30 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

බුදු දහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාද න්‍යායෙන් හෙළි වන හේතු ඵල වාදය

Related Articles

පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඉගැන්වෙන මූලික ඉගැන්වීමකි.බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු සතියේ බෝ මැඩ වැඩ  සිටිමින් පටිච්ච සමුප්පාද ධර්මය මුල සිට අගටත්(අනුලෝම),අග සිට මුලටත්(පටිලෝම) මෙනෙහි කළහ.මෙම පටිච්ච සමුප්පාද හෙවත් හේතු -ඵල දහම බුදු රදුන්ගේ නව සොයා ගැනීමක් නොව ලොව සැමදා පවතින ධර්මතාවයකි.බුදු රජාණෝ එම ධර්මතාවය ලොවට පැහැදිළි කළහ.

ලෝකයේ ප්‍රධාන ආගම් ලෙස සළකනු ලබන යුදෙවු ආගම,ක්‍රිස්තියානි ආගම,ඉස්ලාම් ආගම,හින්දු ආගම හා බුද්ධාගම යන ආගම් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.ඒ අනුව බුදු දහම හැර අනෙකුත් ආගම් දේවවාදි ආගම් ලෙස සැළකේ.දේවවාදි ඉගැන්වීම් මඟින් සත්ත්වයා හා ලෝක නිර්මාණය සර්වඥ(සියල්ල දන්නා වූ) සර්ව බලධාරී (ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ඇති),සර්වතො භද්‍ර(හැම අතින්ම යහපත්),දෙවියෙකුට බාර කළහ.ආදී භරාතීය ජනයා මෙම දෙවියා බ්‍රහ්ම හෝ ඊශ්වර නමින්ද,යුදෙවු හා ක්‍රිස්තියානි ආගමිකයන් “යොහොවා”  නමින්ද,ඉස්ලාම් ආගමිකයන් “අල්ලා ” නමින්ද හඳුන්වනු ලැබීය.මෙමඟින් උත්සහ ගෙන ඇත්තේ සත්ත්වයා හා ලෝකයේ නිර්මාණය මැවුම්කාර සර්වබලධාරි දෙවියෙකු සතු වූවක් බව පෙන්වීමය.ඉන්දු භාරතීය ජනයා ලෝකය හා සත්ත්වයාගේ හට ගැනීම පිළිබඳ දෘෂ්ඨි මතවාද අනුව ඉදිරිපත් කර ඇති අයුරු අං.නි.තිත්ථායන සූත්‍රාදියට අනුව පහදාගත හැකිය.ලෝක චින්තාව සොයාගිය ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස තත් ලෝකයේ පැවැත්ම උදෙසා අධිකාරිත්වයන් ත්‍රිත්වයක් මුල් කොට පිළිගන්නා අයුරු එම සුතුරාණුකූලව පහදාගත හැකිය.

1- සබ්බං පුබ්බ කතහේතුවාදය – සියලු සුව දුක් වින්දන පූර්ව කර්ම හේතුවෙන් සිදුවේය යන පිළිගැනීම .

2 – සබ්බං ඉස්සර නිම්මාණවාදය – සියලු සුව දුක් වින්දන ඊශ්වර නිර්මාණය හේතුවෙන් හෙවත් නිර්මාතෘ දෙවියෙකුගේ බලපෑමට යටත්ව සිදුවේය යන පිළිගැනීම.

3 – සබ්බං අහේතු අපච්චවාදය – සියලු සුවදුක් වින්දන අහේතුකව අප්‍රත්‍යයව පූර්ව නිශ්චිත ආකාරයට සිදුවේය යන පිළිගැනීම.

සියල්ල පූර්ව නිශ්චිත වන්නේ නම් පුද්ගලයාට සිතා විමසා කළ යුත්තක් හෝ ලෝකයේ හටගැන්මක් නැත.භාරතීය චින්තාව විමසීමේදි ,නිගණ්ඨනාථ පුත්ත වැන්නවුන් සබ්බං පුබ්බ කත හේතුවාදය අනුව කටයුතු කළ බව සාමඤ්ඤඵල සූත්‍රාදිය අනුව පසක් කොටගත හැකිය.එමෙන්ම බ්‍රාහ්මණ සභ්‍යත්වය තුළ සියල්ල නිර්මාතෘ දෙවියෙකු එනම්,ඉස්සර නිම්මාණවාදීව මහා බ්‍රහ්ම සංකල්පය මත පැන නැගෙන බවට කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය බ්‍රහ්මජාල සූත්‍රාදිය අනුව පහදාගත හැකිය.තවද ලෝකයේ සවිඤ්ඤාණික අවිඤ්ඤාණික සියලු දෑ අහේතුක අප්‍රත්‍යය ආකාශ්මික බව මක්ඛලි ඝෝසාල වැනි ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉදිරිපත් කළහ.මීට අමතරව ශාස්වතවාද,උච්ඡේදවාද හා නියතිවාද ආදී දෙසැටක් දෘෂ්ටිමත පදනම් වූ අන්‍යය ආගම් දර්ශනයන් තුළින් බුදු දහම වෙන් කොට හඳුනාගත හැකි වනුයේ මේ ප්‍රතීත්‍යය සමුප්පාද හේතු – ඵල දහම අනුවය.මෙසේ බෞද්ධ නොවන සිද්ධාන්ත පසෙකින් තබා බෞද්ධ සිද්ධාන්ත විවරණය කර තහවුරු කිරීම පටිච්චසමුප්පාදය මගින් සිදුව ඇත.බුදු දහමේ මූලික ඉගැන්වීම් සියල්ල ගොඩ නගා ඇත්තේ පටිච්චසමුප්පාද පදනම මතය.

පටිච්ච සමුප්පන්න න්‍යාය ,මූලික හා අතිරේක අරමුණු .

බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශණාව තුළ සඳහන් වනුයේ “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ,හෙතෙම ධර්මය දකී.යමෙක් ධර්මය දකීද හෙතෙම පටිච්ච සමුප්පාදය දක්නා බවය(යො පටිච්ච සමුප්පාදං පස්සති,සො ධම්මං පස්සති,යො ධම්මං පස්සති ,සො පටිච්ච සමුප්පාදං පස්සති).එමෙන්ම යමෙක් පටිච්ච සමුප්පාදය දකී ද හෙතෙම ධර්මය දකින බවත්,යමෙක් ධර්මය දකී ද හෙතෙම බුදුන් දක්නා ලද බවද මූලාශ්‍රයානුකූලව දත හැකිය(යො පටිච්ච සමුප්පාදං පස්සති ,සො ධම්මං පස්සති,යො ධම්මං පස්සති සො මං පස්සති).මෙමඟින් පැහැදිළි වනුයේ ධර්මාවබෝධය හා පටිච්ච සමුප්පාද අවබෝධය දෙකක් නොව එකක් බවයි.බුදුන් දැකීම යනුද මෙම පටිච්චසමුප්පාද අවබෝධයයි .උපතිස්ස හා කෝලිත පිරිවැජියන් සත්‍යය සොයා යන ගමනේදී සංජය පිරිවැජියා ගුරු කොට සත්‍යය සෙවූ නමුත් ඔහුගෙන් එය ලබාගත නොහැකි වූ විට හේ අතහැර දෙමගක ගියහ.මාර්ගයට පිලිපන් උපතිස්ස පිරිවැජියාට  අස්සජි මහ රහතන් වහන්සේ හමුවන අතර ඔබ වහන්සේගේ ශාස්තෘවරයා දෙසූ දහම කුමක්දැයි විමසීය.අස්සජි මහරහතන් වහන්සේගේ පිළිතුර වූයේ පටිච්ච සමුප්පාදය බවයි.දි.නි.මහා නිධාන සූත්‍රයේ සඳහන් පරිදි උන්වහන්සේ දෙසන ලද්ද මෙසේය.

යෙ ධම්මා හෙතුප්පභවා

තෙසං හේතු තථාගතො ආහ

තෙසඤ්ච යො නිරොධො

එවංවාදි මහා සමණො.

(දි.නි .මහා නිධාන සූත්‍රය )

යම් හේතුවකින් උපදින යම්  ධර්මයක් වෙත්ද ,ඒ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළහ.ඒවායෙහි යම් නිරෝධයක් වේද එයද වදාළහ.මහා ශ්‍රමණ තෙමේ මෙබදු වාද ඇත්තේය.

පටිච්චසමුප්පාදය යන්න තේරුම් ගැනීමේදී එහි වචනාර්ථය තේරුම් ගැනීම වටී.”පටිච්ච යනු ප්‍රත්‍යය කොටගෙන ,හේතු කොටගෙන යනුයි.සමුප්පාද(සං+උප්පාද) යනු හට ගැනීමයි.විශවයේ ස්වභාවය පිළිබඳ බෞද්ධ අවබෝධය වන්නේ අදාළ හේතුන්ගේ හා ප්‍රත්‍යයන්ගේ සමවායෙන් ඊට උචිත වූ ඵලයන් හටගන්නා බවයි ලෝකයේ ක්‍රියාකාරිත්වය හා පැවැත්ම සිදුවනුයේ මෙම ක්‍රියාදාමය ඔස්සේ බව ඒ අනුව ප්‍රකාශ වේ.

පටිච්චසමුප්පාද දේශනාවෙන් ප්‍රතික්ෂේප වන කරුණු හතරක් සං.නි අචේල කස්සප සූත්‍රය තුළින් පහදාගත හැකිය.පුද්ගලයාට උරුම වන ජාති,ජරා,මරණාදී ස්වාභාවික දුක නැතහොත් සත්ත්ව පැවැත්මෙහි යථා ස්වභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නක්ය.දුක කවරෙකු විසින් කරන ලද්දේ ද යන ගැටලුවට දෘෂ්ටි මතවාද ඉදිරිපත් කළ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට බුදු දහමේ විග්‍රහ වන හේතු- ඵල වාදයේ අර්ථවත් ස්වභාවය හඳුනාගැනීමට හේතු වන්නකි.ඒ අනුව,

1-දුක තමා විසින් කරන ලද්දේ ද(සයං කතං දුක්ඛං)

2- දුක අනුන් විසින් කරන ලද්දේ ද(පරං කතං දුක්ඛං)

3-දුක තමා හා අනුන් යන දෙදෙනා විසින් කරන ලද්දේ ද?(සයං කතං ච පරං කතං ච දුක්ඛං)

4-දුක තමා හා අනුන් යන දෙදෙනා විසින් නොකරන ලද්දේ ද?(අසයංකාරං අපරංකාරං අධිච්ච සමුප්පන්නං දුක්ඛං)

දුක පිළිබඳ වූ මෙම චතුර් ප්‍රශ්න සඳහා බුදු රජාණන් වහන්සේගේ පිළිතුර වූයේ අචේල කස්සපයන් හට  එසේ නොකියව යන්නයි.එයින් අසතුටට පත් අචේල කස්සපයන් දුක නොපවතී ද යනුවෙන් විමසයි.බුදු රදුන්ගේ පිළිතුර වූයේ තත් සූත්‍රාණුකූලව හේතු ප්‍රත්‍යය අනුව දුක ඇත යන්නයි.අවසන්  ප්‍රශ්නයට ලැබෙන ඇත යන අරුතෙන් අචේල කස්සපයන් වඩාත් වික්ෂිප්ත වන්නේ ඔහුගේ මූලික ප්‍රශ්න පිටුපස පවත්නා  ඉච්ඡා සහගත මානසිකත්වයට අනුව එක්කෝ යමක් තමා විසින් කළ යුතුය.නැතහොත් තමාගෙන් පරිබහිර වූවකින් කළ යුතුය යන්නයි.ඒ දෙකම නොවන්නේ නම් ආහේතුකව යමක් සිදු වීමයි.එසේත් නොවන්නේ නම් තත්ත්වය විය යුත්තේ වස්තු අභාවයයි.බුදු රදුන් පෙන්වා දෙනුයේ දුක තමා විසින් සිදු කළේය යනුවෙන් කියන්නේ නම් ඇත යන ශාස්වතවාදී දෘෂ්ටියට වැටෙන බවයි.දුක අනුන් විසින් කරන ලද්දේ නම් හෝ වස්තු අභාවය දක්වන්නේ නම් උච්ඡේදවාදයට වැටෙන බවයි.එබැවින් බුදු රදුන් මෙම අන්ත දෙකටම නොවැටි මැදුම් පිළිවෙතින් දම් දෙසන බව අවධාරණය කරති.

උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති.අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං …”

(සං.නි අචේල කස්සප සූත්‍රය )

ශාස්වතවාදී හා උච්ඡේදවාදි ඇත හා නැත යන උභයකොටිකයට නොවැටී අවිජ්ජා පච්චයා සංඛාරා ආදී මධ්‍යය දේශනාව දෙසන බව අවධාරණය කරති.එම මධ්‍යය දේශනාව හේතු ඵලවාදී පටිච්චසමුප්පාදයයි.මේ තුළින් පැහැදිළි වනුයේ හේතුව හා ඵලය අන්‍යොන්‍යය සාපේක්ෂතාවයෙන් ගොඩ නැගෙන දහමක් බවයි. නිවන් දකින්නා ඒ තුළ නිරපේක්ෂ විය යුතු බවද දක්වා තිබේ.

බුදු රජාණන් වහන්සේ සං.නි සමණුපස්සනා සූත්‍රය තුළ මෙසේ වදාරති.මහණෙනි යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොයෙක් ආකාර වූ ආත්මය දකින්නේ නම් ඒ සියල්ල පඤ්ච උපාදානස්ඛන්ධය හෝ ඉන් එක්තරා ස්ඛන්ධයක් අනුසාරයෙන් දකින බව දක්වති .මේ අනවබෝධය ඉදිරියේ ඇතම් මහණ බමුණු කෙනෙක් පූර්වාන්ත කල්පනයට අනුව ටමින් ආත්මයත් ලෝකයත් ශාස්වත යැයි පනවති.ඇතම්හු  අධිච්ච සමුප්පන්නවාදය පනවති.අපරාන්ත කල්පනයට අනුව යමින් ඇතම්හූ  සත්ත්වයාගේ උච්ඡේදය පනවති.

සිද්ධාර් ගෞතමයන් වහන්සේ විද්‍යමාන තත්ත්වය ගවේශනය කළේ කුමක් ඇති කල්හි මෙය වන්නේද?(කිම්හුනුඛො සති ඉදං හොති).හේතුව හා ඵලය ගවේෂණය කරන යෝනිස මනසිකාරයට අනුවය.එනම් ප්‍රභවස්ථානයේ පටන් හේතු ඵල න්‍යායාත්මකව මෙනෙහි කිරීමෙනි.ඉදපච්චයතා පටිච්චසමුප්පාදය යනු එයයි.පටිච්ච සමුප්පාද ක්‍රියාකාරිත්වය ලොව සැමදා පවතී.බුදු වරුන් ලොව පහල වුවද නැතද ලොවෙහී පවතී.බුදු රජාණන් වහන්සේගේ සුවිශේෂත්වය වන්නේ එම ධර්මතා මැනවින් අවබෝධ කොට සත්ත්වයාට දේශනා කිරීමයි.එම පටිච්ච සමුප්පන්න න්‍යාය සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයේ මැනවින් අවධාරණය කොට ඇත.එනම්,හේතු-ඵල න්‍යායයි.එහි ස්වභාවය වනුයේ,

1-අස්මිං සති ඉදං හොති.

(මෙය ඇති කල්හී  මෙය වෙයි)

2-ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති.

(මෙය හට ගැනීමෙන් මෙය හට ගනී)

3-අස්මිං අසති ඉදං න හොති.

(මෙය නැති කල්හී මෙය ඇති නොවේ)

4-ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.

(මෙය නැති වීමෙන් මෙය නැති වේ)

බුදු රදුන්ගේ අනුශාසනය වනුයේ හේතු-ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා ලද ධර්මයෝ,හේතුව නැති කිරීමෙන් ,නිරුද්ධ කිරීමෙන් නැතිවන බවයි.(හෙතුං පටිච්ච සම්භූතං හෙතු භංගා නිරුජ්ඣති ) .එසේම පහත සඳහන් උපමා ප්‍රකාශය බලන කල පටිච්ච සමුප්පාදයේ ස්වභාවය තවදුරටත් විග්‍රහ කොට ගත හැකිය.

Aඇතිවිට      B වෙයි.

A ඉපදීමෙන්  B උපදියි.

A නැතිවිට     B නොවේ.

A නැතිවීමෙන් B නැතිවෙයි.

මෙය තව දුරටත් පහසුවෙන් තේරුම් ගැනීම උදෙසා ද්‍රව්‍යක් හා සංයුත්ත කොට හේතු-ඵල සිද්ධාන්තය විමසීම අවබෝධය උදෙසා පහසු වනු ඇත.

බීජය ඇති කල්හී පැලය ඇති වේ.

බීජය නැතිනම් පැලයක් ඇති නොවේ.

පටිච්චසමුප්පාද හේතු-ඵල ගස් වැල් සහිත සත්ත්ව ලෝකයහිද,මිනිස් මනසෙහිද,එකසේ ක්‍රියාත්මක වේ.නියාම ධර්ම පහක් වශයෙන් බුදු දහමේ සඳහන් වනුයේ ලෝකයේ ක්‍රියාත්මක වනුයේ මෙම ස්වභාවයයි.නියාම ධර්ම සියුම්ව විමසා බැලීමේදි ඒ බව තවදුරටත් පහදාගත හැකිය.

1-උතු නියාම( ලෝකයෙහි සෘතු පැවැත්ම මෙන්ම කාලගුණික වෙනස්කම් හේතු ඵල අනුරූපිව සිදු වේ.

2- බීජ නියාම(බීජයට අනුව පැළ හට ගැනීම,එනම්,ගස්වැල් ආදී භෞතිකය හේතු ඵල අනුරූපිව සිදු වේ.)

3-කම්ම නියාම – හොඳ නරක කර්මවලට හොඳ නරක විපාක ලැබීම හේතුඵල අනුරූපිව සිදු වේ.

4- ධම්ම නියාම-(ලෝකයේ ධර්මතා වශයෙන් සැළකෙන ස්වභාව ධර්මයේ සිදු වීම් හේතු ඵල වාදීව සිදු වීම)

5- චිත්ත නියාම- ( සිතෙහි ක්‍රියාකාරිත්වය හේතු ඵල වාදීව සිදු වෙි.

මෙම නියාම ධර්මතා සියල්ල සමස්ත ලෝකයම හේතු ඵල වාදීව විවරණය වන පොදු ධර්මතාවන්ය.හේතු ඵල දහමට අනුරූප නොවන කිසිවක් ලොවෙහි දක්නට නොමැත.

ද්වාදසාංශ

පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මතාවය තුළින් අපහට දුක ඇතිවන්නේ කෙසේද? දුක නැති වන්නේ කෙසේද යන්න විග්‍රහ කොට දක්වයි.සත්ත්වයාගේ දුක ඇතිවීම පටිච්චසමුප්පාද පැහැදිළි කෙරෙණුයේ එකිනෙක හා බැඳුන අංග දොළසකින් සිදුවන්නක් ලෙසය .එම අංග දොළස නම්,

1-අවිජ්ජා             2-සංඛාර

3-විඤ්ඤාණ        4- නාම -රුප

5-සළායතන        6 ඵස්ස

7-වේදනා            8-තණ්හා

9-උපාදාන         10- භව

11-ජාති             12 -ජරා- මරණ……

යනුවෙනි.මෙය චක්‍රයක් ගරාදි වැටක් මෙන් එකිනෙකට ප්‍රතිබද්ධව ඇත.මෙහි අවිද්‍යාවෙන් අරඹා ඇත්තේ අවබෝධ කර ගන්නා වූ පාඨකයාට පහසු වන පරිද්දෙනි. මෙම අංග දොළස එකින් එකට සාපේක්ෂව පවතින අන්දම සංයුක්ත නිකායේ නළ කලාපම සූත්‍රය තුළ මනාව විදහා දක්වා ඇත .එනම් බට මිටි කලාප දෙකක් එකින් එකට සාපේක්ෂව පවතින්නාක් මෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සහිතව ඇති බව දක්වා තිබේ .එක බට මිටියක් හෝ එකිනෙකට සාපේක්ෂව නොපවතී නම්, එම බට මිටි කලාප දෙකෙහි  පැවැත්මක් ද නැත.

ඛුද්දක නිකායේ පඨම, දුතිය හා තතිය අභිසම්බෝධි සූත්‍රයන් තුළ  බුද්ධත්වය අවබෝධ කළ බුදු රජාණන් වහන්සේ අනුලෝම හා ප්‍රතිලෝම වශයෙන් බෝමැඩදී ප්‍රතීත්‍යය සමුප්පාදය මෙනෙහි කොට ඇති අන්දම පහදා ගත හැකි ය .මෙම ද්වාදස ප්‍රත්‍යයයො අනුලෝම වශයෙන් ගෙන සසර දුක් ඇති වන අන්දම පහදා දී ඇත .හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ නැති කිරීම නොහොත් නිරෝධය තුළින්  සසර දුක් නැති කොට ඇති ඒ අති උතුම් අමා මහා නිර්වාණාවබෝධය  පටිලෝම පටිච්ච සමුප්පාදය තුළින් පැහැදිලි කොට ඇත .මෙසේ හේතු ප්‍රත්‍ය ධර්මතාව ඇති කළ සාංසාරික සත්ත්ව පැවැත්ම සිදු වන අයුරු හා හේතු ප්‍රත්‍ය නිරෝධය තුළ දුක නැති වන අයුරු පටිච්චසමුප්පාදය තුළින් පැහැදිලි කෙරේ.හේතු ඵල දහමට හෙවත් පටිච්චසමුප්පාද සිද්ධාන්තයට අයත් අංග දොළස විමසුම් ශීලීව සෙවීම එහි අවබෝධය උදෙසා පහසු වනු ඇත .

(1) අවිජ්ජා -අවිද්‍යාව

අවිද්‍යාව යනු දැනීමයි .අනවබෝධ යන්න මේ තුළින් ගම්‍යාර්ථවත්  කරණු ලැබේ .දුක පිළිබඳ නො දැනීම (දුක්ඛෙ අඤ්ඤාණං ),දුක්ඛ සමුදය පිළිබඳ නොදැනීම (දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං ),දුක්ඛ නිරෝධය පිළබඳ නොදැනීම(දුක්ඛ නිරොධෙ අඤ්ඤාණං ),දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාව පිළිබඳ නොදැනීම(දුක්ඛ නිරොධ ගාමිණි පටිපදාය අඤ්‍ඤාණං)යන චතුරාර්‍යය සත්‍යය පිළිබඳ අනවබෝධය අවිද්‍යාව බව මූලාශ්‍රය තුළ දක්වා  ඇත.

(2)සංඛාර – සංස්කාර

අවිද්‍යාව ප්‍රත්‍යය කොටගෙන සත්ත්වයා සංඛාර රැස් කරයි(අවිජ්ජා පච්චයා සංඛාරා ).එනම්,තිදොරින් රැස් කරන්නා වූ පුඤ්ඤ,පාප ,කුසල් හා අකුසල් යනාදියයි.ඒවා කාය සංඛාර,වචී සංඛාර හා මනෝ සංඛාර යනුවෙන් ත්‍රිවිධ කොටසකි.තවද,පුඤ්ඤාභි සංඛාර,අපුඤ්ඤාභි සංඛාර හා ආනෙඤ්ජාභි සංඛාර යනුවෙන් ද වේ.සංඛාර යනු පුද්ගල සන්තානයේ පවත්නා කෙලෙස් ගැට නොහොත් චිත්තොපක්ලේශයෝය.

(3)විඤ්ඤාණං – විඤ්ඤාණය

සංස්ඛාරයන් විඤ්ඤාණය ප්‍රත්‍යයකොටගෙනද,විඤ්ඤාණය සංස්ඛාර ප්‍රත්‍යය කොටද පවතී(විඤ්ඤාණ පච්චයා නාම රුපං )විඤ්ඤාණය යනු දැනීමයි.එනම් ,ප්‍රතිසන්ධි විඤ්ඤාණයේ බැස ගැනීමේ සිට ඉන්ද්‍රිය මහුකුරා යාමෙන් ඉන්ද්‍රිය අරමුණු ස්වභාවය කොට ඇති දැනීමේ සිතයි.

(04)නාම රුප

විඤ්ඤාණය නාම රූප ඇසුරු කොටගෙනද ,නාම රුප විඤ්ඤාණය ඇසුරු කොට අන්‍යොන්‍යය ප්‍රතිබද්ධ හේතු ඵල වාදීව පවතී (විඤ්ඤාණ පච්චයා නාම රුපං,නාම රුප පච්චයා විඤ්ඤාණං ).නාම රුප ක්‍රියාවලිය යනු සත්ත්වයාගේ එකතුවයි.

(05) සළායතන (ෂඩායතන)

නාම රුප හා ද්වාදසායතනයන්හි අනෙකුත් දෑ සමඟ ප්‍රත්‍යය කොට ගෙන සළායතන පවතී.ෂඩායතන නාමයෙන් හැඳින්වෙනුයේ චක්ඛායතනය,සොතායතනය ,ඝාණායතනය,ජිව්හායතනය ,කායායතනය හා මනායතනයයි.එනම්,ඇස ,කණ ,නාසය,දිව ,ශරීරය හා මනසයි.සත්ත්වයාගේ පැවැත්ම උදෙසා හේතු ප්‍රත්‍යයව මෙම සළායතනයෝ පැවතිය යුතුය.

(06)ඵස්ස – ස්පර්ශය

සළායතන ප්‍රත්‍යය කොටගෙන ස්පර්ශය පවතී.හේතු ප්‍රත්‍යය අනුව හටගන්නා ඵස්සය,චක්ඛු සම්ඵස්සජය සොත සම්ඵස්සජය ,ඝාණ සම්ඵස්සජය ,ජිව්හා සම්ඵස්සජය ,කාය සම්ඵස්සජය හා මනෝ සම්ඵස්සජය යනුවෙනි.ස්පර්ශය සඳහා හේතු වන කාරණා හේතු ප්‍රත්‍යය න්‍යායට අනුව කාරණා තුනක් දක්වා ඇත.එනම්,ෂඩ් ඉන්ද්‍රීය,ෂඩ් අරමුණු හා ෂඩ් විඤ්ඤාණය යනුවෙනි(තිණ්ණං සංඝති ඵස්සො ).

(07) වේදනා – වින්දනය

ස්පර්ශය ප්‍රත්‍යය කොටගෙන වේදනාව හට ගනී.එනම්,වින්දන ක්ෂේත්‍රයයි.එයද ප්‍රධාන බෙදීම් තුනකට වැටේ එනම්,සුඛා වෙදනා දුක්ඛා වේදනා හා අදුක්ඛමසුඛ වේදනා යනුවෙනි.

(08)තණ්හා- තෘෂ්ණාව

වේදනාව ප්‍රත්‍යය කොටගෙන තණ්හාව බිහි වේ(වෙදනා පච්චයා තණ්හා)හේතු ඵල ද්වාදස න්‍යාය  ප්‍රතිබද්ධව තෘෂ්ණාව උපදී.එයද කාම තණ්හා,භව තණ්හා හා විභව තණ්හා යනුවෙන් වන ත්‍රිවිධ බෙදීමකි.

(09)උපාදාන – උපාදානය

තෘෂ්ණාව ප්‍රත්‍යය කොටගෙන උපාදානය ඇති වේ(තණ්හා පච්චයා උපාදානං).උපාදානය  හේතුවෙන් දැඩිව අල්ලා ගැනීම සිදු වේ.කාම උපාදානය ,දිට්ඨි උපාදානය  යනුවෙන් තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ගෙන කාම හා දෘෂ්ටිමය වශයෙන් දැඩිව අල්ලා ගැනීමයි.එය පුද්ගල සන්තානය තුළ ක්‍රියාත්මක වේ.උප+ආ+දාන යන්නෙහි අරුත දැඩිව ග්‍රහණය කර ගැනීමයි.

(10)භව – භවය

භවය උපාදානය ප්‍රත්‍යය කොට පවතී(උපාදාන පච්චයා භවො).ප්‍රතීත්‍යය සමුප්පාද හේතු ඵලයට අනුව පුද්ගලයා උප්පත්තිය හා උප්පත්ති ස්ථානය සකසා ගනී.එයද කාම භවය ,රුප භවය හා අරුප භවය යනුවෙන් කොටස් ත්‍රිත්වයක් විද්‍යමාන වන අතර කාමාවචර භූමි 11ක්,රුපාවචර බ්‍රහ්ම ලෝක 16ක් හා අරුපාවචර බ්‍රහ්මලෝක 04 ක් වශයෙන් තිස් එක් තලයක පැවැත්මකි.අප කාමාවචර භූමි එකොළහට අයත් මනුශ්‍යය භවයට අයත් වන්නෙමු.

(11)ජාති -ඉපදීම

ජාතිය නම් ඉපදීමයි.භවය ප්‍රත්‍යය කොට ගෙන  ජාතිය පවතියි.කාම රුප හා අරුප යන ඒ ඒ සත්ත්වයන්ගේ  සත්ව නිකායෙහි  ඉපදීමක්,මනා වූ ඉපදීමක්,බැස ගැනීමක්,මනාවූ නිපැද්මක්,ස්ඛන්ධයන්ගේ පහළ වීමක්,ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද  එය ජාතිය යනුවෙන් හැඳුන්වනු ලබයි.මනුශ්‍යය ,නරක,තිරිසන්,ප්‍රේත ,අසුර,දේව,බ්‍රහ්ම ආදී නයින් උපත ලබයි.

(12)ජරා -මරණ – දිරීම හා මිය යාම

කුමන පැවැත්මක උපත ලැබුවද සකල සත්ත්වයා හටම පොදු වූ ජරා මරණ දුකට මුහුණ දීමට සිදු වේ.ජරා මරණ ජාතිය ප්‍රත්‍යය කොට පවතී(ජාති පච්චයා ජරා මරණං).තත් ධර්මතාවයට පත්වන සත්ත්වයා හටම ඒ ඒ සත්ත්ව පැවැත්මට අදාළ සේ සෝක ,පරිදේව,දුක්ඛ දොමනස්ස උපායාසය….. ආදියට පත් වීමට සිදු වේ.ඒ බව මනුශ්‍යය පැවැත්මට අදාළ අප හටද,තිරිසන්ගත සත්ත්වයන් වෙත පොදු බව අප හටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.අනෙක් සත්ත්ව පැවැත්ම සුදුසු පරිදි සිදු වේ.කෙසේ වුවද සියලු සත්ත්ව පැවැත්ම දෙස බලන කල  ජාතිය ලද සත්ත්වයා හටම ජරා මරණ පොදු බව වටහාගත යුතුය .

ද්වාදස හේතු-ඵල සිද්ධාන්තයට අනුව සත්ත්වයාගේ අභ්‍යන්තරයේ  දුක ඇති වන අයුරු මෙන්ම දුක නැති කරන අයුරු අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දක්වා ඇත.පුද්ගල සන්තානගත දුක මෙන්ම හේතු -ඵල න්‍යායට අනුව සමාජගත දුක ඇතිවන අයුරු ම.නි .සල්ලේඛ සූත්‍රය තුළ පහදා දී ඇත.

“තණ්හාව හේතුවෙන් සෙවීම වෙයි.සෙවීම හේතුවෙන් ලැබීම වෙයි.ලැබීම හේතුවෙන් හොඳ නරක තීරණය කිරීම සිදු වේ.තීරණය කිරීම හේතුවෙන් ඇලීම වේ.ඇලීම හේතුකොට ගෙන අයිතිය පිළිබඳ හැගීම ඇති වේ.අයිතිය පිළිබඳ හැගීමෙන් අයිති කරගැනීම සිදු වේ.අයිතිකර ගැනීම හේතුවෙන් මසුරු බවට පැමිණේ.මසුරු බව හේතුවෙන් ආයුධ ගැනීම්,කලහ,ගැටුම්,අපහාස, කේලාම් කීම,බොරු කීම වැනි අකුසල ක්‍රියා රාශියක් ඇති වේ.”

පටිච්ච සමුප්පාද සිද්ධාන්තය අපට වැදගත් වනුයේ දුක ඇති කරවන ආකාරය හා නැති කරවන ආකාරය තේරුම් ගැනීමෙනි.දුක ඇතිවන අයුරු තේරුම් ගත් විට එය ඇති වීමට හේතු වූ සාධක නැතිකිරීමෙන් දුක නැති කළ හැකිය.අංගුත්තර නිකායේ උදාන පාලියට අන්තර්ගත වන තතිය සම්බෝධි සූත්‍රය තුළ පටිලෝම ප්‍රතිපදාවෙහි ස්වභාවය මෙසේ දක්වා ඇත.එනම්,

නොදැනීම ඉතිරි නොකොට නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැති කිරීම වන්නේය. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඥානය නැති කිරීම වන්නේය. විඥානය නැති කිරීමෙන් නාමරූප නැතිකිරීම වන්නේය. නාමරූප නැතිකිරීමෙන් ආයතන සය නැතිකිරීම වන්නේය. ආයතන සය නැති කිරීමෙන් ස්පර්ශය නැති කිරීම වන්නේය. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිකිරීම වන්නේය. වේදනාව නැතිකිරීමෙන් තෘෂ්ණාව නැතිකිරීම වන්නේය. තෘෂ්ණාව නැතිකිරීමෙන් දැඩිව අල්වාගැනීම නැතිකිරීම වන්නේය. දැඩිව අල්වා ගැනීම නැතිකිරීමෙන් භවය නැති කිරීම වන්නේය.

භවය නැතිකිරීමෙන් ජාතිය (ඉපදීම) නැතිකිරීම වන්නේය. ජාතිය (ඉපදීම) නැතිකිරීමෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් නැතිකිරීම් නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් රාශියේ නැතිවීමවෙයි.”

(අං.නි ,උදාන පාලි,පඨම සම්බෝධි සූත්‍රය )

පටිච්ච සමුප්පාද සිද්ධාන්තයේ මූලික පරමාර්ථය වනුයේ සත්ත්වයා ප්‍රතිබද්ධ දුක නැති කිරීමය.මේ අනුව පටිච්චසමුප්පාදය යනු කුමක්ද යන්නත්,එහි න්‍යායාත්මක පසුබිමත් ,එහි මූලික හා සෙසු අරමුණ හා ද්වාදසාංශයන්ගේ ස්වභාවය කවරේද යන්න පහදාගත හැකිය.

සටහන – ගෞරව ශාස්ත්‍රවේදි (Buddhist  philosophy) පරණගම සාරද කාශ්‍යපාලංකාර හිමි.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles