

ධාතු යන වචනයෙහි අරුත වනුයේ සත්ත්වයකු නොවන(නිස්සත්ත) පුද්ගලයකු හෝ ජීවයක් නොවන (නිජ්ජීව )බව ප්‍රකට කිරීමය. පෙළ දහමෙහි හා අටුවාවන්හි ධාතු යන වචනය යොදා ඇති අර්ථ කීපයක් සදහන් වෙයි. ඉන් එක් අර්ථයක් නම් උසුලන ධරණ අර්ථයෙන් ධාතු යන්න යෙදි ඇති බවයි. ඒ අනුව සත්වයා විසින් මේ චක්ඛු සොත ආදි ධාතු උසුලන ධරන බැවින් ධාතු නම් වන බව සදහන් වෙයි. මීට අමතරව මේ ධාතුන් සත්ත්වයාට සසර දුක ඇති කරවන අරුතින් ද ධාතු යනුවෙන් ද ව්‍යවහාර කෙරේ.ධාතු අරුතෙහි එසේ විෂ්ලේෂණය වනදෑ ප්‍රධාන බෙදීම් ගණනාවකින් යුතුවේ.එය පුද්ගල ස්වභාවයට පදනම් වන පරමාර්ථ විග්‍රහය ඉදිරිපත් කොට ඇත .පුද්ගලයා යනු ෂඩ් ධාතු මාත්‍රයකි.අටළොස් ධාතු මාත්‍රයකි.එම ධාතු නාමාර්ථයෙන් විශ්ලේෂණය කිරීමේදි පුද්ගලයා යන සම්මුති පැනවීම ඉක්මවා පරමාර්ථ ස්වභාවය අනාත්මතාවය හා ශූන්‍යත්වය ආදි ගාම්භීර බුද්ධ වචනය ස්මතු වේ.එම ධාතු විභජනයෙහි ප්‍රධාන බෙදීම් දෙකක් මුල් බුදු දහමෙහි විග්‍රහ වේ,එනම්,
01- ෂඩ් ධාතු විශ්ලේෂණය
02-අටළොස් ධාතු විශ්ලේෂණය
පුද්ගලයා පිළිබඳ සම්මුතිය ප්‍රධාන වශයෙන් ධාතු හයක එකතුවකි.ඒ බව ම.නි ධාතු විභංග සූත්‍රයේ පුද්ගලයා යනු ෂඩ් ධාතු මාත්‍රයෙකි (ඡ ධාතුරො අයං භික්ඛු පුරිසො)යනුවෙන් දක්වා ඇත.එම ෂඩ් ධාතුහූ මේවායෝය.
1-පඨවීධාතු
2-ආපොධාතු
3-තෙජොධාතු
4-වායොධාතු
5-ආකාසධාතු
6-විඤ‍්ඤාණධාතු
යනුවෙනි.පඨවි ධාතු හා අනෙකුත් ධාතූන්හි සම්මුති නාමාර්ථය පැවතියද එහි පඨවී යනු කුමක්ද විමසා එය ධාතු නොහොත් සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් තොරවූ නිස්සත්ත හා නිජ්ජිවාර්ථය සොයා බැලීම අතිශය වැදගත් වේ,පඨවී ධාතුවෙහි මෙන්ම අනෙක් ධාතුන්හිද එම ස්වභාවය විමසිය යුතුය.මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයේ ධාතු විභංග සූතුර තුළ ෂඩ් ධාතූ මෙන්ම පඨවී ධාතුව පිළිබඳ මෙසේ ඉදිරිපත් කරයි.
පඨවිධාතුව
පඨවී ධාතුව යනු කවරේද? පඨවී ධාතුව ආධ්‍යාත්මිකවද ඇත. බාහිරවද ඇත. මහණෙනි ආධ්‍යාත්මික පෘථිවිධාතු කවරේද? ආධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ උපාදින්නක් වූ යමක් ඇද්ද ඒ්වා පඨවී ධාතූය කේශ, රෝම, නිය, දත්, සම, මස්, නහර ය,ඇටය,ඇට මිදුලු, වකුගඩු, හෘදය , අක්මාව ….. නො පැසුණු අහර හා මළ ආදී අධ්‍යාත්මික වූ තමා කෙරෙහි පහිටි තද වූ රළු වූ යම් කිසි උපාදින්නකයෙක් ඇද්ද, මහණ, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ.
කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා පඨවී ධාතු? යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං සෙය්‍යථිදං – කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං – අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා පඨවීධාතු
(ම.නි.03,ධාතු විභංග සූත්‍රය,පි.502-503,බු.ජ.මු)
මෙම පඨවී කොටසට අයත් කෙස් ලොම් නිය ආදියට කිසි කලක සත්ත්වයෙක් පුද්ගලයෙක් යැයි ව්‍යවහාර කරනු නොලැබේ .එබැවින් ධාතු නම් වේ.
ආපෝ ධාතුව
ආපෝ ධාතුව යන්න විමසීමේදි,අධ්‍යාත්මික හා බාහිර ආපෝ ධාතුව ඇත. ආධ්‍යාත්මික තම සිරුර මුල් කරගත් ආපෝ යනු කවරේද? අධ්‍යාත්මිකවූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක්(වැගිරෙන ස්වභාවයක්) අබ්බගතයෙක් කර්මසමුත්ථානයෙක් ඇද්ද ඒවා මෙසේය. පිත , සෙම ,සැරව, ලෙහෙ , දහදිය, මෙද තෙල, කඳුළු , වුරුණුතෙල, කෙළ , කබ , සඳමිදුළු හා මුත්‍රාය.
කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා ආපොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං සෙය්‍යථිදං – පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං – අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා ආපොධාතු.
(ම.නි.03,ධාතු විභංග සූත්‍රය,පි.500-501,බු.ජ.මු)
මේවා වැගිරෙන ස්වභාවයෙන් යුතු ආපෝ ස්වභාවයෙන් යුතු වුවද සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් තොර නිස්සත්ත නිජ්ජීවාර්ථයෙන් යුතුය.එබැවින් ආපෝ ධාතුව නම් වේ.
තෙජො ධාතුව
තේජෝධාතුව වනාහි අධ්‍යාත්මික හා බාහිර වශයෙන් ද්විත්වයකින් යුතු වේ. තම සිරුර මුල් කොටගත් ආධ්‍යාත්මික තෙජොධාතු යනු කුමක්ද තමා කෙරෙහි පිහිටි තෙජොගත වූ උපාදින්නක වූ යම් ආධ්‍යාත්මික තේජසෙක් වේ ද, එයයි. යම් තේජසෙකින් තැවේද යම් තේජසකින් දිරාද යම් තේජසකින් දැවේ ද ,කන ලද බොන ලද යමක් මනාවට පැසීමට යත්ද තමා කෙරෙහි පිහිටි තේජොගත වූ උපාදින්නක වූ උෂ්ණ සීතලාදි යම් අධ්‍යාත්මික තේජසෙක් වේ ද මෙය ආධ්‍යාත්මික තේජොධාතු යයි කියනුලැබේ.
කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, සෙය්‍යථිදං – යෙන ච සන්තප්පති, යෙන ච ජීරීයති, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං – අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා තෙජොධාතු
(ම.නි.03,ධාතු විභංග සූත්‍රය,පි.500-501,බු.ජ.මු)
එම තේජෝ ස්වභායද සත්ත්ව පුද්ගලත්වයෙන් තොර බැවින් තේජෝ ධාතුව නම් වේ.
වායො ධාතුව
වායෝ ධාතුව නම් පුම්බවන හකුලුවන ස්වභාවයයි.මෙය අධ්‍යාත්මික වායෝ හා බාහිර වායෝ ධාතු යනුවෙන් බෙදීම් දෙකකි .ආධ්‍යාත්මික වායෝධාතු කවරේද? තමා කෙරෙහි පිහිටි වායෝගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් වේද ඒවායෝය.උද්ධංගම වාතය, අධෝගත වාතය,කුච්ඡිසයවාතය, කොට්ඨසය වාතය, අඞ්ගමඞ්ගානුසාරී වාතය, ආශ්වාස හා ප්‍රශ්වාස වාතය යනුවෙනි.
කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං, සෙය්‍යථිදං – උද්ධඞ්ගමා වාතා අධොගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨාසයා වාතා අඞ්ගමඞ්ගානුසාරිනො වාතා අස්සාසො පස්සාසො ඉති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං – අයං වුච්චති, භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු.
(ම.නි.03,ධාතු විභංග සූත්‍රය,පි.502-503,බු.ජ.මු)
මෙසේ තමා කෙරෙහි වූ වායෝගත වූ උපාදින්න වූ යම්කිසි වාතයෙක් ඇද්ද, මහණ, මේ ‘ආධ්‍යාත්මික වායෝධාතු’ යයි කියනුලැබේ. වායුව කිසිවිටක සත්ත්ව පුද්ගල ස්වභාවයකින් විද්‍යමාන නොවේ.එබැවින් නිස්සත්ත නිජ්ජිවාර්ථයෙන් වායෝ ධාතු නම් වේ.
ආකාශ ධාතුව
ආකාස ධාතුව යනු කවරේද?ආකාස ධාතුවද අධ්‍යාත්මික හා බාහිර ආකාස ධාතුව යනුවෙන් බෙදීම් දෙකකි. ආධ්‍යාත්මික ආකාසධාතුව යනු කුමක්ද ?තමා කෙරෙහි වූ ආකාසගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික ආකාසයෙක්(අවකාශයක්) වේද එයයි.කන්සිදුරු, නහස් සිදුරු, මුව දොර ආදිය මෙන්ම යම් අවකාශයක් තුළින් බිඳ කන දෑ ගිලගනී ද, යම් අහසෙක(අවකාශයක) කන ලද දෑ පතිනුයේ වේ ද, යම් අවකාශයක කන දෑ අධොභාගයෙන් නික්මේ ද, තමා කෙරෙහි වූ ආකසගත වූ , විවර හා විවරගත වූ මස්ලෙහෙයින් ගැවසී නොගත් කිසියම් ආකාසයෙක් වේ ද, එය ආකාස ධාතු යැයි කියනු ලැබේ.
කතමා ච, භික්ඛු, අජ්ඣත්තිකා ආකාසධාතු ? යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්‍යථිදං – කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගං නික්ඛමති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං අඝං අඝගතං විවරං විවරගතං අසම්ඵුට්ඨං මංසලොහිතෙහි උපාදින්නං – අයං වුච්චති භික්ඛු අජ්ඣත්තිකා ආකාසධාතු
අවකාශය වනාහි සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් තොර බැවින් ආකාශ ධාතුව නම් වේ.
විඤ්ඤාණ ධාතුව
සවැනි ධාතුව වන්නේ විඤ්ඤාණ ධාතුවයි. ඒ විඥානයෙන් කුමක් දනී ද? ‘සුඛ’ යයි ද දනී. ‘දුඃඛ’ යයි ද දනී. ‘අදුඃඛ අසුඛ’ යයි ද දනී.
තෙන ච විඤ‍්ඤාණෙන කිං ජානාති: සුඛන‍්තිපි විජානාති, දුක‍්ඛන‍්තිපි විජානාති, අදුක‍්ඛමසුඛන‍්තිපි විජානාති.
(ම.නි.03,ධාතු විභංග සූත්‍රය,පි.502-503,බු.ජ.මු)
සුඛවේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා සුඛවේදනා උපදී.හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි දැන ගනුයේ( සුඛ වෙදනියං භික‍්ඛු, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා) එම විඤ්ඤාණය හේතුවෙනි.
එමෙන්ම දුක්ඛවේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුක්ඛ වේදනා උපදී. අදුක්ඛමසුඛ වේදනාද එසේය.විඤ්ඤාණය පහළ වීම උදෙසා හේතු වනුයේ ඇස ,කන ,නාසය,දිව ශරීරය හා මනස යන ආධ්‍යාත්මික සළායතන මෙන්ම රුප සද්ධ ගන්ධ රස ඵොට්ඨබ්බ හා ධම්ම ආදි බාහිර සළායතනයෝය(මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ආයතන විභාගයෙහි සිදු කොට ඇත) .ෂඩ් ඉන්ද්‍රීය නිරොගිතාවය මෙන්ම බාහිර ආයතනයන්ගේ එක්වීම මත තත් ඉඳුරන්ට අනුකූල සුදුසු අවධාන(තජ්ජො සමන්නාහරය) මත චක්ඛු විඤ්ඤාණ ,සෝත විඤ්ඤාණ ,ඝාණ විඤ්ඤාණ ,ජිව්හා විඤ්ඤාණ ,කාය විඤ්ඤාණ හා මනො විඤ්ඤාණයෝ පහළ වේ.ස්පර්ශය ප්‍රත්‍යය කොට ඇති විඤ්ඤාණය තුළින්,වේදනාව(වින්දනය),සඤ්ඤාව(හඳුනාගැනීම),විතර්ක(විතක්ක),පපඤ්ච (සිතිවිලි)ආදිය බිහි වේ.විඤ්ඤාණය පිළිබඳ ඉගැන්වීම් පෙළ දහමෙහි විවිධ නයින් විශ්ලේෂණය කොට ඇති අන්දම පෙනේ්.මෙම විඤ්ඤාණය කිසිවිටක සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් තොරය.එබැවින් ධාතු නම් වන අතර එය විඤ්ඤාණ ධාතු නම් වේ.
අටළොස් ධාතු විශ්ලේෂණය
බුද්ධකාලීන ඇතැම් සම්ප්‍රදායන් සත්ත්ව පුද්ගල ක්‍රියාකාරීත්වය ආත්මය මුල් කොට ගෙන සිදු වන්නක් ලෙස දෘෂ්ටි සම්පන්න මතවාද ඉදිරිපත් කර ඇති අන්දම බ්‍රහ්මජාල සාමඤ්ඤඵල අනන්ත ලක්ඛන හා චූලසච්චක වැනි සුත්‍ර නයින් ප්‍රකට වේ. එම ආත්ම වාදීහු ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය ආත්මය මගින් සිදු වන්නක් බව පැවසුහ.එය ශාස්වතවාදී (අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං) හා උච්ඡේදවාදී(තං ජීවං තං සරීරං )දෘෂ්ටි සම්පන්නව ආත්මවාදී ප්‍රවණතාවයන් ඉදිරිපත් කළ අයුරු පහදාගත හැකිය. බුදු දහමේ ඉගැන්වෙන පංචස්කන්ධය ක්‍රියාත්මක වනුයෙ සත්ත්ව, ජීව නමින් හැදින්වෙන ආත්මයක මෙහෙය විමෙන් නොව නාම – රූප ධර්මයන්ගේ සාපේක්ෂ හේතු – ඵල සම්බන්ධයෙන් බව බුදුරජාණන් වහන්සේ දේශණා කළහ. නාම රුප විග්‍රහය යටතේ ඉදිරිපත් කොට ඇති මෙම ධාතු විභාගයෙන් ද බුදු රජාණන් වහන්සේ අපේක්ෂා කොට ඇත්තේ පූර්වෝක්ත පරිදි නිස්සන්ත, නිජ්ජව භාවය ප්‍රකට කිරිම සඳහාය.
බුදු සහමෙහි ඉගැන්වෙන ධාතු විභාගය අනුව ෂඩ් ධාතු මෙන්ම අට්ඨාරස ධාතු ලෙස ‘ධාතු’ කොටස් දහ අටකට බෙදා දැක්වෙයි. මෙය චක්ඛායතන, සොතායතන, ආදි ද්වාදස ආයතන පිළිබදව විග්‍රහය තවදුරටත් විභාග කොට විශ්ලේශනය කිරීමක් වශයෙන් හඳුන්වා දිය හැකිය. කලින් සදහන් වු ආයතන වලින් දක්වා ඇත්තේ ඉන්ද්‍රීය හා ආරම්මණ පමණි.එනම් ආධ්‍යාත්මික හා බාහිර ආයතන විග්‍රහය පමණි. ධාතු විශ්ලේෂණය තුළදි ඉන්ද්‍රීය විඤ්ඤාණ ය ද ඇතුළත් කොට ඇති ආකාරය අටළොස් ධාතු පිළිබඳ ඉදිරිපත් කෙරෙන මූලාශ්‍රය විමසා බැලිමෙන් තේරුමි ගත හැකි ය.
ධාතු විභාගය පිළිබඳ ඉදිරිපත් කරන වැදගත් සූත්‍රයක් ලෙස සං.නි .චිත්ත සංයුත්තයෙහි ඉසිදත්ත සූත්‍රය හැඳින්විය හැකිය.එහි කථා සාරාංශය විමසා බැලීම වැදගත් සේ යැයි සිතමි. චිත්ත ගෘහපතියා විසින් ස්ථවිර භික්ෂූන්ගෙන් පළමුවත් දෙවනුවත්,තෙවනුවත් ධාතු නානත්වය කොපමණකින් වේදැයි විමසු ගැටලුවට නවක ඉසිදත්ත තෙරුන් විසින් විභාග කොට දක්වන ලද්දකි.
ධාතුනානත‍්තං ධාතුනානත‍්තන‍්ති භන‍්තෙ ථෙර වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ ධාතුනානත‍්තං වුත‍්තං භගවතාති?
(සං.නි.04,ඉසිදත්ත සූත්‍රය,පි.525-526,බු.ජ.මු)
වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්ව ය ධාතුනානාත්ව ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද?මෙහිදී ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ධාතු නානත්වය විභජ්ජවාදී නයින් ඉදිරිපත් කොට ඇති අන්දම මූලාශ්‍රය විමසීමේදි පසක් කොටගත හැකිය.
“ඉදං ඛො ගහපති ධාතුනානත‍්තං වුත‍්තං භගවතා: චක‍්ඛුධාතු රූපධාතු චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතධාතු සද‍්දධාතු සොතවිඤ‍්ඤාණධාතු, ඝානධාතු ගන්‍ධධාතු ඝානවිඤ‍්ඤාණධාතු, ජිව‍්හාධාතු රසධාතු ජිව‍්හාවිඤ‍්ඤාණධාතු, කායධාතු ඵොට‍්ඨබ‍්බධාතු කායවිඤ‍්ඤාණධාතු, මනොධාතු, ධම‍්මධාතු, මනොවිඤ‍්ඤාණධාතු”
(සං.නි.04,ඉසිදත්ත සූත්‍රය,පි.525-526,බු.ජ.මු)
චක්ඛුධාතු ය රූපධාතු ය චක්ඛුවිඤ්ඤාණධාතු ය, සොතධාතු ය සද්දධාතු ය සොතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය ගන්ධධාතු ය ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය රසධාතු ය ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය පොට්ඨබ්බධාතු ය කායවිඤ්ඤාණධාතු ය, මනොධාතු ය ධම්මධාතු ය මනොවිඤ්ඤාණධාතු ය යි.
උක්ත සඳහන් කරන ලද සූත්‍රාණුසාරය බෙදා වෙන් කොට විමසීම අතිශයින් වැදගත් වේ.මක්නිසාද යත් එහි සාරගර්භය ආත්මාදී හෝ විඤ්ඤාණවාදී ප්‍රවණතාවයන්ට හසු නොවී ශ්‍රවකයා හට දහම් අවබෝධ කරවීමට හැකි වීමයි.ඉන්ද්‍රීය, ආරම්මණ හා ඉන්ද්‍රීය විඤ්ඤාණ විෂය මෙසේ විශ්ලේෂණය කළ හැකිය.
1. චක්ඛු ධාතු 2. රූප ධාතු 3. චක්ඛු විඤ්ඤාණ ධාතු
4. සොත ධාතු 5. සද්ද ධාතු 6. සොත විඤ්ඤාණ ධාතු
7. ඝාණ ධාතු 8. ගන්ධ ධාතු 9. ඝාණ විඤ්ඤාණ ධාතු
10. ජිවිහා ධාතු 11. රස ධාතු 12. ජිව්හා විඤ්ඤාණ ධාතු
13. කාය ධාතු 14. ඵොට්ඨබිබ ධාතු 15. කාය විඤ්ඤාණ ධාතු
16. මනො ධාතු 17. ධම්ම ධාතු 18. මනො විඤ්ඤාණ ධාතු
මෙම ධාතු පිළිබඳ විශ්ලේෂණය ඉන්ද්‍රීය, ආරම්මණ, ඉන්ද්‍රීය විඤ්ඤාණය යන අංශ තුන ඇතුළත් වන බව මේ තුළින් පැහැදිළි වෙයි. මෙහි ධාතු වශයෙන් අටළොසකට බෙදා තිබෙන්නෙ ද ආයතන වශයෙන් දොළසකට බෙදන ලද ධර්ම සමුහයමය. ද්වාදස ආයතන විභාගයේදී ඉන්ද්‍රිය හා ආරම්මණ ක්ෂේත්‍රය පමණක් සඳහන් වන අතර අෂ්ඨාරස ධාතු විභාගයේදි අනාත්ම(නිස්සත්ත),ශූන්‍යය (සුඤ්ඤත) අර්ථ සංඛ්‍යාතව විඤ්ඤාණාදී ක්ෂේත්‍රය විස්තර කරමින් ස්වභාවයෙන් පවතින යන අරුතෙන් ධාතු නම් වූ ධර්මයන්ගේ නානාවිධ ස්වභාවය ධාතු නානත්වය ලෙස කොටස් දහඅටකින් විස්තර කොට ඇත.
චක්ඛු ප්‍රසාදය චක්ඛු ධාතු නම් වේ,රූපාරම්මණය රූපධාතු නම් වේ.චක්ඛු ප්‍රසාද වස්තුවෙමි පහළ වූ සිත චක්ඛු විඤ්ඤාණධාතු නම් වේ.සෝතප්‍රසාදය සෝත ධාතුව වන අතර ශබ්ධාරම්මණය සද්ධ ධාතුවයි.සෝතප්‍රසාද වස්තුව පිළබඳ වූ සිත සෝත විඤ්ඤාණ ධාතුවයි.ඝාණ ප්‍රසාදය ඝාණ ධාතුවයි.ගන්ධාරම්මණය ගන්ධ ධාතුවයි.ආඝ්‍රාණ වස්තුක වූ සිත ඝාණ විඤ්ඤාණ ධාතුවයි.ජිව්හා ප්‍රසාදය ජිව්හා ධාතු නම් වේ.රස අරමුණ රසධාතු නම් වේ.ජිව්හප්‍රසාද වස්තුක වූ සිත ජිව්හාවිඤ්ඤාණ ධාතු නම් වේ.කාය ප්‍රසාදය කායධාතු නම් වේ.කාය ප්‍රසාදය නැතහොත් සමෙහි ඇතිවන ස්පර්ශය ඵොට්ඨබ්බ ධාතු නම් වේ.කාය ප්‍රසාද වස්තුක සිත කාය විඤ්ඤාණ ධාතු නම් වේ ත්‍රිවිධ වූ (මනෝධාතු,ධම්ම ධාතු හා මනෝ විඤ්ඤාණ ධාතු) මනෝ ධාතුව නම් වේ.වේදනාදි ස්ඛන්ධයෝ,සූක්ෂම රූප හා නිවණ ධම්ම ධාතු නම් වේ.සියලු මනෝ විඤ්ඤාණය මනෝ විඤ්ඤාණ ධාතු නම් වේ.මෙහිදි අප තදින් සිහියේ තබාගත යුත්තේ ධාතු අර්ථය යෙදී ඇත්තේ කුමක් නිසාද බව සෙවීමයි.සසම්භාර චක්ෂුසයේ පවතින චක්ෂු ප්‍රසාදය කිසිවිටෙකවත් සත්ත්වයෙක්(නිස්සත්ත) පුඟුලෙක්(නිජ්ජීව)නොවේ.එතැන ඇත්තේ ගැවසී නොගත් ශූන්‍යත්වයකි(චක්ඛුං සුඤ්ඤං),ඇස මමය, මාගේය ,මම වෙමි යනුවෙන් ආත්මවාදීව සක්කාය දිට්ඨිය හා අස්මිමානය ඇතිකර ගත නොහැකි අතර ඇස අනාත්මය(චක්ඛුං අනත්තං).මේ අයුරින් කන,නාසය,දිව ,ශරීරය හා මනස ධාතුවක් වන්නේ එබැවිනි.රුප සද්ද ගන්ධ රස පොට්ඨබ්බ හා ධම්ම මෙන්ම ෂඩ් විඤ්ඤාණ ක්ෂේත්‍රය ආදි නානත්වය ධාතු නම් වන්නේ,නිස්සත්ත නිජ්ජීව ,සුඤ්ඤත,ත්‍රිලක්ෂණානුභුත වූ පටිච්ච සමුප්පාදයම අනුව බව වටහාගත යුතුය.
(සාරත්ථප්පකාසිනි ,සංයුත්ත නිකායට්ඨකාථා 02 ,පිටු 139-140.)
බුද්ධ කාලීන සම්මුති සත්ත්වයා පිළිබඳ(තිස්ස ,ගුත්ත ආදී නාමික) ආත්මවාදීව කටයුතු කළ අන්දම දි.නි.පාඨික වග්ගයේ පායාසිරජඤ්ඤ සූත්‍රය ආදිය තුළින් පහදාගත හැකිය.පායාසි රජු වනාහි පුද්ගලයා සතුව ඇති ආත්මය සොයා ගිය උග්‍ර භෞතිකවාදී පර්යේෂකයෙකි.උච්ඡේදවාදියෙකි.ඔහු වරක් මිනිසෙක් විශාල හැලියක දමා තම්බා ඔහු තුළින් පිටවෙන ආත්මය සොයාබලයි.හමුවන්නේ නැත.ආත්මය මිනිසෙක් කීතු කීතුවලට කපා මරයි.දසවස්තුක මිථ්‍යා දෘෂ්ටිකයෙකු වූ හෙතෙම කුමාර කස්සප හිමියන් විසින් ආත්මවාදයෙන් මුදවනු ලබන්නේ බුදු දහම සම්ප්‍රේෂණය කිරීමෙනි(වැඩිදුර අධ්‍යයනය සඳහා පායාසි රාජඤ්ඤ සූතුර කියවන්න).මෙලෙස ආත්මවාදි කටයුතු කළ පුද්ලයන් කිහිපදෙනෙක් පිළිබඳ චූල සච්චක ආදි සූත්‍ර නයින් පැහැදිළි කරගත හැකිය. එමෙන්ම ඇතම් ශ්‍රවක කෙනෙකු තුළ විඤ්ඤාණයෙහි ආත්ම සංඥාවක් දැඩිව පැවති අයුරු මහා තණ්හාසංඛ්‍යය සූත්‍රය තුළින් පහදාගත හැකිය. බුද්ධ කාලයෙ සිටි සාති භික්ෂුව එවැනි ශාස්වතවාදී අනන්‍ය සසර සැරි සරණ විඤ්ඤාණවාදී හැගීමකින් යුතුව සිටියෙකි. එවැනි කෙනෙකු ට විඤ්ඤාණය පිළබද විශ්ලේශනයක් , විභාග කිරිමක් නැත.අද සමාජයේද එබදු දෘෂ්ටි සම්පන්නයෝ ඇත. එබැවින් විඤ්ඤාණයෙහි තදින් ආත්ම සංඥාව දුරු කර ගැනිමට පහසු වනු පිණිස,පඤ්චස්ඛන්ධ ,ආයතන හා විඤ්ඤාණය තව දුරටත් විශ්ලේෂණය කොට දැක්වෙන මෙම ධාතු විභාගාදිය දේශනා කොට ඇත.
ස්ඛන්ධ ධාතු හා ආයතන විභාගයන්හි පොදු ලක්ෂණයෝ
ධම්ම යනුවෙන් ගැනෙන ඛන්ධ ,ධාතු හා අයතන සියල්ල අනිත්‍යය,දුක්ඛය,අනාත්ම බව ත්‍රිලක්ෂණ දේශණාව තුළින් පහදාගත හැකිය.ඒ අනුව හේතු ප්‍රත්‍යය ධර්මයට අනුගත වූ සංස්ඛාර ධර්මයන් අනිත්‍යය,බිඳෙයි ,වෙනස් වෙයි.පෙරළෙයි.නිත්‍ය,සදාකාලික,ධුව,අවිනශ්වර ශාස්වත ස්භාවයක් නැත.රූප, වේදනා, සඤ්ඤා ,සංඛාර හා විඤ්ඤාණය අනිත්‍යය.
රුපං අනිච්චං,වෙදනා අනිච්චා,සඤ්ඤා අනිච්චා,සංඛාරා අනිච්චා,විඤ්ඤාණං අනිච්චාති.
(ම.නි.01,චූල සච්චක සූත්‍රය,පි.540,බු.ජ.මු)
එමෙන්ම ආයතන විභාගයේ දැක්වෙන ඇස කන නාසය දිව ශරීරය හා මනස මෙන්ම රුප සද්ධ ,ගන්ධ,රස,ඵොට්ඨබ්බ හා ධම්මයන්ද අනිත්‍යය.
චක්ඛුං අනිච්චං ,රූපා අනිච්චා,සොතං අනිච්චං,සද්දා අනිච්චා,ඝාණං අනිච්චං ගන්ධා අනිච්චා,ජිව්හං අනිච්චං රසා අනිච්චා,කායං අනිච්චං ඵොට්ඨබ්බා අනිච්චා,මනො අනිච්චා ,ධම්මා අනිච්චාති.
(අං.නි.6,ගිරිමානන්ද සූත්‍රය ,පි.195,බු.ජ.මු)
අයතන මෙන්ම ධාතූහුද අනිත්‍යය,අටළොස්ධාතූ හා ෂඩ් ධාතූන්ද වෙන් වෙන්ව ගෙන අනිත්‍යය ස්වභාවය දක්වා ඇත.එමෙන්ම යමක් අනිත්‍යය වන්නේද එය දුක් සහිතය.අනිත්‍යය වූ ධර්මයෝ කිසි කලෙක සැප පිණිස නොවෙත්.යමක් අනිත්‍යය වේද එය මමය මාගේ මම වෙමි යනුවෙන් සත්ත්ව පුද්ගල ආදිනයින් හෝ ස්ඛන්ධ ,ආයතන හා ධාතු නයින් ගත නොහැකිය.
යදනිච්චං තං දුක්ඛං …යං දුක්ඛං තදනත්තා.. රුපං.. වෙදනං..සඤ්ඤා …සංඛාරං.. විඤ්ඤාණං නෙතං මම නෙසොහමස්මි නෙසො මෙ අත්තාති සමනුපස්සසන්ති.
(ම.නි.01,අලගද්දූපම සූත්‍රය,පි.340,බු.ජ.මු.)
රූපාදි ස්ඛන්ධය වෙන වෙනම ගෙන මගේය(මට අයත්ය).මම වෙමි,මාගේ ආත්මය යැයි සළකා ගන්නට ආශ්‍රැතවත් පෘථුජ්ජනයා පෙළඹෙති.අනෙකුත් ස්ඛන්ධයන් කෙරෙහිද තත් ස්වභාවය එසේය.ඇස ආදි ආයතන හා ධාතු කෙරෙහිද එසේය.එම ධම්ම න්‍යායෙන් ඇති සියල්ලෝ නිත්‍ය,සුඛ හා ආත්ම වශයෙන් කිසි කලෙක ඉච්ඡිත පරිදි පවත්වා ගත නොහැකිය.එබැවින් අනිත්‍යය හා දුක්ඛ ස්වභාවය මෙන්ම අනාත්මතාවය දත යුතුය.එබැවින් රූපාදි ස්ඛාන්ධයෝද,ඇස ආදි ආයතනයෝද ,චක්ඛු ධාතු ආදි ෂඩ් ධාතු හා අටළොස්ධාතූ මගේ නොවේ.මම නොවෙමි හා මගේ ආත්මය නොවේ යැයි සළකා මෙම ධම්මයන්ගේ යථාස්වභාවය දත යුතුය.එය තතු ඇති සැටියෙන් දැන ගැනීමට හේතුවන යථාවබෝධයයි.
තත්වාබෝධය ඇති ආර්‍යය ශ්‍රාවකයා ඛන්ධායතන ධාතූන්හි කලකිරෙයි.කලකිරුනේ එහි නොඇලෙයි.නොඇලෙනුයේ ඉන් මිදේ.මිදුනේ මිදුනේ යැයි වටහා ගනී.බුදු වදන වනුයේ චිත්තක්ෂණ පාසා බිඳී යන ස්ඛන්ධ ධාතු අයතනයන්හි පටිච්චසමුප්පන්න වූ අනිත්‍යය දුක්ඛා අනාත්මාදියෙන් සමන්විත වූ මූල සාධක සමූහයක් බව පසක් කොට ගත යුතුය.බුදු සමයෙහි පරම අපේක්ෂාව ලෙස මෙම ධම්ම හා සබ්බ න්‍යායෙන් ඇති මෙම මූල සාධකයන්හි නිර්වේදය නොඇලීම සන්සිඳීම අවබෝධය හා නිර්වාණය සාක්ෂාත් කරලීමය.
තෙරුවන් සරණයි.