24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

බුදු දහම අනුව පුද්ගල දිවියේ සත්‍යය පවතිනුයේ කොතැන ද?

Related Articles

ජීවිතයේ සත්‍යය  පවතිනුයේ කොතැන ද?ජීවිතය නම්  වූද,ආත්මභාව නම් වූද හුදෙක් සැප දුක් එක් සිතක් සමඟ යෙදුනේ පවතිනුයේ ක්ෂණයකි.ක්ෂණ භංගුරාගත දිවියක ඔබ ස්ථිතියක් දකිනුයේ ද? එය මායවකි,ඵන්දිතයකි,සුඤ්ඤත වූවකි.ගලායන්නකි.පූර්වයේ ලිඛිත ලිපිය හා සම්බන්ධ පටිච්ච සමුප්පන්න විරණයකි.ජීවිතය යන්න ඔබද ව්‍යවහාර කරණු ලැබේ.ඇතමෙක් ජීවිතයේ  සැප සොයති.එමෙන්ම ස්ථිර ස්වභාවයෙන් දකී.ඒ ජීවිත පරිච්ඡේදය තුළ ඔබ නන් අයුරින් සිත කය වචන හැසිරවීය.හසුරුවයි .හසුරවන්නෝය.කති බොති නටති,සුකති,නිදති .විවිධ අයුරින්, සැප දුක හා උපේක්ෂාවෙන් විඳ විඳ දිවි ගෙවති. බුදු දහමේ මහා නිද්දෙස පාලියට අනුව ජීවිතය යනුවෙන් දක්වා ඇත්තේ අයුෂයාගේ ඨිති(ස්තිථිය) පැවැත්මයි. එම කර්මානු ස්වරූපි ආයුශය මතින් ගොඩ නගා ගන්නවු මම යැයි මඤ්ඤිතය තුළින්, සිත මෙන්ම කය පවත්වා ගනී,එම නාම රූප සංයෝජනය ,නැතහොත් සම්මුති බංඩා කමලා රේඛා ආදි නමින් යුත් සවිඤ්ඤාණික ඔබගේ කය කබලිංකාර ආහාර ,ඵස්ස අහාර හා මනෝ සඤ්චේතනා ආහාර තුළින් යප්පවයි(යපනා,යාපනා) .මම යැයි ගන්නා සාරය තුළ සිතින් කයින් වචනින් ඉරියවු පවත්වයි(ඉරීයනා) .එම ඉරියවු පාලනය කරයි(පාලනා) .ඒ තුළ සත්‍යය පැවත්මක් සොයයි.එසේ ඔබ තුළ පවතින්නාවූ මෙන්ම ගතකරන්නාවූ ජීවිතය අභිධර්මය අනුව මෙන්ම  සූත්‍ර පිටකාගත පරමාර්ථ විග්‍රහයන් අධ්‍යයනය කිරීමේදි යථා ස්වභාවය දක්වා ඇත.ඇත්තට අප ජීවිතයේ සත්‍යය පවතින්නේ කොතැනද?එය පවතිනුයේ අතීතයේද? අනාගතයේ ද? නැතහොත් වර්තමානයේ ද.එම කාලත්‍රය උප්පාද ඨිති භංගාගතව ක්ෂණයක් ක්ෂණයක් පසා සත්ත්ව පැවැත්ම සිදුවන අයුරු නොහොත් ස්ථිති පරිත්තතාවෙන් ජීවිතේන්ද්‍රිය අල්ප වන මහා නිද්දෙස පාලියේ දක්වා ඇත.ඒ තුළ අප ගත කරන තැන වටහාගත හැකිය.

අතීත චිත්තක්ඛණේ ජීවත්ථ ,න ජීවති,න ජිවිස්සති,

අනාගත චිත්තක්ඛණෙ ජීවිස්සති,න ජීවති,න ජීවත්ථ.

පච්චුප්පන්න චිත්තක්ඛනේ ජීවති,න ජිවිස්සති ,න ජීවත්ථ.

(ගුහට්ඨ සූත්‍ර නිද්දෙසය ,මහා නිද්දෙස පාලිය )

අප සම්මුතිය තුළදි දින මාස අවුරුදු අනුව මම යැයි මඤ්ඤිත පුද්ගල ස්වභාවය උපන්දින අවුරුදු අනුව මනිමු.මට අවුරුදු දහයයි විස්සයි ආදි නයිනි.එය පුද්ගලයාගේ සම්මුති මිම්ම වුවද සත්‍යතාවය නොවේ. ජීවිතේන්ද්‍රිය මුල් කරගත් සත්ත්ව ස්වභාවය දින මාස අවුරුදු අනුව ක්ෂයවීමට වඩා නැනෝ තප්පරවලටත් එහා ගිය චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා ගෙවෙන බව මහා නිද්දෙස පාලියේ දක්වා ඇත. චිත්තක්ෂණයක් පාසා මරණය තෙක් නුසුන්ධාරා ඇතිව ගමන් කරයි.එම සත්ත්ව පැවැත්ම තුළ අප අතීත චිත්තක්ෂණයේ ජීවත් විය(අතීත චිත්තක්ඛනේ ජීවත්ථ).චිත්තක්ෂණයක් පාසා ක්ෂණ භංගුරත්වයට පත්වූ සත්ත්වයා අතීතය තුළ ජීවත් වුවත්  නැවත ඒ තුළ ජීවත් නොවන්නේය.එය ගෙවී ගොස් ඉවරය.නැවත අතීතයට තුළට යා නොහැක්කේය.උදාහරණයක් ලෙස විසිවයස් අවුරුදු අත්තෙකුට නැවත ඔහුගත කළ දස අවුරුදු සීමාවට යා නොහැකි ලෙසිනි. ගෙවුනා වූ චිත්ක්ෂණය ජීවිතේන්ද්‍රිය නැතහොත් මම යැයි මඤ්ඤිත පුද්ගල ස්වභාව මුල් කොට ගෙන වර්තමානයේ (ප්‍රත්‍යුප්පන්නයෙහි) නොපවතියි(න ජීවති),එනම් අතීතය පඤ්චස්ඛන්ධය (පුද්ගල ශරීරය)ප්‍රත්‍යුප්පන්නයෙහි නොපවතින බැවිනි.එමෙන්ම අතීත පඤ්චස්ඛන්ධය අනාගත චිත්තක්ෂණය තුළද නොවන්නේය(න ජීවිස්සති).උදාහරණයක් ලෙස දස වයස ගත කළ   පුද්ගලයෙකුට  තිස් වයසට යා නොහැකි අයුරිනි.

එමෙන්ම පඤ්චස්ඛන්ධාගත පුද්ගල පැවත්ම අනාගත චිත්තක්ෂණයේ මතු ජීවත් වන්නේය(අනාගත චිත්තක්ඛනේ ජීවිස්සති ).එය අතීතය තුළට ගෙවී ගොස්ද නැත(න ජීවත්ථ ).ප්‍රත්‍යුප්පන්නයට (වර්තමානයට) පැමිණද නැත(න ජීවති).උදාහරණයක් ලෙස විසිවයස් ඇති ඔබගේ ජීවිතයට තිස් අවුරුදු විය ගත නොහැකි පරිද්දෙනි.කිමද තිස් වයස මේ මොහොතට පැමිණ නැත .එම තිස් වයස ගෙවීද නැත..අනාගත චිත්තක්ෂණය තුළ සත්ත්වකාය යම්බදු වේද එතැනට එය අදාළය .එය මේ මොහොතේ හෝ ගෙවී ගොස්ද නැත.අනාගතය පිළිබඳ ඔබට ඇත්තේ හුදෙක් මතකයකි.නොපැමිණි අනාගතයේ සත්‍යය නැත.

එසේ නම් සත්ත්වයා ජීවත් වනුයේ ප්‍රත්‍යුප්පන්න(වර්තමානය)චිත්තක්ෂණය තුළය.එනම්උප්පාද ඨිති භංග න්‍යායෙන් යුතු ඨිති ක්ෂණයේය.එනම් ඔබ නාම රුප සංයෝජනය සහිත ඇසින් දකින,කනෙන් අසන,නහයෙන් ගඳ සුවඳ විඳින,දිවෙන් රස විඳින,කයින් පහස විඳින ,මනසින් සිතිවිලි බිහිකරන වත්තමානය තුළය.ඔබ මෙම ලිපිය කියවන මොහොතද ඨිති නොහොත් ස්ථිති මොහොතය.එයද රැහැණක් මෙනි.ඨිතියේ සිට මනෝ මූලිකව  ඔබ සිත කය වචන හසුරුවන මොහොතය.එය උප්පාද (ඉපදීම) හා භංග(නිරුද්ධවන) ස්වභාවයෙන් යුක්තය.පවතින මොහොත පවතින මොහොතමයි.පවතින මොහොත අතීතය තුළට  ගෙවී ගොස්ද නැත(න ජීවත්ථ )අනාගතය චිත්තක්ෂණය තුළට ජීවත් වීම් වශයෙන් අනාගතයට ගොස් ද නැත(න ජීවිස්සති ).උදාහරණයක් ලෙස ඔබ සිතන ,කරන හා කියන මොහොත ඒ ඒ මොහොතම වීමයි.එය අතීතයට ගෙවී යන ස්වභාවය පැවතුනද එය ගෙවී ගොස් නැත.එය අනාගතයට ද නොයනු ලැබේ.මනු භවයට අදාළ කර්මානු ස්වරූපිව මරණය තෙක් යනු ලැබේ.එසේ නම් ජීවත් වනුයේ ෂඩායතන මුල් කරගත් ප්‍රත්‍යුප්පන්නයේය.එනම් ඨිති මොහොත නොහොත් ස්ථිති ක්ෂණයේය.එසේ ඔබ ගත කරන මොහොත තුළ පමණය සත්‍යය පවතිනුයේ… නමුත් එම ප්‍රත්‍යුප්පන්නයද උප්පාද වය ස්වභායයෙන් යුතු වන බැවින් අනිත්‍යයතාවයෙන් යුතුවේ.එබැවින් ප්‍රත්‍යුප්පන්න(වර්තමාන) චිත්තක්ෂණයේ ජීවත් වෙයි,(පච්චුප්පන්න චිත්තක්ඛනේ ජීවති)ජීවත්  නොවීය(අතීත වශයෙන්),ජීවත් නොවන්නේය(අනාගත වශයෙන්) යනුවෙන් මහා නිද්දේසය තුළ සත්ත්වයාගේ අනිත්‍යයතාවයෙන් හෙබි උප්පාද වය සංඛ්‍යාත ක්ෂණ භංගුරත්වය මනාව පහදා  උප්පාද වය ස්වභායෙන් පවතින ඨිති ක්ෂණය නැතහොත් ප්‍රත්‍යුප්පන්නය පිළිබඳ මනාව විස්තර කොට ඇත.එතැන සතිය පිහිටුවා ගැනීමට ,යහපත් දිවිපෙවතකට අදාළව බඹයක් පමණ වූ ශරීරය තුළින් ලෝකය දකින්න යනුවෙන් වදාරන්නේ එබැවිනි.

චිත්තක්ෂණයක් පාසා නිරුද්ධ වූ අතීතය මතක ගොඩකි.එය නැවත මමය මාගේය කරගත නොහැකි බැවින් අනාත්මය.නොපැමිණි අනාගත  මොහොත සිහිනයක් මෙනි.එයද නොපැමිණි බැවින් මමය මාගේය කරගත නොහැක. අනාත්මය,ශූන්‍යය.ඔබ මේ ලෝකයට මුහුණ දෙමින් සිටින ප්‍රත්‍යුප්පන්න චිත්තක්ෂණය තුළ සිත කය වචන හසුරවමින් කටයුතු කරණු ලැබේ.එයත් උප්පාද වය ස්වභායෙන් යුතු ඨිති ක්ෂණයේය.එතැනදි ලෝකය සුබවාදිව දකින්න.එම ප්‍රත්‍යුප්පන්නය තුළ පවතින සත්‍යයතාවය දැක ගැනීම බුදු වදනයි.අනිත්‍යතාවය දුක්ඛතාවය හා අනාත්මතාවය දැක ලෝකයේ කටයුතු කිරීම හා ජීවිතාවබෝධයට බුදු දහම තරම් අන් දහමක් නැත.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles