ශ්‍රී ලංකාවේ අම්බලම් යන මැයෙන් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි සිව්වැන්න මෙසේ ඉදිරිපත් කරමි. මේ සඳහා පාදක කරගනුයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්) ) මහතා විසින් ගවේෂණාත්මකව ලියන ලද, අම්බලම හා ජන සමාජය නම් වන කෘතියයි.
මෙවර අප කතා කිරීමට සූදානම් වන්නේ, හේවාහැට සහ හඟුරන්කෙත ආශ්‍රිතව ඉදිකර ඇති අම්බලම් පිළිබඳවයි. මෙම අම්බලම් නිර්මාණය කිරීමේ දී, එකළ ප්‍රභූ වරුන් තමන්ගේ අනන්‍යතාව රැකගනිමින් සහ තමන්ට පහල වූ ජනතාව බෙදා වෙන්කර ගනිමින්, ඒ ඒ අයට උචිත වන පරිදි, අතීතයේ දී අම්බලම් නිරිමාණය කර ඇති බව ගවේශණාත්මකව සිදුකළ කටයුතු වලදී පැහැදිලිව දක්නට ලැබේ.
කෙසේ වෙතත්, මහාචාර්ය රෝහිත දසනායකයින් දක්වා ඇති කරුණු වලට අනුව, පාත හේවාහැට, මාරස්සන, හඟුරන්කෙත හා රිකිල්ලගස්කඩ ප්‍රදේශ වල සමාජ ස්ථරවල පැහැදිලි බෙදීමක් තිබූ බව අවබෝධ වේ. එය මනාවට ඔප‍්පු වන්නේ, මෙම අම්බලම් වල හිඳ ගැනීම සඳහා වූ ආසන වල ඇති විවධත්වය මගිනි. අදටත් කෙතරම් දුෂ්කරතා වින්ද ද මෙම ප්‍රදේශවල ජනතාව තම කුළ අභිමානය රැක ගැනීමට උත්සාහය ගනිමින් සිටී.
එනමුත්, ශ්‍රී ලංකාවේ අම්බලම් පිළිබඳව වන සිව්වන දිගහැරුමෙන් ඔබට විශේෂ අවබෝධයක් ලැබෙනු ඇතැයි මාගේ විස්වාශයයි.
මාරස්සන ගම මැද අම්බලම


මහනුවර දිස්ත්‍රික්කයේ, මාරස්සන නම් වන සුන්දර ගම්මානයේ මනරම් වූ වෙල්යායක් මධ්‍යයේ මෙය පිහිටා තිබේ. විශාල දැව කඳන් සතරකින් යුත් අට්ටාලයක් මත මෙය ගොඩ නගා තිබේ. එමෙන්ම එයට සමාන වන පරිදි පිටතට වන්නටත් දැවයෙන් නිර්මාණය කරන ලද අට්ටාලයක් පිහිටා තිබේ. මෙහි දකුණු පස පිහිටා ඇති ආසනය උසස් කුළයේ අය සඳහා වෙන් කරන ලද්දක් බවට ගම්වැසියන් ප්‍රකාශ කරනු ලබයි. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ, කැටයම් සහිත ප්‍රධාන දැව කුළුණු 3ක අලංකාර ලියකම්, පැදුරු රටා, නැට්ටුවන්, නාටිකාංගනාවන් ගෙන් යුත් කැටයම් දක්නට ලැබීමයි.
මෙම අම්බලම වර්ථමානයේ දී ද, සමාජ රැස්වීම් සහ ධර්ම දේශනා සඳහා භාවිතා කරන බැවින් ඉතා හොඳින් ආරක්ෂා වී තීබීම අගය කළයුතුය.
ඇලිකේවල අම්බලම


මාරස්සන සිට පස්ගම මාර්ගයේ ගමන් කරන විට මෙය දක්නට ලැබේ. මෙය 17 වන සියවසේදී ඉදිකරන ලද්දක බව ප්‍රදේශවාසීන්ගේ විස්වාශය වේ.
කන්දෙවෙල පුරාණ අම්බලම


මාරස්සන වෙලමැද අම්බලමට සමාන වූ නිර්මාණයක් ලෙස මෙය දැක්විය හැකියි. පාතහේවාහැට දී දැකගත හැකි අම්බලම් වලින් විශිෂ්ටතම අම්බලම මෙය ලෙසින් හඳුන්වා දිය හැකියි. මෙහි ඇති කැටයම් විවිධ පිරිස් විසින් විනාශ කර තිබීම ඉතා කණගාටුදායක කරුණකි.
ඉදිකළ වසර නිශ්චිතව කිව නොහැකි වුවත්, ගම් වැසියන් පවසන ආකාරයට මෙම අම්බලමට වසර 400 ක පමණ වන ඉතිහාසයක් ඇත.
මාදංවල අම්බලම


ගල්බැමි ගොඩනංවා මෙම අම්බලම සාදා තිබේ.ක්‍රි.ව. 1901 දී සඟරුවන්කෙත අභයසිංහ අප්පුහාමි ලේකම් මහතා විසින් මෙය නිමවූ බවට සටහනක් දක්නට තිබේ. වර්ථමානයේ දී බිත්ති නංවා දැල් ආවරණය කර දොරක් ද නිමවා ඇති අතර, මේ වන විට පෙර පාසලක් හා ස්වයං රැකියා පුහුණු ම්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිටී.
අප්පල්ලාගොඩ අම්බලම


මෙය පාත හේවාහැට ප්‍රදේශයෙන් හමුවන විශාලතම අම්බලම් දෙකෙන් එකක් වන අතර විශාල ගල්කණු යොදා ගනිමින් නිර්මාණය කර ඇති අම්බලමද මෙය වේ. මෙහි දිග පළල අඩි 30 ද ඉක්මවා ඇත.
1915 දී මෙය සෑදූ බවට මෙහි සටහනක් යොදා තිබේ. එයට අනුව, කිරිහාමි, මැණික්රාළ, පුංචි බණ්ඩා ජේමිස් අප්පුහාමි යන දානපතියන් විසින් පණික්කි ගෙදර උඩුදෙණිය බාලසූරිය කුඩා නයිදේ නම් වූ වඩුවා මගින් මෙය සාදා ඇත. හිඳගැනීම සඳහා අළංකාර බංකු දෙකක් තිබී ඇති අතර, අද ඉන් එකක් දක්නට ලැබේ. මේවාට අවටින් පිහිටි ආසන කුළ ක්‍රමයට අනුව හිඳගැනීම සඳහා ක්‍රමයෙන් කුඩා වන පරිදි සකසා ඇත. මෙම අම්බලමේ රැඳී සිටින්නන්ගේ පැන් පහස සඳහා 1922 දී පැන්තාලියක් ද මෙහි පිහිටුවා තිබේ.
අතීතයේ සිට අද දක්වාම මෙය ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජගනයට ගනිමින් තිබේ. අවට ගම්මාන වල වගා කරන එළවළු භෝග වර්ග වෙළඳපලට රැගෙනයාම සඳහා එක්රැස් කරනුයේ මෙහිය. අතීතයේදී කරත්ත පැමිණෙන තෙක් හා වර්ථමානයේ ලොරි රථ පැමිණෙන තෙක් ද එළවළු ගෝනි මෙහි තබා ගැනීම නිසා මෙය ප්‍රදේශයේ ප්‍රසිද්ධ අම්බලමකි.
ගැටකුලාපඳුර අම්බලම


රිකිල්ලගස්කඩ නගරයට ආසන්නයේ පිහිටි දොඩංකුඹුර මාර්ගය අසල මෙය පිහිටා තිබේ. දොඩංකුඹුර, පනංගමුව, දිවුල්කුඹුර, ඉල්ලගොල්ල ගම්මාන වෙත දිවෙන මාර්ග සතර හමුවන්නේ මෙම අම්බලම පිහිටා ඇත් ස්ථානයේ දීයි. එනිසාම මෙය එම ප්‍රදේශවාසීන්ට ඉමහත් ප්‍රයෝජනයක් ලබාදෙයි. ගලින් නිමවා ඇති මෙම අම්බලමෙහි ඇතුලත බිම විදේශීය පිඟන් භාණ්ඩ කැබලිවලින් අළංකාර කර තිබේ.
රිකිල්ලගස්කඩ අම්බලම


රිකිල්ලගස්කඩ නගර මධ්‍යයේ පිහියා ඇති මෙය ඉතා විශාල අම්බලමකි. මෙය සෑදීම සඳහා විශාල කළුගල් කුට්ටි භාවිතා කර තිබේ. “රිකිල්ලගස්කඩ කෝරාළලාගේ දොන් අන්දිරිස් සිල්වා නොතාරිස් මහතා විසින් 1864 දී මේ අම්බලම සාදන ලදි” යනුවෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙහි සටහන් කර තිබීම විශේෂ කරුණක් ලෙස හැඳින්විය හැක.
හඟුරන්කෙත අම්බලම


හඟුරනුකෙත නගරයේ, සඟරුවන්කෙත රාජමහා විහාරය අසළ මෙය පිහිටා තිබේ. මහාචාර්ය රෝහිත දසනායකයන් සඳහන් කරන ආකාරයට, ඔහු විසින් අධ්‍යනයට ලක්කළ අම්බලම් අතුරින් විශාලතම අම්බලම මෙය බව සඳහන් වනවා. වසර 150 කට අධික කාළයකට උරුමකම් කියනු ලබන මෙය කළුගලින් නිමවා ඇත. වර්ථමානයේ දී මෙම අම්බලම ප්‍රතිසංස්කරණයට ලක්ව හුණු පිරියමට පත්ව ඇති බැවින් ඓතිහාසික ලක්ෂණ වියැකී ගොස් තිබේ.
අතීතයේ, ප්‍රවාහන පහසුකම් නොමැති කාළ වකවානුවක වෙළඳාමට පැමිණි කරත්තකරුවන්ගේ පහසුව සඳහා මෙන්ම, මෙම අම්බලම අසලවූ පැරණි රාජමහා විහාරය හා නාථ දේවාලය වන්දනාමාන කිරීමට පැමිණි බැතිමතුන්ගේ පහසුව සඳහාත් මෙම අම්බලම ඉදිකොට තිබේ.
මහනුවර සිට හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ – නුවරඑළිය දක්වා වූ ප්‍රධාන කරත්ත මාර්ගය මෙම අම්බලම ඉදිරියෙන් වැටී තිබූ බැවින්, මෙම අම්බලම ඉතා ප්‍රයෝජනවත් ව තිබූ බව ගම් වාසීන් ප්‍රකාශ කර ඇත. මේ හේතුව නිසාම මෙහි ගිමන් නිවන අයගේ පහසුව සඳහා 1905 දී කළු අභය ගුණසේකර ලේකම්තුමා විසින් විශාල පැනතාලියක් ඉදිකර ඇති බව සඳහන් වේ. වර්ථමානයේ දී මෙම අම්බලමෙහි කොටසක රජයේ ආර්යුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යනු ලබයි.
පදිය පැලැල්ල මොරපාය අම්බලම


ලබන කලාපය තුලින් බදුල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිත අම්බලම් පිළිබඳව විස්තර ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්)