29 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

හන්තාන සිහිනේ ….

Related Articles

ප්‍රේමය තරම් බලවේගයක් ලොව තවත් වේදැයි සැක සහිතය.. ජීවිත උඩු යටිකුරු කරවීමේ පුදුමාකාර බලයක් ඊට තියෙනවා..ප්‍රේමය පුරා ඇත්තේ ආත්මාර්තයමයි..පෙමින් බැදුන කෙනා තමන් සතු කරගැනීම තමයි සෑම පෙම්වතකුගේම පෙම්වතියකගේම පැතුම...විවාහය ඒ සදහා වූ සමාජ සම්මතයයි.. එහෙත් ප්‍රේමය සැමවිටම සම්මතද..?....අසම්මත ප්‍රේමයක් සිතක හට ගන්නට බැරිද...?..ප්‍රේමයට වැට කඩොළු සම්මත අසම්මත සීමා තහංචි නෑ..කිසිම දිනක හිමි කරගනු බැරි කෙනෙකු පිලිබදව වුවත් ප්‍රේමයක් සිතක හට ගන්නට පුලුවනි... ප්‍රේමයට හේතු හොයනු බැහැ....පෙම් සිතිවිල්ලක් සිතක හටගන්නේ නිරායාසයෙන්.. ඒ විදියට හිතක පූදින පෙම යම් හෙයකින් අසම්මත වුවහොත් ජීවිතයට උරුමවන්නේ කදුල...එහෙත් ඒ කදුලත් මිහිරියි....අහිමි පෙම නමින් උපන් කදුල තුලම රැදෙමින් ඒ සෙනෙහසත් එක්කම ගනුදෙනු කරන අහිංසක පෙම්වතුන් පෙම්වතියන් ලොව අනන්නවත් සිටිනවා..

 සරසවි භූමිය පෙම්වතුන්ට තෝතැන්නක්..පාසැල් විය නිමවා සරසවි බිමට යන නව යෞවන යෞවනියන්ට ඒ සොදුරු පියසේදි අලුත් අලුත් අය හමුවනවා.. ඒ හමුවීම් ආදරයකට පෙරැලෙන.. ඇතැම් විට විවාහය දක්වාම දුර යන අවස්තා තියනවා.. එහෙත් සරසවි බිමේ පිපෙන බොහෝ පෙම් මල් යුගය නිමාවත් සමගම ගිලිහී යන අවස්තා සුලබයි... සරසවි සිසු සිසුවියන් අතර හටගන්නා පෙම් කතා සේම ඇදුරිදුට පෙම් කරන හිරිමල් සිසුවියන්ගේ ආදර කතාත් සරසවියට නුහුරු නෑ...එවන් අපූරු අසම්මත පෙම් කතන්දරයක් ගීතයට එක් වූ අවස්තාවක් ගැනයි අද කතා කරන්නේ.. මෑත කාලයේ බිහිවූ මේ ගීතය රසිකයින්ගේ මෙන්ම විචාරකයින්ගෙත් ඇගයීමට ලක් වූ ගියක්...හෙලයේ මහා ගායක අමරදේවයන් සිය ජීවිතයේ අවසන් භාගයේදී ගැයූ මෙම ගීතය සදහා ගායනයෙන් සහය වූයේ මෑත කාලයේ ගායනයට එක් වූ දක්ෂ ජනප්‍රිය යොවුන් ගායිකාවක් වන උමාරියා සිංහවංශ...ජානක සිරිවර්ධන රචනාකල මේ ගීතය අරුන ගුනවර්ධන විසින් සංගීතවත් කලා...

බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.....

ඇය ගීතයට පිවිසෙන්නේ එලෙසින්...ඒ සරසවි බිමෙහි හිමි කරගනු බැරි පෙමක් වෙනුවෙන් තැවෙන හිරිමල් නව යෞවනියකගේ සිතිවිල්ලක්...හන්තාන අඩවියේ සොදුරු පියස පුරා පෙම්වතුන් පෙම්වතියන් ආදරයේ සුව විදිනවා.. එහෙත් ඇගේ පෙම් සිහිනය නෙලාගන්නට ඇයට වරම් නෑ....ඒත් ඇය ඒ අහිමි පෙම් සිහිනයේම රැදී සිටිනවා.....

දරා නෙත් අග fදාවා සිත්මල ගොතනු මැන ලදුනේ....
සන්සාර සිහිනේ......

 ඇගේ බොලද සිතට ඔහුගෙන් ලැබෙන පිලිතුරයි ඒ..ඔහුට ආදරය සන්සාර සිහිනයක් මිස හන්තාන සිහිනයක් නෙවෙයි..ඇගේ දෑසේ ඒ සෙනෙහස දකින්නට ඔහුගේ සිතත් බලා සිටිනවා..එහෙත් ඒ සෙනෙහස දුර බව ඔහු දන්නවා..ගීතය පුරාවට ඇත්තේ මේ සෙනෙහස වෙනුවෙන් දෙදෙනාගේ සිත්හි හටගන්නා සිහින.. ඇගේ ලපටි සිත බොලදයි..එහෙත් ඔහු ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් අතර හෙම්බත් වී පැමිනි ගමනක නිමාව අද්දර සිටින අයෙක්..වයසින් සේම අත්දැකීම් තුලිනුත් දෙදෙනා ගවු ගානක් දුරයි..දෙදෙනා ලංකර ඇත්තේ ප්‍රේමය පමනයි...

 වැහි පබළු යට රගමඩල මැද
 ඔබේ දෑතේ තුරුළු වන්නට.....

 එයයි ඇගේ බොලද සිහිනය..හිරිමල් යුවතියකට ජීවිතය විචිත්‍රවත් එලි දිලෙන ලස්සන රග මඩලක්..වැහි බිදුවත් පබළු සේ දිලෙන යෞවනය මල් යායක්...එහි සමනලියක සේ සරන ඇය හීන දකින්නේ පබළු සේ වැටෙන වැහිබිදු අතර ඔහුගේ උනුසුමය තුරුළුව සිටින්නට.....

 බිසෝ හැරගිය ලසෝ රගහල අමාවක අදුරේ
 නොඑනු මැන ලදුනේ....

 ඇයට ජීවිතය සොදුරු රගමඩලක් වූවාට ඔහු ඒ රගමඩලේ දුක සතුට විදි අයෙක්....“බිසෝ හැරගිය ලසෝ රගහල...” ලෙසින් සදහන් කර ඇත්තේ ඔහුගේ ජීවිතයෙන් ඔහුගේ බිරිද දුරස්ව ගිය බවක්...කලකට පෙර ඔහුත් ආදරයේ සුව විදින්නට ඇති....ඒ ආදරය මල්පල හටගනිමින් විවාහ වන්නට ඇති...එහෙත් විවාහය තුල ඒ ආදරය ඔහුට හිමි නොවුනා වන්නට බැරි නෑ..ඒ ආදරයත් රැගෙන බිරිද සමුගත් හුදකලා ජීවිතය අමාවක රැයක්...වැහි පබලු රැගුම් සොයමින් ඇය එන්නට සැරසෙන්නේ එවන් වූ කඩාවුනුට දිවියකට.....එතැනදී ඔහු ආත්මාර්තකාමී නෑ.. එම සොදුරු පෙම අත්පත් කරගන්නට ඔහු පසු බසිනවා...ඒ තමන්ගේ ජීවිතයට ලංවීමෙන් ඇයට අදුරක් හිමිවෙතැයි බියෙන්....ඉන් කියැවෙන්නේ නෑ ඔහු ඇයට පෙම් නොකරන බවක්...සැබෑ ප්‍රේමය යනු තමන් පෙම් කරන කෙනාගේ යහපත බලා සතුටුවීම මිස හිමි කරගැන්මම නොවෙයි...ඒ පරම පිවිතුරු බවයි ඔහු මෙතැනදී මතු කරවන්නේ......

 වඩිනතුරු සද දුරින් ඉන්නම්....
 තරු ඇදුරු පෙම් ගී අහන්නම්.....

ඇය දන්නවා ඔහු දුර බව..ඒත් දුරින් ඉදන් හෝ පෙම්කල නොහැකිද...?. සැබැවින්ම ප්‍රේමය යනු අත්පත් කරගැනීමමද....?.. ඔහු තමන්ට දුර වූ පමනින් ඇගේ ප්‍රේමය මියැදෙන්නේ නෑ..දුර සිට හෝ ඔහුට පෙම් කරන්නට ඇය වරම් යදිනවා.....

 සොදුරු ඒ සද දියේ එන්නම්
 ඉදිනු මැන සොදුරේ
 හන්තාන අරනේ.......

ජීවිතයේ දාහක් දුක් ගැහැට විදි අන්ත අසරනව හෙම්බත් වූ ඔහුගේ ජීවිතයට ඇගේ ස්නේහය කර්කෂ බිමකට ඇදහැළුනු වැහි පොදක්...ඒ සිහිසල ජීවිතයට හිමි නැතත් එය ජීවිතයෙන් පලවා හරින්නට ඔහුට බෑ..එය මානුෂීය හැගීමක්..එතැනදී ඔහුගේ සිතැගි මතුවනවා..මුල් පද පෙලින් ජීවිතයෙන් දුරස් කරන්නට තැත්කල ඇයව ඔහුගේ සිත අපේක්ෂා කරන අයුරු මින් මතුවනවා....“සොදුරු ඒ සද දියේ එන්නම්...හිදිනු මැන ලදුනේ හන්තාන අරනේ...”යයි ඔහු පවසන්නේ හිරුට හොරෙන් හමුවන්නට කරන ආයාචනයක්...ඒ තුල රැදී ඇත්තේ රළු වූ පියවි ලොවේදී දුරස්ව සිහිනයේ හමුවන්නට ප්‍රාර්තනා කිරීම වන්නට බැරි නෑ...එසේ නැත්නම් විවාහයෙන් ජීවිතයට ලං කරගනු බැරි ඇයව ලොවට රහසින් හමුවීමක් ඉන් ගම්‍ය වන්නටත් පුලුවන්... 

සම්මතය...සදාචාරය...සංස්කෘතිය මහා පවුරු සේ අපගේ ජීවිත වටා නැගෙනවා...අපි සැම ඒ පවුරු තුල සිරැවුන අය...සමාජීය පැවැත්මට ඒවා නැතිව බැහැ...ඒත් එවන් පවුරු පදනම් අද්දර අසරන වූ මෙවැන්නන් ලෝකයේ අනන්තවත් සිටිනවා..සමාජයෙන් අනේකවිද ගැරහුම් අවමන් හිමි වුවත් එවන් සිත් කෙතරම් අහිංසකදැයි වැටහෙන්නේ එවන් සිතකට එබී බැළු විට පමනයි.....

                             

        බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ....
        දරා නෙත් අග fදාවා සිත් මල ගොතනු මැන ලදුනේ සන්සාර සිහිනේ

        වැලි පබලු යට රගමඩල මැද 
        ඔබේ දෑතේ තුරුළු වෙන්නට 
        බිසෝ හැරගිය ලසෝ රගහල 
        අමාවක අදුරේ 
        නොඑනු මැන ලදුනේ.....

        වඩිනතුරු සද දුරින් ඉන්නම්
        තරු ඇදුරු පෙම් ගී අහන්නම්
        සොදුරු ඒ සද දියේ එන්නම් 
        ඉදිනු මැන සොදුරේ......
        හන්තාන අරනේ........

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles