

අපි නින්දේදි දකින හීන අවදි වී සිහි කරනවිට හා මිය පරලොව ගිය ඤාතින් ගැන සිතීම අතර කිසිදු වෙනසක් නැත.ඇයි එහෙම කියන්නේ, බුදු හාමුදුරුවෝ දේශනා කරන මූල අටුවා ලෙස සැලකෙන මහා නිද්දේස පාලියේ ජරා සූත්‍ර නිද්දේසය තුළ මේ විදිහට සඳහන් වේ.එනම්
සුපිනෙන යථාපි සංගතං
පටිබුද්ධො පුරිසො නපස්සති
ඒවං පියායිතං ජනං
පෙතං කාල කතං න පස්සති.
සරලාර්ථය මෙසේය,යම් සේ සිහිනයකදි සංගෘහිත වූ දෑ ( නින්දේදි දකින සිහින),පුද්ගලයා පිබිදි පසු නොදකී.මෙසේ මමත්වයෙන් ගන්නා මිය පරළොව ගිය ප්‍රිය පුද්ගලාදීන් ද නොදකී..
මෙතන හඳුනාගත යුතු කාරණා දෙකක් තිබේ,එනම්,
(1)සිහිනය හා මිය ගිය ඤාතින් පිළිබඳව සිතීම අතර සබඳතාවය කුමක්ද යන්න සෙවීම.
(2) මිය ගිය ඤාතීන් එසේ නොදැකීමට හේතුව කුමක්ද යන්න සෙවීම.
නින්දට ගොඩ වන්නා වූ අප නොයෙකුත් සිහින දැක ඇත.ඒ අතර රූමත් ස්ත්‍රී පුරුෂාදීන්,යාන වාහන,විසිතුරු බෞතික දෑ ඒ අතර විය හැක.සිහිනය තුළදී ඒවා වින්දනය කරනුයේ සජීවීවය.කටට ගත් රස අඹයක් තලු මර මරා කෑවා යැයි සිතමු.එමෙන්ම සිහිනයදී දකින ලිංගික දර්ශනයක් මත ශුක්‍ර පිටවීමද සිදුවිය යැයි සිතමු. නින්දෙන් පිබිදි පසු එය හුදෙක් මතකයකි.නමුත් එහි ආශ්වාදය විඳ ඇත.ඒ සිතිවිලි හුදෙක් මතකයක් පමණි.එය නැවත අස්මිමානයෙන් තමා සතු කරගත නොහැක.
එමෙන්ම චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පසා ගෙවෙන මෙම ජීවිතෙන්ද්‍රිය අවුරුදු ,මාස ,සති ,දින ,පැය,විනාඩි හා තප්පරය බැවින් ගෙවි ගෙවී යයි.විපරිණාමයට පත්වෙයි,උප්පාද ඨිති භංග ක්ෂණයෙන් යුතු චිත්තක්ෂණයක් පසා වෙනස් වෙමින් ගමන් කරයි.ඒ අතරතුර අපි ඇස කණ නාසය දිව ශරීරය මනස ඒ ක්ෂණයක් පසා තෘෂ්ණා,දෘෂ්ටි සහගත මමත්වයෙන් සඤ්ජානනය කර ගනිමු.
උදාහරණයක් ලෙස මෙහෙම හිතමු.උපන්දා සිට මා පියන් සමඟ හැදී වැඩෙමින් කාලය ගත කරා යැයි සිතමු.අවුරුද්ද,දහය පහළොව ආදී කාලය ගෙවා තමාගේ අවුරුදු විස්සේදි මව මැරුණා යැයි ද සිතමු. මව මිය ගොස් සතියකින් සිහි කරන විට ඇත්තේ හුදෙක් මතකයකි.මක් නිසාද යත්,
ඇස ,කන,නාසය,දිව ශරීරය හා මනස හරහා ගත් අතීත විඤ්ඤාණික ක්‍රියාවලිය නිසාවෙනි.
බුදු හාමුදුරුවෝ මනීන්ද්‍රියට අදාළව දේශනා කරණුයේ,
“අතීත අනාගත පච්චුප්පන්නෙසු මනෝ විඤ්ඤෙය්යෙසු ධම්මෙසු “
(ම.නි.මධුපිණ්ඩික සූත්‍රය )
යනුවෙනි . එහි අරුත වනුයේ අතීතයේ මනෝමූලිකව ලබාගත්,වර්තමානයේ ලබාගන්නාවු හා අනාගතයේ ලබාගන්නාවූ විඤ්ඤාණික ධම්මාරම්මණයෝය.
වර්තමානයේ මව හෝ මිය ගිය ඤාත්‍යාදින් ඇස ආදි පඤ්ච ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ.නමුත් මනෝ මූලිකව මවගේ මතකය සිහි කළ හැකිය. එය මායාවකි,ශූන්‍යත්වයකි.මවගේ සිහි වීම වර්තමායේ දුක් ගෙන දෙයි.නමුත් මව යැයි එක් වූ පඤ්චස්ඛන්ධයක් හෝ සම්මුති සත්ත්වයෙක් වර්තමානය තුළ විද්‍යමාන නොවේ.ඇත්තේ අතීතය නැමති නින්දේදි දකිනා ලද සිහිනයක් බඳු මතකයකි.එබැවින් බුදු රදහු,
එවං පියායිතං ජනං – ‘එවං’ යනු: ඖපම්‍ය දැක්වීම යි; පියායිතං ජනං – ප්‍රිය කළ මමත්‍වය කළ සත්ත්‍වයා: මව හෝ පියා හෝ බෑයා හෝ බුහුන හෝ පුතු හෝ දූ හෝ මිතුරකු හෝ යහළුවකු හෝ නෑ-සහලේ-නෑයකු , මළේ කලුරිය කෙළේ ‘ප්‍රෙත’ යයි කියනු ලැබේ. ඒ මළහු නො දකී …..නො පැමිණෙයි…. නො ලැබෙයි ….. ප්‍රතිලාභ නොවේය…. ‘පෙතං කාලකතං න පසස්ති’ යනු වේ.
( මහා නිදදේස පාලිය,ජරා සූත්‍ර නිද්දේසය)
තෘෂ්ණා මමත්වය හා නිත්‍ය ධුව වශයෙන් ගන්නා ලද දක්නා ලද ශාස්වතවාදි දෘෂ්ටි මමත්වයෙන් යුතු පුඟුලා හට එය නින්දේදි දකිනා ලද සිහනයක් මෙන් වන අතර සිහනයේදි වින්දනය කරන ලද්ද නැවත ගත නොහැකි සේ ඒ මළහු සැබෑ ස්වරූපයෙන් නොදකී.ඔවුහු නොලැබෙති.ඔවුන් පිළිබඳ සිතමින් කල්ගෙවීම,සෝක පරිදේව දුක්ඛ දොමනස්සයන්ට හේතු වන්නක් මිස ප්‍රතිලාභය පිණිස නොවන්නකි.
දෙවැනි කාරණාව පිළිබඳ විමසීම යුත්තේ සිහිනයක් බදු මිය ගිය ඤාතියාගේ ස්වභාවය කුමක්ද යන වග සහ මිය ගිය ඤාතියා පිළබඳ එසේ නිගමනයක් දීමට නොහැක්කේ මක් නිසාද යන්න විමසීමයි .ඇතම් පිරිස් නෙනෙකු මියගිය කල්හි අතීතය සිහි කරන්නාසේම ඔහුට සිදුවූයේ කුමක්ද යන ගැටලුව මත විවිධ දෘෂ්ටි මමත්වයෙන් කටයුතු කරති.
ඇතමෙක් අපාය දිව්‍යය ලෝකයේ ඉපදී ඇති බව පවසයි.
ඇතමෙක් ගන්ධබ්බයෙක් ලෙස දින හතක් නිවස තුළ සිටින බව පවසයි.
නැතහොත් ගන්ධබ්බ අවධියක් පසු කරන බව පවසයි.
නැතහොත් මරණය පත්වූ පුද්ගලයා ඤාතියා හිතවතා.නැවත ඉපදෙන්නෙ නැත යනාදි වශයෙන් දෘෂ්ටින් මත පිහිටා කරුණු ප්‍රකාශ කරති.සැබවින්ම එයද පුස් වැයමකි.මක් නිසාද යත් මේ සියලුම දෑ ඉන්ද්‍රිය ගෝචර නොවන ඤාතියාගේ අනාගතය හා වර්තමානය කෙසේ වේද යන සිහනයක් බඳු අනුමාන නිගමනයෝ මිස ප්‍රත්‍යක්ෂ නිගමන නොවෙති.කෙනෙකු මිය ගිය කල්හි සිදු වන දේ ප්‍රත්‍යක්ෂ නිගමන දීමට නම් අඩුම චතූපපාත ඤාණයක් හෝ ලබා සිටිය යුතුය.
ඉමෙවා පන භොන්තා කාය දුච්චරිතෙන සමන්නාගතා වචී දුච්චරිතෙන සමන්නාගතා මනො දුච්චරිතෙන සමන්නාගතා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනීපාතං නිරයං උප්පජ්ජති .
(දි.නි සාමඤ්ඤඵල සූත්‍රය )
යනුවෙන් මිනිස් ඇස නැතහොත් ඉන්ද්‍රිය ඤාණය ඉක්මවූ චුතූපපාත ඤාණය නැතහොත් මිය ගිය කල්හී චුති උප්පත්ති කිව හැකි අතීන්ද්‍රිය ඤාණය ඇති කල්හි මේ පින්වත් තැනැත්තා කාය දුශ්චරිතයන්ගෙන් වචී දුශ්චරිතයන්ගෙන් මනෝ දුශ්චරිතයන්ගෙන් සමන්විත වූ අතර කයෙහි බිඳුමෙන් මරණ කොට ඇතියේ ආපාය නම් වූ දුගතිය නම් වූ විනිපාති නිරයෙහි ඉපදුනේ යැයි පැයසිය හැකිය.දෙව් ලොව,මනුලොව ,බඹ ලොව ඉපදුනේ යැයි පැවසිය හැකිය.
එබදු මිනිසැස ඉක්ම වූ ඤානයක් නොමැතිව අප ඉදිරිපත් කරන සියලූම නිගමනයෝ සිහිනයකදී දකින සිහින මෙන් වන අතර ,එම ඤාතියා පිළිබඳ පූර්ව නිගමනයකට එළැඹිය නොහැකිය. එබදු නිගමන ඉදිරිපත් කොට වාද විවාද කිරීම සිහිනයදි දකින ලද දෙයක් ලබා ගැනීමට උත්සහ කරන දෙයක් බඳු වන අතර එය ප්‍රතිලාභය පිණිස හේතු නොවන්නකි.
යථා සුපිනෙන සංගහං
පටිබුද්ධො පුරිසො නපස්සති
ඒවං පියායිතං ජනං
පෙතං කාල කතං න පස්සති
(මහා නිද්දෙස පාළිය ,ජරා සූත්‍ර නිද්දේසය )