

මිහිඳු හිමියන් මෙරටට බුදු දහම හදුන්වා දීමෙන් පසුව මෙරට සංස්කෘතිය බුදු සමයට අනුව සකස් විය.රාජ්‍ය පාලනය ද බුදු දහමට අනුව සකස් වූ බව කිව යුතුය.දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිට මෙරට රාජ්‍ය ආගම බවට බුදු දහම පත්විය.රාජ්‍ය පාලන තන්ත්‍රය හා බුදු දහම අතර පැවතියේ දැඩි සබදතාවයකි
ලංකාවේ රජු බුදු දහම වැළඳගැනීමත් සමග පාලන තන්ත්‍රය ද බුදු සමයත් සමග මුසු විය.පාලකයන් රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ලෙස බෞද්ධ විහාරස්ථානයන්ට හා භික්ෂූන්ට රාජ්‍ය අනුග්‍රහය දැක්වීය.දේවනම්පියතිස්ස, දුටුගැමුණු,සදධාතිස්ස,වසභ, වලගම්බා,විජයබාහු, පරාක්‍රමබාහු වැනි පාලකයන් බුදු දහමට දැක්වූ අනුග්‍රහය වංසකථා සාහිත්‍යයේ මෙන් ම සෙල්ලිපි තුළින් ද තහවුරු වේ.රජු සඳහා භාවිත කළ නම් හා විරුදාවලීන් සඳහා ද බුදු දහමේ ආභාසය ලැබී ඇත.දේවානම්පියතිස්ස,බුද්ධදාස,ධාතුසේන,සද්ධාතිස්ස,සිරිසගබෝ ආදී නම් උදාහරණ ලෙස ගත හැකිය.දසරාජ ධර්මය, සතර සංග්‍රහ වස්තුව රාජ්‍ය ප්‍රතිපත්තිය සඳහා භාවිත කළ ආකාරය දපැහැදිලි වේ.බුද්ධදාස රජු දසරාජ ධර්මයෙන් යුක්තව සිව් සඟරාවතින් ජනයාට සංග්‍රහ කළ බව ද දෙවන උපතිස්ස රජු දස පාරමිතා පුරමින් දසරාජධර්මයෙන් හා සතර සංග්‍රහවස්තුවෙන් පාලනය කළ බවටද මහාවංශයේ තොරතුරු හමු වේ.මුගලන් රජුද ,තුන්වන කාශ්‍යප රජු ද සතර සංග්‍රහ වස්තුවෙන් රට පාලනය කළ බව මහාවංශයේ සඳහන් වේ.”දශ රාජ ධර්ම නොකපා ලක්දිව එක්සත් කර රජ කළ සිරිසඟබෝ විජයබාහු…..”යනුවෙන් පොළොන්නරු ටැම් ලිපියේ සඳහන් වේ.
මෙරට පාලකයන් පාලන ප්‍රතිපත්ති සදහා පංචශීල ප්‍රතිපදාව යොදාගෙන ඇති බව වේවැල්කැටිය අභිලේඛනයේ ,බදුලු ටැම් ලිපිය, පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපිය,පඬුවස්නුවර ආසන ලිපිය යන අභිලේඛනයන්හි සඳහන් වේ.වේවැල්කැටිය ශිලා ලේඛනයේ කිසිවකු කොටා මැරුවහොත් ,කඩ පළා සොරකම් කළහොත්,යනුවෙන් සඳහන් වන්නේ පංච ශීලයේ පළමු ශික්ශා පද දෙක වේ.”ගමට පැමිණි රාජකීය නිළධාරීන් , රා-මස් – කිරි -තෙල් නොගැනීම ද,”රජයේ බදු මණින ලහස්සෙන් මනිනු විනා සෙසු ලහස්වලින් නොමැනීමද” යනුවෙන් පංච ශීලයේ සිව්වැනි හා පස්වැනි ශික්ෂා පදයන් වේ.
පඬුවස්නුවර ආසනලිපියේ ගෑනියකදු ” අනගි රුවනකදු ගෙනයන කල කුමක් දැයි නොවිරාන නියාවෙන් නිෂ්කාෂ්ඨක කොට” යනුවෙන් සඳහන් වන්නේ පංචශීලයේ තෙවැනි ශික්ෂාපදය වේ.පස්වන කාෂ්‍යප රජුගේ පුවරු ලිපියේ පංච මහා සාවද්‍යය වරද නොසොයනු මැනවි, යන්නෙන් පැහැදිලි වන්නේ පංචශීල ප්‍රතිපදාව වේ.මේ අනුව මෙරට පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා පංචශීලය යොදාගත් ආකාරය හඳුනාගත හැකිය.
අභය දානය බුදුදහමේ මූලික සංකල්පයක් වන අතර එය මෙරට පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා පංචශීලය යොදාගත් ආකාරය හඳුනාගත හැකිය.
අභය දානය බුදු දහමේ මූලික සංකල්පයක් වන අතර එය මෙරට පාලකයන් රාජ්‍ය පාලන තන්ත්‍රයට ද යොදාගෙන ඇත.ලක්දිව ප්‍රථම වරට ආමණ්ඩගාමිණී රජු ලක්දිව මුලුල්ලේ ම සතුන් මැරීම නීතියෙන් කහනම් කොට ප්‍රාණීන්ට අභය දුන් බව මහාවංශයේ සඳහන් වේ.හතරවන මිහිදු රජුගේ වේවැල්කැටිය ලිපියේ මිනිමැම් වෙනුවෙන් මීගව,එළගව, එලුවන්සොරකම් කර මැරීම වෙනුවෙන් මරණීය දණ්ඩනය නියම කර ඇත.පළමුවන විජයබාහු රජුගේ පනාකඩුව තඹසන්නසේ සඳහන් වන්නේ” එතුමා රූණු දණ්ඩනායක සිත්නරුබිම් බුදල්නාවන්ට හා ඔවුන්ගේ පැවත එන්නන්ට අභය දානය වදාළ” බවයි.ගල්පොත ශිලා ලිපිය, හැටසාගෙයි සෙල්ලිපිය,ආදයේ ද අභය දානය පළිබදව ලියවී ඇත.
වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරය නිසාවෙන අවෛරය නිසාවෙන් වෛරය සන්සිදෙන බවත් බුදු දහමේ ඉගැන්වේ.මේ සංකල්පය රාජ්‍ය පාලනයට එක්කරගත් බව සංගමු ශිලා ලිපියේ සඳහන් වේ.පළමුවන පරාක්‍රමබාහු රජු හා පළමුවන ගජබාහු රජු අතර මෙම සාම ගිවිසුම ඇති විය.”අප කළ මේ පොරොන්දුව දිවි කෙළවර දක්වා සටන් නොකරමු අප දෙදෙනාගෙන් පළමුව මරුණකුගේ (රාජ්‍ය)නොමැරී ජීවත් වන්නාට අයතිය…..”ආදී වශයෙන් ගිවසුමේ අන්තර්ගත වේ.
රටේ පාලන නීතීන් සැකසීමේ දී ද බුදු දහමේ ආභාසය ලබා ඇත.බදුලු ටැම් ලිපියට අනුව පොහොය දිනය තුළ වෙළඳාම් තහනම් වන අතර වෙළදාම් කළහොත් දඩ නියම කර ඇත.බුදු දහම ලැබීමත් සමග රාජ්‍ය ආගම බඅදු දහම වීමෙන් පසුව ලක්දිව පාලකයා අනිවාර්යයයෙන් බෞද්ධයකු විය යුතුය.”බුදු සසුනට හිමි ලක්දිවට අබෞද්ධ චෝළ කේරළාදී රජ දරුවෝ ද නොතැකිය යුත්තාහ.”යනුවෙන් සාහසමල්ල අභිලේඛනයේ සදහන් වේ.”ලක්දිව නොබොහොසත්හු නොරජ්ජවන්නාහු ය” යනුවෙන් සදහන් වේ,ඵයින් පැහැදිලි වන්නේ මෙරට පාලකයා බෝධිසත්ව ගුණයෙන් යුක්ත විය යුතුය යන්නයි.සිරිසගබෝ, පළමුවැනි අග්බෝ,පළමුවැනි සේන,බුද්ධදාස, දෙවැන් උපතිස්ස ආදී රජවරු බෝසත් ගුණයෙන් යුක්තව පාලනය කළ බව මහාවංශයේ සඳහන් වේ.
බුදු දහම මෙරටට ලැබීමෙන් පසුව මෙරට රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වාම බුදු දහමට අනුව තම ජීවිතය ගොඩනගාගනු ලැබීය.රාජ්‍ය පාලන ප්‍රතිපත්තීන් ද ගොඩ නගා ගත්තේ බුදු දහම හා බද්ධවය.
ආශ්‍රිත ග්‍රන්ථ
මහාවංශය(සිංහල),(2003),බෞද්ධ සංස්කෘතික මධ්‍යසථානය නැදිමාල
අමරවංශ හිමි.කොත්මලේ,(1959)ලක්දිව සෙල්ලිපි, ඇස් ගාඩගේ සහ සහෝදරයෝ,කොළඹ 10
විමලවංශ හිමි.බැද්දේගම, (1959) සෙල්ලිපි සමාජය,අනුල මුද්‍රණාලය.