28 C
Colombo
Sunday, September 24, 2023
spot_img

Subscribe

Date:

Share:

මා ගැන මා නොදත් කළ

Related Articles

විජේ, මෙන්න පොත් රාක්කේ මී පැටවු, චික්. මේ, පොතුත් කාලාද කොහෙද ?, පොඩ්ඩක් බලන්ටකෝ. මේ….. අර උඩ තිබ්බ පොත් ටික ගන්න දෙයක් නෑ…. හොඳ වැඩේ….මම්ම බලන්ට එපෑය.

“හරි ගෑණි හරි” කෑ නොගහ ඉන්නවකෝ. හරියට පොත් කියවන ගෑනි. දුක ඇති මීයෝ කෑවට.

මට පොත්වලින් වැඩක් නෑ. තමුන්ගෙනේ පොත් රාක්කේ. එක්කෝ පොත් ටික ගෝනියකට දාලා තියන්ට ඕන”.

කුණුහරුප කතා කරන්ට එපා සුජානි. පොත් තියෙන්නේ ගෝනිවල දාලා ඇඳන්යට අහුරන්ටද ? තමුසේ ගුරුවරියක් නේද ? තමුසෙලා වගේ ගුරුවරු හින්දා තමයි හිතක් පපුවක් නැති පරිගණක වගේ මිනිස්සු ජාතක වෙන්නේ.

විජේ…. මට වෙන වැඩ නැත්නං හොඳයි, පොත් බලබලා ඉන්ට. පොත් රාක්කෙට මීයෝ ගෙනත් දැම්මේ මංද ? මේක හරි වැඩක්නේ. මට මේ ඇගයීම් දින සටහන්…. වැඩ ගොඩගැහිලා. ඔය පත්තරේ විසි කරලා ඇවිත් බලනවකෝ මනුස්සයෝ මේං…. මී පැටවු ගොඩක්…..චී …..මේ මුංටික විසිකරලා දානවා.

සුජානි ඔයාට පිස්සුද ? නිකන් මාවත් පවට හවුල් කරගන්ටද ලෑස්ති උන්ට පාඩුවේ ඉන්ට දෙන්ට. තමුසේ උන්ට කිරි පොවන්නෑනේ.

“ඇයි කිරිපොව්වන්ට ඕනද ?” මගේ නෙවෙයි තමුසෙගේ සමෘද්ධි නෝනාගෙන් කිරි ඉල්ලල දෙනවකෝ උන්ට.

මොනවද සුජානි මේ දොඩවන්නේ ?

දොඩවනවා නෙවෙයි ගමේ මිනිස්සු කතා කරන දේවල් තමයි මේවා. මට තවත් හන්ගන්ට හදන්න එපා. මම හිතුවා හැමදාම ඒජී ඔෆිස් එකට බඩගානකොට, මොකක් හරි මඟුලක් ඇති කියලා.

මේ නිකං දොඩවන්ට එපා, පාරට සිමෙන්ති දාගන්ට මම සමෘද්ධි නෝනා හම්බ උනා. නැතිව ඒ ගෑනි එක්ක නිදාගන්ට ගියේ නෑ.

මේ විජේ….. තමුසේ නිකං බුදු වෙන්ට හදන්ට එපා. මට ඔක්කොම විස්තර කීවා, අපේ රත්නපාල සර්.

රත්නපාල උඹේ හොර මිනිහද ? මොකක්ද විජේ කිවේ ? තමුසේ අර බෝධි සත්වයෙක් වගේ ඉන්න රත්නපාල සර්ව මට පාවා දෙන්නේ…. තමුසෙගේ කටේ ගෙඩි දානව ඕයි.

උඹට හරි අමාරුවනේද….. ඌට බැනපුවාම….

ඔව් මට අමාරුයි තමා සර්ට බැනපුවාම….. ඒ මිනිහට පිංසිද්ධ වෙන්ට…… වහලෙට සීට් ටික දාගත්තා. ටයිල් ටිකට සල්ලි බැන්දා. ඒ මනුස්සය ටෙන් මන්ත් එකට අත්සන් කරේ නැත්නං බලන්ට තිබ්බා කටේ නරිවාදන්. ඒ මනුස්සයා ඔය ගෑනු පස්සේ ඇවිදින පෙරේතයෙක් නෙවෙයි ඕයි. දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක්.

හම්…. ඔහොම යනකොට උඹේ දෙයියෝ උඹව දිව්‍යලෝකෙ එක්කයයි.

ඔව් තමුසෙත් එක්ක මේ අපායේ ජීවත්වෙනවාට වඩා හොඳයි….. ඒ මිනිහත් එක්ක…… යන මඟුලක යන එක.

එතකොට උඹේ ඔය බඩේ ඉන්නෙත් දෙයියගේ පැටියෙක් වෙන්ට ඇති.

බඩ ඇතුලේ ඉන්නේ දෙයියෙක්ද – යක්ක්‍ෂයෙක්ද කියලා මං දන්නෑ.

සුජානි උඹ මෙච්චරකල් මාව රැවැට්ටුවා. අඩුගානේ මම මේ වෙනකල් හිතාන හිටියේ මගේ මේ හිතුවක්කාර රුධිර ධාතුව උඹේ ගර්භාෂය ආක්‍රමණය කරා කියලා…. මරණයෙන් පසුව මගේ ප්‍රතිරූඵයක් උඹටවත්, මේ පෘථිවිතලයටවත් උවමනා නෑ. ස්භාවදහමට මම වෛර කරන්නෑ. සුජානි උඹත් ස්වභාවදහමේ නිෂ්පාදනයක්.

“විජේ උඹ ඔය හිතන විදිහ හරි භයානකයි, තේරුණාද ? උඹ උඩුගං බලා ගමන් කරනවා
වෙනුවට, උඹ සැඩ පහරට ගහගෙන යනවා.”

නෑ සුනිල්, සුජානිගේ යථාර්ථය මාව අතික්‍රමණය කරා.

විජේ, ඒකි හරි බං, බලපං උඹ රස්සාව කෙලවගත්තා. උඹට කොච්චර කීවත් පඩිය වැඩිකරගන්ට, ශ්‍රේණිය හදාගන්ට උවමනාවක් කරේ නෑ. මොන ගෑනට උනත් උඹේ ක්‍රියාපටිපාටිය දිරවන්ට අමාරුයි. උම පවුල ගැන මීට වඩා හිතන්ට ඕන. ගෑනිගේ බඩට එකෙක්දීල යනකල් මොනවද කරේ. බොරුවට ඒ ගෑනි සැක කරනවා. අන්තවාදි වෙන්ට එපා බං. සුජානී වගේ ගෑනියක් හම්බඋනේ උඹේ පිනට. යකෝ පිස්සු කෙලින්නැතිව ගෙදර පලයං.

“සුනිල්” තව බියර් එකක් ඕඩර් කරපං.

විජේ, සුනිල් අතිජාත මිත්‍රයෝ, විජේගේ හදිසි තීරණාත්මක මොහොත යථාර්ථයක් කරගැනීමට ඇල් කොහොල් ප්‍රතිශතය, වඩ වඩා ඉහල අගයකට ගමන් කළ යුතු බව ඔවුන් තීරණය කලා.
ඒ අනුව හිස් බෝතල් ගණන එක, දෙක, තුන හතර වුණා. සුනිල් උඹ තවත්, පළාත් සභා අපායේ ඉදගෙන ආයතන සංග්‍රහයට, මුදල් රෙගුලාසිවලට හිස නමාගෙන මේ ජහජරා සිස්ටම් එක පවත්වා ගෙන යන්ට ඔක්සිජන් සපයනවා. උඹලා වගේ කාලකන්නි යක්කු ඉන්නකල් මේ ලෝකේ මෙහෙමම තියෙයි. ගසා කන එවුන් ගසා කයි. කපා ගෙන ඉහළට යයි. 

මහ පොළොවේ යතාර්ථය එහෙමම තියෙයි. සුනිල් එකක් මතක තියාගනින්, උමල ඔය අතට ගන්න මාස් පඩිය අර්ථවත් වෙලා තියෙන්නේ කම්කරුවන්ගේ, ගොවියන්ගේ අතුරුඵල විදිහට. අපි මහජන සේවකයෝ. මම රස්සාව අතැරියේ, ගන්න වැටුපට සෑහෙන්ට වැඩක් මට තිබ්බ නැති හින්දා. මැදවච්චියේ බස්ටෑන්ඩ් එකට මීටර් 600ක් විතර දුරින් තිබ්බ අතරේ මේ කතා සුදුවෙමින්
තිබුණා. කෙසේ වෙතත් අපේ කතා නායක විජේ….. තමාගේ විමුක්තිය පිණිස. හිස් බියර් බොතලේකින් තම අතිජාත මිත්‍ර සුනිල්ගේ ඔලුව පලල දාලා කොළඹ බස් එකේ අගනුවරට පැනල ගියා කියලා මොකෙක්වත් දැනන් හිටියේ නෑ. වටින් ගොඩින් අඳුර පලායත්ම බස් එක නතරකලා චෙක්පොයින්ට් එකක.

“කරුණාකරලා ඔක්කොමල අයිඩෙන්ටි කාඩ් අරන් බහින්ට” හීනෙන් වගේ මතක් වුණා. මම සුනිල්ගේ ඔලුව පැලුව, මට උගේ වචන දිරවගන්ට බැරිවුණා. විජේ උඹ ශුන්‍යවාදි අන්තයට තමයි අදහස් ගොනුකරන්නේ. පශ්චාත්තාපයෙන් තමයි කෙළවර වෙන්නේ. කිසිදෙයක් වැඩක් නෑ. කිසිදේක තේරුමක් නෑ….. ඕවගේ උඹේ කටේ තියෙන්නේ. සුනිල්ගේ මේ ශුන්‍යවාදී දේශනය සහ විජේගේ සංවාදය කෙළවර වුණේ මත්පැන් විසින් විකෘති කළ විජේගේ අව්‍යාජත්වය මෙහෙය වූ දකුණත විසින් සුනිල්ගේ ඔලුව පසාරුකර බියර් බෝතලය ගමන් කළ විටයි. චෙක් පොයින්ට් එකේ දී බස් රථයේ සියලු මඟීන් රටේ ආරක්‍ෂාවට අවනත වෙමින් පසුවෙද්දී විජේ අතීත ආවර්ජනයක නියැළුණා.

“මේ ….. මහත්තයාට අමුතුවෙන් කියන්ට ඕනද ?
“සමාවෙන්ට ඕන. හමුදාවේ මහත්තුරුන්ට තරහගිහිල්ලා වගේ. මම ත්‍රස්තවාදියෙක් කියලා සැකකරනව ඇති. “මගේ අපිළිවෙළ ත්‍රස්තවාදියෙකුගේ පෙනුමට සමාන කිරීම ප්‍රශ්නයක් ?
ගවුල, කොණ්ඩේ වැවී තිබීම, බාටා දැමීම, මිනිස්සු හදාගෙන තියෙන ත්‍රස්තවාදියා පිළිබඳ විෂුවල් එක, මේවා පුදුම තීන්දු තීරණ. ත්‍රස්තවාදියා අපතයෙක් නෙවෙයි. මහත්තයෝ. උන් මාස්පඩිකාරයෝ නොවෙයි. ඌත් විමුක්තියක් හොයනව. ඌට බම්බු රවඅලෙන්, කොන්ඩෙන් වැඩක් නෑ. ඌට වෙන වැඩ තියෙනව.
“සර්…. මෙහෙම මම කියන්නේ ත්‍රස්තවාදය අනුමත කිරීමට නෙවෙයි. මෙන්න මගේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සහතිකය. ඕක බලල ත්‍රස්තවාදය තීරණය කරන්ටත් බෑ. දේශප්‍රේමියා අඳුරගන්ටත් බෑ. මංද මං හරිද කියලා.
අනුරපුරේට බස් එක ළංවෙනකොට අපේ බස් එකේ මඟීන් සංඛ්‍යාව පහලවකට අඩුවෙලා. මිනිස්සු එකිනෙකා ගොළුවන් බිහිරන් ලෙස තම තමාගේ ලෝකවල අතරමන් උනා. අමාලි ට්‍රැවල්ස් ටාටා බස් එක හීයක් වගේ දුලිවලා මැදින් ඉදිරියට ඇදෙමින් තිබුණා. මම නිහඬව බලාගෙන හිටියේ ගැබිණි මාතාවන් සඳහා වෙන්කර තිබ්බ අසුනේ… පඬුපැහැ වස්ත්‍රයකින් වත වසාගෙන නිවන් සුව සොයා වැඩමකරවන දසසිල් මාතාවගේ අසහනකාරි හැසිරීම දිහා දෙතිස් දන්තයන්ගේ ග්‍රහනයට නතුව ඇලෙන සුළු උකු ස්වරූපයන් ගෙන ස්වරාලයේ රිද්මයට අනුන වෙමින් අමාශගත වූ ආහාර පොදිය අමාශ සහ අමාශයික යුෂයේ එන්සයිමයන් සමඟ ඇතිකර ගත් ජීව විද්‍යාත්මක ක්‍රියාවලියන්ට පිටු නොපාමින් දසසිල් මාතාවගේ විඥානයට යම්කිසි සංඥාවක් නිකුත් කරමින් උඟුර දවාගිය ඇඹුල් රසැති ශ්‍රාවයක් නිකුත් කළාය. දසසිල් මාතාවගේ පංචස්කන්ධය දාබිඳු කීපයකින් තෙත් වන්නට විය. ඇයට කරගත හැකි කිසිදෙයක් නොවීය. දියරමය උකු විශාල වමනේ ධාරාවක් බස්රථයේ ජනෙල් වීදුරු හා අසුන මතට පතිතවිය. උහුලා ගත නොහැකි ගන්ධයක් බස් රථය පුරා ආශ්වාස වාතලයට මිශ්‍ර විය. මේ කිසිදු සිදුවීමක් පිළිබඳ දැනීමක්, හැඟීමක් නැති රථයේ ඇන්ජිම ඉන්ධන දවාලමින් බසයේ
වේගය වෙනුවෙන් තම වගකීම ඉටුකරමින් සිටියේය.    බස් එකේ භික්‍ෂුණිය හැර වෙන ගෑනු කව්රුත් හිටියේත් නෑ. කොන්දට මල පැනල බණින්ට පටන්ගත්තා.

“මෑණියෝ …… කරුණාකරල බස්එක හෝදල දෙන්ට. පොඩ්ඩක් කලින් කියන්ට එපෑය.” මොන
ලෝකේ හිටියද ? බම්බුව”
බස් එකේ ගොඩ දෙනෙක් නිදි. මට ඇත්තටම මේ අයුක්තිය වෙනුවෙන් කකානරන්ට හිතුණා.
“මුං මහ තිරිසන්නු…… උප්පැන්නේ බෞද්ධයෝ. “මල්ලී තමුසේ ඔය කාටද කතා කරන්නේ.”
කොන්දා මා පැත්තට හැරුණා.
ඇයි මොකද අයිසේ ? බීවනං සද්ධ නැතිව යනව. අපි හොඳට බෞද්ධකම අඳුරනව. තමුසෙට සිල්මෑණි ගැන දුකයි නං…. වමනේ ටික හෝදලා දෙනවා. රත්නායක මචං බස් එක නතර කරපං මූට දෙකක් වනන්ට. බස්එක නතර වුණා……….. සිල්මෑණි අපහසුතාවෙන් නැගිට්ටා. “කරුණාකරලා ඔය මහත්වරුන්ගේ කතාව නතර කරගන්ට. මං අතිං වරදක් වුණා තමයි. මං ඉතිං කොහොමද මේක හෝදන්නේ.
ඩ්‍රයවරයයි කොන්දයි සිල්මෑණියි අතර හුවමාරුවෙන වචනවල උනුසුම ක්‍රමයෙන් උත්සන්න වෙන්න පටන්ගත්තා බෞද්ධයකු වශයෙන් මට මීටත් වඩා ඉවසිය නොහැකි වුණා.
“ඒයි උඹල මොකක්ද දැන් සිල් මෑණිට කරන්ට කියන්නේ. මම ටිකක් උස් හඩින් කතාකරා.
ඒත් මගේ වචන එකක්වත් පිටවෙන්ට අවස්ථාවක් නැති වුණා. මගේ ඔළුව කැරකුණා. කළුවර වුණා.
කොහොම උනත් මේ අඳුර කියන එක තමා විශ්වයේ සත්‍ය. ආලෝකය අඳුරට සාපේක්‍ෂව විශාල ශක්ති ප්‍රභවයක්. අඳුර පලවා හරින්ට මිනිසාගේ විද්‍යාත්මක ඥානයට කවදාවත් බෑ. ඒ
කියන්නේ මිනිසාට බැහැ කවදාවත් අඳුර නැමති දැවැන්ත විශ්වශක්තිය නිෂ්පාදනය කරන්ට. ඒ සත්‍ය ලෝක ස්වභාවය විද්‍යාව අභිභවා ගිය දෙයක්. ඔය කියන දැවැන්ත අඳුර අරක්ගත්තු
මගේ ඇස් දෙක හිමීට හිමීට විවර වුණා. මගේ ඉසට ඉහළින් එල්ලා තිබ්බ සේලයින් බෝතල බිංදු සේ මගේ නහර වැල් දිඟේ ශරීරගත වෙනවා. අඳුර මෙන් මරණයත් කෘත්‍රීම තාක්‍ෂණයට පිටුපානව. බෙහෙත් පෙති මරණය හමුවේ පරාජය වෙනවා. වෛද්‍යවරයත් අවසානයේ මියැදෙනවා. ඒත්…… මම කොහෙද මේ ඉන්නේ ? මේක රෝහලක් වගේ ඔලුවේ ලොකු බරක් එල්ලලා. මොකක්ද මට මේ සිද්ධ වුනේ. ඒ මදිවට මගේ දකුණතේ පිරිත් නූලක් කොහෙන්ද මට මේක ? මම මුළු ශක්තිය යොදලා කෑගැහුවා. “කවුද මට පිරිත් නූල් ගැටගැහුවේ.

ඇතැමෙකුට මේ දෛවෝපගත අසම්මතය ප්‍රතික්‍ෂේප කර දැමීමට අවසරය ඇත. එනමුත් මේ මිහිමත සිදුවන්නා වූ කිසියම්ම දෙයක් අසම්මතයක් කියා හෝ සම්මතයක් කියා දෙයක් වේ නම්, මම එය සිද්ධියක් ලෙස පමණක් සිතමි. මීට පෙර කිසිදිනක සිහිනෙකුදු නොසිතූ ජීවිත ක්‍රියාදාමයේ රිද්මය මේ ආකාරයෙන් සිදුවෙන්නට විය. තවදුරටත් ගැහැනියකගේ ආදරයට, කරුණාවකට, රැකවරණයකට, ආකර්ශනයකට නතු නොවි සිටය යුතුද ? එසේත් නැතිනම් යථාර්ථය හමුවේ ස්වාමිපුරුෂයෙකු විය යුතුවද ?නොඑසේනම් මා නොදන්නා දෙවියෙකු භූතයකු හෝ යක්‍ෂයෙකු ඉහත වාතලයේ ලැගුම් ගෙන, මෙවන් සිද්ධි නිර්මාණය කරනවා විය යුතුය. බසු රථයේ අවසන් මොහොත අවසන් වූ චමත්කාරය මගේ හිත තුළ යළි යළි දර්ශනය වන්නට විය.  මේ සුවිසල් දෛවෝපගත ක්‍රියාදාමයේ කෙළවරක් නොදැන සිටි, භිෂුණියගේ හදවතේ ගැඹුර ස්පර්ශකරලීම උදෙසා ඒ තුළට එබී බැලීමට අවකාශයක් ලබාදීම සඳහා තෙරණිය සෙමෙන් විජේගේ බැන්ඩේජ්වලින් වෙලා තිබූ හිස මත දකුණත පිරිමදිමින් යමක් මුමුණන්නට විය. නිවන් මඟ පසක්වන ඒ සොඳුරු දසුන වෙත නෙත් අයා සිටි විජේ, භික්‍ෂුණියගේ නෙත් දෙස තත්පර කීපයක් බලා සිටියා. මහත්තයෝ බස් එකේ මිනිස්සු මහත්තයාව පොලීසියට භාරදුන්න. මම මහත්තයා පැත්තට සාක්‍ෂි දුන්නා. වාට්ටුවට භාරදුන්නා. භාරකරු විදිහට මම අත්සන් කරේ. මහත්තයා බීමතින් රථයේ මඟීන්ට හිරිහැර කරා කියලා තමයි කොන්දොස්තර පැමිණිලි කලේ. මම වෙනුවෙන්, මගේ ශරීර සංවේදනාව වෙනුවෙන් මහත්තයා පෙනී හිටියා. ඒවා අමතක කරලා දාන්ට මහත්තයෝ. අද හවසට ටිකටි කපනව කීවා. කිසිදෙයක් ගැන කල්පනා කරන්ට එපා. හැම උත්තරයක්ම නිර්මාණය වෙන්නේ ප්‍රශ්නයකින්. සොබාදහම එහෙම තමයි.මහත්තයෝ, මගේ තාත්තා හරි නපුරු පුද්ගලයෙක් එයා මටයි අම්මටයි ආදරේ කරාද කියල මං දන්නෑ. එයා කසිප්පු විකුණුවා, මාළු ඇල්ලුවා, කොටින්ම කීවොත් එයා යක්‍ෂයෙක්. මමයි අම්මයි හා පැටවු වගේ පණ ගැහැ ගැහී කුස්සියට වෙලා ගුලි ගැහුණා. තාත්තා හවස ගෙදර එනකොට, අපිට කියලා දේපලක්, හම්බකරපු කිසිදෙයක් තිබුනේ නෑ. මං දන්න විදිහට. විජේගේ අඩපන වූ ශරීරය සතපා තිබු සයනයේ ඉහළ යකඩ අට්ටාල මත රඳවා තිබු හය වන සේලයින් බෝතලයෙහි දියර බිධු එකින් එක තම ශරීරය ආක්‍රමණය කරත්ම, කසාවත ඇදි තෙරණියගේ ජීවන යථාර්ථයේ අදෝනාව විජේගේ සිත ස්පර්ශ කරමින් තිබුණා.

“මහත්තයෝ දවසක් තාත්තා හොඳටම බීලා ඇවිත් රෑ දබර කරා අම්මා එක්ක. කමිස සාක්කුවේ තිබ්බ සල්ලි වගයක් ගත්තා කියලා. තාත්තා කඩුල්ලෙන් ගලවගත්තු ලොකු පොල්ලකින් අම්මට හොඳටම තඩිබාලා මිදුලට ඇදගෙන ඇවිත්, බෙල්ල පෑගුවා. මම කොහොමද තවත් මේක බලාගෙන ඉන්නේ. තාත්තා හොඳටම වෙරිවෙලා හිටියේ මම උපරිම වේගයෙන් තාත්තව තල්ලු කරලා පැත්තකට දැම්මා. තාත්තා විසිවෙලා ගිහිං සරම පැටලිලා මිදුලේ තිබ්බා  ගඩොල් කපාපු පරණ වලක්, ඒ වලට වැටුණා. තාත්තා හොඳටම වෙරිවෙලා හිටිය හින්දා එයාට කිසිදෙයක් කරගන්ට බැරි උනා, ඒත්….. මම උත්සහකරා ලාම්පුව අල්ලගෙන තාත්තව ගොඩගන්ට. අම්මත් ඇඟපුරා ලේ හලාගෙන උදවු කරා. ඒත් තාත්තා එක පාරක් වතුර අතුළට ගියා ආයෙත් උඩට එන්ට වෙලා ගියා. මම එච්චර පවුකරාද නැත්නම් තාත්තා පවුකාරද ? මම මාස ගාණක් නොකා නොබී කල්පනා කරා. මට මේ පවෙන් ගොඩවෙන්න උදවුකරන්න විජේ මහත්තයෝ.

අම්මා මාත් එක්ක එදා රෑම ගමෙන් පැනල ආවා. පොලීසියට අහුවෙයි කියල බයේ. හැම වෙලාවකම හෝදිසියෙන් අපි ජීවත් උනේ ඒත්….. එහෙම ජීවත්වෙන්ට බැරි වෙයි කියල අම්ම කල්පනාකරා. මගේ දිගට වැවිල තිබ්බ කොණ්ඩේ අම්ම කපලා දැම්මා බැරිවෙලාවත් ගමේ කවුරුත් දැක්කොත් අඳුරගයි කියලා …. අම්මා සෑහෙන කාලයක් කුලී වැඩකරා. අපි නතරවෙලා හිටියේ ගල්ගමුව දිවුල්ගනේ පැත්තේ ආවාස ගෙයක. අම්මගේ බල කිරීමටම එහේ හිටපු ලොකු මෑණියෝ මාව මහනකරා…. අම්ම ගොඩක් සතුටු වුනා. මම මහණ වුනාට නොවෙයි…….. පොලීසියට මාව අහු නොවෙයි කියල. අපේ අම්මා දවසක අපි හිටපු ගමට යන්ට මෙහෙන් පිටත් වුනා. දැනට අවුරුදු පහළොවක් වෙනවා. අම්මට වෙච්ච දෙයක් නෑ. සමහර විට එයා පොලීසියට අහුවෙන්ට ඇති. නැත්නම් එයා මෙලහකට ජීවතුන් අතර නැතිව ඇති. මම තවත් මේ සංසාරේ මැරි මැරී ජීවත් වෙනවා. ජීවිතේ එපා වෙලා වගේ. තවත් ගොඩක් දේවල් කියන්න තියෙනවා මට. විසඳුමක් දෙන්න මහත්තයෝ. දැන් මගේ ඇස්වල කඳුලු ඉවරවෙලා තියෙන්නේ. තෙරණියගේ දෑස් තෙත් නූනත් ඒ දෙනෙත් ආයාචනා කළ දේ කුමක්ද ? මට මතක් වෙනවා ගුණදාස කපුගේ කියන “මං මුලාවී පාර සොයා ගෙන” සිංදුව. මා පවුල් ඒකකයට ආයුබෝවන් කීම සිදුහත් කුමාරයා කළ අභිනිෂ්ක්‍රමණය හා සමානකමක් ඇද්ද. ඒත් මගේ කලකිරීම් ස්වාභාවය ඇතිවුනේ ප්‍රියාදර බිරිඳ සුජානිගේ මා ප්‍රිය කොකළ ක්‍රියාකාරකම් නිසාවෙනි. ඊට අමතරව මගේ යටිසිත ඇයව ප්‍රතික්‍ෂේප කළ වාර කොතරම්ද ? ඇතැම්විට මා ඉතා උවමනාවෙන් පුවත්පතක් බලනවිට ඇය මට කතා කරයි. “විජේ පනාව හොයලා දෙන්න” ඇය මා නියැළී සිටි මගේ කාර්ය ගැන තැකීමක් නොකරයි. තවත් වෙලාවක මා ඉතා ඕනෑකමින් ගුවන්විදුලි වැඩසටහනක් සවන්දෙන විට කිසිම විමසීමකින් තොරව ඇය ඔළුව කැසීමට කතා කරයි. ඒ වගේම කිලිටි ඇදුම් පිළිබඳ තැකීමක් නොකරයි. විශේෂයෙන් රාත්‍රී කෑමට පසු දත් මැදීම, හවසට ඇඟ සේදීම, පිරිසිදුකම ගැන කිසිම දැනීමක් ඇයට නැත. ආය පුවත්පතක් බැලීම හෝ පොතක් කියවීඹක් මා කිසිදු දිනක නොදුටුවෙමි. මගේ සිත කිළිටි කරගැනීම උදෙසා ඇගේ මෙවැනි පුරුදු, ගතිගුණ මට මහෝපකාරි විය. කහමල් පිපුණ මැදින්මහේ සරසවියේ අහුමුළු වල අපි පෙම්බස් දෙඩූ කාලය තවත් හිත තුළ හොල්මං කරයි. “විජේ අපි ඉක්මනට රස්සාවක් හොයාගමු” සුජානිගේ වචන වල තිබ්බ එකම විමුක්තිය ගකියාව. ඒ හින්ද තමයි එයා මටත් වඩා රැකියාවට ආදරේ කලේ. ඇය ගුරුවරියක් වීම මට එක අතකට දුකක්….ඉගැන්වීමට ඈ සතු දැනුම කුමන ආකාරයද ? මේ විශ්වයේ කෙතරම් හැදෑරීමට ගවේෂණ කිරීමට දේ ඇද්ද ? නමුත් ඇය නිකමට ඒ ගැන හිතන්නට නැත.
මෙවැනි වූ ඇගේ දරදඬු සිතුවිලි මගේ සිතුම් පැතුම් සමඟ අරගල ඇතිකර ගත්තා. දිනෙන් දින අපේ මානුෂික බැඳීම් දෙදරා ගියා. අතිශය පෞද්ගලික වූ සුජානිගේ ගති පැවතුම් මෙලෙස ඔබ සමඟ ප්‍රකාශ කිරීමෙන් මා ඇතැම් විට ගුණමකුවකු ලෙස සිතීමට ඔබට අයිතියක් ඇති බව මා පිළිගනිමි. එහෙත්, තෙරණිය සමඟ ද මේවා ප්‍රකාශ කළ යුතුව ඇත. සුජානිගේ ලෝකය මට අපැහැදිලිය මට එහි පැවැත්මක් නැත.
සුජානිගෙත් මගෙත් දයාව කරුණාව ඈතට ඈතට විසිවෙලා ගියා. ඒත් අළුත් ජීවිතයක් ඇරඹුමකට ඇරයුම් කරන මේ තෙරණියගේ ආදරය කරුණාව ස්පර්ශවීමට මා කොතරම් පිං කර ඇද්ද ? උගත්කම විසින් මිනිසාට දයානුකම්පාව කියා නොදෙති. මාව බේරාගැනීමට යාමේදී ඇය මුහුණ දුන් මේ fඛිදවාචකයට මා සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ඇය පීතෘ ඝාතකයකු නොවුවත් ඇය නීතිය හමුවේ කෙදිනක හෝ ඊට වග උත්තර බැඳීමට සූදානම් විය යුතුය. ඒත් ඇයගේ හෘද සාක්‍ෂිය නිවැරදි කර ගැනීමට මා ඇයට එකඟ විය යුතුයි.

කෙසේ වෙතත් විජේ සහ භික්‍ෂුණියගේ සංනිවේදන ක්‍රියාකාරකම් හී අවසාන ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ එකගතා හී ප්‍රේමනීය බැදීමකට, අවශ්‍ය හේතු කාරණා කැටි වීමකි. “විජේ මේ කසාවතට මුවා වෙලා තවත් ගැනියෙක් ඉන්නවා. එයා ජීවත් කරවන්ට මට තනිවම බෑ. ගෑනු මොන විමුක්තිය ගැන කතාකරත් ජීව විද්‍යාත්මක යථාර්ථයට පිටුපාන්න බෑ. මම ඒ විශ්ව සත්‍යයට හිසනවනවා. මට පිරිමියෙක් වෙන්ට බෑ. මේ පංචස්කන්දය – පියයුරු, ගර්භාෂය ඇතුළු සියළු ඉන්ද්‍රියනට මම අවනත විය යුතුයි. සමහරවිට මේ ස්ත්‍රීත්වයෙන් මේ විශ්වයට අවශ්‍ය කරන අවශ්‍යතාවන් වෙනුවෙන් මම මේ ලෝකයට බිහි කරන්නට ඇති. ඒ අවශ්‍යතාවයේ ප්‍රධාන වගඋත්තරකරු ඔයා වෙන්න පුළුවන්.
තෙරණියගේ යටිහිත විජේගේ සජීවි හදවතට සමීප වූ ලේ ධාතුව සමඟ මුසුවී ශරීර පංචස්කන්ධය පුරාවට ඉදිකටු අනින්නාක් වැනි රිදුම්දෙන නිගමනයකට එළඹ නොහෙක වචන දහස් ගණන් වාතලයට මුදාලන්නට විය.

“විජේ මේ පියයුරු වලින් කිරි වෑස්සෙන විට එහෙමත් නැත්නං මේ ශරීර ගර්භාෂය තුළ මිනිස් උප්පත්තියකට ලැඟුම් දීම, විශ්වයට ජීවයක් මුදාලීමේ භාග්‍ය මා සතු ක්‍රියාවක්. ඇත්තටම ඒක වාසනාවක් කියලා මම හිතනව. සාහිත්‍යයේ ගෑනියට “පමාපු” කියලා ආමන්ත්‍රණය කෙරෙනවා.
පුරුෂයන් නිවනට පමාකරවනයන අර්ථය. ඒ කතාවට මම එකඟ නෑ. සාහිත්‍ය කියන්නේ ඇත්තටම වචන ගොඩක් විතරයි. කිසි අර්ථයක් නෑ. සමහර වෙලාවට තනි පුද්ගල යථාර්ථ යක්. පොදු යථාර්ථයක් බවට පත් කරනවා. වචන ගොඩකින් විතරයි. කිසිදෙයක් තාර්කික නෑ. බසවක්කුලම නිසල දියමත තම ප්‍රතාපවත් ප්‍රතිබිම්භය ප්‍රතිනිර්මාණය කිරීම උදෙසා පෝදා සඳ සමඟ දොඩමළු වන රුවන්වැලි සෑ රජිඳු දකින්නෙකුට සිහිපත් වන්නේ මැදින් මස පුර පසලොස්වක පෝදා බුදුන් වහන්සේගේ ශාඛ්‍ය වංශිකයන්ගේ මාන්නය සිඳ දැමීම උදෙසා යමාමහ පෙළහර පෑ දර්ශනීය මොහොතයි. රාත්‍රී වැව් ඉස්මත්තේ එහෙ මෙහෙ ඇවිදින  බල්ලන්ගේ ඇතැම් කලකෝලාහල වලට කිසිදු තැකීමක් නොකරන මුකලන් බස්සකු ඉදහිට රෝහල් කොරිඩෝවේ පරාලයක් මත හොරාවකට වැඩි කාලයක් කිසියම් කල්පනාවක නිමග්න නිය. වාට්ටුව දැල්වෙන මලානික ආලෝකය දෙසට ළගාවන පළගැටියෙකු, මෙරුවකු නැතිනම් කුඩා සලඹයකු මූකලන් බස්සාගේ ධ්‍යානය බිඳ දමමින් කිසියම් අකුසල කර්මයකට මුල පිරුවේය. සේලයින් සහ ප්‍රතිජීවක රසායනික ප්‍රතික්‍රියාවන්ගේ විකෘතිය විසින් විජේ නම් කතා නායකයාගේ ස්වභාවික ශරීර ක්‍රියාකාරකම් මදක් දුරට තම පාලනයට නතුකර ගනිමින්, ඔහුගේ ගත නිදිකරවාතබාගැනීමට වෙහෙසක් දරමින් සිටි මොහොතේ, වාට්ටුවේ බිත්ති මත රඳවා තිබු හෝරා යන්ත්‍රය අළුයම දෙක සනිටුහන් කරමින් තිබුණා. එහෙත් හිසෙහි රුධිර නාල කීපයක හටගත් වේදනාව ඔහුගේ උඩු සිතට නොදැනෙන ලෙස, පසුදින රාත්‍රියේ ආමාශගත වූ
නිදිපෙත්ත විසින් යටපත් කිරීමට උත්සාහයක යෙදෙන්නට විය. අතීතය ඔසවා උඩ දැමුවොත් ඒ තුළ අතීතය තැනීමට උපකාරි වූ අමු ද්‍රව්‍යයෙහි වඩාත් ඝන අමුද්‍රව්‍ය කොටස් වේගයෙන් මහ පොලොවට පැමිණෙනු ඇත. එවිට…. ගුරුත්වයට පිටුපා ඉහළ ආකාශයේ රැඳුන අමු ද්‍රව්‍ය කොටස් අතීතයට හිමිකම් කියති. එසේ වුවේ නම් මේ අතීත කොටස්වලට වඩා ඝන වූ වේගයෙන් පහළට වැටුණ ප්‍රමාණයට සාපේක්‍ෂව ආකාශයේ රැඳුනු අතීත අමුද්‍රව්‍ය වැඩි අගයක් ගනිතැයි මා සිතමි.

ඒ මන්දයත් තාමත් මා අතීත ස්වප්නයක නිද්‍රාවෙන් පහුවෙන නිසාවෙනි. පයට ගැටෙන්නාවූ චක්කු විඥානයට ස්පර්ශ වන මේ වර්තමාන කැබලි දෙස විමර්ශනශීලීවීමට හෝ පරීක්‍ෂාකර බැලීමට තරම් මම අපොහොසත් වුනෙමි. එසේ නම් මෙම තෙරණිය ඒ කිසි කාල පරාසයකට හිමිකමක් නැති අමුද්‍රව්‍යයකි.
කොන්දොස්තරගේ යකඩ පොලු පහරින් අඩපණ වූ විජේ තම සිත අයාලේ දක්කමින් සිටින අතර නිසංසල රාත්‍රියේ රෝහල් භූමිය පුරා පැතුරුණ සියුම් කෙදිරිලි හඬ සමඟ රෝහල් ප්‍රසූතාගාරය තුළින් මුළු විශ්වයම fදුරුම් කන මාතෘත්වයේ හඬ සුළු කොට තැකු ත්‍රස්තවාදි ප්‍රහාරයට ගොදුරු වුන සෙබළුන් දැඩි සත්කාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන හඹා එන ඇම්බියුලන්ස් නලා හඬ ජය ශ්‍රී බෝධි මළුවේ ප්‍රාකාර මත්තේ ගුලි ගැහී නිදා සිටින වඳුරු රංචුවකට කිසිදු සන්නිවේදනයක් නොකරන වග, ගොරදෙමින් නිදා සිටින සිල් මාතාවන් අතර නිදි වර්ජිතව තදබල හිසේ ඇම්මකින් පසුවූ වයස්ගත මාතාවක් මද වෙලාවකදී හාසේ හටගත් දැඩි වේදනාව පිළිබඳ උපේක්‍ෂාව වඩමින් විපස්සනා භාවනාවේ නිමග්න වූවාය. ඇම්බියුලන්ස් හඬ ඉතා තාර්කික මුහුණුවරකින් තමාගේ හඬ වාතලයට මුදාලන්නට විය.
ඉක්මවා නොගිය සෙනෙහස ආදරය කැටිකරගත් භික්‍ෂුණියගේත්- මගේත් නැවුම් වූ දෙවන උප්පතිය මෙලෙස සිදුවූවා. පක්‍ෂියෙකුදෙවරක් ඉපදේ. මව ප්‍රසූත කල බිජුව ලෙස එක්වතාවකුත්, බිජු මෝරා පරිසර ක්‍රියාකාරීත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස කටුව බිඳී දෙවන වරටත්ය. මේ උප්පත්තීන්ගේ පළමු පියවර මාත් සුජානිගේත් විවාහයට සමානකල හැකියැයි මට සිතේ. කෙසේ වෙතත් ගීතානී, ඇගේ මුඩු හිස දෙස බැලීම පවා පිළිකුල් කළා පමණක් නොව කිසිවිටෙක ඇය ලෑලි කාමරය තුළ මූන බලන කණ්ණාඩියක් භාවිතා කිරීම පවා තරයේ ප්‍රතික්‍ෂේප කලාය. පීතෘ ඝාතනයේ අවිඥාණික හැගීම් විසින් හැම මොහොතකම ඇය මිනිසුන්ගෙන්, වසන්වී සිටීමට උත්සහ ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය කිසිවිටෙක අප සතු වූ අඩි පහලවේ දහයේ ලෑලි කාමරයෙන් පිට, අගනුවර යාන්ත්‍රණයට ඇස නොගැටෙන්න කටයුතු කලේ දැඩි කල්පනාකාරීවය. කාකි ඇඳුමක සේයාවක් දුටු සැනින් ගීතානි හිරන්ත වී මන්දබුද්ධික කුඩා දරුවෙකු ලෙස හැසිරෙන අවස්ථාද ඇතැම් විට දැකගත හැක. මගෙත් ඇගෙත් පරිවාස කාලය මෙසේ ක්‍ෂය වීමත්ය. ඇගේ දැඩි ආශාව සහ යුතුකම ලෙස සිතාසිටි මවු පදවි ප්‍රාප්තිය අදහාගත නොහැකි පරිද්දෙන් ඉක්මන්කාරි විය. මා නොසිතූ ලෙස ඇගේ ගර්භාෂය දිනෙන් දින විශාල වූයේය. මේ ශරීර ප්‍රසාරණය සමඟ ඇය වැරදීමකින් හෝ ජනේලයකින් පිටතට එබී බැලීමට පවා බිය පළකලාය. සිය ගර්භාෂය තුළ චලනය වන ජීවියා ඇතැම් විට තමා අතින් මිය යන්නට වූ පියා හෝ නැතිනම් මව මියගියේ වී නම් කුස තුළ උප්පත්තියකට පිවිසී ඇති බව ඇය නිතරම විශ්වාස කළ දෙයකි. “විජේ මේ බලන්න අපේ තාත්තා දඟලන හැටි” ඇය මෙසේ කියමින් සෙමෙන් ඉහළට එසවී නැවත එහාට මෙහාට ඇදී යන මිනිස් ජීවියාගේ ක්‍රියාව සිදුවන ඇගේ විශාල උදරය මත මගේ දකුණත ගෙන තබයි. 

විජේ අනිවාර්යයෙන්ම මේ මගේ තාත්තා, තාත්තාට පුළුවන් දැන් මගෙන් පළිගන්න. එයා මගේ පුතා එතකොට, පුතා ලොකු වෙලා – අම්මට මොන විදිහට දුක් දුන්නත් මම එයාට වචනයක්වත් කියන්නෑ. ඒ තමා මගේ තාත්තා නැත්නම් අම්මා. දරුවා – මගෙන් ආවා මිස මට ආවා නොවේ. නියන කථාව සත්‍යයක් විජේ.
මේ වගේ තාර්කික මෙන්ම බොළඳ කතා අපේ ලෑළි කාමරේ අස්සක් මුල්ලක් නෑර මුළු පැය විසිහතර පුරාම ඇසුණා.
දිනෙන් දින මගේ චිත්ත අභ්‍යන්තරයේ හටගත් හැඟිම් සමුදාය පිළිබඳ යම් ප්‍රකාශයක් කිරීමට තරම් මා අවංක නොවුවාද ? නොමැතිනම් මා දැඩි හීනමානයකින් පෙළෙනවාද ? මොනවා වුනත් අගනුවර පරිසරය හැම මොහොතකම සජීවි බවක් පෙන්නුම් කළා. ගම මෙන් භයානක නිහඬතාවක් තිබුණා නම් තිබුනේ පෝය දිනයක එහෙමත් නැතිනම් රෑ එකොළහෙන්
පස්සේ. හැම වෙලාවකම අමානුෂිකව මුහුදේ කිසිම තේරුමක් නැති ඝෝෂාවට වඩා මම ගොඩක් ඇලුම්කළා. අපේ කාමරයට මීටර් 100ක් පමණ එපිටින් එහාට මෙහාට උගුර කැඩෙන තරම් යටිගිරියෙන් කෑගහගෙන මිනිසාට ජීවත්වීමේ ආශාව නැවත නැවත ඔවුන්ට කියා දෙමින් මාතරට, වවුනියාවට, බදුල්ලට, නුවරට යක්‍ෂාවේෂයෙන් දිවයන දුම්රියේ මානුෂික ගීතිකාවටය.
මා දන්නා පරිදි ගීතානිට මේ මොහොතේ වෛද්‍ය උපදෙස් හෝ පරීක්‍ෂාවන් අවශ්‍යයි. මම ඇයට කීපවිටක්ම ඒ බව ප්‍රකාශ කළා. නම්ත් ඇය එම යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කළා පමණක් නොවෙයි. “විජේ මේ ලෑලි කාමරයට ඔයා හැර කිසිම කෙනෙක් එක්ක එන්න එපා. මට මිනිස් වාසයකින් තොරව ජීවත් වෙන්න අවශ්‍යයයි. ඇගේ ඉල්ලීමට මා අවනත වූවා. මම මගේ අලුත් දෙවන උප්පත්තිය යථාර්ථයක් කිරීමට අත්‍යාවශ්‍ය වූ රුපියල් වෙනුවෙන් රැකියාවක නියැලුනා. ගල්කිස්සේ පැත්තේ පරණ ගෙදරක පවත්වාගෙන ගියපු වැඩපලක්. මට පැවරිලා තිබුනේ තහඩු කපන්න. බාල්දි, බේසම් වගේ දේවල් තමා හැඳුවේ. මම දැඩි අධිෂ්ඨානයකින් යුක්තව වැඩපලේ හැසුරුනේ ගොළුවෙක් විදිහට. කැස්සක් කිඹුහුමක් විතරයි මගේ මුවෙන් පිටවූ ශබ්දයක් වුනේ. වැඩපලේ මිනිස්සු මට කතා කරේ ගොළුවා කියලා. උදෑසන වැඩපලට ගියා. හවස 7ට පමණ තමා ආපසු කාමරේට ආවේ. ගොළුවන්වීමේ දැඩි තීරණයත් ගීතානිගේ යෝජනාවක්. බාහිර ලෝකය සමඟ අනවශ්‍ය සම්බන්ධතා ඇති වීම එයින් වැලක්වුනා. ඒ වගේම අපේ ලෑලි කාමරේ පිළිබඳ අවට මිනිස්සුත්
අවධානය යොමු කළේ , අපි ගොළුවන් නිසා ඒ උනත් කාලයක් යද්දි මිනිස්සු තම තමාගේ උවමනා පිටුපස ලුහුබැන්ඳා සුපුරුදු විදිහට. ඒ මිනිස්සුන්ට අපව අමතක උනා. අපි නිතරම
එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගත්තේ මුමුණමින්. ඒ උනත් කෑගහලා හිනාවෙලා වචන කෝටිගානක් දවසට තකා කරන මිනිස්සු ගැන. ඒ වගේම වචන වල ප්‍රබල බව නිශ්ඵල බව.
නිකම්ම නිකම් කාලය කා දමන ක්‍රියාවක් කතා කිරීම. මේ වගේ සිතුවිලි නිතරම මගේ හිතට වද දෙන්න පටන්ගත්තා. ඒ වගේම නිහඬතාවය සහ ශබිදය පිළිබඳ අලුතින් හිතන්නටත් මට
උවමනාවක් ඇති වුනා. හැබැයි වැඩිපුර කතාකරන මිනිස්සු සිතුවිලි තුළින් ගොළුවන් සේ ජීවත්වනවා වන්නටත් පුළුවන් කියලා මට හිතෙනවා. නමුත් මේ ගොළු මුසාවාදය හමුවේ. හෙට දවස පිළිබඳ ඇතිවීමට නියමිත කරුණුකාරණා කෙතරම්ද ? ගීතානි දරුවා ප්‍රසූත කරයි. දරුවා හඩයි, දරුවා… නිහඬ කිරීමට මවුකිරි පමණක් සෑහේද ….. දරුවා දුක්වෙයි. “මගේ මවත් පියත් ගොළුවන්” යැයි සිතා.
“විජේ දරු ප්‍රසූතියක් කියන්නේ ස්වාභාවික සංසිද්ධියක්. නමුත් ඒ ක්‍රියාවලිය විකෘතියක් නම්…එහේමත් නැතිනම් රෝගයක් නම් වෛද්‍යවරයෙකුගේ උගත්කම ඥානය ගැන අපි හොයල බල්න්න ඕන. ඒ නිසයි මම හොස්පිටල් වල පෝලිමේ දුවන මාතෘ සායන ප්‍රතික්‍ෂේප කළේ. අනික සොබා දහමේ අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍යවරුන්ට හරස්වෙන්ට තියෙන අයිතිය මොකක්ද ? බඩකපලා දරුවා එළියට ගැනීම විකෘතියක්. ඌ විකෘති ජීවියෙක් විතරක් නෙවෙයි. හදවතට දැනෙන සවිඥානික තර්කයන් නිර්මාණය වෙන්න විදියක් නෑ. මිනිස් සංහතියේ පැවැත්ම වෙනුවෙන් යහපත් පිළිතුරක් උගෙන් බලාපොරෙත්තු වෙන්න බෑ. අනික දරුවකු බිහිකිරීමේ උතුම් ප්‍රසූත වේදනාව මවට සන්නිවේදනය කරලීම ඌ වලක්වනවා. හරියට ඒ මව පියෙකුට සමානයි. මේ වගේ තාර්කික සිතුවිලි හමුවේ ගීතානි දරුවා බිහිකිරීමේ අවසන් රාත්‍රියේ මට කතා කරලා
“විජේ මම දරුවන් එක්ක කොහේ හරි පිටිසර පළාතකට ගිහිල්ලා ජීවත් වෙනවා”
මම මෙතරම් වෙලාවක් ජීවත් වුයේ සිහිනයකද? මොකක්ද මේ ජීවිතේ ? ගීතානි අනේ මට මේ කිසිදෙයක් තේරෙන් නෑ. රත්තරං….. මගේ ඔළුව පිපිරෙන්න වගේ රිදෙනව. මගේ ඔළුව
පොඩ්ඩක් අතගාන්න.
විජේගේ හදවත ක්‍රියාවිරහිත වීමක් වැනි යමක් සිදුවන්නට විය. ඔහු ගීතානිගේ විශාල උදරය මත හිත තබාගත්තේය. ක්‍ෂණයෙන් ඔහුගේ දෑස් තුළ ගිනි පුපුරු වැනි හැඟීම් රාශියක් පිපිරි ගොස් උණුසුම් කදුළු ගංගා ධාරාවෝ විදාරණය වන්නට විය. “විජේ ඔයාගේ මේ කඳුලු නිකම්ම නිකන් ගලන කඳුළු නෙවෙයි. මේ ක විශ්වයට දැනෙන ආත්මීය ප්‍රකාශයක්. මට හිතෙන විදිහට අද රෑට අපිව යා කරපු දම්වැල් පුරුක ප්‍රසුත වෙයි. මම උත්සහගන්නව කොහොම හරි කෑ නොගහ තවදුරටත් ගොළුවත රැකගන්ට. මට විළිරුදාව ගැන අත්දැකීම් නෑ. ඒත් මට දැන් ටික ටික දැනෙනව ඒ වේදනාව. විජේ ඔයා නිර්දෝෂි පුද්ගලයෙක්. දණ්ඩ නීති සංග්‍රහය වැනි මුද්‍රණ ග්‍රන්ථයකට හැකිවේද, ගීතානිවත් මාවත් වැරදිකරුවන් කිරීමට බෑ. සියළු අධිකරණ තීන්දු ප්‍රකාශ අහෝසිවෙනව. හදවත සමඟ ඇතිකරගන්නා එකඟතාවන් සමඟ. අලුත් ජීවියෙකු මිහිමතට දායාද කිරීමේ උතුම් රාත්‍රිය උදා වුනා. අපි දැන් කතාකරමු ඒ කතාව. ඇගේ ඉල්ලීම මත මා විදුලි බුබුළු නිවා දැමුවා. තාවකාලික පකිස්පෙට්ටි සයනය සහ ලෑලි කාමරය තව ස්වල්ප මොහොතකින් ප්‍රසූතාගාරයක්. විජේ මම ලියපු ලියුමක් ඇති මගේ කොට්ට උරේ ඇතුලේ. බැරි වෙලාවත් මගේ තාත්තා මගේන් පලිගත්තොත් ඔයා ඒ ලියුම සාක්‍ෂියක් විදිහට තියාගන්න. හැබැයි එහෙම නූනොත් මේ ලියුම ඔයා කියවන්නැතිව පුච්චලා දාන්න ඕන. ඔය නිදාගන්න විජේ. මගේ කොන්දට කවුරුහරි පයින් ගහනව වගේ දැනෙනවා. විජේ මම ගොළු නොවී හිටියනං….. කෝච්චිපාරට ඇහෙන්න කෑගහනව. විජේ, අම්මෝ, අනේ මාව සිහි තැතිවෙනවා වගේ, දාඩිය, මාව තෙමෙනව විජේ.

මුඩුක්කු ලෑලි කාමරය තුළ සිදුවන්නට යන සොබාදහමේ විශ්මිත ක්‍රියාවලියට අනුකූලතාවක් දැක්වු, මුහුදු රළ ප්‍රීතිඝෝෂා නගනන්ට වූහ. තාවකාලික ප්‍රසූතාගාරය අසළ කුණු ගොඩේ කුණු මලු තුළ වටිනා යමක් ආහාරයට ඇතැයි සිතූ තරුණ සුනඛයකු කුණු මල්ල ඉරාදමා ඒ තුළ තිබු කුණු මාළු ඔළු කැබැල්ල අමාශගත කරන්නට ගත් උත්සහය දෙස උපේක්‍ෂාවෙන් බලා සිටි, කොස් ඇට වවුලකු ගීතානි විළිරුදාවෙන් ඒ මේ අත දඟලන ප්‍රසූති කාමරය තුළට එබී
බලා එහි පැවති අන්ධකාරය පිළිබඳව තම සිතේ හටගත් කුතුහලයෙන් නැවතත් කුණු ගොඩ අසල පහන් කණුවේ නිවී ඇති බල්බ ආවරණය මත හිඳ මදක් විවේකී සුවයෙන් පසුවන්නට
විය. ඒ මොහොතේ ගීතානී තම උපරිම ශක්ති ප්‍රමාණය මුදා හරිමින් දකුණු පාදය ඔසවා ලෑලි බිත්තියට පාපහරක් එල් කරත්ම.. ලෑලි කිහිපයක් ගැලවී බිමට වැටින. මෙතෙක් වෙලාවක්
ගීතානිගේ ප්‍රකාශයන්ට පිටුපාමින් සිටි මා කාමරයේ විදුලි ස්විචය සක්‍රීය කලහ. නමුත් ඔබෙත් මගෙත් දෛවය හමුවේ…. විදුලිය අක්‍රීය වී ඇත. කිසිත් කර කියා ගත නොහැකිවූ විජේගේ
හිස් මුදුනින් පරාල ඇණයක් බස්සන්නාක් වැනි වේදනාවක් මුළු ශරීරය පුරා ක්ෂණයෙන් ගලා ගියේය. ඒත් සමඟ ගීතානි ගැස්සී ගොස්. ඒත් සමඟ ගීතානි ගැස්සී ගොස්, තාවකාලික පකිස්පෙට්ටි අට්ටාලය සමඟ බිමට පතිත විය.
අපැහැදිලි අඳුරු කාමරය තුළට ආලෝකය සපයා ගැනීමේ කිසිදු විකල්පයක් ඔවුන් සතු වූයේ නම් ගීතානිටත්,විජේටත් කුමක්වේද ? නමුත් ඔබේ හදවතට සමීප වූ…. ගීතානීත් විජේත් මුහුණ දුන් ක්‍ෂණික මොහොත අහම්බයක් නොවන්නට, දෛවය වගබලා ගන්නා ආකාරය මත, විශ්වයේ සියළු ක්‍රියාදාමයන්, සත්‍යතාව පිටු නොපෑමට ක්‍රියාත්මක වෙති. මෙවැනි වූ යථාර්තයකට ඔබට පිටු පෑ හැකිද ? සුන්දර වූ නිමාවක ප්‍රවේශයක් සොයා ගැනීමේ උවමනාව අවශ්‍ය වුවත්, විජේගේ යථාර්ථයට පිටුපෑමට මම ගූණමකු නොවෙමි. එබැවින් මෙසේ මම තවදුරටත් ලියම්. ලෑලි පෙට්ටි පෙරළී ගීතානි සිහිසුන් විය. ඒත් සමඟ මවු කුසට සමාන ඝණ අඳුර ලෑලි කාමරයේ වාතලයට ආශ්වාස ප්‍රාර්ථනාවෙන් සපැමිණි ජීවයා ඔවෑ….ඔවෑ….ඔවෑ…. හඬ විජේ කළුවරේ අතගාමින් දරුවා සොයන්නට විය. ඊට විනාඩියකට පසු අඳුරු රැයේ නිහඩ කතිකාව සුන් කරමින් ගීතානි මර හඬදී යටිගිරියෙන් කෑ ගසා දෙපා විසිකරත්ම විජේගේ පසු පස අකුණු සැරයක් සේ එල්ල වී යමක වැඳි ඔහු බිම පතිත විය. ක්‍ෂණයෙන් ගීතානිගේ හඬ නිහඬ විය. බිම වැතිරී සිටි විජේ යළිත් හිස ඔසවා ගීතානි දෙසට ළඟාවත්ම ලෑලී ගැලවී ගිය කවුළුවෙන් දුටුවේ, විදුලි පන්දම් එළි කීපයකි. තවත් පිරිස් කුණු ගොඩ අසල සිට විදුලි පන්දම් ඒ දෙසට එල්ල කළහ. වේගයෙන් – පැමිණ රථයක් නිවස අසල නතර විය. “ටක්, ටක්” ඕයි දොර අරිනව…. අපි පොලීසියෙන්, දොර අරිනව….. විජේ තවදුරටත් ගොළුවත රැකීමට අදහස් කරගත්තේය. දෙයියනේ, පොලීසිය, කව්ද පොලීසියට කීවේ. අපි කාටවත් වරදක් කරාද ? නෑ,  අපි අපේ පාඩුවේ ජීවත් උනා. පොලිස් භටයකුගේ එක් පා පහරකට ලෑලි දොර ගැලවී වීසි විය. විශාල පිරිසක් කාමරය ආක්‍රමණය කරත්ම, විජේට සිහිපත් වූනේ සදාම්හුසේන්, නැත්නම් බිල්ලාඩන්, එසේත් නැත්නම් ප්‍රභාකරන්, ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පැමිණෙන ඇමරිකන් හමුදාවකි. ඔවුන් අත තිබූ විදුලි පන්දම් එළියෙන් දුටුදේ ඔවුනොවුන්ගේ වචනවලට පරිවර්තනය කළ ආකාරය මා මෙතැන් සිට ඉදිරිපත් කරමි.

සර්…. මේ…. මෙතන බිම ගෑනියෙක්….. මේ… සාජන්…. මේ… දැන් මේ දරුවෙක් හම්බවෙලා තියෙන්නේ… ලේ හැමතැනම මේ… පෙට්ටිය අස්සේ තව ළමයෙක්… පෙකනිවැලත් එක්ක. සාජන්… මේකව දාගන්නව ජීප් එකට. මෙහෙවර…හු… තෝ හිතන්ට ඇති අපේ ඇස්වහල බිස්නස් කරන්ට… මුං දරුවෝ දෙන්නා විකුණන්ට ප්ලෑන් කරලා ඉන්ට ඇති හරි… හරි… පොලීසියේදී බලා ගමු….යමන්…ප….චටාස්…අම්… ප… පටාස්….. ඩිහ්….. රාළහාමි ….. ඌ…….. ගොළුවෙක්…………. උගෙන් විස්තර ගන්ට බැරිවෙයි. සර්…. මේ ගෑනිගේ ඇග හැමතැනම ලේ, ගෑනි මැරිලා වගේ පොලිස් නිලධාරින්ගේ රාජකාරි බැටන් පොලු ප්‍රහාර හමුවේ විජේ නිශ්ශබ්ද වූ අතර, එහි
ප්‍රතිඵලයක් ලෙස හිසමුදුනේ සිට ශරීරය උණුසුම් ලෙයින් තෙත් වන්නට විය. එක් ඇසක් ඉදිමී ඇති බවක්ද ඔහුට දැනිනු දෑත් විලංගු ලා විදුලි පන්දම් ආලෝකයෙන් ඔහු ලෑලි කාමරයෙන්
ඉවතට ගත් ආකාරය මෙහි විස්තර කිරීමට තරම් මගේ හදවත කීකරු නොවේ. ඊට ඔබ මා හට සමාව දෙනු ඇතැයි සිතමි. කෙටි කාලයක් කිසිදු අසල්වැසි සබැදියාවක් නොපැවත්වූ ලෑලි කාමරේ ගොලුවා දැකබලා ගැනීමට රැස්වූ බහුතරය රාත්‍රී නිදි ඇඳුමින්ම පැමිණ සිටි අතර, ඇතැමෙක් විදුලිපන්දම් සහිතවත්, තවත් ගෑහැනු කීපදෙනකු කුඩා දරුවන්ද කර පින්නාගෙන එහි පැමිණ සිටියහ.  සයිරන් නලා හඬ සමඟ ඒ දෙසට වේගයෙන් ලඟාවෙන ඇම්බියුලන්ස් රථය දුටු හැටියේ ඉහත පිරිස කුතුහලයෙන් විශ්මයෙන් ලෑලි කාමරය දෙස ඉස්සී බැලූහ. පොලිස් නිලධාරීන් හා තවත් මිනිසුන් සිවුදෙනෙකු පැමිණ රුධිරයට තෙත්වී නිසල වී සිටි ගීතානිගේ ශරීරය ගිලන්රථ ය තුළට ඇතුලුකරත්ම පිරිසේ සිටි බොහෝදෙනෙකු ගැඹුරු හුස්මක් හෙලු හඬ විජේගේ හචදවතට ද දැනෙන්ට ඇත. යටි කය වස්ත්‍රය ගැලවී තිබු ගීතානිගේ ලේ තැවරුණ නිරුවත දෙස බලා වයස්ගත කාන්තාවක් නිකටට අත තබාගත් ආකාරය දෙස විජේ බලා සිටියේය. රෙදි කැබැල්ලකින් ඔතා කුඩා බිළිඳුන් දෙදෙනා ලෑලි කාමරය තුළින් එලියට ගන්නවාත් සමඟම ගෑනු කීපදෙනෙකුම “අනේ අප්පේ මේ මොන අපරාදයක්ද ? මේ තිරිසනා එල්ලුන් ගස් යවන්ට තියෙන්නේ. අනේ…. දෙයියනේ …. මේ අර බෙලෙක් වැඩපලේ ගොළුවා නේද ? “මූ ළමයි විකුණන තැරව් කාරයෙක්ද කොහෙද ?

හ්ම් – හම්, පස්සට වෙනවා, අපිට රාජකාරි කරංට ඉඩදීලා….හම් නැගපං ජීප් එකට….. හෙණයක් වැනි පා පහරකට අනුගතව විජේ ජීප් රථය තුළට විසිවිය. කොල්ලුපිටියේ සාගර පාරේ…. මුඩුක්කු සෝමේ -ඩග්ලස් – වයලට් – කිණිසි විජේ – පරිප්පු අජිත් මේ ඔක්කොමලා ටිකක් වෙලා බලාගෙන හිටියා කුණු වල ලඟ, ලෑලි කාමරේ ගොළුවා වකුටු වෙලා ජීප් එක ඇතුලේ බිම දාගෙන අරන් ගිය හැටි. “හම් යමල්ලා බං… තව හුස්මක් නිදාගන්ට පුළුවන්. ගොළුවා මාර පොරක් බං….. මූ….පොලිසියට මාට්ටු උන්නැත්තං හොඳ ගේමක් දෙයි තැතිවෙන්ට. කිණිසි විජේ කැලේ….උගේ කරුමේ බං… නැත්තන්….. ඌ ලක්‍ෂ හත අටක බිස්නස් එකක් කර ගන්නවා. පිස්සුද බං පොඩි උන් දෙන්නා මැරිලනේ හිටියේ. අපි හිතුව හරි විජේ සාම්ප්‍රදායික දණ්ඩ නීති සංග්‍රහයෙන් බේරුණා…… ඒකට හේතුවුනේ ගීතානි ලියල තිබ්බ ලියුම, විජේට ඒක අමතක වුණත්, අපේ වෙපාවට පොලිස් රාළහාමි කෙනෙක් ඒක දැකලා එහි සඳහන් විදිහට ….. විජේ නිර්දෝෂි කියලා ඔප්පු වුනා. ගීතානී භික්‍ෂුණියක්ව සිටියදී….. අනෝරා වැස්සක වැවේ නානකොට මනුස්සයෙක් අතින් දූෂණයට ලක්වෙලා, ඒ සිද්ධිය ඇය හිතේ හංගන් ඉඳල තියෙනවා. මාසයකට විතර පස්සේ මේක ලොකු මෑණියන්ට කීවාට පස්සේ…. “කරුණාකරලා ඔය චීවරය ආපසු ගලවලා දාලා මේ බුද්ධි ශාසනයට නිගා කරන්නැතිව පිං සිද්ධවෙයි යන දිහාක යනව” ගීතානි ඊට පස්සේ තමයි…. පැනලා ඇවිත් තියෙන්නේ. අවුරුදු පහක බරපතල වැඩ සහිත සිරදඬුවමකින් පස්සේ විජේ බොරුල්ල බන්ධනාගාරයට ආයුබෝවන් කියලා පිටකොටුව බස්ටෑන්ඩ් එකට ආවා. මුළු බස්ටෑන්ඩ් එකේම මිනිස්සු විජේ
දිහා උවමනාවෙන් බලයි කියා විජේ හිතුවත් එක් මිනිහෙක්වත් උවමනාවෙන් හෝ සැකයෙන් ඔහු දෙස නොබැලුවේය. එසේ නම් මා ගැන සොයා බැලීමට මිනිසුන්ට උවමනාවක් හා කාලයක් නැත. ඔවුන්ට වෙනත් අරමුණු ඇත. එසේ හෙයින් මාද මා ගැනම වෙහෙසිය යුතුය. මෙසේ කල්පනා කරමින් විජේ මැදවච්චිය බස් එකට ගොඩ උනා. බස් රථය ගමන ආරම්භ කළා. දෑස් පියාගත් විජේ රථය තුළ හඬ අවදි වූ රේඩියෝවට සවන් දුන්නා.

“පිංවත්නි, ඒ ආකාරයෙන් අපි ජීවතය ගැන හිතන්නටම අවශ්‍යයි. අග්ගි වෙස්සන, ඇතුන් දමනය කරන්නෙක්, මහත් වූ ටැඹක් පොළොවේ හිටුවා කැලෑ ඇතෙකුගේ බෙල්ල එහි බැඳ උගේ කැලෑ ගති, කැලෑ සිතුවිලි, කැලෑවට ඇති ආශා, කැලෑව නිසා හටගත් සිත් තැවුල් තැවීම් ආදිය සංසිඳුවා ගම පිළිබඳ කැමැත්ත ඇති කිරීම පිණිසත්, මිනිසුසුන් ප්‍රියවූ ගත් පැවතුම් ඇති කිරීමට යම්සේ හික්මවන්නේද ?
එසේම අග්ගි වෙස්සන, ආර්ය්‍ය ශ්‍රාවකයාගේ හිත මේ සතර සතිපට්ඨානයෙහි බැඳි ? වාසයෙහි ගති පැවතුම් හිකිමවා, ගෘහස්ථ පැවතුම් සහ කල්පනා කරදර, ගෘහස්ථ වාසය නිසා හටගන්නා වූ දැවීම් ආදිය සංසුදුවා ප්‍රඥාව ඇති කිරීම පිණිස නිවන් අවබෝධ කරගැනීම පිණිස හික්මවනු ලැබේ, ගුවන්විදුලි යන්ත්‍ර්‍ය ගොළු වුනා. විජේදෑෂ් විවර කළා, සිදුවූයේ කුමක්දැයි බැලුවා. බහින්ට, බහින්ට…….. තේ බොන්ට…… බත් කන්ට වේලාව තියෙනවා ඉක්මන් කරන්න… පැය භාගයක් බස් එක නතර කරනවා. බසය තුළ මඟීන් බසයෙන් බැස හෝටලයට ගමන් කළා, වැසිකිලියට දිවගියා, දුම්වැටි දැල්වුනා, නැවතත් තම දෑස් තරයේ වසා ගැනීමට විජේ උත්සාහ ගත්තා.

අප වටා ක්‍රියාත්මක වන මේ සජීවී විශ්ව යථාර්ථය තේරුම් ගැනීමට මම අවුරුදු තිස් පහක කාලයක් නිකරුනේ නාස්තිකර දැමුවෙමි. පැය වලින් නම් 806,600 තරම් කාලයකි. නමුත් මෙයින් විනාඩි පහක පමණ සුළු වේලාවක්…… මා ,මා වෙනුවෙන් මා ගැන, මගේ හිත ගැන අධ්‍යනය පිණිස ප්‍රයෝජනයට නොගත්තෙමි. මා හට ….මා මුණගැසීමට, ගුරු වූ සුජානි, මා සමඟ සතුටින්, සෙනෙහසින්, දයාවෙන්, කරුණාවෙන් මගේ හිතසුව පිණිස කටයුතු කෙළේ නම්, අහෝ ෟ මටත් හොරා මගේ හදවත නොහොත් සජීවී ආත්මය තුළ අරක්ගෙන සිටි මාන්නක්කාර, වෛරී, අඥාණ යක්‍ෂයා මාව විනාශ නොකරනු ඇත. ජීවිතය යනු, ඇවිදීම, ආහාර ගැනීම, නිදා ගැනීම, කතා කිරීම ආදි ක්‍රියාවන් කීපයකි. නමුත් මා – මා දෙසට එබී බැලිය යුතුය. එවිට ඉහත ක්‍රියාවන් සඳහා අර්ඛයන් හා තර්කයන් එක්වනු ඇත. මා ගැන මා නොදත් කළ – තවත් අයෙක් පිළිබඳ මත පළ කිරීම හා ප්‍රකාශ කිරීම, තීන්දු තීරණ ගැනීඹ මොනතරම් මෝඩකමක්ද ?

Dewaka Pahalawatte
Dewaka Pahalawatte
BACHELOR OF FINE ARTS (BFA), University of visual Art & Performing Arts, Sri Lanka Writer, Director, Cinematographer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles

විජේ, මෙන්න පොත් රාක්කේ මී පැටවු, චික්. මේ, පොතුත් කාලාද කොහෙද ?, පොඩ්ඩක් බලන්ටකෝ. මේ..... අර උඩ තිබ්බ පොත් ටික ගන්න දෙයක් නෑ.... හොඳ වැඩේ....මම්ම බලන්ට එපෑය. “හරි ගෑණි හරි” කෑ නොගහ ඉන්නවකෝ. හරියට පොත් කියවන ගෑනි. දුක ඇති මීයෝ කෑවට. මට පොත්වලින් වැඩක්...මා ගැන මා නොදත් කළ