24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

නන්පැහ සිත්තරා

Related Articles


පස්වෙනි කොළොම්බාවේ තිඹිරිගස්යාය උපන් ගම කරගත් නන්පැහ සිත්තරාණෝ ජීවත්වූයේ තිඹිරිගස්යායේ ම මංගල උයනේ ය. එම මංගල උයන අසූතුනේ දී තමිල් ජාතිකයන්ට මංගල කාරණා නම් ගෙන නොදුන්නේ ය. ඉදින් එකදහස් නමසිය අනූහය වෙනකම් තිඹිරිගස්යාය සහ කිරුළපන නගර ග්‍රාමවල විවිධ දුෂ්කරතා මැද ජීවිතයට අභිමුඛව හිඳ වත්තලට සංක්‍රමණය වන නන්පැහ සිත්තරාණෝගේ වර්තමාන රෙසිදන්සිය ස්ථානගතව ඇත්තේ වත්තල ප්‍රීති පුරයේ ය. නන්පැහ සිත්තරාණෝ නමින් සුප්පයියා දොරේසාමි ය.

ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් සඳහා හාපුරා කියා සම්බන්ධ වන්නේ කුඩා පරිමාණයේ පුද්ගලික සමාගමක වානිජ චිත්‍ර ශිල්පියෙක් ලෙස ය. දමිල සිනමාපට සඳහාත් අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සඳහාත් අකුරු මාදිලි සහ සිතුවම් ඇන්ඳේ ය.

ඉන් පසුව ස්වාධීන පුවත්පත් සමාගමේ දවස පත්තර කාර්යාලයට සම්බන්ධ වන්නේ එකදහස් නමසිය හැත්තෑ හයේ දී ය. එහි තමිල් ප්‍රකාශන වූ දිනපතා ‘තිනපති’ සහ සති අන්ත ‘චින්තාමනි’ පිටු මත රූ රටා මවන්නට ය. එනම් ඉහත කී තමිල් මුද්‍රිත මාධ්‍යවල පුවත්පත් සහ වාර සඟරා පිටු මත චිත්‍ර කතා, කෙටි කතා, කොටස් වශයෙන් පළවන නවකතා යනාදියට සිතුවම් ඇඳීම දොරේසාමි සිත්තරාගේ වෘත්තිය විය. තවද කාටූන් චිත්‍ර ද ඇන්ඳාට ඒවා දේශපාලනික කාටූන ලෙස නාමකරණය නොවුණි.  හාස්‍යෝත්පාදක කතා නමුදු ඒවායේ ද යටි පෙළ දේශපාලනික උපමාවන් මතුවීම වැලක්විය ⁣නොහැකිය.

එක්දහස් නමසිය අසූවේ ස්වාධීන පුවත්පත් සමාගම වසා දැමුවාට පසු ෆ්‍රීලාන්ස්වරයෙකු ලෙස නන්පැහ සිත්තරාගේ සිත්තර නිර්මාණ කාර්යය ලබාගත් පත්තර ලැයිස්තුව ‘දිනතන්දි’, ‘නවමනි’, ‘සුඩර්ඔලි’, ‘සෙන්තණල්’, ‘පුදියභූමි’, ‘වීරකේසරී’, ‘විඩිවෙල්ලි’, ‘ඉසයිඋලගම්’, ‘සූරියකාන්ති’, ‘විජය'(දෙමළ) ලෙසින් දිග්ගැසුණි.

තීරුකරු ලෙස මම ඔහුව මෙලෙස විමසුවෙමි.  “චිත්‍ර කිව්වා ම ඔබට කොහොමද දැනෙන්නේ?”
ඔහුගේ පිළිතුර මන්දහාසයෙනි,
“චිත්‍රයක් කියන්නේ ආටිස්ගෙ හිතේ මැවෙන විවිධ හැඩයේ ඉරි සහ පාටනෙ. ඒවා කොන්සෙප්ට් විදිහට වෙනස් වෙනස් පැටන් තියෙන්නේ. ඉතින් ඒ විවිධ පාටවල එකතුවක් වගේ ලස්සන එකමුතුවක් ජාතීන්ගේ අදහස්වලත් ඇතිවෙනවා නම් මට ඒක තරම් ලස්සන චිත්‍රයක් තවත් නෑ.”
දොරේසාමි සිත්තරාගේ පිළිතුර එතෙකැයි හැඟී ගියද එහි ම දිගුවක් සේ තවත් කිසිවක් එකතු කිරීමට වුවමනා බව මට සම්මුඛ ව සිටි ඔහුගේ සාත්වික අභිනය කියා පෑ ය.
මම සිත්තරාගේ ආටෝපයෙන් තොර නිර්ව්‍යාජ වචන ආලේප කිරීමට මගේ තීරුව කැන්වසයක් සේ ගෙන ඔහුට අවකාශය සලසා දුනිමි.
“මං කිව්ව විදිහෙ ආට් එකෙක මල්ටි කලස්වලට අපේ පොළොවෙ ඉඩ නොලැබුණේ පොලිටීසියන්ලගෙ බල තන්හාවට විනාශකාරී යුද්ධයක් දක්වා කාලාන්තරයක් තිස්සේ පාර කැපීමයි. අපි කොළඹ හිටිය නිසා උතුරට වැඩිය ආරක්ෂාවක් ලැබුණත් එකට ජීවත්වෙච්ච මිනිස්සු පවා අපි දිහා බැලුවෙ වෙනස් විදිහක සැකයකින්. ඒක අපිට වේදනාවක් වුණා.”

දොරේසාමි සිත්තරාණෝ එලෙස කියද්දී මට දැනුනේ ලංකාවේ ජාතීන් අතර දිදුලන නන්පැහ චිත්‍රය බොඳකර ඇති බවකි. ඒ අන් කවුරුවත් නොව මෙතක් කාලයක් බලයලත් අත්තනෝමතික පාලකයෝ ම ය.

වර්තමානයේ මෙන් ඩිජිටල් වර්ධනයකින් යාවත්කාලීන නොවී ඇති මුද්‍රිත මාධ්‍යවලට චිත්‍ර නිමැවුම් කිරීම් සහ අකුරු මාදිලි නිමැවුම් සියල්ල ම ⁣මැනුවල් ලෙස සකස් කෙරුණි. එකී මැවුවල් නිමැවුම් කාර්යයේ නියැලුණු තවත් එක් ශිල්පීයෙකි දොරේසාමි සිත්තරාණෝ. ඊට අමතරව ඔහු දමිල චිත්‍රපට කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද සිය නිර්මාණාත්මක ශ්‍රමය වගුරා ඇත.

ඔහුගේ සදාදරණීය කාලත්‍රයා කමලාවතී ජීවිතය හැර ගොසිනි. දියණිය කවිතා දොරේසාමි, පුතා ආනන්දන් දොරේසාමි සමඟ කුටුම්භ දිවිය ගතකරන්නේ ය.

Sarathchandra Walpola
Sarathchandra Walpola
Writer, Director, Journalist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles