28 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

ආයතන විභාගය තුළින් ප්‍රකට වන විශ්ලේෂණය ,අරමුණ හා ස්වභාවය

Related Articles

Image from Internet

ද්වාදස ආයතන විභාගය

ආත්ම සංකල්පය ප්‍රතික්ෂේප කරන බුදු දහම පුද්ගලයා ආයතන වශයෙන්ද තව දුරටත් බෙදා දක්වයි.ආයතන නමින් විග්‍රහ වනුයේ පුද්ගලයා අස්මිමානයෙන් ලෝකය යැයි ගොඩ නගා ගන්නා කායික වාචසික ක්‍රියාවන්ට නතු වීමට හේතු වන ආධ්‍යාත්මික ස්වභාවය ⁣,මෙන්ම බාහිර ස්වභාවය විස්තර කරලීම සඳහා හේතුවන නාම රූප විග්‍රහයයි.පුද්ගලයා බාහිර ලෝකයට සම්බන්ධකරවන ආධ්‍යාත්මික ඇස ,කන,නාසය,දිව ශරීරය හා මනස ආදී ආයතනයන්ට  සාපේක්ෂව  රූප,සද්ධ ,ගන්ධ, රස ඵොට්ඨබ්බ හා ධම්ම යන ආයතනයෝය.මේවා ද්වා දස ආයතන ලෙස පෙළ දහමේ සඳහන් වේ.මෙහි ආරම්මණ ක්ෂේත්‍රය හඳුනා ගැනීම උදෙසා එය බෙදා වෙන් කර ගැනීම අවබෝධ කරගන්නා තැනැත්තාට පහසු වනු ඇත.

ආධ්‍යාත්මික ආයතන                  බාහිර ආයතන

1-චක්ඛායතනය                         1-රුපායතනය

2-සොතායතනය                        2-සද්දායතනය

3-ඝාණායතනය                         3-ගන්ධායතනය

4-ජිව්හායතනය                         4-රසායතනය  

5-කායායතනය                          5ඵොට්ඨබ්බායතනය

6-මනායතනය                           6-ධම්මායතනය

තවද මෙම ආයතන අතරින් ආධ්‍යාත්මික ආයතන සය ඉන්ද්‍රියන් ලෙසද,බාහිර ආයතන ආරම්මණ ලෙසද පෙළ දහමෙහි හඳුන්වා ඇත.ආයතන විභාගය තුළ භෞතික අංශයම මෙන්ම මානසික අංශයද නියෝජනය කරයි.ඔබ මෙසේ කල්පනා කර බලන්නේ නම් යහපත්ය.අපගේ ඇස අන්ධය,දෙකන් බිහිරිය.නාසයට ගන්ධය දැනෙන්නේද නැත.දිවට රසය දැනීම නොදැනුනහොත් ඔබට නිවැරදි වින්දනයක්,සංජානනයක්,විතර්කයක් හෝ ප්‍රපංචාදි සිතිවිලි බිහිවීම කරගත හැකිද?.අපගේ ඉඳුරන් දුබල නම් කිසි විටක ආධ්‍යාත්මික ලෝකය ගොඩනගා ගත නොහැකිය.එසේම කායික වාචසික හා මානසික ක්‍රියාවන් ගොඩ නගා ගත නොහැකිය.එබැවින් බුදුරජාණෝ මෙම ෂඩායතනයන්ගේ නිරෝගි බව මහා හත්ථි ⁣පදෝපම සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත.

1-ආධ්‍යාත්මික ඇස නොබිඳී නිරෝගිව පැවතීම.

(අජ්ඣත්තිකංචෙව චක්ඛුං අපරිභින්නං හොති)

2-ආධ්‍යාත්මික කන නොබිඳි නිරෝගිව පැවතීම.

(අජ්ඣත්තිකංචෙව සොතං අපරිභින්නං හොති )

3-ආධ්‍යාත්මික නාසය නොබිඳී නිරෝගිව පැවතීම.

(අජ්ඣත්තිකංචේව ඝාණං අපරිභින්නං හොති)

4-ආධ්‍යාත්මික දිව නොබිඳී නිරෝගිව පැවතීම.

(අජ්ඣත්තිකංචේව ජිව්හං අපරිභින්නං හොති)

5-ආධ්‍යත්මික ශරීරය නොබිඳ නිරෝගිව පැවතීම.

(අජ්ඣත්තිකංචෙව කායං අපරිභින්නං හොති)

6-ආධ්‍යාත්මික මනස නොබිඳි නිරොගිව පැවතීම .

(අජ්ඣත්තිකංචෙව මනං අපරිභින්නං හොති)

යනුවෙන් ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ නිරෝගි බව අනිවාර්යෙන්ම පැවතිය යුතු බව දක්වා තිබේ.එමෙන්ම එම සුතුරාණුකූලව ආධ්‍යාත්මික ඇස කන නාසය දිව ශරීය හා මනස නිරෝගිව පැවතියද බාහිර ආයතන නැතහොත් ඇස ආදි ෂඩින්ද්‍රියන්ට ගොචර වන රූප, සද්ධ, ගන්ධ, රස ඵොට්ඨබ්බ හා ධම්මායතනයන් නියත ලෙස ප්‍රත්‍යය කොට පැවතිය යුතු බව ද දක්වා තිබේ.උදාහරණයක් ලෙස මෙසේ උපකල්පනය කර ගනිමු.ඔබගේ ඇස නිරවුල් වුවද උපන්දා සිට අන්ධකාරයේ සිටියේ නම් ඇසට අදාළ ,විඤ්ඤාණය ,ස්පර්ශ ,වේදනා,සඤ්ඤා හා පපංචයන් බිහිකොට ගත නොහැකිය.මව පියා දරුවා ගහ මල,වෛරක්කරුවා ආදි නයින් ඇසට අදාළ   ආධ්‍යාත්මික ලෝක සඤ්ජානනයක් මෙන්ම අනෙකුත් වින්දන ක්ෂේත්‍රයන්ද නොමැත.එබැවින් බුදු රජාණන් වහන්සේ මෙම පඤ්චස්ඛන්ධය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට නම් මේවා එකිනෙකට ප්‍රත්‍යයකොට පැවතිය යුතු බව වදාරා ඇත.මජ්ඣිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රය තුළ විඤ්ඤාණික ක්‍රියාවලිය සිදු වීම උදෙසා ආධ්‍යාත්මික හා බාහිර ආයතනයෝ ප්‍රත්‍යයකොට පැවතිය යුතු ආකාරය මෙසේ දක්වයි.

1-ඇස ප්‍රත්‍යය කොටගෙන රූප උපදී චක්ඛු විඤ්ඤාණයයි.

(චක්ඛුංචාසො පටිච්ච රූපේ උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං)

2-කන ප්‍රත්‍යය කොටගෙන ශබ්ධ උපදී සෝත විඤ්ඤාණයයි.

(සොතංචාවුසො පටිච්ච සද්දෙ උප්පජ්ජති සොත විඤ්ඤාණං )

3-නාසය ප්‍රත්‍යය කොටගෙන ගන්ධය උපදී ඝාණ විඤ්ඤාණයයි.

(ඝාණංචාවුසෝ පට්ච්ච ගන්ධෙ උප්පජ්ති ඝාණ විඤ්ඤාණං)

4-දිව ප්‍රත්‍යය කොටගෙන රසය උපදියි ජිව්හා විඤ්ඤාණයයි

(ජිව්හංචාවුසො පටිච්ච රසෙ උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං )

5-කය ප්‍රත්‍යය කොටගෙන ස්පර්ශය උපදී කාය විඤ්ඤාණයයි

(කායංචාවුසෝ පටිච්ච ොට්ඨබ්බෙ උප්පජ්ජති කාය විඤ්ඤාණං)

6-මනස ප්‍රත්‍යයකොටගෙන ධම්මාරම්මණයො උපදී මනෝ විඤ්ඤාණයයි.

(මනංචාවුසො පටිච්ච ධම්මෙ උප්පජ්ජති මනො විඤ්ඤාණං)

මෙසේ ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන ප්‍රත්‍යය කොටගෙන විඤ්ඤාණය පහළ වේ.විඤ්ඤාණය යනු දැනීම් සම්භාරයයි.ඒවා චක්ඛු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ,ඝාණ විඤ්ඤාණ ,ජිව්හා විඤ්ඤාණ ,කාය විඤ්ඤාණ හා මනෝ විඤ්ඤාණයෝයි.ෂඩ් විඤ්ඤාණයෝ ද්වාදස ආයතනයන් ඇසුරකොටම උපදී. ම.නි.මහා හත්ථි පදෝපම සූත්‍රයට අනුව ෂඩ් විඤ්ඤාණයෝ පහළ වීමට හේතු ප්‍රත්‍යයයො මෙසේ සංක්ෂිප්ත ලෙස දැක්විය හැකිය.

1-ආධ්‍යාත්මික ඇස ,කන,නාසය,දිව,ශරීරය හා මනස ආදි ෂඩායතනයන්ගේ නොබිඳුණු(අපරිභින්න) බව නැතහොත් නිරෝගිව පැවතීම.(අජ්ඣත්තිකංචෙව චක්ඛුං,සොතං…,ඝාණං…,ජිව්හං…,කායං..,මනො අපරිභින්නො හොති)

2-ෂඩායතනයන්ට ගෝචර වන රූප සද්ද,ගන්ධ,රස,පොට්ඨබ්බ,ධම්ම ආදි බාහිර ආයතනයන් හෙවත් ආරම්මණයන් ආපාථගත වීම.(බහිරාච රුපා..සද්ධා…ගන්ධා…රසා…ඵොට්ඨබ්බා….ධම්මා ආපාථං හොති)

3- ආධ්‍යාත්මික ආයතනයන්ගේ නිරෝගි බව,බාහිර ආරම්මණයන් පැවතීම මෙන්ම සුදුසු අවධාණයක් යොමු වීම නොහොත් තජ්ජො සමන්නාහරය විඤ්ඤාණයාගේ පහළ වීමට හේතු වේ.තජ්ජො සමන්නාහරය නම් සුදුසු අවධානයක් යොමු වීමයි.(තජ්ජො සමන්නාහරො එවං විඤ්ඤාණස්ස පාතුභාවො හොති).

(ම.නි.1,මහාහත්ථිපදොපම සූත්‍රය ,460-463 පිටු,බු.ජ.මු)

මෙසේ විඤ්ඤාණයේ පහළ වීමෙන් පසුව චක්ඛු සම්ඵස්සජය ඇති වේ. ඇසට අදාළ රූපයක් වේද එම රූපය සුඛ හෝ අදුක්ඛමසුඛ හෝ දුක්ඛ වින්දනයටත්,සඤ්ඤාව නැතහොත් හඳුනාගැනීමටත්,විතර්කනයටත්,ලෝභ ද්වේශ ආදී ප්‍රපඤ්ච ධර්මයන්ට නතු වීමට සිදු වේ.එම ප්‍රපඤ්චයන් කරණ කොටගෙන පුද්ගලයා සිත කය හා වචන හසුරවයි ඇසට අදාළ අතීත අනාගත හා පච්චුප්පන්න දැනීම ඔස්සේය.ඒ අනුව සම්මුතියෙහි පුද්ගලයා යන පඤ්චෝපදානස්ඛන්ධයම ගොඩ නගා ගනියි.

නිදසුනක් ලෙස X නැමති පුද්ගලයා අතීතයේ දිනෙක ඔබට පහර දුන්නේ යැයි සිතමු.වර්තමානයේදි නොහොත් ෂඩායතනයන්හි ඇස ප්‍රත්‍යකොට (පච්චුප්පන්න) එම පහරදුන් X දුටුවේ යැයි සිතමු.X යනු රූපයයි.ෂඩායතන් තුළින් චිත්තක්ෂණයක් පාසා එහා මෙහා දුව යන අප එම ඇසට අදාළව රූපය දුටුවේ නම්,ඇසට අදාළ දැනීම ඇති වේ(චක්ඛු විඤ්ඤාණය).ඇස රූප හා චක්ඛු විඤ්ඤාණය එකතු වීමෙන් ගොඩ නැගෙනුයේ ඇසට අදාළ ස්පර්ශයයි. ඉන් පසු වින්දනය ඇති වේ.X පෙර දින පහරදුන් පුද්ලයකු වන බැවින් වින්දනය දුක් වේදනාවකි(දුක්ඛා වෙදනා),ඉන් පසු හඳුනාගනී(සඤ්ජානාති).එනම් X පිළිබඳ ,කමල් නිමල් ආදි නාමිකවත් ,පෙර දිනෙක පහර දුන් පුද්ගලයා ආදීවශයෙන්ය,ඉන් පසු ඇති වන්නේ විතර්කයයි(විතක්කේති),එනම් ඇසින් දුටු X නැමති රූපයට සිදු කරන්නට යන දේ පිළිබඳවය.තමාට පහරදුන් X  පිළිබඳ ඇතිවන විතර්කයෙන් පසුව,ඔහුගේ භවාංග චිත්තයෙහි නිදිගත් කෙලෙස් අවදි වේ.ක්ලේශ නම් ප්‍රපඤ්චයෝය(පපඤ්චෙති),එනම්,රාග, ද්වේශ , මෝහ,ඊර්ශ්‍යාව (ඉස්සා) මසුරු බව (මච්ඡරිය) ,බද්ධ වෛරය(උපනාහ),අනුන් නසා දැමීම(ව්‍යාපාද) ආදී සිත කෙලසන ධර්මයෝය.තමාට පෙර දිනක පහරදුන් X පුද්ගලයා බැවින් සිතේ අද්වේශ ආදි කුසල චෛතසිකයන් බොහෝ විට පහළ නොවෙනු ඇත.පහළ වනුයේ ද්වේශ ආදී අකුසල චෛතසිකයෝය.ඒ සිතිවිලි ධර්මවලට අනුව පුද්ගලයා සිත මෙන්ම කයද කය මෙන්ම වචනද හසුරුවයි.ඇතම් විට තමාට පහරදුන් X පුද්ගයා වන බැවින් X හට පහර දීමට හෝ බැන වැදීමට මෙන්ම සිතින් සිතා මානසික ක්‍රියා සිදු කිරීම(චෙතයිත්වා කම්මං කරොති)  කරයි.ඒ ඇසට අනුව ගොඩ නගාගත් අතීත අනාගත හා පච්චුප්පන්න චක්ඛු විඤ්ඤාණය අනුවය.ම.නි මධුපිණ්ඩික සුතුර අනුව ඇස මෙන්ම ,කන නාසය දිව ශරීර හා මනස උක්ත සඳහන් උපහරණය මෙන්ම තත්  කාර්‍යයෙහිලා පොදු බව දත යුතුය.ඇසට අදාළ ආරම්මණ ක්ෂේත්‍රය මෙසේ සාරාංශ කොට දැක්විය හැකිය.

ඇස+රූප(චක්ඛුං පටිච්ච රූපෙ උප්පජ්ජති )

                       |

 චක්ඛු විඤ්ඤාණය-  ඇසට අදාළ දැනීම(චක්ඛු විඤ්ඤාණං)

                      |

ස්පර්ශය -ඇස ,රූප හා විඤ්ඤාණය යන ත්‍රිත්ව සමවායෙන් ස්පර්ශය ඇතිවේ(තිණ්ණං සංගති ඵස්සො)

                     |        

වින්දනය-ස්පර්ශය කරණකොට වින්දනය ඇති වේ(ඵස්ස පච්චයා වේදනා)

                     |

හඳුනාගැනීම -වින්දනයත් සමඟ හඳුනාගැනීම සිදු වේ(යං වෙදෙති තං සඤ්ජානාති)

                     |

විතර්කය-  යමක් හඳුනා ගනීද එය සිතින් සිතා විතර්කනය කරයි.(යං සඤ්ජානාති තං විතක්කෙති)

                    |

ප්‍රපඤ්ච -(යමක් විතර්කනය කරයි නම් රාග ද්වේශ ආදී සිතිවිලි ධර්යමකට(ප්‍රපඤ්ච ) වැටේ.

(යං විතක්කෙති තං පපඤ්චේති)

                    |

ක්‍රියා පැවැත්වීම- සිතිවිල්ල අනුව සිත ,කය වචන  හැසිරීම(තතො  නිදානං පුරිසං පපඤ්ච සංඛා සමුදාචරන්ති) ඒ ඇසට අදාළ අතීත අනාගත හා පච්චුප්පන්න චක්ඛු විඤ්ඤාණාගත රූප ඔස්සේය.(අතීත අනාගත පච්චුප්පන්නෙසු චක්ඛු විඤ්ඤෙය්‍යෙසු  රූපෙසු)

මේ ආරම්මණ ක්ෂේත්‍රය ඇසට පමණක් නොව කන,නාසය දිව ශරීරය හා මනසට සාපේක්ෂව බාහිර ආරම්මණ ඔස්සේ අනෙකුත් නාම ධර්මතා ගොඩ නගා ගනී.උක්ත සඳහන් කරණ ලද ඇසට අදාළ ආරම්මණ ක්ෂේත්‍රය පුනර් උපහරණයක් මගින් විමසා බලමු.

ඔබ පූර්ව දිනෙක ප්‍රේම කළ Y නැමති කාන්තාව කිසියම් ස්ථානයකදී දුටුවේ යැයි සිතමු.ඒ ඔබගේ ඇසට ගෝචර වූ රූපයයි.ඇස හා රූපය ගැටීම තුළින් බිහිවනුයේ චක්ඛු විඤ්ඤාණයයි.එනම් ඇසට අදාළ දැනීමයි.ආධ්‍යාත්මික තම ඇස මෙන්ම Y නැමැති රූපය කරණකොට ඇසට අදාළ දැනීම නොහොත් චක්ඛු විඤ්ඤාණය යන ත්‍රිත්වය සමවායෙන් එකතු වනුයේ ස්පර්ශයයි.ඇසට අදාළ බැවින් එය චක්ඛු සම්ඵස්සජය නමී.Y නැමති කාන්තාව පෙරයම් දිනෙක ප්‍රේම කළ තැනැත්තියක වන බැවින් නාම ධර්මයන්ට අදාළව උපදින වින්දනය සුඛ වේදනාවක්(සුව වේදනාවක්) ද විය හැකිය.දුක්ඛ වේදනාවක් ද(දොම්නස් වේදනාවක්) විය හැකිය .අදුක්ඛමසුඛ (උපේක්ෂා වේදනාවක්)ද විය හැකිය.වින්දනයෙන් පසුව ඇති වනුයේ සඤ්ජානනයයි.එනම්,හඳුනා ගැනීමයි.Y පිළිබඳ නාමික වශයෙන්,කාල ශ්වේත නැතහොත් කලු සුදු වශයෙන් හෝ පෙම් කළ තැනැත්තිය වශයෙන් හඳුනාගැනීමයි.එම සඤ්ජානනයෙන් පසුව ඇති වනුයේ විතර්කයයි.එනම් ඇයට කුමක් කළ යුතුද යන විතර්කනයයි.එම විතර්කයට අනුකූලව රාගය,ද්වේශය,උපනාහය,ව්‍යාපාදය ආදී චිත්තෝපක්ලේශ බිහි කරගනිමින් එම සංඛාර ධර්මයන්ට අනුව සිත ,කය හා වචන හසුරුවයි.එනම් පහරදීමට,නසා දැමීම ආදී කායික ක්‍රියාවන්ටත්,පරුෂ වදන් කීම,බැණ වැදීම,හිස් වදන් කීම ආදී වාචසික ක්‍රියාවන්ටත්,සිතින් සිතා(චෙතයිත්වා කම්මං කරොති) නැසීමට සිතීම,බැනීමට සිතීම,ආදී මානසික ක්‍රියාවන්ටත් පච්චුප්පන්න චක්ඛු විඤ්ඤාණයට අනුව යොමු වේ.එය අතීත අනාගත පච්චුප්පන්න ආදී මනෝ මූලික වූ චක්ඛු විඤ්ඤාණුකූලවය.එනම් අතීත ඇසෙන් දුටු Y ට අදාළ  වින්දන,හඳුනාගැනීම්,විතර්ක ,ප්‍රපඤ්චාදියට අනුකූලව වර්තමානයේ  තිදොර හැසිරවීමයි .අනාගතයට අදාළ ඇසින් දැකීමට කැමති දෑ මෙන්ම සැළසුම්  කිරීමට අපේක්ෂා කිරීමයි.මෙම ආරම්මණ ක්ෂේත්‍රය කන,නාසය දිව ,ශරීරය හා මනසටද තත්වානුරූපයෙන්ම අදාළව පවතී.ඇස පිළිබඳ වූ නාම රූප ස්වභාය මෙසේ දැක්විය හැකිය.

01- ඇසේ ක්‍රියාකාරීත්වය නැවැත්වුවහොත් රූප දෙසබැලිය නොහැකි ය.

(ඇස මෙන්ම කන ,නාසය,දිව,ශරීරය හා මනසෙහි ක්‍රියාකාරීත්වය නැවතුනහොත් තත් ආයතනයන්ට ගෝචරය වන,ශබ්ධ,ගන්ධ,රස,ඵොට්ඨබ්බ හා ධම්මාරම්මණයන් නිසියාකාරව බිහිකරගත නොහැකිය)

02-රූප දෙස නොබැලුව හොත් දැකීමේ සිත පහළ නොවේ.

(අනෙක්  බාහිර ආයතන වන ශබ් ශබ්ධ ,ගන්ධ,රස,ඵොට්ඨබ්බ හා ධම්මයන් අරමුණු නොවුනහොත් ඇසීමේ,ආඝ්‍රාණය කිරීමේ ,රස දැනීමේ,කායික ස්පර්ශයෙහි,ධම්මාරම්ණයෙහි සිත් පහළ නොවේ.)

 .

03- සිතිවිලි පහළ නොවුවහොත් කායික වාචසික මානසික ක්‍රියාකාරීත්වය ඇති නොවේ.

ඇස-රූප

කන-ශබ්ධ

නාසය -ගන්ධය

දිව-රසය

ශරීරය-කායික ස්පර්ශය

මනස- සිතිවිලි

යන ද්වාදස ආයතනයන්ට  අදාළව විඤ්ඤාණය,ඵස්ස,වේදනාව,සඤ්ඤාව ,විතර්ක,ප්‍රපඤ්ච ආදීය කරණ කොටගෙන කායික වාචසික හා මානසික ක්‍රියා ඇති වේ.ඒවා නිසියාකාරව පිහිටා නොතිබුනහොත් සිත ,කය හා වචනයන්ට අදාළ ක්‍රියාවන් සිදු නොවේ.පූර්වයේ විස්තර කරන ලද ආයතන විභාගය තුළින් ප්‍රකට වන්නේ ආත්මවාදි අදහස්වල එල්බ ගෙන සිටින්නාවූ සම්‍යග්දෘෂ්ටිගත පුද්ගයන් මෙන්ම මිථ්‍යාදෘෂ්ටිගත පුද්ගලයන් එම අදහස්වලින් ඉවත් කොට දාර්ශනික පදනම හා විමුක්තිගාමි ප්‍රතිපදාව උදෙසා දහමින් පෝෂණය කිරීමටය.එබැවින් එම ආයතන විභාගය විශ්ලේෂණාත්මකව දැන හඳුනාගැනීම ධර්මාවබෝධය සඳහා මහෝපකාරි වනු ඇත.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles