28 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

සතර අගතියේ ඡන්දාගතියෙන් හෙළිවන ධනවාදී ප්‍රවණතා පිළිබඳ විමසුමක්

Related Articles

බුදු දහම යනු විමුක්තිගාමී දර්ශනයකි. මේ පිළිබඳ නොදත්තො ⁣එනම් මාක්ස්වාදී පිරිස් හා බෞද්ධ විරෝධී නිරාගමික පිරිස් බුදු දහම අර්ථශූන්‍යය දර්ශනයක් හා ආගමක් ලෙස හංවඬු ගැසීමටත් ,එහි අභ්‍යයන්තරයේ කරුණු හෑල්ලුවට ලක් කිරීමත් සිදු කරති.එවැනි නාස්තිකවාදින්ට බුදු දහමේ සුලු හරයක් දැක්වීම සඳහා මෙම ලිපිය තුළින් බලා පොරොත්තු වෙමි.ඒ සඳහා මතෘකා කර ගනුයේ සතර අගතියයි.

සතර අගතිය නම්,ඡන්දා ,දෙසා ,භයා හා මෝහයි. මෙම සතර අගතිය තුළ මාක්ස් වාදයේ ඉදිරිපත් කරන ධනවාදි ප්‍රවනතා මනාව විදහා දක්වන අයුරු සූත්‍ර හා අටුවා අධ්‍යයනය කිරීමේදි පහදාගත හැකිය.මාක්ස්ගේ දයිලෙක්තිකයද මේ තුළ මනාව දිස්වේ.සතර අගතිය පිළිබඳ සූත්‍රපිටකයේ ⁣ඇතම් සූත්‍රවල දැක්වෙන අතර මේ සඳහා පාදක කරගනුයේ දි.නි .පාටික වග්ගයෙහි සිඟලෝවාද සූත්‍රයයි.එහි ගාථා දෙකකින් සතර අගතියෙන් යුතු වන පුද්ගලයා පිරිහෙන අයුරු හා නොයුතු වන පුද්ගලයා නොපිරිහෙන අයුරු දක්වා තිබේ. පිරිහෙන අයුරු දක්වා ඇත්තේ මෙසේය.

දොසා භයා මොහා

යො ධම්මං අතිවත්තති

නිහියති තස්ස යසො

කාලපක්ඛෙව චන්දිමා.

(දි.නි.පාටික වග්ගය ,සිඟලෝවාද සූත්‍රය )

දොස,භය හා මෝහ යන සතර අගති ධර්ම ඉක්මවන්නේ නම් ඔහුගේ කීර්තිය කලුවර පක්ෂයේ සඳ මෙන් පිරිහෙන්නේය..

මෙහි අර්ථය බැලු බැල්මට සරළ යැයි සිතුනද මෙම ගාථාවේ අර්ථය විචාර බුද්ධියෙන් විමසා බැලිය යුතුය .එවිට මෙහි දාර්ශනික පසුබිම පසක් කොටගත හැකි වෙනු ඇත.මෙහි සිතිය යුත්ත නම්,

1- සතර අගතිය යනු කුමක්ද?

2-ඒවා අගතියක් වනුයේ කෙසේද?

3-එහි දිස්වන ධනවාදි ප්‍රවණතාවය කුමක්ද?

සතර අගතිය යනු පුද්ගලයා ඇස කන නාසය දිව ශරීරය හා මනස යන ආධ්‍යාත්මික  ෂඩ් ආයතනයන්ට ගෝචරය වන රූප ,සද්ධ ගන්ධ රස ඵොට්ඨබ්බ හා ධම්ම යන බාහිර ආයතනයන් ඔස්සේ ගොඩනැගෙන චිත්තොපක්ලේශ (සිත කෙලෙසන ධර්ම) නැතහොත් පරියාය නාම වශයෙන් දක්වන අනුසය,අකුසල සිතිවිලි ධර්ම සතරකි.එහි අර්ථය සමඟ මෙසේ පෙළ ගැස්විය හැකිය.එනම්,

1-ඡන්දා – කැමැත්ත

2-දොසා –  තරහව

3- භයා – බිය

4-මොහා- මුලාව

යනුවෙනි. මෙම ලිපිය තුළදි විග්‍රහ කෙරෙණුයේ පළමු අගති  ධර්මය වන ඡන්දය නැතහොත් යම් භෞතිකයක් හෝ අනුන් කෙරෙහි පවත්නා කැමැත්ත පිළිබඳවය .

උක්ත සඳහන් කළ පරිදි මෙම මෙම සිතිවිලි ධර්ම සතරින් ඡන්දය අගති ධර්මයක් වන අයුරු විමසීම වැදගත් වේ.මේ සඳහා මනා විග්‍රහයක් දිඝ නිකා අටුවාව වන සුමංගල විලාසිනිය තුළ සිඟාලෝවාද සූතුරට අදාළව දක්වා ඇත.එනම්,

තත්ථ යො අයං මෙ මිත්තො මා සම්භත්තොවා සන්දිට්ඨියෝවා ඤාතකොවා ලඤ්චංවා මෙ දෙතිති ඡන්ද වසෙන අස්සාමිකං සාම්කං කරොති අයං ඡන්දාගතිං ගච්ඡන්තො පාපකං කම්මං කරොති නාම.

(දි.නි අටුවාව සුමංගල විලාසිනිය )

එහි යමෙක් මේ මාගේ මිත්‍රයා කියා හෝ මාගේ දැඩි වූ මිත්‍රයා කියා හෝ දුටු පමණින් මිත්‍රයා කියා හෝ ඥාතියා කියා හෝ මේ තැනැත්තා මට අල්ලස් දෙන්නා කියා හෝ කැමැත්ත වශයෙන් අහිමියන් යමකට හිමියන් කරත්ද මෙය කැමැත්තෙන් අගතියට ගොස් පවුකම් කිරීම නම් වේ.

මෙහි අරුත මෙසේ කුලු ගැන්වූවද එහි අභ්‍යන්තර අරුත කිසිවිටක වටහාගත  නොහැකිය.ඒ සඳහා විචාර බුද්ධියෙන් යුතුව විමසීම වැදගත් වේ.සුමංගල විලාසිනිය තුළ මෙම කරුණ යමෙක් අතරේ යමක් බෙදා දෙන විට කැමැත්තෙන් සිදුවන අසාධරණය නැතහොත්  අගතියට පත්වන අයුරු ලෙස දක්වා ඇත.

මේ සඳහා සමීකරණයක් උපයෝගි කරගනිමි. එය සාවදානයෙන් හා යොමානෙතැතිව එම සමීකරණය විසඳාගනිත්වා.

සතර අගතිය තුළින් දිස්වන ධනවාදි ප්‍රවණතාවය.

මාක්ස්වාදි දර්ශනය තුළ දැක්වෙන ධනවාදයේ මූලික ලක්ෂණයක් වනුයේ ධනවාදින් විසින් නිර්ධනයින් සූරා කෑමට ලක් කිරීම නැතහොත් බලය ඇති පිරිස් දුබලයන් නැතහොත් පීඩිත පිරිස පීඩාවට ලක් කිරීමයි.එය අධිරාජ්‍ය වාදයේ පටන් දේශපාලනය තුළ එනම් පළමු පන්තියේද දෙවැනි පන්තියේ හා තුන්වෙනි පන්තියේද දිස් වන්නකි..එලෙස  ධනවාදින් හො බලවාදින් විසින් නිර්ධනයන් හා පීඩිතයන් සමාජ අසාධාරණයට ලක් කරන අයුරු මාක්ස්වාදයෙන් ඔබ්බට ගොස් සතර අගතියේ පළමු  ඡන්දය තුළින් ගෙන හැර දක්වමි.ඒ සඳහා උක්ත සුමංගල විලාසිනි අටුවා පාඨය විසඳීමෙහිලා වන සමීකරණය මෙසේ වේ.

සමීකරණය

එක්තරා ගමක් මුහුදක් සමීපයෙහි පිහිටා ඇත.එම ගමෙහි මුලු   පවුල් සංඛ්‍යාව  සියයකි. ආපදාකළමනාකාර දෙපාර්තමේන්තුව මෙම ගම්වැසි පවුල් සියයට පෙර දැනුම් දීමක් ලෙස හෙට දිනයෙහි  සුනාමියක් ඇතිවන බවට දැනුම් දෙනු ලැබේ. පවුල් සියයයෙහි පුද්ගලාදිහු ආරක්ෂිත ස්ථානවලට යන අතර පවුල් සියයට අදාළ වතු පිටි,ගේ ,දොර ආදි සියලු භෞතික දෑ මුහුදට ගසාගෙන යන්නේය.

මෙවන් හදිසි ආපදාවකදී රජයෙන් රාජ්‍යය සහනාධාර දෙනු ලැබේ.ඒ සඳහා රාජ්‍යය සහනාධාර ලෙස  සහල්  200kg ක් දෙන ලදැයි සිතමු .ඒ ගමෙහි එක පවුලකට  සහල්  2kg ක් ලෙස ග්‍රාමීය පවුල් සියයට බෙදා දිය යුතුය යන නියමය පරිදිය .මෙම සමීකරණය මෙසේ ලඝු කොට දැක්විය හැකිය.එනම්,

1 -ගමෙහි මුලු පවු සංඛ්‍යාව =  100 කි.

2- ලබාදෙන ලද රාජ්‍යය සහල් =  200kg

3 – පවුලකට හිමිවිය යුතු ප්‍රමාණය=  2kg

ඒ අනුව මෙහිදි පැහැදිළි වනුයේ ගමෙහි පවුල්  සියයට හාල් කිලෝ  දෙකබැගින් සහල් කිලෝ  දෙසීය අඩු වැඩි නොවී ප්‍රමාණයටම දෙන ලද්දක් බවය .

පවුල් = 100

ඒක් පවුලකට හිමිවිය යුතු සහල් = 2kg

(100×2=200)

මුලු සහල් =200kg.

මෙම සමීකරණය උක්ත සඳහන් කරන ලද සුමංගල විලාසිනි අටුවාව අනුව ඡන්දය අගති ධර්මයක් නැතහොත් ධනවාදි ප්‍රවණතාවයක් වන අයුරු විමසා බලමු.

උක්ත සමීකරණයට අනුව පවුල් සියයට අදාළව සහල් 2kg ලබා ගැනීම සඳහා එක් පවුලකින් එක් පුද්ගලයෙකු බැගින් පැමිණෙන ලෙස දැනුම් දෙන අතර පුද්ගලයන් සියයක් සහල් බෙදා දෙන ස්ථානයට පැමිණීයේ යැයි සිතමු.මෙහිදි සහල් බෙදා දෙන පරිපාලන නිළධාරියා තමා යැයි (අත්තානං උපමං කත්වා) සිතමු .මක් නිසාද යත් ඡන්දය නැතහොත් කැමැත්ත යනු පුද්ගල සිතුවිල්ලක් බැවිනි.

උක්ත අටුවා පාඨයට අනුව සමීකරණය අනුව පූර්වාපර ගැළපීමේදි   තත්ථ යනු  එහි යන අර්ථයයි.එනම් සහල් බෙදාදෙන ස්ථානයයි. මෙ යනු මාගේ යන්නයි එනම් සහල් බෙදාදෙන තමාය.⁣ යො යනු යමෙක් යන්නයි.එනම්  ඡන්දාගතිය ඇතිවීමට හේතුවන   පුද්ගලාදිහුය.සහල් ලබාගැනීමට තමා සමීපයට එන පුද්ගලයන් අටුවා පාඨයට හා සමීකරණයට අනුව මෙසේ දැක්විය හැකිය.

අයං  මෙ  මිත්තො  මේ තැනැත්තා මාගේ මිත්‍රයා කියා හෝ යන්න මෙහි අර්ථයයි .සහල් ලබා ගන්නා වූ සියදෙනා අතරින් සහල් බෙදන තමා සමීපයට සාමාන්‍යය යහලුවකු පැමිණ තමාට සහල් කිලෝ දෙකට වඩා  තුනක් දෙව යැයි මිතුරුකම මත ඉලිවයි. එහිදි ඔබ සහල් කිලෝ 3ක් ලබා දෙයි.මක් නිසාද යහලුවෙකු නිසාවෙනි.

මා   සම්භත්තොවා යන්න දෙවැන්නයි.සහල් බෙදන තමා සමීකුඩා කල සිට දැන හඳුනන තමාගේ හොඳම මිතුරෙක් නැතහොත් ගජ මිතුරකු පැමිණ සහල් බෙදන තමාගෙන් සහල් කිලෝ  4ක් ලබාදෙන මෙන්  ඉල්ලයි. එහිදි ඔහු තමාගේ තද මිතුරෙක් නිසා සහල් නොදෙන්නේ ද යන්න තම තමාම උපකල්පනය කරගන්න.

තෙවැන්න  ඤාතකොවා යන්නයි එනම් තමාගේ ඥාතියෙකු යන්නයි .සහල් පොලීමේ සිය දෙනා අතර තමාගේ ම හෝ පියා හෝ සහෝදයෙකු සිටියා යැයි සිතමු. මෙසේ නෑ කම් කියන ඥාතියෙකු සහල් බෙදන තමා සමීපයට පැමිණ පු⁣තේ මට සහල්  කිලෝ  පහක් ලබා දෙන මෙන් ඉල්වයි. ඇය හෝ ඔහු තමාගේ දැඩි ඥාතියෙකු බැවින් සහල් කිලෝ පහක් දෙයි. නොදෙන්නේද යන්න තම තමාගේ හෘද සාක්ෂියට අනුව විමසන්න.

සිවුවැනි කරුණ  ලඤ්චංවා  මෙ  දෙතිති යන්නයි.එහි අදහස මේ තැනැත්තා මට අල්ලස් දෙන්නෙකු කියා හෝ යන්නයි.එනම් සහල් පොලීමේ අහවල් නම් ඇති පුද්ගලයකු තමා සමීපයට පැමිණ, රුපියල්  දාහක මුදලක් අල්ලසක් වශයෙන් දී  සහල්  කිලෝ  අටක්  දෙන්න යැයි පවසයි.එයද දෙයි.අල්ලසක් ගෙන සහල් නොදෙද යන වග ඔබම තීරණය කරන්න.

ඒ අනුව මෙතන පුද්ගලයන් සතර දෙනෙක් යටතේ සහල් බෙදා ඇත.නැවත එය එක් වශයෙන් බෙදා වෙන් කර ගැනීම තව දුරටත් පහසු වනු ඇත සමීකරණය විසඳා ගැනීම පිණිස.තමාගේ සිතිවිලි ධර්මයක් නැතහොත් තම මනසේ ගොඩ නැගෙන කැමත්ත(ඡන්දය) මත සිදුවන අසාධාරණය විමසා බලව.

තමා සහල් ලබා දුන් පිරිස හා සහල් ප්‍රමාණය

1-මිතුරා                         = 3 kg (සහල්)

2-දැඩි වූ මිතුරා             = 4 kg

3-ඥාතියා                        = 5 kg

4-අල්ලස් ලබා දෙන්නා = 8 kg

පුද්ගලයන් සතරක් යටතේ තමා ලබා දුන් සහල් සියල්ලෙහි  

එකතුව =     20 kg

ඒ අනුව තමාගේ සිතෙහි පහළ වූ කැමත්ත මත පුද්ගලයන් සතර දෙනෙක් සඳහා සහල්  කිලෝ 20ක් බෙදා දී ඇත .නමුත් එක් අයෙකුට හිමිවිය යුතු සහල් ප්‍රමාණය දෙකකි.ඒ අනුව බැලුවේ නම් උක්ත නම් කී පුද්ගලයන් සතර දෙනාට හිමි විය යුත්තේ සහල් 4×2=8කි සහල්. නමුත් සතර දෙනා යටතේ සියල්ල කිලෝ 20ක් දී ඇත.

ඒ අනුව තමාගේ සමානාත්මතාවය නොතිබීම නිසා තම ඡන්දාගතියෙන් පුද්ගලයන් 4 දෙනෙකුට සහල් වැඩියෙන් දුන් නිසා සමාජය තුළ වූ කී දෙනෙකුට සහල් අහිමි වූයේ දැයි සමීකරණය ඔස්සේ විමසා බලමු.

1 -ගමෙහි මුලු පවු සංඛ්‍යාව =  100 කි.

2- ලබාදෙන ලද රාජ්‍යය සහල් =  200kg

3 – පවුලකට හිමිවිය යුතු ප්‍රමාණය =  2kg

ඒ අනුව මෙහිදි පැහැදිළි වනුයේ ගමෙහි පවුල්  සියයට හාල් කිලෝ  දෙකබැගින් සහල් කිලෝ  දෙසීය අඩු වැඩි නොවී ප්‍රමාණයටම දෙන ලද්දක් බවය .

පවුල් = 100

ඒක් පවුලකට හිමිවිය යුතු සහල් =2kg

(100×2=200)

මුලු සහල් =200kg.

ඡන්දය අනුව සිදු වූ අගතිය හා  ධනවාදි ප්‍රවණතාවය

කැමත්ත අනුව සහල් ලබාගත්      = 4 කි.

පුද්ගලයන් පුද්ගලයන් සතර දෙනා අතරේ බෙදා දුන් මුලු සහල්   = 20 kg

එක් අයෙකුට හිමිවිය යුතු  සහල්     =2 kg

පුද්ගලයන් සතර යටතේ බෙදි යා යුතු සහල්  = 2×4 = 8 kg.

සමානාත්මතා පුමාණය බෙදීමට ලබා දුන් සහල් 200kg න්   

ඡන්දාගතියෙන් උක්ත කී පුද්ගලයන් සතර      =   20 –  8 = 12  කි.

දෙනා යටතේ සහල් වැඩියෙන් කොපමණ බෙදා ඇත්ද?

සහල් පෝළිමේ සියදෙනා අතරින්         = 12 ÷ 2 = 6 කි

කී දෙනෙකුට සහල් අහිමිව ඇත්ද ?

මෙම සමීකරණය විමසා බැලීමේදි තමාගේ ඥාතියා මිතුරා දැඩි මිතුරා හා අල්ලස් ගැනීම් වශයෙන් තමාගේ ඇසට කනට ගෝචර වන ප්‍රිය පුද්ගලාදීන්ට සහල් වැඩියෙන් ලබාදීම මත සහල් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සිය දෙනා අතරින් සය දෙනෙකුට සහල් අහිමිව කුස ගින්නේ ඉන්නට සිදුවුණි.

අද වත්මන් සමා⁣ජයේ ඇති දේශපාලන ක්ෂෙත්‍රයේ හෝ රාජ්‍යය පරිපාලන ක්⁣ෙෂත්‍රාදියේ, බලය හා ධනය ඇත්තවුන් තමාගේ හිතවත් පාක්ෂිකයන්ට සමානාත්මතාවය පසෙකලා සම්පත් පරිභෝජනය හා විභජනය කිරීම මත ඉන් පීඩා විදිනුයේ සමාජයේ නිර්ධන හා පීඩිත දුබල පන්තියයි. එම බෙදා හැරීම අටුවාවෙි දක්වා ඇත්තේ

අස්සාමිකං  සාමිකං කරොති. අයං ඡන්දාගතිං ගච්ඡන්තො පාපකං කරොති නාම

එනම්,අහිමියන් යමකට හිමියන් කරනේ්වේද මෙය ඡන්දයෙන් අගතියට ගොස් පවු කිරීම නම් වේ යනුවෙනි.

මෙහි අහිමි විය යුතු පුද්ගලයන් නම් උක්ත කී  තම මනසේ ගොඩ නැගුණු ඡන්දය නොහොත් කැමත්ත නැමති සිතිවිල්ල කරණ කොට  වැඩියෙන් සම්පත් බෙදා දුන් ප්‍රිය පුද්ගලයන්ය. ඔවුනට ලැබී ඇත්තේ හිම් විය යුත්තක් නොවේ.ඉන් තමාගේ ඡන්දය අනුව අහිමි විය යුතු යමක් හිමිකර දීමයි.එමෙන්ම මෙලෙස සතර අගතියේ කවර අංගයකින් හෝ කටයුතු කරන පුදලයන්,

ඡන්දා දොසා භයා මොහා

යො ධම්මං අතිවත්තති.

නිහයති තස්ස යසො

කාල පක්ඛෙව ඡන්දිමා.

(දි.නි.සිඟාලෝවාද සූත්‍රය)

ඡන්දා දොසා භයා මොහා යන මෙම සතර අගති ධර්ම යමෙක් ඉක්මවන්නේද ඔහුගෙ කීර්තිය කලුවර පක්ෂයේ නැතහොත් අමාවක සඳ මෙන් පිරිහෙන්නේය.

යනුවෙනි වර්තමානය වනවිට තම අභිමතය ඒකීයව හෝ සමූහ වශයෙන්  මහජන සම්පත් කොල්ලකන පුද්ගලයන්ගේ යම් කීර්තියන් ඇතිද ඒවා පිරිහෙන අයුරු දැක ගත හැකිය.

එමෙන්ම,

ඡන්දා දොසා භයා මොහා

යො ධම්මං නාතිවත්තති

අපූරති තස්ස යසො

සුක්ඛ පක්ඛෙව චන්දිමා.

(දි.නි.සිඟාලෝවාද සූත්‍රය)

යමෙක් මේ සතර අගතිය නොඉක්මවා සිටි නම් ඔහුගේ කීර්තිය පුර සඳ මෙන් බැබළෙන බව දක්වා ඇත..සමාජයේ නැතහොත් සංථානගත දුක්ඛය නැති කරලීමට නම් පුද්ගලයාගේ ආධ්‍යාත්මයේ ඇති සිතිවිලි වලින් පාරිශුද්ධ විය යතුය.

එසේ වුවහොත් මුලුමහත් සමාජයම යහපත් වනු ඇත.

Image from Freepik.com

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles