26 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

ලොව දකින්නට තිබුනි දෑසක්

Related Articles

     ආදරය කියන්නේ කවරාකාර හැගීමක්ද....එහි දිග පලල හැඩරුව කෙබදුදැයි කියන්නට හැකි අයකු මිහිපිට නෑ...සිතක ආදරය මෝදුවන්නේ..එය ජීවිතයටම බද්ද වන්නේ කෙසේදැයි කාහටවත් කියන්නට බෑ...ජීවිතයට ලංවන සෑම සියලු දෙනාටම හිත පතුලටම කිදාබැසිය හැකිද යන පැනය ඔබ ඔබෙන්ම ඇසුවොත් ඔබ සැමගෙන්ම ලැබෙන්නේ පොදු පිලිතුරක්...ඇස ගැටුන රුව සිත සලිත කලත් සිත හැදිනූ කෙනා තරම් සිත සසල කරවන්නට ඒ රුවට බැහැ.. එලෙසින් “ සැම අතින්ම ගැලපෙන දෙදෙනෙකු..” ජීවිතයේ දිනක හමු වුවහොත් ඒ ජීවිත දෙක ගොඩක් ලස්සන වෙනවා...ඒ වගේමයි දිනෙක ඒ දෙදෙනාට සමු ගන්නට වුවහොත් ඒ සමු ගැන්ම ඒ සිත්වල ඇති කරන ප්‍රකම්පනයත් ඒ ජීවිත පුරාවට රැදෙනවා.....ඒ අඩුව කිසිදා මැකිය නොහැකි පලුද්දක් සේ ජීවිතය තුල පවතිනවාමයි..එවන් සමුගැන්මක් ගැන කියන ගීතයක් තමයි අද දවසේ මම ඔබට ගෙන එන්නේ.....චන්ද්‍රලේඛා පෙරේරා ගයන මෙම ගීතය රචනා කලේ දයා ද අල්විස්..ගීතය සංගීතවත් කලේ සෝමපාල රත්නායක..

          ලොව දකින්නට තිබුනි දෑසක් 
          ලොව දිනන්නට තිබුනි දෑතක් 
          අහිමි වෙයි ඒ දෑස් අද දින
          අහිමි වෙයි ඒ දෑත් අද දින

          ගීත රචකයා ගීතයට ප්‍රවිශ්ඨ වන්නේ ජීවිතයට අත්වැලක් වූ ශක්තියක් වූ ඔබගේ වෙන්වීම ජීවිතයම අහිමිව යාමක් මිස ප්‍රේම වියෝවක් පමනක්ම නොවන්නේමැයි කියමිනුයි..ලෝකය දිහා අලුතින් බලන්නට පාර කියූ දෑස.. ජීවිතය අලුතින් ගොඩ  නගන්නට ශක්තියක් වූ දෑත අහිමිව යන මොහොත එලැඹී ඇති බවක් ගීතයෙන් පැවසෙන්නේ මේ ප්‍රේම බැදීම ජීවිතයට කෙතරම් ප්‍රබල බන්ධනයක් විනිදැයි පෙන්වන්නටයි....සැබැවින්ම බැදීමක අරුමය දැනේනේ එය බිදීගිය පසුයි.. බන්ධනය ප්‍රබල විනි නම් බිදියාමේ පලුද්දද පිරියම් කරනු නොහැක්කකි ..ඒ සත්‍යය ගීයේ පළමු පදපෙල තුලින්ම පැහැදිලි වනවා...

          ඉතිරි වී ඇත තවත් මොහොතක් 
          මිහිරි ස්වප්නය විදින මොහොතක්

          ආදරයෙන් බැදුන ඔවුන් හුදකලා විරාමයන්හි හමුවන්නට ඇති.. දස දහසක් වදන් දොඩන්නට ඇති.. ඒ හෝරාව ගෙවී යද්දි යලි හමුවන පැතුමින් සමුගන්නට ඇති...නිදි වර්ජිත යහන තුල දාහක් හීන දකින්නටද ඇති...එහෙත් දැන් ඒ සියල්ල අවසන්...ආදරයෙන් හමු වූ දෙදෙනාගේ අද හමුව සදාකාලිකවම සමුගැන්මක් සදහා සිදු වූ හමුවක්...තත්පර ලෙස කාලය ගෙවී යන්නේ ඒ සදාකාලික සමුගැන්මේ මොහාත උදා කරන්නටයි..ගෙවීයන තත්පරය බදා අල්ලා රදවා ගන්නට දෙදෙනාටම අවශ්‍යයයි..එය කල නොහැක්කක් බව දැන දැන ඔවුන් සුන්දර සිහිනයක් තුල අවසන් තත්පර කිහිපය ගෙවා දමනවා..බැදීමක් බිද දැමීම කෙතෙක් අසිරුද යන්න ගීත රචිකාවිය මෙම පද පෙලින් කදිමට මතුකර ඇති අතර සංගීතය සහ ගායිකාවගේ ශෝකී හඩ එය වඩාත් තීව්‍ර කර තිබෙනවා....

        මෙතැන් සිට මා ඔබට හිමි නැත.
        මෙතැන් සිට ඔබ මටද හිමි නැත

        පෙම්වතුන් දෙදෙනෙකුගේ සමුගැන්ම ඔවුන් කෙරෙහි ඔවුන් තුල පැවති අයිතිය බිද දැමීමක්..මින් මතු ඔවුන් ආදරවන්තයින් සේ කිසිදිනක හමු නොවනු ඇති....යම් හෙයකින් අහම්බෙන් හෝ හමුවුවහොත් ඒ හිතට බරක් මිස සැනසීමක් එක් කරන හමුවීමක් නොවන්නේය... මන්ද යත් තව දුරටත් ඔවුන් ආදරවන්නයින් නොවන නිසායි...ඔවුන් ඔවුන්ගේ නොවන නිසායි.....

        මේ පෙම්වතුන්ගේ සමු ගැන්මට හේතු කාරනා ගීතයට අඩංගු වී නැහැ.. සමුගැන්මේ දුක දෙදෙනාට පොදු බවක් හැග වෙනවා. ඒත් ඒ සිත්තුල වූ සිතිවිලි කවරාකාරයේදැයි අනෙකාට වැටහෙන්නේ නෑ... 

        සමුගැනීම් සටහන කදුලින් ලියූ සටහනක් වුවත් සමු ගැනීමෙන් පසු තනි තනිව යන්නට වන ගමන කෙබදුදැයි දෙදෙනාම දන්නේ නෑ...හෙටින් පසුව උදාවන ජීවිතයට කවරාකාර අයකු එක්වේද යන්න අවිනිශ්චිතයි..එහෙත් එක් දෙයක් පමනක් කිව හැකියි....මගේ ජීවිතයට එන්නේ ඔබ වැන්නෙක් නොවේ.. ඔබේ ජීවිතයට එන්නේත් මා වැනි අයකු නොවේ......

        නොදන්නෙමු අපි අපේ හිත් ගැන
        එහෙත් කදුලින් ලියමි අද දින...
        ඔබට මා මෙන් මටද ඔබ මෙන් 
        වෙනත් කිසිවකු හමුනොවන බව

        ඔබට මගේත් මට ඔබේත් සිත් දකින්නට නොහැකි වුවද කදුලින් ලියා තබන්නේ අපට කිසිදා යලි අප වැනි දෙදෙනකු හමු නොවන බවමයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles