28 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

සීහළ දීපය සිංහළයා හා සිංහළ දේශපාලන මූළධර්ම

Related Articles

සීහළ ද්වීපය යනු වර්තමානයේ වර්ග කිලෝමීටර් (දළවශයෙන් ) 65,000ක් වන දැනට ශ්‍රී ලංකා ලෙස හඳුන්වන රට යි. සිංහළ යනු විජයගෙන් පවැතෙන  පරපුරකි යන්න මෙතෙක් පිලිගත් මතය වුව ද මහාවංසයේ විග්‍රහ අනුව ද  විජය මෙරටට පැමිණෙන විට මෙහි ජනතාවක් වූ බව හෙළි කර ගැනීමට සාධක ඇත.

එය පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇති අයුරු  පාසල් පෙළ පොතෙහි 10 වසර පොත 2021 වනවිට සාක්ෂි දරයි.  ඒ අනුව අදින් වසර 125,000ක  අතීතයේ සිට මෙහි මිනිසුන් ජීවත් වී ඇත.  ඔවුන් සිංහළ ද නැද්ද යනු වෙනම විමසිය යුත්තකි.

බුදුරදුන් තෙවරක්  මේ සීහළදීපයට වැඩි බව මහාවංසයේ දක්වයි.  භාරතීයයන් හා විදේශිකයන්  මෙරට හැඳින්වූ නම් රැසකි. ඒ අතර  ඉන්දියානුවන් අප රට හැඳින්වූ ප්‍රධාන නම් දෙකකි. ඒ තම්බපණ්ණි හා ලංකා යනු යි.

තම්බපණ්ණි(තාම්‍රපර්ණි) යන ව්‍යවහාරය උපදින්නේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනතාව අතිනි. එය ම  ක්‍රිස්තු පූර්ව පස්වන සියවස්වල සිට මෙරටට දකුණු ඉන්දියාව හෝ තදාසන්න ප්‍රදේශවලින් පැමිණි අය භාවිත කර ඇත.

 නමුත් රාමායනයේ  ලංකාපුර වර්ණණාව කියවූ ඉන්දියානුවන්  සීහළ ද්වීපය  හඳුන්වා ඇත්තේ  ” ලංකා” යනුවෙනි. මෙරට ලංකා ලෙස හැඳින්වූයේ එලෙසිනි. කුවේණියගේ සමයෙහි ලංකාපුර යනු වත්මන් පුත්තලම් හෝ කුරුණෑගල දිසාවෙහි කුඩා නුවරකි.  නමුත් මේ රට හැඳින්වූ ප්‍රධානතම හා බහුල ම නම වූයේ සීහළදීප යන්නයි. එය දහස්වර යෙදී ඇති බව සියලු සාහිත්‍ය  මූලාශ්‍රය වලින් පැහැදිලි වෙයි.

බුදුරදුන් මහියංගණයට වැඩම කළ විට යකුන් හමුවෙයි. නාගදීපයේදී නාගයින් ද කැළණියේදී මණි අක්ඛික නම් නා රජු ද මුන ගැසෙයි. එහිදී සුමන සමන් නම් දෙව් රජගේ ආරාධනයෙන් උන්වහන්සේ ශ්‍රීපාදස්ථානය පිහිටි සුමනගිරට(මහගිරට) වැඩමවා ජීවමාන ස්වරූපයෙන් සිරිපතුල පිහිටුවයි.

මේ අවස්ථාවල මෙරට යම් ජනතාවක් විසූ බවට සාදක හමුවෙයි.මෙහි කියන නාගයන්,යකුන්, දේවයන් අමනුෂ්‍ය කොට්ඨාස බව පාළි මූලාශ්‍රයවල කියන්නේ මන්දැයි විමසිය යුතු ය.

නමුත් පුරාවිද්‍යා සාක්ෂි අනුව අදින් වසර ලක්ෂයකට මදක් එපිට සිට, හෝමෝසේපියන්ස්  ලෙස  හඳුන්වන වත්මන් මානවයාගේ ම මුතුන්මිත්තන් මෙරට වාසය කර ඇත.

අපේ ඇත්තන්ගේ විත්ති යනුවෙන් පොතක් ලියවී ඇත. එහි ලංකාවේ කුල ගැන තොරතුරු ඇත. ඒ තුළ දේවගේ යන නම සහිත අය ද, විස්සම් යන පෙළපත් සහිත අය ද හමු වෙයි.  මේ ජනතාව අතීත සිව්හෙළයේ වැසියෝ වෙති. වත්මනෙහි වහුම්පුර ලෙස හඳුන්වන ජනතාව ද අතීත සිව්හෙළයේ ජනතාව වෙති. සිව්හෙළය යනු භෞමික බෙදීමක් නො වේ. එය කර්මාන්ත අනුව කරන ලද බෙදීමක් විය යුතු ය.(සිව් හෙළය පිළිබඳ විවිධ මතවාද පවතී)  තුන් සිංහළය යනු මෑතකාලීන බෙදීමකි. එය රුහුණු-මායා-පිහිටි ලෙස ත්‍රිවිධ වී ය.

ගතවූ වසර 2300 තුළ මෙරට ඉතිහාසය පැහැදිළි ය. ඉන් එපිට ඉතිහාසය ගැන අපට දින සති මාස ගණන් වාද කරගත හැකි ය.  නමුත් සංවාදවලින් ස්ථිර නිගමනයකට පත්විය නො හැකි ය.

කෙසේ හෝ වේවා අපරටෙහි සිංහළ යනු ඓතිහාසික ජාතිය යි. එමෙන් ම ඔවුන් මුලු රට ම ජනාවාස කොට ශිෂ්ටාචාරගත කොට සෑම බිම් අඟලක ම වාසය කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 17,000ක් තිබීමෙන් ම මෙහි සංකීර්ණතාව වටහා ගත යුතු ය.

යම් භූමියක් පළමුව ජනාවාස කළ ශිෂ්ටාචාරගත කළ මිනිසුන්ට එහි උරුමය හා අයිතිය හිමිවෙයි. මෙය සියලු රටවලට පොදු ය. ඒ අනුව සිංහළයන්ගේ සභ්‍යත්වය ශිෂ්ටාචාරයක් සේ පිලිගත හැකි සාධක පවතී.

සිංහළයන් ජාතියක් වන්නේ   වෙනම භාෂාවක්, අක්ෂරමාලාවක්, සංස්කෘතියක්, දැනුම්පද්ධතියක් හා නිශ්චිත භූමියක් පෙන්විය හැකි බැවිනි. භූමියක් පෙන්විය නොහැකි ජාතීන් ද ලොව ඇත.  එහෙත් ඔවුන් අන් ජාතියකට අයිති භූමියකදී ජනවර්ගයක් සේ හඳුන්වන්නේ, ජනවර්ගය ජාතියක්සේ පිලිගන්නට යාමේදී දේශපාලනික අර්බුධ හා ස්වයං තීරණ ගැනීමේ අර්බුධ උපදින බැවිනි. යම් මිනිස් කොටසකට අසාධාරණයක් වන බව අප දැන දැන වුව ද ජනවර්ගයක් ජාතියක් සේ රටක් තුළ පිලිගැනීමට නො හැකි ය. මන්ද යත් එය එකී ජාතියේ හා ජනවර්ගයේ යන දෙපිරිසෙහි ම විනාශය පිණිස පවතින බැවිනි.

යම් ජනවර්ගයක් සමූළඝාතනයට ලක්වූ බව එක්සත් ජාතීන්ට ඔප්පු කළ හැකි නම්,  ඔවුන්ට ස්වයං තීරණ ගැනීමට වෙනම ම භූමියක් වෙන් කිරීම  එක්සත් ජාතීන් විසින් පිලිගනු ලබති.   2009 දී දෙමළ මිනිසුන් සමූළඝාතනයක් වූ බවට ඔප්පු කරන්නට දෙමළ ඩයස්පෝරාව උත්සාහ ගන්නේ  මේ හේතුවෙනි.

ලංකාවේ ද්‍රවිඩ ජනතාව,  ද්‍රවිඩ ලෙසින් ශේෂ වූයේ අතීත දේශපාලන වැරදි තීන්දු නිසාවෙනි. ක්‍රිපූ 300 වන විට ද්‍රවිඩයන්ගේ පැවැත්මක් ඉන්දියාවෙහි ද පැවති බවට පිළිගත හැකි සාදක නැත. (ජනශ්‍රැතිවලින් ඔබ්බට ගොස් පිලිගත හැකි පුරාවිද්‍යා සාදක මා හට හමු වී නැත. හරප්පා ශිෂ්ටාචාරය හා සම්බන්ධ කරන්නට යාම ද කාපාල විද්‍යාව අනුව කළ පර්යේෂණ වලින් අසමත් ව ඇත.) ඔවුන්ගේ පැරණිතම සාහිත්‍යය වන සංගම් සාහිත්‍යය පවා ක්‍රි.පූ. 1- ක්‍රි.ව. 1 සියවස්වලට අයිති ය.

 ක්‍රි පූර්ව 1 සියවසේ වළගම්බා කල පැමිණි ඉන්දීය ආක්‍රමණිකයන් පස්දෙනෙකි. ඔවුන්ගෙන් ප්‍රදාන පුද්ගලයන් මියගිය ද සෙසු ජනතාව පිටුවහල් කළේ නැත 

ඔවුන්ට සිදුවූයේ කුමක් ද?

ධාතුසේන මහරජතුමාගේ කාලයේ පැමිණි සප්ත ද්‍රවිඩයන් මිය ගිය පසු ඒ පැමිණි ජනයාට ද,  ගජබා රජු  සොළී දේසයෙන්  ගෙන ආ 12,000ක් වූ  ජනතාවට ද කාලිංඝ මාඝ සමග පැමිණි ජනතාවට ද සිදු වූයේ කුමක් ද?

ඔවුන්ගෙන් කිසිවකු නැවත භාරතයට ගියේ නැත.  පවුලක් පන්සලක් වීමේ ක්‍රමය මත ඔවුන්ට වැව් ගම්වල කුඹුරක් හා පන්සලට දානය දීමේ අයිතිය හිමි වූහ. ඇතැමුන් හින්දු දෙවිවරු ඇදහූහ. එහෙත් එකක් කඩ නො කළහ. එනම් සිංහළ සභ්‍යත්වය හා භාෂාව  පිළිගෙන මෙරට ක්‍රමයට ජීවත් වීමයි. ඔවුන් පරම්පරා දෙක-තුනක් යන විට නිතැතින් සිංහළ වූහ.

මෙසේ සිටි ජනතාව අතරට ක්‍රි.ව. 8 වන සියවසේ සිට මෙරටට   වෙළඳාමට පැමිණි, ඉස්ලාම් භක්තිකයන් මුහුදුබඩ වරායවල් අසළ පදිංචි වූහ. ඔවුන්ගේ පැරණිම පල්ලිය ඇත්තේ  බේරුවල යි. එය වසර 900ක් පැරණි බව කියැවේ. වරායවල් අසල ඉදිකරන වෙළඳ නගරවල සභ්‍යත්ත්වයන් කිසිසේත් එරට සංස්කෘතික ප්‍රවාහයට අදාල නැත. ඉස්ලාම් භක්තිකයන් සත්ත්ව ඝාතන කළ නිසා සිංහළයන් ඔවුන් හා විවාහ වීමට මැලි වූහ. එහෙත් රජ අනින් හා නින්දගම් ලද ඉස්ලාම් වෙළඳුන් ඇතැම් විරල අවස්තාවල සිංහළ කතුන් විවාහ කර ගෙන ඇත. ඔවුන්  උඩරට රාජධානිය පැවති පුදේශවල ජීවත් වූහ.

සෙසු ඉස්ලාමිකයන් සිය බිරින්දෑවරු ඉන්දියාව හරහා ගෙන ආහ යි සිතීමට කරුණු ඇත. එසේ ම දෙමළ කතුන් විවාහ කර ගත්හ. බහුතර ඉස්ලාමිකයන් දෙමළ කතා කරන්නේ මේ හේතුවෙනි. ඊට අමතරව ඍජුව ම අරාබිය හරහා ද ඉස්ලාමිකයන් මෙරටට පැමිණුනි.  1500න් පසු පෘතුග්‍රීසි ජා හමුදාව හරහා මැලේ ඉස්ලාමිකයන් ද මෙරටට පැමිණියහ. මේ සියල්ලන් ම අද අපි ඉස්ලාමිකයන් යැයි කියමු.   ඒ ඉස්ලාමිකයන් ද අතීතයේ සිංහළ කතා කොට මෙරට ක්‍රමයට හැඩගැසී සිංහළ මුස්ලිම් වූහ. එහෙත් ඇතැම්හු මෙය වටහා නො ගෙන අරාබිකරණයට ලක්වූහ.

තත්ත්වය මෙසේ තිබියදී 15වන සියවසෙහි මෙරටට පැමිණි, පෘතුග්‍රීසි  සමයේදී යාපනය ප්‍රදේශ පාලනය කළේ ද කෝට්ටේ රාජධානියෙනි. නමුත් දකුණු ඉන්දියාවට වඩාත් සමීප වීම නිසා දෙමළ සංස්කෘතිකාංග වඩ-වඩාත් එහි ප්‍රචලිත විය  සිංහළ ආණ්ඩු දුර්වල වන විට ඉන්දීය බලය යාපනය ඩැහැගත්තේ ය. එහි සිටි සිංහළ කතා කළ ජනතාව අතරින් සමහරු දෙමළ කතා කරන අය බවට පත්වූහ. යාපනයෙන් කිසිම දෙමළ සෙල්ලිපියක් හමු නො වීමත්, වසර 2000ක සිට සිංහළ සෙල්ලිපි කදුරුගොඩ විහාරය වැනි තැන්වලින් හමුවීමත් මෙයට සාක්ෂි දරයි.

එකල දඹකොළපටුන දැන් යාපනයයි. දඹකොළ පටුනින් නැව් නැග ඉන්දියාවට යාම සුලබ සිදුවීමකි. පානම වැදි ජනතාව දැන් කතා කරන්නේ දෙමළ යි. එයට හේතුව සංස්කෘතික සංස්ඵර්ෂය යි. කොළඹ හා ගම්පහ ජනතාව කතා කරන්නෙ බොහෝවිට මිශ්‍ර සිංහළ යි. අමිශ්‍ර හා පැරණි සිංහළ වහරත්, ශබ්දරටාත් සොයන්නට පිටිසර ගම්වලට යායුතු ය. එමෙන් ම සිංහළ කතා කළ සිංහළ ජනතාව දෙමළ බලපෑම් මත කලකදී දෙමළ විය. විවාහ නිසා දෙමළ නම් ගති. නමුත් ඔවුන් ජීවත් වූයේත්, දැනට ජීවත් වන්නේත් සිංහළයන් අයිතිය තහවුරු කොට නවවරක් බුදුසසුනට පූජා කළ භූමියක ය.

ඒ නයින් මේ සමස්ත රට සීහළදීප බව දතයුතු ය.

මෙසේ පැමිණි රට 1505, 1658, 1796 කඩයිම් පසුකර, 1815.03.02 දිනට පැමිණියේ ය. කන්ද උඩරටට රැස්වූ එකල නිළමේවරු එංගලන්තය හා ගිවිසුමක් අත්සන් කර, පාලන බලය එරටට පැවරී ය. එහි පස්වන වගන්තිය විශේෂ ය.

“සිංහළ දේශයේ සියලු රටවල්  එහි පවරා ඇත. එකල රටක් යනු වත්මන් ප්‍රා.ලේ කොට්ඨාසයකටත් වඩා කුඩා පාලන ඒකකයකි.

උඩරට රජු විසින් පාලනය කළ කොටස උඩරට රාජධානිය වන නමුත් ඔහුට සෙසු ඇතැම් කොටස් පාලනය කළ නො හැකි වූයේ ආක්‍රමණික කොල්ලකරුවන්ගේ නීතිවිරෝධී අයුක්තිසහගත බලපෑම් හේතුවෙනි. එසේ නොවන්නට   වර්ග කිලෝමීටර් 65,000 ම උඩරට රාජධානිය බව ද දතයුතු ය. 1815 මේ මුළු රට ම හැඳින්වූයේ සිංහළේ යනුවෙනි.

උච්චාරණ පහසුවට හා අතීතයේ සිට යුරෝපීයයන් හැඳින්වූ පරිදි ඔවුහු මේ රට Ceylon ලෙස නම් කළහ. සිලෝන් යනු ද සිංහළයන්ගේ රට යන්න යුරෝපීයයන් හැඳින්වූ ආකාරය යි.

1818 සිංහළයන් නිදහස් අරගලයක් කළ අතර සිංහළයන්ගේ වයස 16ට වැඩි පිරිමි සමූළඝාතනයකට ලක්වූහ. 1848 මාතලේ හටන කළ අතර එකල ද භික්ෂූන්වහන්සේ ඇතුළු දහස් ගණනක් ඝාතනයට ලක් වූහ. සිංහළයන් ඉල්ලූයේ නිදහස යි. ස්වෛරීත්වය යි. ස්වාධිපත්‍යය යි. මව්බිම උරුමය යි. සුද්දන් මෙන් අන් රටවල් කොල්ල කන්නට සිංහළයන් උත්සාහ නො කළ හ.

සිංහළයන් විසින්, තම සභ්‍යත්වයට හානියක් නො වන අවස්ථාවල කිසිසේත් ම දෙමළ හා ඉස්ලාම් භක්තිකයන් වන ජනතාව කොන් නො කළ හ. (ඉස්ලාමිකයන් යනු ජාතියක් නො වේ. ඉස්ලාමිකයන්ගෙන් කොටසක් මැලේ ජනවර්ගයට අයිති අතර, තව සමහරු ඉන්දීය ජනවර්ගවලට ද තවත් සමහරු අරාබි ජනවර්ග වලට ද අයත් වෙති. ඇතැම්හු සම්භවය අතින් සිංහළ ය. එහෙත් ඔවුන් සිංහළ බව ඔවුහු නො දනිති.) දෙමළකු බඩගින්නේ සිටින විට තමා ආහාර ගැනීම නියම සිංහළයකුගේ ගතිය නො වේ. ඉස්ලාමිකයකු කුසගින්නේ සිටින විට ආහාර ගැනීම සිංහළයාගේ සභ්‍යත්ත්වය නො වේ.   ඒ නයින් බලන කල අද සිංහළයන් වඳවන්නට ළඟ ය. සිංහළ සභ්‍යත්වය එය යි. 

කරුණු මෙසේ තිබියදී ඉංගිරිසින් විසින් නැගී එන සිංහළ බලය මැඩලන්නට ද්‍රවිඩයන්ට රජයේ තනතුරු ලබා දුනි. උතුරු නැගෙනහිර හා අනුරාධපුර පවා ඉඩම් මැනුම් කළ ඒ නිළධාරීන්  සිංහළ ගම්වලට දෙමළ නම් දැමූහ. නිදසුනක් ලෙස රුවන්වැලි මහසෑය පිටුපස ඇති අභය වැව සුද්දාගේ යුගයෙහි බසවක්කුලම විය. ගෝකණ්ණ තිරුකෝණමලෙයි විය. සුණුගම චුණ්ණකාමම් විය. මෙවැනි සිදුවීම් දහස් ගණනකි.

මේ අතර   1912 පැවති  සෙනට් සභිකයන් තෝරන ඡන්දයට, JR ගේ ලොකුතාත්තා විසින්  ඒ වන විට විශ්‍රාමික වෛද්‍යවරයෙකු ලෙස සිටි ” පොන්නම්බලම් රාමනාදන්ව” ඉන්දියාවට ගොස් කැඳවාගෙන අවුත්  සෙනට් සභා ඡන්දයට ඉදිරිපත් කර පළමු විනාසය සිදු කළේ ය.   JR ගේ ලොකුතාත්තාට   උවමනා කළේ  ඒ වන විට ඉදිරිපත් ව සිටි සිංහළ අපේක්ෂකයා,  පොන්නම්බලම් ලවා පැරදවීම යි. සිංහළ ඡන්ද1600ක් සහ දෙමළ ඡන්ද 1200ක් ලෙස පැවති ඒ ඡන්දයේදි,  දෙමළ අපේක්ෂක රාමනාදන් ජයගත්තේ ය. ඒ කෙසේ ද? (කියවන්න; තම්බිමුදියන්සේ  පොත)

එය සිදු කළේ JR ගේ ලොකුතාත්තා විසින් කුලභේදය ඉස්මතු කර,  සිංහළ අපේක්ෂකයා කරාවේ අයෙකු බව පවසා,  සිංහළ ඡන්ද දෙකට කැඩීමෙනි. නමුත් දෙමළ ඡන්ද සියල්ල ම  ත්  රාමනාදන්ට හිමි විය.

1920 ඡන්දයට ඉදිරිපත් වීමට තම්බිමුදියන්සේගේ පරපුරේ ජයවර්ධන බලා සිටිය ද කළකම් ඵල දුන්නාක්   මෙන් ඔහු හෘදයාබාධයකින් මරුමුවට පත් වූ නිසා JR ගේ පියා සෙනට් සභාවට පත් විය. JR ජයවර්ධනගේ පරපුර ද ඉන්දිය දෙමළ පරපුරකි. ඔවුන් තම වර්ගයාට ම ඇද්දේ ය. රාමනාදන්ලා සිංහළ සහ දෙමළ යන පදනම යටතේ රාජ්‍ය අංශය සම-සම ව බෙදා රැකියා දියයුතු බව පැවසී ය. තවත් සිද්ධි දහස් ගණනකි.  මේවා සොයා කියවා බලන්න.

සියල්ල සැලසුම් කළේ සුද්දන් විසිනි. 1918 නුවර පෙරහැරට ඉස්ලාමිකයන් දමා ගල් ගස්සවා  මුස්ලිම් කෝලාහාලයක් ඇති කර  අමධ්‍යප ව්‍යාපාරයට නායකත්ත්වය දුන් 186ක් වෙඩි තබා ඝාතනය කළේ ය.  කියවන්න: 1918 “සිංහළ -මරක්කල කෝළාහාලය”.

කරුණු මෙසේ සිදුවද්දී  1948 නිදහස කියා එකක් අපට දුනි. එය නාමික නිදහසකි. DS සේනානායකලාට නම් එය එපා යැයි කියූ බව ද ඇතැම්හු කියති. නමුත් 1948 වන විට සිංහළයන් සුද්දාටත්  වඩා හොඳට එංගලන්තයට ආදරය කරන නිසා උන් මේ රට අපට  දුන්හ. එයට දෙවන ලෝකයුද්ධය ද බලපෑවේ ය.

කරුණු මෙසේ සිදුවෙද්දී ඉතා බරපතල මෝඩ තීරණයක් පාලකයන් ගත්හ. ඒ 1952 දී සිංහළ කොඩියට තැඹිලිපාට හා කොළපාට පටිදෙකක් ඇල්ලීම යි. කලින් සිටි සිංහයාගෙන් මෙරට සමස්ත ජනතාව ම අදහස් කෙරිණි. මෙය වටහා ගත නොහැකි ගොං දේශපාලකයා සිතුවේ සිංහයා යනු සිංහළ බව යි. ඒ නිසා දෙමළ හා මුස්ලිම් ජනතාවට පාට වෙන් කළේ ය. උන් කොඩිය තුළ ද වෙනම බෙදුණහ.

 දෙමළ  දේශපාලකයන් තම ඉල්ලීම් වෙනම තබා ගත්හ. ඔවුන් රාජ්‍යසේවා ඇතුළු සැම තැනක ම වෙනම නියෝජන ඉල්වූහ. සිංහළයෝ වෙන්වන්නට උත්සාහ කර නැත්තාහ. නමුත් වසර දහස් ගණනක් මෙරට ජාතික හා රාජ්‍ය බස, සිංහළ බව ලොවම දැනගෙන තිබියදී, එස්. ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක, 1956 දී සිංහළ ජාතික භාෂාව කළේ ය. නමුත් බණ්ඩාරනායකගේ සීයා ද දෙමළ බව දන්නේ අතළොස්සකි. බැද්දේගම පොත ලියූ ලෙනාර්ඩ් වුල්ෆ් පවසන පරිදි:

“බණ්ඩාරනායක සිංහළ ජාතික භාෂාව කරනවා යැයි කියු පුවත ඇසූ සැනින් මා හිඳගෙන සිටි පුටුවෙන් ඉබේට ම නැගිට්ටවුණි…. “

මන්ද යත් එංගලන්තයේ සිටින විට සිංහළයකු සමග පවා සිංහළෙන් කතා නො කළ බණ්ඩාරනායක,  සිංහළ ජාතික භාෂාව කිරීම විහිළුවක් විය.  එය දේශපාලන ගුණ්ඩුවකි. දැන් මෙන් ම එදා ද උන් රටට පෙම් කළ බව කීහ. එහෙත් නො කළ හ.

සිංහළ අමුතුවෙන් ජාතික බසක් කළ යුතු නැත. එය කොහොමත් ජාතික බස ය. මන්ද යත් මේ රටේ නම ම සිංහළ/සිංහළේ/ සීහළදීප  වන බැවිනි.

ඉන් නොනැවතුණු බණ්ඩාරනායක( නියම නම පණ්ඩාරනායගම්) 1959දී  දෙමළ ද ජාතික භාෂාවක් කළේ ය.  ගැටලුව දෙගුණ විය.

දැන් තමන්ට ම කියා බසක් ද ඇති නිසා දෙමළ මිනිසුන් හා දේශපාලකයන්  සන්තෝෂ වූවා යැයි ඔබ සිතිය හැකි ය.  නැත.

දකුණු ඉන්දියාවේ සිටි දෙමළ මිනිසුන් බොරු කියා මෙරටට ගෙන්වා ගත්තේ   තේ ගස් යට රත්තරන් ඇතැයි පවසමිනි. එය සුද්දන්ගේ තවත් වහල් සේවයකි. ඒ දෙමළ මිනිසුන් ඉන්දියාවට නැවත  යවන්නට ශ්‍රීමා ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කළ ද, JR  ජයවර්ධන පැමිණි සැනින් එය අවලංගු කර අර දෙමළ මිනිසුන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ දේශපාලන පටු අරමුණෙනි. එදා ඒ ගැටලුව විසඳුවා නම් 2070 දී පමණ මධ්‍ය කඳුකරය තුළ උපදින්නට කරුණු යෙදෙන නව ඉන්දීය දෙමළ බෙදුම්වාදය සිදු නොවන්නට තිබුණි.  ඒ මිනිසුන් මෙරට නවත්වා ගැනීමේදී කිසිඳු  දේශපාලන ප්‍රතිපත්තියක් නො වී ය. එදා ඒ මිනිසුන්ට සිංහළ භාෂාව ඉගෙන සිංහළ කතා කරන්නටත්, මෙරට ඉතිහාසය දැන එයට ගරුකරන්නටත් කියා දුන්නා නම්, අද උන් සිංහළයෝ ය.

 ඇමරිකන්  Green Card ගැනීමේදී ඉංගිරිසි අනිවාර්ය කර එරට ඉතිහාසය පිළිබඳ  paper එකක් සමත් වීම අනිවාර්ය මන්දැයි බුද්ධිමතුන් සිත්හි ලා ගත යුතු ය. තමන් කුමන භාෂාවක් කථා කළ ද,  රාජ්‍ය කටයුතු කිරිමට  ඓතිහාසික ජාතික භාෂාව භාවිත කළ යුතු ය. මෙරට ඓතිහාසික ජාතික භාෂාව සිංහළ යි.   සියලු දෙමළ මුස්ලිම් මිනිසුන් සිංහළ කතා කර සිංහළ වූ හැටි මා කීවේ මේ කරුණු පෙන්වීමට යි. නමුත් අර්බුධය ඉන් නො නැවතිණි. 

1972.5.22 මේ රටේ Ceylon යන නම වෙනස් කර,  Sri Lanka යැයි තැබී ය. කොල්වින් R ද සිල්වාගෙන් සූරිය ගුණසේකර මේ ගැන විමසූ විට කොල්වින් පවසා ඇත්තේ ,

” අයිෂෙ සූරි… උඹලට දේශපාලනේ තේරෙන්නෙ නැහැ…. ” යනුවෙනි.

එනම්  දේශපාලනික අවශ්‍යතාවක් පිණිස ම නම වෙනස් කළේ ය.   ඉරාණයෙන් තෙල් ගන්නට නම් වහාබ්වාදය මෙරට පතුරන්නන්ට     බාධා නො කළ යුතු බවට ගිවිසුම් අත්සන් කළා සේ  එදා  කොල්වින් විසින් දෙමළ ඡන්ද ලබන්නට  රටේ නම වෙනස් කළේ ය. මන්ද යත්?

රටේ නම  සිංහළ යැයි තිබුණේ නම්, දෙමළ කතා කරන ජනවර්ගයට ස්වයං තීරණ ගැනීමේ අයිතියට පාර අහිමි වන බැවිනි. දෙමළ ජනතාව ද සිංහළ නමැති ජනතාව සමග එකතු වී සමගියෙන් ජීවත් වන බැවිනි. දෙමළ හා සිංහළ අතර විසාල පරතරයක් නැත.    ඔවුන් ද අප වැනි ම ය. මුස්ලිම් ද එසේ ම ය. එහෙත්  මේ එක මවගේ දරුවන් වෙන් කළේ කුහක, කපටි, දුර්ජන, අවස්ථාවාදී දේශපාලකයන්   සිය පාලන අවශ්‍යතා පිණිස ම ය.  සිංහළ යන භාෂාව හා සංස්කෘතිය යටතේ වී වසර දහස් ගණනක් පැමිණි ලොව අග්‍රගන්‍ය ජාතිය 1900න් පසු සිටි දේශපාලකයන් විසින් වසර 100ක් තුළ තුනට කඩා ඇත.

දැන් වෙනම රටවල් ඉල්ලති. නැගෙනහිර වෙනම රටක සලකුණු ගොඩනැගි අවසන් ය. වයඹ දිග සෆිස්ථානය ගොඩනගන්නට පටන්ගෙන බොහෝ කල් ය. හැම දේශපාලකයා ම මේවාට අඩු වැඩි වශයෙන් උදව් කර ඇත. උන්ට අපි මරා ගත්තාට කම් නැත. උන්ට යන්නට රටවල් ඇත. මුදල් නම් පරම්පරා හතකට තිබේ. පිටරට ඉඩම් ඇත. එහෙත් තවත් වසර 80කින් පමණ ඛේදනීය යමක් සිදු වීමට නියමිත ය යනු අපගේ උපකල්පනය යි.

එනම් ලොව අද්විතීය: කැඩුම් බිඳුම් ශාස්ත්‍රය, ථේරවාද විදර්ශනාමූලික බුදුදහම, වෛද්‍ය ශාස්ත්‍රය, සොබාදහම් විද්‍යාව, ලෝක උරුම එල්ලංගා පද්ධති න්‍යාය, ශබ්ද විද්‍යා න්‍යාය, ජලතාක්ෂණය, උයන් කාක්ෂණය, සූපවේද  වෛද්‍ය ක්‍රමය ලොවට දායාද කළ, සිංහළ සභ්‍යත්වය නැසීයාමට කරුණු වෙදී තිබීම යි.

මධ්‍යම ප්‍රතිපදාවෙන් ගොඩ නැගුණු, පරිසරයේ කොළයකටවත් හානි කො කළ, ඇළ දොළ ගංගා නිළෙන් උතුරවා රට සරු කළ, තමන් තිරසර සංවර්ධනයේ මහබඹුන් බව ලොවට  පෙන්නුම් කළ, අද්විතීය විස්මිත සිංහළ ජාතියේ අවසාන කඩ ඉමට ඔවුහු ළං වෙමින් ඇත්තාහ…. 

සියල්ල නැසෙන ලොවේ නො නැසෙන යමක් නැත. එබැවින්     අපි සිංහළයන් නැසෙන බව දැන දැක උන් රකින්නට වෙර දරමු.

දෙමළ සභ්‍යත්වය තුළ කෝටි 10 ඉක්මවූ ජනතාවක් ලොව ඇත. ලංකාව තුළ ඉඩක් අහිමි වුව ද ඔවුන්ට අත දෙන්නට රටවල් රැසකි.

ඉස්ලාම්   ආගම මුල් කරගත් සභ්‍යත්වයන් රකින්නට ලොව නන්දෙස රටවල් ඇත. නමුත් සිංහළයන් මුළු ලෝකයට ම සිටින්නේ ලක්ෂ 150ක් පමණි. කෝටි 785න් සිංහළයන් සිටින්නේ ලක්ෂ 150ක් පමණි. සිංහළ සභ්‍යත්වය හා සාහිත්‍යය රැකිය හැක්කේ ඒ ලක්ෂ 150ට අයිති ඔබට ම පමණි. එසේ ම මේ රට තුළ සිටින දෙමළ හා මුස්ලිම් ජනතාව මේ කරුණ තේරුම් ගන්නේ නම්, ඔවුන්ට ද සිංහළ විය හැකි ය. සිංහළ යනු ජානමය ජාතියක් නො වේ. එය ජාන සංකීර්ණයකි. ලෝකයේ හැම රටක ම පෙනුම අපේ රටේ උන්ට ඇත.

අපි භාෂාවක් ලෙස ලොව ලස්සන ම දෙවන අක්ෂර මාලාව භාවිත කරමු. භාෂාවත් අක්ෂරත් දෙක ම හිමි මුල් භාෂා තුන හතරට අප ද අයිති වෙමු. ලොව ඕනෑම භාෂාවක     ශබ්ද උච්චරණයට සිංහළ අකුරු 61 කියවූ අයට හැකියාව ලැබේ. ඇතැමුන් සිංහළ Alien  Language එකක් ලෙස සිතන්නේත්  එබැවිනි.

රටේ නම ශ්‍රී ලංකා කළ පසු:  එහෙත් භාෂාව සිංහළ බවත්   වෙනත් භාෂා කතා කළ ද  සිංහළ දැන සිටිය යුතු බවත්, සිංහළ ඉතිහාසය දැනගත යුතු බවත්, දෙමළ මුස්ලිම් ජනතාවට කීවේ නම් අද ඔවුන්ට ද මව්බිමක් ඇත. ඔවුන්ට ද භූම්යක් ඇත.

තවත් ජාතියකට උරුම බිමකට කිසිඳු ජනවර්ගයකට උරුමය ලබා ගත නො හැකි බව  ඔවුහු(දෙමළ, ඉස්ලාම් ජනයා)  නො දනිති. එය වටහා ගන්නට ද දේශපාලකයන් ඉඩ නො දෙති. දෙමළ මිනිහාට ප්‍රශ්න ඇතැයි කියනා දේශපාලකයන්ගේ දියණිවරු විවාහ වී සිටින්නේ සිංහළ කොල්ලන් සමග ය. ඒ දෙමළ දේශපාලකයන්  ජීවිතයෙන් බොහෝ කාලයක් පිටරටක සිට ඡන්දය කාලයට ලංකාවට ගොඩ බසින බව, “අරුන් සිද්ධාර්ථන්” නම් දෙමළ තරුණයා කියනු මා අසා ඇත. සිංහළ දේශපාලකයන් ද ඊට දෙවැනි නැත. තම ජනවර්ගයට ( මුස්ලිම්  ජාතියක් නො වේ) වැඩක් කරන්නේ ඉස්ලාමික දේශපාලකයා පමණි.

කැඩී ගිය වැව් හදන්නැයි ඇමතියෙකුට කී විටෙක ඔහු කියූ වදනක් මට දැනුදු රැව් පිළිරැව් දේ.

“වැව් හැදුවම උන්ට වතුර ලැබෙනව. වතුර ලැබුණම උන් වවනව. උන් වැව්වම කන්නයි සල්ලියි තියනව. ඒ දෙක ම තියනව නම් අහවල් මගුලකට ද උන් අපේ පස්සෙන් එන්නෙ….”

කතාව ඇත්තකි. සල්ලියි කන්නයි තිබේ නම් අහවල් එහෙකට ද අපි දේශපාලකයන් පස්සෙ යන්නෙ…

ඒක උන් දනිති, අප නො දනිති. එබැවින් මිනිසුන් මේ කරුණු වටහා ගත යුතු ය. දෙමළාට   ඉන්දියාවේ බසක් වෙනුවෙන් දුක් විදීමෙන් ද, ඉස්ලාමිකයාට අරාබි සංස්කෘතියක් වෙනුවෙන්  දුක්විඳීමෙන් ද ලැබෙන දෙයක් නැත. මේ රට ඔවුන්ට ද අයිති බව දැන දැක, සිංහළ බස හා සංස්කෘතිය, ආහාර, ඇදුම්, බෙහෙත්, අධ්‍යාපනය අනුගමනය කොට, දැයෙන් රටින්   සිංහළ වව්. අපි සිංහළ සභ්‍යත්වයක් හදමු. බටහිරින් ගත යුතු දැනුම ද ලබා ගමු.

එහෙත්:   අධිපරිභෝජනය නවතමු. තිරසර සංවර්ධනය, සිංහළ ජලප්‍රතිපත්තිය, සිංහළ වෘක්ෂප්‍රතිපත්තිය තුළ පිහිටමු.

දකුණු කොරියාවේ ඇති සිරිතක් මට සිහියට නැගේ.

ඔවුන්ට අනුව කඳුවල මළවුන් ජීවත් වෙති. එබැවින් ඔවුන් කඳුවල කිසිඳු ඉදිකිරීමක් නො කරති . ඒවා ඝන කැළෑවන් සේ අදටත් ශේෂ ය. එවැනි ම ප්‍රතිපත්ති අපට ද ඇත.

අපි ගසකට පවා වැඳ ගරු කරන ජාතියකි. ගගසකින් පොත්තක් ගලවන්නට ද ක්‍රමයක් ඇත. වී මනින විට 15ක් ගණන් කර එකක් අයින් කරති. ඒ පොදු පරිහරණයට ය. කුරුළුපාලුව අපේ සංස්කෘතික අංගයකි. ශ්‍රමදානය ලොව අද්විතීය සමාජානුයෝජනයකි.

මිනිසුන්ට සිදු වූයේ කුමක් ද?

අපට: ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යය. ඖෂධ පිළිබඳ  ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යය. සෞඛ්‍යය  පිළිබඳ  ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යය. අධ්‍යාපනයට ද ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය ය. මේ කිසිවක් දේශපාලකයන් මේ කපේට නො සදති.

ඒවා තිබේ නම් උන් අපෙන් ඉල්ලන්නේ අහවල් එකක්දැයි උන් අසති. ඒකත් ඇත්ත ය.  පොලී මුදලාලි කැමති පොලී ගෙවනවාට ය. මුදල ගෙවනවාට ඔහු අකමැති ය.

එබැවින්  අප අපම ආහාර, ඖෂධ, අරක්ෂාව, අධ්‍යාපනය යන අංශවලට ජාතික ප්‍රතිපත්ති සකසමු. ඒවා මිනිසුන් වෙනුවෙන් මිනිසුන් එක්ව ක්‍රියාත්මක කරමු. ඊට උපදෙස්  අපසතු ය. මාර්ගය අපසතු ය.කතිකාවක් ගොඩනගමු. කිසිදා  ඡන්ද බලය ගොඩනගන දේශපාලන ප්‍රවාහයක් ගොඩ නො නගමු.

යේසු තුමන් මෙසේ කීවා මතකයි…:

සීසර්ගෙ දේ සීසර්ට දීපල්ල..  දෙවියන්ගෙ දේ දෙවියන්ට දීපල්ල. ..

මේ සිංහළ පොළොවේ දෙවියන් සිංහළයන් ය. එනම් සිංහළ බස හා සභ්‍යත්වය පිලිගත් සියලු මිනිසුන් ය.

සීසර්ලා නම් දේශපාලකයන් ය. දේශපාලකයාට අවශ්‍ය බලය යි. එය උන්ට දීපල්ලා. එහෙත්  අපට අයිති ජාතික ප්‍රතපත්ති දේශපාලනික හේතූන් මත   විවාදාපන්න කර නො ගනිල්ලා.

ආහාර

සෞඛ්‍යය

 ආරක්ෂාව

පරිසරය

අධ්‍යාපනය යන මූලික ප්‍රතිපත්ති කුමන දේශපාලන ප්‍රවාහයක් ඉදිරියේදී වුවද අභියෝගයට ලක් නො කරමු. ඒවා අපගේ ය. ජාතික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙළ ගැසෙමු. සිංහළ සභ්‍යත්වය යනු එය යි.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles