

සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගනිමින්, නීරෝගීමත් මහජනතාවක් බිහිකිරීම පිණිස, මාධ්‍යයක් ලෙසින් ජනතාව නිවැරදිව දැනුවත් කිරීමේ අරමුණින් මෙම ලිපිපෙළ ඉදිරිපත් කරනවා. කෙටි නිහැඬියාවකින් පසු, ඔබට තවත් අවශ්‍යම වන සංඝටකයක් පිළිබඳව මෙවර ඔබ හා කතා කරන්නට සූදානම්. ඒ දැනුවත් කිරීම සඳහා මෙවරත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන උපාලි අරුණසිරි මහතා සමග දොඩමළු වුනා.
පෝෂණය ගැන කළ කතාබහේ අවසාන කොටසටයි, අද අප පිවිසෙන්නට සූදානම් වන්නේ. මීට ඉහතදී මහා පෝෂක (macro – nutrients) සහ ක්ෂුද්‍ර පෝෂක (micro – nutrients) මොනවාද යන්න අප කතා කළා. එහිදී, මහා පෝෂක ලෙසින් ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදය සහ ජලය ගැන කතා කළා. ක්ෂුද්‍ර පෝෂක ලෙසින්, විටමින් සහ ඛණිජලවණ හඳුන්වා දිය හැකියි. විටමින් පිළිබඳව මීට ඉහතදී විස්තර ඉදිරිපත් කළ බැවින් මෙවර ඛණිජලවණ පිළිබඳව කතාකරන්නට සූදානම්.
ඛණිජලවණ (Minerals) මිනිස් ජීවිතය පවත්වාගෙන යාමට හෙවත් ජීවී ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. මෙය ශරීරයට ලබාගනුයේ ඉතා සුළු ප්‍රමාණ වශයෙනි. ඛණිජලවන අධිමාත්‍රා මිලිග්‍රෑම් (mg) සහ අංශුමාත්‍රා මයික්‍රෝග්‍රෑම් ලෙසින් යන දෙයාකාරයෙන් ලබාගත හැකියි. ව්‍යුහාත්මක, පරිවෘත්තීය, නියාමන යනුවෙන් කාර්යයන් තුනක් අප ශරීරය තුලදී සිදුකරයි.
ව්‍යුහාත්මක කාර්යයන් ලෙසින් ශරීරයේ අස්ථි සහ දත් ශක්තිමත් කිරීම සඳහන් කළ හැකිය.(Structural regularly and metabolism capacities). උදාහරණයක් ලෙස, සෛල තුල ඇති තරලවල සමබරතාවය පවත්වාගැනීම, අස්ථි පටක ගොඩනැගීම, හෝමෝනවල ක්‍රියාකාරිත්වය, ස්නායු ආවේග සම්ප්‍රේශනය, මාංෂපේශි හැකිලීම හා ලිහිල් කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම යන කාර්යයන් පරිවෘත්තීය හා නියාමන ක්‍රියාවන් ලෙසින් දැක්විය හැක.
ඛණිජලවන, ශක්තිය සෘජුව සැපයීම සඳහා භාවිතා නොවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. එමෙන්ම, මිනිස් සිරුරේ බරින් 7% පමණ ඇත්තේ ඛණිජලවන වේ. එයින්, කැල්සියම් හා පොස්පරස් ප්‍රමාණයෙන් වැඩිය. ඒ අනුව අපගේ ශරීරයේ ඇති ඛණිජලවන වලින් ¾ ක්ම තිබෙන්නේ, කැල්සියම් හා පොස්පරස් ය.
ඛණිජලවන වර්ග රාශියක් ඇතිමුත් අද කතාකිරීමට සූදානම් වන්නේ, එයින් කිහිපයකින් සිදුවන කාර්යයන්, ඌණතාවයක් ඇතිවුවහොත් සිදුවන බලපෑම පිළිබඳවය. ඒ අනුව ඔබට ඛණිජලවන ඌණතාවයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට හැකි වේ.
අධිමාත්‍රා ;- මෙහිදී දිනකට 100mg වැඩියෙන් ගතයුතු වර්ග ලෙස, කැල්සියම් (Ca), පොස්පරස් (P), සල්ෆර් (S), සෝඩියම් (Na),පොටෑසියම් (K), මැග්නීසියම් (Mg) නම්කළ හැක. මේවා අප ගන්නා ආහාර සමග අපේ ශරීරයට ලැබිය යුතුය. මෙම ඛණිජලවන වලින් සිදුවන කාර්යයන් වන්නේ, අපගේ අස්ථි පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ ශක්තිමත්භාවයට, මාංශපේශීන් හැකිලීමේ හා දිගහැරීමේ ක්‍රියාවලියට (Mussel construction), ප්‍රෝටීන් නිෂ්පාදනයට, ස්නායු ආවේග සම්ප්‍රේශනයට (Nerve Transmission) දායක වීමයි.
අංශුමාත්‍රා ;- දිනකට 100mg වඩා අඩුවෙන් ගතයුතු ඛණිජ ලවන. යකඩ (Fe), සින්ක් (Zn)- ඩී.එන්.ඒ. නිෂ්පාදනයට, selenium මෙය සෛලීය ස්වසනයට ඉතා අවශ්‍යයි. අයඩීන් (I), කොපර් (Cu)- Iron metabolism , මැංගනීස් (Mn), අලුමීනියම්, ක්‍රෝමියම් (Cr) – Chromium, සෙලීනියම් (Se) Selenium, ෆලෝරීන් (F) නම් කළ හැක.
අධිමාත්‍රා සහ අංශුමාත්‍රා ඛණිජලවන පිළිබඳව විස්තර පහත අයුරින් දැක්විය හැක.
01. කැල්සියම් (Calcium) ;- කැල්සියම යනු ලෝහ කාණ්ඩයේ රසායනික මූලද්‍රව්‍යයකි. අපගේ ශරීරර බරෙහි 2% පමණ ඇත්තේ කැල්සියම් ය. සාමාන්‍ය වැඩිහිටි අයෙකුට දිනකට කැල්සියම් 100mg පමණ අවශ්‍ය වනවා. නමුත් ගර්භණී මාතාවකට ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනවා. අපගේ ශරීරයේ තුවාලයක් හෝ කැපීමක් සිදුවූ විට රුධිරය ගලායාම සිදුවනවා. එය මාරාන්තික විය හැකියි. නමුත් කැල්සියම් අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ ඇත්නම් රුධිරය කැටගැසීම ඇති වී ලේ ගලායාම නවතී. එමෙන්ම දත් හා අස්ථි වර්ධනයට මෙන්ම, ඒවා ශක්තිමත්ව පවත්වාගෙන යාමට කැලිසියම් සංඝටකයක් ලෙස, අනිවාර්යයෙන්ම අවශ්‍ය වනවා.


ශරීරයේ මාංශපේශි ක්‍රියාකාර්ත්වයට, හෘදයේ මස්පිඩුවල ඇති සියුම් ලේ නහර සංකෝචනය සඳහා, එන්සයිම වල ක්‍රියාකාරිත්වයට, තයිරොයිඩ් හෝමෝනය පාලනය කිරීම ඇතුළු අන්තරාසර්ග ග්‍රන්ථි තුල සිදුවන සියළුම හෝමෝන සංස්ලේෂණය හා මුදාහැරීම තුලින්, ශරීර අවයව වල කායික විද්‍යාව උත්තේජනය කරන සහ සම්බන්ධීකරණය කරන සියළුමකායික ක්‍රියාවලියන් සඳහා කැල්සියම් උපකාරී වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට අනුව, වැඩිහිටි පුද්ගලයෙකු දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 900ක් පමණ ලබාගතයුතු වනවා.


කැල්සියම් ඌනතාවයක් ඇති වුවහොත්, අස්ථිවල ශක්තිමත්භාවය අඩුවීම (ඔස්ටියෝ පොරොසිස් රෝගයට ගොදුරු විය හැක). මානසික ව්‍යාකූලතා ඇතිවිය හැකියි. කුඩා ළමුන්ගේ වර්ධනයට බලපෑමක් සිදුකරයි. නියපොතු කැඩී යාම, ස්නායු ක්‍රියාකාරිත්වය දුර්වල වීම, හෘදයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම, මුහුණ අත්හා යටිපතුල් හිරිවැටීම ඇතිකරයි.


අප ගන්නා කැල්සියම් ශරීරයට අවශෝෂණය කරගැනීම සඳහා විටමින් ˙ඩී˙ අවශ්‍ය වේ. ගර්භණී කාන්තාවන්, කුඩා ළමුන් හා මැදිවයසේ කාන්තාවන් කැල්සියම් සහිත ආහාර ගැනීම පිළිබඳව ඉතා සැළකිලිමත් විය යුතුයි.
කැල්සියම් අඩංගු ආහාර – කිරි, බිත්තර, මාළු, මස්, බටර්, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කටු සහිත කුඩා මාළු වර්ග, පලා වර්ග, කුරක්කන්, තල, ඇඹරැල්ලා, දිවුල්, දැක්විය හැක.


02. පොස්පරස් (Phosphorus) ;- ශරීරර බරෙහි 2% පමණ ඇත්තේ පොස්පරස් ය. මෙයින් සිදුවන කාර්යයන් ලෙස, දත් හා අස්ථිවල වර්ධනය, පේශි වල හා ස්නායු වල ක්ෂණික මුදාහැරීම් සඳහා උපකාරී වීම. පේශියක ක්‍රියාකාරිත්වය, එනම්, හැකිලීම හා දිගහැරීම සඳහා (Contacting & Relaxing Mussels ) උපකාරී වේ. තවද, මේදය හා කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තීය ක්‍රියාවලියට පොස්පරස් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. සිරුරේ ආම්ලික හා භාෂ්මිකතාව පාලනය කිරීම ද මෙමගින් සිදුවේ. “


පොස්පරස් ඌනතාවයකදී, අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීයාම සිදුවේ. එමෙන්ම වර්ධනය අඩුවීම, දත් හා අස්ථි විකෘතිවීම, අස්ථි ක්ෂීණවීම, ස්නායු දුර්වලතා ඇතිවීම ආදිය සිදු වේ.


03. පොටෑසියම් (Potassium) ;- සෛල තුල තරල වල සමබරතාවය පාලනය කිරීමට උදව්වේ. හෘද සහ මාංශපේශී වල ක්‍රියාකාරිත්වය ට උදව් වේ. ස්නායු ආවේග සම්ප්‍රෙශනයට උදව්වේ. පොටෑසියම් ඌනතාවයකදී, ශරීරයේ පේශි දුර්වල වේ. මානසික දුර්වලතාවයන් ඇති වේ


මෙහිදී දිනකට කොතරම් ප්‍රමාණයක් ලෙසින් මෙම සංඝටක ගතයුතුදැයි සඳහන් නොකරමි. එයට හේතුව වන්නේ, මේවා ශරීරයට අවශ්‍ය කොතරම්ද යන්න මුලින්ම සඳහන් කර ඇති නිසාය.


04. සෝඩියම් (Sodium) ;- සෛලතුල ආක්ෂිත පීඩනය පවත්වාගැනීමට උපකාරී වේ. ජීර්ණ යුෂ වල සංඝටකයක් ලෙස සෝඩියම් අඩංගු වේ. ඊට අමතරව එන්සයිම වල ක්‍රියාකාරිත්වයට දායක වේ. එමෙන්ම ස්නායු ආවේග සම්ප්‍රේශනයට ද සෝඩියම් අවශ්‍ය වේ.
සෝඩියම් ඌනතාවයකදී – ස්වසන ආබාධ ඇතිවීම, කෙන්ඩ පෙරලීම, පාචනය හා ඔක්කාරය ඇතිවීම සිදුවේ. මෙම ආබාධ ඇතිවූ විට සෝඩියම් බාවිතා කරන අවස්ථා ද ඇත. උදා;- කෙන්ඩා පෙරලීමේ දී ලුණු පාවිච්චිය.
05. මැග්නීසියම් (Magnesium) ;- මෙම සංඝටකය අස්ථි සහ දත්වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වේ. හෘද ස්පන්දනය පාලනය කිරීමේ හැකියාව මැග්නීසියම් සතුවේ. ශරීරයතුල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලියට මෙය අවශ්‍ය වේ. කංකාල පේශ සහ ස්නායු වල ඇති කාර්යයන් පාලනය කිරීමට ද, එන්සයිම වල ක්‍රියාකාරිත්වයට, මැග්නීසියම් උපකාරි වේ. මෙමගින් හෘදයාබාද ඇතිවීමේ අවධානම පවා අඩුකළ හැකිය.
මැග්නීසියම් යනු ශරීරයට නිසි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ඛනිජයකි. රුධිරයේ සීනි නියාමනය කිරීම සහ ශරීරයේ සිදුවන විවිධ රසායනික ප්‍රතික්‍රියා වල ප්‍රධානත්වයක් හිමිවේ. මැග්නීසියම් දත් නිසි ලෙස වර්ධනය වීමට දායක වේ.
හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ, දිනපතා මැග්නීසියම් පරිභෝජනය තුලින් දියවැඩියාව වැළඳීමේ අවස්ථාව 33% කින් අඩුකරන බවයි. වෙනත් පර්යේෂණයකින් දක්වා ඇත්තේ, මැග්නීසියම් මගින් මානසික අවපීඩනය සහ ඉරුවාරදය අඩුකිරීමට උපකාරී වන බවයි. කේසේ වුවද, මැග්නීසියම් පෙති හෝ කරල් ලෙස භාවිතයට වඩා, අප ගන්නා ආහාර මගින් ශරීරයට ලැබීම වඩාත් උචිත වේ.
අධික ලෙස මත්පැන් හෝ කැෆේන් පානය කිරීම ද, මැග්නීසියම් මට්ටම ට අහිතකර ලෙස බලපෑම් සිදු කරයි. අපගේ ශරීරයේ මැග්නීසියම් මට්ටම අඩුවූ විටදී, ශරීරයට බරපතල ලෙස බලපෑම් කළ හැක. ඒවා නම්, ස්නායු දුර්වලතාවය, වකුගඩු ආබාධ, හෘද පටක සම ස්නියු පටකවල ක්‍රියාකාරිත්වය ඇනහිටීම, හෘදස්පන්දන වේගය වැඩිවීම, ආමාශ ආන්ත්‍රයිකරෝග, දියවැඩියාව, වමනය හා පාචනය වේ.
එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය දෛනිකව මැග්නීසියම් පරිභෝජනය පහත අයුරින් නිර්දේශ කර ඇත.
● අවුරුදු 1 – 3 අතර 80 mg
● අවුරුදු 4 – 8 අතර 130 mg
● අවුරුදු 9 – 13 අතර 240 mg
● පිරිමි අවුරුදු 14 – 18 අතර 410 mg
● කාන්තාවන් අවුරුදු 14 – 18 අතර 360 mg
● පිරිමි අවුරුදු 19 – 30 අතර 400 mg
● කාන්තාවන් අවුරුදු 19 – 30 අතර 310 mg
● පිරිමි අවුරුදු 31+ නම් 420 mg
● කාන්තාවන් අවුරුදු 31+ නම් 320mg
මැග්නීසියම් අඩංගු ආහාර ;- සම්පූර්ණ තිරිඟු, නිවිති, ආමන්ඩ්, ටෝෆු, නළු බෝංචි, සෝයා බෝංචි, අලිගැටපේර, චොකලට්, රටකජු


06. යකඩ (Iron) ;- යකඩ ශරීරයට අත්‍යාවශ්‍ය වන හේතු කීපයක් තිබෙනවා. රුධිරය රතුපාට බව ඔබ හොඳින් දන්නවා. එසේ වන්නේ, රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය අනුවයි. හිමොග්ලොබින් වල කාර්යය වන්නේ, අප ආහාර මගින් ලබාගන්නා පෝෂ්‍ය පදාර්ථ (Nutrition) අදාල ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමයි. අපගේ ශරීරයේ අවශය තරමට යකඩ නොමැතිනම්, හිමොග්ලොබින් නිසියාකාරව සෑදිය නොහැකි වනවා. එම නිසා අපට අවශ්‍ය පොෂ්‍ය පදාර්ථ ප්‍රවාහනය අඩාල වනවා. මෙය කෙටියෙන් කියන්නේ නම්, යකඩ ඌනතාවයක් ඇති වුවහොත් සෛලීය ස්වසනයට බාධාවක් වනවා. එමෙන්ම මාංශපේශීන් වල ඔක්සිජන් ගබඩා කිරීමට, පේශිවල මයොග්ලොබින් සෑදීම, රුධිරයේ පරිවහන මාධ්‍යයක් ලෙස හා අක්මාවේ ගබඩා මාධ්‍යයක් ලෙස ද ක්‍රියා කරයි. එන්සයිම නිෂ්පාදනයට ද යකඩ වැදගත් වනවා.
යකඩ ඌනතාවය ;- ඇතිවුවහොත්, රක්තහීනතාය ඇතිවෙනවා. එනිසා අපට බොහෝදුරට නිදිමත ගතිය ඇතිවීම, මානසික දුර්වලතා ඇතිවීම, සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් අඩාලවීම, හතිය, සුදුමැලි බව, අලස බව, ඉක්මනින් විඩාවට පත්වීම, පහසුවෙන් ලෙඩරෝගවලට ගොදුරුවීම ආදිය සිදුවිය හැක.
යකඩ අඩංගු ආහාර ලෙස, පීකුදු, රතුමස් වර්ග, මාළුවල හීම් යකඩ අඩංගුවේ,බිත්තර කහමදය, පලාවර්ග, වියලි මිදි, රට ඉදි දැක්විය හැක.


මීට පෙර ලිපියකින් යකඩ පිළිබඳව වැඩිමනත් තොරතුරු හා අඩංගු ආහාර පිළිබඳව සාකච්ඡා කර තිබෙන බැවින් මෙහි සඳහන් නොකරමි.


07. සින්ක් (Zink) ;- එන්සයිම වල සංඝටකයකි. ප්‍රෝටීන් සංස්ලේෂණය, විටමන් A කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තීය ක්‍රියාවලියට, හෝමෝන නිෂ්පාදනය සඳහා ඉවහල් වේ. ඉන්සියුලින් වල සංඝටකයකි.
සින්ක් ඌනතාවයක දී – වර්ධනය අඩුවීම, ඉන්සියුලින් නිෂ්පාදනය අඩුවීම, ලිංගික පරිනතිය ප්‍රමාද වීම, ආහාර රුචිය අඩුවීම, රස නොදැනීම, සම රළු වීම, රාත්‍රී අන්ධතාව, ප්‍රතිශක්තිකරණය දුර්වල වීම සිදුවේ.


සින්ක් ලබාගත හැකි ආහාර ;- කකුළුවන්, බෙල්ලන්, කොකෝවා, බිත්තර කහ මදය, තල ඇට, බදින ලද කජු, රනිල බෝග


08. අයඩීන් (Iodine) ;- වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අයඩින් ඌනතාවයක් ඇති නොවේ. හේතුව වන්නේ, ලුණු වලට අයඩින් මිශ්‍ර කර ඇති බැවින්, ලුණු සමග අයඩින් අපගේ ශරීරය ට ඇතුල් වන නිසාය. අතීතයේ දී සමහර ගම්මාන වල ගලගන්ඩය හෙවත් වායු ගෙඩි ඇතිවීම (බෙල්ල ඉදිරියට ඉදිමීම) සාමාන්‍ය තත්වයේ පැවතින. නමුත් වර්ථමානයේ එය ඉතා පහල මට්ටමක පවතී.
ශරීරයට අත්‍යාවශ්‍ය හෝමෝනයක් වන තයිරොක්සින්, තයිරොයිඩ් ග්‍රන්ථයේ නිෂ්පාදනය කිරීමට අයඩින් අවශ්‍ය වේ. ශරීරයේ බර අඩුකරගැනීමට ද අයඩින් වැදගත් වේ. එමෙන්ම, පරිවෘත්තීය සීඝ්‍රතාව පාලනය කිරීම, මොලයේ අස්ථි වල සහ හිසකෙස් වල වර්ධනය, මව්කිරි ශ්‍රාවය කිරීම සඳහා උත්තේජනය කිරීම, ගර්භනී අවධියේ භ්‍රෑණයාගේ මනා වර්ධනය සඳහා අයඩින් වැදගත් වේ.
අයඩීන් ඌනතාවයකදී – වර්ධනයේ ප්‍රවනතාව අඩු වේ. බුද්ධි සංවර්ධනයට බාධා ඇති වේ. ඉගෙනීමේ නිරත අයට අධික ලෙස ඉගෙනීමට කම්මැලි විය හැකියි.මන්ද බුද්ධික දරුවන් බිහිවීම මෙන්ම, ශ්‍රවණ ආබාධ හා කථන ආබාධ ඇති දරුවන් බිහිවීමේ ක්‍රෙටිනතාව ඇතිවේ.


අයඩින් අවම ලෙස දෛනිකව ගතයුතු ආකාරය සඳහන්ව ඇත්තේ මෙසේය.
● අවුරුදු 1 – 13 දක්වා ළමුන් සඳහා මයික්‍රෝ ග්‍රෑම් 90
● වැඩිහිටියන් සඳහා මයික්‍රෝ ග්‍රෑම් 150
● ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ට මයික්‍රෝ ග්‍රෑම් 290
අයඩින් අඩංගු ආහාර ;- යෝගට්, ස්ට්‍රෝබෙරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන, අර්තාපල්, බ්ලූබෙරි




09. සෙලීනියම් (Selenium) ;- ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරයි. එන්සයිම නිෂ්පාදනය හා අග්න්‍යාසයේ මනා ක්‍රියාකාරිත්වයට උපකාරී වේ.
සෙලීනියම් උනතාවයකදී – හෘදයාබාධ ඇතිවීම, වර්ධනය බාල වීම, මාංශපේශී වේදනාව සහ දුර්වල වීම, හිසකේස් වල සහ සමෙහි වර්ණ අඩුවීමථ නියපොතු සුදුපැහැ වීම සිදු වේ.
ලබාගතහැකි ආහාර – ධාන්‍ය වර්ග, මස්, මාළු සහ කිරි ආහාර


අප ගන්නා ආහාරවල පෝෂ්‍ය පදාර්ථ විවිධ ප්‍රමාණ වලින් අඩංගු වේ. පෝෂ්‍ය පදාර්ථ ආහාර වල ගුණාත්මක බව කෙරෙහි බලපාන එක් ප්‍රධාන සාධකයකි. ආහාර හා පෝෂණය අතරමනා අන්තර් සම්බන්ධතාවයක් තිබේ. ආහාර ඒවායේ පෝෂණ අගය සහ කෘත්‍යය මත පදනම් ව කාණ්ඩ කර ඇත. එක් එක් ආහාර කාණ්ඩ වලට සුවිශේෂී වූ පෝෂ්‍ය පදාර්ථ තිබේ. අප විසින් පරිභෝජනය සඳහා ආහාර තෝරාගැනීමේ දී, පෝෂ්‍ය පදාර්ථ පිරි ආහාර ලබාගැනීම වඩාත් වැදගත් වේ.
මෙම ලිපිය, ඔබේ ජීවිතයට ඉතා වැදගත් වේ. තව ද මෙම සංඝටක සුළුවෙන් ශරීරයට ගත යුතු වුවත් එයින් සිදුවන කාර්යයන් සුළු නොවන බවද ඔබට අවබෝධ වන්නට ඇත.
විශේෂයෙන්ම ලබන කලාපයෙන් බර අඩුකිරීමට ගත යුතු සහ ක්‍රියා කල යුතු නවීන සහ යාවත්කාලීන ව ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
මෙම ලිපියට පාදක කරගනු ලැබුයේ,


ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ වූෂූ ක්‍රීඩාව පිළිබඳ භාහිර කතිකාචාර්ය, ඔස්මෝ ක්‍රීඩා මධ්‍යස්ථානයේ ශාරීරික යෝග්‍යතා කළමණාකාර (NVQ Level 5), අන්තර්ජාතික වූෂූ විනිසුරු හා තරග තීරක, වූෂූ ජාතික පුහුණුකරු ( A ශ්‍රේණිය)
උපාලි අනුරසිරි මහතා සමග කළ සාකච්ඡාවකි. එතුමන්ට මාගේ ප්‍රණාමය!!