

අද සමාජයේ බොහෝ පිරිසක් ගිහියාගෙන් පැවිද්දාටද .පැවිද්දාගෙන් ගිහියාටද විය යුතු දේ කුමක්ද යන්න පටලවාගෙන කටයුතු කරන්නේ යැයි සිතමි. ඇතම් පිරිස් පැවිද්දා හෙලා දකී. පන්සලෙන් ගමට වන සෙතක් නැත යැයි පවසති.භික්ෂූහු නූතන සමාජයේ හමුවේ තත් කාරණාව කරණකොට ගෙන මහත් වාග් හා කායික ප්‍රහාරයන්ට ලක්ව සිටින්නේ යැයි කියතොත් නිවැරදිය.මෙම කාරණාවන්ට ගෝචර වීමට ප්‍රධාන ගැටලු කිහිපයක් මා පොදුවේ දකිමි.ඉන් කරුණු දෙකක් පමණක් සාකච්ඡා කිරීමට ඉච්ඡාවෙන් යුතු වෙමි.එනම්,
01-වත්මන් සමාජ වපසරිය තුළ භික්ෂුව සිල්වත් විය යුතුය යන මතය.
02–ගිහි හා පැවිදි සබදතාවය නොදත්කම.
උක්ත කාරණාවන්ට අමතරව ගැටලු පැවතියත් මෙම ලිපිය තුළ මෙම කරුණු ද්විත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි.
වත්මන් සමාජය තුළ භික්ෂුව සිල්වත් විය යුතුය යන මතය
ඇත්තෙන්ම බුදු දහමේ ප්‍රතිපදාව යනු සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් ප්‍රවර්ධනය කිරීමයි.සීලය ගැන සාකච්ඡා කිරීමේදි.විසුද්ධිමාර්ගයෙ සීලය පිළිබඳ සීල නිද්දෙසයේ දක්වා සිටිනුයේ,
“කිං සීලං පාණාතිපාතා විරමන්තස්ස වත්තපටිතබ්බං පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා .. වුත්තං හෙතං භගවතා පටිසම්භිදා මග්ගායං චේතනා සීලං චේතසික සීලං සංවරො සිලං අවිතික්කමො සීලන්ති …..”
(විශුද්ධි මාර්ගය)
යනුවෙන් අටුවාචාරි බුද්ධඝෝෂ හිමියෝ මූල ග්‍රන්ථ ඇසුරෙන් කරුණු ඉදිරිපත් කරති. සීලය යනු කුමක් ද?
01-චේතනා සීලය
02-චේතසික සීලය
03-සංවර සීලය
04අවිතික්කම සීලය
යනුවෙන් බුදු හාමුදුරුවෝ පටිසම්භිදා මග්ගය තුළ දක්වා සිටින බව දැක්වේ.සිතෙන් සහ සිතිවිලි වලින් සිල්වත් වීම,කායික හා වාචසික සංවර සීලය,එමෙන්ම පාරාජිකා ආදි නොයික්ම විය යුතු සිල් ආදි නයින් විග්‍රහ කොට ඇත.මම මෙහිදි සීලය විග්‍රහ කිරීමට නොයමි.භික්ෂුවගේ සිල්වත් භූමිකාව රැක ගන්නට නොහැකි සමාජ වපසරිය පිළිබඳ හැඳින්වීමට කැමැත්තෙමි.භික්ෂුවක් මෙම සිල්වත් රාමුව තුළ සිටිය යුතුය යන්න මාද පිළිගනිමි .නමුත් මෙම රාමුව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සංස්කෘතිය තුළින් පැන නැගී ඇති ආගමික රාමුව හා භික්ෂු කාර්‍යය භාරය සාමාජීය වශයෙන් වෙනස් පරිසරයකට යොමු කරවන බව මා සිතමි.මක් නිසාද යත්,භික්ෂූන්ට මුදල් පරිහරණය නොකිරීමට බුදුන් දත් අනුශාසනාවයි.
“ජාත රුප රජත පටිග්ගහනා වෙරමණි සික්ඛා පදං සමාදියාමි…”
(විනය පිටකය)
රන් කහවණු මිළ මුදල් භාවිතයෙන් වැළකීමේ සික්ෂා පදය සමාදන් වෙමි.යථොක්ත කාරණාව එසේ වුවද භික්ෂුවක් වශයෙන් අපහට මුදල් නැතිව කිසිවක කරගත නොහැකිය.අඩුම බස් රථයක හෝ යා නොහැකිය.එසේ යන්නේ නම් කිව හැක්කේ මෙම කරුණය.බසයක යමි .කොන්දාට සල්ලි නොදෙමි,බැණුම් අසමි ,ඔඩික්කාගෙන් දඩ කමි.ඔය සරළ උදාහරණයකි.එමෙන්ම අද ගිහියා වුවත් පැවිද්දා වුවත් විහාරස්ථානයට භික්ෂූන් සීමා වී සහ සීමා කොට ඇත.විහාරස්ථානයේ ගොඩ නැගිලි සංවර්ධන කිරීම සිදු කරති.එවිට භික්ෂුවගේ සිල්වත් භූමිකාවක් රැකගත හැකි යැයි කිසිසේත් නොසිතමි.එමෙන්ම භික්ෂුවගෙන් දායකයා අපේක්ෂා කරනුයේ මරණය ,දානය ,පිරිත,බණ,බෝධිපූජාව ,අටවිසි පුජාව,අසූමහා ශ්‍රාවක පූජා වැනි කාර්‍යයන්ට පමණි.ආගමික හා සංස්ස්කෘතික වශයෙන් ඇති ඔය කාරණා යටතේ නූතන භික්ෂුවට කිසිසේත් සිල්වත් නොහැකිය.මක් නිසාද යත් වරෙක මිනිසෙක් හදිසියේම පන්සලට විත් මගේ මෑණියන් මරණාසන්නයි.ඇවිත් පිරිත් ටිකක් කියමු යැයි පැවසීය.මාද හනික දිව ගියෙමි.නමුත් භික්ෂූන්ට දිවීම සීලය අනුව බැරිය මක් නිසාද යත් සතිය නැති වන බැවිනි.බුදු රදුන් සීලය තුළ දෙසනුයේ සතිය පිහිටුවා ගැනීමට ඉරියවු සංවර විය යුතු බවයි .
ගච්ඡන්තොවා ගච්ඡාමිති පජානාති.
(දි.නි.මහා සතිපට්ඨාන සූත්‍රය )
යන්නේ යමියි සිහියෙන් යායුතුය.ඒ තුළ සත්ත්ව පුද්ගලයෙකු නොදැකිය යුතුය.නමුත් ගිහියාගේ ආගමික කර්තව්‍යයන් උදෙසා සතිය පිහිටුවා ගැනීමක් කළ නොහැකිය.එමෙන්ම බුදු හාමුදුරුවෝ දහම තුළ දෙසනුයේ පුද්ගලයා රාගයට ඇද දමන ගීතස්වරයෙන් වෙන්විය යුතු බවයි.එනම්,
න ගායාතබ්බා ආයතනිකෙන ගිතස්සසරෙණ..යො ගාය්‍යෙය ආපත්ති දුක්ඛටස්ස
(ගීතසර සූත්‍රය )
යනුවෙනි.ආයතනයන් පිනවන ගීත ගායානා නොකළ යුතුය.විනය පිටකයට අනුව යමෙක් ගයන්නේ නම් දුක්ඛටා පත්ති ඇවතක් සිදු වේ.එමෙන්ම කවි ගායනාවේ රාගයට ඇද දමන ප්‍රතිඵලය ලෙස ගීතස්සර සූත්‍රයේ දක්වන්නේ.
අත්තනොපි තස්මිං සරෙ සාරජ්ජති පරෙපි තස්මිං සරෙ සාරජ්ජති .
(ගීතසර සූත්‍රය)
තමාද ගීත ගායනය තුළ රාගාදි වශයෙන් ඇළීමකට හා අනෙක් පිරිස් ඇලීමද සිදුවේ. එමෙන්ම බුදුහු දෙසනුයේ නච්ච ගිත වාදිත විසූක දස්සනා වෙරමණි සික්ඛා පදං සමාදියාමි.නැතහොත් නැටුම් ගැයුම් වැයුම් ,උසුලු විසුලු දර්ශනයන්ගෙන් වෙන්වීමේ ශික්ෂා පදය සමාදන් වෙමි යන්නයි.මොහොතක් කල්පනා කර බලන්න උපසම්පදා ශීලය රකින හෝ සාමණෙර හිමි නම කවි බණට වඩමවනුයේ.එමෙන්ම බෝධි පූජා කවි පැවැත්වීමට අඩ ගසනුයේ,සෙත් කවි,අටවිසි කවි,අසූමහා ශ්‍රාවක කවී කණ පිනව පිනවා ඇසීමට ආරාධනා කරණුයේ ඔබමය.ඒ තුළ භික්ෂුවගේ සීලවන්ත භුමිකාව කෙසේ නම් රැකගත හැක්කේද.?එසේ නම් පැවිද්දා අජව්‍රත ගෝව්‍රත විදිහට සිල් රකින්න පැවසුවත් එසේ කිරීමට නොහැක්කේ මෙම ආගමික මුහුණුවර හා සංස්කෘතියට ගැති සමාජ ලබ්ධිය යැයි සිතන්නට මනසක් නොමැත්තේද?එය පැවිද්දාගේ වරදක් පමණක් නොව ගිහියාගේද වරදකි.මෙබදු ගැටලු බොහෝමයක් පැවතියත් මෙය ප්‍රමාණවත් යැයි සිතමි.
ගිහි හා පැවිදි සබදතාවය නොදත්කම.
දෙවැනි කරුණ නම් ගිහි පැවිදි සබදතාවය නොදත් කමයි.ඇතම් ගහියෝ හාමුදුරුවන්ට බණ කියති.අනුගාමිකයන් පසු පස ගොස් පන්සලේ භික්ෂුවට බැන වදිති නමුත් බුදු රදුන් දෙසනුයේ.දි .නි .සිඟාලෝවාද සූත්‍රයට අනුව ගිහි පැවිදි සබඳතාවය දැන ජීවත් විය යුතු ලෙසටයි.මුල් කී සුතුරට අනුව එම සබඳතාවය කුමක්ද යන්න වටහා ගත යුතුය.මෙහිදි ප්‍රථමයෙන් ගිහියා විසින් පැවිද්දාට කළ යුතු යුතුකම්පඤ්චකය හඳුනාගැනීම.. අතිශය වැදගත් යැයි සිතමි.එනම් අප අපගේ සබඳතාවය ගොඩනගාගැනීමෙහිලා පැවිද්දාට පැවතිය යුතු යුතුකම හා උවැටන කුමක්ද යන්නයි.
(1)මෙත්තෙන කාය කම්මෙන
(මෛත්‍රීසහගත ක්‍රියාවෙන්)
(2)මෙත්තෙන වචි කම්මෙන
(මෛත්‍රි සහගත වචනයෙන්)
(3)මෙත්තෙන මනෝ කම්මෙන
මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්.
(4)අනාවටද්වාරතාය
(නොවැසු දොර ඇති බව)
(5)ආමිසානුප්පාදානෙන
(ආමිශ දානාදිය පිළිගැන්වීමෙන්)
පැවිද්දෙකු හා ගණදෙනු කිරීමේදි ගිහියා මෙම වපසරිය තුළ කටයුතු කළ යුතුය.මින් පළමු කරුණ ගන්නේ නම්,මෛත්‍රි සහගත ක්‍රියාවයි.ඇතම් පුද්ගලයො යම් කරුණු කාරණාවන් පදනම් කොට ගෙන භික්ෂුවට පහරදීම්,තුවාල කිරීම් ,අඩත්තෙට්ටම් කිරීම් ආදිය දැකිය හැකිය.ගිහියා කිසිවිටකවත් එසේ නොකිරීමට වග බලා ගත යුතුය.දුසිල්වත් භික්ෂුව හෝ සුසිල්වත් භික්ෂුවක් යම් කරුණකදි අප්‍රසාදයට පත්වේ නම් ,ඒ සඳහා වන විනය සීමාවන් ඇත. එවන් අවස්ථාවන්හීදි සිදු කළ යුත්තේ වර්තමාන ක්‍රමයට අධිකරණ සංඝනායකට පැවසීමය.
දෙවැන්න මෛත්‍රි සහගත වචනයෙන් කටයුතු කිරීමයි.අද බෞද්ධ යැයි ලේබල් ගසා සිටින බොහෝ බෞද්ධයෝ භික්ෂූන්ට නින්දිත අයුරින් බැණ වදිති. භික්ෂුවගේ සීලය සොයමින් පොඩි වරදක් සිදු වූ කල්හි මහත් සේ විවාද කරති. වළඳන ලද දන් හැන්දේ පටන් දොස් නගති.මොහොතකට නැවති මදක් හිතන්න භික්ෂූන් ගැන සොයන වෙලේ භික්ෂුව කෙරෙහි ඔබගෙන් වන යුතු කම සිදුවනුයේද යන්න.නැත.ඔබ නිවැරදි වී නොමැතිව භික්ෂුවක් සෑදිමට යාම ජුගුප්සාජනක කර්තව්‍යකි.
තෙවැන්න වනුයේ නොවැසු දොර ඇති බවයි.අද ලංකාවේ පන්සල් දොළොස් දාහක් පමණ වැසී ඇත මක් නිසාද යත් භික්ෂූන් අවම වීමේ ගැටලුවයි.ඔබ අපට සලකන ආකාරයට සසුන ගැන අප්‍රසාදයක් අප සිත් තුළ පවති.ඔබ සිදු කරන කටයුතු මුලික කොට බොහෝ පැවිද්දන් උපැවිදි වෙති.එය අත්දැකීමෙන්ම මා දනිමි.පන්සල හා ගණදෙනු කරන කල්හි දායකයා පැවිද්දා කෙරෙහි තම පවුල් ඒකකය තුළින් විය යුත්ත මනාව තේරුම් ගෙන කටයුතු කළ යුතුය.පැවිද්දා කෙරෙහි තම පවුල් කුටුම්භය විවරව පැවතිය යුතුය.
පස්වැන්න ආමිස දානාදිය පිළිගැන්වීමෙන්.ඇත්තෙන්ම මෙම කරුණෙහිලා දායක උදවිය බහුතරයක් මනාව එම කටයුත්ත සිදු කරති.දන් දෙති.ආමිශය පිළිගන්වති.නමුත් යම් තැනක වැරදුනහොත් දුන් බත් ඇටේ සිට කුල කියති.ඔබ ආමිශය පිළිගැන්විය යුත්තේ සාධාරණ හේතුවක් බැවිනි.ඔබ වෙනුවෙන් කැප වී සිටින නිසාවෙනි.එමෙන්ම ඇතම් පැවිද්දන් ආමිශයට ඇති ගිජුකම හේතු කොටගෙන ගිහියාගෙන් ලැබෙන ආමිශ දානය ඉක්වා ගැනීමට කටයුතු කරති.උදාහරණයක් ලෙස මිනිසුන්ට අද පන්සල අප්‍රසන්න වී ඇත්තේ ගිහියාගෙන් අනවශ්‍යය පරිදි මුදල් කඩා වඩා ගැනීමය. භෞතිකය හූරා කෑමය.යථෝක්ත කරුණු වලට අමතරව අප මීළඟට විමසිය යුත්තේ පැවිද්දාගෙන් ගිහියාට විය යුතු කරුණු කවරක්ද යන්න විමසීමයි.බුදු රදුන් පාඨික වග්ගය තුළ කරුණු පහක් විස්තර කර දක්වත්. එනම්,
(1)පාපා නිවාරෙන්ති
(පවින් වළක්ව යි.)
(2)කල්‍යාණේ නිවෙසෙන්ති
( යහපතෙහි යොදවයි.)
(3)කල්‍යාණ මානසා අනුකම්පෙති
(යහපත් සිතින් අනුශසනා කරයි)
(4)අස්සුතං සාවෙන්ති.
(නො ඇසු දහම අස්වති)
(5)සුතං පරියොදපෙති.
(අසන ලද්දෙහි සැක තැන් දුරු කරයි)
(6)සග්ගමග්ගං ආචික්ඛන්ති.
(ස්වර්ග මාර්ගය කියා දෙනු ලැබේ)
පූර්වොක්ත කරණු හය පොදුවෙි සාකච්ඡා කරන්නේ නම් ප්‍රථමය වනුයේ පවින් වැළක්වීමයි.එනම්,ප්‍රාණ ඝාතය,අදත්තාදානය කාම මිථ්‍යාචාරය ,බොරුකීම කේළම් කීම හිස්වචන කීම පරුෂ වචන කීම, රාග ද්වේශ .පටිඝ ථම්භ ආදී මානොදූශ්‍යයන්ගෙන් වළක්වා ගැනීමයි.ඒවා තුළින් වියුක්තව දානය සීලය ,භාවනාව,… අවිහිංසාව කරුණාව වැනි සුචරිතයට යොමු කරවීමයි.භික්ෂුව ජාතිවාදි ප්‍රශ්න ,අනුන්ගේ අත්පා සිදීමට,දේශපාලන අතකොලුවන් වීමට දායකයාට අනුශාසනා නොකළ යුතුය.එය දෙවැන්නයි.තෙවැන්න වනුයේ දායකයා කෙරෙහි යහපත් වූ මානසික සිතින් ප්‍රසන්නව කටයුතු කිරීමයි.ඇතම් භික්ෂූන් දායකයා කෙරෙහි අප්‍රසන්න මනසින් කටයුතු කරති.සියලු භික්ෂූන් නොව දායකයාගේ ගෙනවිත් පිළිගන්වන්නා වූ ප්‍රත්‍යයන්ට වඩා කඩා වඩා ගැනීමට ඇතැම් භික්ෂූන් පෙළඹෙති.එය පැවිද්දන් ලෙස දායක සීමාව දැන දැක කටයුතු කළ යුතුය.සිවු වැන්න වනුයේ නො ඇසු දහම් ඇස්ස වීමයි. ඇතම් භික්ෂූන් ත්‍රිපිටකය ධූලි බැඳි බැඳි පන්සලෙහි තැන්පත් කලත් දායකයාට අලුත් ධර්ම දේශනා නොකරති.බුදු දහමේ යථාර්තය නොපෙන්වති.සැමදා එකම බණ කියති.එබැවින් සත්‍යය සොයා යන ගිහියා විවිධ පුද්ගල සරණ යති.මුලාවට හසුවෙති.නිවැරදි දහම යැයි දහම තුළ මුලාවට පත්වෙති.අන්‍යාගම් කරණයට ලක්වෙති.විවිධ නිරාගමික වැනි දෘෂ්ටි ප්‍රවණතාවයන්ට නතු වෙති.පස්වැනි කරුණ වනුයේ දහමේ සැක තැනක් ඇත්නම් එහි සැක දුරු කිරීමයි.අද දහම නිරවද්‍යය ලෙස ගවේශණය කරන්නේ නම් අල්ප වූ භික්ෂුන් ප්‍රමාණයකි.එක භික්ෂුවක් පවසන දේ අනිත් භික්ෂුවට ඉඳුරා පටහැනිය.ගිහියන් දහම ගැන විමසු විට බොරු බේගල් ඇද බාති.සැක තැනක් ඇත්නම් ඒපිළිබඳ විමසූ විට ඒවා පැහැදිළි නොකරති.එසේ සිටයොත් අල්ප ප්‍රමාණයකි.එමෙන්ම භික්ෂූන් දහම පරශීලනයෙන් වියුක්ත වීමට පදනම ද ගිහියා වශයෙන් සොයා බැලිය යුතුය.බිල්ඩින් ගොඩ නැගීමට පමණක් භික්ෂූන් සීමා වීම.දායකයාගේ අර පූජාවට මේ පූජාවට,කවි බණට,පාංශුකූලයට පමණක් සීමා කිරීම.භික්ෂුව දහම් විනයෙන් ඈත් වීමට ප්‍රධානම හේතුවයි .සවැනි කරුණ යනුයේ ස්වර්ග මාර්ගය කියා දීම යන්නයි.බුදු දහමේ උප්පත්ති ස්ථාන වශයෙන් තිස් එක් තලයක් දක්වා තිබේ.මරණින් මතු පුනර්භවය පිළිගන්නාවුන් වශයෙන් යහපත්ව දිවි ගෙවීමෙන් සුගතියේ ඉපදීමට හේතු වන කාරණා පැවසිය යුතුය .එමෙන්ම දුගතියේ ඉපදීමට හේතුවන කාරණාව පැවසිය යුතුය.මේ ආදි නයින් ගිහි පැවිදි සබතාවය සාර්ථක කර ගත යුතුය.එම අසාර්ථකත්වය ඔබ තුළ මෙන්ම අප පැවිදි පුද්ගලයන් තුළද ඇත.එබැවින් එක් පාර්ශවයක් වැරදි යැයි කීම නින්දිත ක්‍රියාවකි.අප අප ගැන වඩාත් නොසිත්නේ නම් උතුම් දහම යැයි වංශෙ කබල්ගාන සෑම අයෙකුම ලෝකයා ඉදිරියේ විහිලුවක් වන බව නම් නියතය.
භික්ෂු කාර්‍යය භාරය සංකීරණ වීමට හේතු වන ගැටලු කිහිපයක් .
(1)ලක්දිව නිකා වශයෙන් බෙදීම,මහා නායක පට්ටම්,ග්‍රමවාසි හා අරණ්‍යය වාසි යැයිද,ධර්ම විකෘතික වශයෙන් බෙදුම්වාදයකට නතු වීම.
(2)භික්ෂුව දේශපාළණීකරණය වීම.
(3)ආගමික රාමුව තුළ භික්ෂුව දානය බණට,පූජාවට පමණක් රාමු කිරීම.
(4) ලක්දිව භික්ෂු අධ්‍යාපන ක්‍රමය.
(5)ත්‍රිපිටකය පරිශීලනයට නිසි ක්‍රියා මාර්ගයක් නොවීම.(බුරුමයේ මෙන්)
(6)භෞතික සම්පත් කළමණාකරණය පිළිබඳ පවතින ගැටලුකාරී ස්වභාවය ….
(7) සිල් රැකීම බණ භාවනා කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් නොපැවතීම(බුරුමයේ මෙන්)
(8) මහානායක හිමිවරු ශාසනය කෙරෙහි අවධානය යොමු නොකිරීම
ආදි ලෙස දැක්විය හැකිය ඉඩක් ලද මොහොතක මෙම කෙටි කරුණු පිළිබඳ විස්තර කරලීමට බලාපොරොත්තු වෙමි.එබැවින් ගිහියා වශයෙන් ඔබත් පැවිද්දා වශයෙන් අපත් අප අපගේ තරම දැක සමඟි සම්පන්නව විසීමය… ලක්දිව බුදු දහම තුරන් කිරීමට මාන බලන මෙවන් වටපිටාව ඇති තැන අප අපගේ තත්වය හා කාර්‍යය භාරය හඳුනාගෙන ජීවත් වන්නේ නම් මැනවී…..
දානෙට බනට පිරිතට හත්වලාමෙට
යන්නට ඕන අඬ ගැහු ගැහු වෙලාවට
ඒ ටික වැරදුනොත් දායකයාගෙ කට
කුල මල කියනු ඇත දුන් බත් ඇටේ සිට