29 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

පිං හාල් මිටෙන් ගොඩනැගුනු ශ්‍රී සංඛශිලාරාමය

Related Articles

ගන්නෝරුව යනු, ඓතිහාසික ගම්මානයක්. එසේ වන්නේ, 1638 වර්ෂයේ මාර්තු 28 වැනිදා පෘතිගීසීන් සමග සිදුවූ ගන්නොරු සටන නිසයි. ඒ දෙවන රාජසිංහ රාජ්‍ය පාළන කාලයේදීයි.

ගන්නෝරුව ගම, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, පේරාදෙණිය නගරයට යාබදව පිහිටි, ග්‍රාම සේවා වසම්  4ක පවුල් 1300ක් පමණ ජීවත් වනවා. ඡන්ද මධ්‍යස්ථාන 3ක් ස්ථාපිතව ගම්මානයක්. පේරාදෙණියේ සිට ගැටඹේ මංසංධිය දක්වා මහවැළි ගං ඉවුර දිගේ, කිලෝමීටර් තුනක පමණ දිගින් හා ඒ අවට භූමිය අයිති වනවා. ඒ වගේම, ඒ අතරතුර ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ආයතනය අසළින් වමට හැරී කිලෝමීටර් තුන හමාරක්  පමණ දිගු මාර්ගයක් දෙපස පිහිටි සුන්දර ගම්මානයක්.

නමුත් 1638 වැනි කාළ වකවානුවක ගන්නෝරුව ග්‍රාමයේ ඉතා සුළු පවුල් සංඛ්‍යාවක් පමණක් සිටි බවට සඳහන් වනවා. එනිසාම, එදා ගන්නෝරුව සටනට සැබෑ සටන් කරුවන් ලෙස එක්වී ඇත්තේ, යටිහලගල, දූල්වල, තිත්තපජ්ජල, වැරැල්ලගම පෑලව මාලගම්මන ආදි හාරිස්පත්තුව ප්‍ර දේශයේ ජනතාව වන බව මහ සටන දෙක කෘතියේ සඳහන් වනවා. ගන්නෝරුව ගම එකළ ජනාවාශයකට වඩා වැවිලි බෝග වලින් හා වනාන්තරවලින් බහුල භූමියක් වි තිබෙනවා.

සුන්දර මහවැලි නදී කොමළිය අසළින් ආරම්භ වන මේ ගම්මානයේ, ඒ ආසන්නයේම නැගෙනහිර ට වන්නට, කෘෂිකර්ම පර්යේෂණායතනයත්,ගන්නෝරුව රාජමහා විහාරයත්, ඉන්පසුව ගන්නොරු හටනට පාදක වුන භූමියත් දැකගන්නට පුළුවන්. අද ඒ භූමියේ රණබිම රාජකීය විදුහල පිහිටා තිබෙනවා. මේ ආකාරයට ගම්මානය තුලින් ගමන්කර අවසාන වන විටදී ගන්නෝරුව බටහිර හා පෑලව යන ගම්දෙක මායිමේ, ශ්‍රී සංඛ ශිලාරාම විහාරස්ථානය පිහිටා තිබෙනවා.

ගන්නෝරුව මුරුතලාව මාර්ගයේ ගමන් කරන සෑම කෙනෙකුගේම නෙත් සිත් ඇද බැඳගන්නා ආකාරයට මේ විහාරස්ථානය නිර්මාණය කර තිබෙනවා. මාර්ගය ආසන්නයේම බෝධිරාජයානන් වහන්සේත්, අනතුරුව දර්ශනීය වෙහෙර වහන්සේත්, පසුව විහාර ගෙයත් පිහිටා තිබෙනවා. මේ සියල්ලටම පසුව ආවාස ගෙය නිර්මාණය කර තිබෙනවා. ත්‍රිවිධ චෛත්‍යයන් මේ ආකාරයට එක් පෙළකට නිමවා ඇති අතර, එයට දකුණු පසින් මෑතකදී ඉදිකරන ලද දර්ශණීය දෙමහල් ධර්ම ශාලාව පිහිටා තිබෙනවා.

ගන්නෝරුව හා පෑලව යන ගම්දෙක මායිම සළකුණු කිරීම සඳහා විහාරස්ථාන භූමියේ, ගල් කණුවක කොටන කරන ලද  සංඛයක රූපයක් දක්නට ලැබෙනවා. මේ නිසා තමයි, මේ විහාරස්ථානයට ශ්‍රී සංඛශිලාරාමය යන නම තබා තිබෙන්නේ.

ගන්නෝරුව හා පෑලව යන ග්‍රමයන්හි එවකට වාසය කළ ගම් වාසීන් විසින්, 1873 වර්ෂයේ ඇසළ පොහොයදිනය වෙනුවෙන් වස් ආරාධනාවක් ලැබුණා පූජ්‍යපාද යටිහලගල පියරතන නම් වූ ස්වාමීන් වහන්සේට. ඔවුන් වහනසේ, උඩරට අමරපුර මහා නිකායේ මූලික විහාරස්ථානය වන අංගොඩ ශ්‍රී බෝධිරාජාරාමාධිපති, අංගොඩ සංඝානන්ද ස්වාමීන් වහන්සේගේ සිව්වන ගෝල ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඔවුන් වහන්සේගේ ගුරුවරයා වන්නේ, අංගොඩ රතනපාල ස්වාමීන් වහන්සේ. එවකට යටිහලගල සුමණාරාම විහාරස්ථානයේ වැඩවාසය කළ පියරතන ස්වාමීන් වහන්සේ, ගන්නෝරුව හා පෑලව ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම ට අනුගත වෙමින්, එම ආරාධනාව පිලිගත් ඔවුන් වහන්සේ, පෑලව ග්‍රාමයේ නිවසකට වැඩම කොට වස් වාසය කරන්නට යෙදින. ඒ අතරතුර දී ගන්නෝරුව බටහිර ග්‍රාමයේ කාංගරමුල්ල නම් වූ පවුලේ අය විසින් මෙම විහාර බිම පංසලක් සඳහා සසුනට පූජා කරන ලදි. පසුව ඔවුන වහන්සේට වැඩ වාසය කිරීම සඳහා කුඩා පැල්පතක් ඉදිකර ඔවුන් වහන්සේ වඩා හිදවන ලදි.

යටත්විජිත සමයේ දී ඉදිවුන මෙම විහාරස්ථානයේ ගොඩනැගිලි වල ගෘහ ණිර්මාණ ශිල්පීය ක්‍රම, එවකට පැවති උඩරට ශිල්පීය ක්‍රම භාවිතා කරමින් නිර්මාණය කර තිබීම විශේෂ කරුණක් වනවා. එයට උදාහරන ලෙස ප්‍රධාන සංඝාවාසයේ ඇති ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම පෙන්වා දෙන්නට පුළුවන්.

ප්‍රධාන ගල්කණු මත ඉදිවුන විහාර ගෙයෙහි මහනුවර යුගයට අයත් බුදු කුටි සංකල්පය සහිත  චිත්‍ර ඇති නමුත්, මේ වන විට වරින් වර ඒ මත නැවත නැවත පිංතාරු කිරීම නිසා එහි ඓතිහාසික ගුණයට හානි සිදුවී ඇත. නමුත් විහාර ගෙයෙහි ඇති, ප්‍රධාන සමාධි බුද්ධ ප්‍රතිමාව මහනුවර යුගයේ නිර්මාණයන්ට සාක්ෂි දරණවා. බුද්ධ ප්‍රතිමාවේ සියුම් රැළි සහිත සිවුර නිර්මානයෙන් එය මොනවට පැහැදිලි වනවා.

ශ්‍රී සංඛශිලාරාමයේ නිර්මාණය කර ඇති චෛත්‍යරාජයා ඉතාමත් දර්ශනීයයි. එහි ඇති කැටයම්, ප්‍ර දේශයේ ඇති එකදු චෛත්‍යයයකවත් දක්නට ලැබෙන්නේ නැහැ.

එවකට සීමිත පවුල් සංඛ්‍යාවක් පමනක් මෙම ප්‍රදේශයේ ජීවත්ව තිබෙනවා. එය පවුල් 40ක් පමණ වේ. මෙමජනතාව සුළු අපනයන බෝග සමග වැවිලි ආර්ථිකයක් සමග බද්ධ වූ ජනතාවක් වනවා.

එහෙත් මෙම ජනතාව සියළු දෙනා එක්ව විහාරස්ථානය 1873 සිට 1920 වන විට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර තිබෙනවා. අද වන විට විහාරස්ථානයට සම්බන්ධ පවුල් සංඛ්‍යාව 300ක් බමණ වන අතර, ගන්නෝරුව හා පෑලව යන ගම් දෙකෙහිම දායකයින් එක්වී සිටිනවා.

ග්‍රාමීය ජනතාවගේ ශුම දායකත්වයෙන් විහාරස්ථානය ගොඩනගා ඇත. ඒ සඳහා ආධාර වශයෙන්, සැම නිවසකටම ගොඩනගන විහාරස්ථානයේ චිත්‍රයක් සමග, “මොක්සුව ලබන්නට පිං රැස්කරගන්න” යනුවෙන් කවියක් ද නිර්මාණය කර, පිංහාල් පසුම්බියක් ලබාදී ඇත. සෑම නිවසක බත් උයන සෑම අවස්ථාවකදීම එයින් හාල් මිටක් මෙම පසුම්බියට දමා ඇත. සති දෙක තුනකින් පිරුණු හාල් පසුම්බිය විහාරස්ථානයට ලබාදේ. එම හාල් අලෙවිකර ලබා ගන්නා මුදල් විහාරස්ථානය ගොඩනැගීම සඳහා උපයෝගී කර ගෙන තිබේ.

යටිහලගල පියරතන හිමියන්ගෙන් පසුව, රාජකීය පණ්ඩිත, දොරගමුවේ ධම්මාලංකාර හිමි, පැලව ශ්‍රී ඛේමානන්ද හිමි, පෑලව සරණංකර හිමි, විහාරාධිපතීත්වය දරා තිබෙනවා. 1987 දී ලංකාව තුල ඇතිවුණු භීෂණකාරී තත්වය හමුවේ, පෑලව සරණංකර හිමි අපවත්වී තිබෙනවා. ඉන් අනතුරුව විටින් විට, මේ විහාරස්ථානයට ස්වාමීන් වහන්සේලා වැඩම කළත්, දිගු කාළයක් වැඩවාසය කරන්නට හැකිවී නැහැ. නමුත්,  මේ වන විට හත්වන පරම්පරාව ලෙස වර්ථමාන විහාරාධිපති, හෙට්ටිපොල ධීරානන්ද හිමි වැඩ වාසය කරනවා.

වසර 147ක පමණ වු ඉතිහාසය තුළ, පියරතන හිමියන් විහාරස්ථානය දියුණු කිරීම ආරම්භ කර තිබෙනවා. එම පැල්පතේ වැඩ වාසය කරමින් ඔවුන් වහන්සේ විසින්, විහාර මන්දීරය, චෛත්‍යය හා සංඝාවාසය යන ස්ථාන ගොඩනගන ලදි. ඒ වගේම කුඩා බෝ අංකුරයක්ද අංග සම්පූර්ණ වන ලෙස මෙම පුද බිමේ රෝපණය කර තිබෙනවා. පසුව  පැලව ශ්‍රී ඛේමානන්ද හිමියන් විසින්, මුරුතලාව නගරයේ නව විහාරස්ථානයක් ආරම්භකර තිබෙනවා. ඒ මුරුතලාව ශ්‍රී පුෂ්පාරාම විහාරයයි. පෑලව සරණංකර හිමියන් වැඩවාසය කළ කාළය තුලදී, 1963/64 කාළ සීමාවේදී, පෑලව සරණංකර හිමි විසින් දීප්තිමත් පිරිවෙණක් මෙම විහාරස්ථානයේ ආරම්භ කර තිබෙනවා. එය ශ්‍රී සද්ධර්මාකර පිරිවෙණ ලෙසින් නම්කර තිබෙනවා. පුරා වසර 10ක් පමණ මෙය ක්‍රියාත්මක වී ඇති අතර එයින් බිහිවූ සියළු දෙනා උපාධි ධාරීන් බවට පත්වූ බව ඉතිහාසයේ සඳහෙන් වනවා. පිළිමතලාව, සියඹලාගොඩ ශ්‍රී ප්‍රවචනෝදය පිරිවෙනෙහි පරිවෙනාචාර්ය, ශාස්ත්‍රපති, පන්ඩිත, හෙට්ටිපොල ධීරානන්ද හිමි වසර 20කට වැඩි කාළයක් වැඩ වැසය කරමින්, විහාරස්ථානය තව තවත් දියුණුවට පත් කරමින් තිබෙනවා. ඒ අනුව, පුස්ථකාළය සහිත දෙමහල් දාන ශාලාව, බෝධි මළුව, දෙමහල් ධර්මශාලාව සහ විහාරස්ථානයට අළංකාරයක් ගෙන දෙන වළාකුළු බැම්ම ප්‍රධාන තැනක් ගනු ලබනවා.

තල්පත් මත ලියන ලද ඉපැරණි ජාතක කතා පොත් වහන්සේ, විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව සාක්ෂි දරණ ප්‍රධාන සාධකයක්. එමෙන්ම, පුස්කොළ පොත්, බැමි බැඳි පුස්ථක, විහාරස්ථානය ගොඩනැගීමේ දී උපයෝගී කරගත් උපකරණ, ලිපි ලේඛණ තවමත් සුරක්ෂිතව පවතිනවා.

1960 දශකයේදී, ආසියානු පදනම විසින් ලබාදුන් ඉපැරණි පොත් පත් සහිත ශ්‍රී පියරතන පුස්ථකාළය තවත් ස්වීශේෂි ස්ථානයක්.

විහාරස්ථානයේ ඇති දහම් පාසල, ධර්මපාලතුමාගේ කාළයේ ආරම්භ කර ඇති බව සඳහන් වනවා. විවිධ කාළ වකවානු තුල අකර්මණය වූ වත් මේ වන විට 1990 දී පමන ප්‍රතිෂ්ඨාපණය කළ මෙහි සිසු සිසුවියන් 300ක් පමණ දහම් දැනුම ලබමින් සිටී. යටිනුවර සාශනාරක්ෂක බලමංඩලය තුලදී, විවිධ ජයග්‍රහන අත්කර ගන්නට මෙම ශ්‍රී ඛේමානන්ද දහම්පාසලට හැකිවී තිබෙනවා.

රමණීය නිසංසල පරිසරයක ස්ථාපිත ශ්‍රී සංඛශිලාරාම විහාරය, ප්‍ර දේශ වාසී ජනතාවගේ පමණක් නොව, ගන්නෝරුව මුරුතලාව මාර්ගයේ ගමන් කරන දේශීය සංචාරකයින්ගේ වැඳුම් පිදුම් ලබන විශේෂිත ස්ථානයක්.

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles