26 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ අනාගතය

Related Articles

මහාචාර්ය සමන් ජනරංජන හේරත් සමග කල සාකච්චාවකි…

Saman Bandara,PhD (NRE).  MBA (Fin).
Associate Professor of Agribusiness and Economics
University of Mount Olive,
North Carolina, USA

                                      ශ්‍රී ලංකාව පවත්ව ඇති වර්ථමාන තත්වය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළකරමින් සිටිනවා. මේ වනතුරු රට පාලනය කළ දේශපාලන පක්ෂ නියෝජිතයින්, එකිනෙකාට දෝශාරෝපනය කරගනිමින් සිටිනවා. විකල්ප පක්ෂ විසින් රටේ ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රමයේ ඇති වැරද්ද පෙන්වා දෙමින් සිටිනවා. ඒ අතරට ජනතා අරගලයක නිරතවී සිටින තරුණ බලවේග වසර 74ක් පුරාවට ශ්‍රී ලංකාවේ දේශපාලන බලය හෙබවූ සියළු දෙනාටම එරෙහි වී සිටිනවා. හැබැයි හැමෝම System Change එකක අවශ්‍යතාවය කතා කරනවා. උගතුන් සහ බුද්ධමතුන් යන දෙකොට්ඨාශය ම එකිනෙකට පරස්පර අදහස් දක්වනවා. නමුත් මේ කිසි කෙනෙක්, රටේ ආර්ථිකය ගොඩනැංවීම සහ සමාජීය විෂමතාවයන් දුරුකරලීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ නැහැ. දේශපාලන පක්ෂ පවසන්නේ, තමන් බලයට පත්කරන්නේ නම්, විසඳුම් ලබාදිය හැකි බවයි. බලයේ සිටින අය රට ගොඩනැංවීම සඳහා සියළු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා. මෙයා කාරයෙන් එකිනෙකාට ඇඟිලි දික්කරනවා හැර සැබෑම වූ දේශමාමකත්වයකින් රට පත්ව ඇති ආගාධයෙන් බේරාගැනීමට හෝ ගොඩනැංවීමට ප්‍රමාණවත් උනන්දුවක් දක්වන්නේ නැහැ.

                                      මේ සම්බන්ධයෙන්  ඇමරිකාවේ උතුරු කැරොලිනා හි මවුන්ට් ඔලිව් විශ්වවිද්‍යාලයේ (University of  Mount Olive – North Carolina),  කෘෂි ව්‍යාපාර සහ ආර්ථික විද්‍යාව(Agri Business & Economics) පිළිබඳ මහාචාර්ය, සමන් ජනරංජන හේරත් බංඩාර මහතා (Prof. Saman Janaranjana Herath Bandara) සමග සාකච්ඡා කළා. එම සංවාදය ඇසුරෙන් ගොඩනැගුණු ලිපි පෙළක් ඔබට ගෙන එන්නට සූදානම් කර තිබෙනවා. එහි පළමුවැන්නයි මෙසේ දිගහැරෙන්නේ.

                                      ශ්‍රී ලංකාවේ වර්ථමානයේ පවතින ආර්ථික අර්බූධය, ඔහුට ටදැනෙන ආකාරය මෙසේ පැහැදිලි කලා.

                                      මූලික වශයෙන් ශ්‍රී ලංකාවාසීන් බොහෝ දෙනෙක් ආර්ථික අර්බූධය ලෙසින් දකින්නේ, තමන්ට ඇති කෑම බීම, රැකියා අවස්ථා, සහ අහේනිය යන කරුණු ගැන පමණයි. නමුත් වර්ථමාන ආර්ථික අර්බූධය ක්ෂණයකින් ඇති වූවක් නොව, කාළයක් තිස්සේ ඇති වූ ක්‍රියාදාමයක ප්‍රථිඵලයක්. මහාචාර්යතුමා එය විග්‍රහ කළේ මෙසේයි, නිෂ්පාදන ක්‍රියාවලිය, ආනයනය, අපනයනය, ප්‍රධාන භෝග වර්ග වගාකිරීම යන සියල්ලම සම්බන්ධව කාළයක් තිස්සේ කරගෙන නොගිය, කාර්යක්ෂම නොවූ, ප්‍රමාණවත් නොවූ, සැළසුම් රහිත ක්‍රියාදාමයක ප්‍රථිඵලයක් ලෙසින් වර්ථමාන අර්බූධය ඇතිවී තිබෙනවා. විවිධ අවස්ථා වල පත්වූ ආණ්ඩු විසින්, තමන්ට අවශ්‍ය පරිදි විවිධ කටයුතු කළමුත්, ක්‍රමානුකූලව දීර්ඝකාලීනව සැළැස්මක් යටතේ, ආර්ථිකමය කටයුතු නොකිරීමේ ප්‍රථිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය මේ වන විට උච්චතම අවස්ථාවකට පත්ව තිබෙනවා. උදාහරණයක් ලෙසින් ගතහොත්, රටෙ හි ජනගහණය වෙනස්වීමත් සමග වසරකට පරිභෝජනය කරනු ලබන සහල් ප්‍රමාණය කාළයත් සමගින් කොපමණ ප්‍රමාණයක් වැඩිවෙමින් පවතිනවාද යන්න සොයා බැලීම. ඒ අනුව වර්ථමානයේ කෘෂිකර්මාන්තය තුල ඉඩම් අක්කර කීයක් වගාකරමින් තිබෙනවාද, කැළෑ ඉඩම් කොතරම් ප්‍රමාණයක් වගා ඉඩම් බවට පත් කරනවාද, කන්න එකක්ද, දෙකක්ද?, කුමණ බීජ වර්ග වගා කරනවාද?, යන්න සැළසුම් කිරීමේ දී, අනාගතයේ දී අපට අවශ්‍ය වන සහල් ප්‍රමාණය, ඒ අනුව වගා කළ යුතු ප්‍රමාණය, එයට අවශ්‍ය වන පොහොර හා කෘෂි රසායණ ද්‍රව්‍ය ප්‍රමාණය, ඒ සඳහා අවශ්‍ය බිම් අක්කර ප්‍රමාණය හා අවශ්‍ය ජල ධාරිතාවය, ගොවීන්ට ඒ සඳහා ලබාදිය යුතු දැනුම හා මූලික අවශ්‍යතා, වී සහල් බවට පත් කිරීම සඳහා සාදා තිබිය යුතු වී මෝල් ප්‍රමාණය, සහල් බෙදාහැරීමේ සැළසුමක් තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධතාවය ඇතිව සැළසුම් කර වැඩ කිරීම ඕනෑම රටක සිදුවන ක්‍රමවේදයයි. ශ්‍රී ලංකාව තුල එවැනි ක්‍රියාවලියක් දක්නට ලැබෙන්නේ නැහැ. එබැවින් නිෂ්පාදන ආර්ථිකයක් තුලින් අප ලඟාකරගන්නේ කුමක්ද? යන්න පිළිබව අබෝධයක් නොමැති කමින්, අපේ ගමන් මග කොයි දිශාවටද යන්න අපහැදිලි නිසා, මේ සා ප්‍රමුඛතා අනාගතයත් සමග සැළසුම් කරගන්නේ කේසේද යන්න ගැන අවබෝධයක් තිබිය යුතු වනවා. එසේ නොමැති නිසා එක පැත්තකින් කඩාවැටෙනවා.

                                      දෙවැනි කාරණය වන්නේ, රටක් වෙත, දේශීය පරිභෝජනයට හා විදේශීය වෙළඳාම සඳහා ආර්ථිකයට මුදල් ගලා එන, ප්‍රධාන නිෂ්පාදන කවරේද යන්න විමසා බැලිය යුතු වනවා. ශ්‍රී ලංකාව තුල ඒවා ප්‍රමානවත් ලෙස  සකස්කරගෙන නැහැ. උදාහරණයක් ලෙස, තේ, පොල් රබර් අපනයනය සළකා බලමු. ශ්‍රී ලංකාවට තේ අපනයනයතුලින් විශාල විදේශීය මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. එය එලෙසින්ම පවත්වාගෙන යන්නේ කෙසේද? සහ  එහි ආදායම් ප්‍රමාණය වැඩිකර ගැනීම සිදුකරන්නේ කෙසේද? යන්නසැළසුම් කල යුතු වනවා. ඒ වගේම නව අපනයන භෝග හෝ අපනයන කර්මාන්ත සොයාගත යුතු වනවා. එය ඇඟළුම්, මැණික්, විසිතුරු භාණ්ඩ, මල්, මළු ආශ්‍රිත නිෂ්පාදන, වැනි දෑ විය හැකියි. මොනවද කරනනේ, කොහොමද කරන්නෙ යන්න සැළසුම් කළ යුතු වනවා.

                                      ඊළඟ කාරණය වන්නේ, රටක් ලෙස ආනයනය කරන්නේ සහ නොකරන්නේ  මොනවාද? කොපමණ ප්‍රමාණයක් ද? සැළසුම් කළයුතු වනවා. එයට උදාහරණයක් ලෙස ජනගහනයට සරිලන වාහන ආනයනය හෝ ජංගම දුරකථන භාවිතය සැලකීමේ දී, සිතිය නොහැකි තරම් අතිරික්තයක් පෙන්වාදිය හැකියි. ජංගම දුරකථන මිලියන 31 පමණ සහ රථ වාහන 50% ක පමණ අතිරික්තයක් තිබෙනවා. එනිසා ආනයනයේ දී, දීර්ඝකාළීනව සෑම අංශයකම සැළසුම් වල තිබුණ අඩුපාඩු සොයා බලා කටයුතු බල යුතු වනවා. එසේ නොවුනහොත්, අපනයන ආදායම අනවශ්‍ය ලෙස අපතේ යාමක් සිදු වනවා. දී්ඝකාළීන සැළසුම් වෙත යාමත් නොහැකි වෙනවා. මෙවැනි දෑ සමගින් වෙනස්වුන ආණ්ඩු රටා සමග ඇතිවුන ප්‍රතිඵලයක් ලෙස වර්ථමාන ආර්ථික අර්බූධය පැහැදිලි කළහැකියි. කාළයක් තිස්සේ මෙම අර්බූධය පැවතුන ද ණය ගැනීමෙන් වසාගෙන තිබෙනවා. අද වන විට ණය ගෙවාගැනීමට බැරි තරමකට ණය ගෙන තිබෙනවා. ඒ නිවැරදි සැළසුම් අනුව කටයුතු නොකළ බැවින්.

                                      ආයෝජන ( Investments) ගැන සිතා බලමු. උදාහර‍ණයක් ලෙස, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය හෝ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සළකා බලමු. මේ එක ව්‍යාපෘතියක් හෝ ආදායම උපදවා වියදම හෙවත් පිරිවැය සොයාගන්නා ආකාරය ගැන නිසි දීර්ඝ කාළීන සැළසුම් නැති තරම්. මත්තල ගුවන්තොටුපල සෑදීමේ දී, මීළඟ අවුරුදු කීපය තුල ගුවන්යානා කීයක්  පැමි‍ණෙනවාද? කොහෙන්ද? කොහොමද? සහ ආදායම ලැබෙන්නේ කොහෙන්ද යන්න ප්‍රමාණවත් ලෙස විමසා බලා නැහැ. ඒ වෙනුවෙන් දෙවනුව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවලත් නැහැ. ගුවන්තොටුපල හැදුවා නමුත් ආදායම නැහැ. ඒ ගැන හිතල සැළසුම්කරලා නැහැ.

                                       කොළඹ – මාතර අධිවේගී මාර්ගය සෑදීමේ දී, ඒ සදහා ගිය වියදම (cost) සපුරාගන්නේ කොහොමද?, ඒ හරහා කොතරම් සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත, ව්‍යාපාර දියුණු කල හැකිද?, ඒ මොනවාද?, කෙසේද? යන්න හොඳින් අවබෝධ කරගෙන නැති තරම්. මාර්ගය නිසා පහසුකම් ලැබෙන නගර, ගම්මාන, දේශීය හා විදේශීය වෙළඳපොල සමග සම්බන්ධ කර ආදායම් උපයාගතහැකි ආකාරය හොඳින් අධ්‍යනය කර නැති තරම්. අධිවේගී මාර්ගය හරහා පැමිණීමේ දී කොතරම් ප්‍රමාණයක් කාළය ඉතිරිකරගත හැකිද? මෙම මාර්ගය උපයෝගී කිරීම හේතුවෙන් පොදු ප්‍රවාහණ පද්ධතියක්  ක්‍රියාත්මක කිරීමෙන් කොතරම් ප්‍රමාණයක් ඉංදන භාවිතය අවම කරගත හැකිද? ඒ තුලින් මෙම මාර්ගය සෑදීම සඳහා වැය කල පිරි වැය සොයාගැනීම සදහා ක්‍රමෙව්ද   පිළිබදච ප්‍රමාණවත් සැළැසමක් නැහැ.  

                                      උදාහරණයක් ලෙස, දකුණු අධිවේගී මාර්ගය සෑදීමේ දී, මත්ස්‍ය කර්මාන්තයත් සමග වන ව්‍යාපාරයක් ඉදිරියට රැගෙන යාමේ වැඩපිළිවෙලක් තිබුණේනම් (මාළු ආශ්‍රිත ව්‍යාපාර), ලුණු කර්මාන්තය හෝ වෙනයම් ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් නිර්මාණය කලේනම්, විදේශ විණිමය සොයාගතව හැකිව තිබුණා. දකුණු මුහුද ආශ්‍රිතව සංචාරක කර්මාණ්තය වැඩිදියුණු කිරීමේ අදහසක් ආණ්ඩුවට තිබුණත්, ප්‍රමාණවත් ලෙස ඒ ආශ්‍රිත සේවා සැපයුම් සැළසුම් කළේ නැහැ. සංචාරකයින්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් ඉහල නැංවීමේ ක්‍රියාමාර්ග ගෙන නැහැ. මාලදිවයානේ මෙන්, වෙරළ තීරය පිරිසුදුකර, සංචාරකයින්ට විනෝදවීම සඳහා විවිධ අවස්ථා නිර්මාණය කිරීම, ඒ සඳහා ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් දියත්කිරීම, ජාත්‍යන්තරයට එය රැගෙනයාම, කර නැහැ. රජයේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ අධිවේගී මාර්ගය සෑදීම තුලින් ඉතා ඉක්මනින් ගමන් කිරීම පමණයි. එයින් භාහිර මුදල් සෙවීමක් ගැණ සළකා නැහැ. අදිවේගී මාර්ගයේ ගමන්ගන්නා අයට එහිදී විනෝදවීමට හෝ විවිධ කටයුතු සඳහා එකතුවීමට අවස්ථාව උදාකර දී එයින් මුදල් ඉපයීමට කටයුතු කර නැහැ. අධිවේගී මාර්ග භාවිතයට ගන්නා අනෙකුත් දියුණු රටවල් දෙස බැලුවේ නම්, මෙය ලෙහෙසියෙන් කළ හැකිව තිබුණා. ඉහතින් කී කාරණා සිදුකර තිබුනේනම් මත්තල ගුවන්ගොටුපලට එන ගුවන්යානා ප්‍රමාණය වැඩිකරගත හැකිව තිබුණා. හම්බන්තොට වරාය නිර්මාණය කලද එහි ඩොක්යාඩ් එක සෑදීම, කුමන නැව් සමාගම් සමග ඒකාබද්ධ වනවාද?, කුමණ ප්‍රමාණයේ නැව් ඒ වෙත රැගෙන එනවාද, ඒ අයට දෙන පහසුකම් මොනවාද?, ඔවුන්ට ලබාදෙන පහසුකම් මොනවාද? යන්න සැළසුම්කර නැහැ. සූරියවැව ක්‍රිඩාංගණය නිර්මාණය කිරීමේ දී, තරග කීයක් වසරකට පවත්වනවාද?, මොන මොන ක්‍රීඩා එහි පැවැත්විය හැකිද? යන්න තීරණය කර මූලික යටිතල පහසුකම් දියුණු කළ යුතු වනවා. ඒ සඳහා වන ධනය ඉපයීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කර නැහැ. එවිට අපි අසමත්. මෙවැනි දේවල් සෑදීමේ දී, සැළැස්මේ මුලින්ම මේ සඳහා වන වියදම, ඒ සමග අවට ගම්මානවල ඇතිවන දියුණුව, ඒ අවට නිර්මාණය කරන කුඩා, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්ත, ඒ තුලින් බලාපොරොත්තු වන ආදායම, අවුරුදු 10ක් යන විට ඒතුලින් වැයකළ මුදල සොයාගන්නා ආකාරය පිළිබඳව සැළසුම් නැහැ. ඒ නිසා එම ව්‍යාපෘතිවලින් අපි අසමත්.

                                      අවාසනාවකට කෝඩිඩ් වසංගතය, රටේ අර්බූධය තවත් උත්සන්න කළා. ණය අරගෙන ගෙවාගත නොහැකි අවස්ථාවක සිටින විට, කෝවිඩ් මගින් ආර්ථිකයට මරු පහරක් එල්ලවුනා. කුඩා පරිමාණයේ ව්‍යාපාරකඩාබිඳගෙන වැටුනා. නිසි වේලාවට පියවර ගත්තේ නම්, කෝවිඩ් පාලනය කරගන්නට තිබුණා. ලංකාව වැනි කුඩා රටකට, දුපතකට එය ලෙහෙසියෙන් කර තිබුණා. මේ සමග, කාළයක් තිස්සේ ගන්නා ලද ණය වාරික, ගෙවීම ආරම්භ වුන නිසා, ශ්‍රී ලංකාව බංකොළොත් වන තත්වයට පැමිණියා. විශාල ණය වාරික ගෙවීම ආරම්භ කළේ, 2020 වසරේ සිටයි.

                                      ආදායම් වැඩිකරගැනීමේ කිසිදු සැළැස්මක් නැති යෝජනා, විශාල ණය කන්ද, රාජ්‍ය පාලනයේ අසමත් කම, අකාර්යක්ෂම රාජ්‍ය සේවය යන මේ සියල්ල එකවර සිදුවන විට, බලයට පත්වන කිසිම කෙනෙකුට මෙය ලේසියෙන් පාලනය කරගැනීමට නොහැකියි.

                                      මෙයට,  ආණ්ඩුව කරන පුද්ගලයින් සහ  සැළසුම් හදන අය යන කොට්ඨාශ දෙකම වගකිවයුතු වනවා. වසර 5න් 5ට ආණ්ඩු වෙනස් කරන විට කළින් ආණ්ඩුව ක්‍රියාත්මක කළ යහපත් කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීම, සැළසුම් ක්‍රියාත්මක කරන නිළධාරීන් විසින් අදාල අමාත්‍යවරුන්ට මේ පිළිබඳව අවබෝධ කරදී ඒවා ක්‍රියාත්මක කිරීමට පසුබිම සකස් කළ යුතුයි. ඒවා නොකරන නිසා දෙගොල්ලම වැරදියි. ආණ්ඩුව වසර පහෙන් පහට වෙනස් වුනාට සංවර්ධන ව්‍යාපෘති වසර 10 ක් හෝ 15ක් වැනි දීර්ග කාලීන සැළසුමක් අනුව ක්‍රියාත්මක වනවා. එම සැළසුම් හිටි හැටියේ වෙනස් වන්න බැහැ. එහෙ වුනොත්, අපේක්ෂිත ඉලක්ක වෙත යන්න බැරි වෙනවා. එමෙන්ම ආයතන අතර සාමූහිකත්වයක් නොමැති නිසා ඇතිවන කඹ ඇදීම් නිසා ව්‍යාපෘති අඩාල වනවා. දකුණු අධිවේගී මාර්ගය සාදන විට සංචාරක අමාතයාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සාමූහික විය යුතුයි. එවිට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වන පිවිසුම් මාර්ග හා එයට අදාල කටයුතු නිර්මාණය කරගත හැකි වනවා. සමහර මාර්ග වල කාපර්ට් ඇතිරීමෙන් පසුව ජලනල එලීම හෝ භූගත දුරකථන රැහැන් පද්ධති ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. එමගින් මාර්ගයට හානා සිදුවනවා. එනිසා ආයතන එකිනෙක සමග අදහස් හුවමාරුකරගැනීම සිදුකළ යුතු වනවා. එමෙන්ම මාර්ගයක් හෝ පාළමක් සෑදීමේ දී ඉදිරි වර්ෂ 50ක් ගැන සිතා සිදුකළ යුතු වනවා. ඒ කාළය වන විට කොපමණ වාහන ප්‍රමානයක් ගමන් කරයිද? කොතරම් බර ප්‍රමාණයකින් යුතු වාහන ගමන් කරයිද යන්න සැළසුම් කළයුතු වනවා. ඒ සඳහා පරිසරය සම්බන්ධ ආයතන, ආර්ථිකය සම්බන්ධ ආයතන, ඉංජිනේරුවන් ආදී සියළු දෙනා එක්ව කටයුතු කළයුතු වනවා. එය එසේ සිදුනොවන නිසා අපි අසමත්.

                                      තවද ආණ්ඩුව විසින්, ව්‍යාපෘති වාර්ථ සකසන විට දී, වැඩිම ප්‍රථිලාභ ලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු වනවා. කෘෂි ආර්ථිකයක් ක්‍රියාත්මක වන අප රටෙහි සේවා අංශයට වඩා නිෂ්පාදන අංශයට ප්‍රමුඛතාවය ලබාදීම වඩාත් වැදගත්. විශේෂයෙන්ම, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛතාවය දිය යුතු වනවා. වී ගොවිතැන් කරන්නන සම්බන්ධයෙන් මෙය වඩාත් වැදගත් වනවා. කවුරු කොහොම කීවත්, ප්‍රධාන ආහාර භෝගය වගා කරන අයට ලබාදෙන පහසුකම් වැඩිකළ යුතුම වනවා.

අනෙකුත් නිෂ්පාදන සහ සේවා සපයන දෙපාර්තමේන්තු, ආයතන දෙස බැලූ විට, මේ ලෙසින්ම අඩුපාඩු රැසක් දැකගන්න පුළුවන්. අවාසනාවකට මෑත කාළිනව ආණ්ඩු කළ කිසිම අයෙක්, ඒ ආයතන වල පත්වීම් ලබන නිළධාරීන් කිසිවෙක්, මේ පිළිබඳව ප්‍රමාණවත් අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නැහැ. වගවීම (accountability) හා (Responsibility) දෙකම මීට වඩා ඉහල මට්ටමක තිබුණේනම්, මෙය හොඳින් කළ හැකිව තුබුණා. ආකල්පමය වෙනසක (Attitude change) අවශ්‍යතාවයක් දැඩිලෙසම තිබිය යුතු වනවා.

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles