

අපව තව දුරටත් ගාල් කරුණු ඇත්තේ ප්ලේටෝනියානු අර්ථයෙන් ගුහාවක් තුලටම වන අතර ගුහාවෙන් එළියේ දැල්වෙන ගින්දරින් එන ගුහා දොරටුවෙන් ඇතුල්වන එළියෙන් මතුවෙන ආලෝකයේ සෙවනැලි මගින් පමණක් අවට ලෝකය පිලිබඳ අවබෝදය ලබන තැනකට අපව පත් කරවන, එම ආලෝකයේ ප්රමාණයත්, දිසාවත්. සෙවනැල්ලේ ස්වභාවයත් මේ මොහොතේ තීරණය කරනු ඇත්තේ කවුද?
අපි සෙවනැලි මත සිතමින් සෙවනැල්ලෙන් පාලනය වෙන මිනිසුන් බවට පත්වෙමින් පවතිනු ඇත. ඒ නිසාම මේ සෙවනැලි මැවුම් කාරයා හඳුනාගත යුතු නැද්ද? හඳුනා ගැනීමට උත්සහා කල යුතු නැද්ද? එහෙත් එවැනි පිවිසුමක් වෙත අපි එළඹෙනු පෙනෙන්ට තිබේද? ඒ වෙනුවට කරමින් සිටින්නේ සෙවනැලි මතින්ම ගොඩනැගෙන විරෝධතාවයන් සමග සහවාස වෙමින් සෙවනැලි යථාර්තයම බාරගැනීම නොවේද?
කොරෝනා වැනි වසංගතයක් හමුවේත් අපි කරමින් සිටින්නේ මේ මායාමය යථාර්ථයේ ගොදුරක් වෙනු හැර එහි සැබෑව තෝරා බේරා ගැනීමට උත්සහා කිරීම හෝ මහන්සි ගැනීම නොවෙමු. ගුහාවේ දොරටුවෙන් පිට සැබෑ ලෝකයක් ඇත යනු සිතනු සහ දකිනු වෙනුවට ගුහාව තුල සිටිමින් සෙවනැල්ලේ ෆැන්ටසිය බාරගැනීම නොවේද? එයින් එලියට පියවරක් ඔසවන්නට ශ්‍රමය වැය නොකරමින් ලැබෙන අවකාශයේ සීමාව තුල අර්ථකථනය කරගත් යථාර්තය වැලඳ ගැනීම නොවෙයිද?
පවතින මොහොත පිලිබඳ විවිධ විචාරයන් හමුවෙන වට පිටාවක එය විචාරයෙන් ඔබ්බට රැගෙන ප්‍රායෝගිකව යථාර්ථයේ ගැටෙන්නට සලස්වන්න මහන්සි නොගන්නේ ඒ නිසාවෙනි. මේ මොහොතේ දැවැන්තව කතා කෙරෙන ආර්ථික අර්බුදයක් ගැන කතාබහ තුල සාමාන්‍ය දැනුම් කලාපයන් පවා මගහැරෙන්නේ එබැවිනි. අපි බොහෝ මැසිවිලි නගන්නෙමු. එහෙත් ඒ මැසිවිලි නගන යථාර්තයම නැවතත් අපි වෙනත් වටයකින් ස්ථාපිත කරමින් සිටින්නෙමු. අපි මේ මොහොතේත් නගන එවැනි චෝදනා බහුතරයක් අතර වංචාව දූෂණය, නීතිය කැඩීම, පුද්ගලීකරණය, වැනි ජනප්‍රිය කාරනා අතලොස්සක් තුල වුවද චෝදනා නගන අතරේම වෙනත් වටයකින් ඒ තුලම නැවතත් ගිලෙමින් සිටින බව සියල්ලන්ටම නොපෙනෙන ගුහාවෙන් පිට සැබෑ ලෝකයයි. එහෙම වෙන්නේ කොහොමද?
අපි ඒවාට විරුද්ධයි කියන සමස්තයෙන් වැඩි ප්‍රතිශතයක් තම ජිවිත පැවැත්ම තුලදී නැවතත් ඒ තුලම කුලක ගත වෙන බව ඔවුන්ට නොපෙනී ගොස් ඇත. ඒ නිසා තමයි මේ මොහොතේ ප්‍රාර්ථනා කරන වෙනස හෝ පරිවර්තනයන් සමාජය තුල යථාර්තයක් බවට පත් නොවන්නේ.
සිදුවන්නේ ක්‍රමයේ පර්වර්තනයක් නෙවෙයි පවතින ක්‍රමය වඩා හොඳින් ක්‍රියාත්මක කල හැකි බවට ඒත්තු ගැන්විය හැකි වඩා ප්‍රභල ප්‍රවර්දනිය හැකියාවෙන් සපිරි පාර්ශවය තෝරාගැනීම පමණි. එහිදී කිසිම ලෙසකින් සමාජ පර්වර්තනයක් සිදු නොවෙන අතර සිදුවන්නේ එක් පාර්ශවයක් වෙනුවට තවත් පාර්ශවයක් ආදේශ වීම පමණි. ඒ නිසාම අප තෝරාගන්නේ සමාජය පර්වර්තනය කිරීමක් නොවෙන අතර ඒ වෙනුවට ක්රමය හසුරුවන්නට වඩාත්ම හැකියාවක් ඇති බවට මාර්කටින් කිරීමේ හැකියාවෙන් යුතු කණ්ඩායම තොරගනීමය.
ඒ නිසාම ඇඳුනු සෙවනැලි චිත්‍රය වන්නේ මේ කවුරුත් එකය යන ෆැන්ටසි පිළිතුරක් ගොඩනගා ගැනීමය. එම පිළිතුර ගුහාවට සෙවනැලි එවන බලවේග හරහා සිදු වුවද එම සෙවනැලි චිත්‍රය බාරගන්නවා හැරෙන්නට වෙනස් සිතුවිල්ලක් කරා යොමු වීමේ හැකියාවක් සහ පෙලඹවීමක් ගුහාගත ජනතාවකට නොමැත. එයට ප්‍රභලම හේතුව වන්නේ ඔවුන් දන්නා ගුහා අවකාශයේ පටු බව සහ ගුහාව තුල ඔවුන් ලැග ගාල් වී සිටින්නේද කැමැතෙන්ම වීමය. එහෙත් ඔවුන් නිරන්තරයෙන් කොඳුරනු ඇත්තේ වෙනකකි. “අපි කැමති නැහැ මේ ගුහාවේ ඉන්න එත් ඉතිං වෙන කුමක් කරන්නද?”
ඒ අනුව අහම්බෙන් උවද යම් ආකාරයකින් පරිවර්තනය උදෙසා යම් පියවරක් තැබුවද එම පරිවර්තනය කරගෙන යාමේ ගැටලුවට මුහුණ දෙමින් අර්බුදකාරී ලෙස අවාසනාවන්ත අවසානයක ඉරණමකට ලක්ව එය බිඳ වැටෙන්නේ නැවතත් පරිවර්තන වෙනුවෙන් අවස්ථාවක් උදා නොවෙන ලෙස ප්‍රභල දෘෂ්ටිවාදයක්ද ගොඩනගමිනි. එහෙයින් මේ දෘෂ්ටිවාදී ප්ලේටෝනියානු ගුහාමය පාලන ක්‍රමය ලෙහෙසියෙන් පිටුදකිනු නොහැකිය. එසේ වන්නෙම ඉහත සඳහන් කල පරිදි මේ ක්‍රමය මුලිනුපුටා දමන පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටින, කතා කරන බොහෝ පිරිස නැවතත් මේ ක්‍රමයේම ගොදුරු ලෙසින් තම ජිවිතය ගතකරන්නට කැපවී සිටින පිරිසක් වීමය. එහෙයින් ඔවුන් අවිඥානිකව බැඳී සිටින්නේ එය සමගය.
අප කොතරම් මේ මොහොතේ සමාජ යාන්ත්‍රණය විවේචනය කලද සමාජය නිවැරදි නොවන්නේ ඇයි කියන ගැටලුව අපට හමුවෙනු නියතය. අපි සමාජයක යාන්ත්‍රණය මොනතරම් න්‍යායාත්මක කරුණු මත විවේචනය කලත් අපට මගහැරෙන දෙය නම් සමාජීය ජීවියා මගින් සමාජයක් නැවත ගොඩනැගෙනවා යන කරුණ සහ එම ජීවියාගේ පුද්ගලික පැවැත්ම සමාජීයව නැවත යාන්ත්‍රණය හැඩගැස්මට බලපාන බවය. එසේ නම් මේ සමාජීය ජීවියා, එනම් මිනිසා හැඩගැසෙන ඔහුගේ අවිඥානය බැහැර කල හැකිද? ඒ නිසා තමයි ෆ්රොයිඩ් වැනි මොනෝ විශ්ලේෂකයෙක් ප්‍රකාශ කරන්නට යෙදුනේ මිනිසා වැඩ කරන්නේ සව්න්හනිකව consciously නොවේ අවිඥානිකව බව. ඒ අනුව අපට සිතන්න වෙන්නේ මේ සමාජය පරිවර්තනය කරන්නට කතාකරන බොහෝ දෙනෙකුගේ ප්‍රයත්නය වහසි බස් දෙඩවීමක් වෙන්නේ, මොකද ඔවුන් අවිඥානය තුල වැඩකරන්න කැමති මේ ක්‍රමයේම නිසා බවය.
ඉහත සඳහන් කල නිරන්තරව නගන මැසිවිලි අතරම අපට හමුවෙන බොහෝ සමාජ සංස්කෘතික දේශපාලනික කාරණා ස්ථාපිතව පවතින්නේ ඒ නිසාවෙනි. මෙය ඉතාම පැහැදිලිව දැකබලා ගතහැකි අවකාශයක් මේ පවතින කොරෝනා වසංගතය උදා කර දී ඇත. මේ මොහොතේ කතා කරන බොහෝ සමාජ දේශපාලනික කාරණා පවතින්නේ ඒ තුලමය. මේ බොහෝ විරෝධතා මැසිවිලි නැගෙන ප්‍රභල මහජන වේදිකාවක් වෙන සමාජමාධ්‍ය අඩවිතුලට එබීමෙන් මෙය පැහැදිලව වටහාගත හැකිය.
සරලව එක් එක් සමාජ, සංස්කෘතික දේශපාලනික නිශ්චිත මොහොත තුල අපට මුණ ගැහෙන බොහෝ ගැටළු,අර්බුද හමුවේ මේ කියන සමජීය ජීවින් තමන්ගේ පුද්ගලික මතය, විරෝධය ප්‍රකාශ කිරීම සඳහා එම වේදිකා භාවිතා කරනු දැකිය හැකිය. ඒ සඳහා තමන්ගේ ප්‍රොෆයිල් ප්‍රොයෝජනයට ගන්නා ඔවුන් තමාද නොදන්නා අදිසි බලවේගයක් ලෙසින් පෙනී සිටින අපේම අනෙකා විදිහට නිර්මාණය කරන විරෝධාකල්ප පුවරුව තන්ගේම චායාරුපයෙන් හැඩගන්වා ආරම්භ කරන මේ මෙහෙයුම ඉන් පසුව දින පතා ෆේස් බුක් වැනි වේදිකා හරහා බෙදා හරින ඇති විශාල පැසසුම්, විරෝදතා, උසුළු විසුළු, බැනර්, පෝස්ටර්, දැන්වීම්,පින්තූර සමග කැමැත්ත ප්‍රකාශ කරමින්, බෙදා හදා ගනිමින්, කමෙන්ට් කරමින් අති බිහිසුණු, සාමකාමී, නිහඬ, සනීපදායක, දුරස්ථ, ක්ෂේත්‍ර සහභාගීත්වයෙන් තොර, ඉතාම විවේකි සුවපහසු අතත්‍ය සහභාගීත්වයෙන් යුතු ප්‍රේමාන්විත සටනක් කරනු ඇත. ඒ කියන්නේ ගුහාවේ ඉඳගෙනම ඉලියෙන් එන එළියේ තරමට නිර්මාණය වෙන සෙවනැල්ලෙන් තීරණය කරන යථාර්තයක හිඳිමින් සැබැව මගහරිමින් කරන සටනකි.
එහෙයින් මේ ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය තවදුරටත් සිදු කරන්නේ අපව ගුහා ගත කිරීම සහ තව තවත් පටු ගුහා තුල ජිවත් වීමට හුරු කරවමින් ගොඩනගන යතාර්ථය අත්විඳින්නට හුරු කරන, බලපෑමෙන් තොර ආරාධනයෙන් කරන සුන්දර බලපෑමකි. ඒ සඳහා මේ සමාජ අර්බුද වෙනුවෙන් මාරාන්තිකව පෙනී සිටින තමන්ගේ ප්රෝෆිල් එක සටනින් පුරවන ඔහුගේ හෝ ඇයගේ එම ප්‍රොෆයිල් එකේම ඉහල පහල සැරි සරා තරමක් සෝදිසි කළහොත් අපට සිදු වන්නේ කුමක්ද? සහ සිදුවීමට නියමිත කුමක්ද? ඇයි කිසිවක් සිදු නොවන්නේ කියන මේ පර්යේෂණාත්ම ගැටලුවට පැහැදිලි උපන්‍යාසයක් ගොඩ නාග ගත හැකිය. ඒ ඔවුන්ගේම ප්‍රොෆයිල් වල බෙදා-හදාගන්නා අනෙක් දැන්වීම්, පෝස්ටර්, පින්තුර, අදහස්, දෙස බැලීමෙන් සහ ඒවා විමසීමෙනි. එය අපට නැවතත් සාක්ෂි දරන්නේ ඔවුන් සිටින්නේ මෙම ක්‍රමයේම ගොදුරු ලෙස මිස ක්‍රමය පරිවර්තනය වුවහොත් සිටින තැනක නොවෙන බවයි.
එහෙත් මෙහි ප්‍රශ්නයේ බරපතල කම තවත් දිසාවකට යොමු වෙනු ඇත. කවුද මේ කියන සමාජ මාධ්‍ය වලට එම තොග ගණන් අපේ සිතුවිලි අපටම අප වෙනුවෙන් බෙදා හරින්නේ කියන එක සහ එය තේරුම් ගන්නට හෝ එය කියවා ගන්නට උත්සහ නොකරන මේ ගුහා ගත මිනිසා කවුද? යන්නය.
අපට එදිනෙදා හමුවෙන සාමාන්‍ය සමාජයේ මෙම සමාජ මාධ්‍ය අඩවි වල වැඩිපුරම රැදී සිටින්නේ ඈත පිටිසර ගමක අවුරශ්මියෙන් පෙළෙමින් දහදිය හෙලන මිනිසුන් නොවේ, නගරයක කැලි කසල සමග පොර බදන එදා වේල හොයාගන්න දුක්විඳින, කීර මිටියෙන් ජිවිතේ ගැටගහගන්න පාරේ වේලෙන ගැහැණිය මිනිහා නෙවෙයි, බහුතරයක් මෙරට තාරුණ්‍ය නියෝජනය කරන පාසැල් සහ විශ්වවිද්‍යාල සිසුන්, අවිදිමත් සහ විදිමත් රැකියා වල නියුතු තරුණ තරුණියන්, වුර්තීමය ලෙස මෙරට බුධිමත් කාණ්ඩය නියෝජනය කරන වෛද්ය, ඉංජිනේරු, නීතී, මූල්‍ය, ගුරුවරු, ආචාර්යවරු වැනි අධ්‍යාපන,මාධ්‍ය, කලා ක්ෂේත්‍ර නියෝජනය කරන අය වීම සැලකිය යුතුයි. ඒ නිසා රටක බුධිමත් ක්‍රියාවලියකට යොමු කෙරෙන මෙවන් වුර්තිමය සහ තාරුණ්‍ය මෙම අර්බුදයේ ගිලි යාම සැලකිය යුතු කාරණයක්. මොකද සමාජ පරිවර්තනයන්ගේ ගාමක බලවේග වන්නේ මොවුන් වීම. ඔවුන් තමයි පෙර සඳහන් කල බහුතර දුක්විඳින මිනිසුන් ඒ වෙනුවෙන් පෙළගැස්විය යුත්තේ.
එහෙයින් එම කණ්ඩායම මේ කියන පෙලෙටෝනියානු අර්ථයේ ගුහාව තුලට වීම සමාජය අර්බුදයට යාමක්. ඒ නිසා සමාජ පරිවර්තනයක් සිදුකරන්නේ නම් කලයුතු වන්නේ මෙම බුද්දිමත් ක්‍රියාකාරීත්වය කරා සමාජය රැගෙන යන බුද්මධිත් පිරිස නැවතත් පර්වර්තනයට ලක් කර ගුහාවෙන් එලියට ගන්න එකයි. ඒක කරන්න වෙන්නේ අධ්‍යාපනයෙන් මිසක් දේශපාලනයෙන් නෙවෙයි. මේ මොහොතේ දේශපාලනය වන්නෙම එයයි. එය පාර්ලිමේන්තුව වැනි ව්‍යුහයක් ඇතුලේ නෙවෙයි කරන්න වෙන්නේ. එක කරන්න වෙන්නේ, වැඩබිමේ, පාසැලේ, විශ්වවිද්‍යාලයේ, ගොවිබිමේ, ගමේ නගරයේ, රඟහලේ, සාහිත්‍යයේ වැනි ක්ෂේත්‍රීය බිමක.
වරදවා ගන්න අවශ්‍ය නැහැ අධ්‍යාපනය කියන්නේ එය මේ පවතින අධ්‍යාපනය නම් නෙවෙයි. ඒ මගින් සිදු කෙරී ඇත්තේ ගුහාගත කිරීම බව පැහැදීලියි. එහෙයින් එම අධ්‍යාපනය මුලින්ම දිය යුතු වන්නේ මෙරට අධ්‍යාපනයේ යෙදෙන වුර්තිකයන්ට බව කිවයුතු වෙනවා. සාකල්‍යවාදී අධ්යාපනයක වැදගත් කම තේරුම් ගන්න වෙනවා.
අධ්‍යාපනය කියන සාධකය ඉහතින් මතු කරපු කාරණා අතරින් වෙන් කර ගත්විට ඉතාම වැදගත් සාධකයක්. මේ පවතින කොරෝනා තත්වය හමුවේත් දැවැන්ත අර්බුදයකට පත් වුනේ අධ්යාපනය තමයි. ඒ මේ පවතින සාම්ප්‍රධායික ගුහාගත විභාග මූලික අධ්‍යාපනය වුවත් එය පවතින මොහොතේ අධ්‍යාපනය නිසා එය වැදගත්. කොහොමත් අපේ අධ්‍යාපනයේ තිබුනේ දැවැන්ත පරතරයක්. මේ කොරෝනා වසංගත තත්වය හමුවේ අර කියන ගුහාවෙන් පිටත අදිසි මැවුම්කරුවා යෝජනා කල ඊනියා මාර්ග ගත අධ්‍යාපනය විසින් සිදු කලේ එම පරතරය පුළුල් කිරීම විතරයි. බොහෝ ජනතාවකට ඉතාම අපහසුතාවයන්ට සහ ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදුඋනා ඒ මගින්. එය තාක්ෂණිකව මෙන්ම, සමාජ ආර්ථික සහ මානසික ලෙස විවිධ ස්වරූප ඔස්සේ ගලා යනවා. එපමණක් නොවෙයි මෙරට ජනතාවගේ ඉතා විශාල මුදලක් ඉතාම සූක්ෂම සහ කාර්යක්ෂම ලෙසින් නියමිත කාල වකවානු වලට පෙරම එම ස්වල්ප සමාගම් මගින් අපේක්ෂිත කාල සැලසුම් වලට පෙරම රැස් කරගනිමින් ඉන්නවා.
මෙය පොදු සමාජීය වගේම රටක් හැටියටත් සැලකිය යුතු අර්බුදයක්. රට තුල මේ පවතින මූල්‍ය අර්බුදය ගැන කෙස් පාලන තර්ක ඉදිරිපත් වෙන මේ මොහොතේ රජය එයට වගකිව යුතු වගේම හැකි තරම් මෙරට මුදල් ගලා යාම වලක්වීම සඳහා ක්‍රම උපායන් සැලසීම බුද්ධිමත් පිරිසගේ කාර්යක් නොවේද? එහෙත් සිදු වුයේ කුමක්ද? ලොව දැවැන්ත සමාගම් කිහිපයකට අපේ අසරණ ගම් දනවු වල හේන් ගොවිතැනින් උපයන රුපියලේ සිට කසල ගොඩට තම ජීවිතය ලංසු තියන කම්කරුවා, මැදපෙරදිග දුක් විඳ එවන රුපියලේ සිට සියල්ල හුරාගෙන යන්න ඉඩ දීම නොවෙයිද?
අධ්‍යාපනය පුද්ගලිකරණයට එරෙහිව දැවැන්ත සටනට අවි අමෝරන, ෆේස් බුක් සමාජ මාධ්‍ය වල ප්‍රොෆයිල් වල තමන්ගේ මුහුණේ පින්තුරේ විරෝධතා රවුම් වල රවුම් කරන මේ කියන බුදිමතුන් බහුතරයක් කරේ, කරමින් සිටින්නේ සහ තෝරා ගත්තේ තමන්ගේ මේ සටන් අඩවියේම හිමිකරුවන් වන දැවැන්ත ඩිජිටල් ආධිපත්‍යදාරි හාම්පුතුන්ගේ උවමනාවන්ම නැවතත් එකඟතාවයෙන් සහ සෘන්ගාරයෙන් වැළඳ ගෙන එහිම ගිලීම නොවේද?
පරස්පරතා දහසක පවතින අපේ අධ්‍යාපන පරතර සීමාවන් වැඩි කරමින් මෙතෙක් කෙසේ හෝ එම සීමාවන් අවම කරමින් පොදු සම බිමක පැවැත්වීමට කටයුතු කෙරුණු විභාග පරීක්ෂණ පවා කරන්නට වෙන විසඳුමක් නැත යන ගුහා සෙවනැලි ෆැන්ටසියෙන් වසමින් මෙම සමාගම් වල උවමනාවෙ නැවතත් ගිලෙමින් ඊනියා මාර්ගගත ක්‍රමය දෝතින් ගෙන කටයුතු කිරීම නොවේද?
විභාගයකට පෙනී සිටීම යනු පෙනී සිටින්නන්ගේ සහභාගිත්වය මත සංඛ්‍යාත්මකව සාර්ථක බව තීරණය කිරීමක් නොවෙන අතර එයට පෙනී සිටින්නන්ගේ සමාජ සංස්කෘතික ආර්ථික සහ මානසික සමබිමක ගුණාත්මක පාර්ශවයක් ද සැලකිය යුතු බව මේ විප්ලවීය බුද්දීමතු මේ වන විට මග හැර ඇත. මෙයට එන සරල ප්‍රති පිළිතුර වන්නේ වෙන කරන්න දෙයක් නැහැ කාලය යනවා කියන එක බව පැහැදිලියි. ඔව්. පැහැදිලියි. එහෙත් මේ තාක්ෂණයම භාවිතා කර හානිය සහ පරතරය අවම ක්‍රමවේද සෙවීම කාගේ වගකීමද? හුදු රජයට වගකීම පවරා ඊනියා බුද්ධිමතුනට කරඇරිය නොහැක. එකක් වැසුණු විට තව දොරක් විවුර්ත කර ගත යුතුය. එයට මහන්සි ගත යුතුය. එය සීතල කාමරවල ඉඳ, විස්කි වීදුරු තොල ගාමින්, නවීන මුළුතැන් ගෙවල් වල සිට පවුලේ සැම සමග පැස්ටා කොත්තු රෙසිපි හදමින් සෙල්ෆි ගහලා ෆේස් බුක් වල දමමින් කරන්න බැහැ තමයි.
විෂය පිලිබඳ ප්රමානයික දැනුමක් ඇත්නම් අදාල විෂය කොටසට අදාල ප්‍රශ්න නිර්මාණය කිරීමත් එම ප්‍රශ්නයට අදාලව ශිෂ්යා ගොනු කලයුතු පිළිතුරේ ප්‍රමාණය ව්‍යුහය සහ අන්තර්ගතය තීරණය කිරීමත් ඒ සඳහා සාර්ථක පිළිතුරක් ශිෂ්‍යයා ගොඩනගන්නට ඔහු හෝ ඇයට කුමන මට්ටමේ දැනුමක් අවශ්‍යද? කාලය කොපමණ ගතවෙයිද? යන්න පිලිබඳ අදහසක් ආචාර්ය වරයාට තිබිය යුතුය. එමෙන්ම එම ප්‍රශ්නයට සිසුවා කරුණු සොයා ගැනීමට අන්තර්ජාලය වැනි තාක්ෂණික අවකාශය වෙත යොමු කිරීමෙන් තාක්ෂණිකව ප්‍රොයෝජන ගැනීමේ මාර්ග සිසුවාට පෙන්වා දිය හැකි වන අතර අවශ්‍ය නම් වෙබ් අඩවි පිලිබඳ තොරතුරු උවද සැපයිය හැකි විය යුතුය. සිසුවා කුමන හෝ මූලාශ්‍ර උදවු කරගෙන පිළිතුර ගොඩ නැගුවද ඔහු හෝ ඇය පිළිතුර ගොඩනැගීමට කරන ලද, දැනුම,නිර්මාණශීලී බව සහ උත්සාහය ගුරුවරයා විසින් තක්සේරු කල යුතුය.
ඒ නිසා එවැනි තක්සේරු ගත විෂය පැවරුම් යම් කාල සහ ප්‍රමාණාත්මක සිමා මත ලබා දීමෙන් මෙම අර්බුදයට වෙනත් සාධාරණ ක්‍රමයක් වෙත එළඹිය හැකිය. එහිදී සිදුවෙන සමජීය සහ මානසික අසාධාරණ අසමානතාවය බිහෝ දුරකට මග හැරෙන අතර විශාල වශයෙන් කෙරෙන මුදල් ගලායාමේ ප්‍රමානයටද සීමාවක් යෙදිය හැක. ඒ සඳහා ගුරුවරයා සැම සිසුවෙකුගේම පිළිතුරු පැවරුම් පත්‍රිකා සැලකිල්ලෙන් පරික්ෂා කල යුතු අතර වැඩි කැපවීමක් කල යුතුය. මෙහිදී ආචාර්යවරයාගේ පාර්ශවයෙන් කෙරෙන කැපවීම සහ මහන්සිය ප්රමාණවත් ලෙස වැඩි වන බව සත්‍යය. එහෙත් ශිෂ්යයාවද වෙනදට වඩා සෙවීමේ සහ ස්වයං අධ්‍යන ක්‍රමයකට හුරු කරවන්න මෙයට හැකිය. ලකුණු දීමේදී ශිෂ්යාගේ නිර්මාණශීලි බවට පැහැදිලි අවකාශයක් මෙයින් පෙරටත් වඩා ලැබෙනු ඇත.
එහෙයින් පවතින අර්බුදය අපට පරිවර්තන යෝජනා කරන බව කිව යුතුය. එහෙත් අප තෝරා ගත්තේ එම දුෂ්කර කැපවීම සහ සිතීමේ ශ්‍රම මාවත නොවේය. ඒ වෙනුවට ගුහාවේ සිටිමින්ම එළියෙන් දෙන ආලෝකයෙන් යැපෙමින් එම එලියෙන්ම දෙන හෙවනැලි වලින් එළියත් ඇතුලත් කියවාගනිමින් ගුහාවේම ගිලීම පමණකි. කිසිම විදිහකින් එළියෙන් එන ආලෝකය නැති වුවහොත් ඇතුල පහන් කරන්නට පහනක් දල්වන්නට හිතන්නේම නැත. ඒකයි අපි වඩාත්ම කැමති සමාජ පරිවර්තන වෙන එකට නෙවෙයි, මේ ක්රමයම වෙන කවුරු හරි කරගෙන යන එකටම බව කියන්න වෙන්නේ. ඒ නිසා අපි තව දුරටත් මේ ගුහාවේම කොටුවෙනවා හැරෙන්නට වෙනත් විකල්ප දෙස යොමුවන්නේ නැහැ.
මේ ඉහත උදාහරණ අතරින් එක ක්ෂේත්‍රයක් පමණි. එය ප්‍රමුඛ කිරීම සඳහා සිදුවුයේ වඩා වැදගත් අධ්‍යාපනය කියන කාරණයම නිසා බවත්, පවතින අර්බුදය හමුවේ වැඩි පිරිසකට සහ වැඩි සමාජීයව බලපෑමක් එයින් සිදුවෙන නිසාවෙනි. එමෙන්ම මේ සියලු පරිවර්තනයන් ආරම්භයක් ගත යුත්තේ එතනින් වීම නිසාවෙනි.
ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සැබෑව තමයි මේ අපි විරුද්දයි කියා කෑ මොර දෙන දෙයම යථාර්තයක් විදිහට අපිම තහවුරු කරමින් සිටින බව. එහෙම තහවුරු වුනු සමාජයක අවශ්‍ය නම් ඔයා විරුද්ධ අධ්යාපනය සිල්ලර කඩයක විකුණන එකට නම් ඔයාට පුළුවන් ඒක ෂොපින් මෝල් එකකින් විකිණෙන හැටි ඒ කඩේ ඉස්සරහ ඉඳලම බලාගෙන ඉන්න. මොකද බඩු විකුණන්නේ සේරිවාණිජලා උනාට වැඩේ කෙරෙන්නේ කච්ච්චපුට නියායෙන්. ඒ නිසා අවුලක් නැහැ සාදු කියලා භාරගන්න තමයි වෙන්නේ. මොකද අපිට සතුටු වෙන්න පුළුවන් අපිත් හොඳ ව්‍යවසායකයෙක් කියලා. මරු නේද එහෙම වෙන්න ඇත්නම්. ඒ නිසා අපිටත් ඔනී නම් පුළුවන් ඔය මහජන හිතාය ප්‍රයිවට් ලිමිටඩ් එක ඉස්සරහ වාඩි වෙලා අයිස් ක්‍රීම් (අයිස් පලම්) එකක් ලෙවකන ගමන් සෙල්ෆියක් ගහල ෆේස් බුක් එකේ දාන්න.
එතකොට අවුලක් හිතෙනවා නම් ඉතිං සොරි තමයි. හැබැයි එහෙම කියනවා ඇහෙන්නෙත් ගුහාවට එළියෙන් තමයි.
සමජ යතර්තය විමසා බලන මෙවැනි ලිපි ඉතා වැදගත්ය.
කියවන්න,බුද්දිමත්වව විමසා බලන්න
අපි කවුද කියා