හැඳින්වීම
බුදු සමය පටිච්ච සමුප්පාද මූලධර්මය ඔස්සේ ඉදිරිපත් කරන සමුදය(දුක හට ගැනීම )හා නිරෝධ(දුක නැති කිරීම) න්‍යාය මූලික වශයෙන් යෙදෙනුයේ දුක්ඛ ආර්ය සත්‍යයත්, දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයත් විවරණය කිරීම පිණිස ය .මෙය බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීමයි.එහෙයින් බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ කොටිගාම සූත්‍රය තුළ දක්වන මෙම කාරණාව මෙසේ දක්වා ඇත .මහණෙනි චතුරාර්ය සත්‍යය පිළිබඳව අනවබෝධය නිසා ප්‍රතිවේධ නොවූ නිසා මා විසිනුත් නුඹලා විසින් මෙසේ දිගු කලක් මුළුල්ලේ දිවිණ , සැරිසැරිණ යනුවෙනි.සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණෝ මෙම පරම ගාම්භීර ධර්මය දේශණා කිරීමට ප්‍රථමව සොයන ලද්දේ ආලාරකාලාම හා උද්දකරාම පුත්තයන්ය.එම දෙදෙනා මිය ගොස් සිටි බැවින් ෂඩ් වසරක දුෂ්කර ක්‍රියා සමයේ උපස්ථාන කළ පඤ්වග්ගිය තවුසන්ට මෙම ධර්මය දේශණා කළහ.සං නි .ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි සඳහන් කරුණු කාරණා පස්වග මහණුන්හට දෙසූහ.එය ප්‍රථම ධර්ම දේශණාව වන අතර එහි අන්තර්ගතය වනුයේ චතුරාර්‍යය සත්‍යයයි.එනම්,
1 – දුක්ඛාර්‍යය සත්‍යය – දුක
2- දුක්ඛ සමුදාර්යය සත්‍යය – දුකට හේතුව
3- දුක්ඛ නිරොධාර්යය සත්‍යය – දුක නැති කිරීම
4- දුක්ඛ නිරොධගාමිණි පටිපදා ආර්‍යය සත්‍යය – දුක නැති කිරීමේ මාර්ගය
යනුවෙනි.එමෙන්ම මෙම චතුරාර්‍යය සත්‍යය ප්‍රධාන වශයෙන් සත්‍යය ලක්ෂණ හා කෘත්‍යය ලක්ෂණ වශයෙන් කොටස් දෙකොටසකින් යුතු වෙි. චතුර් සත්‍යයන්හට බැහැරින් එකතු කළ යුතු වෙනත් සත්‍යයක් ලොව නැත.එබැවින් අරිය සත්‍යය නම් වේ.මෙම සිවුසස් දහම තුළ ගැටලුව,ගැටලුවට හේතුව,ගැටලු නිරාකරණය හා ගැටලු නිරාකරණයේ මග යනුවෙන් මුඛ්‍ය ලක්ෂණ හතරක් දැක ගත හැකිය.පෙළ දහම අධ්‍යයනය කිරීමේදි මෙම ලක්ෂණ චතුර්ථය පවත්ති(යමක පැවැත්ම ), පවත්තක(පැවැත්මට හේතුව),නිවත්ති(පැවැත්මෙහි නැවැත්ම) හා නිවත්තක(නැවැත්මට හේතුව) යන වචනවලින් හඳුන්වා දී ඇත.චතුරාර්‍යය සත්‍යයෙහි අනුපිළිවෙල අනුව පවත්තති පවත්තක,නිවත්ති හා නිවත්තක යන්න යොදනු ලැබේ.උක්ත සඳහන් කළ චතුරාර්‍යය සත්‍යයයෙහි සත්‍යය හා කෘත්‍යය ලක්ෂණයෝ විමසීම අපගේ පුනර් කර්තව්‍යයි.මෙම චතුර් දහම මුඛ්‍යය ලක්ෂණ ත්‍රිත්වයක් කරණ කොට ගෙන සත්‍යය යැයි කියනු ලැබේ.එනම්,
01- තථ – මෙම චතුර් සත්‍යයයෝ පරම සත්‍යය වේ.
02- අවිතථ – මෙම ධර්මය ලෝකයේ පවතින වෙනස් නොවන බොරු නොවන සත්‍යයකි.
03 – අනඤ්ඤථ – චතුරාර්‍යය සත්‍යය අන්පරිද්දකින් නොවන, වෙනස් නොවන,අන්පරිද්දකින් නොසිටන සත්‍යයකි.
උක්ත කරුණු හේතු කොටගෙන සිවු ආර්‍යය සත්‍යයයෝ සත්‍යය (සච්ච) ලෙස හඳුන්වනු ලැබේ.දෙවැනි කෘත්‍යය සතර තුළින් ගම්‍යාර්ථවත් කරණුයේ මෙම සිවු ආර්‍යය සත්‍යය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කටයුතු සතරක්ය,එනම්,
1 – පරිඤ්ඤෙය්‍යං ( චතුරාර්‍යය සත්‍යය පිරිසිඳ නොපිරිහෙලා දත යුතු බැවින් පරිඤ්ඤෙය්‍ය නමි.)
2- පහාතබ්බං ( දුක්ඛ සමුදාර්යය සත්‍යය ප්‍රහාණය කළ යුතු බැවින් පහාතබ්බ නමි)
3- සච්ඡිකාතබ්බං (දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතු බැවින් සච්ඡිකාතබ්බ නමි)
4- භාවෙතබ්බං – (දුක්ඛ නිරෝධගාමිණි ප්‍රතිපදා සත්‍යය වැඩිය යුතු බැවින් භාවෙතබ්බ නමි)
චිත්ත සන්තානයේ පවතින ක්ලේශ ධර්මයෝ සමුච්ඡේද ප්‍රහාණය කොට ඇති ක්ලේශ ව්‍යුපසමනයෙන් බුදු පසේ බුදු හා අරහත් යන තුන්තරා බෝධිගමයට පමුණුවන හෙයින් අවබෝධ කරවන හෙයින් අරිය සච්ච නොහොත් ආර්‍යය සත්‍යය නම් වේ.එම අවබෝධ කළ දහම සිවු කොටසකින් යුතු බැවින් චතුරාර්‍යය සත්‍යය නම් වේ.තවද සත්‍යය කෘත්‍යය හා කෘත යනුවෙන් සිවුසස් දහමට ඈඳා ද්වාදස තිපරි වට්ටය අනුකූලවද ආර්‍යය සත්‍යයයෝ විග්‍රහ කොට ඇත. ධම්ම චක්කපවත්තන සූත්‍රයෙහි ඒ බව මෙසේ දක්වා ඇත. යම් කලෙක සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය යන මේ තුන් ඥානය දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්‍ග සත්‍ය සතරෙහි බහා මැනවින් දුටුවෙම් ද, අවබෝධ කළෙම්ද, අවබෝධ වුණිද, එදා මම දෙවි මිනිසුන් සහිත ලොකය තුළ සම්මා සම්බුද්ධ යැයි ලෝකයට ප්‍රකාශ කළෙමි” .එම තිපරි වට්ටය මෙසේය.එනම්,
- සත්‍ය ඥානය – ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබද ඉගෙනීම.
- කෘත්‍ය ඥානය – ආර්‍ය්‍ය සත්‍යයන් වටහාගැනීම සදහා හේතුවන ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම.
- කෘත ඥානය – ආර්‍ය්‍ය සත්‍යයන් තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කිරීම.
ද්වාදසාකාරය නොහොත් දොළොස්ආකාරය යනු වට්ට තුන සත්‍ය හතරෙහි යෙදීමයි.එම දොළොස් ආකාරය මෙසේ බෙදා බෙදා දැක්විය හැකිය.
- දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය,
- සමුදය සත්‍යයේ සත්‍ය ඥානය,
- නිරොධ සත්‍යයේ සත්‍ය ඥානය,
- මාර්‍ග සත්‍යයේ සත්‍ය ඥානය,
- දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥානය,
- සමුදය සත්‍යයේ කෘත්‍ය ඥානය,
- නිරොධ සත්‍යයේ කෘත්‍ය ඥානය,
- මාර්‍ග සත්‍යයේ කෘත්‍ය ඥානය,
- දුක්ඛ සත්‍යයේ කෘත ඥානය,
- සමුදය සත්‍යයේ කෘත ඥානය,
- නිරොධ සත්‍යයේ කෘත ඥානය,
- මාර්‍ග සත්‍යයේ කෘත ඥානය යි.
යනුවෙනි.තවද සච්චවිභංග වැනි මූලාශ්‍රය විමසන කල මෙම අතිගාම්භීර ධර්මය සිවුසස් ධර්මයේ ස්වභාවය පිළිබඳව මෙසේ දක්වා ඇත.
තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං?
(ම.නි . සච්චවිභංග සූත්‍රය)
පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිගදායෙ දී, ලොව කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ අන් කිසි කෙනෙකුට ආපසු පෙරළිය නොහැකි පරිද්දෙන් උතුම් ධර්ම චක්‍රය පෙරළීම (ප්‍රවර්තනය) අරඹන ලදී. එනම් චතුරාර්ය සත්‍යයේ පැවසීම ය.දේශනා කිරීම ය.පැනවීම ය.පිහිටුවීම ය. විස්තරාත්මකව දැක්වීම ය. බෙදා දැක්වීම ය. ඉස්මතු කර පෙන්වීම ය. කිනම් සතරක්ද?
දුක්‌ඛස්‌ස අරියසච්‌චස්‌ස…,දුක්ඛ සමුදයස්ස අරියසච්චස්ස.., දුක්ඛ නිරෝධස්ස අරිය සච්චස්ස..,දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා අරියසච්චස්ස, ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං.
(ම.නි .සච්චවිභංග සූත්‍රය )
දුක නම් ආර්ය සත්‍යය,දුක්ඛ සමුදාර්යය සත්‍යය,දුක්ඛ නිරොධාර්යය සත්‍යය, දුක්ඛ නිරොධ ගාමිණි පටිපදා ආර්‍යය සත්‍යය පැවසීම ය,දේශනා කිරීම ය,පැනවීම ය,පිහිටුවීම ය, විස්තරාත්මකව දැක්වීම ය, බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම යන මූලික අරමුණු මෙම චතුරාර්‍යය සත්‍යය තුළ විද්‍යමාන වේ.ඒ තුළ අන්තර්ගත වනුයේ ලෝකයේ යථා ස්වභාවයයි.එය දුක යනුවෙන් විග්‍රහ වන අතර එම සාංසාරිකව ප්‍රභවය වන දුකින් අතමිදීම සම්බුදු වදනයි.
දුක්ඛාර්‍යය සත්‍යය
දුක පිළිබඳ විග්‍රහය ඉතා පුලුල් මාතෘකාවකි.බුදු දහමේ අභ්‍යන්තරය දෙස එබී බලන්නෙකු ,මෙම දුක පිළිබඳ වූ විග්‍රහය මනාව පසක් කරගන්නේ නම් දහම අවබෝධය උදෙසා ඉවහල් වනු ඇත.දුක යන සංකල්පය තුළින් බුදු රජාණන් වහන්සේ දේශණා කොට ඇත්තේ ස්වාභාවයේ පැවැත්ම නොහොත් පූර්ව ,මධ්‍යයම හා අපාරන්ත වශයෙන් ගෙවෙන සංසාර ප්‍රවෘත්තිය දැක්වීමයි .එය සත්‍යය වූවකි.බුදු දහම පිළිබඳ නිසි අධ්‍යයනයක් නොමැති ඇතම්හු දුක්ඛ සංකල්පය සර්ව අශුභවාදයක් ලෙස දක්වයි. නමුත් එතැන ඇත්තේ සර්වාශුභවාදයක් නොව සකල සත්ත්වයාට පොදු ලෝකයෙහි යතථාර්තයයි.තත් කාරණාව පහත විග්‍රහයාණුකූලව ඔබටද සිතා විමසා පසක් කොට ගත හැකිය.සැබවින්ම බුදු දහමානුකූලව සත්ත්වයා තිස් එක් තලයක උපත ලබයි ,එම උපදින සත්ත්වයා හට උරුම වන ස්වභාවය දුක යනුවෙන් විවරණය කොට ඇත.සං.නි ධම්ම චක්කපවත්තන සූත්‍රය හා ම.නි සච්චවිභංග සූත්‍රාණුකූලව තත් දුක්ඛස්භාවය මෙසේ විවරණය කොට දැක්විය හැකිය.සත්ත්වයා භවයෙහි විවිධ සත්ත්ව නිකායන් නොහොත් සත්ත්වොත්පත්ති ස්ථානයනන්හි උපත ලබයි.එය මිනිස් ,දේව,තිරිසන්,ප්‍රේත,බ්‍රහ්ම,යක්ඛ ,නරක,අසුර ආදී වූ තිස් තලයකි.රූප හා අරූප වශයෙන් විභජනයකට ලක් වන මෙය චතුවොකාර හා පඤ්චවොකාර වශයෙන් සත්ත්වයා හටගනී.ඒ සත්ත්වයා පහත දුක්ඛ ධර්මයෝ වැලඳ ගනිති.
01-ඉපදීම(ජාතිපි දුක්ඛා )
02-ජරාවට පත්වීම(ජරාපි දුක්ඛා)
03-මරණයට පත්වීම(මරණම්පි දුක්ඛං)
04-ශෝකය(සොක)
05-පරිදේවය(පරිදෙව)
06-කායික දුක(දුක්ඛ )
07-දොමනස්සය(දොමනස්ස)
08-උපායාසය(උපායාස)
09-අප්‍රියයන් සමඟ එක්වීම(අප්පියෙහි සම්පයොගො දුක්ඛො)
10-ප්‍රියයන්ගෙන් වෙන්වීම(පියෙහි විප්පයොගො දුක්ඛො)
11-ඉච්ඡාභංගාගත දුක(යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං)
12-පඤ්චස්ඛන්ධාගත දුක(සංකිත්තෙන පංචුපාදානක්ඛන්දා දුක්ඛා )
( ම.නි.සච්චවිභංග සූත්‍රය )
යනුවෙන් සත්ත්වයා කෙරෙහි පවත්නා යථා ස්වභාවය “දුක” යන්නෙන් විවරණය කොට ඇත.එම දුකෙහි ස්වභාවය පොදුවේ විමසා බලමු .ජාති දුක නම් ඉපදීමයි.ඒ ඒ සත්ත්ව නිකායන්හි ඉපදීමක් ,බැසගැන්මක්,ස්ඛන්ධන්ගේ පහළ වීමක්,ආයතනයන්ගේ හටගැනීමක් වේද එය ඉපදීම් වශයෙන් පවතින දුකයි.ජරා දුක නම් ඒ උපන් සත්ත්වයා ඒ ඒ සත්ත්ව නිකායන්හි ජරාජීර්ණ වීමක්,ඉන්ද්‍රීය පරිපාකයක් වේ නම් ජරා දුකයි.මරණ දුක නම් සත්ත්වයාට උරුම මරණයයි.සත්ත්වයා උපත ලැබූ ඒ ඒ සත්ත්ව නිකායන්හි ච්‍යුත වීම ,මරණය ,කලුරිය කිරීම, ස්ඛන්ධයන්ගේ බිඳීම,කළේබරය(සිරුර) අතහැරීම,ජීවිතේන්ද්‍රියාගේ සිඳී යාම මරණ දුක යනුවෙන් දක්වා ඇත.නොයෙක් ව්‍යසනයන්ගෙන් දුකට කරුණු වන දේ ස්පර්ශ කිරීමෙන් ඇතිවන ශෝකයක් ,ශෝක කරන බවක් ,ශෝක කළ බවක් වේද එය ශෝකය යනුවෙන් විග්‍රහ කොට ඇත.ව්‍යසන ධර්මයක් ස්පර්ශ කොට නම් ගොත් කියවමින් හැඬීමක් වේද එය පරිදේවයයි.කායිකව ඉසිලීමට නොහැකි වේදනාවක් මෙන්ම ලෙඩ රෝගාදියට ගොදුරු වීම දුක්ඛ යනුවෙන් විග්‍රහ කොට ඇත.ලෙඩ රෝගාදියට ගොදුරු වීම ව්‍යාධිපි දුක්ඛා යනුවෙන්ද සූත්‍ර ධර්මයන්හි විවරණය කරණු ලැබේ .ලෝභ ද්වේශ .. ආදී චෛතසික මුල්කොට හට ගන්නා මානසික අමධූර්‍යයක් වේද,චෛතසිකමය දුකක් වේද එය දෝමනස්සය ලෙස විග්‍රහ කොට ඇත.යම් දුකකින් දැඩි ආයාසයකින් ක්ලාන්ත බවක් වේ නම් ඒ උපායාසයයි.අප්‍රියයන් දෑ සමඟ එක්වීමට සිදු වීම අප්‍රිය සම්ප්‍රයෝග දුකයි.ප්‍රිය අරමුණු ,ප්‍රිය පුද්ගලයන් නොමැති වීම ,වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුකයි.ඉච්ඡාභංගය නොහොත් යමක් කැමති පරිදි නොලැබීම එනම්,ජාති,ජරා,මරණ,ප්‍රිය විප්‍රයෝගාදිය මට නොවේවායි සත්ත්වයන්හට ආශාවක් උපදී.නමුත් එය කැමති පරිදි ලබාගත නොහැකි දුකකි.අවසන් වශයෙන් සච්චවිභංග සූත්‍රයට අනුව මම වශයෙන් අස්මිමානය ගෙන පවත්ත්නා පඤ්චොපාදනස්ඛන්ධාගත සත්ත්වයා නැතහොත් පඤ්චස්ඛන්ධයම දුකක්ය යනුවෙන් දක්වා ඇත.යට කී සියල්ල කුලු ගැන්වෙනුයේ ඒ තුළය.
මෙම දුක සංසාරගතව පවතින අතර බුදු රජාණන් වහන්සේ මෙම දුක්ඛ සංකල්පය දුක්ඛ දුක්ඛතා ,සංඛාර දුක්ඛතා හා විපරිණාම දුක්ඛතා යනුවෙන් දක්වා ඇත.තවද ප්‍රතීත්‍යය සමුප්පාදව ගොඩ නැගෙන්නා වූ මෙම ස්වභාවය සන්තානගත දුක හා සංස්ථාගත දුක යනුවෙන් ද විග්‍රහ කොට ඇත. බුදු දහමේ ඉගැන්වෙන දුක්ඛ සංකල්පය සර්ව අසුභවාදයක් නොමැති බව මෙන්ම දුක්ඛ සංකල්පයෙන් සැප නිශේධනය නොවන බවද තම තම නැණ පමණින් දත යුතුය.දුක යනු ස්වාභාවයේ පවත්නා සත්‍යයතාවයයි.මෙය අවබෝධ කර ගැනීම මුල් කර්තව්‍යයයි.
දුක්ඛ සමුදය
උක්ත ප්‍රකාශිත සමස්ථ දුකෙහි ප්‍රභවයට හේතුව නැතහොත් දුකට හේතුව තදනන්තරව සොයා බැලිය යුතුය .මූලාශ්‍රයට අනුකූලව දුක්ඛ සමුදය’ යන්නෙන් ලබා දෙන සරළම අර්ථය වනුයේ හේතූන්ගේ එකතුවෙන් දුක් ඇති වන බවයි.විසුද්ධිමාර්ගයට අනුව සමුදය යන්න සඳහා ලබා දෙන නිරුක්ත්‍යානුකූලව ‘සං- උ- අය’ යන කොටස් වලින් සමුදය යන්න සැකසී ඇත.”සං”= එක් කිරීම, “උ” = හට ගැනීම, “අය”= හේතුව ලෙස වේ.මේ අනුව සමුදය යන්නෙහි අරුත වනුයේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. පූර්වොක්ත හේතු ප්‍රත්‍යය සමවායෙන් වන ජාති ජරා මරණාදි දුක හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි.
කතමඤ්ච භික්ඛවෙ දුක්ඛ සමුදයො අරිය සච්ඡං යායං තණ්හා පොනොභවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දනි ,ස්‍යෙයථිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා”
(දි.නි.2,මහාසතිපට්ඨාන සූත්‍රය ,426 පිට,බු:ජ:මු)
මහණෙනි දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද ? පුනර්භවය ඇති කරවන නන්දිරාගය හා එක්ව ගිය ඒ ඒ අත්බැව්හි සතුටු වන කාම,භව,විභව වශයෙන් යම් තෘෂ්ණාවක් වේද එයයි.තවද මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව මෙම තෘෂ්ණාව උපදිනුයේ ,පිහිටනුයේ කොතැන ද යනුවෙන් දක්වා ඇත්තේ ලෝකයේ ප්‍රිය මධුර ස්වභාවයක් ඇත්තේ ද එහිය යනුවෙනි.එනම්, ඇස ආදී ඉන්ද්‍රිය සතියෙහිත්,රූප ආදි අරමුණු සයෙහිත්, විඤ්ඤාණ ,ඵස්ස,වෙදනා,සඤ්ඤා ,සංචේතනා ,තණ්හා,විතර්ක හා විචාරාදියේ මෙම ප්‍රිය මධුර ස්වභාවය උපදින බව දක්වා ඇත.ඉන්ද්‍රිය අරමුණු ගනිමින් එහි ඇලෙමින් ගැටෙමින් තෘෂ්ණා සහගත පඤ්ච උපාදනස්ඛන්ධ සිත් සකසන තාක් දුක ද පවතී.
01-කාම තණ්හා – ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ඉන්ද්‍රියන්ගෙන් ගනු ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු කෙරෙහි ඇති ආශාවයි.
02-භවතණ්හා – භවය හෙවත් පැවැත්ම කෙරෙහි පවත්නා ආශාවයි.
03-විභවතණ්හා – නොපැවැත්ම පිළිබඳව ඇති ආශාවයි.
මෙම ත්‍රිවිධාකාර වශයෙනුත් එක් ආකාරයෙනුත් යනුවෙන් පරියාය වශයෙන් දෙසා ඇති තෘෂ්ණා පදනම් කොට යට කී පුනර්භවය ඇති කරන ඒ ඒ අත් බැවුහි ජාති ජරා මරණ සොක පරිදේව ආදී සමස්ථය ප්‍රභවය වේ.එම තෘෂ්ණා නිරුද්ධ නොකරන තාක් පුද්ගලයා කර්මානු ස්වරූපීව අනවරාග්‍රත සසරෙහි සැරි සරයි.
දුක්ඛ නිරෝධාර්‍යය සත්‍යය
සසර සෑම භව තලයකම සත්ත්වයො ඒ ඒ භවතලවලට අදාළ පරිදි සුව දුක් අත්දැකීම් ලබනවිට ඒ අත්දැකීම් අනුභව කරන මම කෙනෙකු ඇත යන මඤ්ඤනාවට වැටේ.මෙහි ඇත්තේ නිෂ්පුද්ගල වූ හේතු -ඵල ක්‍රියාවලියක් බව නොදනී.එබැවින් ඉන්ද්‍රිය අත්දැකීම් අනුව ක්ෂණයක් ක්ෂණයක් පාසා මැවෙන මමත්වය සුරැකීමටත් , සුවපත් කිරීමටත් යාමේදී ඇලීම් ගැටීම් වශයෙන් උපදවන තණ්හාව ක්ෂය කිරීම දුක්ඛ නිරෝධයට මගයි.බුදු රජාණන් වහන්සේ නිර්වාණය හඳුන්වන බොහො තැන්හි තෘෂ්ණාව ක්ෂය කිරීම ,රාගය දුරු කිරීම නිර්වාණය බවයි (තණ්හක්ඛයො ,විරාගො,නිරොධො නිබ්බානං).නිර්වාණ යන්නෙහි අරුත වනුයේද “වාණ” නමින් හැඳින්වෙන තෘෂ්ණාවෙන් නිදහස් වීමයි. ධම්ම පදයෙහි විස්තර වන අන්දමට තෘෂ්ණාව ශෝකය හා බිය පිණිසත්,තෘෂ්ණාවෙන් වියුක්ත වූ තැනැත්තාට ශෝකයක් හෝ බියක් නොමැති බව දක්වා තිබෙනුයේද තෘෂ්ණා නිරෝධය පිළිබඳවයි .එමෙන්ම නිර්වාණ ප්‍රතිපදාවට ගමන් කරන මාර්ගස්ථ හා ඵලස්ථ යන අෂ්ඨාර්‍යය පුද්ගලාදීහු නොහොත් ,සොවාන් සකෘදාගාමි ,අනාගාමි හා අරහත් ප්‍රතිපදාව තුළ දස සයෝජන දුරු කිරීම යනු ද තෘෂ්ණා නිරෝධය වේ.තවද නිරෝධය පිළිබඳ දක්වන ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි,මෙසේ සඳහන් කරයි.
ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ නිරොධං අරියසච්චං යො තස්සායෙව තණ්හාය අසෙසවිරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.
(සං.නි.5(02) , ධම්මචක්කපවත්තන සූත්‍රය ,270 පිට ,බු.ජ .මු)
පෙර කී ඒ තෘෂ්ණාව ඉතිරි නොකොට නොඇලීම් වශයෙන් නිරෝධයක්,දුරලීමක් අතහැරීමක් මිදීමක් නොඇල්මක් වේද ඒ දුකෙහි නිරෝධය බවයි.
දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ආර්‍යය සත්‍යය
ජාති ජරා මරණාදි දුකට හේතුව තෘෂ්ණාව නම්,දුක නැති කිරීම තෘෂ්ණා නිරෝධය නම් ,ඒ සඳහා වන මාර්ග ප්‍රතිපදාවක් තිබිය යුතුය.එම දුක නිරුද්ධ කිරීම උදෙසා වන ප්‍රතිපදාව මධ්‍යයම ප්‍රතිපදාවයි.සිවුවැනි දුකින් නිදහස් වීම උදෙසා වන එම ප්‍රතිපදාව නම් ආර්‍යය අෂ්ඨාංගික මාර්ගයයි.
“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ නිරොධ ගාමිනි පටිපදා අරිය සච්චං අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං සම්මා දිට්ඨි සම්මාසකප්පො ,සම්මා වාචා…. සම්මා සමාධි”
(සං.නි.5(2),ධම්ම චක්කපවත්තන සූත්‍රය ,270 පිට,බු.ජ.මු)
මහණෙනි මෙය දුක්ඛ නිරෝධගාමිණි ප්‍රතිපදා ආර්‍යය සත්‍යයි .එනම් ආර්‍යය අෂ්ඨාංගික මාර්ගයයි.මෙම ප්‍රතිපදාවෙහි සීල සමාධි හා ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන්ද අන්තර්ගත වේ.ආර්‍යය ප්‍රතිපදාවේ ගමන් ගන්නෝ නිර්වාණාවබෝධය උදෙසා මෙම ඒකායන මාර්ග ප්‍රතිපදාව අනුගමනය කළ යුත්තාහ.අරි අට මග නම්,
01-සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම
02-සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව
03-සම්මාවාචා -නිවැරදි වචන
04-සම්මාකම්මන්තෝ -නිවැරදි කර්මාන්තය
05-සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත
06-සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය
07-සම්මාසති-නිවැරදි සිහිය
08-සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම
මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන්ම නිවන් සුව සලසා ගත හැකි වේ.මූලාශ්‍රයානුකූලව මෙම අරි අට මඟ පොදුවේ එක් එක් වශයෙන් ගෙන විස්තර කර ගනිමු.සම්මා දිට්ඨි නැතහොත් නිවැරදි දැක්ම යනු දුක්ඛෙ ඥාණය ,දුක්ඛ සමුදයේ ඥාණය,දුක්ඛ නිරොධෙ ඥාණය ,දුක්ඛ නිරොධ ගාමිණි පටිපදා ඤාණය යන චතුරාර්‍යය සත්‍යය පිළිබඳ දැන දැක ගැනීමයි.එමෙන්ම ම.නි .මහාචත්තාරික සූත්‍රයට අනුව දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් වෙන්ව සම්‍යදෘෂ්ඨිගත වීමයි.එම දස වස්තුක සම්‍යග්දෘෂ්ටිය කාමභොගි තැනැත්තනට කෙලෙස් සහිත පුනර්භවය ඇති කරන පැතිකඩ උදෙසා ද වැඩිය හැකිය(සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්ඛා ) .එය මහාචත්තාරික සූත්‍රයේ සාසව යනුවෙන් දක්වා ඇත.සම්මා දිට්ඨියේ සිට සම්මා ආජීවය තෙක් ඇති මෙම සාසව කොටස පින් පැත්තට නැඹුරු පුනර්භව අංශය කෙරෙහි ගොඩ නගාගත හැක.එමෙන්ම නිර්වාණගාමිණි ප්‍රතිපදාව උදෙසා නැතහොත් අර්‍යය වූ අනාශ්‍රව සහිත වූ ලෝකෝත්තර මාර්ගය උදෙසා ද වැඩිය හැක(අරියා අනාසවා ලොකුත්තර මග්ගංගා ).
සම්මා සංකප්ප යනු කාමසංකල්පනයෙන් තොර නෛෂ්ක්‍රම්‍යය සංකල්පයත්,ව්‍යාපාදයෙන් තොර මෛත්‍රි සහගත අව්‍යාපාද සංකල්යත් විහිංසාවෙන් තොර කරුණා සහගත අවිහිංසා සංකල්පය සම්මා සංකප්පයයි. මහා චත්තාරික සූත්‍රයට අනුව මෙයද සාසව හා අනාසව යනුවෙන් දෙකොටසකි.
සම්මා වාචා යනු චතුර්ථාකාර වූ වාග් දුෂ්චරිතයන්ගෙන් වෙන්වීමයි(චතුහිපි වචී දුච්චරිතෙහි ආරති විරති පටිවිරති වේරමණි අයං භික්ඛවෙ සම්මා වාචා).බොරුකීම ,කේලම් කීම,පරුෂ වචන කීම හා හිස් වචනයෙන් වැළකීම සම්මා වාචාවයි.මෙම මාර්ගයද ලෞකික හා ලෝකොත්තර වශයෙන් වඩාගත හැකිය.
සාසව හා අනාසව යන දෙයාකාර වූ සම්මා කම්මන්ත යනු ත්‍රිවිධාකාර වූ කායදුෂ්චරිතයන්ගෙන් වෙන්වීමයි(භිතිහිපි කාය දුච්චරිතෙහි ආරති විරති පටිවිරති වේරමණි අයං භික්ඛවේ සම්මා කම්මන්තො).එම ත්‍රිවිධය නම්,ප්‍රාණඝාතය,අදත්තාදානය හා කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීමයි.
සම්මා ආජීව යනු මිථ්‍යා ආජීවයෙන් බැහැරව සම්‍යක් ආජීවයෙන් දවි පැවැත්මයි.එනම් නිවැරදි කර්මාන්තයයි.මිච්ඡා ආජීවය පිළිබඳ විස්තර කරන මහා චත්තාරික සූත්‍රයෙහි තම දිවි පැවැත්ම තුළ නැතිගුණ පෙන්වමින් ලොව විස්මයට පත් කිරීම,ලාභසත්කාර කැමැත්තෙන් කථාකිරීම,නිමිති දැක්වීමබ,අනුන් හෙළා කථා කිරීම,ලාභයෙන් ලාභය සෙවීම යන කරුණු වලින් වෙන් වීම මිථ්‍යා ආජීවයයි(කුහනා ලපනා නෙමිත්තකා නිප්පෙසි කතා ,ලාභෙන ලාභං නිජිගිංසනතො අයං භික්ඛවේ මිච්ඡා ආජීවො).සම්මා දිට්ඨියේ සිට සම්මා ආජීවය දක්වා ඇති මාර්ග පස් කොටස කෙලෙස් සහිත පින් පැත්තට නැඹුරු වූ පුනර්භවය ඇති කරන අංශය (සාසව) නැතහොත් ලෞකික ලෙසද වඩාගත හැකිය.එමෙන්ම සිවුසස් දහමානුකූලව නිර්වාණගාමිණි ප්‍රතිපදාව වඩාගන්නා ආර්‍යය ශ්‍රවකයා හට ලොකෝත්තර මාර්ග වශයෙන්ද වඩා ගත හැකි බව ම.නි. මහා චත්තාරික සූත්‍රයේ දක්වා ඇත.
සම්මා වායමයේ සිට සම්මා සමාධිය දක්වා ඇති මාර්ග ත්‍රිත්වය ලෝකෝත්තර වශයෙන් නිර්වාණය පමණක් අරමුණු කොට වඩාගත හැකිය.ඉන් සම්මා වායාම යන්නෙන් සතර සම්‍යග්ප්‍රධාන අදහස් කෙරේ.එනම්
1-,නූපන් අකුසල් නූපදවීම(අනුප්පන්නානංවා අකුසලානං ධම්මානං අනුප්පාදාය)
2- උපන් අකුසල් ප්‍රහාණය( උප්පන්නානංවා අකුසලානං ධම්මානං පහාණාය)
3- නූපන් කුසල් ඉපඳවීම(අනුප්පන්නානංවා කුසලානං ධම්මානං උප්පාදාය)
4- උපන් කුසල ධර්මයන් වැඩිදියුණු කර ගැනීම(උප්පන්නානංවා කුසලානං ධම්මානං භිය්‍යොභාවාය..)කැමැත්ත උපදවයි.(ඡන්දං ජනෙති),වෑයම් කරයි(වායමති),වීර්‍යය අරඹයි(විරියං ආරභති),සිත යොමු කරයි(චිත්තං පග්ගණ්හාති),උත්සහ කරයි(පදහති) මේ සම්මා වායාමයයි.
සම්මා සති යනු නිර්වාණ මාර්ග ප්‍රතිපදාවට පිළිපන් ආර්‍යය ශ්‍රාවකයා පිහිටුවා ගන්නා වූ මනා වූ සතියයි.කෙලෙස් තවන වීර්‍යයයෙන් යුතුව,මනා දැනුම් ඇතිව,සිහියෙන් යුතුව අභිජ්ඣා දොම්නස් සන්සිඳුවමින් , කායානුපස්සනා වේදනානුපස්සනා,චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨානය වැඩීම සම්මා සතියයි.
සම්මා සමාධිය නම් කුසල් සිතෙහි එකඟ බවයි.පඤ්ච නීවරණයන් දුරු කොට ප්‍රථම,ද්විතිය,තෘතීය හා චතුර්ථ රූපවචර ධ්‍යාන මඟින් පසු මනොමයිද්ධි ,ඉද්ධිවිධ දිබ්බ සොත,චෙතො පරියාය ,පුබ්බෙනිවාසානුස්සති ,දිබ්බ චක්ඛු ඥණාදිය මෙන්ම ආසවක්ඛය ඤාණය පහළ වන අයුරු දි.නි සාමඤ්ඤඵල , මහාපරිනිබ්බාන … ආදී සූත්‍රයන්හී සඳහන්ව තිබේ.ආසවක්ඛය ඤාණය උදාකරගත් නිර්වාණලාභී ආර්‍යය ශ්‍රාවකයා මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස් යැයි තතු ලෙස දැනගණී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතු යයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරණ ලදී, මේ අත්භවයෙන් පසු මතු අත්භවයක් නැතැ’යි ද දැන ගණී.මෙබදු ස්වභාවයෙන් යුතු තැනැත්තො ලෙස බුදුරජාණන් වහන්සේ,පසේ බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේ යැයි දතයුතුය .ආර්‍යය අෂ්ඨාංගික මාර්ගය යනු සීල,සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවම වන අතර බුදු දහමේ ඒකායන මාර්ගයයි.
සටහන – ගෞරව ශාස්ත්‍රවේදි -පරණගම සාරද කාශ්‍යපාලංකාර හිමි