31 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

Related Articles


සංචාරය කියන දෙය අපි කවුරුත් දන්න දෙයකි. ඒ වගේම අපි හැමෝම සංචාරයට කැමතියි. මොකද මිනිසුන් අද ගොඩක් අවිවේකී ජීවිතයක් ගත කරන බව අපි හැමෝම දන්නවා. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානයේ ලෝකයේ සෑම කෙනෙක්ටම මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවෙලා තියෙනවා. මෙම වැඩ ලෝකයෙන් නිදහසක් ලබාගැනීම වයස් භේදයකින් තොරව අපි හැමෝම කැමති අතර විනෝදය, සතුට, නිදහස, මානසික ආතතිය සහ කාර්යබහුලත්වය යන සෑම දෙයක් සඳහාම මිනිසුන් සංචාරය තෝරගන්න බව අපි දන්නවා. සංචාරය කියන්නේ මොකක්ද කියා විමසා බැලූ විට එය මෙසේ අරුත් ගන්වන්න පුළුවන්.

අපි හැමෝම සතුටින් පිරි ජීවිතයක් ගතකරන්න කැමති අතර මිනිසෙකුගේ මානසික සතුට සඳහා නිරෝගී ශාරීරික යෝග්‍යතාව වැදගත් වන අතර සිතේ ප්‍රීතිය පවත්වා ගැනීම උදෙසා විවිධ පරිසර ආශ්‍රිත දැනුම ලබාගැනීමේ, විවිධ මිනිසුන් ඇසුරු කිරීමේ සොඳුරු ක්‍රියාවලියක් ලෙස සංචාරය යන්න දක්වන්න පුළුවන්. මෙය බොහෝ කලක සිට කර්මාන්තයක් ලෙස අප රටේ මෙන්ම ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. ලංකාවේ මෙන්ම ලෝකයේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වන අතර රටක ආර්ථිකයට මහඟු දායකත්වයක් ලබාදෙන සේවා කර්මාන්තයක් ලෙස මෙය සඳහන් කිරීමට පුළුවන්. සංචාරක කර්මාන්තය දේශීය මෙන්ම විදේශීය ලෙස සිදු වෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද අප රටේ ආර්ථිකය සඳහා ඉතාමත් වැදගත් වෙනවා. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඔස්සේ සංචාරක සේවා කර්මාන්තය සිදුවෙනවා. ලංකාව ඉතාමත් සොඳුරු පරිසරයකට හිමිකම් කියන රටක් බව ලංකාවාසි හැමෝම දන්න දෙයක්. ස්වභාව සෞන්දර්යෙන් අනුන පරිසරයකට උරුමකම් කියන අප රට සංචාරකයින්ගේ තෝතැන්නක්. මේ නිසාවෙන් බොහෝ විදේශීය සංචාරකයන් සංචාරය උදෙසා අප රට තෝරගන්නා අතර මීට හේතුව මෙලෙස සඳහන් කරන්න පුළුවන්. එනම් හිතකර වූ දේශගුණය, සිත්ගන්නා සුළු පරිසර සුන්දරත්වය, සංචාරකයින් සඳහා සාමකාමී බව, දේශීය මිනිසුන්ගේ සුහදශීලීබව යන සාදක සඳහන් කළ හැකියි. පරිසර සුන්දරත්වය පිළිබඳ කතා කරන විට ශ්‍රී ලංකාව වෙරළ තීරයෙන් වට වූ දූපතක් වීම සුවිශේෂී කරුණකි. සංචාරකයින් ශ්‍රී ලංකාවට විවිධ අරමුණු උදෙසා පැමිණෙන අතර 2014 වර්ෂයේ සංඛ්‍යා ලේඛනයකට අනුව සංචාරකයින්ගේ පැමිණීමේ අරමුණු මෙලෙස දැක්විය හැකියි. විනෝදය උදෙසා 67.95, නෑදෑ හිත මිතුරන් හමුවීමට 27.45, ව්‍යා‍පාර කටයුතු සඳහා 1.33 ප්‍රතිශතයක් දක්වන්න පුළුවන්.

අපේ රටේ සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට සමත් වූ බොහෝ ප්‍රදේශයන් තිබෙන අතර නැගෙනහිර ප්‍රදේශයේ සේරුවිල, ලන්දේසි බලකොටුව, වාකරේ වෙරළබඩ විනෝද නිකේතනය, ත්‍රිකුණාමලය, කල්කුඩා, මඩකලපුව සහ පාසිකුඩා යන කිමිදුම් ස්ථාන ඒ අතර වැදගත් වෙනවා. එමෙන්ම සොඳුරු වෙරළ තීරයකට හිමිකම් කියන නිලාවේලි, මඩකලපුව, පාසිකුඩා සහ කල්කුඩා යන ප්‍රදේශයන් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වෙනවා. ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථාන මෙන්ම ආගමික වශයෙන් වැදගත් ස්ථාන සංචාරකයන්ගේ අවධානයට යොමු වී තිබෙනවා. බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආදී වූ ආගම් අදහන පිරිස් අප රටේ ජීවත් වන අතර මේ සෑම කොට්ඨාසයකටම අයත් වූ වැදගත් පූජනීය ස්ථාන සංචාරක කර්මාන්තය උදෙසා වැදගත් වෙයි. සංචාරක කර්මාන්තය මඟින් රටක සංවර්ධනය සඳහා විශාල ආදායමක් උපයාගත හැකියි.
අපි බලමු සංචාරක කර්මාන්තය අප රටේ සංවර්ධනයට දායක වන්නේ කෙසේද කියලා. සංචාරක කර්මාන්තය මඟින් රටේ තරුණ පරපුරට රැකියා අවස්ථා රැසක් උදා වෙනවා. මෙය සිදුවන්නේ රටේ සෑම තැනකම හෝටල්, සංචාරක නවාතැන් ඉදිවන අතර මෙමඟින් රැකියා අවස්ථා උදාවන අතර රටේ විවිධ ප්‍රදේශ සංවර්ධනය වීම ද සිදුවෙනවා. සංවර්ධනය වන රටක් වන අප රට රැකියා නියුක්තිය නිසාවෙන් තරුණ පරපුරේ බොහෝ පිරිසක් බොහෝ අසීරුතාවන්ට ලක්ව තිබෙනවා. මේ තත්ත්වයට මහඟු මෙහෙවරක් සංචාරක කර්මාන්තය ඔස්සේ සිදුවෙනවා. එමෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයන්ගේ මැදිහත්වීම ඔස්සේ සංචාරකයින් ආකර්ශනය කරගැනීමට සමත් සිත්ගන්නා සුළු පරිසරයක් නිර්මාණය වෙයි. නමුත් වර්තමානයේ සංචාරක කර්මාන්තය ගත්විට අප රටේ මෙන්ම ලොව පුරා විවිධ රටවල බිඳවැටීමක් දක්නට ලැබෙනවා. මෙයට ලෝකයේ සෑම කෙනෙකුටම මුහුණ දීමට සිදුව තිබෙන්නා වූ කොරෝනා වසංගත තත්වය හේතු සාධක වී තිබෙනවා.

සංචාරක කර්මාන්තය උදෙසා ඉතාමත් සුදුසු රටක් වන අප රට සහ ලොව වෙනත් රටවල් ගත්විට අප රටේ සංචාරක කර්මාන්තය දියුණු වීමට අවශ්‍ය ක්ෂේත්‍රයකි. වර්තමානයේ ලොව අනෙක් රටවල් සංචාරක කර්මාන්තයේ දී ඉදිරියෙන් සිටින බව අපි දන්නා කරුණකි. රටට විශාල ලාභයක් ලබාගත හැකි ක්ෂේත්‍රයකින් අපි නිසි ප්‍රයෝජනයක් ගන්නවද යන්න ගැටලු සහගතය. මෙය වඩාත් හොදින් අවබෝධ වනුයේ විදේශීය රටවල් සමඟ බැලීමේදීය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මඟින් එම ක්ෂේත්‍රයෙන් රටටත් රටේ තරුණ ප්‍රජාවටත් වැදගත් සේවයක් ලබාගත හැකිය. මේ සඳහා දැනට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදුවන්නා වු රාශී සංචරණය වෙනුවට විවිධ ක්ෂේත්‍ර කරා යොමු කිරීමට පියවර ගැනීම දියුණුවට හේතු වෙයි. දේශීය කටයුතු සම්බන්ධ කර සංචාරක කර්මාන්තය ඔස්සේ දේශීය වශයෙන් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට විවිධාකාර පියවර ගත හැකියි. මීට නිදසුන් මෙලෙස ඉදිරිපත් කළ හැකිය. එනම්, දේශීය වෛද්‍ය ක්‍රම, දේශීය ආහාරපාන, දේශීය නිර්මාණ, දේශීය වශයෙන් පවත්නා සම්ප්‍රදායික පැතිකඩ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

එමෙන්ම අපේ රටේ සම්ප්‍රදායට වටිනාකමක් ලබාදී එම සම්ප්‍රදායන් ඉස්මතුවන දේශීයත්වය ඔප්නැංවෙන ලෙස සංචාරක කලාප නිර්මාණය කිරීම තුළින්ද සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමටත් සංචාරකයන් අප රටට පැමිණීමේ ප්‍රමාණය වැඩි කරගැනීමටත් පුළුවනි. යම් ක්ෂේත්‍රයක් ඔස්සේ රටේ සංවර්ධනය කරා යාමට අවකාශය තිබෙන අතර ඇත්තටම සංචාරක කර්මාන්තය සංවර්ධනය වෙමින් පවතින රටක් වන අප රටට මහඟු සම්පතකි. රටේ ආදායම වැඩි කරගත හැකි කර්මාන්ත ක්ෂේත්‍රයක් වන මෙය රජයේ මැදිහත් වීම නිසි ලෙස ලැබීම තුළින් වැඩි දියුණු කරගත හැකිය.

Image from Getty Image

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ විනිමය උපයන්නා වූ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස මෙය සඳහන් කිරීමට පුළුවනි. 2014 මහ බැංකු වාර්තාවට අනුව 2013 වර්ෂයේ සංචාරක කර්මාන්තය උපයන ලද විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් මිලියන 1715 කි. එය 2014 වර්ෂය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 2431 ක් ලෙසද වාර්තා වෙයි. එමෙන්ම එක් සංචාරකයකුගේ දෛනික වියදමෙහි සාමාන්‍යය ගත්විට ඇමරිකානු ඩොලර් 160ග8 ක් වෙයි. සංචාරක කර්මාන්තය නිසාවෙන් රැකියා නියුක්තියට පිළියමක් ලැබෙන අතර එම ක්ෂේත්‍රය ඔස්සේ බොහෝ රැකියාවන් ගණනාවක් බිහිවේ. එය අප රටේ තරුණ තරුණියන්ට ඉතාමත් හොඳ අවස්ථාවන් රැසක් උදා කරයි. 2014 වර්ෂයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සෘජු රැකියා 129790 ක් විය. මේ අනුව අප රටට සංචාරක කර්මාන්තය ඔස්සේ විශාල රැකියා ක්ෂේත්‍රයක් උදා කරගැනීමට සහ එයින් රටේ සංවර්ධනයට සිදුවන බලපෑම මෙමඟින් මනාව පැහැදිලි වනු ඇත. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව වක්‍ර රැකියා ද රැසක් බිහිව තිබේ.

ලොව අනෙක් රටවල් ආශ්‍රිත සංචාරක කර්මාන්තය ඔස්සේ බලන විට අප රටේ පෞද්ගලික අංශය මේ සඳහා මැදිහත් කරගෙන විවිධ නව ක්‍රියාවලියක් ආරම්භ කිරීම තුළින් සංචාරක කර්මාන්තය ඔස්සේ රටේ විනිමය ආදායම නගා සිටුවිය හැකිය. බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව විවිධ නව ප්‍රතිපත්ති සහ නව සංකල්පයක් දියත් කිරීම ඔස්සේ විශාල ආදායමක් අත්පත් කරගනී. සැබැවින්ම සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ කුමන ක්ෂේත්‍රයන්ට ද දායක වන්නේ කියා බැලුවොත් ලංකාවේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ පාරිසරික ආදී විවිධ අංශයන් කෙරෙහි සංචාරක කර්මාන්තය බලපායි. සංචාරක කර්මාන්තය නිසාවෙන් සිදුවූ නව ප්‍රවණතාවයන් ලෙස ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහන් කළ හැකිය. මෙහිදී රජයේ සහ පෞද්ගලික අංශය මැදිහත්වීම ඔස්සේ මාර්ග ඉදිවීම, ගොඩනැගිලි ඉදිවීම, යටිතල පහසුකම් සංවර්ධනය වීම, සංචාරක නවාතැන්, හෝටල් ආදිය ඉදිවීම ඔස්සේ දැක්විය හැකිය. සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය ඔස්සේ රටේ ආයෝජනය වැඩිවීම සංවර්ධනය වන රටක් වන අප රටට වාසිදායක තත්වයකි. මෙය රටේ සංවර්ධනයට යහපත් ආකාරයෙන් දායක කරගෙන රට සංවර්ධනය කරා යොමු කළ හැකිය.

නුවන්ති මදුෂානි සුබසිංහ

කොළඹ විශ්වවිද්‍යාලය – ශ්‍රීපාලි මණ්ඩපය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles