25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

තරංගයක් ලෙසින් ආ අශෝකා

Related Articles

සංදේශය තුඩින් රැගෙන තිසරාණිය පියැඹූ මඟ දිගේ ඇදෙන්නට සිතා සිතියම සෝදිසි කෙරූවෙමි. සියනෑ කෝරළේ පංච ග්‍රාම පසුකර ඇති බව පෙනු⁣ණේ එවිට ය. නීල හරිත පාරිසරික ස්වාභාවික කැන්වසයක සිත්තම් වූ ගම්පහ සිතියමේ කිරිකිත්ත තිත් ලකුණ ඈ උපන් භූමිය යි. රැජිණගේ කිරීටයට යටවුණු ලංකාවක, ජනරජ ව්‍යවස්ථාව (නීති විශාරද ට්‍රොස්කිවාදියෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා “එක භාෂාවක් නම් රටවල් දෙකයි, භාෂා දෙකක් නම් එක රටයි” කියා එහි කණපිට පෙරලූ නාමික ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය.) සම්මත දිනයට පෙර දින එනම් එක්දහස් නවසිය හැත්තෑ දෙකේ මැයි විසිඑක්වෙනිදා උපත ලැබුවා ය ඇය. එවන් ඇය නමින් බාලසූරිය ආරච්චිගේ අශෝකා ප්‍රියන්ගනී ය. ප්‍රාථමිකය කිරිකිත්ත කනිටු විද්‍යාලයෙනුත් ද්වීතියිකය හෙනේගම මැදි විද්‍යාලයෙනුත් සපුරාගත් ඇගේ අධ්‍යයන දිගුවේ කූටප්‍රාප්තිය කොළඹ විශ්ව විද්‍යාලයෙනි. ඒ ඇකඩමිකාවිය අශෝකා බාලසූරිය යි. ඇගේ සිතිවිලි මෝදු වී විකසිත වූ සෞන්දර්ය භූ අඩවි දෙකකි හේනේගම මධ්‍ය මහ විද්‍යාලය සහ කොළඹ හතේ, බෞද්ධාලෝක මාවතේ සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශියයි.

පුරවැසියන්ට සාරවත් සන්නිවේදනයක උපයෝගීතාව අවබෝධ කරගත්තී අශෝකා බාලසූරිය නම් වූ ඇය ගුවන් විදුලියේ ශබ්ද තරංගවලින් නින්නාද කිරීමට වීරිය කළේ එවැනි සාරගර්භ සංග්‍රහයකට ය. එවන් වූ ඇය එදා ගුවන් විදුලිය මෙදා දකින්නේ කොහොමද කියා තීරුකරු විමසූ විට, “ගුවන් විදුලියට අවුරුදු 95ක් සපිරුණාට අද අපි ඉන්නේ කොතැනද? යනුවෙන් පෙරළා ප්‍රශ්නාර්ථයකින් ඇගේ පිළිතුරට ප්‍රවේශ වූවා ය. නැවතත් එහි දිගුවට එළැඹි අශෝකා ” එදා වයර්ලස් රේඩියෝව මඟින් රටට ම ඇහෙන්න කතා කරන වි⁣ට රටේ පුරවැසියෝ ඊට කන් දුන්නා. ගුවන් විදුලිය කියන දේ දේව භාෂිතයක් සේ සැලකුවා. එදා සියලු පාර්ශ්වයන්ගේ ජන මන කරළිය ගුවන් විදුලිය ම වුණා.” අශෝකාගේ සිතිවිලි තරංග, පෙන බුබුළු සරැළි ලෙස ගලාගෙන ආවා ය.

” මූලික මානව අවශ්‍යතා, සුරක්ෂාව, බුද්ධියමය හා භාවමය උත්තේජනය යනා දී එකී නොකී ඉටු නොවූ අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරගලයකයි පුරවැසියා නිරතවෙලා ඉන්නේ. මෙවැනි පුරවැසියන් හුදෙක් සිය වෙළඳ පොළ ශ්‍රාවකයන් හෙවත් අනුගාමිකයන් කරලා. ඒක හරියට ප්‍රයිවට් බසයක ඩැයිවර-කොන්දොස්තර හවුල විසින් බස් මඟීන්ගේ කර්ණශංඛ පතුලට ම කිඳා බස්සන ජුගුප්සාජනක කසිකබල් සිංදු පඩංගු වගේ. වෙළඳ පොළ ලාභය ම පමණක් අරමුණු කරගත් වාණිජ FM චැනලයන් නොයෙකුත් සංකීර්ණ සමාජ ගැටලු නිර්මාණය කරනවා හැරෙන්නට සාධනීය යමක් ඉතිරි කරයිද යන්න උභතෝකෝටිකයකි.”


මේ අයුරින් රාජ්‍ය මාධ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය හෝ කියා වෙනසක් නොමැත. රේටින්ග්ස් වැඩිකර ගැනීමේ කුප්ප ජඩ මාධ්‍ය භාවිතාව අසූචි වලටද අයිසින් දමන්නකි. බලයේ හිටපු හිටින වැඩ බැරි ආණ්ඩුවක හඬ වැඩි ශබ්ද තරංග විහිදුවන හොරණෑ, අඬබෙර හඬවල් නොවීම සඳහා අශෝකා බාලසූරිය වැන්නියන් සිටින නිර්මාණාත්මක සාමූහිකයක නිර්මාණාත්මක ශ්‍රමය බෙහෙවින් ඉවහල් වේ. අශෝකා උපුටා දැක්වූ ‘මාක් රොබෝයි’ (Marc Roboy) හඳුනාගත් ආකාරයට පුරවැසියන් පාදක කරගත් ගුවන් විදුලියක අනිවාර්ය ලක්ෂණය විය යුත්තේ එය දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමයි. එනම් ගුවන් විදුලියේ අගනාම මානව සම්පත ශ්‍රාවකයා යි. එහිම අනෙක් අන්තය වන වෙළෙඳ සේවා ගුවන් විදුලිය විසින් ශ්‍රාවකයාව හුදෙක් වෙළඳ පොළ බඩු භාණ්ඩ කරවන අතර පොදු සේවා ගුවන් විදුලියේ දී ශ්‍රාවකයා සියලු අයිතිවාසිකම් සහිත පුරවැසියා ලෙස නැඟී සිටී.
පුද්ගලික විශ්‍රාමික මාධ්‍ය මුදලාලිලා සේ ම රාජ්‍ය මාධ්‍යාතනවලද  ක්‍රියාත්මක නොවන්නේ පොහොසත් ගුණාත්මක මාධ්‍ය ක්‍රියාකාරී සැලසුම් ය. එවන් පොහොසත් ගුණාත්මක මාධ්‍ය ක්‍රියාන්විතයකට අවැසි තවත් නමකි අශෝකා බාලසූරිය.


ගුවන් විදුලි මාධ්‍ය පිටියේ නව අත්හදා බැලීම් සිදුකළ තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර, සරත් කැල්ලපත වැනි සුප්‍රබුද්ධයෝ ගුවන් විදුලි මාධ්‍යයේ තැබූ රමණීය සලකුණු ශ්‍රාවකයාගේ හෙවත් පොදු පුරවැසියාගේ බුද්ධිමය නිම්වළලු
පුළුල් කළෝය. එවන් සුප්‍රබුද්ධයන්ගේ නිවැරැදි මඟපෙන්වීම ඔස්සේ අශෝකා සිය ගුවන් විදුලි සන්නිවේදනයේ ඥාන ගවේෂණය කළාය.

අශෝකාගේ නිර්මාණවේෂයෙන් විචිත්‍රවත් කළ නිර්මාණ සමුච්චයන් අතර විජිත් සේනාරත්න සමග ‘විශ්ව මධුර’ සංග්‍රහයත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය අජිත් බාලසූරිය සමග ‘ලෝ අතැඹුල’ නම් වූ ජගත් තොරතුරු පිළිබඳව විශ්ලේෂණයත් සුවහසක් සවන්පත් සනසාලන ගුවන් සරැළි තරංගයෝ ය. අශෝකාගේ ම තවත් අපූරු ළමා වැඩසටහන් පන්තියකි අධ්‍යාපන සේවයේ ළමා රංග පීඨයට ‘හරි පුදුම ඉස්කෝලෙ’ හා ‘විදුල’ ආශ්චර්යමත් ගුවන් තරංග කාල පරාසය.

1997 දී කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය, සීගිරිය යනාදී පරිශ්‍රයන්හි ක්ෂේත්‍රගත සතතාභ්‍යාසයෙන් ප්‍රගුණ කළ සමත්කම් මත ගුවන් විදුලියට සම්බන්ධ වූ අශෝකා බාලසූරිය, තිලක් ජයරත්නයන්ගේ මඟ පෙන්වීම ඔස්සේ ගුවන් විදුලි මාධ්‍ය කලාවේ පොහොසත් දැනුම් සම්භාරය පුළුල් වපසරියක ව්‍යාප්ත කරගන්නවා. 2015දී සිංහල ස්වදේශීය සේවයේ සහකාර අධ්‍යක්ෂිකාවක වශයෙන් උසස්වීම් ලබන අශෝකා බාලසූරිය 2019 ජූලි මාසයේ දී නේපාලයේ කත්මන්දුවල පැවති සංක්‍රමණික සේවකයන් පිළිබඳ ගෝලීය සංයුක්තය නියෝජනය කළා ය.

Sarathchandra Walpola
Sarathchandra Walpola
Writer, Director, Journalist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles