30 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ අනාගතය

Related Articles

දෙවන කොටස

                                              

ශ්‍රී ලංකාව පවත්ව ඇති වර්ථමාන තත්වය පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ වන සමයක, ඒ පිළිබඳව විද්වත් අදහස් ගෙන ඒම සඳහා පසුගිය කළාපයෙන් ගෙන ආ තොරතුරු වල තවත් දිගුවක් ලෙසින් මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන්නට සූදානම්.

                                           මෙවරත්, ඇමරිකාවේ උතුරු කැරොලිනා හි මවුන්ට් ඔලිව් විශ්වවිද්‍යාලයේ (University of  Mount Olive – North Carolina),  කෘෂි ව්‍යාපාර සහ ආර්ථික විද්‍යාව(Agri Business & Economics) පිළිබඳ මහාචාර්ය, සමන් ජනරංජන හේරත් බංඩාර මහතා (Prof. Saman Janaranjana Herath Bandara) සමග කළ සාකච්ඡාවේ දෙවැන්නයි, වැන්නයි මෙසේ දිගහැරෙන්නේ.

                                        බොහෝ දෙනා ප්‍රකාශ කරමින් සිටින්නේ, පවත්නා ආර්ථික ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා ගත හැකි හොඳම විසඳුම වන්නේ, කෘෂි කර්මාන්තය දියුණු කිරීම බවයි. ඒ බව, පාලක පක්ෂය මෙන්ම ප්‍රතිපක්ෂද ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව මහාචාර්ය සමන් ජනරංජන හේරත් මහතා දැක්වූයේ මෙවන් අදහසක්. අප ආර්ථිකයෙන් බලාපොරොත්තු වන්නේ මූලික අවශ්‍යතා සපුරාගැනීමයි. ඒ, ආහාර, ඇඳුම්, නිවාස වැනි දේවල්. ආර්ථිකය උග්‍රලෙස අවපාතයකට ලක්වූ විට මිනිසුන් විසින් අවශ්‍ය (Wants) කුමක්ද? යන්න වෙනුවට මූලික අවශ්‍යතා ගැන (Needs) වැඩි අවධානයක් යොමුකරනු ලබනවා. මෑතකාළීනව ආණ්ඩුව විසින් ගත් විවිධ නොවැදගත් තීරණ හේතුවෙන්, කෘෂිකර්මාන්තයට පහර වැදුනි. එමගින් ආහාර නිෂ්පාදනය පහත වැටුනි. කෝඩිඩ් වසංගතය සමග ලෝකයේම ආහාර නිෂ්පාදනය පහත වැටීම හා අපගේ යැපුම් ආර්ථිකය කඩා වැටීම තුලින් අප රට දැඩි අසරණ තත්වයකට පත්වුනා. සෑම දෙනාටම ආහාර අවශ්‍ය බැවින් හා එහි අඩුව පෙනෙන නිසා, සෑම දෙනෙක්ම කෘෂිකර්මාන්තය පිළිබඳව කතාකරන්නට පෙළඹී තිබෙනවා. කෘෂිකර්මාන්තය නගාසිටුවීමෙන් පමණක් ආර්ථිකය ගොඩගත හැකිනම්,  ශ්‍රී ලංකාව වසර ගණනාවක් කෘෂිකාර්මික රටක් බැවින් මේ වන විට, රට  ඉහල මට්ටමක තිබිය යුතුයි. එසේ නොවීම තුල පෙන්නුම් කරන්නේ, කාෂිකර්මාන්තය තුලින් පමණක් රට ගොඩගත නොහැකි බවයි. නමුත් පවතිනා තත්වය යටතේ අප අනාරක්ෂිත වී තිබෙන්නේ, මූලික ආහාර වේල (Staple food) හෝ ලබාගත නොහැකි තරමයටයි.  හේතුව ආහාර සුරක්ෂිත බව ( Food in Security) නොමැති කමයි. මේ නිසා මිනිසුන් ප්‍රථමයෙන් ආහාර පිළිබඳව කතාකිරීමට පටන්ගෙන තිබේ. එනිසා කෘෂිකර්මාන්තය නම් වන මාතෘකාව ඉදිරියට පැමිණ තිබේ. එයට තවත් හේතුවක් වී තිබෙන්නේ, ගොවියාට අවශ්‍ය මූලික ආම්පන්න හෙවත් අමුද්‍රව්‍ය (Inputs) නොමැතිවීමයි. ඒ නිසා කෑමට දෙයක් අහිමිවීමේ තත්වය යටතේ කෘෂිකර්මාන්තයට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ලෝකයේ ආහාර සංචිත අඩුවීම නිසා, ආහාර ආනයනය ද සීමා වී තිබෙනවා.

                                        ආහාර නිෂ්පාදනය ක්ෂණයෙන් කළ නොහැකිබව බොහෝ දෙනෙක් තේරුම් නොගන්නා කරු‍ණක්. එය බෝනික්කන් නිෂ්පානය කරන ආකාරයෙන් හෝ කර්මාන්තශාලාවක ඇඳුම් මසන ආකාරයට කළ නොහැකියි. කෘෂිකර්මාන්තය රඳාපවතින්නේ කාළගුණය (wether) මතයි. බෝග හැදෙන කාළය, බීජ සිටුවිය යුතු කාළය, උෂ්ණත්වය, සීතල, ජල අවශ්‍යතා, පළිබෝධකයින්ගේ ප්‍රමාණ අඩු වැඩි වීම්, පරාගනයට අවශ්‍ය කෘමීන්ගේ පැවැත්ම, යනාදිය ගැන සැළකිළිමත්විය යුතුයි. මේ සියළු කාරණා පිළිබඳව නිසි සැළැස්මක් නොමැතිව ගොවීන් දැනුවත්කිරීම කොතරම් ප්‍රායෝගිකදැයි ගැටළුවකි. නිවසක් අවට සිටුවන මඤ්ඤොක්කා හෝ බතල වැනි දෙයකින් අස්වැන්න ලබාගැනීමට කාළයක් ගතවනවා. මෙයින් සහනයක් ලබාගත්ත ද ගැටළුවට පිළිතුරක් වන්නේ නැහැ.

                                        අප විසින් කරගත් මූලිකම වරද වන්නේ, ප්‍රධාන ආහාරය (stable food) ක් කාබණික (Organic) කිරීමයි. කාබනික වගාව ලෝකය පුරාම ඇති නමුත්, එය ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ, අතුරු ආහාර (supplementary) භෝග සඳහායි. මිනිසුන්ට කැලරි ලබාදෙන ප්‍රධානතම ආහාර වන වී, තිරිඟු, බඩඉරිඟු, සෝගම් වැනි දෑ වලට 100%  කාබණික කිරීමට කිසිවෙකුත් උත්සාහ නොකරයි. ලෝකය පුරාම ගත්විට මේ දෑ සඳහා කාබණික ගොවිතැන උපයෝගී කරගෙන ඇත්තේ 5% – 10% අතර ප්‍රමාණයකි. එළවළු හා පලතුරු වගාවන් සඳහා වැඩිපුර කාබණික ගොවිතැන භාවිතා කෙරේ. ශ්‍රී ලංකාවේ, කිසිදු පර්යේෂණයකින්  හෝ අත්හදා බැලිමකින් තොරව වී වගාව 100% කාබණික ගොවිතැනෙන් කිරීමට ගත් තීරණය පුදුම සහගතය. එහිදී සිතට නැගෙන කරුණු දෙකක් ඇත. ඒවානම්, එවැනි තීරණයක් ගැනීමට වන අදහස කොහෙන් ගත්තාද? සහ එවැනි මෝඩ තීන්දුවක් ක්‍රියාත්මක කරන විට, කෘෂිකර්මාන්තය පිළිබඳව දැනුමක් ඇති විශේෂඥයින් හඬ නැගුවේ නැත්තේ ඇයි? යන්නයි. මොවුන් මෙවැනි මෝඩ  තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට පෙර සිටම දැඩි විරෝධයක් නැගිය යුතුව තිබුණා. භූතාන රජය 2030 දී සම්පූර්ණයෙන් කාබණික වගාව කරන බවට ගත් ක්‍රියාමාර්ග අත්හරිනු ලැබූයේ එයකළ නොහැකි නිසායි. එයට හේතුව වූයේ ලැබෙ අස්වැන්න අඩුවීමයි. මිනිසුන්ට අවශ්‍ය ආහාර මිස එය කාබණික ද? රසායනිකද? යන්න අදාල නොවේ. ජානමය වශයෙන් වෙනස් කරන ලද ආහාර (Genetically modify), විවිධ ප්‍රභේද රසායනික පොහොර වලට අනුගත වන ආකාරයට සාදා තිබේ. එවැන්නකට ක්ණයෙන් කාබණික පොහොර යෙදීම තුලින් අපේක්ෂිත ඵලදාව ලබාගත නොහැකියි. මෙවැන්නක් කිරීමට ආණ්ඩුව සැළසුම් කරන විටම, විශේෂඥයින්, උගතුන් හා බුද්ධිමතුන් විසින් ඒ බව අදාල බලධාරීන්ට  අවබෝධ කරදීම හා දැඩි ලෙස බලපෑම් කිරීම ඔවුන්ගේ කාර්යයි.

                                        වාරි කර්මාන්තය තුලින්, අක්කර ලක්ෂයකට ජලය සම්පාදනය කරනවායයි උපකල්පනය කරමු. ජලය හිඟ කාළයේ දී සිදුවිය යුත්තේ, අක්කර ලක්ෂයම වගා නොකර, 25,000ක් පමණ වගා කිරීමෙන් ජල කළමණාකරනය කරගැනීමයි. ඒ ආකාරයට දැනට ඇති තත්වය කළමණාකරනය කරගැනීම සඳහා පිළියමක් රජය සතුව නොමැත. දැනට උත්ගතව ඇති තත්වය හමුවේ, නිෂ්පාදනය අවම වී ඇති මොහොතක, සාගතයක පෙරනිමිති පෙනෙන තත්වයක, රජය සතුව සැළැස්මක් තිබිය යුතුයි. දැනට ගබඩාකර ඇති නිෂ්පාදිත දේවල්  වල හානි අවම කරගැනීම සඳහා සැළසුම් කළ යුත්තේ කෙසේද?, පරිභෝජන රටාව වෙනස් කිරීම සඳහා ජනතාව කෙසේ දැනුවත් කළ යුතුද? තිබෙන ප්‍රමාණය මිනිසුන් සියල්ලට සාධාරන අයුරින් බෙදාහරින ආකාරය ගැන, එනම් ආහාර සුරක්ෂිතතාව හා ආහාර පරිභෝජන රටාව වෙනස් කිරීම ගැන සාකච්ඡාවක් ඇතිවී තිබිය යුතු වනවා. තවමත් එවැන්නක් ගැන අවධානයක් යොමුවී ඇති බවක් පෙනෙන්නට නැහැ. කාබණික ගොවිතැන ගෙන ඒ මේ දී කළ යුතුව තිබුණේ, අතහැර දාන ලද හෝ වගා නොකරන හෝ වගාවෙන් ඉවත්වෙන ලද ඉඩම් තොරාගෙන, සුළු ප්‍රමාණයෙන් වී හා එළවළු, පළතුරු කාබණික පොහොර යොදමින් වගාකර, ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීමයි. මෙවැන්නක් නොකිරීම පිළිබඳව ආණ්ඩුවට කෙලින්ම ඇඟිල්ල දිගු නොකල යුතුයි. මන්ද යත්, රජයක් මගින් මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ ගන්නා විට, කෘෂිකර්මාන්තයට අදාල බළධාරීන්, එහි ඇති අවධානම හා ප්‍රායෝගික නොවන තත්වයන් පිළිබඳව මෙන්ම ලෝකයේ ඒ සම්බනධයෙන් ගත් ක්‍රියා මාර්ග වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව රජය දැනුවත් කළ යුතුව තිබුණා. එය ඔවුන්ගේ වගකීමයි. මේ ආකාරයටම ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයින්, ඇතිවිය හැකි ආර්ථික අවපාතයන් පිළිබඳව රජය දැනුවත් කර එයින් මිදීම සඳහා  උපදෙස් ලබාදිය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි අවධානම් තත්වයන් හා එයින් අත්මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම, සිසුන්ට අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරිම සඳහා වන ඉඩකඩ සළසාදීම සඳහා වන ක්‍රමවේදයන් ගැන අධ්‍යාපන විශේෂඥයින් විසින් රජය දැනුවත් කළ යුතු වනවා.එසේ නොකිරීම තුලින් පෙනීයන්නේ, අප රටෙහි පාලකයින්ට මෙන්ම උගත්, බුද්ධිමත් යයි සළකන අයටත් සැළසුම් නෙමැති බවයි.

                                                කාබණික ගොවිතැන සම්බන්ධයෙන් රජය ගත් තීරණය ඓතිහාසික වැරද්දක්. එය වැරැද්දක් නොවන බවට හා එය ක්‍රියාත්මක කළ හැකි බවට ප්‍රකාශ කළ කෘෂිආර්ථික මහාචාර්යවරුන් සිටීම තවත් වැරැද්දක්. තමන් ඉගෙනගත් විද්‍යාණුකූල දැනුමත් සමග, ඒ දැනුම මත සිටගෙන කථාකිරීම සඳහා කොන්දක් ඔවුනට නොමැතිවීම ප්‍රධාන වශයෙන් මෙයට බලපා තිබෙනවා. තමන්ගේ වෘත්තීය තුල, වෘත්තීය නිපුනත්වය ලබාතිබෙන්නේ රටෙහි ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහායි. තීන්දු තීරණ ගැනීමේ දී දේශපාලන තීන්දු ඉහලට ඉස්මත්වන විට දී ඒ, ඒ, ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ට එහි හරි වැරද්ද රජයට ප්‍රකාශ කිරීමේ හැකියාව තිබිය යුතුයි.

                                            දැනට ඇති වී ඇති තත්වයෙන් ගොඩ ඒම සඳහා, ප්‍රථමයෙන් ආහාර සොයාගැනීමට කටයුතු කළ යුතු වනවා. අල, බතල, මඤ්ඤොක්කා සිටුවීම කළත් එය උත්තරය නොවෙයි. වහ වහා හැකි ඉක්මනින් ප්‍රධාන භෝග වගාව ගොඩගැනීමට ගතයුතු සියළු පියවරවල් ගතයුතු වනවා. එය ඉක්මනිනි කළ නොහැකිනම්, දැනට සුරක්ෂිතව ඇති ආහාර ප්‍රමාණය නිසියාකාරව බෙදාහැරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු අතර විදේශවලින් අවශ්‍ය සහල් ප්‍රමාණය ආනයනය කළ යුතුම වනවා.

                                              ශ්‍රී ලංකාව, තමන් සතුව බොහෝ ස්වභාවික සම්පත් තිබිය දී දරුණු  ආර්ථික පසුබෑමකට ලක්ව තිබෙනවා.  එයට හේතු රාශියක් බලපා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ලොව අනෙක් රටවලට සාපේක්ෂව බොහෝ සම්පත් තිබෙනවා. ඒ අතරට ස්වභාවික සම්පත්, රට මෙන් 150 ගුණයකින් විශාල මුහුදක් තිබෙනවා. එනිසා මත්ස්‍ය සම්පත වැඩි වශයෙන් ලැබෙනවා. නමුත් ඒවා කොතරම් ප්‍රයෝජනයට ගන්නවාද යන්න ගැටළුවක්. මිලියන 21 පමණ සිටින රටෙහි වැඩකළ හැකි තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් මිනිස් ශ්‍රමය තිබෙනවා. නමුත් එහි පුහුණු මිනිස් ශ්‍රමය කොතරම් දුරට තිබේදැයි ගැටළුවක් ඇත. රටතුල ඇති සම්පත් ප්‍රමාණය රටෙහි නිෂ්පාදන ක්‍රියාවලියට යොමුවන ආකාරයට කොතරම් දුරට පෙළගස්වා තිබේදැයි බැලිය යුතු වනවා. මුහුදු සම්පත් ගොඩක් තිබෙනවා. මත්ස්‍ය සම්පත ඇතිවෙන්න තිබෙනවා. නමුත් අපේ මත්ස්‍ය සම්පත ධීවර කර්මාන්තය සමග බද්ධ කර, රටේ ප්‍රෝටීන අවශ්‍යතාව සමග අමුණා, කොතරම් මාළු අල්ලනවාද? බෙදාහරිනවාද? යන්න සොයා බලා තිබෙනවාද?. රටේ අවශ්‍යතාවයට වැඩි කොටස අපනයනය සඳහා කොතරම් ප්‍රමාණයක් යොමුකර තිබෙනවාද? යන්න පිළිබඳව එකිනෙකට යාවුනු වැඩපිළිවෙලක් සෑදී නැහැ. රටෙහි ඇති සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට (Production Process) හෝ නිෂ්පාදනය දියුණු කරගැනීමට හෝ ආදායම (income) වැඩිකරගැනීම සඳහා ඒකාබද්ධ ( Line up)  කර තිබෙනවාද? යන්න පිළීබඳව සැළසුමක් නැහැ.

                                        හොඳ අධ්‍යාපනයක් ලබාදිය හැකි පාසල් 10,000 ක් පමණ රටතුල තිබෙනවා. සාර්ක් කළාපයේ රටවල් දෙස බැලීමේ දී සැළකිය යුතු මට්ටමකින් හොඳ අධ්‍යාපන ක්‍රමයක් අපිට තිබෙනවා. නමුත් ඒ අධ්‍යාපනය ක්‍රමය තුල, අප උගන්වන විෂය ධාරාවන් සියල්ල ඉහතින් කියන ලද සම්පත් ප්‍රයෝජනයට ගෙන අපේ ආර්ථික සැළැස්මත් සමග ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් සාදා තිබේද? යන්න ප්‍රශ්නගත කාරණයක්. සමහර විශ්වවිද්‍යාල තුලින්, උසස්පෙලින් ඉදිරියට යන දරුවන්ට, ඉහතින් කී නිෂ්පාදන ක්‍රියාවලියට හෝ සම්පත් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීමට දැනුම, කුසළතා ආකල්ප සැදී තිබේද නැද්ද? යන්න ප්‍රශ්නයකි. පුහුණු මිනිස් ශ්‍රමයට අදාලව සම්පත් ශාක්සාත් කරගෙන තිබේදැයි ප්‍රශ්නයක් පැන නැගී තිබේ. ස්වභාවිකව අපට ලැබෙන ජල සම්පත කළමනාකරණය කිරීම පිළිබඳව අපට ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී  ලාංකිකයින් ලෙස අපට දින 365න් වැඩි කාළයක් වර්ෂා පතනය ලැබුණත්, එය නිසි ලෙස කළමණාකරනය කර නැහැ. ලෝකයේ බොහෝ රටවල් හිරු එළිය ප්‍රයෝජනයට ගෙන බල ශක්තිය ප්‍රයෝජනයට ගත්තත් අපි කෙතරම් දුරට එය ප්‍රයෝජනයට ගෙන තිබෙනවාද? හිරු එළියෙන් විදුලි නිෂ්පාදනය (solar power) කරන්නේ නම් එය ජාතික විදුලිබල පද්ධතියට එක්කකළ හැකියි. දින 365 පුරාවට හිරු එළිය ශ්‍රී ලංකාවට ලැබෙන නිසා විදුලි බල අතිරික්තයත් ඇති කළ හැකියි. මෙයින් අදහස් කරන්නේ සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමයි. ඒ සඳහා දැක්මවල් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? යන්න ගැටළුවක්.

                                        ලෝකයේ වැඩිපුරම ඉල්ලුමක තිබෙන්නේ පුහුණු ශ්‍රමිකයින්ටයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය එයට උදාහරණයකි. පුහුණු වෛද්‍යවරුන්, පුහුණු හෙදියන්, පුහුණූ තාක්ෂණ නිළධාරීන් (IT), පරිඝණක ඉංජිනේරුවන් (computer engineers), පරිඝණක ක්‍රියාකාරීන් (computer operaters) පිළිබඳව විශාල ඉල්ලුමක් ලෝකය පුරාම තිබේ. ඉංදියාවේ  හයිද්‍රාබාද් ප්‍රාන්තයේ වැසියන් වැඩි වශයෙන් රැකියාව කරන්නේ ඇමරිකාවේ. සමහරුන් එහි සිට ඇමරිකාවට සේවය කරනවා. ශ්‍රී ලංකාවට එය ලබාගත හැකියි. නමුත් ඒ සඳහා පුහුණු අය කෙතරම් සිටියත්, ඒ සඳහා වන යාන්ත්‍රණය ශ්‍රී ලංකාවෙන් ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. අපේ රටතුල දී, සම්පත් නිසි ලෙස, ලෝකයේ ස්වභාවය හා අවශ්‍යතාවය (opportunities) ඒකරේඛීය කිරීම කිසිදාක සිදු නොකරයි. එවන් ගැටළුවක් අපේ රටේ තිබේ. කෘෂිකර්ම උපාධියක් ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවන අය බෝහෝ දෙනෙක් බැංකු වල රැකියාවල නියුක්තව සිටිනවා. එයින් හැඟෙනුයේ ඔවුන් ඉගෙනගත් දේට නිසි රැකියාවක් ශ්‍රී ලංකාව තුල නොමැති බවයි. එමෙන්ම කෘෂිකර්මාන්තය පිළිබඳව අවුරුදු හතරක් විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලබා, උපාධිය රැගෙන එන අය පිළිබඳ, රජය නිසි ලෙස අවධානය යොමුකර නැති බව මෙයින් පැහැදිලි වනවා. එයින් සිදුවන්නේ පුහුණු ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකාව තුල නිසි අවස්ථාවක් නොමැති බවයි. එයින් හැඟෙනුයේ සෑම තැනකම නිසි සැළසුමක් නොමැති වීම තුල, රටක් ලෙස ශ්‍රී ලංකාවට නැගීසීටීමට බාධකයන් ඇති බවයි. එයයි ශ්‍රී ලංකාවේ වත්මන් තත්වයට හේතු සාධක වී තිබෙන්නේ. සම්පත් කළමණාකරනය, සම්පත් නිසි තැනට යොමු කිරීම, සම්පත් නිවරදිව අළෙවි කිරීම සිදුවී නැහැ. එයයි මූලික ප්‍රශ්නය. යම්කිසිවෙක් ප්‍රකාශ කරන්නේනම්, අපට සම්පත් විශාල වශයෙන් ඇති බව, එයට පිළිතුර වන්නේ, ලෝකයේ හැමවිටම මෙම සම්පත් දැකගත හැකියි. නමුත් ඔවුන් එම සම්පත්, සම්පතක් හැටියට පාවිච්චි කළත් (Use) ශ්‍රී ලංකාව එය සම්පතක් ලෙස පාවිච්චි කරන්නේ නැත. එමෙන්ම අපගේ ආකල්පත් මෙයට බද්ධ වනවා. දෙමාපියන්තුල පවතින්නේ, තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනෙ‍්රුවරයෙක් කිරීමේ අභිලාශයයයි. එය දෙමාපියන්ගේ ආකල්පයයි. නමුත් දරුවන්ගේ හැකියාවන් මත, ඔවුනගේ ඉදිරි ගමන සැළසුම් කිරීමට දෙමාපියන් මැළිකමක් දක්වනවා. ඇමරිකාව වැනි රටව වැඩිම වේතනයක් ගනු ලබන්නේ, පෙදරේරු (mason) , තාක්ෂණික ශිල්පි (Technician) , හෝ පයිප්ප බට ශිල්පියෙකුටයි(plumber) . සමහර අවස්ථාවල පයිප් බටයක් නිසි ලෙස සැකසීමේ දී, බටය සහ මෙවලම් කොටසට ඩොලර් 20 වන විටදී, කුලිය ලෙස ඩොලර් 125ක්  ගෙවිය යුතු වනවා. මෙවැනි ශිලපීය ක්‍රම ඉගෙනගැනීමට බොහෝදෙනා ඉදිරිපත් නොවන්නේ, එය සමාජය තුල ඉතා පහත් කටයුත්තක් ලෙස දකින නිසා සහ තමන් තුල ඇති මාන්නය නිසාය. නමුත් එයින් ලබාගත හැකි ආදායම පිළීබඳව නිසි අවබෝධයක් ලබාගන්නා අයෙකුට ඉහල ආදායමක් උපයාගැනීමේ හැකියාව ඇත. මේ සඳහා මගපෙන්වීම රජය සහ අධ්‍යාපන ආයතන මගින් සැළසුම් සහගතව කළ යුතු වනවා. මේ සඳහා තරුණ තරුණියන් යොමුකිරීම පාසලතුලින් කල යුතු වනවා. ආකල්පමය වෙනසක් ඇති කර, අපි වැඩ කලයුතුයි, අපි දක්ෂයින්, අපිට යමක් කළ හැකි දක්ෂයින බව හඳුනාගත යුතුයි. පාසල් ළමයින්ට දඬුවම්දීමට වඩා වැරැද්ද තුලින්  පාඩමක් උගන්වා යාමයි සිදුකළ යුත්තේ. පාසල් අධ්‍යාපනය තුල ගණිතයට අඩු ලකුණු ගන්නා කෙනෙකු සංගීතයට අති දක්ෂයෙකු විය හැකියි. එම දක්ෂතා හඳුනාගත් ක්‍රමවේදයන් සැකසිය යුතුයි.

                                        මේ ආකාරයට ගත්විට මුළු රටෙහිම පුද්ගලයින් ආකල්පමය වශයෙන් අති දුප්පත්. අපිට ඇති ගැටළුව වන්නේ, අපට පරාජය පිළිගැනීම, සමාව ඉල්ලීම, නිහතමානිකම වැනි ආකල්පවලින් මිදීමේ හැකියාව ශ්‍රී ලාංකිකයින් වශයෙන් නොහැකි කමයි. එයත්, ආකල්පමය වශයෙන් අපට ඉදිරියට යාමට ඇති බාධකයකි. මෙයට හේතුව වන්නේ, අප සිතනවා අපි මාර ජාතියක්, ලෝකයෙන් උතුම්ම රට, මාර සමිපත් ගොඩක් තියෙනවා, මේ පින්බිමේ උපදින්නට වාසනා කරන්න ඕන යයි අපි තුල අභිමානයක්, මානයක් ඇතිවී තිබෙනවා. හැබැයි මෙය කියන්නේ අපිමයි. මෙය හදාගෙන තියෙන්නේ අපිමයි. මේ වදන් හා වැකි දේශපාලනඥයින් මහජනතාවගේ සිත් තුලට ඇතුලත් කරනවා. හැබැයි, ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නේ හෝ ජීවත් වන්නේ විදෙස් රටවලයි. අපි ආකල්පමය වශයෙන් මේ තරම් හොඳයයි ප්‍රකාශ කරන රටේ, මහජනතාවගේ ඔළුවට එක් දෙයක් ඇතුලත් කර දේශපාලකයින් හා උගතුන්, ඔවුන්ගේ දරුවන්ට අසීමිත සැප සම්පත් භුක්තිවිඳින ආකාරයෙන් විදෙස් රටවලට යොමුකර තිබෙනවා. රටක් ලෙස හා පුරවැසියන් ලෙස මෙම අදහස් හා දේශපාලකයින් කියන වහසි බස් වලින් මිදී, අපි අපි හැටියට ඉදිරියට යායුතුයි. ශ්‍රී ලංකාව පමණක් නොව, තවත් ලෝකයේ හොඳ රටවල් තිබෙන බව මෙන්ම, අපිත් හොඳයි, ඔවුනුත් හොඳයි යන සිතුවිල්ල ඇතිවිය යුතුයි. අපි හොඳවෙන තරමට අපිට හොඳයි. තනතුරු හා තානාන්තර සමග අනවශ්‍ය ලොකුකම්, අනවශ්‍ය රඟපෑම් වෙනස්විය යුතුයි. තරුණ ජනතාව තුල මෙය එතරම් දක්නට නොලැබේ. හේතුව ඔවුන් ලෝකය හොඳින් අවබෝධකරගෙන සිටීමයි.

                                        සම්පත් යනු ඉහත කී සියල්ල එකතුවී සැදුනු දෙයක්. පවතින අර්බූධ වලට හේතුවී තිබෙන්නේ, මෙම කාරණාවන්ය. සමහර හාමුදුරුවරු විදේස් රටවලට වැඩම කර ශ්‍රී ලාංකිකයින්ට ධර්ම දේශනා කරන විට පවසන්නේ, ලංකාව උතුම්ම රටක් ලෙසයි. එවන් පින් බිමක් නම්, එවන් සැප සම්පත් තිබේනම්, ශ්‍රී ලාංකිකයින් විදේශ ගතවී රැකියා කිරීමට අවශ්‍ය නැහැ. මිලියන විස්සක පමණ ජනගහනයකි තිබෙන ශ්‍රී ලංකාව ගොඩගැනීම අපහසු නැහැ. සෑම දෙනාම ආකල්පමය වශයෙන්, මේ මගේ රට, මම මගේ රැකියාව නිවැරදිව කළ යුතුයි, මගේ යුතුකම් නිවැරදිව කළයුතු යයි සිතා කටයුතු කරන්නේ නම් රට ගොඩනැගීම කළ හැකියි. තමන් තමන්ට අවංක විය යුතුයි. තමන්ගේ අවංකකම ලෝකයේ පිළිගැනීමකට ලක්විය යුතුයි. ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානත ගැටළුවක් වන්නේ, අවංකකම පිළිනොගැනීමයි. අවංකව කියන, කරන දේ දකින අය එය හෑල්ලුවට, විහිළුවට ලක්කරනවා. උදාහරණයක් ලෙස, පාසල් සිසුවෙක් හෝ සිසුවියක්, තම ගුරුවරයා හමුවී, තමන් හා ළමයෙක් අතර ආදර සම්බන්ධතාවයක් තිබෙන බව හා එයින් ගැටළු ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළේ යයි සිතමු. එයින් පසුව සිදුවන්නේ කුමක්ද? හවස් වනවිට මුළු ගුරුමංඩලයම එය දැන ගන්නවා. පසුදා වනවිට මුළු ගමම දැනගන්නවා. එය එසේ නොවිය යුතුයි. ළමයාගේ අවංකවීම තුල ඔහුට හෝ ඇයට පාරේ යාමට නොහැකි තත්වයක් ඇති වෙනවා. මෙවැනි ක්‍රමයි වෙනස් විය යුත්තේ. එනිසයි, ආකල්පමය වශයෙන් හා ආචාර ධර්ම (ethics) සෑදිය යුතුයි. ගුරුවරයා තමන්ට සිසුන් විස්වාශයෙන් ප්‍රකාශ කරන දේ පිළිබඳව විස්වාශය තහවුරු කරගනිමින්, ළමයා එයින් මුදවාගැනීමට කටයුතු කළ යුතුයි. ප්‍රශ්නයට උත්තර සෙවීමට තනිවම බැරිනම්, ළමයා දැනුවත් කර වෙනත් අයෙක් හවුල්කරගත යුතුයි. මේ ආකාරයෙන් විස්වාශය නැතිවන විට, අවංකකම දුරස්වන විට රටක් දියුණුව කරා ගෙන යාමට අපහසුයි. කුමණ සම්පත් තිබුණත්, සම්පත් කළමණාකරනය කරගැනීමට නොහැකි වෙනවා. මෙයයි රටක දියුණුවක් සඳහා වෙනස්විය යුත්තේ.

Saman Bandara,PhD (NRE).  MBA (Fin).
Associate Professor of Agribusiness and Economics
University of Mount Olive,
North Carolina, USA
Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles