30 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව (හත්වන කොටස)

Related Articles

                                      සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගනිමින්, නීරෝගීමත් මහජනතාවක් බිහිකිරීම පිණිස මාධ්‍යයක් ලෙසින් ජනතාව නිවැරදිව දැනුවත් කිරීම අරමුණ කර මෙම ලිපිපෙලින් ඉදිරිපත් කරනවා. ඒ දැනුවත් කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ අදහස් අදත් මේසේ පෙළගස්වන්නට සූදානම්.

                                      පසුගිය කලාපයෙන් අප සාකච්ඡා කළේ, බර ඉසිලීමේ අභ්‍යාස පිළිබඳවයි. එහිදී, උපරිම ශක්තිය – Maximum Strength,  ක්ෂණික ශක්තිය – Explosive Strength, ශක්තිය දරා ගැනීම – Strength  Endurance පිළිබඳව විග්‍රහයක් කළා. මෙවර කලාපයෙන් ළමයෙකුගේ ක්‍රියාකාරී වයසේ සිට, වෘත්තීමය ක්‍රීඩකයෙක් (Professional Athlete) දක්වා පුහුණු කිරීමේ දී, පසුකළ යුතු මූලික අවධීන් පිළිබඳව කතා කරන්නට සූදානම්. මෙම ලිපිය කියවන ළමුන්, සිසුන්, ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, දෙමාපියන් ඇතුළු පාඨක ඔබ සියළු දෙනාටම, ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබාදීමට බලාපොරොත්තු වනවා.

                                      දිගුකාළීන ක්‍රීඩකයෙක් නිර්මාණය කිරීමේ දී පියවර කිහිපයක් අනුගමනය කළ යුතු වනවා. එය වෙනස් වන්නේ වයස අනුවයි. අප බහතෝරන වයසේ, එනම් දෙපයින් නැගී සිටින්නට වෙරදරන කාළයේ දී පටන් කරන ක්‍රියාකාරකම් ක්‍රීඩාවන් ලෙසින් දියුණු කරගනිමින් ගමන් කරනවා. එය එක් එක් වයස් කාණ්ඩ අනුව කළයුතු දේ වෙනස් වනවා. සමහර ක්‍රීඩාවන් ආරම්භ කිරීමට නිශ්චිත වයසක් තිබෙනවා. එම වයස ඉක්මවූ පසු ක්‍රීඩාව ඉගැන්වීමෙන් ප්‍රථිඵලයක් ගත නොහැකියි.

උදා;- ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් සෑදීමේ දී, ඔහු හෝ ඇයගේ වයස, වර්ධනය, ලබාදෙන දේ හෝ කියාදෙන දේ ඔළුවට ඇතුල් කරගත හැකි පදනම මත අදාල ඉලක්කය වෙත යා හැකියි. එහි පියවර කිහිපයක් තිබෙනවා. 

                                    ලෝකයේ බොහොමයක් දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්, බිහිවී ඇත්තේ පාසල් කාළයේ දීයි. උදාහරණයක් ලෙස, ලෝක කුසළාණය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග මහතා, ආනන්ද විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ සිටියදී ජාතික කණ්ඩායමට ක්‍රීඩාකළ අයෙක්. එනේම මළල ක්‍රීඩකයින්, රගර් ක්‍රීඩකයින්, පිහිණුම් ක්‍රීඩකයින් සහ හොකී ක්‍රීඩකයින්ද මේ ආකාරයට ක්‍රීඩා කර තිබෙනවා.  විවිධ රටවල අවුරුදු 16, 17 වයස්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් රන් පදක්කම් ලබා තිබෙනවා. එනිසා පාසල් මට්ටමේ දී ක්‍රීඩාවට වන මැදිහත්වීම ඉතා වැදගත් වනවා. ඔවුනගේ කාර්යසාධනය (Performance) හා දක්ෂතාවයන් ඉහල නංවා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම, පෝෂණය ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි. එමෙන්ම විද්‍යාණුකූලව (Technics & Technology) නිවැරදි තාක්ෂණය හා නිවැරදි ශිල්පීය ක්‍රම, කරන ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ විධිමත් පුහුණුව අනිවාර්යයෙන්ම ලැබිය යුතු වනවා. එමෙන්ම කලින් ලිපියක ද සඳහන් කල පරිදි ක්‍රිඩා අණතුරුවලින් තොරව ක්‍රීඩාවන් කරන ආකාරය, ක්‍රීඩා මනෝවිද්‍යාව පිලිබඳව, ක්‍රීඩා භෞත චිකිත්සාව (physiology), ක්‍රීඩා සමාජ විද්‍යාව(Sports Sociology), වැනි ක්ෂේත්‍ර ගණනාවක සංකළනයක් ලෙසින් දක්ෂ ක්‍රීඩකයෙක් බිහිකළ හැකි වනවා.

                                                මිනිසාගේ ශාරීරික වර්ධනය සමග එම පුද්ගලයාගේ ශරීරෙය් ඇති වන විශේෂ ලක්ෂණ, මානසික හැකියාවන්, බුද්ධමය හැකියාවන් යන කාරණා සමග විවිධ අවධීන් වෙන්කර තිබෙනවා.

  1. පළමු අවධිය හෙවත් ක්‍රියාකාරී අවධිය (Active Stage);- වයස අවුරුදු 02 1/2 සිට 05 දක්වා වයෙස් දී, ඒදිනෙදා ජීවත් වන පරිසරයේ නිදහස්ව ශාරීරික ක්‍රියාකාරකම් විනෝදාත්මක ලෙස කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගිය යුතු වේ. මේ සදහා නිශ්චිත කාළ රාමුවක් තුල මෙය සිදුවිය යුතු වනවා. දවස පුරා කිරීම යෝග්‍ය නොවේ. මෙහිදී නිවැරදි චලන කිරීමට උදව් කළ යුතු වනවා. එනම් ළමයින් දෙපියන් සමග විනෝදාත්මක ලෙස පිට්ටනියක, ඔංචිල්ලාවක, පිහිණුම් තටාකයක වැනි ස්ථානයක නිශ්චිත කාළයක් ගතකිරීම සුදුසු වනවා. මෙහිදී සිදුවිය හැකි අනතුරු කියාදීම කළ යුතුයි. (නගිද්දී වැටීමට හැකි බව, ඒ නිසා කකුළ තැබිය යුතු ආකාරය, තදින් අල්ලා ගතයුතු ආකාරය, අවට පරිසරය පිළිබදව ගෙව්ෂණය කිරීමට අවශ්‍ය Guide lines දියයුතු වනවා.) එමෙන්ම ළමයාට දිවීමට, පැනීමට, නැගීමට ඉඩ දියයුතු වනවා. ඒවා වැලැක්වීම නොකළ යුතුයි. මෙම කාළෙය් දී ජිම්නාස්ටික් වල මූලික දේවල්, පිහිනීමේ මුලික දේවල් ඉගැන්වීමට සුදුසුම කාළයයි.
  • දෙවන අවධිය හෙවත් ආරම්භක අවධිය :- මූලික චලන කුසළතා (Fundamental movement skills) ඉගැන්වීම ආරම්භ කළ යුත්තේ මේ අවධියේ දීය. වයස අවුරුදු 05 සිට 09 දක්වා කාළය මේ සඳහා උපයෝගී කරගනු ලැබේ. දරුවෙකුගේ ජීවිතයේ මූලික අඩිතාලම දමාගත යුත්තේ මෙම වයස් කාළයේදීය. එය නිවැරදිව කරගන්නේ නම් මුළු ජීවිත කාළයේදීම ක්‍රියාශීලිව ජීවත්වීම සඳහා වන වටපිටාවක් නිර්මාණය කරගත හැකි වේ. එනම් මූලික චලන ක්‍රියාකාරකම් නිවැරදිව ඉගනගන්නේ නම් ක්‍රියාශීලී වැඩිහිටියෙක් බවට පත්විය හැකි වනවා. මෙම කාළයේ දී සුළු ක්‍රීඩා ඉගැන්විය යුතුයි. ක්‍රීඩා උපදේශකයෙකුගේ(Coacher) උපදේශකත්වය තුල ළමයෙකු ඉගැනගැනීමට සුදුසුම වයස මෙයයි.  මෙම කාළයේදී ද පුහුණු වැඩසටහන්තුල දී විනෝදය අනිවාර්යයෙන්ම පවත්වාගෙන යායුතු වේ. එසේ නොමැති වුවහොත් ළමයින් මෙම කටයුතේතේ රඳවාතබාගැනීම අපහසු වේ. තවද මෙහිදී ළමයින්ගේ දිවීම, පැනීම, ඇල්ලීම, ප්‍රහාර ඇතුලත් ක්‍රීඩා කළ යුතුවේ. මෙම කාළයේ දී ජිම්නාස්ටික්, පිහිනීම වැනි දේ නිරත වන්නේ නම්, දරුවාගේ කුසළතා සහ සම්බන්ධීකරණය (Skill & Coordination) වර්ධනය වේ. දරුවාට ක්‍රීඩාවෙන් ලැබෙන විනෝදය ද අවබෝධ කර දිය යුතුය. එමෙන්ම මෙම වයසේ දී හොදින් දුවන පනින දරුවෙකු ක්‍රීඩාවට යොමුකර ජයග්‍රහණ ලබාගැනීමේ අරමුණින් ක්‍රීඩාවට පුහුණු නොකළ යුතු අතර, විනෝදය සමග මූලික දක්ෂතාවයන් දියුණු කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වනවා. මෙම වයසේ දී ළමයින්ට ශක්ති වර්ධන ක්‍රියාකාරකම් ඉගැන්විය හැකි අතර, නිවැරදි, සුදුසුකම් ලත් ක්‍රීඩා උපදේශකයෙකුගේ අධීක්ෂණය යටතේ පමණක් එය කළ යුතු වනවා. අධික බර සහ බර ඉසිලීමේ උපකරණ (weight machine) භාවිතා කර පුහුණුවීම් නොකළ යුතු වනවා.
  • තුන්වන අවධිය හෙවත් පුහුණුවීම් ඉගෙනගැනීම (Learning to train) :-

වයස අවුරුදු 09 – 12 දක්වා වන අවධිය මේ සඳහා උපයෝගී කරගනු ලැබේ. මෙම වයසේ දී ළමයින්ට ක්‍රීඩා කුසළතා ඉගැන්වීම හා කුසළතාව තාක්ෂණික මට්ටමින් (Techniques) කළ යුතු වන අතර මේ, පුහුණුවීම් ඉගෙන ගන්නා කාළයයි. කුසළතාව පාවිච්චි කරණ ආකාරය, එය මුවහත් කරගන්නා අයුරු ඉගැන්විය යුතු වනවා. කුඩා ක්‍රීඩා(mini games) කිරීම මගින් විසිකිරීම(throwing) පැනීම(Jump), ලබාගන්නවා(Receiving), කකුලෙන් පහරදීම(Kicking), ප්‍රහාර එල්ල කිරීම (Striking), ප්‍රගුණ කිරීම සඳහා උපයෝගී වනවා. මෙමගින් හැකියාවන් ඔප්නැංවීම සිදු කළ හැකි වනවා. තවද මූලික චලන ක්‍රීඩා කුසළතා වර්ධනය ට යොමු කල යුතු වනවා. එමෙන්ම එම ළමයින් කිරීමට කැමති ක්‍රීඩා කිහිපයකට යොමුකිරීමෙන්, වඩාත් සුදුසු ක්‍රීඩාව කුමක්ද යන්න හඳුනාගත හැකි වනවා. මෙම කාළයේ දී ඔවුනගේ ශක්තිය වර්ධනය කිරීමේ කාර්යය සඳහා නිරතකර වීම සුදුසු වනවා. ශරීරයේ බර උපයෝගී කර ගෙන(On body Weight) කරන ක්‍රියාකාරකම් වන Jumping (horizontal jump, vertical jump), Balancing, coordination වැනි දෑ මේ කාලය තුලදී ප්‍රගුණ(development)   කළ යුතු වනවා. වි‍ශේෂයෙන්, මලල ක්‍රීඩාවේ ඇති Hoping, bounding තාක්ෂණය මෙම කාළයේ දී අනිවාර්යයෙන්ම දියුණු කළ යුතු වනවා. දරාගැනීමේ හැකියාව (Endurance), වේගය(Speed), වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ද කළයුතු වනවා. මෙම කාළයේ දී තරගකාරී මට්ටමේ(competition) පුහුණු කිරීම් සිදු නොකළ යුතු නමුදු තරගකාරී නොවන ප්‍රදර්ශනාත්මක තරග (Exhibition) සඳහා යොමුකළ හැකි වනවා.

  • හතර වන අවධිය හෙවත් පුහුණු කිරීම (Training Stage) :- මෙම අවධියේ දී තමන් ක්‍රීඩාවක් තෝරාගතයුතු වනවා. එමෙන්ම ක්‍රීඩාව පිලිබඳව ඉගෙනගනිමින් පුහුණු විය යුතු කාළය මෙයයි.  වයස් කාණඩය වන්නේ අවුරුදු 12 සිට 16 යන කාළයයි. මේ ඔවුන්ගේ වර්ධනීය කාළයයි. එනිසා එයට ගැලපෙන ආකාරයට, අවබෝධයෙන් යුතුව පුහුණු කිරීම් කළයුතු වනවා. මෙම කාළයේ දී ළමුන්ගේ චලන කුසළතා වර්ධනය කිරීම සහ ඔවුන් ප්‍රිය කරන ක්‍රීඩාවකට යොමුකිරීමට දෙමාපියන් ලෙසින් මැදිහත්වීමක් සිදු නොකළ යුතු වනවා. විශේෂයෙන්ම දරුවාට අවශ්‍ය ආකාරයට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි. ක්‍රීඩාව හා සම්බන්ධ ගුරුවරුන්ගේ වගකීම වන්නේ, ක්‍රීඩාව පිළිබඳව උපදේශණාත්මක මට්ටමින් කටයුතු කිරීමයි. පුහුණුකරුවන් තෝරාගැනීමේ දී, විද්‍යාත්මක පදනමක් සහිත අයෙක් තෝරාගැනීම වැදගත් වනවා. ළමුන්ගේ දරාගැනීමේ හැකියාව (Endurance capacity) වැඩි කිරීම අනිවාර්යයෙන්ම කළයුතු වනවා. ළමුන්ගේ අස්ථි(Borne) හා මාංශපේශී (Muscular) වර්ධනය සිදුවන කාළය බැවින්, අඩුවන නම්‍යශීලීභාවය (Flexibility) ඉතා හොඳ මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා පුහුණුවීම් පවත්වාගෙන යාම කළ යුතුයි. ශක්තිය වර්ධනය (Strength Training) කරගැනීමේ පුහුණුවීම්  අනිවාර්යයෙන්ම කළයුතු වනවා. එමගින් හොඳ දක්ෂතාවයක් පෙන්වීමට ආධාරකයක් වනවා. ශාරීරික පුහුණුකිරීම් වලට සමගාමීව මානසික පුහුණු කිරීම් තුලින්, අභියෝග වලට මුහුණදීමේ දී ඒවා දරාගැනීමට ඇති හැකියාව වර්ධනය වනවා සේම තරගකාරීත්වය ඇතිකර ගතහැකි වනවා. මෙමගින් ඇති වන දක්ෂතා අනුව එකිනෙකට ගැටීම් සිදුනොවන ක්‍රීඩා කිහිපයකට හෝ එක් ක්‍රීඩාවකට පමණක් වුවද යොමුකළ හැකියි. මෙම අවධිය ක්‍රීඩාවක් පුහුණු වන කාළයයි.
  • තරග සඳහා (Competition) පුහුණුවීමේ අවධිය :- මේ සඳහා වන වයස් කාණ්ඩය වන්නේ අවුරුදු 16 සහ 23 අතර කාළයයි. මෙම අවධිය ළමුන් පාසල් කාළය නිමා කර සමාජගතවන කාළය වන අතර, ළමා – වැඩිහිටි අතර වන සමයයි. තමන් කරන ක්‍රීඩාවේ උපක්‍රම, විශේෂ ශිල්පීය ක්‍රම (Special Training & tactics) පුහුණුවීම අනිවාර්යයෙන්ම  කළයුතු කාළයයි. ක්‍රීඩකයා තරග කිරීමට පුහුණුව ලබාගැනීමට ප්‍රථම, ඔහු හෝ ඇයගේ ශරීරය අවශ්‍ය තත්වයන් (condition) වලට වර්ධනය වී ඇතිදැයි අවබෝධයක් තිබිය යුතුයි. එනම් මූලික පුහුණුවීම් කාළයේ කළ යුතු දේ නොකළේ නම්, එය මුලින්ම ආරම්භ කළ යුතුයි. ක්‍රීඩාවට අදාල සියළුම ශාරීරික යෝග්‍යතාවයන් හි උපරිම මට්ටමට මේ වනවිට ක්‍රීඩකයා පැමිණ සිටිය යතුයි. මෙම අවධියේ දී, සහභාගී විය හැකි, අරමුණ සමග සම්බන්ධ වන සියළුම තරගාවලි නියෝජනය කළ යුතුයි. එමෙන්ම තමන්ගේ දක්ෂතා මට්ටම එකම අයුරින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුහුණුවීම් ද සිදුකළ යුතුයි. නැතිනම් දක්ෂතාවයන් අඩුවිය හැකියි. එනම් පරිසාධන මට්ටම පහළ යා හැකි වනවා. ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා යොමුවිය යුතුම කාළය මෙයයි. එමගින් ලැබෙන අත්දැකීම් තුලින් ජයග්‍රහණ වෙත යාමට ඇති අවස්ථාව වැඩිවනවා.
  • වෘත්තීමය ක්‍රීඩක අවධිය :- මේ සඳහා වයස අවුරුදු 19 සිට ඉහල වයස් කාණ්ඩය අයත් වනවා. අතීතයේ දී මෙන්ම වර්තමානයේ ද බොහෝ පාසල් ක්‍රීඩකයින් වෘත්තීය මට්ටමට පැමිණියේ මෙම අවධියේයි. වර්ථමානයේ ජාත්‍යන්තර මට්ටමේ පාසල් චෙස් ක්‍රීඩකයින් රැසක් දැකගන්නට පුළුවන්. මෙම අවදියේ දී ක්‍රීඩකයින් ක්‍රීඩා කළ යුත්තේ ජයග්‍රණ වෙනුවෙනි. සිය දක්ෂතාවයන් ඒකාකාරීව පවත්වාගෙන යමින්, තරගවලට සහභාගීවෙමින් ජයග්‍රහණ ලැබීමට කැපකිරීම් කළ යුතු කාළය මෙයයි. මේ සඳහා දක්ෂ පුහු‍ණුකරුවෙකු සමග කටයුතු කළ යුතුයි. ක්‍රීඩකයාගේ වෘත්තීමය තත්වය ඉදිරියට රැගෙන යන ආකාරය මෙම අවධියේ දී තීරණය කරනු ලබනවා. ශාරීරික යෝග්‍යතාවය ඉහලම තත්වයේ පවත්වාගෙන යායුතුයි. දරාගැනීමේ හැකියාව(Endurance), ශක්තිය (Strength), නම්‍යශීලීභාවය(Flexibility) ඉතා ඉහලම මට්ටමක පැවතිය යුතු අතර, පෝෂණීය(Nutrition) තත්වය 100% විය යුතු අතර, මානසික සූදානම(Mental Preparation), ක්‍රීඩාව හා සම්බන්ධ මානසික හැකියාවන් ඉතා ඉහල මට්ටමක තිබිය යුතුයි. නිපුණතාව(Skills) උපරිම තාක්ෂණික මට්ටමේ තිබිය යුතු වන අතර, තනි තීරණ මත සිතා බලා ජයග්‍රහණ වෙත යාමට අවශ්‍ය උපක්‍රම වැනි දේ තෝරාගැනීමේ හැකියාවන් තිබිය යුතුයි. වෘත්තීමය මට්ටමේ ක්‍රීඩකයෙක් ලෙසින් තමන්ට පැවරී ඇති සමාජ වගකීම පිළීබඳව අවබෝධයක් තිබිය යුතුයි. ලොවක් හඳුනන ක්‍රීඩකයින් ලෙස සමාජයේ දෑස් නිබඳවම තමන්වෙත යෝමුවී ඇති බව වටහාගත යුතු වනවා. තමන් පෙනී සිටින සෑම කරුනක් පිළිබඳවම වගකීමක් දැරිය යුතු බව අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. උදාහරණයක් ලෙස, ක්‍රිස්ට්යානෝ රොනෙල්ඩෝ විසින් මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රසිද්ධ බෝතල් කළ බීම වර්ගයක් ඉවත් කිරීම ගත හැකියි. හොඳ දේවල් වෙනුවෙන් පෙනී සිටීමේ සමාජ වගකීමක් ඇති බව දැන සිටිය යුතුයි. මෙවැනි දෑ වෘත්තීමය ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාව සිය ජීවිතයට සම්බන්ධ කරගත යුතු වනවා.

                                      මෙම අවධීන් තුලින්, දෙපයින් නැගී සිටින වයසේ සිට වෘත්තීමය ක්‍රීඩා ජිවිතයක් දක්වා ගමන් කළයුතු ආකාරය පිළිබඳව මෙම කළාපයෙන් ඔබ අවබෝධයක් ලබන්නට ඇතැයි සිතමු. මීට අමතරව ක්‍රියාකාරී ජීවන රටාවක්(Active Life Style) ලෙසින් කොසේ ක්‍රීඩාව කරන්නේ ද යන්න මීට පෙර ද කතා කර තිබෙනවා. ක්‍රියාකාරී ජීවන රටාවක් යනු, ඕනෑම වයසක ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ශාරීරික ක්‍රියාකාරම් වල නිරතවීම තුලින්, සෞඛ්‍ය සම්පන්න ජීවිතය හා සමාජ ජීවිතය යහපත් කරගැනීම යි.  සාමාන්‍යයෙන් ගත් කළ, මිනිසුන් ඒකරාශී වී විනෝදය සඳහා මෙවැනි සෞඛ්‍ය හා සමාජීය අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම සිදුවනවා. උදාහරණයක් ලෙස, බයිසිකල් පැදීම, ඇවිදීමට යාම(Jogging) පෙන්වා දිය හැක. මේ පිළිබඳව පෙර ලිපි වල වඩාත් විස්තරාත්මකව දක්වා ඇත.  

                                      කෙසේ වුවද, ඉහතින් දක්වා ඇති ආකාරයට, වෘත්තීමය මට්ටම දක්වා පැමිණි ක්‍රීඩකයෙක්ට, සිය ක්‍රීඩා කෞශල්‍යය විදහා දැක්වීමෙන් පසුව, වෘත්තීමය මට්ටමේ ක්‍රීඩා පුහුණු කරුවෙක්(Coach), උපදේශකයෙක් (Consaltant), විනිසුරුවරයෙක් (Judges), ක්‍රීඩා පරිපාලකයෙක්(Administrator), කටයුතු කළ යැකියි.

මෙම ලිපියට පාදක කරගනු ලැබුයේ,

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ වූෂූ ක්‍රීඩාව පිළිබඳ භාහිර කතිකාචාර්ය, ඔස්මෝ ක්‍රීඩා මධ්‍යස්ථානයේ ශාරීරික යෝග්‍යතා කළමණාකාර (NVQ Level 5), අන්තර්ජාතික වූෂූ විනිසුරු හා තරග තීරක, වූෂූ ජාතික පුහුණුකරු ( A ශ්‍රේණිය)

උපාලි අනුරසිරි මහතා සමග කළ සාකච්ඡාවකි.

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles