24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

මිත්‍ර සංකල්පය

Related Articles

Image from Freepick

පුද්ගලයකුගේ දියුණුවට මෙන් ම පරිහානියටද හේතු වන ප්‍රධාන සාධකයක් වන්නේ මිත්‍රත්වයයි- යහපත් මිතුරු ඇසුර නිසා දියුණු වූ පුද්ගලයන් මෙන් ම අයහපත් මිතුරු ඇසුර නිසා පරිහානියට පත් වූ පුද්ගලයන් ද අප සමාජයේ දැකිය හැකිය-පුද්ගලයකුට මිතුරු ඇසුර අත්‍යවශය දෙයකි-බෞද්ධ සමාජ සංස්ථා අතර මිත්‍ර සංස්ථාවට විශේෂ ස්ථානයක් හිමි වේ-බුදුන්වහන්සේ දේශනා නරනු ලබන්නේ යහපත් මිත්‍ර ඇසුරයි-යහපත් මිතුරු ඇසුර මංගල කරුණක් ලෙසින් මහා මංගල සූත්‍රයේ දැක් වේ-සිඟාලෝවාද සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය වැනි සූත්‍රයන්හි යහපත් අයහපත් මිතුරු ඇසුර නිසා පුද්ගලයාගේ දියුණුව හා පරිහානිය සිදු වන ආකාරය පිළිබඳව දේශනා කර ඇත-
යහපත් මිතුරන් සෑම විටම සමඟි සම්පන්නය-එකිනෙකාට උදවු කර ගනිමින් අනිකාගේ දුකේදී පිහිට වෙයි- නමුත් අයහපත් මිතුරා තම මිතුරාගෙන් වාසි ලබා ගනිමින් තමාගේ මිතුරාව අයහපතට යොමු කරවනු ලබයි-බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි යහපත් අයහපත් මිතුරන් වර්ග කර තම ඇසුරට සුදුසු මිතුරන් කවුරුන්ද යන්න දේශනා කර ඇත-සිඟාලෝවාද සූත්‍රයෙහි මිතුරන් වෙනුවෙන් උතුරු දිශාව නම් කර ඇත-මෙම සූත්‍රයේ දී යහපත් මිතුරන් සිවු දෙනෙක් සහ අයහපත් මිතුරන් සිව් දෙනෙක් නම් කර ඇත-ඒ අනුව

යහපත් මිතුරන් ලෙස
●උපකාරක මිත්‍රයා
●සමානසුඛදුක්ඛ මිත්‍රයා
●අනුකම්පක මිත්‍රයා
●අත්තක්ඛායි මිත්‍රයා


මෙහිදී උපකාරක මිතුරාගේ ලක්ෂණ ලෙස
★ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කරයි
★ප්‍රමාද වූ මිතුරාගේ වස්තුව රකී
★අනතුරක් පැමිණි විටදී රැකවරණය සලසයි
★අවශ්‍ය විටකදී මිතුරා වෙනුවෙන් ජීවිතය ද පරිත්‍යාග කරයි


සමාන සුඛදුක්ඛ මිතුරා
★තම රහස් නොසගවා කියයි
★මිතුරාගේ රහස් රකි
★විපතේ දී අත් නොහරී
★මිතුරා කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි


අනුකම්පක මිතුරා
★ඵීපතේදී සතුටු නොවෙයි
★සැපතේ දී සතුටු වෙයි
★අගුණ කියන්නවුන් වළක්වයි
★ගුණ කියන්නවුන් ප්‍රසංශා කරයි


අත්තක්ඛායි මිතුරා
★පවින් වළක්වයි
★යහපතහි යොදවයි
★නොදන්නා දේ කියා දෙයි
★සුගතියට මග පෙන්වයි


මෙම ලක්ෂණ වලින් යුත් මිතුරන් කල්‍යාණ මිතුරන් බවත් එවැනි මිතුරන් ආශ්‍රය කල යුතු බවත් පෙන්වා දෙනු ලැබේ-

අයහපත් මිතුරන් ලෙස
●අඤ්ඤදත්ථුහර
●වචීපරම
●අනුප්පියභාණී
●අපාය සහය


මෙහිදී මෙම පාප මිතුරන්ගේ ලක්ෂණ ද වෙන් වෙන් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත-


අඤ්ඤදත්ථුහර
★මිතුරාගෙන් වාසි ලබා ගැනීමේ අරමුනින් ඇසුරු කරයි
★කුඩා උපකාරයක් කර විශාල ප්‍රත්‍යුපකාරයක් අපේක්ෂා කරයි
★මිතුරා විපතට පත්වන ආකාරයෙන් ක්‍රියා කරයි
★ආත්මාර්ථය පමණක් ම සලකා මිතුරා ඇසුරු කරයි


වචීපරම මිතුරා
★අතීතයෙන් සංග්‍රහ කරයි
★අනාගතයෙන් සංග්‍රහ කරයි
★නිරර්ථක දේ සාකච්ඡා කරයි
★උදවු කිරීමට කම්මැලි නිසා අවශ්‍ය වු විට ඒවායේ ආදීනව කියයි


අනුප්පියභානි
★නරක දේ ද අනුමත කරයි
★හොඳ දේ ද අනුමත කරයි
★මිතුරා ඉදිරියේ ගුණ කියයි
★මිතුරා නැති තැන අගුණ කියයි


අපාය සහය මිතුරා
●රහමෙර පානයට මිතුරා යොමු කරවයි
●අවේලාවේ වීථි සංචාරයට එකතු වෙයි
●උත්සව දර්ශන බැලීමට මිතුරාව රැගෙන යයි
●සූදුවෙහි නිරත වීමට සහය දෙයි


බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙකී ලක්ෂණ වලින් යුක්ත මිතුරන් ඇසුරට නුසුදුසු බවත් එම මිතුරන් ඇසුරින් පුද්ගල පරිහානිය සිදුවන බවත් ය-අද සමාජය දෙස අවධානය යොමු කිරීමේදී මෙම පාප මිතුරු ඇසුර නිසා අකාලයේ ජීවිත විනාශ කර ගත් වරදි මාර්ගවලට යොමු වූ පිරිස් දැකගත හැකිය-ඇතම් විට පාප මිතුරන් නිසා සිර ගෙවල් වල දඬුවම් විඳින පිරිස්ද දක්නට ලැබේ-අයහපත් මිතුරන් බරහැර කර යහපත් මිතුරන් තම ඇසුරට එක් කර ගත යුතුය-
යහපත් මිතුරන් ඇසුරින් ලැබිය හැකි අනුසස් බහුලය-එමෙන් ම තමා යහපත් මිතුරන් තම ඇසුරට එකතු කර ගන්නවා මෙන් ම තමන් ද තම මිතුරන්ට යහපත් මිතුරකු විය යුතුය-එවිට මිත්‍ර සංස්ථාව ශක්තිමත් වී යහපත් සමාජයක් බිහි වෙයි-


ආශ්‍රිත ග්‍රන්ථ
දීඝ නිකාය , සිඟාලෝවාද සූත්‍රය, සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණ,2005

Nisansala Maduwantha
Nisansala Maduwantha
University of Sri Jayawardanapura, Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles