26 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

” වෙද හාමිනේ “ටෙලි වෘන්තාන්තයේ සංගීතය කෙබඳුද ?

Related Articles

Premasiri Khemadasa Songs Download | Premasiri Khemadasa New Songs List |  Best All MP3 Free Online - Hungama
Image from www.hungama.com

දියුණු බටහිර වෛද්‍යවරුන්ට ද ,ඒ වන විට ප්‍රතිකාර සොයාගත නොහැකි වුණු රෝගයකි පිළිකාව. ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කල මෙම ටෙලි නාට්‍යය දිග හැරෙන අයුරින් ගමේ වෙද මහත්තයාට පවසන්නේ මේවා “කරුම ලෙඩ” යනුවෙනි. එම කතාවට අනුව මෙම ප්‍රධාන චරිතයට රෝගය බෝ වන්නේ ඔහුගේ වරදකින් නොවේ. පරම්පරාගත පිය උරුමයෙනි. අපට සිටින විශිෂ්ටතම රංගන ශිල්පියකු වන කමල් අද්දරආරච්චි මහතාගේ රංගන පරිමාවේ විශාලත්වය අපි මුලින් හඳුනා ගත්තේ මෙවැනි නිර්මාණ තුලිනි. එවැනි අවාසනාවන්ත ඉරණමකට ලක් වන චරිතයේ සැඟවුණු ඇතුළාන්තය ප්‍රේක්ෂකයාට විවෘත කර දෙන්නේ “මායා” යනුවෙන් කියැවෙන සංගිත කණ්ඩයෙනි. එය මුළු ටෙලි නාට්‍යය පුරාම සැරිසරන බව එය විශ්ලේෂණය කරන විට පෙනී යයි.

එම ගුප්ත හැඟීම් ජනිත කරවීමට මෙහි ආරම්භක තේමා වාදනය තුළ විවිධ උපක්‍රම මෙහි සංගීත නිර්මාණ කළ ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් අනුගමනය කරයි . ( ස්වර ප්‍රස්ථාර අංක 1 )

අති මන්ද්‍ර කෝමල නිශාදයෙන් ඇරඹෙන ගැඹුරු පිරිමි ඒකල කටහඬක් ප්‍රබල ව භාවිතා කිරීම. එම කටහඬ සඳහා ශබ්ද ප්‍රයෝග (sound effects) අතර පුළුල් දෝංකාරයක් ලබා දී ඇත. තමා තනියම මරණයේ ඉරණමට ගොදුරු විය යුතු බව ඇඟවීමට එම සංගීත ඛණ්ඩය රුකුල් දෙන්නා සේය.ඒ සඳහා ගැඹුරු හඬ වර්ණයක් ඇති “ඕ” අක්ෂරය භාවිතා කරයි.ඒ අතර යම් පද පේලි කීපයක් ගීතමය ස්වරූපයකට වඩා ගැඹුරු පහත් ස්වරයකින් යුතුව ගද්‍යමය ස්වරූපයකින් ඇසේ.ඒ තුල ද ගුප්ත හැඟීමක් ඉස්මතු වේ.” මායා….මා නොවේ… මගේ සුවඳ.. මායා ලොවේ ඉතිරි වේ එකම මායා… ඒ අතර පළමු රූප රූප රාමු කීපය පැමිණේ. රංග ශාලාවක නූතන නිදහස් නර්තන ශෛලියකින් ( contempory dance) යුතුව රඟපෑමේ යෙදෙන රූප රාමුවකි. නමුත් ඔවුන් ශ්‍රී ලංකා තරුණ තරුණියන් ය.එම චලනයන්ට වඩාත් උචිත තනු රචනයක් ඒ සමඟ අපට ඇසේ. ඒ සඳහා කේමදාසයන් යොදා ගන්නේ විසංවාදී ස්වර ( dischordal notes) රැගත් නූතන සංගීතයකි ( contempory music ). කිසිදු පැකිලීමකින් තොරව අර්ධ ස්වර 1ක පරතරය ඇති ස්වර දෙකක් එකවර ශබ්ද කරයි. ( 2 ස්වර ප්‍රස්ථාරය )

ටෙලි නාට්‍යයේ ඉදිරියට දිග හැරෙන භයානක රෝගය ගැන ඉඟි පල කිරීමට ද එම සංගීතය සමත් වන බව පෙනේ. ඉන්පසු රූප රාමුවේ එන්නේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ නළු අභ්‍යාස කිරීමේ දර්ශනයකි. වේදිකාව සම්පූර්ණයෙන්ම අඳුරු ය. ඔහු හිසේ සිට දෙපතුල දක්වා අවයව ගැන පවසමින් ඒවා සැහැල්ලුවෙන් තබා ගන්න යැයි සමාධිගතව උපදෙස් ලබා දෙයි.Relax your eyes, Relax your nose, Relax your hands etc..ඒ අතර කිසිම සංගීත පසුබිමකින් තොරව ටෙලි නාට්‍යයේ නාමාවලිය දිස්වේ. සැබැවින්ම නිශ්ශබ්දව එම නාමාවලිය කියවන විට නළු අධ්‍යක්ෂවරයාගේ උපදෙස් ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයාට ද වලංගු වන සේයාවක් දැනේ. දැන් එහෙනම් නාට්‍ය ආරම්භවීමට සුදානම්ය. එය නැරඹීමට ඔබගේ ඇස් කන් ආදිය සැහැල්ලු කරගන්න අධ්‍යක්ෂවරයා නොකියා කියන්නාක් මෙනි. බොහෝවිට ටෙලි නාට්‍යයක නාමාවලිය සටහන් වන අවස්ථාවේ භාවිතා කරන සංගීතය ය තුලින් නාට්‍යයේ සමස්ත ස්වභාවය කෙසේද, ඒ ඉදිරියට ලක් වන තීරණාත්මක ගැටුම් මොනවාද ආදිය පිළිබඳ ඉඟි ලබා දෙයි.එමෙන්ම එම කොටස තුළ දී මෙම නිර්මාණය ප්‍රශස්ත නිර්මාණයක් නැද්ද යන්න පවා පිළිබඳ යම් සැලකිය යුතු තීරණයකට එළඹීමට සමත් වේ ඔහු එහිදී කිසිදු සංගීතයක් නොයොදයි. එය භාවනාවක් මෙන් ප්‍රේක්ෂකයාගේ මනස නිරවුල් කර නාට්‍යයට ඇඳ බැඳ තබා ගැනීමට රුකුලකි. එම ශිල්ප ක්‍රමය විදෙස් චිත්‍රපටවල ආදිය සුලභ වුවත් මෙම නාට්‍යය ප්‍රචාරය කල කාලයට සාපේක්ෂව ලංකාව තුල දුලභ ඉදිරි පියවරක් ලෙස හඳුනා ගත හැකි යි. එයම හොඳම සංගීත භාවිතාවකට උදාහරණයකි. මෙම රූප රාමු නරඹන යම් පරිණත භාවයක් ඇති රසිකයෙකුට එක්වරම මතක් වන්නේ දිගු රුපරාමු කැමරාව නිශ්චලව තබා අධ්‍යක්ෂණය කරන ඉරාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන අබ්බාස් කියරොස්තාමි ගේ Five වැනි නිර්මාණයන් ය.

Weda Hamine (1990) | MUBI

තේමා සංගීතය තුළ නූතන සංගීත ශෛලියට අමතරව සිංහල ජන සංගීතය ආභාෂය ද චෙලෝ වාද්‍ය ඛණ්ඩ හරහා උපදවා ගනියි.( 3 වන ස්වර ප්‍රස්ථාරය. ) චෙලෝවෙන් මෘදුව යතිය පිහිටුවා වාදනය කරන විට එම ඇසෙන රිද්මය වැඩි වේලාවක් රැඳීමට නොදී රිද්මය ඛණ්ඩණය කිරීම ලාංකීය ප්‍රේක්ෂකයා හඳුනා ගත් කේමදාස සංගීතකරණයේ එක් ලක්ෂණයකි. මෙහිදී ද එය ඉස්මතු වන්නේ වයලීනය සඳහා විරාම සහිතව කේමදාස සංගීත න්‍යාය තුළ හුරුපුරුදු ප්‍රධාන ස්වරයට අමතරව අනුයාත ස්වරයන් වහා ස්පර්ශ කිරීමේ ස්වභාවයයි.(upper mordents etc ) එය වයලීන සංගීත ඛණ්ඩයේ වැඩි හඬ ප්‍රමාණයකින් වාදනය වන්නේ ( accent ), තාල රිද්මයට අනුකූලව හඬ අඩු ප්‍රමාණයකින් ඇති ස්ථානවල යි ( he composed accent notes in unaccent beats). මෙවැනි සුවිශේෂ ලක්ෂණ නිසා කේමදාසයන්ගේ සංගීතය ඇසුණු සැනින් ලාංකික ප්‍රේක්ෂකය ඔහුගේ අනන්‍යහාව හඳුනා ගනී.මෙවැනි ශිල්ප ක්‍රම බටහිර සම්භාව්‍ය සංගීත ලෝකය තුළ නිතර දක්නට ලැබුණත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා වෙත ව්‍යවහාරික වශයෙන් ගෙන ඒමේ ගෞරවයේ වැඩි කොටසක් කේමදාසයන්ට හිමි වේ.

ටෙලි නාට්‍යය තනුව පුහුණුවීම් කළ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයාට (රඟපෑම් kamal addaraarachchi ) පිළිකා රෝගයට ගොදුරු වේ ඔහුගේ තාත්තාටද මෙම රෝගය වැළඳී ඇත.අතීත ආවර්ජනයේ දී තාත්තාගේ චරිතය රඟපාන්නේ ද කමල් අද්දරආරච්චි මය.පුතාට රෝගය වැළඳුන අවස්ථාවේ එයින් ප්‍රතිකාර කිරීමට තාත්තාට බෙහෙත් කළ වෙද මහතා ගැන රූප රාමු තුළ කතාවේ. එහිදී ඔවුන් අතින් වෙදමහතාගෙ දියණියට වරදක් වුවත් ඔවුන් පිහිට වේ යැයි මම විශ්වාස කරන බව පැවසේ.එහිදී ඇසෙන්නේ සිතාරයෙ පසුබිම් හඬින් පරිපූර්ණ වූ සංගීත ඛණ්ඩය කි. එය ගැමි පරිසරයේ ධ්වනි ගුණය නොවන්නේද? ඒ අතර දූවිලි දූවිලි යන පැදියක් ගායනා වේ. එය පසුව එන ජවනිකාවක දූවිල්ලෙන් සැදුන ලියේ යන ගීතයේ ආරම්භක කොටසයි. සැබැවින්ම එය යහපත් සංස්කෘතියකින් හෙබි ගැමි ජනතාවගේ රිද්මය නිරූපණය කරයි . මෙසේ රූප රාමුවට ඉතාමත් ම ගැළපෙන ලෙස හඬ තෝරා ගැනීමට සංගීත අධ්‍යකෂකවරයා තුළ පවතින ඉව ප්‍රශංසනීයය .ඒ අතරම එම සංගීත ඛණ්ඩය තුළින් මෙම දෙමව්පිය දෙපළ සිය දරුවා නිසා විඳ ඇති කටුක අත්දැකීම් ඒ වේදනාත්මක සිත්තැවුල ද කුළු ගන්වයි. ( ටෙලි නාට්‍යයේ 18වන මිනිත්තුව ) ටෙලි නාට්‍යයේ 20 වන මිනිත්තුව : පුතාට පිළිකා රෝගයෙන් මිය යෑමට ඉඩ නොදෙන බව පියා කියන අවස්ථාවේදී රෝගයෙන් පුතා හොඳ කිරීමේ උතුම් පරමාර්ථය සහ සතුට කුළුගන්වන සියුම් සංගීත රාවයක් ඇසෙයි.

(4 වන ස්වර ප්‍රස්ථාරය ) සතුටින් දිව යන්නාක් බඳු එම සංගීත ඛණ්ඩය වෘත්තාකාර ගමන් මඟක සංගීත රේඛාවක් නිරූපණය කරයි.

( 6 වන ස්වර ප්‍රස්ථාරය ) පුතාව සුවපත් කිරීමට (වෙද හෙද කරුණාවේ ආලෝකය වැටෙන) මේ පුංචි රටේ එක තැනකට ගෙන යන බව පියා පවසයි. එනම් මංගලිකා නම් දියණියක් සිටින දඹුල්ල ප්‍රදේශයේ දක්ෂ වෙද මහතකුගේ නිවසට යි. එම දෙබසත් සමඟ පසුබිම් සංගීතයෙන් ඇසෙන්නෙ කරුණා රසය උපදවන යමන් රාගය ඇසුරු කරගත් ආලාප ගායන ශෛලියකි. එය ටෙලි නිර්මාණයකට පැමිණීමේදී පැමිණීමේ දී විවිධ නිර්මාණාත්මක වෙනස්කම් වෙනස්කම් වලට භාජනය වී ඇත. කෝමද රිෂාදය පාදක ස්වරය (root note) ලෙස ගෙන යමන් රාගය ඇසුරු කර ගනිමින් නිදහස් නිර්මාණකරණයකට එළඹ ඇත.

Sandakan Daharin` - Tribute to Malini Bulathsinhala...a home recording by  GuitarmanarunaMusic
Image from Internet

( 7 වන ස්වර ප්‍රස්ථාරය ) තාත්තා මෙම ගුප්ත භයානක රෝග ගැන කටුක අතීතය සිහි කරන විට පසුබිම් සංගීතයෙන් අවියෝජනීය බැඳීමක රූප රාමු සමග යෙදෙයි.මෙම තනුව ඉතා ගැඹුරු පිරිමි කටහඬවල් වලින් සහ ඉතා ඉහළ සංගීත ඛණ්ඩ වයලින් මඟින් වාදනය වීම තුළ සිය ධ්වනි ගුණය ප්‍රශස්ත මට්ටමකට රැගෙන යයි. එමෙන්ම මුළු ටෙලි නාට්‍යයම ඇද බැඳ තබා ගන්නා සමස්ත රිද්මය එයයි. තවද මුළු ටෙලි නාට්‍යයේම පසුබිම් සංගීතය තුළ ගැඹුරු හඬක් මතු කරන බේස් ගිටාරය ට සුවිශේෂී ජවනිකාවක් හිමිව ඇත. ඉතා ගැඹුරු පිරිමි හඬවල් වලට ඇසෙන විට බේස් ගිටාරය සංඛ්‍යාතයෙන් ඉතා ඉහළ ස්වර භාවිත කිරීමෙන් එය වෙනම ගමන් කරමින් දෙමින් භාවයන් තීව්‍ර කරන අතර සංගීත සංයෝජනයට ද නිර්මාණාත්මක දායකත්වය ලබා දේ. සංගීත භාණ්ඩයක ඒ ඒ අවස්ථාවේ ඇසුරු කල යුත්තේ කුමන පරාසයද ( upper register or lower register ) පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීම පිලිබඳ එම වෘතීය වාද්‍ය ශිල්පීන්ට ද අපේ ගෞරවය හිමි වේ.එමෙන්ම මෙම රෝගය ද දියුණු වෛද්‍ය තාක්ෂණයට නිවැරදිම ප්‍රතිකාරයක් ප්‍රත්‍යක්ෂ කර නැති රෝගයකි. එය ඉඟි කරන්නට මෙන් උක්ත තේමා වාදනය තුළ වයලින් සංගීත ඛණ්ඩයක් තාල පද්ධතිය බිඳ දමමින් එය නොතකා අසම්මත ගමනක යෙදේ. එය ස්වර රචනා කිරීම පවා අපහසුය. එය සැබැවින්ම හිතාමතා කළ සංගීතමය භාවිතාවක් ද නැතහොත් වාදකයන් අතින් සිදු වූ හදිසි අත්වැරැද්දක් ද යන්න සැක සහිතය . නමුත් ඒ සැකය බොහෝවිට අපට අත්හරින්නට සිදු වන්නේ මෙය පැහැදිලිවම ඇසෙන නාදයක් වීම නිසාය . එහි වරදක් තිබේ නම් සකස් කිරීමට අවකාශ රිසි පරිදි හැකි බැවිනි. තවද මෙම සංගීත ඛණ්ඩය මුළු ටෙලිනාට්‍යය පුරාවට දිග දිව යන බැවින් එය වරදක් විය නොහැක. මක්නිසාද යත් කේමදාස වැනි චරිත නොගැලපෙන එකතු ස්වරයක් වත් භාවිතයට දැඩිව විරුද්ධ වන ආවේගශීලී චරිතයක් ද වන බැවිනි.

(8 වන ස්වර ප්‍රස්ථාරය ) ගුණේ ට පිලිකාව සදහා බෙහෙත් ගැනීමට වෙද මහත්තයා සොයා ගමට පැමිණේ. මෙම වෙද මහතාගේ දියණිය පාසල් ගුරුවරියකි. ඒ අතර රූප රාමුවේ ඇය දරුවන්ට ගීතයක් උගන්වන ජවනිකාවකි. එය දූවිල්ලෙන් සැදුන ලියේ ආදී වශයෙන් උපදේශාත්මක ගීතයකි. රූප රාමුව ඉතා යෝග්‍ය තනු රචනයක් සිදුව ඇත. කොළඹ සිට වෙද මහත්තයා සොයා එන කාර් රථයක්. එහි වේගයට අනුරූපව සිතාර් සංගීත ඛණ්ඩයක් වේ . එය රූපරාමු වත් සමග ඉතා විශිෂ්ට ලෙස ගැළපේ.මෙවැනි ටෙලි නාට්‍ය ටෙලිනාට්‍ය ගීතයත් අදටද ජනප්‍රිය වීම තුළම කේමදාසයන්ගේ අසහාය ප්‍රතිභාව විද්‍යාමාන කරන්නේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවන්නේ යැයි සිතමි.

ඉන්පසු රූප රාමුව ඔවුන් මුලින්ම වෙද මහතා හමු වීමයි. ඔවුන් රෝගයක් ගැන වචනයකුදු නොකියයි. වෙද මහතා රෝගියාව පරීක්ෂා කරන දර්ශනයකි. වෙද මහතා දෙඅතින් රෝගියාගේ ශරීරය ස්පර්ශ කරමින් ලෙඩේ කොතැන දැයි සොයා බලන ජවනිකාවේ සංගීතය ප්‍රවිෂ්ට වීම ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ මුදුන්මල්කඩ බඳු අවස්ථාවකි.එය එතරම්ම විශිෂ්ටය . මෙවැනි පිළිකා රෝගයක ඇති ගුප්ත බව , රෝගය දරුණු බව එකදු වචනයක් දෙබසකින් නොකියා වචන දහස් ගණනක හැඟීම් සමුදායක් එකට කැටි කිරීමට කේමදාසයන් සමත් වී ඇති බව පෙනේ.

රෝගය පිළිබඳ හැඟීම් උපදවන සංගීත ඛණ්ඩය භාවිතා කර ඇති ආකාරය ඉතා පරිණත ය. වෙද මහතා රෝගියාගේ රෝග නිදන් ස්ථානයන් පරික්ෂා කර ගෙන යන විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන ස්ථානවලදී කේමදාසගේ සංගීතය මතුවේ. අන්‍ය ස්ථාන වල සම්පූර්ණ දැඩි නිශ්ශබ්දතාවකි(Dead silence). එම සංගීත ඛණ්ඩ තුල බේස් ගිටාරය හැසිරෙන්නේ රෝගියාගේ ලේ නහර ඔස්සේ පිළිකා වෛරසයක් පැතිර එන්නාක් මෙන් භයංකාර ගමන් ලතාවකිනි. සංගීතය පාවිච්චි කළ යුත්තේ කොතැනටද නොකලයුත්තේ කොතැනට ද යන්න හොඳ අවබෝධයකින් සිටි පුද්ගලයකු ලෙස කේමදාසයන් හැඳින්විය හැකිය. එහි වයලින් වාදනයත් පෙර සඳහන් කළ පරිදි තාල රාමුවෙන් විවෘතව අසම්මත ගමනක යෙදෙන්නේ මෙම රෝගයටත් බෙහෙත් සෙවීම අපහසු බව හඟවන්නාක් මෙනි .

( 9 වන ස්වර ප්‍රස්ථාරය )මෙම ස්වර ප්‍රස්තාරය පෙනෙන පරිදි ගුප්ත හැඟීමක් ඇති කිරීමට සාම්ප්‍රදායික diminished වැනි ස්වර සංගති(chords) අවශ්‍යම නොවේ. මෙහි බැලූ බැල්මට පෙනෙන්නේ සරල ශුද්ධ ස්වර ආකෘතියකි. නමුත් කේමදාස සංගිතකරණය තුල දී එක් එක් ස්වරයන් අවධාරණය කර දැක්වීමෙන් සහ අසාමාන්‍ය සහ නමුත් සුදුසු ස්ථානවල විරාම තැබීමෙන් ධ්වනි ගුණය ඉස්මතු කර ගනී. සංගීත භාණ්ඩ තෝරා බේරා ගැනීම හා ආදිය තුලින් සාමාන්‍ය සංගීතඥයකුට පහසුවෙන් ළඟාවිය නොහැකි පුළුල් පරාසයකට සංගීතමය වශයෙන් ගෙන යයි.

( 10 වන ස්වර ප්‍රස්ථාරය )මෙම මුළු තනුවම ප්‍රධාන වශයෙන් වැඩි ශබ්දයකින් (Loud ) භාවිතා වේ. ඉතා මෘදු තනුවකට වඩා මෙහිදී අවශ්‍ය වන්නේ මෙම සිද්ධීන් හා සම්බන්ධ තීරණාත්මක එමෙන්ම අවදානමක හැඟීමයි. එය අවශ්‍ය අවස්ථා වලදී මෙම 10 වන ස්වර ප්‍රස්ථාරයේ සංගීත භණ්ඩ භාවිතා වේ.

( 11 වන ස්වර ප්‍රස්ථාරය )රෝග පරීක්ෂාවෙන් පසු ඔවුන්ට වෙද ගෙදර නේවාසිකව සිට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. එහිදී කොළඹ රෝගියා රාත්‍රියට සැක්සෆෝන් වාදනය කරයි. වෙද මහතාගේ දියණිය හෙවත් මල්ලිකාට නිදි යහනේ සිටින විට ඔහුගේ සැක්සෆෝන් වාදනය ඇසී අඩ නින්දේ සිට අවදි වේ. එම රූප රාමුවට සංගීතය සැපයීමේදී කේමදාස කෙතරම් සූක්ෂම ලෙස එය අවබෝධ කරගෙන ඇති බව පසක් වේ. එනම් saxophone වාදන ඛණ්ඩය ඇසෙන්නෙ ශෘති ස්වරය හෝ ඒහා ස්වරයකින් ආරම්භ වන තනුවක් නොවේ. වෙනත් ස්වරයක සිට ශෘති ස්වරයක් සොයා පැමිණ අවස්ථාවකි. මෙය සැබැවින්ම ඔහු වාදනය කරමින් සිටින අතරතුර ඇය අවදි වීම නිසා අතරමගදී ඇසුනු නාදයක් ලෙස ම ප්‍රේක්ෂකයන්ට දැනේ . මෙවැනි සියුම් සංගීත උපක්‍රම තුලින් ද කේමදාස සිය ප්‍රතිරූපය ඉහළ තැනක රඳවා ගැනීමට සමත් වේ.එමෙන්ම මෙහි දී සැක්සෆෝනය යනු කොළඹ ආදී නාගරික පැලැන්තිය හා බටහිර නියෝජනයේ සංකේතයකි.එමෙන් ම ආදරයට, අනුරාගයට පෙළඹවන සංගීතමය ධ්වනි ගුණයකි. තව ද මේ තුලින් කමල් අද්දරආරච්චි සිය චරිතය තුල හුදකලා බව ද විශද කරයි.තවත් සියුම් ලෙස ශ්‍රවණය කළ හොත් මංගලිකා සිය කාමරයේ ජනේලය විවෘත කරන අවස්ථාවේදී සැක්සෆෝන් නාදය පෙරට වඩා ශබ්දයෙන් ඇසේ. සූක්ෂමව හා තාත්වික ලෙස නාදය මෙහිදී අගය කළ යුතුය .

( 12 වන ස්වර ප්‍රස්ථාරය ) : පිළිකා රෝගියාට ප්‍රතිකාර කිරීමේදී සහ කිරීමේ දී සහ ගමේ පැළෑටිවලින් පැලෑටි වලින් සාදාගත් වටිනා බෙහෙත් වට්ටෝරු සාදා ගැනීමේදී භාවිත සංගීතය තුළින් අව්‍යාජ ගැමියාගේ කාරුණික හදවත රෝගියාගේ වේදනාත්මක මානසික තත්ත්වය ආදිය මැනවින් ඉස්මතු වන ලෙස සකස් වී ඇත. ඒ සඳහා ප්‍රමුඛ වන්නේ සිතාර සහ වයලින් වාදන ඛණ්ඩ වේ.

( 13 වන ස්වර ප්‍රස්ථාරය ) මංගලිකා සිය පියාගේ මරණයෙන් පසු නැවත වෙදකම පටන් ගැනීමට ගම්මුන්ට දැනුම් දීමට දැනුම් දීමට ගම්වැසියෙක් ලබා හූ කීම මගින් පණිවිඩයක් ලබාදේ. ඉන්පසු ගැමියන් දිව එන දර්ශනයේ දී සංගීතය භාවිතා කිරීම ඉතා විශිෂ්ටය. බටහිර සොප්‍රානෝ හඬ මට්ටමේ ගායනයක් තුළින් ගැමියන්ගේ හූ වද සිහිපත් කරන එහෙත් මනා සංයමයකින් යුත් සම්භාව්‍ය ධ්වනි රූපයක් මැවීමට සමත් වී ඇත.මිනිසුන් දිව එන විට තාල වාද්‍ය භාණ්ඩ වලට මුල්තැන ලබාදෙයි. චෙලෝ වැනි තත් භාණ්ඩ තුළින් පිසිකාටෝ ( Pizzicato ) ශිල්ප ක්‍රම තුලින් තැලීම හා සම්බන්ධ ධ්වනිය උපදවා ගනියි. මෙහි සිතාර් වාද්‍ය ඛණ්ඩය තුළ නැවුම් පිබිදීමට හැඟීම් ජනිත වේ.

Weda Hamine - Wikipedia
Image from Internet

( 14 වන ස්වර ප්‍රස්ථාරය ) : මංගලිකා විසින් පහනේ තෙල් බිඳක් අතට ගෙන ප්‍රධාන රෝගියාගේ හිසේ ගා ආශිර්වාද කිරීමට ඔහු අසලට යන අවස්ථාවේදී රූප රාමුව ඉතා විශිෂ්ටය. එනම් ඇගේ තෙල් සහිත අතේ සමීප රූප රාමුවකි( full close up frame ). එම ආශිර්වාදය රැගෙන යන විට කේමදාස නව ජීවයක් ලබා දෙන්නාක් බඳු , ආශ්චර්යමත් හැඟීම් පුබුදුවන සීනු වලට සමානත්වයක් දරන සුමධුර තනුවක් වය යි. මංගලිකා ගෙ මවට අසනීප වූ දින රාත්‍රියේ ගුණේට බෙහෙත් කිරීමට මංගලිකා පැමිණෙන ජවනිකාවේ භාවිත සංගීතය තුළ එකිනෙකට වෙනස් හැඟීම් කිහිපයකින් යුක්තය.මුලින්ම ඔවුන් අඩ අඳුරේ මුණගැසෙන අවස්ථාවේ දෙදෙනාගේම සිතේ පවතින අවිනිශ්චිතභාවය, කුතුහලය, අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම, මංගලිකා සමග ලිංගික ඇසුරකට පොළඹවා ගැනීමට දරන උත්සාහයන් හමුවේ බාහිරට පෙන්නුම් කිරීමට කලින් සිත තුළ ඇති වන චකිතය ආදී දහසකුත් සංකීර්ණ සිතුවිලි ධාරාවන් සමූහයක් කැටි කර ගැනීමට කේමදාස සිය ප්‍රතිභාව අවිය කර ගනී. ඒ සඳහා සංගීතාත්මකව මුලින්ම ප්‍රවිශ්ට වන්නේ ඇතැම් බටහිර චිත්‍රපට වල සැකයක් වැනි හැඟීමක් මතු කිරීමට භාවිතා කරන සුසංයෝගී නොවන ස්වර කීපයක් වයලින් ආශ්‍රිතව ගැටීමට අනුරූප නාදයකිනි. ඒ අතර මධ්‍ය “ග” ස්වරය ස්වර පුවරුවක් වැනි සංගීත භාණ්ඩයකින් වාදනය වේ. ඒ අනුව අනුයාත රි,ම,ග යන ස්වර තුනක්ම එකවර වාදනය වේ. මෙම නොගැලපීම තුල ඔවුන්ගේ සිතුවිලි තුල පවතින සමාධිගත නොවූ කලබලකාරී ස්වරූපය රඳවා තබා ගනී. ඉන්පසු මතුවන්නේ ගුණේ ගේ හදවත් පත්ලෙන්ම නැගෙන චකිතය යි. බේස් ගිටාරයෙන් තනුවක් වාදනය වීම බවට පරිවරථනය වෙමින් අවශ්‍ය කාර්යය ඉටු වේ.අනතුරුව ක්‍රමක්‍රමයෙන් දෙදෙනා අතර අදහස් දෙඇසින් හුවමාරු වේ. එහිදී පසුබිම් සංගීතයේ දී ක්‍රම ක්‍රමයෙන් වයලීනයේ තනුව ද ක්‍රමයෙන් සංකීර්ණ වෙයි. එම සංගීත ඛණ්ඩය ට පසුව ඇසෙන්නේ සුන්දර බලාපොරොත්තු සහගත ආදරය සහ නිදහස් බව කුළු ගන්න තනුවකි ඊළඟ රූපරාමුවෙන් දිස්වන්නේ රෝගී වූ මංගලිකා ගෙ මව වතුර වීදුරුව අතට ගැනීමට උත්සාහ දැරීමේදී එය බිමට වැටී බිඳී විසිරී යාමයි. එය සැබෑම රූප රාමුවකට වඩා මංගලිකාගේ කන්‍යාභාවයේ බිඳ වැටීම නිරූපණය කරන්නකි.එහිදී වීදුරුව බිම වැටෙන මොහොතත් සමඟම පසුබිම් සංගීතය එකවරම අතුරුදහන් කිරීමට කේමදාසයන් තීරණය කරයි. ඒ තුළ මෙම තීරණාත්මක සිද්ධි අවධාරණය වීමද සිදුවේ. එය නිශ්ශබ්දතාව හොඳම සංගීතයක් වූ අවස්ථාවකි. ඒ තැතිගන්නා සුළු ආකාරයට සිදු කිරීමට කේමදාස සංගීතය නවත්වනු ලබන්නේද එම තනුවට අදාළව සංගීතමය වශයෙන් ක්‍රමවත්ව ශෘති ස්ථානයට පැමිණීමට පෙර ය ( interupted cadence ). . ඒ තුළින් ශ්‍රාවකයා එකවරම බලාපොරොත්තු නොවන අවසානයක් ඉදිරිපත් කර සිදු වූ සිද්ධිය පිළිබඳව කල්පනා කිරීමට ප්‍රේක්ෂක යොමු කිරීමට කේමදාසයන් සියුම්ව සමත් වේ.

තවද වයලීනය ට අමතරව විදුලි ඕගනයෙන් නාදයන් භාවිතා කරන විට අනෙක් සංගීතඥයන්ට වඩා කේමදාසයන් ගේ ධ්වනි ගුණයන් වෙනස්ය. බොහෝ විට dulcimer, koto වැනි නාද වල මන්ද්‍ර සප්තක බෙහෙවින් ඇසුරු කරනු දක්නට ලැබේ. එය ලාංකේය සංගීත භාවිතාවේ කේමදාස විසින් ඔහුට ම ආවේණික මුද්‍රාවක් තබා අවසානය කේමදාසයන්ගේ ටෙලි වෘතාන්ත සංගීතය තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂත්වයක් ඇත. එනම් එක් එක් සිද්ධියක් පාසා විවිධ විවිධ තනු නිර්මාණය කරනවට වඩා සමස්ත නාට්‍යයේම හැඟීම එකට කැටි කොට ගත් ඉතා සාර්ථක තේමා වාදනයක් සකසා ගැනීමයි. ඒ තුලින් ටෙලි නාට්‍යය සමස්ත වර්ණයට අදාල නාඩිය හරියටම අල්ලා ගැනීමයි. අනතුරුව එසේ අල්ලා ගත් සංගීත ඛණ්ඩය මුළු නාට්‍ය පුරා හැඟීමට අදාල කොතැනක තැබුවත් රූපය හා සංගීතය අතිශයින් බැඳී ප්‍රභලව සවිමත් වීම යි.ඊලඟ රූප රාමුවෙන් නිරූපණය වන්නේ මංගලිකා විවාහ කරගෙන ඇයව කැන්දා ගෙන එන අවස්ථාව පිලිබඳ මනෝ රූපයකි. එහිදී යොදාගෙන ඇති ” සඳකැන් දහරින්” ගීතය අදටත් එලෙසම ජනප්‍රියව පැවතීම එහි නිර්මාණාත්මක ශක්‍යතාව මැනවින් පිළිඹිබු නොකරන්නේ ද?එම ගීතයේ වයලින් වාදනයක් වැරදුන ස්ථානයක් ඉවත් කර නැත . එය අත්වැරද්දකි ගීතයේ අන්තරා කොටසින් පසු කෙටි වාද්‍ය කොටසක් යෙදෙන අතර ඉන්පසු ගීතය ස්ථානය කොටසට පැමිණේ. එහි දී ගීතයේ ස්ථායි කොටස සමග එකවර වාදන වන පසුබිම් සංගීත ඛණ්ඩයක් වැරදීමකින් musical bit කොටස තුළ පටිගත වී ඇත. ආලෝකකරණය පිළිබඳ දුර්වලතා ද බොහෝ තැන්වල දක්නට ඇත. ඇතැම් දෙබස් ඛණ්ඩ වල සංස්කරණයන් පිළිබඳව සතුටු වේ නොහැකි අවස්ථා ඇත. කෙසේ නමුත් එකල තාක්ෂණික පහසුකම් වර්තමානය තරම් නොමැති බව අප පිලිගත යුතු ය. අවසානයේ ගුණේ ගේ පුතාට ද පිළිකා රෝගය වැළඳී මල්ලිකාගෙන් බෙහෙත් ගැනීමට පැමිණේ. එහිදී මල්ලිකාට ගුණේව මතක් වෙයි. ඒ බව ඇඟවීමට ගුණේ කලින් වාදනය කළ සැක්සෆෝන් වාදනයම ඇසේ. මේ සියලු කරුණු සලකා බලන විට රූපය හා දැඩි බැදීමක් ඇති කරවන තර්කානුකුල තනු නිර්මාණයක් වෙද හාමිනේ ටෙලිවෘතාන්තය සඳහා ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් බිහිකර ඇති බව සැලකිය හැකිය .

Sagara Wijesinghe
Sagara Wijesinghe
Bachelor of Fine Arts, University of Visual & Performing Arts, Teacher at Imbulgoda Rajasingha Collage, Sri Lanka. Pianist, Music Composer, Film Music Director

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles