

උසස් අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයෙන් පසු සිසුන්ට ලබා ගත හැකි අධ්‍යාපනයයි. එය විශ්ව විද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වලින් ලබාදෙන අතර සාමාන්‍යයෙන් උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන් එයට ඇතුළත් වේ. උසස් අධ්‍යාපනය, සිසුන්ට තමන් කැමති විෂය ධාරාවක් යටතේ හැදෑරීමට ඉඩ සලසයි. එමඟින් ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් සහ ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කළ හැකිය. ඕනෑම රටක අධ්‍යාපන ක්‍රමය මානව අභිවෘධිය උදෙසා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එය එසේම වන බව පැහැදිලි කරුණකි.
උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ප්‍රථම කුමක් කළ යුතුද?
උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට ප්‍රථම පාසල් අධ්‍යාපනයේ අවසන් අදියර එනම් ද්විතීයික අධ්‍යාපන අදියර දක්වා අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කිරීමට අවශ්‍ය වේ. පාසල් අධ්‍යාපන ක්‍රමයේ මෙම අදියර සම්පූර්ණ කිරීම වැදගත් වන්නේ එය විවිධ ආකාරවලින් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට දායක වන බැවිනි. මෙම ද්විතීයික අධ්‍යාපනය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස නැවතත් කොටස් දෙකකට බෙදනු ලබයි. කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපන විෂය මාලාවට විෂයන් දොළහක් ඇතුළත් වන අතර එය අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් අවසන් වේ. උසස් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට නම් ශිෂ්‍යයෙකු අ.පො.ස (සා.පෙළ) විභාගය සමත් විය යුතුය. එය ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය සඳහා ද පූර්ව අවශ්‍යතාවයකි.
ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය යනු 12 සිට 13 දක්වා ශ්‍රේණිවලදී සිසුන් ලබා ගන්නා අධ්‍යාපනයයි. තම අ.පො.ස (සා.පෙළ) විභාග ප්‍රතිඵල අනුව ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය ලබා ගැනීමට, සිසුන් හට, තමන් කැමති පරිදි තෝරා ගත හැකි ලෙස විෂය ධාරාවන් කිහිපයක් එහි අන්තර්ගත වේ. ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය අ.පො.ස (උ.පෙළ) විභාගයෙන් අවසන් වන අතර මෙම විභාගයෙන් ලබා ගන්නා Z අගය ශිෂ්‍යයාගේ උසස් අධ්‍යාපන ප්‍රවේශය, ආයතනය සහ පාඨමාලාව තීරණය කරනු ලබයි. ඒ අනුව අ.පො.ස උ. පෙළ (උසස් පෙළ) යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන විභාගයයි.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය
ශ්‍රී ලංකාවේ, පාසල් අධ්‍යාපනය මෙන් උසස් අධ්‍යාපනය අනිවාර්ය අංගයක් නොවේ. එලෙස උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍ය නොවන බැවින් සිසුන් හට තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට පෞද්ගලික, අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීමට නිදහස පවතී. රාජ්‍ය සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ අධ්‍යයන කටයුතු සඳහා මුදලක් වැය වීම සහ මුදලක් වැය නොවීමයි. රාජ්‍ය ආයතන නොමිලේ අධ්‍යාපනය ලබා දෙන අතර රාජ්‍ය නොවන ආයතන අධ්‍යාපනය ලබා දෙන්නේ උපකාරක ගාස්තු ගෙවිය හැකි අයට පමණි. කලින් සඳහන් කළ පරිදි, උසස් අධ්‍යාපන පාඨමාලාවන් සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා රජය විසින් අ.පො.ස (උ.පෙළ) විභාගය පවත්වනු ලබයි. මෙම විභාගයෙන් උසස් අධ්‍යාපන පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම් සීමිත බැවින් ද සිසුන්ට උත්සාහ කළ හැක්කේ තුන් වතාවක් පමණක් බැවින් ද අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් වීම සඳහා සිසුන්ගේ නිපුණතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේදී අ.පො.ස (උ.පෙළ) විභාගයේදී ලබාගත් Z අගය සැලකිල්ලට ගනු ලැබේ. විශ්වවිද්‍යාල හැරුණු විට ඇතැම් වෘත්තීය ආයතනද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දෙයි.
විශ්වවිද්‍යාල, ගුරු පුහුණු පාසල්, හෙද පුහුණු පාසල්, තාක්ෂණ ආයතන, තාක්ෂණික පුහුණු ආයතන යනාදී ඕනෑම ආයතනයක් උසස් අධ්‍යාපන ආයතනයක් විය හැකිය. එමෙන්ම, උසස් ජාතික ඩිප්ලෝමා ආයතනය (HND) අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් සිසුන්ට උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ලබා ගැනීමට ද උපකාර කරයි. එහි, ඉංජිනේරු, කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව ආදී විවිධ ක්ෂේත්‍ර අඩංගු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම පාඨමාලා අධ්‍යයනයන්ගෙන් එකක් හෝ සාර්ථකව නිම කිරීමෙන් පසුව සිසුන්ට වලංගු උපාධියක්, ඩිප්ලෝමාවක් හෝ උසස් අධ්‍යාපන සහතිකයක් ලබා ගැනීමට හැකියාව පවතී.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ග
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යටතේ විවිධ වර්ගයේ උසස් අධ්‍යාපනය ආයතන පවතී. ඒවා පහත පරිදි දැක්විය හැකිය.
- රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය
- පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය
- වෘත්තීය පුහුණු අධිකාරිය (VTA)
- උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE)
- ගුරු අභ්‍යාස විද්‍යාල
- හෙද පුහුණු පාසල් (NTS)
මෙම උසස් අධ්‍යාපන ආයතන කළමනාකරණය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC), ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසිනි. තවද, ඔවුන් මෙම උසස් අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කිරීම්, කළමනාකරණය, විෂයමාලා සහ සම්පත් මෙහෙය වීමද සිදු කරනු ලබයි.
- රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සෘජු පරිපාලනය යටතේ දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් පවතී. මෙම රාජ්‍ය විශ්වවිද්‍යාල මඟින් සාමාන්‍ය උපාධි, විශේෂ උපාධි, සිව් අවුරුදු උපාධි සහ ගෞරව උපාධි පිරිනමනු ලබයි. සාමාන්‍ය උපාධි සාමාන්‍යයෙන් වසර තුනක් දිගු වන අතර විශේෂ සහ සිව් අවුරුදු උපාධි වසර හතරක් දිගු වේ. කෙසේ නමුත්, විශේෂ උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා, ශිෂ්‍යයෙකු ස්වාධීන පර්යේෂණ අධ්‍යයනයක් සිදු කල යුතුය. එලෙසම විශ්ව විද්‍යාල තුලදී, අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් සිසුන්ට මූල්‍යමය වශයෙන් ආධාර කිරීම සඳහා රජය ශිෂ්‍යාධාර සහ මහපොළ ශිෂ්‍යත්ව ලබාදීම සිදු කරයි.
- පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය
විවිධ රටවලින් උපාධි පිරිනමන විවිධ පෞද්ගලික විශ්වවිද්‍යාල බොහොමයකද, අද වනවිට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන කටයුතු සිදුවෙමින් පවතී. සමහර පෞද්ගලික විශ්වවිද්‍යාල, සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා සුදුසුකම් ලෙස අ.පො.ස (උ/පෙළ) විභාග ප්‍රතිඵල සැලකිල්ලට ගනු ලබයි. එනම්, විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සිසුන්ට අවම වශයෙන් ‘එස්’ සාමාර්ථ තුනක්වත් තිබිය යුතුය. මෙම විශ්වවිද්‍යාල සඳහා විදේශයන්හි පිහිටි ඒවායේ මව් විශ්වවිද්‍යාල වලින් විෂය නිර්දේශයන් ලබාදෙනු ලබයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වලදී සිසුන් හට තමන්ට ලැබෙන සෑම පහසුකමක් සහ ප්‍රතිලාභයක් සඳහාම මුදල් ගෙවිය යුතු නිසා දැරිය හැකි මිල ගණන් මත පාඨමාලා සහ විශ්වවිද්‍යාල තෝරා ගැනීම සිදුකල යුතුය. උදාහරණයක් ලෙස, පෞද්ගලික විශ්වවිද්‍යාල තුළදී සිසුන් හට නවාතැන්, Wi-Fi සහ පුස්තකාල සේවා සඳහා වෙන වෙනම මුදල් ගෙවීමට සිදු වේ. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලයේ වර්ෂාර්ධය සඳහා ගාස්තු සම්පූර්ණයෙන් හෝ වාරික වශයෙන් ගෙවීමට හැකියාව පවතී. තවද, පෞද්ගලික විශ්වවිද්‍යාල, රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වඩා ඉතා අඩු කාලයකින් උපාධියක් සම්පූර්ණ කිරීම සිදු කරනු ලබයි.
- වෘත්තීය පුහුණු අධිකාරිය (VTA)
වෘත්තීය පුහුණු අධිකාරිය ශ්‍රී ලංකාවේ තවත් එක් උසස් අධ්‍යාපන ආයතනයකි. දරිද්‍රතාවය, අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) වැනි ජාතික විභාගවලින් අසමත් වීම සහ තවත් විවිධ විවිධ සාධක මුල්කර ගනිමින් පාසල් හැර යන තරුණ තරුණියන් හට රැකියා කුසලතා ලබාදීම සඳහා මධ්‍යම රජය මඟින් මෙය ආරම්භ කරන ලදී. මෙහි බලධාරීන්ගේ පරිපාලන සහ කළමනාකරණ බලතල මෙන්ම විභාග රෙගුලාසි ද දරනු ලබන්නේ වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසිනි. ඇත්ත වශයෙන්ම, රටේ දුෂ්කරම සහ දුප්පත් ප්‍රදේශවල සිසුන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙන බැවින් මෙම ආයතන අද වනවිට ජනප්‍රිය වෙමින් පවතී. තවද, ඔවුන් සිසුන්ට නව අවස්ථාද ලබා දෙයි.
අනෙකුත් ආයතන මෙන්, වෘත්තීය පුහුණු ආයතනය ඉංජිනේරු, වාණිජ සහ ව්‍යාපාර අධ්‍යයනය, කෘෂිකර්මාන්තය වැනි විවිධ ක්ෂේත්‍රවල විවිධ පාඨමාලා පිරිනමයි. එම නිසා සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් ගැලපෙන පාඨමාලාවක් තෝරා ගත හැකිය. තාක්ෂණික හා වෘත්තීය ක්ෂේත්‍රවල උපාධිධාරීන් සඳහා ඇති වැඩි ඉල්ලුම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා රජය මැණික් හා ස්වර්ණාභරණ, ඉදිකිරීම්, මුද්‍රණ, රෙදිපිළි සහ ඇඟලුම්, හෝටල් සහ සංචාරක යන ක්ෂේත්‍ර පහක් සඳහා සැලසුම් සංවර්ධනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවන ලදී. තවද, පෞද්ගලික අංශයේ කර්මාන්ත ආයතන 33 ක නිපුණතා පුහුණුව ප්‍රවර්ධනය කිරීම සඳහාද රජයේ මුදල් වෙන් කර ඇත.
- උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE)
උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයද සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන, ශ්‍රී ලංකාවේ ඇති තවත් එක් අධ්‍යාපන ආයතනයකි. මෙම ආයතනයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පළමු පියවර ලෙස, අ.පො.ස (උ.පෙළ) විභාගයේදී ලබාගත් Z අගය සැලකිල්ලට ගනු ලැබේ. එමඟින් තෝරාගත් සිසුන්, දෙවන පියවර ලෙස සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකට භාජනය කරනු ලබයි. මෙම උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය සහ නේවාසිකාගාර පහසුකම් පිරිනමන අතර රාජ්‍ය විශ්වවිද්‍යාල වල මෙන්, ඔවුන් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන්ද ඉදිරිපත් කරනු ලබයි. උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල අතර ඇති මූලික වෙනස නම් විශ්වවිද්‍යාල උපාධි පිරිනමන අතර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ඩිප්ලෝමා ප්‍රදානය කරනු ලබයි.
- ගුරු අභ්‍යාස විද්‍යාල
ගුරු අභ්‍යාස විද්‍යාලයකට ඇතුළත් වීමෙන් සිසුන් හට රජයේ පාසල් ගුරුවරයකු වීමේ භාග්‍ය ලැබේ. මෙම ගුරු අභ්‍යාස විද්‍යාල දේශීය භාෂාවෙන් ‘විද්‍යා පීඨ’ ලෙස හඳුන්වනු ලබන අතර මේ මඟින් ගුරු අධ්‍යාපනය පිළිබඳ තෙවසරක පූර්ව සේවා වෘත්තීය පාඨමාලාවක්, පාඨමාලාව අවසන් වූ පසු ප්‍රදානය කරනු ලැබේ. ගුරු අභ්‍යාස විද්‍යාලයකට ඇතුළත් වීම සඳහා සිසුන්ට අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් එකවර සාමාර්ථ තුනක් මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විෂයයන් සඳහා සම්මාන සාමාර්ථද තිබිය යුතුය.
- හෙද පුහුණු පාසල් (NTS)
මධ්‍යම රජය විසින් පවත්වාගෙන යනු ලබන හෙද පුහුණු පාසල් මඟින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රම බලකාය සඳහා හෙදියන් පුහුණු කිරීම සිදු කරනු ලබයි. ශිෂ්‍ය හෙදියන් හට ඔවුන් පුහුණුවීම්වල යෙදී සිටියදීම වැටුප් ගෙවීම ආරම්භ කරනු ලබයි. මෙම එක් විද්‍යාලයකට අයදුම් කිරීම සඳහා ශිෂ්‍යයෙකු අ.පො.ස (උ/පෙළ) විභාගයේ සියලුම විෂයයන්, භෞතික විද්‍යාව හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් සමත් විය යුතුය. මෙම හෙද පුහුණු පාසල් වලද රජය නොමිලේ අධ්‍යාපනය ලබා දෙන අතර අවසානයේදී වසර තුනක හෙද ඩිප්ලෝමාවක් පිරිනමනු ලබයි. මීට අමතරව දිවයින පුරා හෙද පුහුණු පාසල් දහයකට වඩා පිහිටුවා ඇත. ඒවායෙන් සමහරක් ශික්ෂණ රෝහල් ලෙස හැඳින්වෙන රජයේ රෝහල්වලට අනුබද්ධ පුහුණු පාසල් වේ. වසර තුනක පාඨමාලාවේදී ශිෂ්‍ය හෙදියන් හට න්‍යායික මෙන්ම සායනික දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා වේ.
කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුගේ අනාගත වෘත්තිය තීරණය වන්නේ ශිෂ්‍යයයා ලබා ඇති උසස් අධ්‍යාපන සුදුසුකම් අනුව ය. එම නිසා සිසුන් තම අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා උසස් පාඨමාලා සහ ආයතන තෝරා ගැනීමේදී ඉතා කල්පනාකාරී විය යුතුය. විවිධ ආයතනවලට එකම පාඨමාලාවක් ලබා දීමට ඇති හැකියාව ඔවුන්ගේ සම්පත් හා පහසුකම් අනුව වෙනස් වේ. තවද, විශේෂිත ක්ෂේත්‍රයන්හි විශේෂිත වූ ආයතන ඇති අතර, සමහර ඒවා පාඨමාලාව අවසානයේ සීමාවාසික වැඩසටහන් සඳහා සිසුන් යොමු කරයි. එපමණක් නොව, උසස් අධ්‍යාපනය සඳහා ආයතනයක් සොයා බැලීමේදී, කීර්තිය සහ දැරිය හැකි මිල ,සලකා බැලිය යුතු වැදගත් සාධක වේ. කෙසේ වුවද ලංකාවේ විශ්වවිද්‍යාල අයදුම්කරුවන්ට වර්ථමානය වන විට ප්‍රමාණවත් තරම් සුදුසුකම් ලත් ස්ථාන පිළිබඳ හිඟයක් මතුවී ඇත. අද ශ්‍රී ලංකාවේ ඇති වඩාත්ම දැවෙන ප්‍රශ්නය වන්නේ එහි උගත් ජනතාවට අර්ථවත් රැකියාවක් සොයා දීමයි. උගත් මිනිසුන් හට රැකියාවක් සොයා ගැනීම සැලකීමේදී, නූගත් මිනිසුන්ට තරම්වත් වාසනාවක් ඔවුන්ට අද නැත.
References:-