25 C
Colombo
Monday, April 15, 2024
spot_img

Subscribe

Date:

Share:

කුමටද විමසිලි සුළඟට පාවී යනු හැර

Related Articles

Image from Internet

අපි කුඩා කාලේදී හරි එහෙම නැත්නම් කෙදිනක හෝ කොහේදී හරි අහලා කියවලා තියෙන කවියක්. වැකියක්, ගීතයක් අපේ ජිවිතයේ අත්දකින්න ලැබෙන පුද්ගලික හෝ සමාජීය ජීවිතය එක්ක බද්ධකරලා කියවගන්න පුළුවන් නම් ඒක ඉතාම නිර්මාණාත්මක විදිහට වටිනා මැදිහත් වීමක් වෙනවා. කොහොම හරි ඒ විදිහට කියවන්න අහන්න ලැබුන පබැඳුමක් විදිහට, ” මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා……කවුරුද අම්මේ ඒවා ලියන්නේ පාට පාට ඉරි හැඩ දාලා”.. කියන පබැඳුම සලකන්න පුළුවන්. මෙතැනදී කුඩා දරුවෙකු ස්වභාවයේ තමන්ට තේරුම් ගන්න බැරි යතාර්ථය තම මවාගෙන් ප්‍රශ්න කරනවා.මෙය සරල විදිහට අපට පෙනුනට ඇත්තෙන්ම  මෙතෙක් මිනිස් ඉතිහාසයක් ගොඩනැගුව කතාන්දරයේ ස්වරූපය මේ තමයි. මානවයාගේ මිහිපිට ආරම්භයේ සිට අද හෝමෝ සේපියන්ස් සේපියන්ස් නුතන මිනිසාගේ මේ මොහොත ලඟාකරගන්න තුරු ඔහු කැඳවාගෙන අවේ මේ සෙවීමේ සහ ප්‍රශ්න කිරීමේ යාන්ත්‍රණයයි. කෙසේ වෙතත් වර්තමාන මේ මොහොත තුල මෙන්න මේ කියන ප්‍රශ්න කිරීමේ සෙවීමේ යාන්ත්‍රණයේ සිතීමේ සහ ක්‍රියාවේ යෙදීමේ  එකක් මත එකක් යෙදෙන ශ්‍රමයෙන් මිනිසා විතැන් වෙමින් සහ කෙරෙමින් සිටිනවා.මේ පද බැන්දුමේ මවගේ පිළිතුර ලෙස අපට ලැබෙන්නේ ” වන දෙවඟනෝ මේ රහස් මල් පෙතිවල ලිවූ බවයි. එහි අපට හමුවන්නේ හුදු කාව්‍යාත්මක පරිකල්පනය සහිත අතිනාටකීය සරල ස්වභාවයේ අපූර්වත්වය මතු කරලීමේ අදහසක්.

 එහෙත් මේ විදිහට මිනිසාට ප්‍රශ්නකාරී වූ ස්වභාවය ප්‍රශ්න කරන්න ගත්තේ අද ඊයෙක නෙවෙයි. මේ ලෝකය මත නුතන මිනිසාගේ ආරම්භයේ සිට මිනිසා මේ ස්වභාවය පිළිබඳව පවතින කුතුහලය ප්‍රශ්න කරනවා. ඒ නිසාම මේ ලෝකයට බොහෝ විෂය ක්ෂේත්‍රයන් දායාද වෙනවා.බොහෝ ජයග්‍රහණ දිනා දිනා ගන්නවා.

ස්වභාවික විද්‍යාවන් විදිහට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, බවුතික විද්‍යාව වැනි ශුද්ධ විද්‍යාවනුත් සමාජ,ආර්ථික සහ දේශපාලන විද්‍යාවන් විදිහට සමාජීය විද්‍යාවනුත්, කලාව, භාෂා සාහිත්‍ය, සවුන්දර්ය ඇගයීම්, දර්ශනය ලෙසින් මානව ශාස්ත්‍රත්  වැනි විෂය ක්ෂේත්‍රාත්  අපට ලැබෙනවා. සොයා යාමේ  සහ සොයා ගැනීමේ උවමනාව මත. කෙසේ හෝ මානවයා තමන්ට මේ ස්වභාවයෙන් තමන්ට  අත්විඳින්නට වූ බොහෝ දේවල් නොපෙනෙන බලවේගයන්ගේ හෝ බලගතු මැවුම්කාර දෙවියෙකුගේ මැවීම්, උවමනා, සහ කැමැත්ත මත සිදුවෙන දේවල් බව විශ්වාස කිරීමෙන් මුදවා ගන්න නුතන මිනිසාගේ මේ ගමන් මගේ මේ සොයා ගත දැනුම් කලාපයන් උපකාරී වුනා. කටුක අත්දැකීම් වලට මුහුණ දෙමින් තම ජීවිතය පවා තර්ජනයට ලක් කරගනිමින් මේ තිබුණු මිත්‍යා විශ්වාසයන් වෙනස් කරලා ඒවාහි විද්‍යාත්මක පැවැත්ම තහවුරු කරගන්නට මිනිසා සමත් වෙනවා. එහෙත් එය සාහිත්‍ය  තුලත් කලාව තුලත් විටෙන් විට යම් කලා  සාහිත්‍ය සම්ප්‍රදායන්, ගුරුකුලයන් මුල් කොටගෙන වර්තමානයේත් නිර්මාණාත්මක භාවිතාවන් වල භාවිතා නොවෙනවා නෙවෙයි. මෙහි ආරම්භයේ බවිතාවට යෙදුනු පැදි  පෙළත් එවැනි භාවිතාවක එක්  අවස්තාවක්. එය තමයි කලාවේ සහ සාහිත්‍යයේ ස්වරූපය. අප අද දිනයේ රසවිඳින බොහෝ නිර්මාණ වල ඒවා භාවිතා වෙනවා. එය අපි වෙනම කතා කර යුතුයි. ඒ වගේම ඒවා කලා  සාහිත්‍ය  නිර්මාණයන්ගේ පරිකල්පනයෙන් පෙපිට පවතින යතාර්ථය තුලත් යථාර්තය එයම බවට විශ්වාස කරමින් ජිවත් වන මිනිසුන්ද සිටින බව කිවයුතු වෙනවා. සුලඟ,වැස්ස,අවුව,නියඟය,ගංවතුර,සුළි කුනාටු මේවා ස්වභාවික උවදුරු වලින් එහා අදිසි බලවේග හෝ දෙවියන් වෙතින් තමන් වෙත එවනවා යැයි  ඔවුන් විශ්වාස කරමින් සිතනවා.ඒ නිසා ඔවුන් මේ නොපෙනෙන බලවේග අදහමින් වත් පිළිවෙත් වල යෙදෙනවා.අදත් ශේෂව පවතින බොහෝ සංස්කෘතිකාංග මේවාට සාක්ෂි සපයනවා.

ඉතිං අද වෙනකොට නුතන මිනිසා ලබාගත් ජයග්‍රහණ වලදී මේවා ඇති වීම හෝ නැතිවීම විද්‍යාත්මකව  දැන හඳුනා ගත්තත් බොහෝ මිනිසුන් තවමත් මේවා වෙනුවෙන් නොපෙනෙන අදිසි බලවේග කෙරෙහි විශ්වාසය තබමින් පුද පූජා ඇදහිලි සත්කාර කරන බව අපි දන්නා කාරණයක්. සමහර විටෙක මේ අතීත පාරම්පරික මානව පැවැත්මේ නෂ්ඨාවශේෂ  වූ පැවැත්මට වෙන්න ඇති බොහෝ නූතන තාක්ෂණික මෙවලම් භාවිතාවේදී වුවද මගහැර යන්න බැරි තරමට මනස අතරමං  කරන්නේ. මිනිසා නිරන්තරයෙන් මේ නොස්ටල්ජියානු තම පැවැත්ම නැවත නැවතත් පිටපත් කරමින් ඇලී ගැලී සිටිනවා. ඒ නිසාම අද දිනයේ මෙවැනි සුළි සුලන්,වැසි,කුණාටු ස්වභාවික උවදුරු පමණක් නොවුනත් තමන්ගේ ජිවිතයේ දයිනික (දිනපතා) භාවිතා වලදි මුනගැසෙන බොහෝ සමාජ දේශපාලනික සංස්කෘතික කාරණා  කෙරෙහි උනත් මිනිස්සු දක්වන්නේ, හැසිරෙන්නේ එවැනි නොසැලකිලිමත් සහ අවිද්‍යාව මුල්කොටගත් මිත්‍යා විශ්වාසයන් සමග බව පෙනෙනවා. මෙය නූතන මිනිසගෙ දියුණුව සමග එක්තරා කාලයේ ක්‍රමික ප්‍රස්තාර ගත ගමනකදී අවම වෙමින් පැවතියද වර්තමානයේ නැවතත් ප්‍රස්තාරික ඉහල පැවැත්මක් දක්වා වර්දනය වෙන ආකාරයෙන් අද දින බොහෝ සමාජ,දේශපාලනික,සංස්කෘතික ක්‍රියාකාරකම් මැදිහත් වීම හරහා ප්‍රදර්ශනය වෙනවා. මෙය හුදු මානව පරම්පරා ගත පුරුද්දක්ද? එසේ නැතහොත් පුරුද්දක් බවට පත් කිරීමක්ද? එසේ පුරුද්දක්  ලෙසට බැහැරකොට නොසලකා හරිය නොහැක්කේ එය විසින් ඇතිකරන බලපෑම අපගේ මුළු මහත් සමාජයටම ඇස්  මානයේම එකවරම නොවූවත් ඒ විසින් ඇතිකරන බලපෑම සුළුවෙන් තැකිය නොහැකි නිසා.

අද දවසේ එවැනි නොපෙනෙන අදිසි හස්තයන් ගැන එක්තරා විදිහකට සිනහා උපැදුවද, ඒ සිනාසෙන්නන්ද  නොදැනුවත්වම එයට ගොදුරු වන තරමට මේ මොහොතේ අප විශ්වාස කරන බලවේග බලවත්ය. කවුරු කෙසේ තර්ක කලත් මේ මොහොතේ අප වෙත එන එවැනි නොපෙනෙන ලෙස සිනිඳු තිරපට මුවාවෙන් සැඟවී සිටිමින් පෙනී සිටින අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙන එක කලාපයක් ලෙස අපට අද නැතුවම බැරි තාක්ෂණික මෙවලමක් විදිහට භාවිතා වෙන අන්තර්ජාලයත් එහි ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලයත් හඳුනාගන්න  පුළුවන්.

ඒවායේදී අපට හමුවෙන මේ බොහෝ නොපෙනෙන අදිසි මැවුම් කරුවන් අපට දින පතාම තොග ගණනින් ඔවුන්ගේ නිපැයුම් ලබාදෙමින් අපව පුදුමයට පත් කරමින්,සතුටු කරමින්,සනහාමින්,සහන සලසමින්,උපදෙස් අවවාද පිළිතුරු මෙන්ම අප වෙනුවෙන් පෙනී සිටිමින් අපව සුවපත් කරමින් වේදනාවට  සහනයක් වෙමින් සිටියි. ඒවා මගින් ආදරය,විරහව,දුක,වේදනාව, සතුට,සන්තාපයන්,කාංසාවන් වගේම දේශපාලනය, සංස්කෘතිය,ආගමික වැනි මානුෂීය සමජීය අවකාශයන් පුරවමින් අප වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබට අවශ්‍ය සතුට වෙනුවෙන් යමක් කියන්නද? එසේත් නැතහොත් ඔබට අවශ්‍ය ඔබේ දුක පිලිබඳ යමක් ප්‍රකාශ කරන්නද? තෝරාගැනීම ඔබ සතුය. සතුට මෙන්ම දුකද ඔබට සපයා ඇත.

මේ අදිසි බලවේග පෙර මෙන් අප කෙරෙහි කෝප නොවෙන අතර අපට කිසි විටෙක දැනෙන අනතුරක ඉඟියක් හෝ සේයාවක් හෝ නොහඟවන්නට වගබලා ගන්නවා. මේ අදිසි බලවේග අපට ලඟා වන්නෙම අපගේ ගලවුම්කාරයෙකු ගේ ස්වරූපයෙන්ම පමණයි. එහෙත් මෙතැනදී අපට නොපෙනී යන දෙය එයමයි. අපගේ අනතුර ඇත්තේද ගැලවුම්කාරයෙකුගේ  තැනම බවයි. ඒ අනුව අපව ගලවාගන්නේ අනතුරකින් නොවෙන අතර අපට ගැලවෙන්නට බැරි විදිහට  බන්දන්නේ ගැලවුම්කාරයාගේ අනතුරේ වීමයි. එහෙත් මේ ගැලවුම් කාර අදිසි බලවතා කිසිම විටෙක එහි රුදුරු මුහුණ නොපෙන්වා සිටිමින් ඉන්නට පරෙස්සම් වෙනවා. එහෙයින් මේ අදිසි බලවේග සමග අප බැඳෙන්නේම සෘන්ගාරයකින් වීම අතීත මානවයාගේත් වර්තමාන මිනිසාගේත් වෙනස වෙනවා.

මේ බොහෝ පෙනීසිටීම් වගේම අප වෙනුවෙන් ලබා දීම්  වෙනුවෙන් ඔවුන් කිසිම විටෙක කතෘ භාවයක් හැඟවුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට පොදු කතෘ නාමයන් හෝ පොදු ව්‍යුහයන් ගේ ස්වරූපයෙන්  ආකර්ශනීය ලෙස අපේ පාර්ශවයේ අපේ සනුහරේ නියෝජනය කරමින් තමන් තුලටම අවශෝෂණය කරමින් සිටිනවා. ඒ නිසා මේ අදිසි බලවේග තම තමන්ගේ මුහුණු පොතේදී තමන්වම නියෝජනය කරන අතර තමන්ගේම කැඩපත් රූපය බවට පත්වෙනවා.මෙහිදී තමන් පිලිබඳ අනන්‍යතා අවබෝදය තමන් හැසිරවීමෙන් ඉවත්ව තමන්ගේ කැඩපත් රූපයේ හැසිරවීමට අනුගත කෙරෙනවා.

වර්තමාන මොහොත තුල ක්රියත්මකවෙන කුමන හෝ පුද්ගලික සහ සමජීය සංසිද්දී අරභයා වුවත් ක්ෂණිකයෙන් අවශ්‍ය අපේ මානසික සිතුම් පැතුම් වටහාගෙන ඒවාට අපිට අප වෙනුවෙන් ප්‍රශ්න අසමින් පිළිතුරු  බඳිමින් අප වෙනුවෙන් පෙනී සිටිමින් අපේ ඇපකරුවා බවට පත්වෙනවා. ඉතින් ප්‍රශ්නයකට තිබෙන්නේ ආදිකාලීන මිනිසා තමන්ට නොපෙනෙන මේ අදිසි බලවේග ගැන තිබුණු කුතුහලය වත් වර්තමාන මේ මොහොතේ පශ්චාත් නුතන සංස්කෘතික නුතන මිනිසා තුල නැත්තේ ඇයි ? යන්නයි. ඔහු ඒ ගැන සොයා බලනවා වෙනුවට කරමින් සිටින්නේ කොහෙන් කොහොම ආවද? කුමටද? විමසන්නේ කියමින් ඒ සමග සෘන්ගාරයෙන් බැඳී වෙලී  සිටීමයි. ඉතින් මේ මොහොතේත් අප මේ සමාජ මාධ්‍ය ජලාවල දිනපතා සංසරණය වෙන මේ දැන්වීම්, චායාරූප, උපදේශන වැකි,සංකල්පනා,විහිළු,කාටුන්,පිලිබඳ ප්‍රශ්න කරන්නේ නැහැ. ඒවා ඉතාම කාර්යක්ෂම ලෙස හැම  මොහොතකම  තම ග්‍රාහකයාගේ පවතින මොහොතට අදාල  මානසික කලාපය ජයගනිමින් සිටිනවා. ඔබට අවශ්‍ය ආදරයද,එසේත් නත්නම් මේ මොහොතේ ආදරයක අහිමි වීමෙන් වේදනා විඳින්නෙක් වීම ගැන අනෙකුන් දැනුවත් කරන්නද ? එසේත් නැතහොත් ඔබට අවශ්‍ය ඔබේ විරුද්ධවාදියා වෙනුවෙන් දැනෙන යමක් ලිවීමද? නොඑසේනම් ප්‍රහාරයක්ද? එසේ නැතහොත් ඔබ පිලිබඳ අනන්‍යතාවයක් ගොඩනැගීමද? ඒ ඕනෑම අවශ්‍යතාවයක් ඔබට දැන් අප තුලින් ලබා ගත හැකිය. ඔබ කිසිවක් ගැන කරදර විය යුතු නැත. කෙටියෙන් කිවහොත් ඔබ කිසිවක් ගැන සිතිය යුතු නැත. අපි ඔබ වෙනුවෙන් සිතමු. අප ඔබ වෙනුවෙන් ලියමු. අපි ඔබ වෙනුවෙන් ඔබේ මුහුණු පොතට ඒවා නොමිලේම ලබා දෙන්නෙමු. ඔබට ඇත්තේ ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගැනීම පමණි. ඔබ ඒ ගැන කරදර විය යුතු නැත. ඔබට කියන්නට ,කරන්නට අවැසි සෑම දෙයක්ම අපි ඔබ වෙනුවෙන් කරදෙමු. කරමින් සිටිමු. ඔබට ඇත්තේ ඔබේ අවශ්‍යතාවය ගැන හැගීමක් ඇතිකර ගැනීම පමණි. ඒ වෙනුවෙන් වගකීම අපි දරනු ඇත. ඒ තමයි ඔවුන් ඔබට දෙන ආදර්ශ පාඨය. ඔබට ඇත්තේ ඔබ සහ ඔබේ මිතුරන් අතරේ බෙදා ගනිමින් විනෝද වීම පමණයි. මේ තමයි මේ මොහොතේ මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජලාවලට දිනපතා තොග පිටින් බෙදාහැරෙන නිෂ්පාදනය කෙරෙන දැන්වීම්,චායාරූප,උපදේශ වැකි,සංකල්පනා  මේවායින් කරමින් ඉන්නේ. ඉතින් ඉතා විශාල ප්‍රමාණයක් දවස පුරා මුහුණු පොතෙත් මේ සමාජ මාධ්‍ය ජලාවල සැරි සරන්නන්ට තමන්ට අවැසි ඕනෙම පුද්ගලික හෝ සමාජ අවශ්‍යතාවයක් වෙනුවෙන් තමන් විසින් යමක් කිරීමට,සිතීමට,ලිවීමට, වෙහෙස විය යුතු නැත. තමන්ට  තිබෙන්නේ තමන්ගේ මානසික අවශ්‍යතාවයට ගැලපෙන සුවය දෙන බෙහෙත, භාණ්ඩය තෝරා ගැනීම පමණකි. ඒ හරහා ඔබ මේ මොහොතේ පීඩා විදිමින් සිටින ඔබේ රෝගය තාවකාලිකව සමනය වී යනු ඇත. ඔබට තව මොහොතකින් ඇති වන පීඩාවට ඔබ කල යුත්තේ ඔබේ ජංගම දුරකතනය හෝ ඕනෑම මෙවලමක් හරහා අන්තර්ජාලයට පිවිස මුහුණු පොතට එබීම පමණයි. ඔබ සිතන්නේ කුමක්ද? ඔබට එම මොහොතේම එය ඔබ ඉදිරියේ මවා දෙන අදිසි බලවේගය ඔබේ මුහුණු පොතේ ඔබේ මුහුණ මතටම පතිත වී ඇත. ඇත්තෙන්ම ඔබ වෙනුවෙන් සිතන්නේත්, ඔබ වෙනුවෙන් කතා කරන්නේත්, ලියන්නත් ඔවුන් ඉදිරිපත් වි ඇත. ඔබට වෙහෙසක් නොදැනෙනු ඇත. ඔබ තව දුරටත් ඔබේ මනස සිතන්නට වෙහෙසිය යුතු නැත. ඔබ තව දුරටත් ඔබේ දෑත ලියවීමට යෙදවිය යුතු නැත. ඔබට අවශ්‍ය සියල්ල අප සපයමින් සිටිනු ඇත. එයයි මේ මැව්ම් කාර අදිසි දෙවියන්ගේ පෙනී සිටීම.

මේ විදිහට අද දිනයේ ඔබේ මුහුණු පොත ඔබව නැවත නිර්මාණය කරමින් සිටිනවා. ඒ කියන්නේ තව දුරටත් ඔබ සිතිය යුතු නැත. සිතීමේ සීමාව ඔබට තහවුරු කරමින් කිටිනවා. ඔබ යමක් කල යුතු නොවේනම් සිතන්නේ කුමටද. එයයි සිතීමේ සීමාව. වසර දසලක්ෂයකට පමණ පෙර මානවයාගේ පූර්ව ගාත්‍රා යුගල සංචරණයෙන් නිදහස් වුන දා සිට ඔහු කල සරල ශ්‍රම කටයුතු අද ඔහු ලබා සිටින මේ අද්විතීය ජයග්‍රහණයට යන මාවත හෙලි කලේය. හෙතෙම ඉන් පසුව නිදහස් පූර්ව ගාත්‍ර යුගලයේ ඇගිලි භාවිතයෙන් කරන ක්‍රියාවන්ගේ ආරම්භය මඟින් මොළය වර්ධනය විම ආරම්භ කරන ලදි. මොළය වර්ධනයෙන් යලි ඇගිලිවලින් කෙරෙන ක්‍රියාව වර්ධනය විය. මොලය සහ දෑතේ ඇගිලි එකිනෙකා මත ක්‍රියාවෙන් වර්ධනය වීමෙන් මානව මොළය මිනිස් මොළයක් බවට පරිවර්තනය විය. තමා ගොදුරු කර ගන්නට එන සතුන්ට බියෙන් කුසගින්නේ සීතලෙන් පෙලෙමින් ආරක්ෂාවට උපකරණයක් හෝ නොමැතිව අසරණව සිටින මිනිසා අද සියලු සතුන් අභිබවා ඒ විප්ලවීය ආරම්භය මගින් මිනිසාගේ ශ්‍රමය හරහා පාලනය අතට ගෙන මේ විසල් ලෝකය නිර්මාණය කර ඇත. ඒ සඳහා මිනිසාට වැය වූයේ මොලයත් ශ්‍රමයත් පමණි. ඒ නිසා මිනිසාගේ මේ ගමන සිතීමේ ප්‍රතිඵලය මත ශ්‍රමය හරහා ගොඩ නැගුනක් බව අපට තේරුම් ගත හැකිය. මිනිසා තම දියුණුවේ ගමන අරභා අදවන තෙක් පැමිණ සිටි ගමනේ එක් නිශ්චිත මොහොතක නැවත සිතීමේ  ක්‍රියාවලිය අත්හිටුවීමට ඔබට ආරාධනා කරනවා. අද මුහුණු පොත තුලින් ඔබට ඔබේ අදිසි අනෙකා සිතමින් සිටිනවා. ඔහු ඔබ සිතන සෑම දෙයක්ම ඔබට සපයමින් ඔබ සිතීමේ ශ්‍රමයෙන් මුදවාලමින් සිටිනවා. එහෙයින් ඔබ තව දුරටත් සිතීමටත්, ලිවීමටත්, කියවීමටත් අවශ්‍ය නැහැ. එදා සහ අද ලෙස මිනිස් ඉතිහාසයේ හමුවන විශේෂත්වය කුමක්ද? එදා මිනිසා මේ අදිසි හස්තය පිළිබඳව දැක්වූ කුතුහලයද අද මිනිසා තුලින් පහව ගොස් තිබෙනවා. ඇත්තෙන්ම එදා මේ වෙනුවෙන් මිනිසා තම මනස තුල පරිකල්පනය කර ගත් නොපෙනෙන බලවේගයක් තිබුනා. එහෙත් අද මෙහි වෙනස එයයි. ඒ එදා නොපෙනුණ දෙවියන් හෝ කුමන හෝ අදිසි බල වේගය අද දින අපට අවශ්‍ය නම් බලා ගත හැකි වීමයි. මොකද ඒ බලවේග පවතින්නේම අප අතර වීම, අපට අවැසිනම් ඔවුන් අපට දෘශ්‍යමානය  තුල දැකිය හැකියි. ඔවුන්ද සිටින්නේම එවැනි අවකාශයකය. ඔවුන් කෙසේවත් සැඟවී නැත. ඔවුන් ඉතා මානුෂවාදී ස්වරූපයෙන්ම මේ මොහොතේද පෙනීසිටිමින් සිටී. ඔවුන් නිරන්තරයෙන් යමක් වහරමින් සිටී. ඒ ඔවුන්ගේ වගකීම අවශ්‍යතාවය පිළිබඳව හැගීමක් ඇති කිරීම බවය. ඔවුන් මේ නූතන ඩිජිටල් ආධිපත්‍යය ලොව පතුරවමින් ඒ කරා සියල්ලන්වම කැදවා ගනු ලබන්නේ කිසිදු බල පෑමකින් බල කිරීමකින් තොරය. ස්ව කැමැත්තෙන් සියල්ලෝ මේ වන්දනාමාන ගමනේ යෙදෙමින් සිටිනු ඇත. ඔවුන් කරමින් සිටින්නේ එයයි. මෙය මේ මොහොතේ දේශපාලනිකව අපිට හමුවෙන බව අපිට වටහාගන්න බැහැ . එහෙත් ඒක තමයි මේ මොහොතේ ගොඩනැගෙන දේශපාලනය. එමෙන්ම මුණගැසෙන නවීන දෘෂ්ටිවාදී පාලනය සහ අලුත්ම අධිපතිවාදයේ පෙනී සිටීම. ජිජැක් වැනි දේශපාලන විශ්ලේෂකයෙකුගේ වචනයට අනුව මේ මුහුණු පොත හරහා එන දැන්වීම වලට අපට අදහසක් එකතු කර ගත හැක. ඔහු ධනවාදය වෙනුවෙන් කල මේ ප්‍රකාශය මේ  දේශපාලනය වෙනුවෙන් මෙසේ ගොනුකරගත හැක. මේ මොහොතේ පවතින  දේශපාලනය පරණ  සම්ප්‍රදායේ පරණ අවතාරවල බලය බිදිද්දී තමගේම අවතාර නිර්මාණය කරනවා, ඒවා වඩාත් බිහිසුණුයි. ප්‍රශ්නය ඇත්තේ එතනම නොවේ. සිදුවන්නේ එය වුනත් අපි මුලටම ගියොත් ගීතයේ පදවැල් අතරදී දරුවෙකු මවගෙන් තම මුහුණු පොතේ මේ පාට පාට අකුරු ලියන්නේ කවුද. තමන්ටත් හොරා කියා අසන්නේ නෑ. තමන්ගේම සිතුවිලි කොහොමද එයා දන්නේ. අද කාටවත් ප්‍රශ්නයක් නැහැ. දරුවන් අහුවත් මවටත් කියන්න දෙයක් නැහැ. ඇයට කියන්න සිදුවන්නේ මේ විශ්වය රටාව නැහැ පොඩි දූ දන්නේ කියන එක විතරයි. එහෙමත් නැත්නම් කොහෙන් කොහෙට ආවත් කුමටද විමසන්නේ කියමින් සුලගේ ගසාගෙන යන එක විතරයි. එහෙම නැතුව කියන්න සුලගේ ඔබ කොයි සිටදෝ එන්නේ කියන ප්‍රශ්න කිරීම නෙවෙයි.එයයි අද අපිට හමුවෙන මවුවරුන්ගේද,පියවරුන්ගේද,ගුරුවරුන්ගේද ,දරුවන්ගේද සැමගේම බලාපොරොත්තුව. එහෙම නොවුනොත් වස ලැජ්ජාවක් වගේ හිතට දැනෙනවා.

Geeth Asanka Saputhanthri
Geeth Asanka Saputhanthri
B-Tech of University of Vocational Technology, Sri Lanka Writer, Cinematographer, Political Analyser, Director and Screenplay Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles