25.6 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

ලංකාවේ අම්බලම් – 08

Related Articles

                             ශ්‍රී ලංකාවේ අම්බලම් යන මැයෙන් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි අටවැන්න මෙසේ ඉදිරිපත් කරමි. මේ සඳහා පාදක කරගනුයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්) ) මහතා විසින් ගවේෂණාත්මකව ලියන ලද, අම්බලම හා ජන සමාජය නම් වන කෘතියයි.

                                    පසුගිය කලාප හතක් තුලින් මා ඔබට ශ්‍රී ලංකාවේ පුරා පිහිටා ඇති අම්බලම් රැසක් පිළිබඳව විස්තර ඉදිරිපත් කළා. මෙම කළාපය තුලින් මෙතෙක් අප කතාකල අම්බලම් වල ඇති කලා නිර්මාණ හා තාක්ෂණය පිළිබඳව කතාකරන්නට බලාපොරොත්තු වනවා.

                             අම්බලම් ඉදිකිරීමේ දී, බෞද්ධ ප්‍රවේශය වැඩි වශයෙන් මූලික වී ඇති බව මුල් කලාප වලින් මා ඔබව දැනුවත් කලා. ඒවා ගොඩනැංවීම සඳහා ගම්වාසීන්ගේ සහයෝගයත්, ප්‍රභූන්ගේ දායකත්වයත් නොමදව ලැබී තිබෙනවා. එමෙන්ම, එහි විශාලත්වය හා කලාත්මක බව මවන තාක්ෂණය ද තීරණය වී ඇත්තේ, ලැබුණ ශ්‍රමය හා මූල්‍යමය දායකත්වය මතයි.

                             අම්බලමක් ගොඩනැංවීමේ දී සමතලා බිමක් හෝ කළු ගල්තලාවක් තෝරාගෙන තිබෙනවා. බොහෝ අම්බලම්, සතර කොණට රවුම් හෝ හතරැස් කළු ගල් තබා, ඒ මතට හිඳ ගැනීමට ලි කොට සතරක් තබනු ලැබ තිබෙනවා. එසේ කර තිබෙන්නේ, වේයන්, ගුල්ලන් වැනි කෘමීන්ගෙන් ලී දඬු ආරක්ෂා කරගැනීම සදහායි. එම ලී කොටවලට කණු සතරක් තබා වහලය සෑදීම සිදුකර ඇත. හරි හතරැස් අම්බලමක් සෑදූ විට මුදුන් ලීයක් වහලයට අවශ්‍ය නොවේ. සතර පැත්තේ වහල කැණිමඩලකින් එක්කර වහලය මුදුනේ, මැටි කොතක් තැබීම සිදුකර තිබෙනවා.

                             එමෙන්ම, ගඩොල් වලින් කළ මැටි කුළුණු මත වහලය සෑදූ අම්බලම් ද දක්නට ලැබෙනවා. තවද, අඩි 2ක් 3ක් පමණ අත්තිවාරමක් මත හතරැස් හෝ අෂ්ඨාකාර ගල් කුළුණු 4ක් මත වහලය නිමවූ අම්බලම් ද දක්නට ලැබේ. තවත් සමහර අම්බලම්, එක් පැත්තට ගල් කණූ 4 බැගින් සතර පැත්තට ගල් කනු 16ත් සිටුවා වහලය නිමවා තිබෙනවා. ඇතැම් අම්බලම් වල ඇහාර පිස ගැනීම සඳහා වෙනම කුටියක් ද නිර්මාණය කර තිබෙනු දක්නට ලැබෙනවා.

 දැව කඳන් මත ලී කණු සවිකර ඉදිකල අම්බලමක් – කන්දේවල අම්බලම

අම්බලමක දළ භූමි සටහනක් මෙසේ දැක්විය හැක.

අම්බලමක හරස්කඩක්

                        අම්බලම් බොහොමයක කැටයම් දක්නට ඇත. සරල කැටයම් මෙන්ම නිර්මාණ ශිල්පියාගේ පූර්ණ ශිල්පීය ශක්තිය යොදවා කළ නිර්මාණ ද දක්නට ඇත. අම්බලම් වල ඇති ගල්කණු වල, ලී කණු වල, පේකඩවල සහ කැණිමඩලෙහි කැටයම් දක්නට ඇත.

කුළුණු කැටයම්

                              පැරණි ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ දක්නට ලැබෙන විශේෂ කරුණක් වන්නේ, කැටයම් සහිත ලී කුළුණු උපයෝගී කර ගෙන තිබීමයි. විහාරස්ථාන, දේවාල මෙන්ම අම්බලම් වලද එවැනි නිර්මාණ නිතර දැකිය හැක. සමහර කුළුණු බඳෙහි චතුරශ්‍රාකාර පනේලයන් හි සැරසිළී කර තිබේ. එමෙන්ම මනුෂ්‍ය රූප, සතත්ව රූප, ලියකම් හා මල්කම්ද දක්නට ඇත. මෙමගින් ජනතාවගේ දෛනික ජීවිතය පිළිබිඹු කෙරේ. පොදුවේ ගත් කළ අප කතා කළ අම්බලම් වල අරලිය මල, අරලිය කොළ කැටයම්, නාටිකාංගනාවන්, බෙරකරුවන්, අංගම්පොර, නැට්ටුවන්, යක්ෂයින්, නාගපෙණ, අලි, මුවන්, මොණරු, සිංහයින්, ගරුඩ පක්ෂියා, ඇත් ලිහිණියා, කිහිඹි මුහුණ, හංසයින්, ලියකම් පලාපෙති, බෝ කෙළ කැයටම්, ලණු කැටයම්, පැදුරු වියන් කැටයම්  දක්නට ලැබේ.

පේකඩ

                             පේකඩ යනු කවරේදැයි ඔබට ගැටළුවක් විය හැකියි. අම්බලම් ගැන පසුගිය කලාප වලදී හඳුන්වා දීමේ දී පේකඩ ගැන සඳහන්කර ඇති බව ඔබට සිහිපත් කරගත හැක. පේකඩ ලෙසින් හඳුන්වන්නේ, අම්බලම් වල කුළුණු වල ශීර්ෂයන් හි පහතට නැමී‍, එල්ලෙන ස්වභාවයක් ඇති කොටසටය. පහත ඡායාරූපයෙන් එය වටහාගත හැක.

නෙළුම් මල

                             නෙළුම් මල් කැටයම් අම්බලම් හි දැකිය හැක්කේ, වහලයෙහි මඩොල් කුරුපාවට සම්බන්ධ කර ඇති ලී කොටසෙහි හෙවත්, කැණිමඩලෙහි සහ ලී කණුවල ය. නෙළුම් මලෙන් සංකේතවත් කරන්නේ පවිත්‍රත්වයයි.

කැණිමඩල

                        අම්බලම් නිර්මාණයේ දී වැදගත්ම අංගය වන්නේ වහලය සැකසීමයි. එසේ හඳුන්වනුයේ, ඇතැම් ස්ථානවල ඉතා ඉහල ශිල්පීය ඥාණයක් ඒ සඳහා යොදාගෙන තිබීම නිසයි. වහලයේ ඇති සියළුම පරාල මුදුන් කොනින් එක් කර ‘මඩොල් කුරුපාව’ නමින් හැඳින්වෙන ලී ඇණයක් ගසා සවිකර තිබෙනවා. මෙම පරාල සියල්ල එකතුකර මඩාල් කුරුපාව ගසන ලී කොටස ඇති ස්ථානය ‘ කැණිමඩල’ ලෙස හඳුන්වනු ලබනවා. යට ලී සහ මුල් පරාල අතර එකම දුර ප්‍රමාණයෙන් නොසෙල්වන ලෙස වද්දන ලද අවස්ථාව ‘ඉද්ද’ නමින් හැඳින්වෙනවා.

                             මංගලගම හා කඩුගන්නාව අම්බලම්වල කැණිමඩලට සම්බන්ධ වන පරාල සංඛ්‍යාව 50 කටත් අධික වනවා.

පැන්තාලිය

                        පැන්තාලිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, ජලය පුරවා ඇති භාජනයක් වන අතර වෙහෙස මහන්සි වන ඕනෑම අයෙකුට ඉන් ජලය පානය කළ හැකි වනවා. අතීතයේ දී බොහෝ ස්ථාන වල පැන්තාලියක් තබා තිබූ බව නොයෙකුත් ලිපි ලේඛණ වල සඳහන් වනවා. නමුත් අම්බලමක පැන්තාලියක් තැබීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ, අම්බලමට පැමිණෙන ජනයාගේ පිපාසය නිවාගැනීම යි. ආගන්තුක සත්කාරය හොඳින් දැන සිටි ලක්වාසී ජනතාව සිය කැමැත්තෙන්ම එහි ජලය පුරවා තබන ලදි.

                             මීට අමතරව අම්බලම් වල දැකිය හැකි විවධ නිර්මාණාත්මක ඡායාරූප කිහිපයක් පහතින් දක්වමි.

                             ආචාර්ය රෝහිත දසනායකයන් විසින්, පරමාදර්ශි ලක්ෂණ වලින් යුතු වූ ශ්‍රී ලාංකික ගම වෙනස් වූ ආකාරය සිය ‘අම්බලම සහ ජන සමාජය’ කෘතිය අවසාන පරිච්ඡේදයේ දී විග්‍රහ කර ඇත. එයට අනුව, මූලික පදනම වැටී ඇත්තේ 1815 දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම යටත් විජිතයක් බවට පත්වීමයි. ඊට පෙර කාළ වලදී ශ්‍රී ලංකාවේ රාජධානි රජරට සිට නිරිත දිගට සංක්‍රමණය වීම මගින් ද, තරමක් දුරට පැවති සමාජ ව්‍යුහයන් වෙනස් වීමට හේතු වී තිබෙනවා.

                             යටත් විජිතකරණයෙන් පසුව පුරාණ ගම්මාන වෙනස්වීමකට සාධකයක් වී ඇත්තේ, ග්‍රාමීය ප්‍රදේශ වල කෝපි, තේ, පොල්, රබර් වගාවන් විශාල ඉඩම් ප්‍රමාණයක් එකතු කර වතු යායක් නිර්මාණය කිරීමයි. එමගින් ගම අභිබවමින් ‘වත්ත’ යන සංකල්පය බිහිවී ස්වාධීන ඒකකයක් ස්ථාපිත විය. වැවිලි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පටු අඩි පාරවල් වෙනුවට පුළුල් මාර්ග සෑදීම, පයින් ගමන් කිරීම වෙනුවට කරත්ත වැනි ප්‍රවාහන පහසුකම් භාවිතය ද සිදු විය. මූලිකව වැව හා දාගැබ මත පදනම් වූ සිංහල ජන සමාජයේ වාරිකර්මාන්තය විනාශ වීමත් සමග ඇතිවූ වෙනස්වීම ගෙනහැර දැක්විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස වියළි කලාපය ජන ශූන්‍ය කලාපයක් බවට පත්වී, තෙත් කලාපයට ජනතාව සංක්‍රමණයවීම සිදු විය. මේ තත්වය මත අම්බලම හා ඒ හා බැඳුනු ජන සමාජයට දැඩි බලපෑමක් සිදුවූයේ, වියළි කලාපයේ මෙන් තෙත් කලාපයේ දීර්ඝ ගමනාගමනයක යෙදීමේ අවශ්‍යතාවයක් සිදු නොවූ නිසාය. තවද තෙත් කලාපය තුල ප්‍රවාහන පහසුකම් ඉහල මට්ටමක පැවතිණි. මේ තත්වයන් යටතේ පුරාණ ගම්මාන වල සිටි පිරිසට අමතරව වෙනත් ප්‍රදේශවල ජනතාව ද එක්වූ ගම්මාන බිහිවන්නට විය. ඔවුන් අතර පෙර පැවති බැඳීම් අඩු වීම හා ඉහත කී ප්‍රවාහන පහසුකම් දියුණුවීමත් සමග අම්බලම් වලින් ගත හැකි කාර්ය ක්‍රමයෙන් හීන වන්නට විය. යුරෝපියයන් විසින් ඔවුනට අතරමග නවාතැන් ගැනීම සඳහා තානායම හෙවත් ‘Rest House’ සංකල්පය බිහිකරන්නට විය. මේ හේතූන් නිසා අම්බලම ජනසමාජයෙන් ඈත් වන්නට විය. ඒ නිසාම ඒවා නඩත්තු නොකිරීම නිසා විනාශය කරා ගමන් කරන්නට විය.

                             ලංකාවේ අම්බලම් පිළිබඳව ඔබට ඉදිරිපත් කළ ලිපි පෙලෙහි අවසන් ලිපිය මෙයයි. මේ ලිපි ලිවීමට ආචාර්ය රෝහිත දසනායක මහතා ලබාදුන් සහයෝගය ස්තූතිපූර්වකව සිහිපත් කරමි. කෙසේ වෙතත් එතුමන් තම කෘතිය අවසන් කිරීම සඳහා යොදාගත් අවසන් ඡේදය ඒ අයුරින්ම මෙහි සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකික සමාජය වෙනස් වූ ආකාරය පිළිබඳව, මෙම කෘතිය එළිදැක්වූ 2019 වසරේදී දැක්වූ අදහස අදට කෙතරම් වැදගත්දැයි ඔබට සිතා බැලීම සඳහාය.

                             ” මහ මග අතරමං වූවෙකුට අතහිත දී පිළිසරණ විය හැකි අයෙකු හෝ තැනක් ගැන නූතනයේ අසන්නට දකින්නට ලැබෙන කතා බහ ඉතා අවමය. සැකය, අවිස්වාශය, බිය, සමාජයේ හැමතැනම පැතිර ඇත. මෙයට පනස් වසරකට පෙර නිදහස ලැබූ ශ්‍රී ලංකාව, නූතනයේ දැඩි නවීකරණයකට ලක් වෙමින් පවතී. යටත් විජිත කරණයෙහි බලපෑම්, කාලයෙන් කාලයට අලුත් වී, බටහිරට නැඹුරු වූ ආකෘතියක් ඔස්සේ, දියුණුව හෝ සංවර්ධනය තේරුම් ගැනීමට සමාජය හුරු වී සිටියි. අපට ආවේණික වූ හර පද්ධතිය, පුරුෂාර්ථ සියල්ලම මෙම ආකෘතිය තුල යටපත් වී ඇත. නොඑසේනම් යටපත් කිරීමට සිදු වී ඇත. ස්වකීය අභිමතාර්ථ  ඉටුකර ගැනීමට සියල්ලෝම මහත් වූ තියුණු තරගයක නියැලී සිටිති. අම්බලම, පැවති සිංහල සමාජය තුල දක්නට තිබුණේ තියුණු තරගකාරී ස්වරූපයක් නොවේ. අම්බලම හා එහි යටගියාව කියාපාන්නේ සිංහලයාගේ අගනාකම් පිළිබඳ පණිවුඩයකි. නූතනයේ එම අගනාකම් විකෘති වී ගොස් ඇත. එහෙත් ඒවායේ අවශ්‍යතාවය සිය දහස් ගුණයෙන් වැඩි වී ඇත.”

ප්‍රදීප් කුමාර් සේනාධීර

ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය – භාණ්ඩාගාරික

මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය – විධායක සභික

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමය – සාමාජික

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles