28.4 C
Colombo
Friday, June 20, 2025
spot_img

Subscribe

Date:

Share:

මානසික සෞඛ්‍යය සහ සමාජීය යහපැවැත්ම

Related Articles

මානසික සෞඛ්‍යය යනු කුමක්ද? මානසික සෞඛ්‍යය තුළට අපගේ මානසික සහ සමාජීය යහපැවැත්ම ඇතුළත් වේ. එය අප සිතන, අපට දැනෙන සහ ක්‍රියා කරන ආකාරය කෙරෙහි බලපායි. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව මානසික සෞඛ්‍යය යනු මිනිසුන්ට ජීවිතයේ ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට, ඔවුන්ගේ හැකියාවන් අවබෝධ කර ගැනීමට, හොඳින් ඉගෙන ගැනීමට, හොඳින් වැඩ කිරීමට සහ ඔවුන්ගේ ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට හැකි මානසික යහපැවැත්මකි. මෙය තීරණ ගැනීමට, සබඳතා ගොඩනඟා ගැනීමට සහ අප ජීවත් වන ලෝකය හැඩගස්වා ගැනීමට දායක වන, අපගේ පුද්ගල සහ සාමූහික හැකියාවන් යටපත් කිරීමට බලපානු ලබන සෞඛ්‍ය සහ යහපැවැත්මේ අනිවාර්ය අංගයකි. මානසික සෞඛ්‍යය මූලික මිනිස් අයිතිවාසිකමක් ද වන අතර එය පුද්ගලික, ප්‍රජා සහ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ද ඉතා වැදගත් වේ.

මානසික සෞඛ්‍යය තත්වයන්ට මානසික ආබාධ සහ මනෝ-සමාජීය ආබාධ මෙන්ම සැලකිය යුතු පීඩාවන්, ක්‍රියාකාරීත්වයේ දුර්වලතා හෝ ස්වයං-හානිකර ගැනීමේ අවදානම සමඟ සම්බන්ධ අනෙකුත් මානසික තත්වයන් ඇතුළත් වේ. එය සංකීර්ණ පරාසයක පවතින අතර, එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් ලෙස අත්විඳින අතර, විවිධ දුෂ්කරතා, පීඩාවන් සහ ඉතා වෙනස් සමාජ හා සායනික ප්‍රතිඵල සහිත විය හැකිය.

2019 වසර සැලකීමේ දී, ගෝලීය වශයෙන් මිලියන 970 ක පමණ ජනතාවක් මානසික ව්‍යාකූලතා සහිතව ජීවත්ව ඇති අතර, කාංසාව සහ මානසික අවපීඩනය ඔවුන් අතර වඩාත් සුලභ වී ඇත. පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය තත්ත්වය කෙරෙහි පවුල, මිතුරන් සහ ප්‍රජාව සමඟ සබඳතා ඇතුළුව ජීවිතයේ සෑම අංශයකදීම එනම් පාසැලේදී, රැකියාවේදී දුෂ්කරතා ඇති කළ හැකිය. දරුණු මානසික සෞඛ්‍යය තත්වයන් ඇති පුද්ගලයින් සාමාන්‍යය ජනගහනයට වඩා වසර 10-20 කට පමණ පෙර මිය යයි. එමෙන්ම අහිතකර මානසික සෞඛ්‍යය තත්ත්වයක් තිබීම සියදිවි නසාගැනීමේ අවදානම සහ මානව හිමිකම් කඩවීමට ඇති හැකියාව වැඩි කරයි.

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය

නව යොවුන් විය යනු දරුවන් ජීවීතයට හැඩගැසීමේ දී හමුවන වැදගත් කාල පරිච්ඡේදයකි. මේ කාලය තුළ දී, දරිද්‍රතාවයට, අපයෝජනයට හා ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම ඇතුළු කායික, සංවේගාත්මක සහ සමාජීය වෙනස්කම්, නව යොවුන් වියේ දරුවන් මානසික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු කළ හැකිය. යෞවනයන් එවැනි විපත්තිවලින් ආරක්ෂා කිරීම, මනෝවිද්‍යාත්මක යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ මානසික සෞඛ්‍යය රැකවරණය සහතික කිරීම නව යොවුන් වියේ මෙන්ම වැඩිහිටි වියේදී ද ඔවුන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. ගෝලීය වශයෙන්, වයස අවුරුදු 10-19 අතර 7 කින් 1ක් අයෙක් (14%) අහිතකර මානසික සෞඛ්‍යය තත්ත්වයන් අත්විඳින බව ඇස්තමේන්තු කර ඇත, නමුත් මේවා බොහෝ දුරට හඳුනාගෙන නොමැති සහ ප්‍රතිකාර නොකළ ඒවා වේ.

අහිතකර මානසික සෞඛ්‍යය තත්ත්වයන් සහිත නව යොවුන් වියේ දරුවන් සමාජයෙන් බැහැර කිරීම, වෙනස් කොට සැලකීම, අපකීර්තිය (උදව් සෙවීමට ඇති සූදානම කෙරෙහි බලපෑම් කිරීම), අධ්‍යාපනික දුෂ්කරතා, අවදානම් හැසිරීම් සහ ශාරීරික සෞඛ්‍යය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විශේෂයෙන් ගොදුරු වේ.

  1. චිත්තවේගීය ආබාධ

චිත්තවේගීය/ සංවේදනාත්මක ආබාධ යෞවනයන් අතර බහුලව දක්නට ලැබේ. කාංසාව (අධික කනස්සල්ල) මෙම වයස් කාණ්ඩයේ බහුලව දක්නට ලැබෙන අතර තරුණ යෞවනයන්ට වඩා වැඩිහිටි යොවුන් වියයන් අතර බහුලව දක්නට ලැබේ. වයස අවුරුදු 10-14 අතර 3.6% ක් පමණ සහ අවුරුදු 15-19 අතර 4.6% ක් පමණ කනස්සල්ලෙන් පෙළෙන බව ගණන් බලා ඇත. එමෙන්ම වයස අවුරුදු 10-14 අතර නව යොවුන් වියේ 1.1% ක් පමණ සහ අවුරුදු 15-19 අතර 2.8% ක් පමණ මානසික අවපීඩනයන් සහිතව සිටින බව ගණන් බලා ඇත. මානසික අවපීඩනය සහ කාංසාව එක සමානවම වාගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

  • චර්යා ආබාධ

චර්යාත්මක ආබාධ වැඩිහිටි යෞවනයන්ට වඩා තරුණ යෞවනයන් අතර බහුලව දක්නට ලැබේ. ප්‍රධානවම, අවධානය හිඟ අධි ක්‍රියාකාරී ආබාධය (ADHD) සහ හැසිරීම් සම්බන්ධ ආබාධ ලෙස ආකාර දෙකකි.  අවධානය හිඟ අධි ක්‍රියාකාරී ආබාධය (ADHD); අවධානය යොමු කිරීමේ අපහසුතා, අධික ක්‍රියාකාරකම් සහ ප්‍රතිවිපාක නොසලකා ක්‍රියා කිරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. එමෙන්ම හැසිරීම් සම්බන්ධ ආබාධ වල රෝග ලක්ෂණ; විනාශකාරී හෝ අභියෝගාත්මක හැසිරීම් ලෙස දැක්විය හැකිය. චර්යාත්මක ආබාධ නව යොවුන් වියේ අධ්‍යාපනයට බොහෝ සෙයින් බලපෑ හැකි අතර හැසිරීමේ අක්‍රමිකතා නීති විරෝධී හැසිරීම් වලටද හේතු විය හැක.

  • ආහාර ගැනීමේ අක්‍රමිකතා

නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටි වියේ දී ආහාර ගැනීමේ අක්‍රමිකතා බහුලව දක්නට ලැබේ. ආහාර ගැනීමේ අක්‍රමිකතා යටතට අසාමාන්‍යය ආහාර ගැනීම් සහ ආහාර කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම ඇතුළත් වේ. මෙය බොහෝ විට සංකූලතා හෝ සියදිවි නසාගැනීම් හේතුවෙන් නොමේරූ මරණ වලට හේතු වන අතර අනෙකුත් මානසික ආබාධ වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවකට ද හේතු වේ.

  • සියදිවි නසා ගැනීම සහ ස්වයං හානි

වැඩිහිටි යොවුන් වියේ (අවුරුදු 15-19) මරණ සඳහා සිව්වන ප්‍රධානතම හේතුව සියදිවි නසා ගැනීමයි. සියදිවි නසාගැනීම් සඳහා අවදානම් සාධක විවිධ වන අතර හානිකර මත්පැන් භාවිතය, ළමා වියේදී අපයෝජනය, උපකාර සෙවීමට එරෙහි අපකීර්තිය, රැකවරණයට ප්‍රවේශ වීමට ඇති බාධා සහ සියදිවි නසාගැනීමේ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වීම ඒ අතරින් මුල් තැන ගනී. මෙම සියදිවි නසාගැනීම් වැඩි කිරීම හෝ අඩු කිරීම කෙරෙහි ඩිජිටල් මාධ්‍යය වලට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ හැකිය.

  • අවදානම් හැසිරීම්

මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික අවදානම් ගැනීම වැනි සෞඛ්‍යය සඳහා බොහෝ සෙයින් අවදානම් සහිත හැසිරීම් නව යොවුන්වියේදී ආරම්භ වේ. මෙම අවදානම් හැසිරීම් නව යොවුන්වියේ දරුවන්ගේ මානසික සහ ශාරීරික යහපැවැත්මට දැඩි ලෙස බලපානු ලබයි. ලොව පුරා, වයස අවුරුදු 15¬-19 අතර නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් අධික ලෙස මත්පැන් පානය කරන්නන්ගේ ව්‍යාප්තිය 2016 වසරේ දී 13.6% ක් වූ අතර, ඒ අතරින් පිරිමි ළමුන් වැඩිපුරම අවදානමට ලක්ව ඇත. දුම්කොළ සහ ගංජා භාවිතය ද සැලකිය යුතුම කරුණකි. බොහෝ වැඩිහිටි ළමුන් දුම් පානය කිරීමට පෙළඹී ඇති අතර වයස අවුරුදු 18 ට පෙර ඔවුන්ගේ පළමු සිගරට්ටුව පානය කර ඇත. එසේම ගංජා යනු වර්තමානයේ තරුණයින් අතර බහුලව භාවිතා වන මත්ද්‍රව්‍යක් වන අතර එය 2018 වසර වන විට වයස අවුරුදු 15-16 අතර පසුවන ළමුන්ගෙන් 4.7% ක් පමණම අවම වශයෙන් ගංජා එක් වරක්වත් භාවිතා කර තිබේ.

මානසික සෞඛ්‍යය තීරණය වන සාධක

මානසික සෞඛ්‍යය ඇති කිරීමට සහ නැති කිරීමට අපගේ ජීවිතයේ විවිධ කාලවලදී විවිධ පුද්ගල, සමාජීය සහ ව්‍යූහාත්මක සාධක ඒකාබද්ධ වී කටයුතු කරයි.

චිත්තවේගීය බුද්ධිය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ ජාන වැනි පුද්ගල මනෝවිද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක සාධක මගින් පුද්ගලයාගේ සංවේදීතාව වැඩි කළ හැකිය.

දරිද්‍රතාව, ප්‍රචණ්ඩත්වය, අසමානතාවය සහ පාරිසරික අහිමිවීම් ඇතුළු අහිතකර සමාජ, ආර්ථික, දේශපාලනික සහ පාරිසරික තත්ත්වයන්ට නිරාවරණය වීම ද මිනිසුන්ගේ අහිතකර මානසික සෞඛ්‍යය තත්ත්වයන් ඇති වීමේ අවදානම වැඩි කරයි.

ජීවිතයේ ඕනෑම අවස්ථාවක අවදානම් මතු විය හැකි නමුත්, මුල් ළමාවිය වැනි සංවර්ධන අවධි වලදී අවදානම් ඇති වන විට ඒවා විශේෂයෙන් හානිකර වේ. නිදසුනක් වශයෙන්, ශාරීරික දඬුවම් සහ දැඩි මාපියන් දරුවන්ගේ මානසික සෞඛ්‍යය තත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන බව හොඳින් තහවුරු වී ඇති අතර, හිරිහැර කිරීම මානසික සෞඛ්‍යය ගැටලු සඳහා ප්‍රධාන අවදානම් සාධකයකි.

මානසික සෞඛ්‍ය සඳහා බලපානු ලබන අවදානම් සහ රැකවරණ සාධක සමාජයේ විවිධ මට්ටම්වලින් සොයාගත හැකිය. දේශීය තර්ජන පුද්ගලයන්, පවුල් සහ ප්‍රජාවන් සඳහා අවදානම වැඩි කරයි. ගෝලීය තර්ජන සමස්ත ජනගහනය සඳහා අවදානම වැඩි කරන අතර ආර්ථික පසුබෑම්, රෝග පැතිරීම්, සහ වර්ධනය වන දේශගුණික අර්බුද ඊට නිදසුන් කිහිපයකි.

එක් එක් අවදානම් සහ රැකවරණ සාධක අපගේ ජීවිත කාලය පුරාවටම සිදු වන අතර එමඟින් අපගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට කටයුතු කරයි. එනමුත් අවදානම් සාධකයකට නිරාවරණය වුවද සමහර පුද්ගලයින් ගේ අහිතකර මානසික සෞඛ්‍යය තත්වයක් වර්ධනය නොවන අතර අවදානම් සාධකයක් නොමැතිව වුව ද සමහර පුද්ගලයින් අහිතකර මානසික සෞඛ්‍යය තත්ත්ව වලට මුහුණ දේ. කෙසේ වෙතත්, මානසික සෞඛ්‍යය සඳහා බලපාන නිර්ණායක මානසික සෞඛ්‍යය ශක්තිමත් කිරීමට හෝ දුර්වල කිරීමට කටයුතු කරයි.

මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ වැළැක්වීම

මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ අහිතකර මානසික සෞඛ්‍යය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයේදී මුලින් පුද්ගල, සමාජීය සහ ව්‍යූහාත්මක ලෙස මානසික සෞඛ්‍යයයේ නිර්ණායක හඳුනාගෙන පසුව අවදානම් අවම කිරීමට, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ මානසික සෞඛ්‍යය සඳහා ආධාරක පරිසරයක් ඇති කිරීමට කටයුතු කිරීම වඩාත් ඵලදායී වේ.මෙම ක්‍රියාවලියේදී පුද්ගලයන්, විශේෂිත කණ්ඩායම් හෝ සමස්ත ජනගහනය වශයෙන් කාණ්ඩ ලෙස සුදුසු ක්‍රියාමාර්ග ගත හැකිය.

ප්‍රවර්ධන සහ නිවාරණ වැඩසටහන් සඳහා අධ්‍යාපනය, ශ්‍රමය, යුක්තිය, ප්‍රවාහනය, පරිසරය, නිවාස සහ සුබසාධන යන අංශ සම්බන්ධ විය යුතුය. සෞඛ්‍යය සේවා තුළ ප්‍රවර්ධනය සහ වැළැක්වීමේ ප්‍රයත්නයන් ඇතුළත් කිරීමෙන් සහ සුදුසු අවස්ථාවලදී සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය මඟින් පහසුකම් සැලසීම මඟින් සෞඛ්‍යය අංශයට ද මේ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය.

එමෙන්ම, සියදිවි නසාගැනීම් වැළැක්වීම ගෝලීය ප්‍රමුඛතාවයක් වන අතර තිරසාර සංවර්ධන ඉලක්කවලට ද ඇතුළත් වේ. සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශය සීමා කිරීම, වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණය, නව යොවුන් වියේ දරුවන් සඳහා සමාජීය සහ චිත්තවේගීය ඉගෙනීම් තුළින් බොහෝ ප්‍රගතියක් අත්කර ගත හැකිය. එලෙසම අතිශයින් අනතුරුදායක පළිබෝධනාශක තහනම් කිරීම සියදිවි නසාගැනීම් අනුපාතය අඩු කිරීම සඳහා විශේෂයෙන් උපකාරී වේ.

ළමා සහ නව යොවුන් වියේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම තවත් ප්‍රමුඛතාවයක් වන අතර එය මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරන ප්‍රතිපත්ති සහ නීති මගින් සාක්ෂාත් කර ගත හැකිය. උදාහරණ ලෙස ළමුන්ට අවශ්‍යය පෝෂණය සැපයීමට භාරකරුවන්ට සහාය වීම, පාසල් පාදක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රජාවේ සහ සබැඳි පරිසරයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වැනි දෑ දැක්විය හැකිය. තවද පාසල් පදනම් කරගත් සමාජීය සහ චිත්තවේගීය ඉගෙනුම් වැඩසටහන් සියලු ආදායම් මට්ටම්වල රටවල් සඳහා වඩාත් ඵලදායී ප්‍රවර්ධන උපාය මාර්ග අතර වේ.

රැකියාවේදී මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, මානසික සෞඛ්‍යයට බලපාන තවත් එක් ක්ෂේත්‍රයක් වන අතර නීති සම්පාදනය සහ නියාමනය, ආයතනික උපාය මාර්ග, කළමනාකරුවන් පුහුණු කිරීම සහ සේවකයින් සඳහා මැදිහත්වීම් හරහා ඒ සඳහා සහාය විය හැකිය.

මානසික සෞඛ්‍යය ශක්තිමත් කිරීමේ ජාතික ප්‍රයත්න තුළ, සියලු දෙනාගේ මානසික යහපැවැත්ම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පමණක් නොව, මානසික සෞඛ්‍යය තත්වයන් ඇති පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරාලීම ද අත්‍යවශ්‍ය වේ. මෙය සිදු කළ යුත්තේ ආයතනික රැකවරණයට වඩා ප්‍රවේශ විය හැකි සහ පිළිගත හැකි ප්‍රජා පාදක මානසික සෞඛ්‍යය සේවාව හරහා ය. එය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැලැක්වීමට සහ මානසික සෞඛ්‍යය තත්ත්වයන් ඇති පුද්ගලයින් සඳහා වඩා හොඳ ප්‍රතිසාධන ප්‍රතිඵල ලබා දීමට උපකාරී වේ.

මූලාශ්‍ර:-

2019 Global Health Estimates (GHE), WHO, 2020

 Centers for Disease Control and PreventionNational Center for Injury Prevention and Control https://www.cdc.gov/mentalhealth/learn/index.htm

Global status report on alcohol and health 2018

Institute of health Metrics and Evaluation. Global Health Data Exchange (GHDx)

Mental health – World Health Organization (WHO) https://www.who.int/news-room/fact-sheets/detail/mental-health-strengthening-our-response

Mental health – World Health Organization (WHO) https://www.who.int/health-topics/mental-health#tab=tab_1

Mental health of adolescents (2021), https://www.who.int/news-room/fact-sheets/detail/adolescent-mental-health

WHO Global Health Estimates 2000-2019

World Drug Report 2020 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles