Home Discussion මහින්දාගමනය ඉන්දීය ආක්‍රමණයක්ද?

මහින්දාගමනය ඉන්දීය ආක්‍රමණයක්ද?

0

මේ ජූනි මාසයයි. බොදු මාස ක්‍රමය අනුව පොසොන් මාසයයි. කාළයක් තිස්සේ ලැබුණ අදහස් මෙන්ම, ව්විධ කතිකාවන් ඔස්සේ සිතූ විට නැගුන අදහස් ක්‍රමාණුකූලව ගලපා බැලීමට සිත්විය. එනිසාම මෙම ලිපිය ලියන්නට අදහසක් ඇති විය. මෙමගින් කිසිවෙක්ට පහරදීමක් හෝ පරිභව කිරීමක අදහසක් නැති අතර අතීතයට ආපසු හැරී බැලීමේ දී, දත්ත එකිනෙක ගැලපීමේ දී දක්නය ලැබුණ දේ සඳහන් කරන්නට කැමැත්තෙමි.

                              ශ්‍රී ලාංකික බෞද්ධයින්ට වැදගත් වන දින කිහිපයක් තිබෙනවා. ඒ ප්‍රධාන වශයෙන්ම පසලොස්වක පොහෝ දිනයන්ය. එයිනුත් වඩාත් වැදගත් වන්නේ, වෙසක් පොහොය සහ පොසොන් පොහෙය දිනයන්ය. වෙසක් පොහොය සමස්ථ ලෝක වාසී බෞද්ධ ජනතාවම සමරනු ලබන්නේ, සිදුහත් කුමරුගේ උපත, සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය සිහිකරම්නි. වෙසක් මේ වෙනුවෙන් සෑම බෞද්ධ සිද්ධස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පවත්වනු ලබන අතර බොහෝ ජනයා දන්සල් පැවැත්වීම ද සිදු කරනු ලබනවා. එමෙන්ම මෙම දිනයේදී විජය කුමරුන් ඇතුලු පරිවාර පිරිස ලංකාවට පැමිණි දිනය ලෙසින් ද සමහරුන් සිහිපත් කරනවා.

                              පොසොන් පොහොය දිනය වැදගත් වන්නේ ශ්‍රී ලාංකිකයින්ට පමණි. ඒ අනුබුදු මිහඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම සිහිකිරීමක් ලෙසිනි. මේ පිළිබඳව පුරාවෘතයේ විවිධ අයුරින් හඳුන්වා තිබෙනවා. මෙම ලිපියෙන් මා සූදානම් වන්නේ, ඒවා යම්තාක් දුරට ශ්‍රී ලාංකික අපිට බලපෑම් කළ අයුරු විග්‍රහයක් කිරීමටයි.

                              මිහඳු හිමියන් ලංකාවට වැඩම කරවන විට  ශ්‍රී ලංකාවේ සිටියේ අබෞද්ධයින්ද? අපිට ශිෂ්ඨාචාරයක් තිබුනේ නැද්ද? මේ ගැටළුව ඔබට ඇතිවුනේ නැතිද?

                              මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ ක්‍රි.පූ. 306 – 307 සියවසේ බව ඉතිහාසයේ සඳහන් වනවා. මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කළ දිනයේ ශ්‍රී ලංකාවෙ රජකර වූයේ, දේවානමිපියතිස්ස රජතුමා ය. ඔහු, මුඨසීව රජුගේ දෙවන පුත්‍රයාය. මුඨසිව රජු, පණ්ඩුකාභය රජතුමාගේ පුත්‍රයාය. වෙනත් ආකාරයකට සඳහනක් කරන්නේ නම්, දේවානමිපියතිස්ස රජු ගේ සීයා පණ්ඩුකාභය රජු ය. පණ්ඩුකාභය රජුගේ මුණුපුරා දේවානම්පියතිස්ස රජතුමාය.

                              මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, යන උපසපන් රහතුන්වහන්සේලා  පස් නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ ත්, අනාගාමී බව ලැබ සිටි  භණ්ඩුක උපාසකතුමාත් මිහින්තලාවට පැමිණියේ, බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.

                              මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යාගේ පුතණුවන්  වූ අතර සුමන සාමණේරයන් වහන්සේ ඔහුගේ නැගැණිය වූ සංඝමිත්තාවන්ගේ‍ පුත්‍රයා  විය. එසේම භණ්ඩුක උපාසක යනු, මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වන බවද  සඳහන් වේ. ඒ අනුව බලන විට එ දවස ඉංදීය අධිරාජයාගේ නෑදෑ පරපුරක් සිරිලකට සපැමිණ තිබේ.

මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගිය බවත්, වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන්ගත් බවත් සඳහන් වේ. ඉන් පසුව භික්ෂුනි සාසනය ඇරඹීමට ද උන්වහන්සේ විසින් විශාල මෙහෙයක් ඉටු කර ඇති බව ඉතිහාසයේ පැවසේ. ඒ සඳහා උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ද උපකාර කර තිබේ. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කර, ශ්‍රී ලංකාවේම පදිංචි විය. උන් වහන්සේ අපවත්වී වදාලේ ක්‍රි.පූ. 205 වැන්නේ මිහින්තලා වේ දී බව සදහන් වේ.         මීට අමතරව බොහෝ විස්තර වල සඳහන් වන්නේ, මිහිඳු හිමියන්ගේ ලංකාගමනය තුලින් රටෙහි විශාල පෙරලියක් සිදුවූ බවයි. එයින් විස්තර කරනුයේ, සමාජ, සංස්කෘතික හා කළා නිර්මාණ බිහිවූ බවයි.

                              ඒ අනුව බලන කළ  ඊට පෙර අප රටෙහි සමාජ, සංස්කෘතික  හා කළා නිර්මාණ නොතිබුනේ යි කාහට ප්‍රකාශ කළ හැකිද? මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පසු එතෙක් අප රටෙහි පැවති සියළු සංස්කෘතීන් යටපත් වුනේදැයි ප්‍රශ්නයක් පැන නගී. දේවානම්පියතිස්ස රජුගේ පෙර නාමයෙ වූයේ, තිස්ස යන නාමයයි. මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසුව,  අශෝක අධිරාජයාගේ වංශය වූ, මෞර්ය වංශික නාමය ගෙන තිස්ස රජු මෞර්ය සම්ප්‍රදායට අනුගතව දෙවියන්ට ප්‍රිය යන අර්ධයෙන් යුත් ‘දේවානම්පිය’ නැමැති කොටස තම නමට එක්කර දේවානම්පිය තිස්ස රජ අලංකාර මෞලි සංගල්‍යයක් පවත්වා තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය. මෙමගින් සිදුවූයේ, ශ්‍රී ලාංකික සම්ප්‍රධාය සහලින්ම ඉංදීය සම්ප්‍රධායට නතුවීම නොවේද? බුද්ධ ධර්මය පතුරවිමන් මුළු මහත් ශ්‍රී ලංකාවම අශෝක අධිරාජයාගේ අනසකට පතුරුවා ගැනීම සඳහා අශෝක අධිරජ්‍යා සිය පවුලේ සමීපමයින් ශ්‍රී ලංකාවට එවූ බවට සැකයක් පැන නොනගින්නේද?. එයට තවත් හේතුවක් වන්නේ, ඉංදියාවේ පැවැත් වු තුන්වන ධර්ම සංඝායනාවෙන් පසු, ධර්මාශෝක රජුගේ පූර්ණ උපදෙස් මත, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සම්බුද්ද ධර්මය මුළු මහත් ලෝකයටම බෙදාදීමට තීරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරණය භාර වූයේ, මිහිඳු මාහිමියන්ටය. උන් වහන්සේ ශ්‍රී ලංකාව පිළිබඳව විපරම් කිරීමේ දී, එවනට රජකළ මුඨසිව රජු මහළු බැවින් ගමන ප්‍රමාද කරන්නට විය. ධර්මාශෝක රජුගේ ගජමිතුරු  තිස්ස රජු, සිහසුනට පත්වූ පසුයි මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමකරවූයේ. එයින්  පැහැදිලි වන්නේ, අශෝක රජුට, තිස්ස රජු සමග ඇති හිතවත්කම උපයෝගී කරගෙන තම නෑදෑ වරිගයේම පිරිසක් ලංකාවට එවූ බව හා එමගින් ඉතා පහසුවෙන් මිහිඳු මාහිමියන් මගින් බුද්ධ ධර්මය දේශනා කොට තමන්ට අවනත රජ කෙනෙක් බවට තිස්ස රජු පත්කළ බව නොවේද?.

                              මහින්දාගමනයට පෙර අප රටේ සදාචාරාත්මක මිනිසුන් ජීවත්වුනේ නැද්ද?  අප රටෙහි ගෘහ නිර්මාණ ශිල්පය නොතිබුන හෙයින් ගස්, ගල් යට ජීවත් වුනාද? කෘෂිකාර්මික දියුණුවක් නොතිබූ හෙයින් අප අනුභව කළේ කුමක්ද? අපිට ඉංදියාවත් සමග ගණුදෙනු කිරීමට තරම් තිබූ හැකියාව අවතක්සේරු කිරීමක් සිදුකළේ ඇයිද? යන්න ගැටළුවක් නොවේද? මිහිඳු හිමියන් දෙසූ දහම අවබෝධ කරගැනීමට තරම් ඥාන ශක්තියක් තිබූ තිස්ස රජු ඇතුළු පිරිස අවතක්සේරු කරන්නට අපගේ ඉතිහාසඥයින් කටයුතු කළේ මන්දැයි ප්‍රශ්නයක් ඇති නොවේද?

                              ගස් ගල් පර්වත අව් වැසි සුළඟාදී ස්වභාවික වස්තු මෙන්ම යක්ෂ හා නාග වන්දනාව, මළවුන් ඇදහීම, දෙවියන් ඇදහීම ආදී වත්පිළිවෙත්හි සිටි ජනතාව බුදු දහම පිළිගැනීමත් සමග ඉන් මිදුන බවද දක්වා තිබේ. මිහිදු මාහිමියන්ගේ ලංකාගමනයෙන් පසුව ස්ථූප හා ආරාම ඇතිවූ බව දක්වා ඇත. ගලින් පිළිම නෙලූ බව ද සහන් වේ. ඒමෙන්ම සංඝමිත්තා තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධිය වැඩමකරවන ලදි. ඒයින් පසුව සිදුවූයේ ගස් ගල් වලට වැදුම් පිදුම් කළ ජනතාව ස්ථූප වලට, ගලින් නිමකරන ලද පිළිම වලට, විවිධ ගස් වලට කළ වැදීම වෙනුවට ඇසතු වෘක්ෂ (බෝ ගස්) වලට වන්දනාමාන, පුදසත්කාර කිරීම හා බාරහාරවීම නොවේද?. තිබුණු සම්ප්‍රධායයන් වලට සුළු වෙනස්කමක් කර,  නව අර්ථකතනයක් ලබාදීම සිදුකර ඇත. මෙයින් පෙනී යන්නේ, ශ්‍රී ලාංකික ක්‍රම, ඉංදීය ක්‍රම බවට පරිවර්,නය වීම නොවේද?. උදාහරණයක් ලෙස දැක්වුවහොත්, නිකම්ම තිබුණ බනිස් ගෙඩියක් රසවත් කර පෙනුම වෙනස් කර බර්ගර් හෝ සබ්මැරින යක් බවට පත් කර ලබාදීම හා සමාන නොවේද?. වර්ථමානයේ දී‍් එදා සිටි ජනතාව සිදුකළ ඇදහිලි හා වත්පිළිවෙත් වලින් ඈත් ව සිටීද? ඉංදීය සම්‍ප්‍රධායන්ට අනුව දෙවියන් ඇදහීම අදටත් සිදු නොවන්නේද? බෞද්ධ විහාරස්ථාන වල දෙවියන් සදහා වෙන්කළ ස්ථාන කොතරම් තිබේද? මහනුවර ඇසළ පෙරහැරේ පවා නොපෙනෙන දෙවියන් සදහා විශේෂ ස්ථානයක් ලබා දී නැතිද?. එදා මහින්දාගමනෙයන් ඇතිවුනා යයි කියනා සමාජ පුනරදය අද කොහිද?. බුදුරජානන්වහන්සේ තෙවන වර වැඩම කරන ලද කැළණි විහාර බිමේ අතීතයේ පටන් විභීෂණ නම් වන දෙවියන්ට ම වෙන් වූ ස්ථානයක් ඇත්තේ ඇයිදැයි සිතා බලන්න. සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමකරවන ලද ජය ශ්‍රී මහා බෝධිය අසලදීත් භාරහාර වීමේ දී, කොතරම් ප්‍රමාණයක් නොපෙනෙන දෙවියන් සිහිපත් කරනවාද?. බුදුරජානන් වහන්සේ දේශණාකොට වදාළේ, දෙවියන් යැදීම නොව දෙවියන්ට පිං දීම නොවේද?

දේවානම් පියතිස්ස රජුගේ පියා ගැන සෙවීමේ දී, මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජඋත්තිය රජමහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.

                              මුටසීව රජු යුද්ධ කෝලාහල කිසිවක් නැතිව වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි. එම උයන සදහා භූමිය වෙන් කරන දිනයේ අකල් මහා වැස්සක් ඇති වූ නිසා මහාමේඝවන හෙවත් මහමෙව්නා යන නාමය යෙදුණු බව ඉතිහාසයේ සඳහන් වේ.

                              දේවානම්පියතිස්ස රජු අශෝක අධිරාජ්‍යයාට කොතරම් නැඹුරුවූයේද යන්න පැහැදිලි වන්නේ, පෙර ලක්‌දිව රාජාභිෂේක උත්සව ඉතා චාම් සරල ක්‍රමයකට පැවැත්වූ නමුත්, තිස්ස රජු, අශෝක රජුගේ  මෞර්ය සම්ප්‍රදායට අනුගතව දෙවියන්ට ප්‍රිය යන අර්ධයෙන් යුත් ‘දේවානම්පිය’ නැමැති කොටස තම නමට එක්කර දේවානම්පිය තිස්ස රජ අලංකාර මෞලි මංගල්‍යයක් පවත්වා තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය.

තමන්ට විෂය වූ ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරවීම අශෝක අධිරාජයාගේ පරම අභිලාෂය විය.මෙමගින් ඉංදීය අධිරාජ්‍ය්‍යට එහා ගිය සමස්ථ ලෝකයේ බොහෝ රටවල් බෞද්ධාගමට හරවා ගැනීම මගින්, සටන් කර හෙම්බත්ව සිටි අධිරාජ්‍යයා, තමන්ගේ අනුගාමිකයින් බවට හරවා ගැනීමට සමත්වී ඇත. යුද්ධ නොකර බොහෝ රටවල් ආගම හරහා තමන් සතුකරගත්තා යයි නොසිතිය හැක්කේ කාටද?. අශෝක අධිරාජ්‍යයාගේ අණසක පවතින අධිරාජ්‍යයකට ශ්‍රී ලංකාව යටත්වූවා නොවේද?

                              මේ ආකාරයට බලන කළ මිහිඳ මාහිමියන්  ලංකාවට වැඩම කර ඇත්තේ අශෝක අධිරාජ්‍යාගේ වුවමනාවට වන අතර, ඔහු විසින් ලොව පුරා බුදු දහම පතුරවා, ඒ සමග බුදු දහම වැළඳගත් ජනතාවක් සහිත රටක් බවට පත් කර එය අශෝක අධිරාජ්‍යාගේ අණසකට යටත් කරගත් බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාව ලෙහෙසියෙන් යටත් කරගැනීමට නොහැකි බැවින් හා උගත් ජනතාවක් සිටින බැවින්, අශෝක රජු තම පූර්න බලය යොදා නෑදෑ පරපුරක් ශ්‍රී ලංකාවට එවා බුදු දහම පැතිරවීම සිදු කරන ලදි. එපමණක් ද නොව තිස්ස රජු මෞර්ය සම්ප්‍රධායට අනුකූලව දෙවන වතාවට රාජාශිශේක කර, ඉංදීය ක්‍රමයට රට පාලනය කිරීම ද ආරම්භ කරන ලදි.

                               තිස්ස රජුගේ සීයා වූ පණ්ඩුකාභය රජු විසින් ඉතා දුෂ්කරව සිය අතට පාලන බලය ලබාගැනීමෙන් පසුව ක්‍රමවත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි. පණ්ඩුකාභය රජුගේ වසර 70 වක් වූ රාජ සමයේ දී, රටෙහි පාලනය ඉතා සංවිධානාත්මක අයුරින් සිදුකිරීම,  නගර පාලනය කිරීම සඳහා ‍්නගර ගුත්තික‍ ‍්‍ නමින් තනතුරක් ඇති කිරිම, අභය වැව, ගාමිණී වැව, ජය වැව නමින් වැව් 03ක් ඉදිකිරීම. අනුරාධ ග්‍රාමය සැලසුම් සහගත නගරයක් බවට පත්කිරීම, නගරයේ සොහොන් බිමක් හා ආරෝග්‍යශාලාවක්ද ඉදිකරනු ලැබීය. සොහොනේ කටයුතු සදහා සොහොන් පල්ලන් සේම නගරය පිරිසිදු කරලීම සදහා නගර ශෝධකයන් පත්කරලීමටද පණ්ඩුකාභය රජු පියවර ගත්තේය. අනුරාධපුර නගරයේ ජනයාගේ ජල පරිභෝජනය උදෙසා අභය වැව හෙවත් බසවක්කුලම වැව ඉදිකිරීමත් පණ්ඩුකාභය රජතුමා අතින් සිදුවූ වැදගත් කාර්‍යයකි.  මෙතුමා දඩයම් කිරීම හා වී ගොවිතැන දියුණු කිරීමටද කටයුතු කර ඇත. පණ්ඩුකාභය රජු සිය දසවෙනි රාජ්‍ය වර්ෂයේදී මුළු දිවයිනේම ග්‍රාම සීමා නිළ වශයෙන් ලකුණු කළ බව මහාවංශය සදහන් කරයි. මෙමගින් පැහැදිලි වන කරුණ වන්නේ මුළු දිවයිනම එතුමාට යටත්ව පැවැති බවයි. මෙරට ප්‍රථම වරට සංවිධානාත්මක පාලනයක් ඇතිකළ රජු පණ්ඩුකාභය රජු වේ.

                              මෙවන් ඉතිහාසයක් හිමි අප රට මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසු ස්වයංපෝෂිත වූවා යයි සළකන්නේ කෙසේද?  එසේ සළකන විට ඊට පෙර පැවති සියළු සම්ප්‍රධායන් හා සංස්කෘතික අංග වලට කුමක් සිදුවූයේද?. මිහිඳු හිමියන්ගේ වැඩම වීමෙන් පසුව ඉංදීය බොහෝ පිරිස් ලංකාවට පැමිණීම සිදුව ඇත. ඔවුන් හරහා ශ්‍රී ලාංකික නිර්මාණ අතරට ඉංදීය ක්‍රම ඇතුලත්වූයේ ඒ නිසාය. ඉංදීය මෞර්ය ශිස්ටාචාරය ශ්‍රී ලංකාව තුල ඇතිකරන්නට සමත්විය. එමගින්, ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකරුමාන්තය, අධ්‍යාපන ක්‍රමය ලංකවේ එතෙක් පැවති හෙළ ශිස්ටාචාර ක්‍රමය අභිබවමින් ව්‍යාප්ත වන්නට විය. එමගින්,  ඉංදීය අධිරාජ්‍යයට යටත්වූ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවක් බිහිවුණි.

                              යමෙකුට එය එසේ නොවේ යයි තර්ක කළ හැක. නමුත් ඉතිහාසයේ සඳහන් වන ආකාරයට, අප රටට බුදුන් වහන්සේ තුන් වතාවක් වැඩම කර තිබේ. ඒ හැම අවස්ථාවකම රටෙහි පැවති ගැටළුවක් නිරාකරණය කර ධර්ම දේශණා කර තිබේ. එම ධර්මය ශ්‍රවණය කළ අතීත හෙළයින් ගැටුම් සමථ කරගෙන තිබේ. එවන් උදාර ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටි අප රටට, බුදුහිමියන්ගේ වැඩම කර බුදු දහම ප්‍රචාරය කළා යයි ඉතිහාසයේ කිසිතැනක සඳහන් නොවේ. එදා සිටි, යක්ෂ, නාග, දේව පිරිසබුදුන් වහන්සේට උපරිම අයුරින් පුදසත්කාර කරන ලදි.

බුදුරජුන්ගේ ප්‍රථම ලංකා ගමන සිදුවූයේ, බුදුරජානන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්ව මාස නවයකට පසු එළැඹි දුරුතු පුර පසගොස්වක පොහෝ දිනයේ දීය. එදවස, සමන සමන් දෙවියන් විසින් බුදුරජුන්ගේ කේෂධාතු තැන්පත් කර මහියංගන සෑය නිර්මාණය කළ ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු මෙම චෛත්‍යය සරභු මහරහතන් වහන්සේ  විසින්, සොලොස් රියනක් උස් කොට මෙන්ම, චූලාභය රජු විසින් තිස් රියනක් උසටත්, දුටුගැමුණු රජතුමා සිය සටන් ආරම්භ කරමින් අසූ රියනක් උසටත් නිර්මාණය කර තිබේ. මෙවැනි කළා හා  ශිල්ප හැකියාවක් තිබූ ලාංකික ජනතාවට සියළු හැකියාවන් ඇතිවූයේ මහින්දාගමනයෙන් පසුව යන්න විස්වාශ කළ හැක්කේ කාටද? එයින්ද පෙනී යන්නේ එතෙක් පැවති ලාංකික ශිල්ප හා හැකියාවන් යටපත් කරමින් ඉංදීය සම්ප්‍රධායන් ඇති වූ බව නොවේද?

බුදුරජුන්ගේ දෙවන ලංකාගමන සිදුවූයේ, බුද්ධත්වයෙන් පස්වැනි වසරේදී නාගදීපයට බව දැක්වේ. ඒ චූලෝදර මහෝදර නාග ගෝත්‍රික රජුන් අතර ඇතිවූ සටනක් නිරාකරණය සඳහාය.

එමෙන්ම, බුදුහිමියන්ගේ තුන්වන ලංකාගමන සිදුව බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දීය.තිබෙන්නේ, කැළණියටය.  ඒ මණිඅක්ඛිත නාග ගෝත්‍රික රජු විසින් මහියන්ගනයේ දී බුදුහිමියන්වෙත කළ ආරාධනාවකට අනුවය. කැළණියේ දී බුදුහිමියන් දම්දෙසීම සඳහා අසුන්ගත් මැණික් පුටුව තබා චෛත්‍යයක් ඉදි කරන ලද බව සඳහන් වේ. මෙම ස්ථූපය ක්‍රි.පූ. 3-2 සියවස් වලදී, ප්‍රාදේශීය පාලකයෙක් වූ, උත්තිය කුමරු විසින් ප්‍රතිසංස්කරනය කර තිබෙන අතර විහාර මංදිරයක් හා සංඝාවාසයක් ද ඉදිකර ඇත. යඨාලතිස්ස පසුව පස්මහල් ප්‍රාසාදයක් විහාරයට එක්කළ බව සඳහන් වේ. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැලණි විහාරයේ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ විසූ බව මහාවංශයේ සඳහන් වේ. මෙයින් ප්‍රකට වන කරුණ නම් මේ කාලයේ දී කැලණි විහාරය ප්‍රධාන භික්ෂු මධ්‍යස්ථානයක් ලෙසට පැවති බවයි. ඉන්පසුව කණිෂ්ඨතිස්ස රජතුමා කැලණි විහාරයේ උපෝෂථාගාරයක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් කර ඇත. එසේම වෝහාරිකතිස්ස රජතුමා ඡත්‍රකර්ම කරවූ බව එහිම සඳහන් කර ඇත.

මේ අනුව බලන විට බුදුරජුන් ලංකාවට වැඩමකිරීමට පෙර හා මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කරවීමට පෙර සිට අප රටෙහි සමාජ, සංස්කෘතික, කළා, නිර්මාණ ශිල්ප ආදී බොහෝ දෑ දැන උගත් පිරිසක් සිටියා පමණක් නොව, බුදුන් දෙසූ දහම අවබෝධ කරගැනීමට තරම් වූ දැනුමක් හා ඥාන ශක්තියක් තිබූ පිරිසක් ශ්‍රී ලංකාව තුල විසූ බව අවබෝධ කර ගත හැක. තවද, දේවානම්පියතිස්ස රජුට පෙර සිටි රජවරුන් විසින්, කරන ලද සියළු නිර්මාණයන් අවතක්සේරුවක් ද මෙයින් සිදුව ඇත්තේ, මිහිඳු මාහිමියන් ගේ ලංකා ගමනෙන් පසු අප ජාතියක් ලෙස නැගී සිට බව කරනු ලබන ප්‍රකාශ මගිනි.

                              මෙම ලිපිය සැකසීමේ දී, අතීත තොරතුරු ලබාගැනීම සඳහා අන්තර්ජාලෙය් විවිධ ලිපි උපයෝගී කරගන්නා ලදි. එම ලිපි සඳහා  පාදක කොට තිබූයේ, මහා වංශයේ සහ ශිලා ලිපිවල සඳහන් වූ කරුණු වේ

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here