25.6 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

කැලිකසල කළමණාකරනය

Related Articles

             

                                                අතීතයේ විසූ මිනිසාගේ වාසස්ථානය වූයේ, ගල්ලෙන් හෝ විශාල වෘක්ෂයන්ය. ඒවායේ ජීවත් වූ මිනිසුන්ගේ ප්‍රධානතම ආහාරය වූයේ, දඩයම් කළ වන සතුන්ගේ මස් ය. ක්‍රමයෙන් එය, ගොඩ සහ මඩ ගොවිතැන දක්වා විහිදින. තම වාසස්ථාන අසල, ඇති දැඩි කළ ගවයන්, එළුවන් ආදී සතුන්ගෙන් කිරි ලබාගනිමින්, ලැබෙන අතුරුඵල සියල්ල ම ගොවිතැන් සඳහා පොහොර ලෙස යොදාගත් ඔවුන්, පරිසරය හා මනා සබැඳියාවකින් ජීවත් විය.

                                      වර්ථමාන මිනිසා, මුදල් පසුපස හඹා යාමේ ප්‍රතිඵලයක් ලෙස, කැළෑ එළිපෙහෙලි කරමින් කරන විනාශයත් සමග ජල මූලාශ්‍ර සිඳී යාම,  අධික වර්ෂාව සමග සමග සිදුවන නාය යාම් ආදි කරුණු හේතුවෙන්, අනතුරුවලට ලක්වෙමින් සිටිනවා. කොන්ක්‍රීට් වනාන්තරවල සිරවී, පිරිසිදු සුළං පොදක පහස විඳින්නට නොහැකිවන ඔවුන්, යන්ත්‍ර සූත්‍ර (Air Conditions)භාවිතයෙන් එය ලබාගැනීමට තරම් අසරණ වී සිටී.

                                      ස්වභාවික පරිසරය සමග මිනිසා පැවැත් වූ සුහදත්වය, යකඩ, වීදුරු, පොලිතීන් ආදී ද්‍රව්‍යයන්ට හුරුවීමත් සමගම ක්‍රමයෙන් බිඳවැටෙන්නට විය. එය අහඹු ලෙස සිදුවූවක් නොව, අප විසින්ම සිදුකරගන්නා ලද්දකි. එහි විපාක අද වන විට, ඔබ, අප යම්තාක් දුරට විඳිමින් සිටීන නමුත් අනාගත පරපුරට දැඩි විපාක දැරීමට සිදුවනු ඇත. ඔවුන් එයින්  මදකින් හෝ ගලවාගන්නට, ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරන්නට ඔබට හැකියාව තිබේ. ඒ සඳහා ඔබ පරිහරණය කරන දෑ ඉවත නොදා, නැවත පරිහරණයට යොදාගැනීම කළ යුතු වනවා. ඒ සඳහා වන දැක්මක් ඔබතුල ඇති කිරීම මෙම ලිපියේ අරමුණ වනවා.

                                      ඔබ, ඔබගේ ගෙවත්තට මදක් නෙත් යොමන්න. ඔබට දැකගතහැකි වනුයේ කුමක්ද?. ඔබ, එදිනෙදා ප්‍රයෝජනයට ගෙන ඉවත දමන ලද යකඩ කෑලි(Iron), තහඩු කෑලි, වීදුරු බෝතල්(Glass Bottles), වීදුරු කටු (Glass Beads), ප්ලාස්ටික් බෝතල්(Plastic Bottles), පොලිතීන්(Polythene), සිලිසිලි බෑග් (Shopping Bags)ආදිය තැන තැන විසිරී ඇති අයුරු නොවේද?
 

                                                මෙවැනි ද්‍රව්‍ය ගෙවත්ත පුරා විසිරී තිබීමෙන් ඇතිවන හානිය පිළිබඳව ඔබට සමහර විට නොතේරෙන්නට පුළුවන. නැතිනම්, නෙදැනෙන්නට පුළුවන. ගෙවත්තෙහි යම් කිසි වගාවක් කරන්නට අදහස් කර පස පෙරලන්නට ගත් කළ, සෑම තැනම ඇති කැලිකසල නිසා එය නිසියාකාරව කිරීමට අපහසු වේ. වීදුරු, යකඩ, ප්ලාස්ටික්  වැනි අපද්‍රව්‍ය පස සමග එකතුවී තිබීම මගින්, අත් පා, කැපී යාමට පවා ඉඩ තිබේ. එය එසේ වන්නේ, ඒවා දිරාපත් නොවන නිසාය. යකඩ, වීදුරු මගින් වන තුවාල නිසා, පිටගැස්ම වැනි රෝගාබාධයන්ට ගොදුරු වී, ජීවිතයත්, මරණයත් අතර සටනක නිරතවන්නට පවා සිදු වේ. එපමනක් ද නොව, විසි කරන ලද බෝතල් හා ටින් කැබලි වල වැසි වතුර රැඳී මදුරුවන් බෝවීම මගින් ඩෙංගු, බරවා වැනි රෝග ව්‍යාප්තවීම සිදුවේ.

                                      මෙසේ නිසි කළමණාකරනයකින් තොරව අපද්‍රව්‍ය බැහැර කිරීමෙන්, නිවස අළංකරණය සඳහා සිටුවන මල් පැලයකට හෝ පරිභෝජනය සඳහා සිටුවන එළවළු පැලයකට පොහොරක්, ඔබ නිවසේම සාදාගැනීමට තිබෙන අවස්ථාවයි ඔබ විසින්ම නැතිකරගනු ලබන්නේ.

                                      නිසියාකාරව අපද්‍රව්‍ය බැහැර රන්නට යොමුවන්නේ නම්, කොම්පෝස්ට් පොහොර ඉතා ලෙහෙසියෙන්, වැඩි වෙහෙස මහන්සියකින් තොරව සාදාගත හැකි වේ. ඒ සඳහා යොමුවන්නන්ට, ආර්ථික වාසි රැසක් ලැබේ.

  • කිසිදු වියදමකින් තොරව, අවශ්‍ය කාබණික පොහොර සාදාගත හැකි වීම.
  • කාබණික පොහොර භාවිතය නිසා, පසෙහි ක්ෂුද්‍ර ජීවී වර්ධනය ඉහල යාම.( විෂ රහිත වීම නිසා.)
  • මැසි මදුරු බෝවිමක් නොමැති බැවින්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට හැකි වීම.
  • අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීම නිසා, අළංකාර වටපිටාවක් ලැබීම.
  • අපද්‍රව්‍ය විකිණීමෙන් අමතර ආදායමක් ලැබීම. සඳහන් කළ හැකිය.

                                      ඉහත කරුණු වලින් බොහෝ දෑ ඔබ කලින් සිට දැන සිටින්නට ඇත. එහෙත් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරන්නට ඇත. අවසන් කරුණ ගැන වැඩි යමක් සිතන්නට පුළුවන. ඒ, එය ගැන බොහෝ දෙනා නොදැන සිටීමයි. අද ලෝකයේ බොහෝ රටවල්, අපද්‍රව්‍ය ඉවතට විසි නොකොට නැවත ප්‍රයෝජනයට ගත හැකි අයුරින් සකස් කර ගනී. කසල ඉවත දැමීම දැඩි පාරසරික ගැටළුවක්ව පවතින අවධියක, මෙය පරිසර සංරක්ෂණය කෙරෙහි දක්වන වඩාත්ම සමීපම සම්බන්ධතාවයයි. එහෙත් ජනතාව නොදැන සිටියත්, පරිසර හිතවාදීන් බොහෝ දෙනෙක් දන්නා සැබෑ සත්‍යයක් ඇත. එනම් අද වන විට බොහෝ නගර වල කැලිකසල ප්‍රතිචක්‍රීය කරනු ලබන ආයතන රාශියක් ක්‍රියාත්මක වන බව හා නගර වලින් බැහැර කරන කැලි කසල එයට අමුද්‍රව්‍ය වී ඇති බවත්ය.

                                      මහජනතාව කුණු ගොඩක් යයි පවසා ඉවත දමන ද්‍රව්‍ය, නිවසේදීම කොටස් වශයෙන් වෙන් කළ හැක. කාඩ්බෝඩ් හෝ ලී පෙට්ට හෝ සමාන්‍ය ප්‍රමාණයේ ටින් 4ක් ගෙන යකඩ, පොලිතීන්/ප්ලාස්ටික්/රබර්, වීදුරු, කඩදාසි යනුවෙන් ලේබල් 4ක් ලියා එක්, එක් භාජනයේ අලවාගත් විට මූලික් කාර්ය අවසන්ය. දැන් ඔබ විසින්, ඉවත දමන ද්‍රව්‍යයන් වර්ග කර නියමිත භාජනයට දමන්න. මසක් ගතවූ විට, එම ද්‍රව්‍යයන් පිරිසිදු කර, ඔබට අළෙවි කළ හැක.ඒ සෑම ද්‍රවයයක්ම කිලෝග්‍රෑම් ප්‍රමාණය අනුව නියමිත මුදලක් ලැබෙන අතර, මහඟු සේවයකට ඔබ දායක වනු ඇත. එමෙන්ම, ඔබ ආහාර අනුභවයෙන් පසු ඉතිරිවන කොටස වගේම, එළවළු හා පළතුරුවල ඉවත දමන කොටස් සියල්ල කොම්පෝස්ට් බඳුනකට දැමූ විට දින කීපයකින් සාරවත් පොහොරක් ඔබට සාදාගත හැකි වේ. එය මල් පැල මෙන්ම ගෙවත්තෙහි සිටුවන එළවළු හා පළතුරු පැල වලට පොහොර ලෙස යොදා ගැනීමට හැකිවේ.

                                      කසල(Waste) යනු, අප ප්‍රයෝජනයට ගෙන ඉවත දමන දෑ හෙවත්, අපද්‍රව්‍ය වේ. ඒවා නැවත භාවිතයට ගැනීම සඳහා ක්‍රමවත් ලෙස සැකසීම ප්‍රතිචක්‍රීයකරණය(Recycling)නම් වේ. ප්‍රතිචක්‍රීයකරණයට ලක්වන ද්‍රව්‍ය යොදා භාණ්ඩ නිෂ්පාදනය කර, වෙළඳපොල තුල අළෙවි වන බව සමහරවිට ඔබ නොදන්නවා විය හැක.
 

                                      ප්‍රතිචක්‍රීයකරණයෙන් භාණ්ඩ නිෂ්පාදනවට පෙර අප කළ යුතු මූලික කාර්යයන් වනුයේ, ඉහත සඳහන් කළ පරිදි, අපද්‍රව්‍ය කොටස් කරගැනීමයි. එනම්, යකඩ, ප්ලාස්ටික්, වීදුරු, කඩදාසි වශයෙනි. විෂ ද්‍රව්‍ය අඩංගු භාජන ඉවත් කළ යුතු වේ. සෝදා හෝ පිස දමා පිරිසිදු කරගත් අපද්‍රව්‍ය (කසල) විවිධ වර්ණ අනුව වෙන්කරගැනීම වාසිදායක වේ. විශේෂයෙන් ප්ලාස්ටික් හා කඩදාසි වල විවිධ වර්ණ තිබීම නිසා ප්‍රතිචක්‍රීයකරණයේ දී, වර්ණ එකතුවක් විය හැකිය. ප්ලාස්ටික් කුඩා කැබළි ලෙස ද, කඩදාසි පල්ප් ලෙසද නැවත භාණ්ඩ සෑදීමට සුදුසු මූලද්‍රව්‍ය බවට පත්කළ හැක. පෑනක්, කෑම බහාලන පෙට්ටියක්, ජෝගුවක්, බේසමක්, මල්පෝච්චියක්, මුද්‍රණ කඩදාසියක්, වීදුරු භාජනයක්, යකඩ තහඩුවක්, කම්බි ඇණයක් ලෙස හෝ වෙළඳ පොල තුලදී ඔබ මිළදී ගන්නා භාණ්ඩයක් බවට, ඔබ කසල යයි සිතා ඉවත් කළ දෑ පරිවර්තනය කළ හැකි වේ.

ප්‍රතිචක්‍රීයකරණය පරිසර හිතවාදී ද?

  1. අපද්‍රව්‍ය ඉවත දැමීම ඉතාමත් අල්ප හෝ සමහර විට ඉවත දැමීමක් සිදු නොවීම.

උදා ;-  ඇලුමිනීයම් භාණ්ඩ නිෂ්පාදනයෙ දී, අපද්‍රව්‍ය ලෙස පිටවන ඇලුමිනියම් කුඩු මගින්, ඇලුමිනියම් තහඩු නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරන අතර, ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් ලැබෙන අපද්‍රව්‍ය නැවත ප්‍රයෝජනයට ගැනීම මගින්, අපද්‍රව්‍ය ඉවත දැමීමක් සිදු නොවේ.

  • අඩු ශක්ති ප්‍රමාණයක් වැයවීම

උදා ;- ඇලුමීනියම් ප්‍රතිචක්‍රීයකරනය කිරීමෙන්,  නිස්සාරණය කිරීමේ දී වැය වන ශක්තියට වඩා 75% ක පමණ ශක්ති ප්‍රමාණයක් ඉතිරිකරගත හැකි වේ.

  • වැය වන ශකිත් ප්‍රමාණය අවම වීම හා අපද්‍රව්‍ය පිටවීම පහල මට්ටමක පවතින බැවින් වායු දූෂණය අඩු වේ.

                                      යම් අයෙකු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට සූදානම් වන්නේ නම්, ඉහත කරුනු පිළිබඳව, අනිවාර්යයෙන්ම අවධානය යොමුකළ යුතු වේ. හේතුව, ප්‍රතිචක්‍රීයකරනය කළ පමණින්, මෙම අවශයතා ඉටු නොවන්නේ නම්, එ සැබෑ වූ ප්‍රතිචක්‍රීයකරනයක් නොවන නිසාය.

සම්පත් කළමණාකරණය ප්‍රතිචක්‍රීයකරණයේ කොටසක් ලෙස ගත හැකිද

                                      කසල හෙවත්, අපද්‍රව්‍ය පරිසරයට එකතුවීම පාලනය කිරීමට නම්, අප ප්‍රයෝජනයට ගන්නා සම්පත් නිසි ලෙස කළමණාකරනයකට භාජනය කළ යුතුය. එනම්, අප ප්‍රයෝජනයට, පරිහරණයට ගන්නා සියළුම ද්‍රව්‍ය, ක්‍රමවත් සැළැස්මක් හෙවත්, රටාවක් අනුව පාවිච්චි කළ යුතුය. එවිට අප අතින් නිකරුණේ වැය වන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගත හැකි වේ. පරිසර සංරක්ෂණයට ද දායක වේ. උදාහරණයක් ලෙස ඔබ කඩදාසි හෝ කාඩ්බෝඩ් වැනි දෑ කිලෝග්‍රෑම් 10 බැගින් මසකට ඉවත දමන්නේ නම්, වසරකට එය කිලෝ 120 ක් වේ. එය විකුණාගත හැකිනම්, ඔබට ආදායමක් ලැබේ. ඔබ එය ගෙවත්තේ විසිකර දැමීම හෝ පුළුස්සා දැමීම කළ හොත්, ඔබට එම මුදල අහිමිවී යයි. එමෙන්ම, නැවත අවශ්‍යතාවයකට ඉවත දමන ලද කඩදාසි ප්‍රමාණය ප්‍රයෝජනයට නොගතහොත්, එම කාර්යය කිරීමට කඩදාසි මිළට ගැනීමටසිදුවේ. මේ අයුරින් ජන සමූහයක් කටයුතු කළේ නම්, එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අළුතින් නිෂ්පාදනය කළයුතු වනවා.එම නිෂ්පාදනයට අමුද්‍රව්‍ය එකතුකළ යුතු වනවා. ඒ සදහා ගස් විශාල ප්‍රමාණයක් කපා ගතයුතු වනවා. එවිට පරිසර පද්ධතියක සමතුලිත භාවය නැතිවීමෙන් විශාල හානියක් සිදුවේ. ඔබ නිසියාකාරව සම්පත් කළමණාකරණය කළේ නම්, එම හානිය වළක්වාගත හැකිව තිබිණ.

                                                    බොහෝ දෙනෙකුට ප්‍රතිචක්‍රීයකරණය ගැන කතා කළ විට ඇතිවන ප්‍රශ්නයක් වන්නේ, ප්ලාස්ටික් බාල්දියක් භාවිතයෙන් අනතුරුව ප්‍රතිචක්‍රීයකරණය කළ හොත් නැවතත් බාල්දියක් සෑදිය හැකිද යන්නයි. එය එසේ කළ හැකියි. නමුත්, මුලින් තිබූ ආකාරයේ ම එකක් ලෙස නොහැකියි. අප මේ දෙස ප්‍රායෝගික හා විද්‍යාත්මක ඇසින් බලමු.

                                      අප බාල්දියක් ප්‍රයෝජනයට ගනු ලබන්නේ, යම්කිසි ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් එහා මෙහා ගෙනයාම සඳහාය. නැතහොත් යම්කිසි දෙයක් ඒ කුල බහා තැබීමටය. එම ද්‍රවයේ හෝ ද්‍රව්‍යයේ බර අනුව බාල්දිය යම්කිසි ඇදීමකට, නැත්නම් තෙරපුමකට ලක්වනවා. එබැවින් ටික කළක් ගතවන විට, එහි ගුණාංග යම් තරමකට හීන වී, පිපිරීමකට හෝ කැඩී යාමට ලක්වීම සිදුවේ. එනම්, නිෂ්පාදනයේ දී අංශු එක්තැන්ව සෑදුන ශක්තිය අඩුවී යාම හෙවත්, එක් එක් අංශූන් අතර තිබූ සහයෝගීතාව බිඳී යාම සිදුවේ. දැන් මෙය ප්‍රතිචක්‍රීයකරණය කරන විට, බාල්දිය අංශු බවට පත්කළ යුතු වේ. ඒ සදහා ශක්තිය වැය කළ යුතු බැවින්, එමගින් බාල්දියක් නිෂ්පාදනය කළ හැකි වුවත්, මුල් තත්වයේ ආකාරයට කළ නොහැකි වේ. එහි පැවතීමේ කාළය අඩු බැවින්, බාල්දියක් වෙනුවට, වෙනත් ප්‍රයෝජනවත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ය. එමගින්, විදුලි ස්විචයක් හෝ පේනුවක් සවි කිරීම අවශ්‍ය ප්ලාස්ටික් පෙට්ටි නිෂ්පාදනය කළ හැකිය.

                                      කසල භාජනයට අපද්‍රව්‍ය විසිකල පමණින් එහි ඇති ගුණාංග නැතිවී යාමක් සිදු නොවේ. පාවිච්චි කළ දත් බුරුසුවක්, කෙදි නැතිකමින් වීසි කළ ද එහි අනෙකුත් කොටස් වලින් ප්‍රයෝජන ගත හැක. ඒවා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි වේ.

ප්ලාස්ටික් භාවිතය වීදුරු භාවිතයට වඩා හොදද?

                                      සමහර විට ඔබට සිතෙන්නට ඇති, මෙම ලිපියෙන් ප්ලාස්ටික් ගැන වැඩිපුර හොද කියන බවක්. එය සැබෑවක්. ප්ලාස්ටික් මිනිසාගේ භාවිතයට පැමිණි විගස බොහෝ දෙනෙක් ඊට විරුද්ධ වූයේ එමගින් විශාල පරිසර හානියක් සිදුවන බව ප්‍රකාශ කරමින්. එහෙත් එවැනි පරිසර විනාශයක් වලක්වාගැනීමට කටයුතු කළයුතු වන්නේ ද මිනිසුන් විසින්මය. තමන් පවිච්චි කරන වතුර බෝතලය(Drinking Water), සිසිලි බීම බඳුන(Cool Drink Bottle), කෑම ඔතන කොළය(Lunch Sheet), පොලිතීන් බෑගය(Shopping Bag) නිසිතැනට දමන්නේ නම්, පරිසර හානිය වළක්වාගත හැකි වේ.

  • ප්ලාස්ටික් නිෂ්පාදනයේ දී හා ප්‍රතිචක්‍රීයකරණයේ දී, වැය වන ශක්ති ප්‍රමාණය, වීදුරු නිෂ්පාදනයේ දී හා ප්‍රතිචක්‍රීයකරණයේ දී වැය වන ශක්ති ප්‍රමාණයට වඩා ඉතා අඩුය.
  • ප්‍රවාහණය පහසු වීම හා අඩු වියදම – යම් කිසි නිෂ්පාදනයක්, වීදුරු බෝතල් වල අසුරා ඇත්නම්,  ඒ වෙනුවට ප්ලාස්ටික් බෝතල් භාවිතා කළහොත්,

(අ)   බෝතල් සදහා යන වියදම 30% කින් පමණ අඩු වීම

(ආ)  බෝතල් වල බර අඩු වීම මගින් ප්‍රවාහනය පහසු වීම සහ වැඩි බෝතල් ප්‍රමාණයක් රැගෙන යාමට හැකි වීම.

(ඇ)  ප්‍රවාහනයේ දී කැඩී බිදී යාම සිදු නොවීම.

(ඈ)  ඇසුරුම් කරණයේ දී, අඩු වියදමක් දැරීම.වීදුරු බොතල් සදහා කාඩ්බෝඩ් පෙට්ටි තිබිය යුතු අතර, ප්ලාස්ටික් බෝතල් සදහා අත්‍යාවශ්‍යම නොවීම.

(ඉ)  මෙමගින් වැය වන මුදල් ප්‍රමාණය අඩුවන අතර, වැඩි ලාභයක් උපයාගත හැකි වේ. භාණ්ඩයේ මිළ අඩුවීම මගින් වැඩි ප්‍රමාණයක් අළෙවිකරගත හැකිවීම.

                                      අද ලෝකයේ බොහෝ දියුණු රටවල්, ඔවුනගේ ඉතාම රහස්‍ය ලියකියවිලි හැර අනෙකුත් සියළුම දෑ ප්‍රතිචක්‍රීයකරණය කරනු ලබයි. ආයන මගින් ඉවතලන කඩදාසි, වර්ණ හා කළු, සුදු ලෙස වෙන්කර, යන්ත්‍රයක් මගින් කුඩා කැබලිවලට කපා, මළු වලට පුරවා තබයි. නිතිපතා පැමිණෙන එකතු කිරීමේ අංශ විසින්, ඒවා රැගෙන ගොස් ප්‍රතිචක්‍රීයකරණය සදහා යොමුකරනු ලබයි.

                                                ශ්‍රී ලංකාව පුරා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නම්, කොතරම් වටිනා සේවයක් පරිසරයට සිදුවනාද. බෝතල්, පත්තර අළෙවිකරුවෙකු තම ජීවනෝපාය මාර්ගය ලෙස මෙයට සමාන්තර වූ සේවයක් කරනු ලබයි. ඒ සදහා ඔවුන් තව තවත් දිරිමත් කරන්නේ නම්, කොරම් ව්‍යාප්ත කළ හැකිදැයි සිතා බලන්න. කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දිනපතා එකතුවන කුණු බැහැර කරන ස්ථාන වල ද  මෙවැනිම ක්‍රියාවක් සිදු කරනු ලබනවා. ඔවුන් සෑම දිනකම ගොඩගසන ලද කසල ගොඩවල් පීරා, ප්‍රතිචක්‍රීයකරණය සදහා ගන්නා ද්‍රව්‍ය ගෝරා ගනී. ඒවා පිරිසිදු කර අළෙවිකර ජීවිතය ජීවත් කරගනී. එමෙන්ම, ප්‍රධාන පෙලේ සුපිරි හෝටල් මගින්, ඉවතලන කෑම වර්ග එකතු කරගන්නා,  කසල එකතු කිරීමේ නියුතු කම්කරුවන්, ඒවා රැගෙනවිත් අඩු ආදායම්ලාභී දරුවන් වෙත ලබා දෙන බව ද හදුනාගෙන තිබේ. එම දරුවන් සුපිරි ආහර වේලකින් කුස පුරවාගන්නා අතරම, දෙගොල්ලන්ම ප්‍රතිචක්‍රීයකරණය හෙවත්, සම්පත් නැවත භාවිතයට මහගු සේවයක් සිදුකරයි.

                                      මෙම ලිපියෙන් ඔබට හදුන්වා දුන්නේ, ඔබ නොසිතන, නමුත් ඔබට ලෙහෙසියෙන්, පරිසර සංරක්ෂණයට දායක වෙමින්, තමන්ගේ නිවස අවට අළංකාරව තබාගැනීමට මාවතක් සහ ඔබට නොදැනීම, ඔබට ආදායක් සොයාගත හැකි ආකාරයයි.   

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles