ආදී ලංකාවේ හිටිය කියල කියන පුද්ගලයෙක් තමයි අන්දරේ කියල කියල කියන්නේ. මේ යන්නේ ඔහු කවුද කින්ද මන්ද හෝ ඔහුගේ ජන්ම කේන්ද්‍රය හොයන්න යන එක නෙවෙයි. ඊට වඩා ඔහු කළා කියන වැඩ ගැන කතා කරන්න යන එකයි ඒවා කොයිතරම් දුරට මිනිහෙකුගේ හෝ දරුවෙකුගේ ආකල්ප හා හිතන ආකාරයට වැදගත් වෙනවාද කියන එකයි. මේවා හුදෙක් විහිලු හෝ උපහාසාත්මක කතා වුවත් ඒවායින් සමාජය තුල ව්‍යංගාර්ථව සිතුම් පැතුම් වෙනස් කරනවා ද යන්න ගැන කරන විචාරාත්මක කියවීමක් කියල කියන්න පුළුවන් මේ විමසුම.
ඔබ, ඔබගේ කුඩා කාලයේදී මෙන්න මේ අන්දරේ ගැන කතා අහල තියනවා නිසැකවම. හැබැයි දැන් මේ වර්තමාන කාලයේදී ගෝලීයකරණයත් එක්ක අන්න ඒ අන්දරේගේ කතා හුඟක් වෙලාවට වලපල්ලට යමිනුයි පවතින්නේ. එක හොඳ කාරණයක්. රටක් දියුණු වෙන්න නම් රටේ ජනතාවගේ ආකල්ප ධනාත්මක හා හොඳ වෙන්න ඕනි. ඒ ජනතාව හැදෙන්නේ මේ දරුවන් ගෙන්. ඉතින් මේ දරුවන්ගේ මනස සහ චින්තනය නිවැරදි වුනේ නැත්නම් කොහොමද ඉදිරියට යන්නේ. ඔබ දන්නවා දරුවෙක් ඉපදෙනකොට කිසිත් නැති හිස්වයි උපදින්නේ ඔහු උපදින වපසරියට අනුව ඒක ඔබටත් මටත් වලංගු වෙනවා. ඉතින් මේ හිස් භාජනය පුරවන්නේ වැඩිහිටියන් එකත් ඔබ දන්නවා. මේ ගැන සිග්මන් ෆ්‍රොයිඩ් හොඳට පැහැදිලි කරලා දෙනවා. අපේ ජනකතා හෝ ඉතිහාසයෙන් ළමයින් සඳහා පැවතගෙන එන කතා ගැන විමසීමක් කළහොත් අපට දැකගැනීමට හැකිවන්නේ ඒ කතා හුදෙක් විනෝදය සඳහා ඇති කතා විදිහටයි. ඒ අතරින් මේ අන්දරේ කියන පුද්ගලයාගේ කතන්දර ඉතා ජනප්‍රිය වෙනවා. තවමත් පහ වසර සිංහල පෙළ පොතේ පාඩමක් විදිහටත් මේ කතාවක් ඇතුලත් කරලා තියනවා.
මේ අන්දරේගේ කතා ගැන විමසා බලන්න ගත්තොත් අපට පෙනී යන්නේ ඔහුගේ කතා අවසානයේදී අපට අපගේ මුවට සිනහවක් එනවා වගේම අපට හෝ අපගේ දරුවාගේ මනස තුලට යන පණිවිඩය කුමක්ද කියලා. සිනහව පිටතින් පෙනෙන දේ. හැබැයි ඇතුලතින් වන දේ තමයි මනස තුලට යන පණිවිඩය. මොකක්ද මේ පණිවිඩය. අන්දරේගේ කතා තුල තියෙන්නේ මොනවද කපටි කම හා වංචාව. දැන් බලන්න අන්දරේ සීනි කාපු හැටි කතාව විමසල බැලුවොතින් එතන තියෙන්නේ මොකක්ද රජ්ජුරුවන්ව රවටල තම දරුවා සමග රජවාසලේ වේලෙන්න දාලා තියන සීනි කන එක ගැන. එක පැත්තකින් එතැනදී පෙනී යන දෙයක් තමයි මේ අන්දරේ සේවය කරපු රජතුමා (ලංකාව පාලනය කරා කියන) කොතරම් අනුවණ රජෙක්ද යන්න. ඒ කියන්නේ අන්දරේට පුළුවන් රජතුමාව රවටන්න. ඒ කියනේ අදවගේම අසමත් පාලකයෙක්. ඒ කතාවේම කියවෙන දේ තමයි තම දරුවට බොරු කීමට අන්දරේ වන පියා විසින් ඉගැන්වීම. ඔබ විමසා බලන්න එය කොතරම් නිවැරදි වැඩිහිටි ක්‍රියාවක් ද කියලා. ඉතින් කාට පැවසිය හැකිද අන්දරේගේ දරුවා වැඩිහිටියෙක් වූ විට රටේ ජනතාව නොරටවා සිටී යන්න. ඒ කියන්නේ අද පාලන තන්ත්‍රය ගැන විමසා බැලීමේදී පෙනීයන්නේ මොවුන් අන්දරේගේ පරපුරෙන් පැවතෙන්නන් බවයි. එනම් තම පියා වන අන්දරේගේ මගපෙන්වීම මත ජනතාව රවටමින් තම පාලනය කරගෙන යාවමයි. ඒ කියන්නේ අන්දරේගේ දරුවන් යන්නයි. දැන් මේ කතාව කොතරම් නිවැරදි ද කියල හිතල බලන්න. දරුවෙක් වර්ධනය වන්නේ තම පරිසරය හා තම දෙමාපියන් ගේ මගපෙන්වීම හා ඉගැන්වීම් ම මතයි. මේක සිග්මන් ෆ්‍රොයිඩ් හා ලකාන්ගේ විග්‍රහයන් කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත.
මේ අන්දරේගේ කතා තුල ඇති අනික් ඛේදවාචකය නම් අන්දරේ තම බිරිඳ දරුවා ගේ සිට තම රාජ්‍ය පාලනය කරන රජ දක්වා රැවටීම හා වංචාව කරමින් තම බඩවියත රැකගත් බවයි. මම අහන ප්‍රශනය මේවා දරුවෙකුට කියාදීමට සුදුසු කතන්දර ද යන්නයි. අන්දරේ කිරි කෑ හැටි, රජ වාසල වප් මගුල, අන්දරේ ලිඳට වැටුන හැටි වගේ එකී නොකී කතා තුල ඇත්තේ මේ කපටි කම හා වංචාවයි. මේ කතා අවසානයේදී උපහාසය ඇතුවා මෙන්ම ඇත්තේ ළමා මනස ට කපටි කම හා වංචාව උගන්වන මාර්ගයයි.
දැන් මේ අන්දරේ කියපු කතා අහල ළමා මනස තුල අවරෝධනය වුනු මේ කපටි කම හා වංචාව නිසා අද වැඩිහිටි වෙලා ඉන්න පිරිස කරන කියන දේ ගැන බලන්න. රටේ පලනතන්ත්‍රයේ සිටින පුද්ගලයෙක් කියනවා වර්තමාන ව්‍යසන තත්වය තුල විදේශිකයින් පිරිසක් ලංකාවට ගෙන්වා ගත්තේ අත්හදා බැලීමක් කරන්න කියලා. මේක ඇත්තටම අන්දරේගේ කතාවක් වගේ නේ. තව කෙනෙක් කියනවා මේ රෝගය මාරාන්තික නෑ කියලා. හැබැයි මේක ගෝලීය ව්‍යසනයක්. ලෝකයක් දන්නවා මේ කොවිඩ් රෝගයේ තියන මාරාන්තික බව. ඉතින් අන්දරේලා අදත් ඉන්නවා. මේ අන්දරේ ගේ මගපෙන්වීම් තුල වර්ධනය වූ ලාංකීය පුද්ගලයන්.
මම මේ අන්දරේගේ කතාවල සාරාංශයක් වත් ගෙන නොඅවේ ඒ තුලින් යලිත් අන්දරේගේ කතා ඉදිරියට යාමට ඇති හැකියාවක් ඇති බැවින්. මේ ලිපිය කියවන වැඩිහිටි ඔබ අන්දරේගේ කතා දන්නවා යන්න මගේ හැඟීමයි. ලෝකයේ උපහාසාත්මක කතන්දර කොතෙකුත් තියනවා. හැබැයි ඒවායෙන් අවසානයේ දෙන පණිවිඩය ධනාත්මකයි. දැන් බලන්න නස්රුදින් ගේ කතාවක් තියනවා මෙන්න මෙහෙම. නස්රුදින් දවසක් කෙනෙක්ව රවටන්න හිතාගෙන බොරුවක් කියනවා අන්න අහවල් තැන දන්සලක් තියනවා කියලා. ඉතින් ඒ කතාව එතනින් ඉවරයි. නස්රුදින් දකිනාව පගානකට පස්සේ ඔහු කියපු ස්ථානයේ පිරිස රැස් වෙලා ඉන්න වා හා ඒ පැත්තට මිනිස්සු ඇදෙන්නට පටන් ගන්නවා. මේ නස්රුදින් කියපු බොරුව නිසා. හැබැයි ටිකවෙලාවක පස්සේ නස්රුදීන්ට හිතෙනවා ඇත්තටම එතන දන්සලක්ද කියල. ඔහුත් ඒ පැත්තට යනාවා. හැබැයි එතන එහෙම එකක් නෑ. මෙතන අවසානයේ ගම්‍ය වන්නේ අනෙකාව රැවටීමට ගොස් තමනුත් රැවටෙන බවයි. එම නිසා අප විසින් අනෙකාව රැවටිය යුතුද යන්න ප්‍රශ්නයක් වෙනවා. (මේ නස්රුදීන්ගේ කතාව සිද්ධි සම්බන්ධය මා අසා තිබු ආකාරය අනුව පෙළගස්වන ලදී). අපි දන්නවා තව කෙනෙකුව රවටුවොත් නොදැනුවත්වම ඒක තමාව රවටා ගැනීමක් බව. ඒ වගේම ග්‍රීක සාහිතයේ එන උපහාසාත්මක කතා තුල ඇත්තේද මානසිකව හානි නොකරන උපහාසාත්මක පණිවිඩයක්. රජවාසල කවටයන් ලෝකේ හැම රජවාසලකම හිටියා කියන එකට අපට සාක්ෂි හොයාගන්න පුළුවන් හැබැයි ඒ කවටයන් අන්දරේ තරම් කපටිද කියන එකයි ගැටලුව වන්නේ. හොඳම වැඩේ කියන්නේ රජ වාසල කවටයන් රජ තුමාගේ ආතතිය සමනය කර දැමු අතර අන්දරේ කියන කවටයා රජ තුමාව ඇන්දවීම තුලින් කවටම් කළාය කියන එකයි.
අපේ රටේ ඉතිහාසයේ රජවරුන් රාජ්‍ය පාලනය කරපු විදිහ ගැන ඇති කතන්දර අතර සිටින මේ අන්දරේ වැදගත් වන්නේ අදත් ඒ වගේ අන්දරේලා සිටින නිසයි. ඉතින් අපි අන්දරේව අමතක කරමු.