25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

ත්‍රිලක්ෂණයෙන් පිළිඹිබු වන ලෝකයේ යතාර්ථවාදි ස්වභාවය.

Related Articles

Image from Interner

හැඳින්වීම

අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ඇති පෘථුජ්ජන මනස ලෝකය හා සත්ත්වයා පිළිබඳ යථාභූත ඤාණ දස්සනය නොදනී. එනම් සත්ත්වයා හා ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගැනීමයි. බුදුරජාණෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත ධර්මයන්ගේ ස්වභාවය කුමක්ද යන්න බුද්ධ දේශණාව තුළ පහදා දී ඇත.

1- උප්පාද – වය ස්වභාවයෙන් යුතු අනිත්‍යයතාවය

2- අනිත්‍යයතාවය මත පදනම් වන දුක්ඛය.

3- අනිත්‍යය හා දුක්ඛතාවය මත පදනම් වන අනාත්මතාවය

වශයෙනි.නමුත්  පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය වනුයේ සත්ත්වයා ,පුද්ගලයා මෙන්ම ලෝකය යන ව්‍යවහාරික පදනම නිත්‍යය සුඛ හා ආත්ම වශයෙන් දැකීමය.එනමුදු සම්මුතියෙහි නම් කරගන්නා දත්ත,ගුත්ත,බල්ලා ,පූසා,සිංහයා හා මිනිසා ආදී සත්ත්වයාගේ මෙන්ම ගස ,මල,පර්වත ,ගිරි,ගුහා ආදියෙහිද නිත්‍යය ධුව අවිපරිණාමි ස්වභායක් දැක ගත නොහැකිය.එම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්ඛාර ධර්මයෝ අනිත්‍යය වේ.දුක් සහගත වේ,ඒ තුළ අස්මිමානය පදනම් කොට මමය ,මාගේය,මම වෙමි යනුවෙන් ගත හැකි සාරයක් නොමැත එබැවින් පුද්ගලයා නිත්‍යය ,සුඛ හා ආත්ම වශයෙන් ලෝකය සඤ්ජානනය කළද ත්‍රිලක්ෂණයට අනුනත බව අවබෝධ කොට ගත යුතුය.

අනිත්‍යයතාවයෙන් පිළිඹිබු වන ලෝක ස්වභාවය.

භාරතීය චින්තකයා සත්ත්වයා පිළිබඳ මෙන්ම අවට ලෝකය සොයා ගිය පිරිසක් විය.ඒ අනුව ලෝකය හා සත්ත්වයා පිළිබඳ,නියතිවාද,අධිච්චසමුප්පන්නවාද ,සබ්බෙ පුබ්බකත හේතු වාදය, ශාස්වතවාදී ,උච්ඡේදවාදී නයින් පුර්වාන්ත හා අපරාන්ත කල්පිතයට අනුව දෘෂ්ටිවාද අනුව කරුණු ඉදිරිපත් කර ඇති අයුරු පහදාගත හැකිය.බුදු දහමෙහි ත්‍රිලක්ෂණානුභුතව කරුණු ඉදිරිපත් කිරීම මතද මෙම සාවද්‍යය දෘෂ්ටින් බැහැර වන අන්දම පෙළ දහම අධ්‍යයනය කිරීමෙන් පහදාගත හැකිය.ත්‍රිලක්ෂණයෙහි සත්ත්වයා හා ලෝකය පිළිබඳ විග්‍රහ කරන පළමු කරුණ වන්නේ අනිත්‍යතාවයයි.න + නිච්ච (අනිච්ච) යන්නෙහි අරුත වනුයේ නිත්‍යය නොවන යන්නයි.ආධ්‍යාත්මික ලෝකය මෙන්ම බාහිර ලෝකය කිසි විටෙක නිත්‍යය ,ධුව ,ස්ථිර ලෙසින් පවතින්නේ නැත.එය පෙරළෙන ස්වභායෙන් ,විපරිණාමයට පත්වන ස්වභායෙන් යුක්තය.ලෝක ව්‍යවහාරමාත්‍ර බාහිර ලෝකය හා පඤ්චස්ඛන්ධාගත සත්ත්වයා ක්ෂණයක් ක්ෂණයක් පාසා ක්ෂණ භංගුරත්වයට පත් වේ.මෙම සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය මෙන්ම ව්‍යවහාර ලෝකය හඳුන්වන  පොදු නාමයෝ කිහිපයක් ඇත.එනම් සම්මුති,පරමාර්ථ ,ලෝක,සබ්බ,ධම්ම හා සංඛත වශයෙනි.ඒවායෙහි ස්වභාවය නම් අනිත්‍යයතාවයට පත්වීමයි.කැඩෙන බිඳෙන  ස්වභාවය ඇති බැවින් ද ලෝකය යැයි (ලුජ්ජති  පලුජ්ජති ලොකො) කියනු ලැබේ.එසේ වෙනස් වන ස්වභාවයෙන් යුතු කාරණා සමස්ථ පෙළ දහම අධ්‍යයනය කිරීමේදි පහදාගත හැකිය.

පඤ්චස්ඛන්ධයෙහි අනිත්‍යය ස්වභාවය දක්වන වැදගත් සූත්‍රයක් ලෙස ඛු.නි .මහා නිද්දේස පාලියට අන්තර්ගත වන ජරා සූත්‍ර නිද්දේසයට අනුව පහදාගත හැකිය.පඤ්චස්ඛන්ධය එකතු වූ තැන පවතින  සත්ත්වයාගේ ජීවිතේන්ද්‍රිය චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා වෙනස් වන අයුරු දක්වා ඇත.මේ ජීවිතය අල්පය(“අප්පං වත ජීවිතං).ජීවිතය යන්න තව දුරටත් විග්‍රහ කරන තත් සූත්‍රයෙහි මෙසේ සඳහන් කර දක්වත්.

ජීවිතන්ති අයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතෙන්ද්‍රියං

ජීවිතය යනු ආයුෂයාගේ පැවැත්ම යැපීම ,ඉරියවු පැවැත්ම හා පාලනය සිදු කරන්නා වූ ජීවිතය නම් වූ ජීවිතේන්ද්‍රියයි.එනම් කර්මානු ස්වරූපීව ගොඩ නැගී ඇති  පුද්ගලයා සිතන පතන කන බොන කියන කරන සෑම දෙයක් ජීවිතේන්ද්‍රිය තුළ විග්‍රහ කෙරේ.මහා තණ්හා සංඛය සූත්‍රයට අනුව මවගේ සෘතු වීම, මා පිය සංවාසය හා ගන්ධබ්බයෙකුගේ පිහිටීම(ප්‍රතිසන්ධි විඤ්ඤාණය) මත සත්ත්වොත්පත්තිය සිදු වේ.එතැන් පටන් උප්පාද ඨිති හා භංග න්‍යායෙන් යුතු චිත්තක්ෂණයක් පාසා ක්ෂණ භංගුරත්වයට පත් වෙමින් ජරාවට විපරිණාමයට පත් වෙමින් සත්ත්වයා වැඩේ.මවගේ කුස තුළ දරුවා විපරිණාමයට පත් වෙමින් වැඩෙන අයුරු ඉන්දක සූත්‍රාදිය විමසීම තුළින් පසක් කොටගත හැකිය.

පඨමං කලලං හොති

කලලා හොති අබ්බුදං

අබ්බුදා ජායති පේසි

පෙසි නිබ්බත්තති ඝණො

ඝණ පසකා ජායන්ති

කෙසා ලොමා නඛාපිච.

පූර්වොක්ත සත්ත්වොත්පත්තිය සඳහා හේතු වන මූලික සාධක කරණ කොටගෙන සත්ත්වයා පළමුව කළල අවස්ථාවට පැමිණේ.දින හතක් පුරා විපරිණාමයට පත් වෙමින් අබ්බුද අවස්ථාවටද,දින හතක් මුහුකුරා යන අබ්බුද අවස්ථාවෙන් පසු පේසි අවස්ථාවට ද,පේසි අවස්ථාවෙන් පසු පසාක අවස්ථාවටද ,ඉන් පසු ඉන්ද්‍රිය මුහුකුරා යාම කෙස් ලොම් නිය දත් ආදිය වැඩේ.මවු කුස තුළ වැඩෙන සත්ත්වයා දස මසක් ඇවෑමෙන් මෙලොව ජනිත වන අතර ඉන් පසු එක් වස ,දෙවර්ෂය,දස වර්ෂය ආදි නයින් මරණය දක්වා ජරාවට පත් වේ.එහි පුද්ගලයා විපරිණාමයට පත් වන අයුරු අවුරුදු ,මාස සති,දින,පැය ,විණාඩි හා තප්පර නයින් සම්මුතිය තුළ පැනවින් සිදු කර ඇත.එනමුදු පුද්ගලයා විපරිණාමයට ,අනිත්‍යතාවයට පත් වනුයේ ක්ෂණයක් ක්ෂණයක් පාසාය.එහි උප්පාද වය ස්වභායෙන් ක්ෂණ භංගුරත්වයට පත්වේ.පඤ්චස්ඛන්ධයම එකතු වූ තැන ගොඩ නැගෙන පුද්ගල ජීවිතේන්ද්‍රිය ගොඩ නැගෙනුයේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාය.ඒ බව ජරා සූත්‍ර නිර්දේශය තුළ මෙසේ දක්වා ඇත.

ජීවිතං අත්තභාවොච

සුඛ දුක්ඛාච කේවලා

ඒක චිත්ත සමායුත්තා

ලහුසො වත්තතෙ ඛණෙ.

ජීවිතය නම්  වූද,ආත්මභාව නම් වූද හුදෙක් සැප දුක්ද එක් සිතක් සමඟ යෙදුනේ පවතිනුයේ ක්ෂණයකි.උප්පාද ඨිති භංගාගතව ක්ෂණයක් පසා සත්ත්ව පැවැත්ම සිදුවන අයුරු නොහොත් ස්ථිති පරිත්තතාවෙන් ජීවිතේන්ද්‍රිය අල්ප වන අයුරු මෙසේද දක්වා ඇත.

අතීත චිත්තක්ඛණේ ජීවත්ථ ,න ජීවති,න ජිවිස්සති,

අනාගත චිත්තක්ඛණෙ ජීවිස්සති,න ජීවති,න ජීවත්ථ.

පච්චුප්පන්න චිත්තක්ඛනේ ජීවති,න ජිවිස්සති ,න ජීවත්ථ.

යනුවෙන් දක්වා ඇත.සත්ත්වයා ජීවිතේන්ද්‍රිය මුල් කරගත් චිත්තක්ෂණයක් පාසා මරණය තෙක් නුසුන්ධාරා ඇතිව ගමන් කරයි.එම සත්ත්ව පැවැත්ම තුළ අතීත චිත්තක්ෂණයේ ජීවත් විය.චිත්තක්ෂණයක් පාසා ක්ෂණ භංගුරත්වයට පත්වූ සත්ත්වයා අතීතය තුළ ජීවත් වුවත් වුවත් නැවත ඒ තුළ ජීවත් නොවන්නේය.උප්පාද වය ස්වභාවයෙන්  යුතු සත්ත්වයා ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේය.නැවත අතීතයට තුළට යා නොහැක්කේය ය.උදාහරණයක් ලෙස විසිවයස් අවුරුදු අත්තෙකුට නැවත ඔහුගත කළ දස අවුරුදු සීමාවට යා නොහැකි ලෙසිනි.ජීවිතේන්ද්‍රිය මුල් කොට ගෙවුනා වූ චිත්ක්ෂණය ජීවිතේන්ද්‍රිය මුල් කොට ගෙන ප්‍රත්‍යුප්පන්නයෙහි නොපවතියි.එනම් අතීතය පඤ්චස්ඛන්ධය ප්‍රත්‍යුප්පන්නයෙහි නොපවතින බැවිනි.එමෙන්ම අතීත පඤ්චස්ඛන්ධය අනාගත චිත්තක්ෂණය තුළද නොවන්නේය.උදාහරණයක් ලෙස විසි වයසැති පුද්ගලයෙකුට තිස් වයසට යා නොහැකි අයුරිනි.අනාගත චිත්තක්ෂණයේ මතු ජීවත් වන්නේය.එය අතීතය තුළට ගෙවී ගොස්ද නැත.ප්‍රත්‍යුප්පන්නයට (වර්තමානයට) පැමිණද නැත.එසේ නම් සත්ත්වයා ජීවත් වනුයේ ප්‍රත්‍යුප්පන්න චිත්තක්ෂණය තුළය.එනම් ඨිති ක්ෂණයේය.එය අතීතය තුළට  ගෙවී ගොස්ද නැත.අනාගතය චිත්තක්ෂණය තුළට ජීවත් වීම් වශයෙන් අනාගතයට ගොස් ද නැත.ජීවත් වනුයේ ෂඩායතන මුල් කරගත් ප්‍රත්‍යුප්පන්නයේය.ප්‍රත්‍යුප්පන්නයද උප්පාද වය ස්වභායයෙන් යුතු වන බැවින් අනිත්‍යයතාවයෙන් යුතුවේ.එබැවින් ප්‍රත්‍යුප්පන්න චිත්තක්ණයේ ජීවත් වෙයි,ජීවත් නොවීය,ජීවත් නොවන්නේය යනුවෙන් ගුහට්ඨ හා ජරා සූත්‍ර නිද්දේසය තුළ සත්ත්වයාගේ අනිත්‍යයතාවයෙන් හෙබි උප්පාද වය සංඛ්‍යාත ක්ෂණ භංගුරත්වය මනාව පහදා  දී ඇත.

බුදු රජාණන් වහන්සේගේ පෙළ දහම විමසීමේදි හේතු ප්‍රත්‍යය ධර්මයන්ගෙන් හටගන්නා ලද සංඛත ධර්මයෝ නැතහොත් ලෝකයේ ඇති සියලු සවිඤ්ඤාණික හා අවිඤ්ඤාණික දෑ විපරිණාමයට ,වෙනස් වීමට අනිත්‍යයතාවයට පත් වේ.ඒ හා සබැඳී කරුණු පෙළ දහමෙහි මූලාශ්‍රය විමසීමේදි මනාව පසක් කොටගත හැකිය.හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්ඛාර ධර්මයන්ගේ ස්වභාවය මහා සුදස්සන සූත්‍රය තුළ මෙසේ හුවා දක්වා ඇත.

අනිච්චා වත සංඛාරා

උප්පාද වය ධම්මිනො

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති

තෙසං වූප සමො සුඛො.

(දි.නි.02,මහා සුදස්සන සූත්‍රය ,204-205 පිටු,බු .ජ.මු)

හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සියලු සංස්ඛාර ධර්මයෝ අනිත්‍යය.ඉපදීම වැනසීම ස්වභාය කොට ඇත්තේය.එම සංස්ඛාර ධර්මයන්ගේ සන්සිඳීම සුව එළවීම පිණිස හේතු වේ.තවද පෙළ  දහමෙහි සඳහන් වන “වය ධම්මා සංඛාරා ” යන්නෙහිද සඳහන් වනුයේ සංස්ඛාර ධර්මයෝ ව්‍යය ස්වභාවයෙන් යුතු වේය යන්න තුළින් ද ගම්‍යාර්ථවත් කරණුයේ සංඛත හෙවත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ලෝකය,සත්ත්වයා ,පුද්ගලයා යන සියල්ල අනිත්‍යයතාවයෙන් හෙබි සනාතන ධර්මයක් බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.මෙහිදී සංඛත යන්න සංයෝගාර්ථයෙන්  හේතු ප්‍රත්‍යය සමවායෙන් ඇති වන බව වටහාගත යුතුය.එසේ හේතු ප්‍රත්‍යය සමවායෙන් හටගත් කවර ධර්මයේාද යන්න විමසීමේදී නාම රුප සංඛ්‍යාත පඤ්චස්ඛන්ධය ,ද්වාදසායතන,ධාතු,සබ්බ,ධම්ම හා ලෝක යැයි පෙළ දහමේ විග්‍රහ වන සියල්ල අනිත්‍යය යැයි වටහාගත යුතුය.මෙම අනිත්‍යය ස්වභාවය කාම රුප හා අරුප යන භවත්‍රයෙහි තිස් එක් තලයටම පොදු වූ ධර්මතාවයකි.මූලාශ්‍රය විමසන කල අනිත්‍යයතාවයේ ස්වාභාවය මෙසේ උපුටා දක්වාලිය හැකිය.පඤ්චස්ඛන්ධයේ අනිත්‍යයතාවය දක්වන චූලසච්චක සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.

රුපං අනිච්චං ,වෙදනා අනිච්චා සඤ්ඤා අනිච්චා සංඛාරා අනිච්චා විඤ්ඤාණං අනිච්චාති.

(ම.නි.01, චූල සච්චක සූත්‍රය ,540-541 පිටු,බු.ජ.මු)

රූපය අනිත්‍යය,වේදනාව අනිත්‍යය,සඤ්ඤාව අනිත්‍යය ,සංඛාර අනිත්‍යය ,විඤ්ඤාණය අනිත්‍යය  යනුවෙන් ස්ඛන්ධයන්ගේ අනිත්‍යයතාවය දක්වා ඇත.පඤ්චස්ඛන්ධයාගේ එකතුව යනු සත්ත්වයායි.සත්ත්වයා උප්පත්තියේ පටන් උප්පාද වය ස්වභාවය ඇති චිත්තක්ෂණයක් පාසා ක්ෂණ භංගුර සංඛ්‍යාත අනිත්‍යය ස්වභාවයට පත් වන්නේය.එය පරමාර්ථ වශයෙන් වෙන් වෙන්ව ගෙන විමසා බැලුවද එහි ඇත්තේ අනිත්‍යය ස්වභාවයමය.එය බිඳෙයි .වෙනස් වෙයි.පෙරළෙයි.එහි නිත්‍යය ධුව අවිනශ්වරවාදී ශාස්වතවාදී ස්වභායක් නොමැත.

තවද පටිච්ච සමුප්පාදයට අනුව හේතු ප්‍රත්‍යය ගොඩ නැගෙන ද්වාදසායතනයෝද අනිත්‍යය බව ගිරිමානන්ද සූත්‍රාදිය විමසන කල පහදාගත හැකිය.

චක්ඛුං අනිච්චං,රුපා අනිච්චා,සොතං අනිච්චං ,සද්දා අනිච්චා ,ඝාණං අනිච්චං,ගන්ධා අනිච්චා ,ජිව්හං අනිච්චං,රසා අනිච්චා,කායං අනිච්චං ,ඵොට්ඨබ්බා අනිච්චා,මනො අනිච්චං ,ධම්මා අනිච්චාති.

(අං.නි .06,ගිරිමානන්ද සූත්‍රය ,195 පිටුව,බු.ජ.මු)

ඇස-රුප,කන-සද්ධ,නාසය-ගන්ධ,දිව-රස,කාය-ස්පර්ශ,මන-ධම්ම යන ද්වාදසායතනයම අනිත්‍යය වේ.මේ අයුරින් ඡ ධාතු,අට්ඨාරස ධාතු,සම්මුති පරමාර්ථයෝද උප්පාද වය ස්වභාවයෙන් යුතු ක්ෂණ භංගුරත්වයට හෙවත් අනිත්‍යයතාවයට පත් වේ.

අනිත්‍යයතාවය පදනම් කොටගෙන ඉපදෙන දුකෙහි ස්වභාවය

න+නිච්ච =අනිච්ච යන්නෙහි අරුත නිත්‍ය ධුව ශාස්වත වාදී අවිනශ්වර ස්වභාවයක් නොමැති විපරිණාම ස්වභාවය කරණ කොට ගෙන පවතින ධර්මතාවයකි .මෙම විපරිණාමය නැතහොත්  වෙනස් වීම කරණ කොටගෙන හේතු ප්‍රත්‍යාගතව දුක උපදී.පුද්ගලයා  සත්වයා හා ලෝකය යන ප්‍රඥප්තිය නිරන්තරයෙන් උප්පාද වය ස්භාවයෙන් යුතුව  අනිත්‍යතාවය ට පත්වන අයුරු උගතිමු .තදනන්තරව එම ක්ෂණ භංගුරත්වය මත දුක උපදින අයුරු  විමසා බලමු .සත්වයා නිරන්තරයෙන් වෙනස් වීමට ලක්වීම  (අනිත්‍යය ස්වභාවය)මත පුද්ගලයාට මුහුණ දීමට සිදුවන දොළසක් ධම්ම චක්කපවත්තන සූත්‍රය,සච්චවිභංග සූත්‍රයේ ගෙනහැර දක්වා ඇත.සංසාරය අනිත්‍යය ස්වභාවයෙන් යුතු වීම මත පුඟුලාහට පහත දුක්ඛ ධර්මතාවයන්ට මුහුණ දීමට සිදු වේ.,එනම්,

1-ඉපදීමේ දුක (ජාතිපි දුක්ඛා)

2-ජරා දුක       (ජරාපි දුක්ඛා)

3- මරණ දුක   (මරණම්පි දුක්ඛං)

4-ශෝකය        (සොක)

5- වැළපීමි        (පරිදෙව)

6- කායික දුක   (දුක්ඛ )

7-මානසික දුක  (දොමනස්ස)

8-උපායාසය       (උපායාස)

9-අප්‍රිය එක්වීම් (අප්පියෙහි සම්පයොගො දුක්ඛො)

10-ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක(පියෙහි විප්පයොගො දුක්ඛො)

11-ඉච්ඡාභංගාගත දුක (යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං)

12-සත්ත්ව පුද්ගල සංඛ්‍යාත පඤ්චස්ඛන්ධ දුක (සංඛිත්තෙන පංචුපාදානක්ඛන්දා දුක්ඛා )

යනුවෙන් අනිත්‍යයතාවය පදනම් කොට බිහිවෙන දුකෙහි ස්වභාවය සැරියුත් හිමියෝ සච්චවිභංග සූත්‍රය තුළ දක්වා ඇත.මදක් සිතන්න ඔබ මවගේ කුසෙහි උප්පත්තියේ සිට ක්ෂණයක් පාසා අනිත්‍යයතාවයට පත් වේ.මුල් විය මැදියම් විය පසු කොට අවසන් යාමයේදී ජරාවෙන් වෙළී මරණය වැළඳගැනීමේ අභිප්‍රායෙන් සිටින ප්‍රත්‍යුප්පන්නයෙහි (වර්තමාන )අතීත ජීවිතය පසු විපරම් කරන්නේ නම්,අන්‍යයතර අන්‍යයතර ව්‍යසනයන් නිසා ඇති වූ ශෝක,හැඬීම්,කායික දුක් ,දොම්නස් ,උපායාස,අප්‍රිය එක්වීම්,ප්‍රිය විප්‍රයෝග ,ඉච්ඡා භංගාදිය කොපමණ වේද යන්න මනාව පසක් කොට ගත හැකිය.ජාති දුක,ජරා දුක හා මරණ දුක තම තමාටම දුක් වශයෙන් විඳගැනීමට සිදුවේ.සත්ත්වයා නොහොත් පඤ්චස්ඛන්ධයම දුකය.

1-රූපය දුකකි(රුපං දුක්ඛං)

2-වේදනාව දුකකි(වේදනා දුක්ඛා)

3-සඤ්ඤාව දුකකි(සඤ්ඤා දුක්ඛා)

4-සංඛාර දුකකි.(සංඛාරා දුක්ඛා)

6-විඤ්ඤාණය දුකකි(විඤ්ඤාණං දුක්ඛං)

යනුවෙන් චූල සච්චක සූත්‍රාදියෙහි පඤ්චස්ඛන්ධයම දුක්සහගතවන අයුරු දක්වා තිබේ.අනවරාග්‍රත සසරෙහි තෘෂ්ණාවෙන් පරිණාමිත වූ සත්ත්වයා ඉපදෙමින් ,ජරාවට පත්වෙමින් හා මරණයට පත්වෙමින් ස්වභාව ධර්මයාගේ දුක විඳිමින් කොපමණ ගමන් කරන්නට යෙදුණි ද කියා කිසිවෙකුට කිව නොහැක.තවද අතීත අනාගත හා ප්‍රත්‍යුප්පන්න වශයෙන් ගොඩ නගාගන්නා ද්වාදසායතනයෝද දුක් සහගතය.මක් නිසාද යත් උප්පාද වය ස්වභායෙන් යුතු වන බැවිනි.ඇස හා රූප දුකකි.කන හා ශබ්ධ දුකකි,නාසය හා ගන්ධය දුකකි.දිව හා රසය දුකකි.ශරීරය කායස්පර්ශය දුකකි.මනස හා ධම්මයන් දුකක් බව සං.නි අජ්ඣත්ත දුක්ඛ හා බහිද්ධ දුක්ඛ සූත්‍රයන් තුළ මනාව දක්වා තිබේ.

නිදසුනක් ලෙස මෙසේ සිතන්න ඇසින් -රුප දැකීම සිදු කරණු ලැබේ.කුඩා කල සිට තම මව සමඟ හැදී වැඩෙන දරුවෙකුගේ තරුණ වියේදී  මව මිය ගියේ යැයි සිතමු. මව මිය ගොස් සතියක් පමණ යන විට තම මව පෙන්න්නට නැත.මවගේ රූපය උප්පාද වය ස්වභාවය යුතු අනිත්‍යතාවයෙන් යුතු බැවින් මරණ ධර්මතාවයට පත්ව ඇත.එම රූපයේ අනිත්‍යයතාවය පදනම් කොට ගෙන ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක විඳීමට සිදු වේ.එමෙන් තම ආධ්‍යාත්මික ඇසද ඒකාකාරිව පවත්වා ගත නොහැකිය .ඇස හරහා ගොඩ නගාගන්නා ඡන්ද රාගය තත් අයුරින් පවත්වාගත නොහැකි බැවින් ඇසද අනිත්‍යය .උප්පාද වය ස්වභාවය ඇති ඇස තමාට අභිමත පවත්වා ගත නොහැකිය.එබැවින් ඇසද අනිත්‍යය.එම අනිත්‍යයතාවය පදනම් කොටගෙන පුද්ගලයාට ඇස හා රූප මත දුක ඉපදේ.මේ අයුරින් ද්වාදසයතනයන්ගේ අනෙකුත් ඉඳුරන්ටද තත් ස්වභාවය එසේ පවතින බව වටහාගත යුතුය.බුදු රජාණන් වහන්සේ දුක්ඛො පතිට්ඨිතො ලොකො නැතහොත් ලෝකය ලෝකය දුකෙහි පිහිටා ඇති බව දෙසනුයේ එබැවිනි.

අනිත්‍යය හා දුක්ඛතාවය පදනම් කොට බුදු දහමේ  ගොඩ නැගෙන අනාත්මතාවය.

අනිත්‍යය ස්වභාවය පදනම් කොට සත්ත්ව පැවැත්ම ව්‍යය වේ.ඒ තුළ ජාති ,ජරා මරණාදිය… සහිත පඤ්චොපාදනස්ඛන්ධාගත දුක්ඛ ධර්මයෝ විඳිති.අනිත්‍යය හා දුක්ඛය මත කුලුගැන්වනුයේ අනාත්මතාවයයි.අත්ත හෙවත් ආත්ම යන්නෙහි වාච්‍යාර්ථය වනුයේ නැති නොවන සුලු වෙනස් නොවන සුලු පැවැත්මක් ඇත යන්නයි.අනත්ත හෙවත් අනාත්ම යන්නෙහි තේරුම  වනුයේ ආත්ම හෙවත් අවිනශ්වර ,අවිපරිණාමි ධුව නිත්‍යය පදාර්ථයන් තුළ මමය මාගේය මම වෙමි යන සාරයක් ගත නොහැකි බව යන්නයි.බුදු දහමේ හේතු ප්‍රත්‍යයන් තුළින් හටගත් සර්ව සංඛත ධර්මයෝ අනාත්මය.”සබ්බෙ සංඛාරා අනත්තා “යන්නෙහි මූලිකාර්ථය වනුයේ පුද්ගල අනාත්මතාවය මෙන්ම ධර්ම අනාත්මතාවයයි.එනම්,සත්ත්ව පුද්ගල හා බාහිර ලෝක සම්මුතියෙහි අනාත්මතාවය මෙන්ම වේදනා සඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ යන ධම්ම න්‍යායෙන් ඇති අරූපි ධර්මයන්ගේ අනාත්මතාවයයි.පුද්ගල සන්තානය තුළ මමය,මාගේය,මම වෙමි යන මමත්වය ,සක්කායදිට්ඨිය හා අස්මිමානය ගොඩ නැගෙන අතර ඊට සාපේක්ෂව රූපාදි පඤ්චස්ඛන්ධය මගේ නොවේ(නෙතං මම),මම නොවෙමි(නෙසො හමස්මි),මාගේ ආත්මය නොවේ(නෙසො මෙ අත්තාති) යන යතාර්ථවාදී ඉගැන්වීම අනාත්මතාවයයි.

වරක් නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සච්චක නැමැත්තා බුදු රදුන් හමුවෙහි රූප,වේදනා,සඤ්ඤා ,සංඛාර හා විඤ්ඤාණ ආදී ස්ඛන්ධ ආත්ම වශයෙන් තමා පිළිගන්නා බව පැවසීය.එහිදී බුදු රජාණන් වහන්සේ සච්චකම විචාරයට ලක් කරමින් අග්ගිවෙස්සන රූපය මගේ ආත්මය යැයි ඔබ කියන්නේ නම් මගේ රූපය මෙසේ වේවා ,මෙසේ නොවේවායි රූපය කෙරෙහි ඔබගේ ආධිපතීත්වය පවතින්නේදැයි ප්‍රශ්න කළහ.එහිදි සච්චක නිරුත්තර විය.මේ අයුරින් සත්ත්ව පැවැත්මට හේතු වන වේදනා ,සඤ්ඤා ,සංඛාර හා විඤ්ඤාණ යන සෙසු ස්ඛන්ධ පිළිබඳවද ප්‍රශ්න කළහ.

1- ඔබ සිතන්නේ කුමක්ද රූපය නිත්‍යය වේද?අනිත්‍යය වේද?(තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන රුපං නිච්චං වා අනිච්චංවාති)

භවත් ගෞතමයෙනි රූපය අනිත්‍යය වේ.(අනිච්චං භො ගොතම)

2-යමක් අනිත්‍යය වේ නම් එය දුක් සහගත වේද? සැප සහගත වේද?(යං පනානිච්චං දුක්ඛං වා තං සුඛංවාති)

භවත් ගෞතමයෙනි දුක් සහගතය.(දුක්ඛං භො ගොතම)

3-යමක් අනිත්‍යය නම් දුක් සහගත නම් විපරිණාම නමි ,එවැන්නක් මමය,මාගේය,මම වෙමි ,මගේ ආත්මය යැයි ගැනීමට සුදුසු ද?(යංපනානිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනු තං සමණු පස්සිතුං එතං මම එසො හමස්මි එසො මෙ අත්තාති )

නැත භවත් ගෞතමයෙනි(නොහිදං භො ගොතම)

මේ අයුරින් පඤ්චස්ඛන්ධය අනිත්‍යය දුක්ඛ අනාත්ම සංඛ්‍යාත යථාභූත ඤාණ දස්සනය මනාව විග්‍රහ කොට ඇත.සැබවින්ම පඤ්චස්ඛන්ධානුභූත සත්ත්ව පැවැත්ම අනිත්‍යය.උප්පාද වය සංඛ්‍යාත ක්ෂණ භංගුරත්වයට පත්වන පඤ්චස්ඛන්ධය විපරිණාමයට පත්වෙමින් සසර ගමන් කරයි.ඒ තුළ ජාති, ජරා ,මරණ,සොක… ආදී දුක්ඛ ධර්මයෝ උරුම වේ .ඒ තුළ  මමය,මාගේය,මම වෙමි,මගේ ආත්මය  යැයි ගැනීමට හේතු වන කිසිදු  සාරයක් නොමැති අතර ඇත්තේ අනාත්මතාවයකි.ශූන්‍යත්වයකි.ඒ ශූන්‍යත්වයෙහි ස්වභාවය සං.නි සුඤ්ඤතලොක සූත්‍රයෙහි දක්වනුයේ “සුඤ්ඤං අත්තෙනවා අත්තනියෙනවා ” ආත්මයෙන් හෝ ආත්මයට අයත් දෙයින් ශූන්‍යය වේ( වැඩිදුර අධ්‍යයනය සඳහා සං.නි .සළායතන සංයුත්තයෙහි සුඤ්ඤතලොක සූත්‍රය කියවන්න).

පුද්ගලයා අනිත්‍යය දුක්ඛ , අනාත්ම ස්වභායෙන් යුත් සත්ත්ව පැවැත්ම හා ලෝක පැවැත්ම දැනුනද පුද්ගලයා ලෝකය දෙස බලනුයේ නිත්‍ය,සුඛ,ආත්ම සංඛ්‍යාත ස්වරූපයෙනි.ඒ තුළ ලෝකය  යන දෘෂ්ඨි සංඛ්‍යාතව දිවි ගෙවයි.එයින් සිදුවනුයේ සඤ්ඤා විපල්ලාසයකට ,චිත්ත  විපල්ලාසයට,දිට්ඨි විපල්ලාසයකට නතු වීමය.ඒ බව අංගුත්තර නිකායේ විපල්ලාස සූත්‍රය තුළ මනාව කුලුගන්වා ඇත.

අනිච්චෙ භික්ඛවෙ නිච්චන්ති සඤ්ඤා විපල්ලාසො,චිත්ත විපල්ලාසො ,දුක්ඛෙ භික්ඛවෙ සුඛන්ති සඤ්ඤා විපල්ලාසො ,චිත්ත විපල්ලාසො ,දිට්ඨි විපල්ලාසො ,අනත්තන්ති භික්ඛවෙ අත්තන්ති සඤ්ඤා විපල්ලාසො,චිත්ත විපල්ලාසො ,දිට්ඨි විපල්ලාසො .

(අං.නි.2,විපල්ලාස සූත්‍රය ,100 පිටුව,බු.ජ.මු)

මහණෙනි අනිත්‍යයෙහි නිත්‍යය යැයි ද,දුක්ඛ ධර්මයන්ගේ සුඛ යැයිද,අනාත්මයෙහි ආත්ම යැයිද සඤ්ඤාමය වශයෙන් වරදවා ගැනීමකි.සිතීම වශයෙන් වරදවා ගැනීමකි.දෘෂ්ටිමය වශයෙන් වරදවා ගැනීමට ආශ්‍රැතවත් පෘථුජ්ජනයා පෙළඹෙන බව තත් සුතුර තුළ දක්වා ඇත.ඊට පදනම වශයෙන් සඳහන් කළ  හැක්කේ පඤ්චස්ඛන්ධය හෝ පඤ්ච උපාදනස්ඛන්ධය මමය මාගේය, මම වෙමි යනාදි නයින් අස්මිමානය ,මමත්වය ,සක්කාය දිට්ඨිය පදනම් කොට ඇති බැවිනි.සැබවින්ම අනිත්‍යය නිත්‍යය වශයෙන් හෝ දුක්ඛ ධර්මතා සුඛ වශයෙන් හෝ අනාත්ම ධර්මතා ආත්ම  වශයෙන් ග්‍රහණය කර ගැනීම මත පුද්ගලයා ඇත යන ශාස්වතවාදී දෘෂ්ටි න්‍යාය තුළින් සත්ත්ව පුද්ගල ස්වභාවය මෙන්ම බාහිර ලෝකය පිළිබඳ සිය සඤ්ඤා ,චිත්ත හා දෘෂ්ඨි විපල්ලාසයන් ගොඩ නගා ගනී ඛුද්දක නිකායේ  උදාන පාලියෙහි මේඝිය සූත්‍රයට අනුව පුද්ගලයාගේ අස්මිමානය දුරු කිරීම උදෙසා  අනිත්‍යය සඤ්ඤාව ,දුක්ඛ සඤ්ඤාව හා අනත්ත සඤ්ඤාව වැඩිය යුතු බව පහදා දී ඇත.

අනිච්ච සඤ්ඤා ….. දුක්ඛ සඤ්ඤා … අනත්ත සඤ්ඤා භාවෙතබ්බා අස්මිමාන සමුග්ඝාතාය.

(ඛු.නි  1,උදාන පාළිය මේඝිය සූත්‍රය ,200 පිටුව,බු.ජ.මු)

අනිත්‍යය සඤ්ඤාව ,දුක්ඛ සඤ්ඤාව,අනත්ත සඤ්ඤාව අස්මිමානය නැති කිරීම පිණිස වැඩිය යුතුය.සං.නි . සළායතන සංයුත්තයේ අජ්ඣත්තානිච්ච සූත්‍රයට අනුව සම්‍යප්‍රඥාව අවධි කර ගැනීම උදෙසා අනිත්‍යතාවය දැකිය යුතු බව ඇත.

යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා,යදනත්තා තං නෙතං මම නෙසො හමස්මි,නමෙසො අත්තතාති.එවමෙතං යථාභූතං පඤ්ඤාය දට්ඨබ්බං .

(සං.නි 04,අජ්ඣත්තානිච්ච සූත්‍රය ,2 පිට,බු.ජ.මු)

යමක් අනිත්‍යය වේද එය දුක් සහගත වේ.යමක් දුක් සහගත වේ නම් අනාත්ම වේ.යමක් අනාත්ම වේ නම් එය මගේ නොවේ,මම නොවෙමි.මගේ ආත්මය නොවේ යැයි යථාභූත ඥාණදර්ශනයෙන් ප්‍රඥාව අවධි කොට දැකිය යුතු බව දක්වා තිබේ.ක්ෂණය පාසා  ක්ෂණ භංගුරත්වයට පත්වන සබ්බ හා ධම්ම න්‍යායෙන් යුතු ආධ්‍යාත්මික ,බාහිර ලෝකය අනිත්‍යය යැයිද දුක්ඛ යැයිද ඒ තුළ අස්මිමානයෙන්  ගතහැකි සාරයක් නොපවතින බව දැක මමය,මාගේය ,මම වෙමි යන ආත්ම සඤ්ඤාය වෙනුවට අනාත්ම සඤ්ඤාව දැකිය යුතු බව දක්වා තිබේ.මේ අයුරින් ස්ඛන්ධ,ධාතු හා ආයතන ත්‍රිලක්ෂණය වශයෙන් දැකීම යථාභූත ඥාණදර්ශනයයි.

Previous article
Next article
Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles