

(අරගලයක හිමිකරුවන් මිස අරගලයක මෙහෙකරුවන් නොවෙන්නට)
අරගලය යනු සොඳුරුම වදනක් වන මේ මොහොතේ අරගලයත් එහි යෙදෙන පිරිසත් සම්බන්දිතව යම් සටහනක් තබන්න ඕනේ කියල හිතුනා. මට අනුව නම් අරගලයක් යනු එතරම් සොඳුරු කාර්යක් නෙවෙයි. එය ඉතාම වගකීම් සහගත දුෂ්කර පැවැත්මක් යෝජනා කරන වැඩපිළිවෙලක්. කොහොම උනත් මේ මොහොතේ ජනප්‍රිය අරගලය මේ වන විට දින සියය ඉක්මවමින් තියෙනවා. දින සීයක කාලයක් එක් අරමුණක් වෙනුවෙන් බැඳුනු සමුහයක කැපවීම කිසිසේත් අවතක්සේරු කරන්න බැහැ. එහි අරමුණ කුමක් උවත් එය ඒ තරම් සැහැල්ලුවෙන් සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. අරගලය කියන වචනයේ බාහිර හැඩයෙන්ම අපි එයට ඇදී යන්නේ ඉතාම කැමැත්තෙන්. ඒ කැමැත්ත සහ ක්රියාකාරිත්වයට මට (ලිපිකරුට) අනුව නම් දින සියයකට වඩා වැඩියි. එතකොට ඕනෙම කෙනකුට අහන්න පුළුවන් එහෙනම් කෝ සෙල්ෆි චායාරූප කියලා. එහෙම චායාරූප වලින් කාලය නිරුපනය කරන්න උත්සහ කරානම් සමාජීයව යම් කියවීමක් ඕනේ කියල හිතට අදහසක් වැටුන දවසේ ඉඳල ගහපු රස්තියාදුව ඇතුලේ තමයි ඒ අරගලය ගොඩ නැගුනේ. ඒ නිසා එහෙම සෙල්ෆි ගහන්න උනොත් ඒ ගැන වෙනම අරගලයක් කරන්න වෙනවා. මොකද මට අනුව නම් යන්තම් මේ පොලවේ සුවඳ දැනෙන්න උන දවසේ ඉඳල හිටියේ අරගලයක තමයි. මොකද ඒක හුදු ගෝල්ෆේස් පිට්ටනියට විතරක් සීමා කරන්න මම කැමති නැහැ. ඒක පාසලේ, තමන්ගේ රාජකාරි ආයතනයේ, දුම්රියේ, බස් රියේ, මහා පාරේ මේ හැම තැනකම සමාජ සංස්කෘතික දේශපාලනික අවකාශයකම මට නම් හමු වුනා.
මේ විදිහට පොඩි පූර්වයක් ගන්න හිතුනේ පසු ගිය දවස් වල “අරගල භූමියේ අපි කියන” සිරස්තලය යටතේ සමාජ මාධ්ය අවකාශ වල චායාරූප පල කල බොහෝ හඳුනන දෙනෙකුගේ මුහුණු දැකීමෙන් ඇති වුනු අදහසක් නිසා. රෝස මල් පෙති වගේ සුමුදු සුසිනිඳු මුහුණු වගේම අවපැහැ ගැනුණු ,කෙස් ගැටපලු ගැහුණු ,කර්කශ ,වියලි මුහුණුත් ඒ අතර දකින්න ලැබුනා. ඒ වගේම කොළඹ හෝ ඉන් පිටත තිබුණු බොහෝ සංස්කෘතික දේශපාලනික සමාජීය අවකාශ මගහැරිය, අවම වශයෙන් චිත්රපටියක් පෙන්නලා ඒකෙන් සමාජ, සංස්කෘතික, දේශපාලනික කතා බහක් තුලින් පවතින ක්රමය පිලිබඳ සංවාදයක් කරමු කියන සහ කරන බොහෝ අධ්‍යන අවකාශ මග හැරලා ගෙදර දුවපු, දාහක් නිදහස් කාරණා කියල මාරු වුන බොහෝ දෙනෙක් මේ කියන චයරූපමය අරගලයක නිරත වෙනවා දකින්න ලැබුනා. ඔවුන් නොදන්නා යතාර්ථය තමයි ඔවුන් මෙතෙක් කල් මගහැරියේත් මේ ක්රමයට එරෙහිව ගොඩනැගුනු සංවාදය බව. දැන් ඔවුන් සොයන විමුක්තියේ වියුක්ත සාක්ෂි ඔවුන් මින් පෙර මග හැරියේ ඇයි කියන පැනය අපි ගොඩනගන්න වෙනවා. ඔව්, ඒවා ජනප්‍රිය නැහැ.
මේ මොහොතේ පොදු ලෙස අරගලය කියන වචනය සහ ඉන් හැඟවුම් කරන රූපකය ඔස්සේ හඳුනාගන්නා අරගලයට දින සියය ඉක්මවා යනවා. අද කුඩා දරුවෙකු සිට වැඩිහිටියෙකු දක්වා අරගලය හඳුනාගන්න රූපකයක් අපිට හමුවෙලා තියෙනවා. කෙසේ හෝ අරගලයක් වෙනුවෙන් සමාජීයව යම් පිබිදීමක් ලැබීම හොඳ දෙයක්. ඒකට එකෙන්ම එකඟ වෙමින් ඉදිරියට යන්න හිතනවා.
මම හිතන විදිහට පොදුවේ ජනතාව කියන තැන කිසිවක් නැහැ. ජනතාව ලෙස සංයුක්ත වෙන ව්‍යුහය සජීවී නැහැ. මොකද ජනතාව කියල අපි කියන්නේ විවිධ වූ සමාජීය සාමාජිකයන් සමුහයකට. ඒ සමුහය ඇතුලේ විවිධ වුර්තිකයන්, කලාකරුවන්, සාහිත්යකරුවන්, විවිධ සමාජ ස්ථර නියෝජනයන්, ශිෂ්‍ය කණ්ඩායම් වැනි විවිධ ස්ථර නියෝජනයක එකතුවක්. ඒ නිසා ඒ ඒ සාමාජිකයන්ගේ සාරයන් විවිධයි. අනන්‍යතාවයන් විවිධයි. එවැනි විවිධ සමූහයක් අපි පොදු හැඟවුම්කාරකයක් විදිහට ජනතාව විධිහට ව්‍යුහගත කරනවා. ඒ නිසා ඒ ව්‍යුහයට ස්වාධීන සාරයක් නැහැ කියලා මට හිතෙනවා. ඒ නිසා මම මේකෙදි පිවිසෙන්නේ එහෙම තැනකින්.
කොහොම උනත් මේ කතා කරපු විවිධ කණ්ඩායම් විදිහට හෙට කියන අනාගතය නියෝජනය වෙන්නේ ශිෂ්‍යය (student) කියන කොටස බැවින් මම මෙතැනදී මේ සංවාදය එක වියුක්තයක් හරහා සඛච්චා කරන්න හිතුවා. ඒ මෙරට ශිෂ්‍ය කියන සමාජ ව්‍යුහය හරහා.
වර්තමාන ශිෂ්‍යයා මේ මොහොතේ හඳුනා ගන්න අනෙක් රූපකය වෙන්නේ තරුණයා කියන රාමුව හරහා. ඒ නිසා මේ කියන ශිෂ්‍යයා වැඩිපුර නියෝජනය කරන නියැදිය වන්නේ විශ්වවිද්‍යාල කියන එකෙත් වියුක්තයක් විදිහට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන නියැදිය අරගෙන මේ සටහන තබන්න හිතුවා. මොකද අරගල භුමියේ ප්‍රධාන පාර්ශවයක් විශ්වවිධ්යාලය හරහා පැමිණෙන ශිෂ්‍යයන්ට වෙන්කෙරෙනවා. එය ශිෂ්‍ය වියාපාර හරහා සිදුවෙන බව පැහැදිලියි. ඒ නිසා මේ අර්බුදය සහ ඒ අවකාශය තුල මේ කියන ශිෂ්‍ය ව්‍යාපාර තුල වියුහගත තරුණයා කෙබඳු තැනක සිට විචාරය කලයුතුද යන්න හිතන්න වෙනවා. එහෙම විචාරය නොකර මේ මැදිහත්වීම සහ ඔහු හෝ ඇයගේ කාර්ය අවකාශය සහ ප්‍රමාණය ගැන තේරුම්ගන්න බැහැ. ඒ කියන්නේ එම කොටසේ කාර්ය සාධනය ගැන අදහසක් නැහැ.
ලාංකීය භූමිය තුල පුද්ගලයෙකුගේ උපතේ සිට ඔහු වටා ගොඩනැගෙන පාරභුවුතික ලෝකය මගින් ඔහු හෝ ඇය මම කියලා කෙනෙක් කැඩපත් කරගන්නවා. ඒ ඔහු හෝ ඇයට කැඩපත වෙන අනෙකා හරහා. අපිට ඕනේ නම් එය දෙමවුපියන් ලෙසින් ගන්න පුළුවන්. ඒ කියන්නේ සංයුක්ත ලෙස පරම්පරාව මගින්. ඉන් පසුව ඔහු හෝ ඇය දහතුන් වසරක පමණ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ගොඩ නැගෙන “මම” හරහා විශ්ව විද්යාලයට ඇතුලත් වෙනවා. එම අලුත් අවකාශයේ මුල් ගන්ධබ්බ කාලය, බොහෝ විට පළමු අවුරුද්ද තුල ඔහු හෝ ඇය අලුත් “මම” කෙනෙක් කැඩපත් කර ගන්නවා. අන්න ඒ ගන්දබ්බ කාලයේදී අපි දකිනවා විවිධ චරිත නියෝජනය වෙනවා. බොහෝ වෙලාවට අපි බාහිර ප්‍රතිරූපය හරහා නිගමනකට එනවා, ඔහු හෝ ඇය ක්‍රියාශීලියි. වැඩ වලට උනන්දුයි වගේ කියලා. එහෙත් මේ වැරදි රූපකය ඔහු හෝ ඇයම ඔවුන්ගේ දෙවැනි වසරේදී ඔවුන් විසින්ම අපිට නිවැරදි කරලා පෙන්වනවා. එතකොට අපි කියනවා බලන්න පළමු අවුරුද්දේ උනන්දු වෙන ළමයි දෙවන අවුරුද්දේ කිසිම උනන්දුවක් නැහැ. කියලා. අපි හිතන්න ඕනේ තැන තමයි අර පළමු කාල අවකාශය තුල සිදුවුනේ ඔහු හෝ ඇය තුල අලුතෙන් ගොඩ නැගෙන “මම” සොයන එක කියලා. එහිදී ඔහු හෝ ඇය තමන් ගැන වටහා ගන්නේ තමන්ගේ කැඩපත මුණ ගැසීමෙන්. මේ කැඩපත මුණ ගැසෙන තුරු කාලය අපි රැවටෙන කාලය.
මොවුන් කොහොමද තමන්ගේ රූපය කැඩපත මගින් තීරණය කරගන්නේ. කුමක්ද? මොවුන්ට ඒ සඳහා මුණ ගැසෙන කැඩපත. එතැනදී තමයි ජේෂ්ඨයා මුණ ගැසෙන්නේ. ඒ ජේෂ්ඨයා තමයි ඔහු හෝ ඇයගේ අලුත් පරම්පරාව වෙන්නේ. ඒ මගින් තමන්ගේ කැඩපත් රූපය සොයාගන්න ඔවුන් ආයෙත් “මම”කියන එක හදා ගන්නවා. අපිට මේ හැම තැනකදීම හමුවෙන ශිෂ්‍යයා වෙන්නේ අන්න ඒ “මම”. කවුද ? ඒ “මම”.
මේ මොහොතේ අපිට හමුවෙන තරුණයා සඳහා කැඩපත් වෙන තරුණයා මෙතැනදී “මම” හඳුනා ගන්න පෙර ඔහු හෝ ඇය ව්‍යුහගත වෙන්නේ එක් එක් කාල අවකාශ වලදී සිදුවුණු ඛණ්ඩනයන් හරහා ගොඩ නැගුනු තාරුණ්‍ය කියන රූපය හරහා. අපිට එහෙම ඛණ්ඩනය වුනු තාරුණ්‍ය අවස්ථා කිහිපයකට බෙදා ගන්න ඕන නම් පුළුවන්. අපි ඒ වගේ ආසන්න ලක්ෂයක් වෙත යනවා නම් අපිට යන්න පුළුවන් 88,89 කියන තැනට. එතනින් මෙහාට අපිට හමුවෙන්නේ 90 දශකයේ මුල ඉඳලා මර්ගෞපදේශක එෆ්එම්(FM) සංස්කෘතික සුසමාදර්ශය. එතනින් මෙහාට ලාංකීය තාරුණ්‍යයේ සංස්කෘතියේ පැහැදිලි වෙනස් කම් අපිට පෙළ ගස්වන්න පුළුවන්, පාසැල් පද්ධතියේ ඉඳලා සෑම මට්ටමකම තාරුණ්‍යය ඉන් මෙපිටට ආකෘතික ගත වෙන්නේ මෙවැනි සංස්කෘතික අවකාශයක. ඉන් මෙහාට ඇඳුමේ සිට භාෂාව සමග සියලුම සමාජ පරමාදර්ශයන් වෙනස් වෙනවා. ඒ වගේම මෙරට සමාජ දේශපාලනික අවකාශය තුල පැවතුන ධනවාදී විකාරරූපී මුහුණුවර සමග පශ්චාත් නූතන සංස්කෘතික අවකාශයක් වෙත තාරුණ්‍ය ගමන් කරනවා. එම දශකය අවසාන වෙනකොට සරලම උදාහරණයක් ලෙස අවම වශයෙන් අපොස උසස්පෙළ කෙසේ වෙතත් සාපෙළ ශිෂ්‍යාවක් පවා චීත්ත ගවුමෙන් ජීන්ස් වෙතටත් තරුණයා ඩෙනිම් කලිසමත් ටී ෂර්ටයටත් ගමන් කරනවා.
අද වෙන විට චීත්ත ගවුමක් ඇඟ ලාගෙන ට්යුෂන් යන කෙල්ලෙක් හොයාගන්නවත් බැහැ. ආර්ථික මට්ටමින් කුමන තැනක් නියෝජනය කරත් ඒ සීමාවන් අතික්‍රමණය කල ඇඳුම පැලඳුම අනිවාර්ය දෙයක්. පාසැල් නිල ඇඳුම පවා විවිධ අයුරින් මෝස්තරගන්වා ගන්න අයුරු දකින්න ලැබුනා. ඒ වගේම මෙරට පුද්ගලික නාලිකා හරහා ගොඩබැහැපු ඉන්දියානු සෝප් ඔපෙරා හරහා හඳුනා ගත් පැළඳුම් භාවිතා නොකරන තරුණයෙක් තරුණියක් හමුවීම දුර්ලභයි. මේ මොහොත වන විට නගරයේ ටියුෂන් ගොස් ප්රසිද්ධ අවන්හල් ජාලයකින් බීම වීදුරුවක් හරි නොබිව් තරුණයෙක් තරුණියක් ඉන්නවනම් ඉතාම කලාතුරකින්. ඒ තමයි මෙරට තුල ව්‍යාප්ත වුන නව සමාජ සංස්කෘතික අවකාශය තුල හද ගැහෙනා තාරුණ්යයේ ලක්ෂණය. කිසිසේත් එවැනි මෝස්තර අත්හදා නොබලන්න කියන එක කියන්න බැහැ . ඒක තමයි සිදුවුණු සමාජ සංස්කෘතික වෙනස. ඒක මගහරින්න බැරි සත්‍යක්. පශ්චාත් නූතන ලජ්ක්ෂණ හරහා මේ තාරුණ්ය හැඩගැහෙන්න උනා. දැන් ඒක සුනු විසුනු කරලා ගෝත්රික වෙන්න කියන්න බැහැ. ඉන් අනතුරුව පැමිණි සමාජ මාධ්ය වේදිකා තමන්ගේ සම්බන්දතා ජාලය මත ගොඩනැගුන වර්තමාන පරම්පරාව, මේ කියන සමාජ පන්ති විෂමතා මග හැර ගියේ මෙන්න මේ කියන පාරිභෝගික මෙවලම් හරහා. එය සැබෑ පන්ති විෂමතා මකා දැමීමක් නොවෙතත් ධනවාදයේ පරිභෝජන ස්වරූපය යෝජනා කරන සමානාත්මතාව ඒකයි. එවන් වටපිටාවක ඔවුන්ට බල කරන්නේ තව තවත් මේ පරිබෝජනය තුල සැරිසරන යෝජනාව මිසක් වෙන කිසිවක් නෙවෙයි. තනිකරම මෙරට මාධ්‍ය මෙහෙයුමක් යටතේ සුසමාදර්ශය වෙනස් කල පරපුරක් අද මේ මොහොත තුල ගතකරනවා. ඒ පරම්පරාවේ එකම පරමාදර්ශය මේ කියන ක්රමයම තමයි.
එවන් වටපිටාවක අපිට ඇහෙනවා. වර්තමාන ශිෂ්ය වියාපාර තමන්ගේ සටන්පාඨ අර කලින් සඳහන් කල සුසමදර්ශි හුවමාරුව සිදුවුණු 88.89 වැනි යුගයට පෙර කාලය දක්වා රැගෙන යනවා. ඔවුන් පවසන වචනයෙන්ම ඔවුන් ගමන් කරන්නේ වෙනුර, ත්‍රිමා ගිය පාරේ බවයි. ඉතින් එයම අර්බුදයක් නොවන්නේද?. වෙනුර හෝ ත්‍රීමා ගිය පාර හෝ ක්රමවේදයන් ඔවුන් නිර්මාණය කර ගත්තේ ඔවුන්ගේ කාලයට සාපේක්ෂව පැවති සමාජ සංස්කෘතික දේශපාලනික අවකාශයට ගැලපෙන අයුරින් වීම, සහ ඔවුන් ඒ මොහොතට අදාලව අවශ්ය සටන්පාඨ නිර්මාණය කරන්න ඇති. ඒ මොහොතේ ඔවුන් කල ඒ මෙහෙවර කිසිවිටක අවතක්සේරු කරන්න හෝ විවේචනය කරන්න බැහැ. ඔවුන් එදා යුගයට අදාලව උපරීම ක්රමවේදී සහ නිර්මාණශීලී වෙන්න ඇති. එහෙත් ඔවුන් කිසිවිටෙකත් නොපතන්න ඇති එයින් වසර, දශක ගෙවුණු ඉදිරි දිනකත් ඔවුන් සිටි තැනටම එන තාරුණ්‍යක්. ඇත්තෙන්ම ඔවුන් පැතු ලොව ඒක නොවෙන බව ස්ථීරයි. ඔවුන්ට අවශ්ය වෙන්න ඇත්තෙත් ඊට වඩා දියුණු පරම්පරාවක් වෙනුවෙන් ක්රමය වෙනස් කරන්න වෙන්න ඇති. ඒ සඳහා අධ්යාපනය රැකගන්න වෙන්න ඇති. මොකද ඒ වෙනකොට සමාජ පරිවර්තනයක් සහ පන්ති විෂමතාවය අවම කිරීමේ අපිට තිබුණු එකම මාර්ගය අධ්යාපනය වීම නිසා. එහෙත් ඒ අධ්‍යාපනයම අද අපට මුණගස්වලා තියෙන දැනුමේ සහ අවබෝදයේ කලාපය කුමක්ද? අද මේ කියන විෂමතාවයට මේ පශ්චාත් නූතන සංස්කෘතිය සිදුකර ඇත්තේ කුමක්ද?. අපිට විශ්ලේෂණය කරගන්න වෙන්නේ මෙන්න මේකයි. ඒකට අවැසි දැනුම සහ අවබෝදය සැකසෙන අධ්යාපන ක්රමයක් අද අපිට තියෙනවද? එවන් වට පිටාවක විශ්වවිද්යාලයට එන මේ කියන ශිෂ්යා කවරෙක්ද?
ඔහු හෝ ඇය කරවටක් මේ සංස්කෘතික අවකාශයේ ගිලී පිහිනමින් එහි පහස අත්විඳිමින් සිටිනවුන් නොවේද?. එවැනි තරුණ ශිෂ්‍යයා තමන්ගේ කැඩපත සොයද්දී, තමන් හඳුනා ගනිද්දී මෙරට වර්තමාන ශිෂ්ය වියාපාර ඔවුන්ට හඳුන්වා දෙන්නේ තවමත් අර පැරණි චීත්ත ඇඳුමයි,සෙරෙප්පු යුගලයි, කොට කොන්ඩෙයි, පරණ අණ්ඩ කලිසමයි, අමු සිංහල ශ්බ්ධකොශයයි නම් පරමාදර්ශී කැඩපතට මොකද වෙන්නේ. අද විප්ලවීය බව සහ රැඩිකල් බව කොණ්ඩය සහ රැවුල වැවීමට, ආණ්ඩ කලිසමට කැප් තොප්පියට ආකෘතිගත කරන අතරේ සන්දර්භීය චින්තනයක් ඒ තුල නැතිවෙමින් ගිහිල්ල. එහෙම වට පිටාවක නැවත ඔවුන් ගමන් කරන්න පාර හොයන්නේ අතීතයෙන් වීමම අවුලක්. ඒ පාර එදා වුන් ඔවුන් තෝරාගත්තේ ඒ යුගයට අදාල සමාජ සංස්කෘතික දේශපාලනික අවකාශය තුලින් වන අතර අද අවශ්‍යය පාර සොයා ගන්න එක ඊට වඩා සංකීර්ණ බව තේරුම් ගන්න වෙනවා. මොකද අද එදාට වඩා දේශපාලනය සංකීර්ණයි, සංස්කෘතිය සංකීර්ණයි. සමාජය සංකීර්ණයි. මාධ්ය ප්‍රභලයි. වෙළඳපොල පෙළඹවීම් සූක්ෂමයි. ප්‍රචාරණ මාධ්‍යන්, විදික්‍රම සංකීර්ණයි. තාක්ෂනය ප්‍රභලයි. එවන් වට පිටාවක සමාජ සංස්කෘතික දේශපාලනික අවකාශය කියවා ගන්න එදාට වඩා වැඩි දැනුම් පද්දතියක්, අධ්යන වියාපාරයක්, අධ්යන විෂයන් වල වෙනසක් ඒ තුලින්ම ඉල්ලා සිටිනවා. එහෙත් මෙරට පාසැල් සහ විශ්වවිද්යාල තවමත් ඉන්නේ කොතනද?. ශිෂ්ය වියාපාර ඉන්නේ කොතනද?. ඔවුන්ට එවැනි කිසිදු නව එළඹුමක් නැති බව නොතේරෙන්නෙම ඔවුන් තවමත් වෙනුරලාගෙන්, ත්‍රීමා ලාගෙන් පාර හොයනවා. ඔවුන් අද හිටියානම් ඔවුන් කලකිරෙන්නේ ඒ ගැන සිතීමෙන් බව හිතන්න වෙනවා. ඉන් මෙහාට නව මාර්ගයක් අවැසි මොහොතක එවැනි පෙළඹුමක් මේ ශිෂ්යන් තුලින් හමු නොවෙන්නේ එම වියාපරවල යම් පසුගාමී බවක් නිසාවෙන් කියල හිතන්න වෙනවා.
අද දින මේ ජේෂ්ඨ ප්‍රතිරූපමය කැඩපත කරන්නේ මේ වර්තමාන නවක ශිෂ්‍යයාත් තවමත් චීත්තයට, සෙරෙප්පු යුගලට,කොට කොන්ඩේට, පට්ට සිංහල වචන කටපාඩමට, පරපීඩක හිංසාවලට ලක් කරමින් පන්ති විෂමතාවය කියන සාරය හොයන එකයි. එත් එහෙම සාරයක් හොයන එක මේ මොහොතේ සමනළයකුගේ තටු ගලවලා උගේ සැඟවුණු ජීවී රහස් හොයන කුඩා දරුවෙකුගෙ වැනි වැඩක්. ඒකෙන් වෙන්නේ බය බිරාන්ත තරුණයෙක් විශ්වවිද්යාලය තුලින් හමු වීමයි. ජේෂ්ඨ උත්තමයන්ට ගරු කිරීම හරහා වැඳ වැටෙන ප්‍රශ්ණ නොකරන පරමාදර්ශයක් තුලින් කැඩපත් “මම” හඳුනාගන්නා ඔහු හෝ ඇය ඉන් අනතුරුව දේශකයන් හරහාද එවැනිම බය බිරාන්ත ප්රශ්න නොකරන කොඳු නාරටි සිඳගත් පරපුරක් සහ නිර්මාණශීලිත්වය මොට කල පරම්පරාවක් රටට ලබා දීමේ ඵල විපාක මේ මොහොතේ අපි මේ අත් දකින අර්බුදයේත් කොටසක් බව හිතන්න වෙනවා.
රාජ්‍ය යාන්ත්‍රණය ඉතාම අකාර්යක්ෂම සහ නිර්මාණශීලී නොවෙන තත්වයක් බව අපිට පිළිගන්න වෙනවා. සෑම ආයතන ව්‍යුහයක්ම කඩාවැටෙන්නේ කුමන හේතුවෙන්ද කියන එක අපිට හිතන්න වෙනවා. මේ සෑම ආයතන ව්‍යුහයකම කඩාවැටීම තුල මේ අපි ලබන අධ්යාපනයේ කඩාවැටීම වියුක්තයක් ලෙසින් අපිට ගන්න පුළුවන්. මොකද මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න බහුතරය මෙරට නිදහස් අධ්යාපනයේ දරුවන් වීම නිසා. එසේ නම් දැන්වත් අපි සිතන්න වෙනවා අපිට වෙනසකට වඩා අවශ්‍ය පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ ඉතා දැවැන්ත කොටසක් අධ්යාපනයට පැවරෙනවා. අරගලය තියෙන්නේ අරගල භුමියේ විතරක් නෙවෙයි. ඒ ඉන්න හැමෝගෙම ශරීර කූඩුව තුලත් අරගලයක් තියෙනවා. මොකද තමන් පරිවර්තනය වීමේ අරගලයත් මේ සමගම කරන්න වෙනවා. නැත්නම් රාජපක්ෂලා හෝ වික්රමසිංහලා ගෙදර ගියා කියල පරිවර්තන වෙන එකක් නැහැ. මොකද කඩා වැටුණු සෑම ආයතන වියුහයකම ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මේ රටේ නිදහස් අධ්යාපනයෙන් නිර්මාණය වුනු දරුවන් වීමයි. දේශපාලකයන් දෙසට විතරක් ඇඟිල්ල දිගු කිරීමෙන් මෙතැනදී උපරීම ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒ සමගම මේ සුසමදර්ෂයන් වෙත සමාජය දක්කාගෙන ආ මාධ්‍ය වගේම ආගමික සංස්ථා සහ සංස්කෘතික පොලීසි වෙතටත් ඇඟිල්ල දිගු කරන්න හැකි අවබෝදයක් වර්තමාන තරුණයාට ලැබිය යුතුයි.
එසේ නොවුනහොත් අනාගත පරපුරටද සිදුවන්නේ මේ මජර දේශපාලන සංස්කෘතික අශ්ලීල පීතෘත්වය වගේම මජර වියාපාරික මාධ්‍ය මුදලාලිලා කොටසකගේ කූඨ වියපෘති වෙනුවෙන් ඒ අයගේ පදවලට තාල අල්ලන්න වෙන එක විතරයි. ඒ නිසා මීට වඩා දියුණු සංස්කෘතික කියවීමක් සඳහා අවශ්ය විශ්ලේෂණික සහ දාර්ශනික අධ්යාපන විෂය පෙරළියක විප්ලවයක් සිදුවිය යුතුමයි.
මෙන්න මේ කියන අධ්යන දැනුම සහ අවබෝදය වර්තමාන අධ්‍යන අවකාශ තුලින් සහ අධ්‍යාපනයෙන් නොලැබෙන නිසා තමයි මේ ලිපියේ මුල සඳහන් කල දිනපතාම තමන් වටා කේන්ද්රියව පැවතුනු අරගල කලයුතු සහ එවැනි ක්රමය ප්රශ්නකරන සංවාද තුලින් ඔවුන් මගහැර යන්න වුනේ. මොකද අධ්යාපනය තුලින් එවැනි සංවාද දුරස් වෙලා. ඒ පිලිබඳ පොදු දැනුමක් නිර්මාණය වෙලා තිබුනේ නැහැ. අපේ රටේ අධ්යාපනය එවැනි හුරුවක් වර්තමාන ශිෂ්යා වෙත ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ එවැනි සංවාද සහ විශ්ලේෂණය හුරු අධ්‍යාපනයකින් පෝෂණය ලබන නව ශිෂ්‍ය පරම්පරාවක්.
එසේ නැතහොත් කිසිම දවසක අපි බලාපොරොත්තු වෙන ජනතා පරමාධිපත්ය හෝ ස්වාධීන මානව අයිතිවාසිකම් සුරැකෙන නීතියේ ආධිපත්ය සුරැකෙන රටක් තනා ගැනීම සිහිනයක්ම වෙනවා. අපි බටහිරයන්ගේ සරණ ලැබෙන තුරු බලාසිටින නීතියකට වඩා ලබාගත යුත්තේ රට තුලම සියලු ජන කොටස් වල ගරුත්වය සාධාරණත්වය සහ උපරීම මානව අයතිවාසිකම් සුරැකෙන නීතියට යටත් පාලන වියුහයක් තෝරාගැනීමයි. එය සිහිනයක් නොවෙන්නට අරගලයේ දිසාව අනිවාර්යෙන් වෙනස් විය යුතුයි. එසේ නිවැරදි දිශාවකට ආරගලයක් රැගෙන යන්න නම් මේ ක්රමය වගේම මේ ක්රමය තුලින්ම වියුහගත මේ විෂය අන්තර්ගත අධ්යාපන ක්රමයත් පරිවර්තනය කල යුතුයි. එවැනි පරිවර්තනයක් කිරීම වගේම, එවැනි පරිවර්තනයක් ඉල්ලා සිටීමත්, ඒ සඳහා ජනතාව පෙළගැස්විය හැකි වන්නේත්, මීට වඩා දියුණු ශිෂ්‍ය සම්පතක් රට තුල නිර්මාණය කිරීමෙන් පමණි. ඒ සඳහා අද මේ මොහොතේ පවතින ශිෂ්ය වියාපාර කොතෙක් දුරට සාර්ථක දැයි අපිට විමසන්න වෙනවා. ඒ සඳහා අවශ්ය දැනුම, අවබෝදය ඔවුන් තුල සාරාත්මක පැවැත්මක් වන්නේ කෙසේදැයි සොයාබලන්න වෙනවා. එසේ වීමකින් පමණයි වඩාත් සුන්දර නීතිගරුක පුරවැසි රටක් මතු දිනෙක ගොඩනැගිය හැකි වන්නේ. එසේ නොමැතිව මේ දුර්දාන්ත මජර සමය නිමාකලහැක්කේ රෝසමල් සිඹීමකින් නෙවෙයි.