

උදාවීමට නියමිත ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් “වැලන්ටයින් ඩේ “ කියන සැමරුම් දිනය හා සම්බන්ධව සහ මේ මොහොතේ මේ කියන උක්ත මාතෘකාව ආදරය යන්න ස්ථානගත වෙන්නේ කොතනද? කොහොමද කියන එක ගැන යම් අදහස් දැක්වීමක් මෙවර කලාපය තුලින් සංවාදයට ගෙන එන්න තීරණය කරා. ඒ අනුව අප ගතකරමින් සහ පසුකරමින් යන මේ වර්තමාන මොහොත තුල පවතින සමාජ සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික සමාජීය ස්වභාවය කෙසේවත් බැහැර කර මේ මොහොතේ ආදරය ගැන කතා කිරීම එක්තරා විදිහක වරදකාරී පියවරක් බව පැහැදිලි කර ගන්න වෙනවා. මොකද ආදරය කියන්නේ අපේ එදිනෙදා එහෙමත් නැත්නම් වර්තමාන මොහොත තුල ජිවත් වෙන සමාජයේ සමාජිකයිකයන් ගේ මැදිහත්වීම මත තීරණය වෙන නිසා. ඒ නිසා සමාජයක ව්‍යුහමය ස්වරුපය එම සමාජයේ සාමාජිකයන් තුලින් ඉස්මතු වෙනවා සහ එයම සමාජය තුලට කාන්දු වෙනවා. සමාජයෙන් සාමාජිකයා නිර්මාණය වෙනවා වගේම සාමාජිකයන් හරහා සමාජයක් නිර්ණය වෙනවා. එනිසා මේ වර්තමාන මොහොත එනම් අපි යථාර්තවාදී විදිහයට බාරගන්න අවකාශයේ ව්‍යුහාත්මක සැකැස්මට අනුව එහි පවතින අනුශාන්ගයන් සහ සමස්ත ස්වරූපයන් හැඩගැහෙනවා. එසේ නම් මේ වර්තමාන යතාර්ථය කෙබඳුද සහ එය ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණය සඛච්චාවට නොගෙන ආදරය ගැන හෝ එහි පැවැත්ම ගැන කතා කරන්න බැහැ කියලා හිතන්න වෙනවා. ඒ නිසාම මේ මොහොතේ ක්‍රියාත්මක සමාජ සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික ව්‍යුහයන් වල ස්වරූපය මිනිසුන්ගේ කායික ක්‍රියාවන් පාලනය කරනවා වගේම මානසික සංවේදනා පාලනය කරනවා. ඒ නිසා සමාජයක බහුතර සාමාජිකයන්ගේ මානසික ක්‍රියාවලින් සහ සිතුවිලි ඒ සමාජයේ සිතිවිලි සහ ක්‍රියාවලීන් හසුරුවන්න මැදිහත්වෙනවා. ඒ නිසා යම් විදිහකින් යම් කිසි පාලිත මානසික සහ ශාරීරික ක්‍රියාවන් හරහා සමාජයක් පවතින ස්වරුපය හැඩගස්වාගන්න පුළුවන් වෙනවා. මේ කියන මූලධර්මය යම් දේශපාලනික ක්‍රියාවලියක පැවැත්ම වගේම ආර්ථික සමාජීය සංස්කෘතික පැවැත්මක තහවුරු බාවය පවත්වාගන්න කරන දෘෂ්ටිවාදී මෙහෙයුම් සඳහා වැදගත් වෙනවා. එය දේශපාලනික ක්‍රියාවලියක් වගේම එහි බලපෑම සමාජීය සාමාජිකයන්ගේ සංවේදනා මතද තෙරපුමක් ඇති කරනවා. ඒ නිසා ආදරය වැනි මිනිස් සංවේදනා කලාපයන් වල ස්වරූපය කෙරෙහි දේශපාලනය වගේම සමාජ සංස්කෘතික සහ ආර්ථික ව්‍යුහය බලපානවා. එසේ නම් ආදරයේ හැඩය විවරණය කර ගැනීම සඳහා මේ මොහොතේ අපට මේ කියන වර්තමාන මොහොත සැකසෙන්නේ කොහොමද සහ එය ගොඩනගන්නේ කුමන ආකාරයටද කියලා තේරුම්ගන්න වෙනවා.
එසේ නම් කොහොමද මේ කියන දෘෂ්ටිවාදී මෙහෙයුම හෝ පාලිත පොදු හැගීම් සහිත සමාජ සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික අවකාශය ගොඩනගන්නේ. එය ක්‍රියාත්මක වෙන්නේ කුමන ආකාරයෙන්ද කියන එක අපිට තරමක් විස්තරාත්මකව සඛච්චා කරන්න වෙනවා.
මේ සංවාදයට එළඹෙන්නට ප්‍රථම මේ කියන ගොඩනැංවීම සිදු කරනවා යැයි කියන දේශපාලනික ආර්ථික සහ සංස්කෘතික ව්‍යුහය අපෙන් බාහිරව පවතින්නක් ලෙස සලකමින් එය බාහිරය ලෙස හඳුන්වාගන්න වෙනවා. ඒ සමගම එක් මොහොතක මේ බාහිරයේ සීමා මායිම වැට පනින අතර එය අපේම අභ්‍යන්තරයද වෙනවා. එයද මේ සංවාදය තුලින් අපිට නොපෙනී හමු වෙන කරුණක් වෙනවා. මොකද එය අභ්‍යන්තර වීමකින් තොරව බාහිරයට අනන්‍යතාවයක් නොමැති වෙන අතර බාහිරයේ පැවැත්ම තහවුරු නොවෙන්න පුළුවන් නිසා.
වඩාත්ම සමානාත්මතා අවකාශයක ජිවත් වෙන්න ලැබෙන සිහිනය හැම කෙනෙක් තුලම සිතේ කොතැනක හෝ සටහන් වෙලා තියෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ම සමාන අයතිවාසිකම් සහ ගරුත්වයක් සිතේ කොතනකින් හෝ බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. කුඩා දරුවෙකුගේ ඉඳල කුමන වයස් සීමාවක ඉන්න ඕනෙම කෙනෙකුට එය පොදු අදහසක්. එහෙත් අපිට එවැනි අවකාශයක් පිලිබඳ බලාපොරොත්තුව පමණක් ඉතිරි කරමින් අපිව එම කාංසාව තුල ගිල්වා තබමින් තියෙනවා. මේ කියන කාංසාව තුලින් මිදීමේ පියවරයන් විදිහට අපි නොයෙක් ආකාරයේ ක්රමයන්, පියවරයන් අත්හදා බලමින් කාලය වැයකරමින් මේ අවකාශය පුරවා තබාගන්න උත්සහා කරනවා. ඉහත සඳහන් කල පොදු කියන අදහසම වටේකින් ගිහින් නැවත අපිට මුණ ගැහෙන්නේ මෙන්න මේ කියන මේ අවකාශය පුරවා ගන්න කරන ක්රියාවලිය තුලදීම තමයි. එහෙත් එය අපි විසින්ම පොදු බවට පත් කරන ලද්දක්ද? පිළිතුර, නැහැ කියන එක. අපිව පෙලන අපි බලාපොරොත්තු වෙන මේ පොදු හැගීම හෝ අවශ්යතාවය පිලිබඳ අපිටත් වඩා අවදානයෙන් සහ වගකීම දරන බාහිරක් ( අපෙන් බාහිර පවතින යමක්. ඒ කියන්නේ අපිව පාලනය කරන පිරිසක් හෝ ක්රමයක්) අපි වටා නිරන්තරව ගොඩනැගෙනවා. අපේ කියන සමාජීය සාමාජික මිනිසා එකිනෙක අභ්යන්තරව පෙලන මේ කියන අවශ්යතාවය සහ ඒ හරහා ගොඩනැගෙන කාංසාව ඔහු හෝ ඇය තුලම දියකරලා තියන්න උත්සහ කරන අතරේම ඒ පිලිබඳ හොඳින්ම දැනුවත් මේ බාහිරය, එහි වරදකාරිත්වය පිලිබඳවත් දැනුවත්. ඒ වගේම එහි වගකීම තමන් තුල කියන එකත් ඒ අය හොඳින්ම දන්නවා. එහෙත් අපෙන් එය නිරන්තරයෙන් සඟවා තබන ඔවුන්, අපිට ඒ වෙනුවෙන් අපේ අවදානය වෙනතකට යොමුකරවමින් ඉන්නවා. වැරදීමකින් හෝ සැබෑවේ මුහුණ නොපෙනෙන ලෙස පවතින යතාර්ථය සිදුරු නොවෙන්න ඒ අය වගබලා ගන්නවා.ඒ තමයි ඒ අයගේ වගකීම. ඒ සඳහා ඔවුන් කරන්නේ කුමක්ද?
ඔවුන් හොඳටම දන්නා කාරණය, මිනිසා ස්වභාවයෙන්ම ආශා කරන්නෙක්. ඒ වගේම ඔහු සමානාත්මතාවය අපේක්ශා කරන්නෙක්. ගරුත්වය,පිළිගැනීම, ආදරය, සැලකිල්ල බලාපොරොත්තු වෙන්නෙක්. ඒ නිසාම තමයි ඔවුන් ආගම් වෙත නිසඟයෙන් ඇදී යන්නේ. ඉතින් මේ කියන දේවල් පිලිබඳ හොඳින්ම දැනුවත් මේ කියන බාහිරය නිරන්තරයෙන් මේ කියන වියාකුල සමාජය සමතුලිතව පවත්වා ගන්න උත්සහා කරනවා. එතැනදී තමයි ඔවුන් අපේ පොදු කියන සාදකය මුනින් අතට හරවලා අපේ හිස මත පටවන්නේ.
කොහොමද මේ පොදු බව අපට අරගෙන එන්නේ. මේ කාංසාවෙන් පෙලෙන මිනිසා කොහොමද මෙයින් සුවපත් මිනිසෙකු කරන්නේ. ඒ සඳහා අවශ්ය ඔසු මොනවද? එය නිට්ටාවට සුව කල හැකිද? එසේත් නැත්නම් එය තවකලික වේදනා නාශක මගින් සහනයක් දිය හැකිද? නිට්ටාවට සුවකළ හැකි නම් එවිට බාහිරයේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවෙනවද? නැතහොත් බාහිරට සැබෑවටම අවශ්ය එය නිට්ඨාවට සුව කරන්නද?, නැතහොත් තාවකාලික සහනයක් සමගින් ඉදිරි නව එළඹුමක් වෙත රැගෙන යන්නද? එය මේ මොහොත සමග සංසන්දනය කරන්න වෙනවා.
මෙතැනදී තමයි මේ කියන බාහිරය මේ මොහොතේ දරන ස්ථානය ගැන යම් විදිහක තේරුම් ගැනීමක් අවශ්ය වෙන්නේ. ඒ කියන්නේ පවතින ක්රමය තේරුම් ගන්න වෙන්නේ. එය ආර්ථික සහ දේශපාලනිකව ධනවාදී නම් සංස්කෘතිකව පශ්චාත් නූතනවාදී හැඩයකින් යුක්ත බව තේරුම් ගන්න වෙනවා. එසේ නම් ධනවාදයේ අවශ්යතාවය අනුව ලබා දෙන ඔසුවේ ස්වභාවය තේරුම් ගන්න වෙනවා.
ඉහත මේ කියන තේරුම් ගැනීම සඳහා ආරාධනා කරමින් වටයක් යන්න උනේ කතාකරන්න හදන මාතෘකාව සඳහා ප්රවේශයක් ලබා ගන්නයි. මොකද කාලීනව මේ මොහොතේ පවතින සමාජ සංස්කෘතික දේශපාලනික අවකාශය තුල හිඳිමින් මේ මාසය තුල HRZ සඟරාවේ කලාපය ආදරය කියන සමස්තය තුල රැඳෙමින් කතාකරන්න හිතුව නිසා. කොහොමත් එළඹෙන පෙබරවාරි 14 දිනය ආදරවන්තයින් සඳහා වෙන් කල දිනයක් ලෙස නම් කිරීමත්, ඒ තුලින් අපේක්ෂිත අරමුණු වෙත යම් ප්රවේශයක් ගන්නත් අවශ්ය නිසා. කෙසේ උනත් මා මේ තුලින් උක්ත දිනයේ සාධාරණ හෝ අසාධාරණ ගැන හෝ ඒ පිලිබඳ විචාරයක් කරන්න බලාපොරොත්තු නොවෙන අතරම උත්සාහා කරන්නේ එළඹෙන සමාජ කතිකාව තුලින් වෙනත් අදහසක් බෙදා ගන්න පමණයි.
මෙන්න මේ සංවාදය සහ කරුණු තුල හිඳිමින් අපි අපේ සමාජය ඒ කියන්නේ මේ මොහොතේ ලාංකීය සමාජ සංස්කෘතික දේශපාලනික අවකාශය සහ එහි සාමාජික මිනිසුන්ගේ සංවේදනා ගැන හිතන්න වෙනවා.
අපි මෙහිදී වැඩිපුර මේ මොහොත තුල ලාංකීය සමාජය තුල පවතින ආදරය කියන සංවේදනය පිලිබඳ සාකච්චා කරන්න උත්සහ කරමු. එය ගෝලීය මට්ටමින් කුමන ස්ථානයක ද හෝ එහි වර්තමාන සංචලනයන් මොනවද කියන එකට වඩා අපි දිනපතා මුහුණ දෙන දහසක් සංවේදනා අතරේ ආදරය කොතැනක ස්ථානගත වෙනවද ඒ සඳහා පවතින සමාජය තුල බලපැවැත්වෙන නිර්ණායක සහ ඒ තුලින් සිදුවෙන ව්‍යුහාත්මක වෙනස් කම් සහ ඒවායේ හැසිරීම් කෙසේද යන්න සලකා බලමු.
එතැනදී අපිට මා කලින් ඉදිරිපත් කල කරුණු මත ගමන් ගත් වටරවුම් මාර්ගයේ මුණගැසුන යම් යම් දේවල් උවමනා වෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ ලාංකීය සමාජය මුහුණ දෙන්නෙත් මේ කියන පශ්චාත් ධනවාදී ආර්ථික දේශපාලනික සහ පශ්චාත් නුතනවාදී සංස්කෘතික නිමේෂයක බව හිතන්න වෙනවා. එවැනි අවකාශයක ආදරය අපි ස්ථානාගත කරගන්නේ කොතන කොහොමද සහ එහි ව්‍යුහය සැලසුම් වෙන්නේ කෙසේද කියලා අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ අපි කරමින් ඉන්නේ කුමක්ද. අපි ඉන්නේ කුමන කාංසාවක අබියසද? ඇයි අපි කාංසාවකින් පෙළෙන්නේ. අපිට අහිමි කුමක්ද? අපි ලබා ගන්න උත්සහ කරන්නේ කුමක්ද? මෙහිදී එක පසකින් පිළිතුරක් ලෙස ගොඩනැගෙන දෙයක් තමයි අනන්යතාවය. ඒ හරහා ඉන් ඉදිරියට ගමන් කරන මේ අර්බුදය එකින් එක ගොඩනැගෙනවා. කෙසේ හෝ මේ අර්බුදයට මැදි වෙලා තමයි සමජය තුලදී ආදරය පවතින්නේ. පවතින්නේ කියන්නේ දෝලනය වෙන්නේ. කොහොම හරි ආදරයට එන්න ඉස්සෙල්ල තව කුඩා පාරක් හරහා යන්න ඕන වෙනවා.
ඇත්තෙන්ම මේ අය අපිට සමානාත්මතාවයේ සමාජයක් ගොඩනගනවා. ඒ අර්ථයෙන් බැලුවහොත් ඔවුන් වඩා නිවැරදියි. ප්රශ්නය තියෙන්නේ ඔවුන් ගොඩනගන සමානාත්මතාවයේ සමාජය මොකක්ද කියන එක. මොනවද ඔවුන් පොදු ලක්ෂණ බවට පත්කරන්නේ. අපේ සමාජයේ සමාජ සංස්කෘතික ව්‍යුහය පිරමිඩයක් විදිහට සැලකුවහොත් එහි ස්ථර ගණනාවක එකතුවක්. එය පුළුල් පාදමක් සහිත පියවර කිහිපයක් හරහා ඉහල පටු ශීර්ෂයක් දක්වා ඉහලට නැගුනක්. ඉතින් ඔවුන් කරන්නේ මේ කියන පිරමිඩයේ ස්ථර අවම කරන එක නම් එය ඉතාම හොඳ පියවරක් නොවේද?. ඔව් සැබවින්ම ඔවුන් පියවර අඩු කරනවා. ඒ කොහොමද?. එහෙම අඩු කරනවා යනු නිරන්තරයෙන් පහල ස්තරයන් වල පිරිස් ක්‍රම ක්‍රමයෙන් ඉහල සතර කරා සංක්‍රමණය විය යුතුයි. එහෙම උනොත් වෙන්න ඕනේ පහල ස්තරයන් පටු වෙලා ඉහල ස්තරයන් පුළුල් වෙන එකයි. එහෙම උනොත් පිරමිඩයේ හැඩය අනෙක් පැත්ත ගැහෙනවා. ඒ කියන්නේ පිරමිඩය මුනින් අතට හැරෙනවා.එහෙත් ඔවුන් කරන්නේ, පිරමිඩය අනෙක් පස හරවනවා වෙනුවට පිරමිඩය සමතලා කරන එක. බැලූ බැල්මට කෙනෙක් හිතන්න පුළුවන් ස්ථර ගණනක පරතරයක් තියෙනවට වඩා ස්ථර අඩු වීම ප්රගතිශීලි පියවරක් නොවේද කියන එක. පිළිතුර ඔව්. එත් ඒක සිද්ධවෙන්න ඕනේ දැනට කරමින් සිටින පසට නෙවෙයි ඊට ප්රතිවිරුද්ධ පසට. ඒ කියන්නේ පුළුල් පාදමක් වෙනුවට පාදම පටු වෙමින් එහි ඉහල පටු ශීර්ෂය පුළුල් වෙන විදිහට. ඒ කියන්නේ පුළුල් අදෝ වියුහය අවම කරමි පුළුල් උපරි වියුහයක් ගොඩ නගමින්. නමුත් ඔවුන් සිදුකරන්නේ එය නෙවෙයි. ඒ වෙනුවට පාදම එහෙමත් නැත්නම් අධෝව්‍යුහය පුළුල් කරමින් ඉන් ඉහල අනෙකුත් ස්ථර පාදම වෙතම කැඳවමින් එම ස්ථරත් පාදම වෙත දියකර වීම. ඉන් සිදු කෙරෙන්නේ සමාජ සංස්කෘතික පිරමිඩයේ උපරිවියුහය කරා එළඹීම සීමා කිරීම සහ අඩාල කරමින් නවතා දැමීම. ඒ ආකාරයෙන් සිදු කරන සමානාත්මතාවය හරහා පුළුල් සමාජ මිනිස් අවකාශයක් පාදම තුලම රඳවමින් එහි පුළුල් වපසරියක් ගොඩනගමින් පොදු මිනිස් අවශ්යතාවයන් ඒ තුල සන්තර්පණය වෙන්න සලස්වන එක. අපි දන්නවා සමාජ ස්ථර අතර සමාජ සංස්කෘතික බුද්ධිමය පරතරයක් පවතිනවා. එය සීමා කරනවා හෝ නැති කරනවා කියන්නේ පහළ ස්ථරයේ සමජිකයනුත් ඉහල ස්ථර වෙත කැඳවමින් කල යුත්තක් මිසක් ඉහළ ස්තරය පහලට තල්ලුකර පිරමිඩයේ උස අඩු කිරීම නෙවෙයි වෙන්න ඕනේ. පිරමිඩය අනික් පැත්ත හැරවීමක්. ඒ වෙනුවට සිද්ධ වෙන්නේ පිරමිඩය පහලට දියකර හැරීමක්.
ඇයි එහෙම වෙන්නේ හෝ කරන්නේ. ඔවුන්ට අවශ්ය වැඩි පොදු අවශ්යතාවය ඔවුන්ගේ කැමැත්ත මත තෝරගන්න සහ ඉල්ලුම් කරන පිරිසක් මිසක් ඔවුන් අබියෝගයට ලක් කරන පිරිසක් නෙවෙයි. ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ සහ සේවා වලින් සන්තර්පණය කරමින් ඒවා මත යැපෙන සහ ඉල්ලුම් කරන පිරිසක්. ඒ කියන්නේ ඔවුන් හා සමාන භාණ්ඩ හෝ සේවා පරිහරණය කරන්න එපා කියන එක නෙවෙයි. ඔවුන් භුක්තිවිඳින ස්ථානයට තරම් සිතුවිලි ළඟාකරගත නොහැකි සමාජ ස්තරයක් ගොඩ නැගීම. එහෙම උනහම ඔවුන්ට පුළුවන් වෙනවා අවම අවශ්යතා ප්රමාණයක් සපයමින් තමන්ගේ කාර්යන් කරගෙන යන්න. ඒ කියන්නේ මිනිසුන්ගේ පොදු අවශ්යතා ඉතාම ප්රාථමික අවස්ථාවකට පමණක් ගොනු වෙනවා. එසේ ගොනු වීම මත මිනිසාගේ අවශ්යතා වල ප්රමාණය සහ ස්වභාවය කුඩා සහ වෙනස් වෙනවා.
ඒ කියන්නේ මිනිසාගේ පොදු අවශ්යතා ඉතාම ප්රාථමික අවස්ථාවකට පමණක් ගොනු වෙනවා. එසේ ගොනු වීම මත මිනිසාගේ අවශ්යතා වල ප්රමාණය සහ ස්වභාවය කුඩා සහ වෙනස් වෙනවා. ප්‍රථමික අවස්තා මත පමණක් ගොනු වෙන සමාජ සංස්කෘතික මිනිසා එම ප්‍රථමික අවශ්‍යතා පමණක් මගින් සන්තර්පණය වෙන සහ ප්‍රමාණාත්මකව සැහීමකට පත්වෙන ජීවියෙක් බවට රූපාන්තරණය වෙනවා. එවැනි සමාජයක රසවින්දනය අහිමි වෙනවා. ඒ කියන්නේ වාර්ගික ජීවියෙකු හැටියට මිනිසා පරිණාමය වීමේදී එකතු වෙන බලයන් සහ අවශ්‍යතාවයන් නැවතත් ක්‍රමයෙන් මිනිසා තුලින් ඉවත් වෙමින් යනවා. ඒ සඳහා ආර්ථික සහ සමාජීය සංස්කෘතික දේශපාලනික කරුණු එක එල්ලේම බලපැවැත්වේනවා. ආර්ථික වශයෙන් සමුර්ධිමත් නොවෙන සමාජයක මිනිසුන් බොහෝ ද්විතීක සංවේදනීය, වින්දනීය කලාපයන් මගහරිනවා. ඒ හරහා කියවීම. රසවිඳීම, ඔවුන් තුලින් ඉවත් වෙනවා. ඒ කියන්නේ සාහිත්‍ය.කලාව වැනි මානව ශාස්ත්‍ර කලාපයන් සහ දැනුමින් විතැන් වෙනවා. ඒ නිසා ප්‍රාථමික මිනිස් අවශ්‍යතා විදිහට ආහාර,ප්‍රජනනය, වැනි තැන් වලට නැවතත් මිනිසා ගමන් කරනවා. ඔවුන් ආදරය වැනි සංවේදනා කලාපයන් දියුණු කරගන්නෙම වාර්ගිකව ඔහු උපයාගන්නා ජීවිතය සහ එහි පුළුල්බව හරහායි. එහෙත් ක්‍රමයෙන් ඔවුන් එයින් දුරස්වෙමින් ඉන්නවා. කියවීම් කලාපයෙන් දුරස් වීම හරහා මිනිස් සිතුවිලි සහ පරිකල්පනයන් අහිමි වෙනවා. මිනිස් සංජානනයන් දුර්වල වෙනවා. යතාර්ථය පරාවර්තනය සහ පරිවර්තනය කිරීමේ නිර්මාණශීලි හැකියාවෙන් මිනිසා දුර්වල වෙනවා. මේ දෙපසට සිදුවීමේ ක්‍රියාවලිය හරහා මිනිසා කුදු මිනිසෙකු බවට පත්වෙනවා. එවැනි සමාජ ජීවියෙකු සරල ප්‍රථමික අවශ්‍යතා ස්වල්පයක් හරහා සන්තර්පණය වෙන අතරේම ආදරය වැනි සංවේදන කලාපයන් සිතුවිලි තුලින් බැහැරව ශාරීරික ක්‍රියාවක් බවට හැරෙනවා. එය මනස මුලික දෙයක් නොවී ශරීර මුලික දෙයක් බවට පත්වෙනවා සහ සමාජය යෝජනා කරන අනන්‍යතා අර්බුදයේ පිලියමක් සඳහා අවශ්‍ය මෙවලමක් බවට පත්වෙනවා. එතැනදී ආදරයේ ස්වරුපය වෙනස් වෙනවා. ඒ තමයි ආදරය සහ එහි ස්වරුපීය ව්‍යුහය හැඩගැසෙන ආකාරය. ඒ නිසා මේ මොහොතේ අපිට සමාජය තුලින් නැගෙන යම් යම් චෝදනා ප්‍රතික්ෂේප කරන්න බැහැ . ඒ කියන්නේ ආදරය නැහැ කියන එක. මොකද ආදරයේ ස්වරූපය ඉහත සඳහන් කරන්නට යෙදුන ක්‍රියාකාරික ක්‍රියාවලිය මගින් වෙනස් වෙලා කියලා පිළිගන්න පුළුවන් නිසා. එහෙම තත්වයක් තුලදී ආදරය සහ එහි සාමාජිකයන් ගේ හැසිරීම තුල පවතින්නේ පරස්පර තාවයක්.
වැලන්ටයි දවසට ආදරවන්තයා ආදරවන්තියට පිළිගන්වන රෝස මල හෝ ආදරවන්තිය ආදරවන්තයට පිළිගන්වන රෝස මල හුදු භාණ්ඩයක් පමණක් වෙන්නේ ඒ නිසා තමයි. මොකද රෝස මලක් පිළිගැන්වූවාට ඒ රෝසම මල අර්තගන්වෙන්නේ කොතනද කියලා තේරුම් ගන්න පුළුවන් සමාජීය ජීවියෙක් දැන් අපට නැහැ. ඒ කියන්නේ රෝස මල කියන එක හුදු වචන දෙකක් විදිහට සහ භාණ්ඩයක් විදිහට විතරක් හැඟවුම් කරනවා හැරෙන්නට ඔවුන් කිසිම විටෙක එහි කව්‍යාර්ථය වටහා ගන්න තරම් සප්‍රමාණික දැනුම් මට්ටමක සිතුවිල්ලක නැහැ. හිතන්නකෝ මෙහෙම,
මේ කියන රෝස මල කවියක පෙළක යෙදෙන වචනයක් නම් ඒ කවිය තුලදී ඒ වචනයට ගොඩනැගෙන රූපාර්ථය හුදු වචනාර්ථය ඉකමවා යන්නක්. එහිදී එය සමහර විටෙක ස්කොමල තරුණියකගේ රෝස පැහැ දෙකොපුල් උපමා රුපකව රුපාර්ථ ගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඇගේ කොපුලේ සිනිඳු සුමුදු බව රෝස මල් පෙත්තක සුමුදු බවට උපමාරුපකව රුපාර්ථ මවනවා වෙන්න පුළුවන්.
මෙවැනි රුපාර්ථයක් ගොඩනැගෙන්න නම් කවිය පිළිබඳව දැනුමක්, රසවිඳීමක් අවශ්‍ය වෙනවා. එහෙත් මෙවැනි සමාජ සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික සමාජයක මිනිසුන් එවැනි කියවීම් කලාපයන්ගෙන් විතැන් වීම හරහා කවියක් හමුවෙන්න විදිහක් නැහැ. එවැනි සාමාජික ජීවියෙක් මගින් පිළිගන්වන රෝස මලෙහි තියෙන්නේ භාණ්ඩ වටිනාකමක් විතරක් වගේම එම රෝස මල පිළිගන්වන ආදරවන්ත යා සහ ආදරවන්තිය තුලින් ගොඩනැගෙන්නෙත් භාන්ඩමය වටිනාකමක් විතරයි. එවැනි භාණ්ඩ සමාජයක හුදු මිනිස් සම්බන්දතා තුලින් හමුවෙන්නෙත් එවැනි ගනුදෙනුවක් බවට රූපාන්තරණය වුනු ආදරයක් විතරයි. එතැනදී මානසික කලාපයෙන් විතැන් වෙන ආදරය ශාරීරික කලාපය සන්තර්පණය කරන ශ්‍රම ක්‍රියාකාරකමක් බවට පත්වෙනවා.ඒ නිසා රෝස මලක් අතට දී යන්නේ කොතනටද කියන එක ගැන අපිට හිතන්න වෙනවා. මොකද ඒ රෝස මලේ වටිනාකම මුදලට විතරක් සිමා වෙන අතර රෝස මලේ පෙති පිළිගැන්වුණු මොහොතේම කැඩී බිඳී විසිරෙන්න පුළුවන් නිසා. එහෙම උනොත් අපිට ආදරේ තේරුම් ගන්න වෙන්නේ විසිරුණු මල් පෙති වලින් විතරයි. ඒ කියන්නේ ආදරේ කියන්නේ විකිනෙන යමක් විතරයි එහි සංකේතිය අර්ථයක් නැහැ. ඒ නිසා අපි කියනවා ආදරේ මේ මොහොතේ නැහැ කියලා. මොකද මේ මොහොතේ ආදරේ විකුනන්න තියෙන්නේ වෙළඳසැල් වල නිසා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ ආදරේ විකිණෙන්නේ සේරිවානිජලා ළඟ නෙවෙයි. කච්චපුටලා ළඟ වීම.