30 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

පාට සරුංගල් වාගේ….ඔහේ ඉගිල්ලේ පාවෙයි අපේ ජීවිතේ

Related Articles

Image from Internet

වසරක් ගෙවිලා නව වසරක ආරම්භයේ ඉන්න  මේ මොහොතේ ගෙවී ගිය වසර අපිට ඉතුරු කරලා ගිය මතකය එක්කම මේ වසරට පියනගන මේ මොහොතේ සමාජ මාධ්‍ය  වල පිටු පුරා නව අවුරුදු සුභපැතුම් වලින් පිරිලා තියෙනවා උනාට කවුරුවත් දන්නේ නැහැ කියලා සමාවක් ලැබෙන්නේ නැති සංකේතාත්මක නීතියක් වගේ යථාර්තයක් තමයි මේ සුභපැතුම් අස්සෙම හැංගිලා එන ණය බර. ඒක අපි නොදන්නවා වගේ හිටියට මේ දවස් වල වටින් ගොඩින් දේශපාලනිකව කතාබහ කෙරෙන අවකාශයේ ඇහෙන්නේ දසලක්ෂණ ගණනකින්. ඒ කියන්නේ රටක් හැටියට ගෙවන්න තියෙන ණය ප්රමාණය රටේ ජනගහනය අනුව බෙදුනම එක් අයෙකුට හිමිවෙන ණය ප්‍රමාණය ලක්ෂ දහයක් වගේ කියන එක. මේ කියන ගණන මේ රටේ බොහෝ පුරවැසියෙකුට තමන්ගේ ජිවිත කාලේවත් හම්බකරගන්න ලැබෙන්නේ නැති ගණනක් වගේම බොහෝ දෙනෙකුට මෙරට බැංකුවකින් කවරම දාවමකවත්  ණයක් විදිහට ඉල්ලුම් කරන්න බැරි ගානක්. කොටින්ම කියනවා නම් මෙරට බොහෝ පුරවැසියෙකුගේ අදායම් අනුව බැංකුවකින් මේ වගේ ණයක් ඉල්ලුම්  කරලා ලබා ගන්න එක බොහෝ දෙනෙකුට හීනයක්. ඒක තමයි සැබැව. එවැනි මොහොතක නව වසරක ආරම්බයේ සිටින අපි  දන්නා දෙයක් තමයි මේ මොහොතේත් කොතනක හෝ පිතෘ ධාතුවකට ජාතකව   මවුකුසකින් මෙලොව එලිය බලන සැම දරුවෙක්ම අතමිට මොළවන් එන්නේ සඳුන් කැබැල්ලක් නොවෙන බවත් අතේ රේඛාවල තියෙන්නේ උකස්  කුවිතාන්සියක් කියන එකත්. එවැනි මොහොතක සුභපැතුම් වගේම කිරිබතක් උයාගෙන කන එකත් එක විදිහක රැඩිකල් වැඩක්. කිරිබත් නම් මේ වෙලාවේ අවුලක් නැහැ මොකද කිරිබත් කැමේ සංකේතිය රූපකය මේ වෙනකොට කණපිට පෙරලිලා නිසා. එක දැන් කන්නෙම සතුටට වඩා සතුටක් වෙන වේදනාවක ආරම්භක සතුට භුක්ති විඳින්න කියලා හොඳින්ම ඒත්තු වෙලා තියෙන නිසා. මෙකද මේ රටේ බහුතර ජිවිත සහසම්බන්ද සමාජය කියන ඒකකය මේ වෙලාවේ බුක්තිවිඳින සතුටේ හේතුමූලය සැබෑවටම සතුටක නෙවෙයි තියෙන්නෙ, එක තියෙන්නෙම වේදනාවක. ඒ කියන්නේ වේදනාවක් විඳීමෙන් ලැබෙන සතුටක් තමයි මේ වෙලාවේ අපි ලබන සතුට. එහෙම නැතිව  ලබන කිසි දෙයක් සතුටක්  විදිහට අපි භාරගන්න සුදානම් නැහැ.

මේ කියන කාරණය තරමක් විකාර අදහසක් විදිහට පෙනෙන්න තිබුනත්  සැබෑව ඒක  කියන ඒක කියන්න වෙන්නේ, හරියට විපක්ෂයෙන් කතා කරනකොට ආණ්ඩු පක්ෂයෙන්  කතාවට වඩා හයියෙන් කෑ ගහනවා වගේ බාහිරින් නැගෙන විශාල ගෝශාවක් අතරෙමයි. හැබැයි ඒ කොයි තරම් කෑගහල කතාව ඇහෙන එක නවත්තන්න හැදුවත් ඒක ටෙලිවිෂන් එකේ විතරක් ඇහුනේ නැති උනාට හැන්සාඩ් එකේ ලියවෙනවා වගේ වැඩේ එහෙම තමයි. ඒ කියන්නේ යථාර්ථයේ එහෙම නැහැ කියන එක තහවුරු කරලා පෙන්නුවට සැබැව ඒක තමයි.  

ඉතින් මේක මෙහෙම කිව්වට මේ කතාන්දරේ අමල් බිසෝ වගේ පේන්න කියන්න ඕනේ කියල හිතුනා. ඒ නිසාම කතාව පටන් ගන්න ඉස්සෙල්ලා එකෝමත් එක රටක කියල පටන් ගන්න ඕනේ කියල හිතිලා, ඒ රට අපේ රට කියල,  කාලෙකට ඉස්සෙලා කියන එක, මේ ලියන මොහොතට සතියක විතර අතීතය දිහා බලාගෙන මේ කතාව පටන් ගන්න පුළුවන්.

මේ කියන කාලය සහ අවකාශය අවුරුදු දෙකකට ආසන්න කාලයක සිට නොකඩවා පැවතීගෙන ආපු සහ වරින් වර මිනිස් ක්‍රියාකාරකම් හරහා තම වර්දනය ගුණනය කරගත්තු කොරෝනා වයිරසයේ පැවැත්ම පවතින මොහොතක්. එහෙත් බාහිර සමාජය තුලත් සමස්ත විද්යුත් මාධ්‍ය වගේම සමාජ  මාධ්‍ය තුලත් අපිට දකින්න ලැබුනේ වෙනස් අත්දැකීමක්. ඒ හැම තැනකින්ම ගැයුනු ගීතයේ රාවය උනේ “විනෝද වෙන්න විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැනේ අපේ හිතේ තියෙන සන්තෝසේ කාටද නැත්තේ” ( කාටද ඕනේ වෙනුවට ) කියමින් හැමෝටම විනෝද වෙන්න කියන එක තමයි. සමහර ප්‍රදේශ, ස්ථාන ඉලක්ක කරගෙන නැති වාර (සීසන්) අලුතෙන්ම හදමින් තියෙන වට පිටාවක්. මේක අලුත්ම කියන්න බැහැ. එත් එදාට වඩා  අද තරමක් වෙනස්.

අපිට මතක අතීතයෙන් ඒ වගේ අවස්ථා ඕනේ තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේ එක් අවස්ථාවක් හැටියට එක කාලෙකදී ලංකාවේ සතර දිසාවෙන්ම සෙනග ඇදී ආපු එක තැනක් තමයි “දොළුකන්ද” කියන්නේ. කොහොමද ඒක උනේ. ඒ වෙනකොට රුපවහිනී මාධ්‍යට වඩා ප්‍රභලව  තිබුනේ පුවත් පත්. එහෙත් පුවත් පතක පළවුණු ලිපියකට දෙකකට පුළුවන් උනා ගෙවල් වල හිටිය මිනිස්සුන්ට අරව මෙව්වා කරලා දොලුකන්දට යවන්න. අල්ලපු ගෙදර කෙනා ගිහිල්ල ආවම මෙහා ගෙදර කෙනාට මෙව්වා වෙනවා. ඇඟ හිරිවැටෙන්න ගන්නවා, නලියනවා. ඒකට අපේ භාෂාවෙන් කියනවා “අනේ මෙව්වා වෙනවා” වගේ කියලා. ඕක ඕනේ නම් ලිඛිතව ටිකක් සංකීර්ණ  වචනයකින් කියනවා නම් කියන්න පුළුවන් අවශ්‍යතාවයක්  පිලිබඳ හැඟීමක් ඇති වෙනවා කියලා. අද අපේ ජීවිත වල බොහෝ ඉවෙන්ට්ස් (events)  එන්නෙත් ඔය අර අපේ  භාෂාවෙන් කියනවා නම් අරයා ( මිතුරා,මිතුරිය, අසල්වැසියා, නෑදෑයා, ෆේස් බුක් ෆ්රෙන්ඩ්ස්ලා) කරනවා දැක්කම මටත් නිකන් “අරව මෙව්වා  වෙනවා වගේ අනේ” කියන එකෙන් සහ අර නොතේරෙන  භාෂාවෙන් අවශ්යතාවය පිලිබඳ හැඟීම කියන එකම තමයි. එහෙනම් මේ මොහොතේ මේ පුළුල් මාධ්‍ය  ජාලය ඇතිකරන අර, අරවා මෙව්වා වෙන හැඟීමේ අවශ්යතාවය සමාජ මාධ්‍ය පුරාම තම තමන්ගේ වෝල් වසා ගෙන තිබුනා. ඉතින් එහෙම සතියක් දිහා බලාගෙන මේ කතාව පටන්ගන්න හිතුනේ ඒ දැකපු ආතල් එකත් අයිති  වෙන්නේ මේ කියන වේදනාවේ සතුටටම තමයි කියලා පෙන්න ගන්න ඕනේ නිසා.

ඇත්තෙන්ම මේ සැබෑවද? එහෙම නැත්නම් මේ කියන ආර්ථික අර්බුදය බොරුද? මේ රටේ ඉන්න බැහැ කියලා මේ රට ඇරලා යන්න හදන්නේ ඇයි. මේ ආතල් ගත්ත බොහෝ දෙනෙක් කතා කරොත් කියන්නෙම මේ රටේ ඉඳල වැඩක් නැහැ, රට දාලා යන එක තමයි විසඳුම කියන එක. එහෙනම් මොකටද රට දාලා යන්නේ? මොකද මේ කියන දර්ශන දැකපු ගමන් හිතට එන අදහසක් තමයි මේ අර්බුද කියන එක බොරුවක්. ණය කියන එක බොරුවක්, එහෙම දෙයක් තියෙනවා නම් කොහොමද මේ තරම් ජෝලියකින් ඉන්නේ කියන එක. අර කලින් කිව්වා වගේ අර සින්දුවේ තියෙනවා වගේ විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයි ද නෑනේ  කියන්න වෙනවා නේද? එතැනින්ම තමයි ප්‍රශ්නේ අපිට එලියට ඇදල  ගන්න වෙන්නේ.

ඇත්තටම මේ අපි විනෝද වෙනවද නැත්නම් විනෝද වෙන්න කියන සමාජය තුලට අපි අනන්‍ය වෙන්න හදනවද කියන එක. සරලවම කියනවා නම් විනෝද වෙන්න කියන නිසා නිකං අර අපිව මෙව්වා වෙනවද කියන එක. එහෙම උනේ නැත්තනම් අවුලක් වගේ නිසා ඉතිං එහෙම වෙමු කියන එක.

මෙතැනදී ඇත්තටම වෙන්නේ විනෝද වෙන්න කියන සමාජයට අපි අනන්‍ය වෙන්න හදනවා කියන පිළිතුර ඔව් කියලා දැනට පිළිගනිමින් එය  උපකල්පනය කරගෙන ප්‍රශ්නේ  විසඳගෙන යන එක. පස්සේ උපකල්පනය නිවැරදියි කියලා ඔප්පු වෙයි.

එහෙම ගත්තොත් මුලින්ම අපිට අපිව කියවගන්න වෙනවා. අපිව කියවගනිද්දී අපිට බැහැ අපි විතරක් තනිකරලා ගන්න. මොකද අපි පවතින අවකාශයක් තියෙනවා ඒක පරිසරය එහෙමත් නැත්නම් අපි වටා තිබෙන  සජීවී අජීවී වස්තුන්ගෙන් සමන්විත පරිසරය. මේ පරිසරය තුල අපි සාමාජිකයෙකු ලෙස සමූහගත  වෙද්දී  සමාජය කියන්නේ මේ අවකාශය. ඉතින් අපි තනි තනිව නෙවෙයි මේ සමාජය කියන එක ඇතුලේමයි ඉන්නේ. මම,අපි ජීවින් විදිහට. එතැනදී අපි විසින් සමාජය සංජානනය කරනවා වගේම අපි සමාජය සැලසුම් කරනවා. ඒ කියන්නේ සමාජ කියන්නෙම අපි අපිම කරන නිර්මාණයක් වෙනවා. අපෙන් සැදුම් ලත් සමුහය සමාජය විදිහට අපිට හමු වෙනවා.

අපේම විඥානය මගින් අපි ජීවත් වෙන සමාජයේ විඥානය තීරණය කරනවා. එතැනදී බහුතර විඥානය සමාජයක ඒ මොහොතේ පවතින ව්‍යුහය තීරණය කරනවා. ඒ නිසා අපිට මුණ ගැහෙන්නේ සමාජයක් විදිහට බහුතර සාමාජිකයන්ගේ  විඥානය මත සැකසෙන සමාජයක්. ඉතින් ඒ වගේ සමාජයක අපි කරන්නේ මෙන්න මේ බහුතරය මත තීරණය වෙන ව්‍යුහයට එකඟ වෙන එක. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ අපි එක එක එක්කෙනාගේ මේ කියන විඥානය හැදෙන්නේ කොහොමද කියලා. එතැනදී තමයි අපිට තව ටිකක් සංකීර්ණ තැනකට යන්න වෙන්නේ. මිනිසා තමා අවට ලෝකය සංජානනය කරගන්නේ තමන්ගේ සාරත්මක සහ වාර්ගික  ඉන්ද්‍රියන් මගින්. සරලව ඇස කන නාසය වගේ හිතුවොත් එය තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇසෙන් දකින යමක් දෘෂ්ටිවිදානය හරහා මොලයේ  ඒ පිලිබඳ සංවේදනයක් ඇති කරනවා. වස්තුවේ පැහැය, හැඩය තේරුම් ගන්නේ අන්න ඒ මගින් සහ පූර්වයේ ගොඩනැගුනු සාක්ෂි සමග සහසම්බන්ද වීමෙන්. ඉතින් මේ කියන දෙය අපි සංජානනය කියල අර්ථගන්වා ගත්තොත් අපිට ටිකක් තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේ වෙනකොට අපිට කොහොමද මේ වස්තුන් සංජානනය වෙන්නේ. වස්තුන් විතරක් නෙවෙයි දකින අහන විඳින හැම දෙයක්ම. මේ තත්වයන් එක් එක් මිනිසාගෙන් වෙනස් වෙනේ ඒ එක් එක්  එක්කෙනා අතර විවිධත්වය හදන පුද්ගලික සහ සමාජීය කාරණා මගින්.  ඒ කියන්නේ සමාජානුයෝජනය සහ ඔහු විසින් ලබන දැනුම් පද්ධතිය හරහා. ඔහු හෝ ඇය කොහොමද මේ දැනුම් පද්ධතිය ගොඩනගා ගන්නේ. ඒකෙදි  මූලිකම  දෙයක් අධ්‍යාපනය. ඊට සමගාමීයව කියවීම, බැලීම, සංවාදය, අදහස් බෙදා හදා ගැනීම,රසවිඳීම. මෙතනින් කියවීම කියන දේ ඉතාමත්ම පුළුල් පරාසයක් දක්වා විහිදෙනවා, ඉතින් මේ කියන  සාධක වල පරිමාණය අනුව විවිධත්වය ගොඩනගනවා. දැන් ඉතින් සිදු වන්නේ මොකක්ද? මේ වෙන විට මෙන්න මේ විවිධත්වය වෙනුවට පොදු භාවයක් ආදේශ වෙනවා. සමහර විට තර්කයක් එන්න පුළුවන් මිනිස්සු විවිධ  වෙනවට වඩා නරකද හැම දෙනාම එක වගේ වෙන පොදු භාවයක් ලබා ගැනීම කියලා. බැලූ බැල්මට ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී  අදහසක් වගේ පේනවා. එතැනදී ලබා දෙන්නේ මිනිස් සාරාත්මක ලක්ෂණයක් වෙනුවෙන් කරන එළඹුමක්. මෙතනින් යෝජනා වෙන්නේ  පොදු සහජීවන එකඟතාවයක් කියන අදහස නෙමෙයි. ඒ කියන්නේ පොදු අදහසක් ගොඩ නගනවා. ඒක,ස්ටීරියෝ ටයිප් එකක්. එක වගේ ලක්ෂණ වලින් සමන්විත පිරිසක්. ඉතින් මේ කියන මූලධර්මය නැවතත් විවිධ වෙන්න පුළුවන් ඒ වෙනම අදහසකින්.

කොහොමත් මේ මොහොතේ මේ කියන පොදු අවශ්‍යතාවය පිලිබඳ හැඟීම ගොඩනගන්නේ කුමක් වෙනුවෙන්ද සහ කවුද කියන එක මත අපිට පුළුවන් ආපස්සට ගිහිල්ල දැන් අර සමාජ  විඥානය සහ පුග්ගල විඥානය කියන තැනට එන්න. ඉතින් මේ වෙලාවේ ඉතාම ප්‍රභල මාධ්‍ය වගේම දේශපාලන අධිකාරීන් සහ ආගමික සංස්ථාවන් කරන්නේ ඔය දෙයම තමයි. ඉතාම දැඩි පාරිභෝජන වාදී සමාජයකට ඇරයුම් කරන දොරගුළු ඇරුණු සමාජයක අවශ්‍ය වන්නේ එම පාරිභෝජනවාදී කාර්නිවල් භූමියට අපිව ඇතුල් කර ගැනීම වගේම ඉන් පිටතට යන්න නොදී පුළුවන් තරම් එය තුල රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවයක්. අන්න ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වෙනවා අර පොදු තැනකින් හිතන දැනුම් තලයක වැඩි පිරිසක්. ඒ නිසා ඒ වෙනුවෙන් මේ ධනවාදී පශ්චාත් නූතන සමාජ සංස්කෘතික අවකාශය ඉතාම සූක්ෂම සැලසුම් දිනෙන් දින නිර්මාණය කරනවා. ඔවුන් ඒවා බෙදාහරින්නේ සමාජ මාධ්‍ය වගේම අනෙක් සියලුම මාධ්‍ය  හරහා. ඒ නිසා අපිට මේ වෙලාවේ හමුවෙන්නෙම ඉවෙන්ට් වලින් පිරුණු සැණකෙළි භූමියක් සහ වැඩි පිරිසකට ඒ තුල ජිවත් වෙන්න කියන ආරාධනය. අපිට ඒ ආරාධනය මගහැර යන්න දෙන්නේ නැතුව රඳවා ගන්න දවසින් දවස මොහොතෙන් මොහොත ඔවුන් දැවැන්ත දෘෂ්ටිවාදී මෙහෙයුමක් කරනවා. ඉතිං අපි හැමෝටම අර කලින් කිව්වා වගේ මේවා දැකලා ගත සිත මෙව්වා වෙනවා. අර මොනවද වර්ගයක බඩු දැකලා මල්ලි පිස්සු වැටිලා වගේ වෙනවා. ඉතින් යන යන එක්කෙනා මේ මායා ලෝකයේ සැරිසරනවා. කානිවල්  භූමියට ඇතුල්වෙනවා  විතරයි, පිටවීමක් ගැන හිතන්න වෙන්නේ නැහැ. මොකද එකින් එකට අලුත් අලුත් අයිටම් එනවා. පෝලිමට. කොටින්ම ෆේස් බුක් වගේ එකකදී අපිට හිතන්න දෙයක්වත් නැහැ. හිතන දේ හිතනකොටම ඔබේ ඇස් ඉදිරියේ තිරයේ දකින්න සලස්වනවා. (https://highrayz.com/https-highrayz-com-discussion-4/?fbclid=IwAR1-tYPD2E24SK74YLA82BVOlo13O9cGb7aBt7wbEzHOIcRZ-jh0TGQgZZA සෙවනැලි කියයි අපි කවුද කියා)  ඉතින් අර අපේ සංජානනයන් දියුණු වෙන සාධක අපෙන් දන්නෙම නැතුව දුරස් වෙනවා. ඒ කියන්නේ කියවීම, ලිවීම ඇතුළුව සමස්තයම. මොකද අපි වෙනුවට ලියලා කියවල දෙන්න දැන් නොදන්නා කෙනෙකු ඉන්නවා. ඉතින් වර්තමාන සමාජීය ජීවියා පොදු සාරාත්මක ලක්ෂණ පමණක් සහිත සත්වයෙක් බවට රූපාන්තරණය වෙමින් විවිධාංගිකරණය නැතිකරමින් සිටිනවා. සරලව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් සිටිනවා. ඒ කියන්නේ ධනවාදය විසින් අපිට ඉතාම අපූරුවට පරතරයන්  මකලා විනෝදයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගලා දෙනවා. ඉතින් කවුද අකමැති.

ඒක හරියට සුපිරි අවන්හලක හැඳි ගෑරුප්පු නැතුව නිදහසේ  කුකුල් මස් පලුවක් අතින් කන වෙළඳ දැන්වීමක් වගෙයි. බැලූ  බැල්මට මේකේ නරකක් පෙන්නේ නැහැ නේ ඉතින්. දැන් ඒ නිසා අපිටත් හිතෙන්න ඕන නේ මරු කියල. ඉතින් අපි යන්න ඕනේ නැද්ද මෙතෙන්ට. අපිට හිතෙන්නේ නැද්ද එහෙම. ඔන්න ඔතනදි තමයි ඔයා යන්නේ. ඔයා ගියහම,මෙයත් යනවා. ඔයත්, මෙයත් දෙන්නම ගියහම ඔයාගේ අරයත් එනවා. ඒ හැමෝම   ගියහම යහළුවෝ, නෑදෑයෝ හැමෝටම යන්න හිතෙන අර මෙව්වා එක ඇඟටම එනවා. ඔන්න ඕකට තමයි කියන්නේ පොදු අවශ්‍යතාවයක්  බවට මේ අවශ්‍යතාවය ගොඩනැගෙනවා කියලා. ඉතින් නරකද? කවුරු හරි විරුද්ධ වෙනවා නම් වැරදියි කියල කියන්නේ නැද්ද?

ඉතින් මේ කියන කට්ටියටම යන එන පින්තුර බෙදා හදා ගන්න අපිට ලැබිල තියෙන අවකාශය තමයි ආයෙත් මේ සමාජ මාධ්‍ය අවකාශය. ඉතින් දින පතාම අපිට ඕනේ වෙනවා අලුත් අලුත් චායාරූප එක්ක දාන්න දෙයක්. එහෙමත් නැත්නම් මේ කියන සමුහය සමග එකතුවෙන්න දෙයක්. අන්න ඒ එකතුවෙන්න දේවල්, ස්ථාන, ඉවෙන්ට් ඕනේ තරම් හදලා ආයෙත්  සමාජ මාධ්‍ය වගේම අනෙක් මාධ්‍ය වල අපිට තොග ගණනින් බෙදා හරිනවා. ඉතින් අපිට එකකින් තව එකකට යන්න වෙනවා. නැත්නම් අලුත් දෙයක් නැතුව යනවා ෆේස් බුක් එකේ බෙදා ගන්න. මෙන්න මෙතැනදී තමයි තමන්ගේ අනන්‍යතාවය ප්‍රශ්නයකට ලක් වෙන්නේ. හරි ඉක්මනට පවතින අනන්‍යතාවය අනෙකා සමග සංසන්දනය කරමින් මාරු කරගන්න වෙනවා. දැන් තමන්ට අර තමන්ගේ සමාජය ඇතුලේ ඉන්න අනන්‍යතාවයක් ඕනේ වෙනවා. ඉතින් දැන් අපි අපිට අනන්‍යතාවයක් හොයනවා. මේ වෙලවට තමයි ඔයාට හම්බවෙන්නේ ඔබ කැමති දේ.

ඔයාට දැන් ගුරුවරයෙක්,දොස්තරකෙනෙක්,ඉංජිනේරුවෙක්,එහෙමත් නැත්නම් වෙන කුමක් හරි ඔබේ රැකියාව සහ පුද්ගලික ප්‍රතිරූපය ගැන කම්මැලි කමක් බොරින් එකක් එනවා නම් ඔබට පුළුවන් ඕන නම්  ගායකයෙක්,ගායිකාවක් වෙන්න. එහෙමත් නැත්තනම් නළුවෙක් නිලියක් වෙන්න, නැත්නම් සංචාරකයෙක් වෙන්න, නිරූපන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න එහෙමත් නැත්නම් ඔයාට ඕනේ නම් චායාරූප ශිල්පියෙක් වෙන්න. ඔබට ඒ අවශ්‍යතාවයත් ඔබේ අත ලඟම  දුරින් ඇති ජංගම දුරකතනයෙන් ම කරගන්න පුළුවන්. ඒ සඳහා මේ මොහොතේම ඇතුල්වෙලා ඔබේ යහළුවන් අතර ක්ෂණිකව බෙදාගෙන මේ මොහොතේ ඔබේ අනන්‍යතාවය වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ අනන්‍යතාවය වෙනස් කරගන්නවා. කවුද මේ අවශ්‍යතාවය  ඔබට ඇතිකරන්නේ සහ ලබා දෙන්නේ?

ඒ දෙකම එන්නේ සමාජය කියන පාර්ශවය හරහා. දැන් ඒ නිසා ඔබ පෙලඹෙනවා නිරන්තරන්න් මේ කියන අනන්‍යතාවයට  නතු වෙන්න. දැන් බැලූ බැල්මට මේකෙත් වැරද්දක් අපිට නොපෙනෙන්න පුලුවන්. ඔය දේ අපි කිව්වට පිළිගන්න කැමති වෙන්නෙත් නැහැ. ඒකත් අවුලක් නැහැ කියල අතහැරලා අපි දැන් එමු මේ වසරේ අපිට මේ වෙලාවේ සමාජ ගතවෙලා තියෙන ඔය ආර්ථික අර්බුදය එක්ක මොකක්ද මේ කියන සම්බන්දය කියලා හොයන්න. එතැනදී තමයි අපිත් නොදැනම අපි යන අර්බුදය මතුවෙන්නේ. එත් මේක දන්නේ නැහැ. මේ අර්බුදයේ හේතුව නෙවෙයි අපි ඇත්තටම දැන් දකින්නේ ඵලය විතරයි. අපි හේතුව මගහැරලා ගැටලුවට විසඳුම් හොයනකොට අපිට ආයෙත් හමුවෙන්නේ ඵලය විදිහට මේ කියන අනන්‍යතා අර්බුදයම තමයි. දැන් අපි හොයනවා යමක් ආයෙත් ඔය කියන තැනින් තැන. ඒ එක තැනකින්වත් ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ආයේ ආයේ නොනවතින කාංසාවක් විතරයි. අවසානේ අපි හිතන දේ තමයි රටින් යන එක විසඳුම කියන යථාර්තය. මේ කියන සමාජ අනන්‍යතා වෙනුවෙන් අපි කැපකරපු යමක් තියෙනවද කියල අපි හොයලා බලන්න පෙලඹෙන්නේ නැහැ. හරියට පහන් කණුවේ එලිය නිසා එකේ යට තියෙන අඳුර ගැන සැලකිල්ලක් නැහැ වගේ. ප්‍රශ්නේ සහ හේතුව දෙකම එකම තැනක ව්‍යුහගත වෙලා. වලිගෙ  උඩ වාඩි  වෙලා වලිගෙ හොයනවා. ඇත්තටම අපි මේ අනන්‍යතා හොයන්න කැපකරේ අපේම ජිවිතේ කියන එක හිතන්නවත් අපිට වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඔබ මේ මොහොතේ ණයක හිමිකරුවෙක්. එහෙත් ඔබ එය දන්නේ නැහැ. මොකද ඒවා ඔබේ පසුම්බියට මුදල් වශයෙන් ආවේ නැහැ. එත් ඔබ ඔබේ සමාජ අනන්‍යතා ගොඩනගන්න යන හැම  අවකාශයකම ඔබේ හෙවනැල්ල වගේ ඒ කාසි නෝට්ටු ඔබ ලඟම රැඳෙනවා. ඔබ විනෝද වෙන්නේ ඒ මුදල් වලින්  බව ඔබ නොදන්නවා වගේම, ඔබට ඒ පිලිබඳ වගකීමක් නැහැ. ඔබ සහනය හොයන්නේ කුමකින් ගලවෙන්නද? ඔබට කාන්සිය දැනෙන්නේ ඇයි?

ඔබට වෙහෙසක් දැනෙන්නේ ඔබ කුමක් කරටද? ඔබ රැකියාවට ගොස් ගෙදර එනකන් ඔබ ඔබේ කාලය සහ ශ්රමය මහපාරක අනවශ්යව ගෙවා දමන්නේ ඇයි? ඔබ ඔබේ දරුවාගේ ශිෂ්යත්ව විභාගය වෙනුවෙන් දිවා රෑ මහන්සි වෙන්නේ ඇයි ? ඔබත් ඔබේ පෙම්වතියත් හෝ ඔබත් ඔබේ සැමියා හෝ බිරිඳ සමග ගත කරන කාලය ඔබෙන් උදුරා ගත්තේ කවුද?ඔබට ඔබේ ආයතනය සමග අරගලයෙන් අතිකාල වැඩ ඉල්ලගන්න වෙන්නේ ඇයි ? ඒ අතිකාල ගෙවා ඔබ ගෙදර එන්නේ කීයටද? ඔබ ඔබේ බිරිඳ,ස්වාමියා,දරුවන් සමග එකට ගතකරන කාලය ඔබෙන් පැහැර ගත්තේ කවුද. ඔබ ඔබේ කාලය ශ්රමය කැපකරමින් මුදල් හොයන්නේ කුමකටද? බැංකුවට, ලිසිං වලට, ටියුෂන් වලට, චැනල් වලට වැනි අසීමිත ගෙවුම් පියවීම් සඳහා බව ඔබ නොදන්නේද? එහෙමත් නැත්නම් චිත්රපටියක් බලන්නද? අලුතෙන්ම පිටවුනු පොතක් මිලදී ගන්නද?  එහෙමත් නැත්නම් ඔබ ඔබේ කාලය ගෙවන්නේ පොතක් කියවන්නද,නිවාඩු පාඩුවේ ඔපෙරාවක්,සොනාටාවක්, කැන්ටාටාවක්, ගීතයක්,සංගීතයක් රසවිඳින්නද? නැහැ ඔබ විඳින්නේ දුක් වේදනාවක්. ඔබට ඒ වේදනාවට පිළිතුරක් ලැබෙනවා. ඒ මේ කිඋයන මාධ්‍ය, දේශපාලනය සහ ආගම තුලින්. ඔවුන් ඔබට යෝජනා කරනවා ඔබේ සතුට වෙනුවෙන් රියැලිටි, සොප් ඔපෙරා මෙගා ටෙලි, යන්න එන්න ජෝගින් පාරත්, ඒ වගේම ඔබේ සැනසිල්ලට ඔබේ කරුමය කියන ෆැන්ටසිය. ඔබ නොදන්නවා උනාට ඔබ ඔබේ ජිවිතේ කැපකරලා තියෙන්නේ මෙන්න මේ කියන සමාජ අනන්‍යතාවය  ගොඩනගන්න. ඒ ඒක ව්‍යාජ අනන්‍යතාවයක්   බව ඔබ තේරුම්  ගන්න තුරු ඔබ ඔබේ අනන්‍යතාවය සොයා මේ සැණකෙළි භුමියේ ඝන්ධබ්බයෙක් වෙනවා. ඒ හැම ඝන්දබ්බ චයාරුපයක්ම  ඔබේ ෆේස් බුක් පිටුව සරසනවා. ඔබට එතැනදී හමු වෙන්නේ ඔබ වගේම පිරිසක් සමග මේ කියන එක අවකාශයේ පාවෙනු ලැබීමයි. ඔබ ඔබේ ජීවිතය පාට කරලා සරසලා උඩට ගන්න යන්න  උත්සාහය එක තැනකදී ඔබටත් හොරෙන් දන්නෙම නැතුව සැහැල්ලුවෙ උඩට ඇදිලා යාවි. ඒත්  ඒ ඔබට ඕනේ විදිහට නෙවෙයි. ඒ හරියට උඩ නග්ගන්න ට්රයි කරලා හුළඟට අහුවෙලා උඩට ඇදෙන සරුංගලයක් වගේ. සරුංගලේ පාවෙන්නේ සුලඟ හමන දිසාවට මිසක් ඉන් පස්සේ ඔබේ අතේ රැඳෙන ඔය සිහින් නූල් පටින්  බැහැ සරුංගලේ හසුරුවන්න. සුලඟ තමයි තීරණය කරන්නේ සරුංගලේ යන දිසාව. යන්නේ කොහේද කියලා. එහෙම පාවෙලා යන සරුංගලේ ගස් වල අකුල්වල පැටලුනහම්  අතේ තියෙන නූල් පටින් ඇදල බේරගන්න බැහැ . සරුංගලේ මේ කිසිවක් දන්නේ නැහැ. ඒ නිසා කියන්න ඕනේ මේ පාට දාලා අපි හැදුවට අපිව අපිටම අවනත නැති සුලඟක පාකරලා දන්නෙම නැති කටු අකුලක පටලවනවා කියන එක. මේ මොහොතේ අපි ඉන්නේ උඩ  යන පාවෙන සරුංගලේ වගේ උනාට පාවෙලා ගිහිල්ල කටු අකුලක නතර වෙන්න තියෙන අවදානම වැඩයි කියල තවම අපිට තේරිලා නැහැ. අපි තවමත් සුළගේ අපි තවමත් සුළගේ පාවෙන සරුංගලයක් විතරයි. අපි දන්නේ නැහැ කොයි මොහොතේද සුලඟ අපිව කටු අත්තක පටලවන්නේ කියල. අපි තවමත් ඉන්නේ මේ පාවෙන විනෝදය එක්ක. අපි එකින් එක තව සරුංගල් එක්ක තරඟෙට උඩ යනවා ,පහලට එනවා,ආයෙත් උඩ යනවා. අත වනනවා. සෙල්ෆි ගන්නවා. එත් අපි දන්නෙම නැතුව එක මොහොතක සුළඟම අපිව කටු අකුලේ රඳවනවා. ඒ නිසා මේ මොහොත මට පෙන්නේ මෙන්න මේ සරුංගල් සැණකෙළියේ පාවෙන සරුංගල් වගේ සමාජයක් තමයි. එක තමයි මේ කියන කතාවේ එකමත් එක රටක නුදුරු අතීතයේ පසුගිය සතියේ උනත් අත්දකින්න ලැබුණු යතාර්ථය. එත් ඒක තමයි සැබැව.

Image from Freepick.com

Geeth Asanka Saputhanthri
Geeth Asanka Saputhanthri
B-Tech of University of Vocational Technology, Sri Lanka Writer, Cinematographer, Political Analyser, Director and Screenplay Writer

1 COMMENT

  1. ඉතා හොද හරවත් රසවත් ලිපියකි
    සුබ පැතුම් ගීත් මහතාට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles