26 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

බුදු දහමේ ඉගැන්වෙන පැන් වැඩීම හා පිං අනුමෝදන් කිරීම නිවැරදිව දැන හඳුනා සිදු කරමු.

Related Articles

බුදු දහම යනු සම්‍යග්දෘෂ්ඨික වූ දහමකි. ඒ තුළ අත්ථි දින්නං නැතහොත් දුන් දේ විපාක ඇත. විපාකය ලෙස පවු -පිං හා කුසල් -අකුසල් පිළිබඳ පිළිගැනීම ඇත.දන් දීම තුළ පිං ලැබෙන බව බෞදධයෝ හැටියට අපි පිළිගන්නෙමු.එමෙන්ම මෙලොව ජීවිතය මරණයෙන් කෙළවර වන විට පුනර්භවයක් ඇති බව සහ කළ පිං-පවු අනුව තිස් එක් ලෝක තලයෙහි දුගතිගාම් හෝ සුගතිගාමි වශයෙන් ජාති නැතහොත්  ඉපදීම වේය යනුවෙන් ද පිළිගනී.උපදින ස්ථානය බුදු වරයෙක් හෝ මනස දියුණු කළ පුද්ගලයෙකු චුතූපපාත ඥානය  ඔස්සේ කීවද අපට එය නිශ්චිත ලෙස ඉපදෙන තැන කිව නොහැක.මන්ද මනස නොදියුණු බැවිනි.බුද්ධ දේශනාවට අනුව කිසි විටකවත් තිස් එක් තලයන්හි අරූපාචර බ්‍රහ්ම ලේාක සතර ,රූපාවචර බ්‍රහ්ම ලෝක 16 ,දේව ලොක සය ,මනුස්ස ලෝකය සතර අපාය අතරින් නරක තිරිසන් හා අසුර යන කාණ්ඩයට දන් දී පිං අනුමෝදන් කල නොහැකිය.ප්‍රේත ලොකයෙහි පරදත්ත උපජීවි කොටසට පමණක් පිං පැමිණවිය හැකි බව ප්‍රෙත වත්ථුවේ , සංයුත්ත නිකාය තුළ   හා පරමත්ථ ජෝතිකා අටුවාව තුළ දක්නට ලැබේ. අපි මිය ගිය ඤාතියා උපන් ස්ථානය නිශ්චිතවම කිව නොහැකි බැවින් අනුමාන බුද්ධියෙන් පිං අනුමොදන් කරමු.

දානය ගත් කළ බෞද්ධ සමාජයේ උසස් අන්දමින් සිදු කරන්නකි.එය සාංඝික දාන,ධර්ම දාන,අභය දාන යනුවෙන් විවිධාකාර වේ.දන් දී පිං අනුමෝදන්  කිරීම අතීතයෙ මෙන්ම වර්තමානයේ ද සිදු කෙරෙ.එහි කිසිදු වරදක් නැත.එය බුදු දහමේ පටිච්ච සමුප්පන්න න්‍යායට පටහැනි නැත.

නමුත් මෙතනදි සාකච්ඡා කරනුයේ පිං අනුමෝදනාව සහ පැං වැඩීම සම්බන්ධයෙනි.මක් නිසාද යත් නූතනයේ ආගම් වාදයෙන් කටයුතු කිරීම මත මේවායෙහි අර්ථය යටපත්ව ඇති බැවිනි.වරක් පිං අනුමොදන් කරන අවස්ථාවේ මිනිසුන්ගෙන්  අසා සිටියේ දානයක් දී පිං අනුමොදන් කරණුයේ කෙසේද යන්නයි.දායකයෝ පවසා සිටියේ ,

ඉදං මේ ඤාතිනං හොතු සුඛිතා ⁣හොන්තු

යන ගාථාව කි යා පැන් වක්කළ විට මිය ගිය ඤාතියාට පිං අනුමෝදන් වන බව පවසා සිටියේාය. එහිදි අසා සිටියේ ගාථාව කියා පැන් වැක්කෙරු පමණින් පිං අනුමොදන් වේද යන්නය.උත්තරය ඔවු යන්නය.එහිදි ඔවුනට ප්‍රථමයෙන් පැං වක්කිරීම පිළිබඳ අසා සිටියෙමි.දැන් උපාසක අම්මලා පැං භාජනය මිනිසුන්ට අතගස්වා වැඳ පැං වක්කිරීමට සූදානම් වුනා .එකෙන් පිනක් ලැබෙනවද?  එතකොට මේ පැං වඩා ගසක් මුලකට හෝ නොපෑගෙන තැනකට දානවා නේ ඒකෙන් කුමක් හෝ ප්‍රතිලාභයක් තියේද?

සියල්ලම නිෂ්ශබ්දව සිටී.

අම්මේ එකෙන් ලැබෙන අටමගලක් නැත.පැං භාජනය යනු උපමාවක් විතරයි.පැං වැක්කිරීම සම්බන්ධ ඉතිහාසය වේද කෘතීන්හි පවා දක්නට ලැබෙනවා. විවාහයක්,මරණයක්,ගේ දොර ආදි දේ ප්‍රධානයේදි ,අතට පැං වක්කොට පවරාදීම වෛදික බ්‍රහ්මණ යුගයන්වල මෙන්ම අවු:2500කට උරුමකම් කියන බුදු දහම තුළත් දක්නට ලැ⁣බෙනවා.ඒවා ත්‍රිපිටක මූලාශ්‍ර හා අටුවා මූලාශ්‍රයන් තුළද දක්නට ලැබේ.එහෙම බැලුවොත් එය සම්මුතියෙන් මිනිස් ජීවිතයට ලංකර ගත්තක්.

මියගිය ඤාතියාටත් පිං අනුමෝදන් කරන්නේ මෙය උපමාවක් කරගෙනය.ඉන් ලැබෙන දෙයක් නැත.නූතන පැං වැක්කිරීමට යොදාගන්නා ක්‍රමයේ අරුත බුරුම  ටීකා සාහිත්‍ය තුළ දක්නට ලැබෙනවා.පැං වක්කරන විට අපට දිස්වෙනවා හිස් භාජනයක් හා පැන් පිරුණු බඳුනක් .පිරුණු බඳුනෙන් හිස් භාජනය උතුරා යන තුරු ජලය වක්කරනවා.ඉතින් එහෙම පිරුණ කියල ඤාතියාට පින් ලැබෙනවද?එහෙම නෑ උපාසක අම්මේ.

ඕක උපමාවක් විතරයි.හිස් භාජනය උපමා කරන්නේ මිය ගිය ඤාතියාට.

ජලය පිරුණු භාජනය උපමා කරන්නේ අනුමොදන් කරගත් පිනයි.

ඉතින් අනුමොදන් කරගත් පිං නැමති ජලය මිය ගිය ඤාතියා නැතහොත් පිනෙන් හිස් තැත්තා නැමති හිස් කේාප්පයට වක්කිරීම තුළින් පිනෙන් ඉතිරී ගියා යන්න   පමණක්  උපමා කරනවා.තවද ඛුද්දක නිකායේ තිරොකුඩ්ඪ සූත්‍රය තුළ එසේ උපමා කිරීමට පදනම නැතහොත් වත්මන් සමාජයේ පැං වක්කිරීමට පදනම වූ ගාථා පාඨ දෙකක් දක්නට ලැබේ. එනම්,

උන්නමෙ උදකං වට්ඨං

යථා නින්නං පවත්තති

එවමෙව ඉතො දින්නං

පේතානං උපකප්පති

(ඛු.නි තිරොකුඩ්ඪ සුත්‍රය 7ගාථාව,14පිටුව,බු.ජ.ත්‍රි.ග්‍ර)

යම් සේ උස් බිමක වට ජලය මිටි බිම කරා ගලා බසීද එපරිද්දෙන් මිනිස් ලොවෙහි ඥාත්‍යාදින් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්‍රේතයන් හට පැමිණේ.

තවද එම සූත්‍රයේම දැක්වෙන,

යථා වාරිවහා පූරා

පරිපූරෙන්ති සාගරං

එවමෙව ඉතො දින්නං

පෙතානං උපකප්පති

(ඛු.නි තිරොකුඩ්ඪ සුත්‍රය 8ගාථාව,15පිටුව,බු.ජ.ත්‍රි.ග්‍ර)

මෙහි අරුත වනුයේ, යම් සේ මහා නදීහු කුඩා ගංඟා ආදියෙහි රැස් වන දියෙන් පිරුණාහු සාගරය පුරාලත්ද ,එපරිද්දෙන් ම මිනිස් ලොවෙහිදි ඥාත්‍යාදින් විසින් දුන් දානය (එහි විපාක දීම් වශයෙන්) ප්‍රේතයන් හට ලැබේ.මෙම කාරණාවන් මූලික කොටගෙන වත්මනෙ පැන් වැඩීමේ බඳුන සකසා ඇත.එය සංස්කෘතිකමය වශයේන ගොඩ නැගී ඇත.එහි ගැටලුවක් නැත නමුත් පැන් වැඩීමේ අරුත හා පින් අනුමොදන් කරණුයේ කෙසේද යන්න අප වටහා ගත යුතුය.එබැවින් පැන් වැඩීමෙ අරුත දැන භෞතික දේවල් වලට වැඳලවත්,නොපෑගෙන තැනට දැම්මත් ලැබෙන මගුලක් නැත යන්නත් එය මිථ්‍යාදෘෂ්ටිකයි යන වගත්  උපාස අම්මලා දත යුතුය. ජන විශ්වාසයද පැවතිය යුත්තේ නිවැරදිව දැන දැකය.

දැන් උපාසක අම්මලා පිං අනුමෝදන් කරන්නේ ගාථාව කී පමණින් යන්න කීවා.කොහොමද එහෙම වෙන්නනෙ.ඒක රැල්ලට කරන ක්‍රියාවක්.ගාථාවේ තේරුමවත් දන්නවද?සියල්ල නිශ්බ්ධය.ඕක සඳහන් වෙන්නෙ ඛුද්දක   නිකායේ ඛු.නි.තිරොකුඩ්ඩ සූත්‍රයෙ,ඒ මෙහෙම

ඉදං මෙ ඤාතිනං හොතු සුඛිතා ⁣හොන්තු ඤාතයො තෙච තත්ථ සමාගනත්වා ඤාතිපෙතා සමාගතා

(ඛු.නි.තිරොකුඩ්ඩ සූත්‍රය,15 පිටුව)

මෙතැනට රැස් වූ මාග් ඤාති ප්‍රේතාදින්ටමේ පිං වේවා ,සුඛිත තැනැත්තෝ වෙත්වා.

ඒත් ආවාට ගියාට ගාථා කියා පිං අනුමොදන් කලාට වැඩක් නැත.එයද කළ යුතු ක්‍රමයක් ඇත.උපාසක අම්මලා දන්නවද?නෑ අපෙ හාමුදුරුවනේ .ඔය කාරණාව තිරොකුඩ්ඩ සූත්‍රයේම  තියෙනවා .ඒ මෙහෙම,

අදාසි මේ   අකාසි මේ ඤාති පුත්තා සකාච මේ පෙතානං දක්ඛිනා දජ්ජා පු⁣බ්බේ කතමනුස්සරං.

      (ඛු.නි තිරොකුඩ්ඩ සූත්‍රය)

⁣පරලේාකගත නැතහොත් මියගිය ඤාතියා ,පුත්‍රයා,යහලුවා මෙලොව ජීවත්ව සිටන කාලයේ මට මේ දේවල් දුන්නේයමේබදු යහපත කළේය. යනුවෙන් ඔවුන්ගේ යහපත් දේ සිහි කරමින් දකෂිණාවක් දී හෝ පිං දිය යුතු බවයි.ඉතින් උපාසක අම්මලා එහෙමද පිං අනුමෝදන් කරන්නේ ,නැත්තම් ආගම් ක්‍රමය අනුව මිථ්‍ය දෘෂ්ටික රැල්ල අනුවද?

අදමයි අපෙ හාමුදුරුවනේ ඔය කතා ටික අහුවේ.

උපාසක අම්මේ සංස්කෘතිය තියෙන්න ඕනි,ජන විශ්වාසත් තියෙන්න ඕනි. හැබයි භක්තියයි ශ්‍රද්ධාවයි අවබෝධ කරගෙන.මෙය දන් ගෙදරකදි සිදු වූ  පටිපුච්ඡා දේශනාවකි

පින් අනුමොදන් කිරීම පිළිබඳ වැඩි දුරට කියවන්න.අටුවා කාලයටත් ත්‍රිපිටක කාලයටත් ලියැවුණු  ග්‍රන්ථ ත්‍රිත්වය අතර මිළින්ද පඤ්හයේ මෙහෙම දක්වනවා..ඤාතිප්‍රේත පිං ප්‍රශ්නය. දැන් අපිට මෙහෙම තර්කයක් නගන්න පුලුවන් සාපේක්ෂ ලෝකයේ පිං වගේම පවු අනුමෝදන් කරන්න  බැරිද කියා.අන්න ඒකට උත්තරය නොදන්නා පුද්ගලයන්ට තිබේ.

ඥාතිප්‍ර්ත පින්පෙත් ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකවාසී දායකයෝ දන් දී තමන්ගේ මිය පරලොව ගියා වූ, ඥාතිප්‍රෙතයන්ට ‘මේ දානයෙහි පින්පෙත් ඒ අපගේ ඥාතිප්‍රෙතයන්ට පැමිණේව’ යි කියා පින් දෙන්නාහු ය. කිමෙක් ද, ඒ පින් දුන් කාරණයෙන් මදක් වුවත් විපාකයක් ඒ ඥාතිප්‍රෙතයෝ ලබන්නාහු දැ?” යි විචාළෝ ය.

මහරජානෙනි, සමහර ප්‍රෙත කෙනෙක් ලබති, සමහර ප්‍රෙත කෙනෙක් නො ලබන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීන් වහන්ස, කවර කෙනෙක් ලබන්නාහු ද? කවර කෙනෙක් නො ලබන්නාහු දැ?” යි විචාළෝ ය.

මහරජානෙනි, එක්සිය සතිස් මහනරකයෙහි උපන්නා වූ නිරිසත්වයෝ පින්පෙත් හා දුන් බත් නො ලබති. ස්වර්ගලොකයට පැමිණියා වූ දෙවියෝත් නො ලබන්නාහ. තිරශ්චීන යොනිගතසත්වයෝත් නො ලබන්නාහු ය. ප්‍රෙතයොනිගත වූ චතුර්විධප්‍රෙතයන්ගෙන් අනෙකවර්ෂශතසහස්‍රයෙහි මහදුක් අනුභව කෙරෙමින් ඒ ඒ තන්හි වමන ගර්භමාලාදිය අනුභව කෙරෙමින් වසන්නා වූ වන්තාසික නම් ප්‍රෙතයෝ ද, අනෙකබුද්ධාන්තරයෙහිත් යැපෙන ආහාර පානයක් නොලදින් සාපිපාසායෙන් පෙළෙන්නා වූ ඛුප්පිපාසික ප්‍රෙතයෝ ද, ජීර්ණ වූ රුක්සිදුරු ඇවිළ ගත් ගිනි සෙයින් ඇතුළු කුක්ෂියෙහි ඇවිළ දවන්නා වූ වහ්නිජ්වාලාවෙන් දැවී  මහදුක් අනුභව කරන්නා වූ නිජ්ඣාමතණ්හික නම් ප්‍රෙතයෝ ද යන මේ ත්‍රිවිධ වූ ප්‍රෙතයෝත් ඒ පින් පෙත් නො ලබති. ඥාතිමිත්‍රාදීන් විසින් දුන් දෙයින් යැපෙන්නා වූ ප්‍රෙතයෝ ඒ පින්පෙත් ලබති. ඒ #පරදත්තූපජීවී වූ ප්‍රෙතයෝ ද සිහි කරන්නාහු ම ලබන්නාහු ය” යි වදාළසේක.

ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ප්‍රෙතකෙනෙකුන් උදෙසා දානාදියක් කරණ ලද්දේ ද, ඉදින් ඒ ප්‍රෙතයෝ පින්පෙත් නො ලබන්නාහු නම්, ඒ කාරණයෙන් දායකයන්ගේ දානය අස්ථානගත වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, දානය අඵල නො වන්නේ ය. අවිපාක නො වන්නේ ය. දායකයෝ ඒ දානයාගේ ඵලානිසංසය අනුභව කරන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීන් වහ්නස, එහෙයින් මට කාරණයකින් අඟවා වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, මේ ලොකයෙහි කිසි මනුෂ්‍යයෙක් තමන්ගේ නෑයින් බලාපියන්නට යනු කැමැති ව මත්ස්‍යමාංස සුරා හා බත් ද කැවිලි ද පිළියෙල කොට ගෙණ ඥාතීන්ගේ කුලයට යෙති. එකල ඉදින් ඒ නෑයෝ සම්භව නො වීමෙන් ඒ මත්ස්‍යමාංස සුරා කැවිලි සහිත වූ බත නො පිළිගත්තු නම්, කිමෙක් ද, උපායනය යි කියන ලද ඒ පර්ණාකාර අස්ථානයට යන්නේ වේ ද, විනාස වනනේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීන් වහන්ස, ඒ ගෙණා පඬුරු අස්ථානයෙහි නො නස්නේ ය, හිමියන්ට ම වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම දායකයෝ ම ඒ දානයාගේ ඵලය අනුභව කරන්නාහු ය. තව ද, මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් ගෘහගර්භයකට ප්‍ර‍විෂ්ට වූයේ පෙරට නික්ම යන දොරටුවක් නැති කල්හි කවර තෙනකින් නික්මයේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ප්‍ර‍විෂ්ට වූ ද්වාරයෙන් ම නික්ම යන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම දායකයෝ ම ඒ දානයාගේ ඵලය අනුභව කරන්නාහු ය” යි වදාළසේක.

අකුසල් හා පවු අනුමොදන් කළ හැකිද?

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ වදාළ කාරණය එසේ ම වේවා. මම ද එසේ ම පිළිගන්නෙමි. දායකයෝ ම ඒ දානයාගේ ඵලය අනුභව කරන්නාහු ය. ඒ කාරණය අපි විරුද්ධ නො කරම්හ. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් මේ දායකයන් විසින් දෙන ලද්දා වූ මතකදානය ඥාතිප්‍රෙතයන්ට පැමිණෙන්නේ ය. ඒ ඥාතිප්‍රෙතයෝ ද ඒ දානයාගේ විපාකය අනුභව කෙරෙති. ඒ කාරණයෙන් ප්‍රාණඝාත කරන්නා වූ රෞද්‍ර‍ වූ සත්වඝාතනය කිරීමෙන් ලේ වැකුණු අත් ඇත්තා වූ පදුෂිත වූ චිත්තසංකල්පනා ඇති යමෙක් බොහෝ මනුෂ්‍යයන් නසා දරුණු වූ අකුශලකර්මයන් කොට ‘මාගේ මේ අකුශලකර්මයාගේ විපාකය ඥාතිප්‍රෙතයන්ට පැමිණේව’ යි කියා ඥාතිප්‍රෙතයන්ට අකුසල් දෙන්නේ වී නම්, කිමෙක් ද, ඒ අකුශලකර්මයාගේ විපාකය ඥාතිප්‍රෙතයන්ට පැමිණේ දැ?”යි විචාළෝ ය. “මහරජානෙනි, එසේ අකුසල් නො පැමිණෙන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමක් කරණ කොට ගෙණ කුශලකර්මය පැමිණෙන්නේ ය. අකුසලකර්මය නො පැමිණෙන්නේ ය’ යි වදාළ වූ ඒ අර්ථයෙහි එසේ වන්නට හෙතුවෙක් නැත්තේ ය. එසේ වන්නට කාරණය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ තෙම ඇසිය යුතු වූ ප්‍ර‍ශ්නයෙක් නො වන්නේ ය. මහරජානෙනි, තෙපි නහමක් විසඳන්නෙක් ඇතැ යි නො සිතව. තෙපි නො ඇසිය යුත්තක් විචාළාහු ය.

 ‘කුමක් පිණිස ආකාශය එල්වී ගත හෙන දෙයක් නැති ව නිරාලම්බන වී ද? කුමක් පිණිස ගංගාවෝ ඌර්ධවමුඛ ව නො යන්නාහු ද? කුමක් පිණිස මේ මනුෂ්‍යයෝ ද්විපද වූ ද? කුමක් පිණිස පක්ෂීහු ද්විපද වූ ද? කුමක් පිණිස මෘගජාතීහු චතුෂ්පදි වූ දැ’ යි කියා ඒ කාරණයත් තෙපි මාගෙන් විචාරන්නාහු ද? මෙබඳු වූ දෙය විචාළ යුත්තක් නො වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම නුඹවහන්සේ වෙහෙසනු කැමැති ව නො විචාරන්නෙමි. එතෙකුදු වුවත් ශංකාවගේ ප්‍ර‍තිබාහනය පිණිස විචාරන්නෙමි. ‘ලොකයෙහි බොහෝ වූ මනුෂ්‍යයෝ වාමග්‍රාහී වූහ. වරදවා ගන්නාහ. පහ වූ නුවණැස් ඇත්තාහ. කිමෙක් ද? ඒ අඥානයෝ අවකාශයක් නො ලබත්ව’ යි සිතා මෙසේ මම නුඹ වහන්සේගෙන් විචාරන්නෙමි” යි කීහ.

“මහරජානෙනි, පාපකර්මය සමග නො කළ කල්හි දු ‘මෙබඳු වූ ප්‍රයොගයෙන් ප්‍රාණඝාතාදිය කරව’ යි කියා නො අනුදත් කල්හි දු පාප කර්මය සමග බෙදා ගන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, යම් සේ මනුෂ්‍යයෝ හුණබටමාතිකාදි උදකය ඉසිලීමෙන් ජලය ඉතා දුරට ද ගෙණ යන්නාහ. කිමෙක් ද, මහරජානෙනි, ඝනශෛලමහාපර්වත හුණ ඵලකාදි ඉසිලීමකින් අභිප්‍රාය තෙනකට ගෙණ යන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලකර්මය බෙදා ගන්නට හැකි වන්නේ ය. අකුශල කර්මය බෙදා ගන්නට නො හැකි වන්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ තිලතෛලාදීන් ප්‍ර‍දීපය දල්වන්නට හැකි වන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ජලයෙනුත් ප්‍ර‍දීපය දල්වන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලකර්මය ඔවුනොවුන්ට බෙදා ගන්නට හැකි වන්නේ ය. අකුශලකර්මය බෙදා ගන්නට නො හැක්කේ ය. තවද මහරජානෙනි, යම් සේ හීකාරයෝ විලින් පැන් හරවා ගෙණ ගොස් ධාන්‍ය වපුට පැස වන්නාහු ය. කිමෙක් ද, මහරජානෙනි, මහාසමුද්‍රයෙනුත් පැන් හරවා ගෙණවුත් ධාන්‍යය පැසවා ගන්නට හැකි වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නො හැක්කැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුසල් බෙදා ගන්නට හැක්කේ ය. අකුසල් බෙදා ගන්නට නො හැක්කේ ය.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් කුසල් බෙදා ගන්නට හැකි වේද? අකුසල් බෙදා ගන්නට නො හැකි වේ ද? කාරණයකින් මට අඟවා වදාළ මැනැව. මම කිසිවක් නො දක්නා අන්ධයෙක් නො වෙමි. නුඹ වහන්සේ වදාළ දැයක් අසා දැන ගන්නෙමි” යි කීහ. “මහරජානෙනි, අකුශලය ඉතා ස්වල්ප වන්නේ ය. මඳ වන්නේ ය. කුශලය ඉතා බොහෝ වන්නේ ය, මහත් වන්නේ ය, ස්වල්ප බැවින් අකුශල කරන්නාහු ම ග්‍ර‍හණය කෙරෙයි. කුශලය මහත් බැවින් දෙවියන් සහිත වූ ලොකයෙහි පැතිරෙන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, මීට ම උපමාවක් කර වදාළ මැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ඉතා ක්ෂුද්‍ර‍ වූ ජල බින්දුවක් මහාපෘථිවියෙහි පතිත වන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ ජල බින්දුව මහාපෘථිවියෙහි දසදොළොස් යොදුනක් තැන් පැතිරේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, යම්  තැනෙක ඒ ජල බින්දුව පතිත වන ලද ද, එතැන්හි ම සිඳී යන්නේ ය” යි කීහ. “මහරජානෙනි, හේ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ජල බින්දුවගේ කුඩා බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අකුසලය ඉතා කුඩා වන්නේ ය. ස්වල්ප බැවින් පව් කරන්නාහු ග්‍ර‍හණය කොට හිඳිනේ ය. අනුන් හා බෙදන්ට නො හැක්කේ ය. තවද, මහරජානෙනි, යම් සේ මහත් වූ මහාමෙඝයෙක් සකල පෘථිවිතලය පීණනය කෙරෙමින් වස්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාමෙඝය හාත්පසින් දිසානුදිසායෙහි පැතිරේ දැ?” යි විචාළසේක. “එසේ ය. ස්වාමීන් වහන්ස, ඒ මහාමෙඝයතෙම හෙප් විල් ගංගා සුළු ගංගා කඳුරැළි පෘථිවි පැළුණු විවර මහවිල් ලිං පොකුණු පුරවා ගෙණ දසදොළොස් යොදුන් තන්හි පැතිරෙන්නේ ය” යි කීහ. “මහරජානෙනි, හේ කවර කාරණයකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, මහාමෙඝයාගේ ඉතා මහත් බැවිනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලය ඉතා බොහෝ වන්නේ ය. ඉතා බොහෝ බැවින් සියලු දිව්‍යමනුෂ්‍යයන් හා සමගත් බෙදන්නට හැක්කැ” යි වදාළසේක.

“ස්වාමීනී, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් අකුසල් මඳ වී ද, කුසල් බොහෝ වී දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ ලොකයෙහි යම් කිසිවෙක් බුද්ධාදීන්ට දන් දෙන්නේ ය. සිල් සමාදන් වන්නේ ය. පොහෝ කර්මාන්ත කරන්නේ ය. එකල්හි ඒ පුරුෂතෙම සතුටු වන්නේ ය. විශෙෂයෙන් ම සතුටු වන්නේ ය. සන්තොෂ වන්නේ ය. විශෙෂයෙන් ම සන්තෝෂ වන්නේ ය. ප්‍ර‍මුදිත වන්නේ ය, ප්‍ර‍සන්න වූ සිත් ඇත්තේ ය, ජනිත වූ ප්‍රීති ඇති වන්නේ ය, ඕහට නැවත නැවතත් ප්‍රීති උපදනේ ය, ප්‍රීතිසිත් ඇත්තාහට නැවත නැවතත් කුසල් වඩින්නේ ය. මහරජානෙනි, යම් සේ බොහෝ වූ මධුරජලයෙන් සම්පූර්ණ වූ ලිංහි එක් දෙසින් උල්පත්ජලය ලිඳට ප්‍රවෙශ වන්නේ වී නම්, එක් දෙසකින් පිරුණු පැන් නික්ම යන්නේ ය, එසේ නිරන්තරයෙන් පැන් නික්ම යන කල්හිත් නැවත නැවතත් පැන් උපදනේ ය. කිසි කෙනෙකුන් විසින් ඇදපියාත් ඒ ලිඳපැන් විනාශයට පමුණුවාපියන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම කුශලකර්මය නැවත නැවතත් වඩින්නේ ය. මහරජානෙනි, ඉදින් පුරුෂතෙම අවුරුදු සියයකිනිදු ඈත කරණ ලද්දා වූ කුශලකර්මය ආවර්ජනා කරන්නේ වී නම්, ආවර්ජිත ආවර්ජිත ක්ෂණයෙහි නැවත නැවතත් කුසල් වඩින්නේ ය. ඒ පුරුෂයාගේ ඒ කුශල කර්මය යම් කැමැති කෙනෙකුන් හා සමග බෙදා ගන්නට හැකි වන්නේ ය. මහරජානෙනි, මේ ප්‍ර‍ශ්නයෙහි යම් කාරණයකින් කුශලකර්මය ඉතා බොහෝ වී ද, ඊට ම දක්වාලූ මේ කාරණය” යි වදාළසේක. “මහරජානෙනි, යමෙක් අකුශලකර්මය කෙරෙමින් අජාතශත්‍රැනරෙන්ද්‍රාදීන් මෙන් පසු ව විපිළිසර ඇති වන්නේ ය. ‘මා කළ දෑ නපුරැ’ යි කියා විපිළිසර වන්නාහුගේ චිත්තය හැකිළෙන්නේ ය, වළකින්නේ ය, ආවට්ටනය වන්නේ ය, නො පැතිරෙන්නේ ය, සොක කරන්නේ ය, තැවෙන්නේ ය, භය වන්නේ ය, තෙමේ ම චෝදනාවට පැමිණෙන්නේ ය, නො වැඩෙන්නේ ය, එහි ම ක්ෂයභාවයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, යම් සේ බොහෝ උස් මිටි වූ බොහෝ වැලි ඇත්තා වූ වියලි ගංගායෙහි වකුටු වූ එක් භාගයකින් ගඟ ඉහළ පටන් එන්නා වූ ස්වල්ප වූ ජලය පිරිහෙන්නේ ය, ක්ෂය වන්නේ ය, නො වඩින්නේ ය, ඒ ගඟ වැල්ලෙහි ම සිඳෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අකුශලකර්මය කරන්නාහුගේ චිත්තය හැකිලෙන්නේ ය, වකුටු වන්නේ ය, පෙරළෙන්නේ ය, නො පැතිරෙන්නේ ය, සොක කරන්නේ ය, තැවෙන්නේ ය, පිරිහෙන්නේ ය, ක්ෂය වන්නේ ය, නො වැඩෙන්නේ ය, පව් කළ තන්හි ම ක්ෂය භාවයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, මේ ප්‍ර‍ශ්නයෙහි යම් කාරණයකින් අකුශලකර්මය ස්වල්ප වී ද, මඳ වී ද, ඊට ම දක්වා ලූ මේ කාරණය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි කියා ස්තොත්‍ර‍ කළහ.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles