේ නොමැති නම් ආර්ථික සමබරතාවය ගිලිහෙයි. ධන පරිහරණයේ දී ආයෝජනය ඉතිරි කිරීම ද ඉතා වැදගත් කරුණකි. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි මෙසේ පෙන්වා දී ඇත

 ’‘ එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය

ද්විහි කම්මං පයොජයෙ

 චතුත්ථං ච නිදාපෙය්‍ය

 ආපදාසු භවිස්සති ”

( දි නි- »»», සිඟාලොවාද සූත්‍රය, 2005 ,පි-302)

උපයන ධනය ප්‍රධාන කොටස් හතරකට බෙදා පරිභෝජනය කළ යුතුයි-ඉන් එකක් එදිනෙදා ජීවිතයේ පැවැත්ම උදෙසා ය- අනික් කොටස් දෙක අනාගතය උදෙසා කර්මාන්තයන්හි යෙදවිය යුතුය-ඉතිරි කොටස ආපදාවකදී ගැනීමට තැන්පත් කළ යුතුය-ධන පරිහරණය යහපත් හා නිවැරදි ආකාරයෙන් සිදු කිරීමෙන් පුද්ගලයාට ලැබිය හැකි සතුට පිළිබඳව අණන සූත්‍රයේ සඳහන් වේ-

1 අත්ථි සුඛ

2 භෝග සුඛ

3 අණන සුඛ

4 අනවජ්ජ සුඛ

(අං- නි»» අණන සූත්‍රය, 2005, පි- 128)

තමාට ධනය ඇති බව නිසා ලැබෙන සතුට අත්ථි සුඛ වේ- එය නිවැරදිව පරිහරණටයන් ලැබෙන සුඛය භෝග සුඛය යි. ණය නොවී ජීවත් වීමෙන් ලබන සතුට අණන සුඛයයි ධනය ඉපයීම හා පරිහරණය යහපත්ව කිරීමෙන් ලබන් සතුට අනවජ්ජ සුඛය වේ- පුද්ගලයාට බුදු දහමට අනුව ආර්ථිකය පවත්වා ගැනීමෙන් මෙම සතුට ලඟා කර ගත හැකිය-පුද්ගලයකුට තම ජීවිතයේ ලැබිය හැකි ඉහළම
සුඛයන් වේ- මෙය බුදු දහමේ දක්වා ඇත-සැබවින්ම බෞද්ධ ආර්ථික දර්ශනය තුළින් පුද්ගලයාට සාර්ථක ආර්ථික සංස්ථාවක් ගොඩ නගා ගැනීමට හැකිය- එමෙන් ම බුදු දහමේ දැක්වෙන ආර්ථික ක්‍රියා දාමය සදාචාරය හා බද්ධ විමෙන් පවතින නිසා එය පුද්ගල මෙලොව පරලොව දෙකෙහිම දියුණුවට හේතුවක් වන්නේය-එබැවින් වත්මන් සමාජය ද බෞද්ධ ආර්ථික පිළිවෙත් පිළිපැදීමෙන් ආර්ථික ගැටලු අවම කර ගනිමින් යහපත් සංවර්ධිත රටක් ගොඩ නැගිය හැකි ය-

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

අංගුත්තර නිකාය  2005, සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පුනර් මුද්‍රණය , දෙහිවල,බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-

-දීඝ නිකාය»»»,2005, සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පුනර් මුද්‍රණය, දෙහිවල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles