ශ්‍රී ලංකාවේ අම්බලම් යන මැයෙන් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි සයවැන්න මෙසේ ඉදිරිපත් කරමි. මේ සඳහා පාදක කරගනුයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්) ) මහතා විසින් ගවේෂණාත්මකව ලියන ලද, අම්බලම හා ජන සමාජය නම් වන කෘතියයි.
පසුගිය කලාප වලින් මා ඔබට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීපයක පිහිටා ඇති අම්බලම් පිළිබඳව ඉදිරිපත් කළා. මේවර සූදානම් වන්නේ, එහි තවත් දිගුවක් ලෙසින් කෑගල්ල, කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලම් ගැන කතා කරන්නටයි.
රුකුලා අම්බලම
මාවනැල්ල, අළුත්නුවර දේවාලයට කිලෝමීටර භාගයක පමණ දුරින් මෙය පිහිටා තිබේ. අඩි 06ක දිගකින් හා පළලකින් යුතු මෙය උසින් අඩි 8ක් වන කුළුණු 12ක් මතවහලය නිමවා තිබේ. ජනප්‍රවාදයට අනුව දඹදෙණිය රාජධානියේ විසූ, රුකුලා දේවිය නම් වූ ප්‍රභූ කාන්තාවක් විසින් මෙය ගොඩනගා තිබේ. මේ වන විට එය පෞරාණික තත්වයෙන් ගිලිහී ඇත්තේ, කුළුණු සිමෙන්ති බදාමයෙන් පිරියම් කර ඇති බැවිනි.
අලදුවක (රම්මක) අම්බලම


කොළඹ – මහනුවර මාර්ගයේ, කඩුගන්නාව නගරයට ආසන්නයේ හේනාවල ඇතුළු මාර්ගයේ කිලෝමීටරයකට ආසන්න දුරකින් මෙය පිහිටා ඇත. පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණයට ලක්වී ඇති මෙය, මහනුවර රාජධානිය සමයේ කරවන ලද්දකි. මහනුවර සමයේ නිර්මාණය කරන ලද අම්බලම් වල තවත් එක් නිර්මාණ ක්‍රමයක් මෙමගින් පිළිබිඹු කරයි. අඩි 3 ½ක පමණ විශ්කම්භයකින් යුතු ඔපමට්ටම් කරන ලද ගල් කුළුණු මත වහලය නිමවා ඇත. මෙම කුළුණු මත නෙළුම් මල් කැටයම් සහිත අලංකාර පේකඩ සතර බැගින් නිමවා, ඒ මත මුදුන් වහලය සාදා තිබේ.නමුත් මේ වන විට පේකඩ 16න් ඉතිරිව තිබෙන්නේ 3ක් පමණි.
මෙම අම්බලම පිහිටා ඇති ස්ථානය අසලින් ඇති මාර්ගය වර්ථමානයේ භාවිතයෙන් ඈත්ව තිබුණ ද අතීතයේදී මෙය ප්‍රධාන පාරක්ව පැවති, පැරණි ගම්පොල කඩුගන්නාව මාර්ගයට අයත් ව තිබී ඇත.


කඩුගන්නාවේ අම්බලම
මහනුවර සිට කොළඹ දෙසට ගමන් කළ විට, පහළ කඩුගන්නාවේ දී මෙය දැකගන්නට හැකිය. අම්බලම් තැනීමේ නිර්මාණ ක්‍රමය අතින් ඉහල මට්ටමකින් පවතින මෙය, කර්නිකා මංඩල 3කින් සමන්විත වේ. කැණිමඩලෙහි මඩොල් කුරුප්පාවට රීප්ප 50කටඅධික ප්‍රමාණයක් සම්බන්ධ කර ඇත. බිත්තියකින් වෙන් කරන ලද වෙනම කුටියක් ආහාර පිස ගැනීම සදහා වෙන්කර තිබේ.අඩි 30ක් පමණ දිගින් හා අඩි 15ක් පමණ පළලින් යුත් මෙහි වහලය මුදුනෙහි මැටි කොත් 3ක් තිබේ. ගම්වැසියන් පවසා ඇත්තේ, පෙර තිබූ මැටි කොත් නාග මුහුණින් යුතු වු බව හා ඉදිරිපස වූ විශාල මැටි පැන්තාලිය1970 දක්වාම එහි වූ බවයි. තොරතුරු වලට අනුව මෙම අම්බලම වසර 200කට වඩා ඉතිහාසයකට උරුමකම් කියයි. අතීතයේ දී කොළඹ – නුවර මාර්ගයකරත්ත පාරක්ව පැවති අතර, මහනුවරට පැමිනෙන වෙළඳ පිරිස් නවාතැන් ගැනීම සඳහා මෙය භාවිතා කර තිබේ.


පිටකෝට්ටේ අම්බලම
මෙය පැරණි කෝට්ටේ රාජධානියට ඇතුළු වන මාර්ගයේ කඩවත්වල කේන්ද්‍රීය ස්ථානයක සාදා ඇත. පැරණි කෝට්ටේ සිතියමෙහි ද මෙම ස්ථානය සඳහන් කර තිබේ. වර්ථමානයේ කොළඹ, නුගේගොඩ, බත්තරමුල්ල, දෙහිවල හා බොරැල්ල නව රෝහල මාර්ගය යන තුන්මන් හන්දිය යි. අනෙක් අම්බලම් හා සසඳන විට මෙය වෙනස්ම කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගෙන තිබේ. එනම්, දේශීය හා විදේශීය පිරිස් කෝට්ටේට යාම සඳහා නතරවී සිටීමටම මෙය භාවිතා කර තිබීමයි. විශාල පිරිසකට රැඳී සිටීම සඳහා මෙහි බොහෝ ඉඩකඩ පවතී. විවිධ ප්‍රදේශවලින් පැමිණී ජනයා අතර ඇතිවන කතාබහ තුලින් රජුට ඇති පක්ෂපාතීත්වය මෙන්ම රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳවත් සොයා ගැනීමට හැකි වටපිටාවක් මෙම අම්බලමෙන් නිර්මාණය කරගෙන තිබේ.


පනාවිටිය අම්බලම
ශ්‍රී ලංකාවේ ඇති අම්බලම් අතරින් කළාත්මක හා විශිෂ්ඨතම අම්බලම මෙය බවට සඳහන් වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දේවමැදි හත් පත්තුවේ, මයුරාවතී කොරළයේ, පනාපාටිය ගමෙහි මෙය පිහිටා ඇත. දඹදෙණිය – අනුරාධපුර මාර්ගයේ නාරම්මල නගරයෙන් දකුණුපැත්තට ඇති මාර්ගයෙන් මැටියගනේ හන්දියට පැමිණ, වමට හැරී කිලෝමීටර 6ක් පමණ ගමන් කළවිට පනාපිටිය ග්‍රාමයේ දර්ශනීය වෙල්යායක් මැද මෙම අළංකාර අම්බලම දක්නට ලැබේ. මෙම අම්බලම මුහුණ දී තිබූ විනාශකාරී තත්වය නිසාම, ප්‍රථම වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අම්බලම නැමති ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළ බව සඳහන් වේ. ඒ චාල්ස් ගොඩකුඹුරේ මහතා විසිනි.
මුල් අවධියේ දී මෙහි වහලය පිදුරු වලින් සෙවිළි කර තිබී ඇත. වහලයෙහි කැණිමඩල දක්වාම පරාල 32 එක හා සමානව සරළ ලෙස කැටයම් කර තිබේ. කැණිමඩලෙහි පරාල වල නෙළුම් මලක් හා ලියවැලි කැටයම් කර තිබේ.හරහට දමා ඇති විශාල බාල්ක වල විශිස්ඨ කැටයම් දක්නට ලැබේ.ලියවැල්, නැට්ටුවන්, අලි, මුවන්, නාගයින් හා බෙරකරුවන්ගේ කැටයම් සජීවිත්වට බෙහෙවින් සමීප වේ. මෙම අම්බලමෙහි කැටයම් නොමැති තැනක් සොයාගැනීමට අපහසුය. මෙය ප්‍රසිද්ධ වීමට හේතුව ද එයම විය හැකිය. මෙහි ඇති කැටයම් වර්ග පහත ආකාරයට පෙන්වාදිය හැකි වේ.
මිනිස් රූප ;- සක් පිඹින්නන්-02, නලා පිඹින්නන්-02, ඇත්ගොව්වන්-02, මල් පූජා කරන හෝ ආචාර සමාචාර කරන කාන්තාවන්-02, බෙරකරුවන්-01, අංගම්පොර-02, නාටිකාංගනාවන්-04, නැට්ටුවන්-02
සත්ව රූප ;- සිංහයින්-08, මොණරුන්-03, මුවන්-02, සම්පූර්ණ නාග රූප-07, නයි පෙන-36, අලි-04, ගැරඬි-01, නයිගැට-01,ලිහිණියෝ-01
වෙනත් ;- යක්ෂයින් කැටයම්-01, බෝ කොල-49, පැදුරු වියන්-07, නෙළුම් මල්-15, ලියවැල්-12, ලණු කැටයම්-03
මෙම කැටයම් අතර, මහනුවර යුගයේ ඇති අද්භූත කැටයම් වන කිහිඹි මුහුණ, ගරුඬ පක්ෂියා, ඇත් ලිහිණියා වැනි සතුන් දක්නට නොලැබේ. ඒ වෙනුවට සිංහයා, මොණරා, මුවා, නාගයින් වැනි නිතර දක්නට ලැබෙන සතුන් කැටයම් කර තිබේ. පේකඩවල අරලිය කොළ 04ට මැදිකර පෙති 16ක නෙළුම් මලක් නෙළා තිබේ.
නෙලා ඇති කැටයම් අනුව 18 වන සියවසට පෙර කරවන කද හෝ 18වන සියවසේ කරන ලද අම්බලමක් ලෙස විශ්වාස කෙරේ. ජනප්‍රවාදයට අනුව, මහනුවර මගුල් මඩුව සෑදූ කළාකරුවා සහ ඔහුගේ පුතා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන්, පියා මගුල් මඩුවත්, පුතා මෙම අම්බලම සාදන ලද බවත් කියවේ.


කරගහගෙදර අම්බලම
මෙම අම්බලම පනාවිටිය අම්බලමට නොදෙවෙනි වේ. මෙයද එකරම්ම අළංකාරව නිමවා තිබේ. කුරුණෑගල මීගමුව මාර්ගයේකලුගමුවෙන් දකුණට හැරී, වීරඹුගෙදර මාර්ගයේ කිලෝමීටර් තුනහමාරක් පමණ ගියවිට හමුවන කරගහගෙදර ග්‍රාමයේ මෙය පිහිටා තිබේ.
ගල් කුට්ටි 04ක් මත යෙදූ ලී බාල්ක අට්ටාලයක් මත මෙම අම්බලම තනා ඇත. වහලය ලී කණු මත දරා සිටියි. පනාවිටිය අම්බලමේ සැළැස්මට අනුවම සාදා ඇතත් කැටයම් වලින් තොර වේ. නමුත් කැටයම් කළ පේකඩ කණු මත වහලය නිමවා ඇති අතර පෙති උළු යොදා සෙවිළි කර තිබේ. කැණිමඩලෙහි මඩොල් කුරුපාවට සම්බන්ධව පරාල 21ක් තිබේ. හරහට ඇති බාල්කයක “සක වර්ෂ එක්වා දහස් පනස්නවයට පැමිණි අවුරුද්දේ හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 1837” ලෙස කියා තිබේ.


ලබන කළාපය තුලින් මෙතෙක් අප කතාකල අම්බලම් වල ඇති කලා නිර්මාණ හා තාක්ෂණය පිළිබඳව කතාකරන්නට බලාපොරොත්තු වෙමි.
ප්‍රදීප් කුමාර් සේනාධීර
ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය – භාණ්ඩාගාරික
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය – විධායක සභික
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමය – සාමාජික